Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, December 17, 2009

පටිච්ච සමුප්පාදයට හැදින්වීමක්!


ඉන්ද්රීය භාවනාව මැනවින් අවබෝධයෙන් යුක්තව වැඩීමට නම් ඔබ විසින් දැනගත යුතු කරුණු මා විසින් කොටස් වශයෙන් ඉදිරිපත් කරන බව මේ වන විටත් මේ ‍ලිපි සමග රැදී සිටින ඔබ සියලු දෙනා දන්නවා.  එයට මූලිකම හේතුව අව‍බෝධයක් නැතිව යන ගමන “කලුවා මාරපන ගියා වගේ” කියන උපහැරණයෙන් පෙන්වා දෙන “කිසිම ඵලයක් නොලැබෙන  නිෂ්ඵල ගමනක්” වන බැවිනි.  මාරපන යාම කෙසේවෙතත් ඔබත් මමත් දැන් පිවිස සිටින්නේ මේ මිනිස් ජීවිතය උපකාරකරගෙන ගමන් කල හැකි උතුම්ම මාර්ගය හෙවත් නිවන් මාර්ගයටයි.  එම මාර්ගය අපට අවසානයේ නිවන හමුවන සාර්ථක මාර්ගය විය යුතුමයි.  මක් නිසාද යත් ඔබටවත් මටවත් නාස්ති කරමින් සිටීමට‍ කාලයක් නැති නිසාවෙනි.  එනිසා අවබෝධයෙන් යුක්තව යන ගමන අති සාර්ථක වන බව හේතු සහිතව දන්නා නියමාකාර ‍බුද්ධිමතා හෙවත් බෞද්ධයාට මේ ලිපි‍ පෙලත් ආශිර්වාදයක්ම වෙත්වා! 
මේ වන විට ඉන්ද්රීය භාවනාවට පිවිසීමට පෙර අප විසින් දත යුතු “සංඛත” හෙවත් “විශ්වයේ සියලුම සත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු හෙවත් රූප සැකසී ඇති අයුරු” ඔබ මේ වන විටත් අවබෝධ කරගෙන ඇතියි විශ්වාස කරමි.  
එසේනම් අප විසින් මනාව පැහැදිලි කරගත යුතු මීලග කොටස තමයි මහා සාගරයක් බදුවූ උත්තරීතර පටිච්ච සමුප්පාද ධර්මය.  එය අසන විටත් සමහරවිට ඔබට හිතෙන්නට පුළුවන් “අයියෝ මම ඒක දන්නවානේ...” නැත්නම් “අම්මෝ ඒක හරිම ගැඹුරුයිනේ” කියලා... !  අයියෝ දන්නවා කියලා හිතෙන අයට තව තවත් අවබෝධය දියුණු කරගන්නටත්... අම්මෝ ගැඹුරුයිනේ කියලා හිතුන අයට සරලව වටහාගන්නත් පුළුවන්නේද කියලා හිතාගන්නටත් උපකාර වන පරිදි මෙම උත්තරීතර ධර්මය ඔබත් සමග බෙදාහදාගන්නටයි මේ ලිපිය මූලික වන්නේ! 
මේ පටිච්ච සමුප්පාද ධර්මයේ වැදගත්කම කුමක්ද?
බුදු පියාණන්වහන්සේ දේශනා කරනවා, “යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති - යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” ලෙසින් “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී.  ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී” යන්න අර්ථ දෙන පාඨයක්. එපමණක් නොවේ ධර්මයේ තවත් සදහන්වෙනවා “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී... ඔහු ධර්මය දකීද ‍ඔහු පටිච්ච සමුප්පාදය දකී.”ලෙසින් ඒ දෙක එකිනෙකට කොතරම් බැදී ඇතිද යන්න පැහැදිලි වන සේ විග්‍රහ කරදී ඇත.   ‍
එසේනම් අප දැන් මෙහිදී අවබෝධ කරගත යුතු කාරණය තමයි ධර්මය නියමාකාර ලෙස අවබෝධ කරගැනීමට අප විසින් මේ අති සුවිශේෂී පටිච්ච සමුප්පාද ධර්මය හේතු සහිතව අවබෝධ කරගත යුතුම බව!  මෙහිදී සදහන් කල යුතු තවත් විශේෂ කාරණයක් තිබෙනවා.  ආර්ය මාර්ග‍‍යෙහි ගමන් කරන ඔබත් මමත් අතර මේ පටිච්ච සමුප්පාද ධර්මය පාලියෙන් සදහන් කල පරිදි පදවැලක් ලෙසින් නොදැන සිටියත් අවබෝධ කරගත යුතුදේ “යමකින් යමක් හටගන්නවා නම් කුමක් නිසා කුමක් හටගනීද” යන කාරණය අර්ථවත්ව අවබෝධ වී ඇති අයෙක් හෝ කීපදෙනෙක් සිටින්නත් පුළුවන්.   
එනිසා අපට මූලික විය යුත්තේ කාල සිටු පුතුට සෝතාපන්න ඵලයට පත්වීමට හේතුවූ බුදු පියාණන් වහන්සේ දේශනා කල ආකාරය “අදහස වැටහේවා! වචනය අමතක වේවා!” යන අධිෂ්ඨානය ඇතිව වචන එකක්වත් මතක නැතිවුණාට කමක් නැහැ අවබෝධ විය යුතු නියම අදහස අවබෝධ වේවා යන්නයි!  මෙහි එක් එක් අර්ථ ඉතාමත් පැහැදිලිව හොදින් අවබෝධ කරගැනීම වැදගත්.  මක් නිසාද යත්, ‍යමෙක් මෙම ධර්ම කොටස් පාලි පද වශයෙන් නිතර ‍භාවිතා කරන නිතරම කටපාඩමින් පවා කියන්න පුළුවන්.  එලෙස භාවිතා කරන ඇත්තෙක් වුවත් අර්ථය දන්නේ නැත්නම් කොච්චර කිය කියා හිටියත් මාර්ගය නිවැරදිව අවබෝධ කරගන්න අපහසුවෙනවා.  තෝරගන්න අවබෝධකරගන්න බැරිවුණ මාර්ගයක් පිළිපදින්න හැකිද නොහැකිද කියලා ඔබටම ‍වැටහෙනවා නේද? 
ත්‍රිපිඨකයේ සූත්‍ර පිඨකයේ සදහන් පටිච්ච සමුප්පාද ධර්ම කොටස අභිධර්ම පිඨකයේ විභංගප්‍රකරණය නැමැති ග්‍රන්ථයේ “පටිච්ච සමුප්පාද විභංගය” නැමැති කොටසේ  ඉතා පැහැදිලිව මනාව විස්තර කොට ඇත!
උත්තරීතර පටිච්ච සමුප්පාද ධර්මය උපකාර වන්නේ කුමක් සදහාද?
සියලු බෞද්ධයන්ට එකම ගුරුව‍රයෙක් ඇත.  එනම් ධර්මය නැමැති ගුරුභවතායි.  ඒ ධර්මය දැකීමටද මූලික කොටස් දෙකක් ඇත. 

1.     මේ පැවැත්මේ යම් දුකක් හටගනී නම් එය හටගන්න ආකාරයත්, එයින් යම් සැනසුමක් ඕනෑනම් එය ලබාගන්නා අකාරයත් පළමු කොටසයි.
2.     යම් දුකක් නැති කරගත යුතු නම් එය නැති කරගන්නා ආකාරය හෙවත් අනුගමනය කල යුතු ක්‍රමය දෙවෙනි කොටසයි.

මේ ආකාර දෙක තුලින් සියලු අසහන‍යන්ගෙන් මිදීමට නියම මාර්ගයක් දැක ගැනීමට පුළුවන් වෙනවා.  යම් දුකක් හටගන්නවා නම් ඒ හටගන්නා ආකාරය අවබෝධ කරගත්තා නම් ඒ දුක හටගන්නා මාර්ගය අතහැර එයින් පත්වන අසහනය නැතිකරගන්න ඒ දුකෙන් මිදීමට පුළුවන්වෙනවා.   අන්න ඒ කාරණය ඉටුකරගැනීමට තමයි මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය උපකාර වන්නේ. 

පටිච්ච සමුප්පාදය යනු කුමක්ද?
අපි සරලව පටිච්ච සමුප්පාදය යනු හේතු ඵල වාදය යැයි දන්නවා. 
එමෙන්ම පටිච්ච සමුප්පාදය යනු සම්මා සම්බුදු පියාණන්ගේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමට අත්‍යවශ්‍ය ලෙසම අප විසින් අවබෝධ කරගත යුතු ධර්ම ‍කොටසකි.  පටිච්ච සමුප්පාදය තුලින් සියලුම සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තූන්ගේ පැවැත්ම, ස්වභාවය ආදී දේ දැනගැනීමට හැකිවෙනවා.   

උපතිස්ස හෙවත් පසු කලක සැරියුත් නමින් මහා අරිහතුන් වහන්සේ බවට පත්වූ තරුණයා හට හමුවූ අස්සජි රහතන් වහන්සේ විසින් බුදු හිමියන් හදුන්වාදුන්න අයුරු අප කව්රුත් අසා තිබෙනවා.  “යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ - තේසං ව යෝ නිරෝධෝ - එවං වාදි මහා සමණෝ” හෙවත් “යම් ධර්මයක් හේතුවක් නිසා හටගනී, ඒ ධර්මයන් සහ හේතුවත් නවතා දමන ආකාරය මහා ශ්‍රමණයන් වහන්සේ විසින් පැහැදිලි කරදෙයි” ලෙසයි!  එම සුළු වැකිය තුලවූ අර්ථ අවබෝධයෙන් උපතිස්ස තරුණයා සෝවාන් ඵලය ලැබීමට හේතු වූ අයුරු අප විසින් අසා තිබෙනවා. 

මේ ලෝකයේම අදාල දේ අදාල විදියට ගැලපීමක් ඇතිවෙලා එකින් එකට සම්බන්ධ වෙවී යන වැඩපිලිවෙලක් තියෙනවා.  එය බුදු පියාණන් විසින් “ඉමස්මිං සති ඉදං හෝති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති (මෙය ඇති කල්හි මෙය වේ - මෙය උපන් කල්හි මෙය උපදී)” මේ පටිච්ච සමුප්පාද න්‍යයක් ලෙසින් පෙන්වා දුන්නා!  කාරණා 2ක් මෙතැන පෙන්වා දෙනවා.  “ඇති කල්හි වේ” සහ “උපන් කල්හි උපදී” ලෙසින් කරුණු 2ක් පෙන්වා දුන්නා.  “මෙය” ලෙසින් දැක්වූයේ කුමක්ද කියලා අප විසින් විමසා බැලිය යුතුයි.  අපි මෙහෙම විසදගනිමු.  සත්ව පුද්ගල කියලා විතරක් ප්‍රභේද වෙන් කරගන්නේ නැතිව “ජාති පච්චයා ජරා මරණං” කියන සිද්ධාන්තය අප දැකිය යුතුයි.   මෙය සිද්ධාන්තයක් න්‍යාය ධර්මයක්.   “ජාති හේතුවෙන් ජරා මරණ‍ වේ” කියන විට අප හිතලා බලන්න ඕනේ මිනිහෙක් හෝ සතෙක් විතරමද ජරාවට පත්වෙන්නේ මරණයට පත්වෙන්නේ කියලා හිතලා බලන්න ඕනේ.  ගස් වැල් වැහැරිලා මැරිලා යනවා නේද?  එතකොට අජීවි වස්තුවක් දිරාපත් වෙලා විනාශවෙලා නැත්නම් මැරිලා යනවා‍ නේද? ජරා මරණ කියන එක සජීවී අජීවී දෙකට පමණක් සීමාවෙන දෙයක් නෙවේ.  මේ පටිච්ච සමුප්පාද ධර්ම සිද්ධාන්තය මේ මුලු ලෝකයම ක්‍රියාත්මක වෙන හැටි පෙන්වා දෙන ධර්මයක්.  එතකොට මුලු ලෝකයම පටිච්ච සමුප්පන්නයි කියලා කියන්න පුළුවන්... ඒ කියන්නේ මේ මුලු ලෝකයම කැමැත්තට අනුව බැදීම හේතුවක් ‍කොටගෙන ඒ හේතුවට සමානව ඵල නිපදවන ධර්මතාවයකින් යුක්තයි!

ඒ වගේම තවත් තැනක සදහන්වෙලා තියෙනවා “පටිච්ච ඵලං උප්පජ්ජති එතස්මාති පටිච්ච සමුප්පාදෝ හෙවත් යම් පටිච්ච ඵලයක් ලැබේද එයට හේතුව පටිච්ච සමුප්පාදයැයි” ලෙසින්.  එහෙනම් මේ සියල්ලටම පෙර “පටිච්ච” සහ “පටිච්ච සමුප්පාදය”  යන්න අර්ථ සහිතව අවබෝධ කරගැනීම ඉතා වැදගත්වෙනවා. 

පටිච්ච සමුප්පාදය තුල ගැබ්වී ඇති අර්ථය කුමක්ද?
මේ “පටිච්ච සමුප්පාද” කියන තනි වචනය හැදිලා තියෙන්නේ ඉතාමත් වැදගත් අර්ථ සහිත වචන කීපයකිනුයි. 
පටිච්ච සමුප්පාද = පටි + ඉච්ච + සම + උප්පාද ආදී ලෙසයි මෙම පටිච්ච සමුප්පාද කියන වචනය හැදලා තියෙන්නේ.   
පටි = බැදෙනවා
ඉච්ච = කැමැත්ත
සම =  සමව හෙවත් සමානව
උප්පාද = උත්පාද හෙවත් ඉපදවීම / නිපදවීම
එනම්;
පටිච්ච සමුප්පාදය =  කැමැත්ත අනුව බැදෙන එයට සමානව හටගන්නා / නිපදවෙන යන්න අර්ථය‍ක් දෙනවා!  නැත්නම් වඩාත් පැහැදිලි ලෙසින් පහදා දෙන්නේ නම් “කැමැත්තට අනුව බැදෙන්නේ යමකටද උපත එයට සමානයි” කියලා කියන්න පුළුවන්.

උදාහරණයක් ලෙස ගත්තොත්.... ද්වේශයට කැමැත්තෙන් බැදුනොත් ඒ අනුව සිදුවන උපත ද්වේශ සහගතයි.  රාගයට කැමැත්තෙන් බැදුනේ නම් එයින් හටගන්නා උපත රාග සහගතයි. මෝහයට කැමැත්තෙන් බැදුනොත් එයිනි සිදුවන්නේ මෝහ සහගත උපතක්.  මේ වඩාත් පහසුවම මෙය වටහාගන්න හැකියාවක් ලැබෙන ආකාරයකි.  යම් යම් ස්වභාවයකට අනුව ආරම්භ කලේද එයින් ලැබෙන ඵලය එයට අනුකූලයි.  හේතුවක් නිසාම තමයි ඵලයක් ලැබෙන්නේ!  හේතුවක් නැති ඵලයක් මේ ලෝකයේ හෝ විශ්වයේ කොතනකවත් නැහැ!
 මෙන්න මේ කියන හේතු ඵල රටාව තේරුම් කොට දෙන්න තමයි අප මහා සම්මා සම්බුදු පියාණන්වහන්සේ මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්ම රටාව දේශනා කල වදාලේ! 
 පටිච්ච සමුප්පාදය ගැන තව දුරටත් විස්තර කරනවා නම් එය ප්‍රධාන අංග 12කින් යුක්තයි.  එය සුත්‍ර පිඨකයේ සදහන් වන අප කව්රුත් දන්නා මෙන්න මේ අංග 12යි. 
1.     අවිද්යාව
2.     සංඛාර
3.     විඤ්ඤාණ
4.     නාම රූප
5.     සළායතන
6.     ඵස්ස
7.     වේදනා
8.     තණ්හා
9.     උපාදාන‍
10.   භව
11.   ජාති
12.   ජරා මරණ - සෝක - පරිදේව - දුක්ඛ -දෝමනස්ස - උපායාස
ඉහත අංග 12 සත්වයාගේ සසර ගමන පැවැත්ම විස්තර කරදෙන්න යොදාගෙන තිබෙන්නක්.  හේතුවට අනුව ඵලය ලැබෙන අයුරු මනාව පැහැදිලි කරගන්න තමයි මෙම පටිච්ච සමුප්පාදය තියෙන්නේ.  මෙය තියෙන්නේ සත්ව පුද්ගල දෘෂ්ඨිය නැතිකරගන්නයි.  සත්ව පුද්ගල දෘෂ්ඨිය ඇතිකරගන්න හේතුවන මායාවක් තියෙනවා.  ඒ මායාව ගොඩනගපු කොටස් ටික තමයි මේ එකින් එකට වෙන් කරලා අංග 12ක් විදියට පෙන්වන්නේ.  හේතුවක් ඵලයක් විදියට හටගන්නවා හේතුව නැතිවන විට ඵලය නැතිවෙනවා කියන ධර්මතාවය මිසක් එතනින් එහාට සත්වයෙක් පුද්ගලයෙක් ලෙස ගන්න එකක් නැහැ කියලා දැනගත්විට අපි මේ හිතාගෙන ඉන්න සත්වයන්, පුද්ගලයින්, ද්‍රව්‍ය, වස්තු හේතු ඵල අනුව ගොඩනැගිච්ච මායාවක් කියලා අවබෝධ වුණ දිනයට අපට තියෙන ආත්ම සංඥාව ඉවරවෙනවා.  එහෙම කෙනෙක් ඉන්නවා... එහෙම කෙනෙක් ඉන්නවා... මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තිබුණ දෘෂ්ඨිය ඉවරයි.  එදාට ආත්ම දෘෂ්ඨිය සත්ව පුද්ගල දෘෂ්ඨිය ඉවරයි. 
පටිච්ච සමුප්පාදයෙන් එය වෙන් කරලා බලාගන්නකම්... අවබෝධ කරගන්නකම් ඔන්න ඔය දෘෂ්ටියෙන් මිදෙන්න බැහැ.  හිතන්නේ නැතිව හිටියොත් තේරුම් ගන්නේන නැතිව අමතක කරලා දැම්මාවෙනවා.  හරිම අපරාදයක් තමයි කරගන්නේ.  තේරුම් ගත යුතු දහම තේරුම් ගන්නේ නැතිව අමතක කරලා දැම්මොත් ගැටලුව විසදගන්න බැරිවෙනවා නේද?  අප අමතක කරලා  මග ඇරලා නෙවේ ගැටලුවට විසදුම් සෙවිය යුත්තේ.  යථාර්ථය අවබෝධ කරගත යුතුයි.  එයින් පසුව ගැටලුව විසදගන්න හරිම ලේසි‍යි.  අපි දකිනවා විවිධාකාර ජාති... බල්ලන් ලෙස, හරක් ලෙස, මිනිසුන් ලෙස, දෙවියන් ලෙස ආදී විවිධ ජාති වලට අයත් අය දකිනවා.  එහෙනම් මේ සත්ව පුද්ගලයන් දැක ඒවාට රැවටෙන්නේ නැතිව කාරණා 12කින් හටගත්ත හේතුවට අනුව සැකසිච්ච ඵල සමුහයන් විදියට අවබෝධ වූ විට සත්ව පුද්ගල දෘෂ්ඨිය යථාර්ථය අවබෝධය තුලින්ම නැතිවෙනවා.  මේ විවිධ ජාති පේන්නේ... ජරා මරණ පේන්නේ මේ කාරණා 12 සම්පිණ්ඩනය වී විවිධ ලෙස ක්‍රියාකල ක්‍රියාවලියේ ආකාරයන් නිසායි කියලා අවබෝධ වෙනවා. එතකොට මූල ධර්මය අව‍බෝධ වෙනවා.
ඉතින් ඉහත අංග 12
 “අවිජ්ජා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං - විඤ්ඤාණං පච්චයා නාම රූපං - නාම රූප පච්චයා සලායතනං  - සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” -  “අවිද්යාව හේතුවෙන් සංඛාර වේ.  සංඛාර හේතුවෙන් විඤ්ඤාණ වේ.  විඤ්ඤාණ හේතුවෙන් නාම රූප වේ.  නාම රූප හේතුවෙන් සළායතන වේ. සළායතන හේතුවෙන් ඵස්ස වේ.  ඵස්ස හේතුවෙන් වේදනා වේ.  වේදනා හේතුවෙන් තණ්හා වේ.  තණ්හා හේතුවෙන් උපාදාන‍ වේ.  උපාදාන හේතුව භව වේ.  භව හේතුවෙන් ජාති වේ.  ජාති හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මෙසේ සියලු දුක් රැස පහලවේ” යන්න බොහෝ දෙනා දන්නා සරල අර්ථයයි. 

එපමණක් නෙවේ හේතුව නිරෝධ කිරීම තුලින් ඵලය නිරෝධ කරගත හැකි අයුරුත් මෙහිදී පැහැදිලි කරදෙනවා. 
“අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා - සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා - විඤ්ඤාණ නිරෝධෝ නාම රූප නිරෝධා - නාම රූප නිරෝධෝ සළායතන නිරෝ‍ධා - සළායතන නිරෝධෝ ඵස්ස නිරෝධා - ඵස්ස නිරෝධෝ වේදනා නිරෝධා - වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා - තණ්හා නිරෝධෝ උපාදන නිරෝධා - උපාදාන නිරෝධෝ භව නිරෝධා - භව නිරෝධෝ ජාති ‍නිරෝධා ජාති නිරෝධෝ - ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා - නිරුජ්ඣන්ති ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති!” – “අවිද්‍යාව නිරෝධ කිරීම හේතුවෙන් සංඛාර නිරෝධ වේ.  සංඛාර නිරෝධ කිරීම හේතුවෙන් විඤ්ඤාණ නිරෝධ වේ.  විඤ්ඤාණ නිරෝධ කිරීම හේතුවෙන් නාම රූප නිරෝධ වේ. නාම රූප නිරෝධ කිරීම හේතුවෙන් සළායතන නිරෝධ වේ. සළායතන නිරෝධ කිරීම හේතුවෙන් ස්පර්ශ නිරෝධ වේ. ස්පර්ශ නිරෝධ කිරීම හේතුවෙන් වේදනා නිරෝධ වේ. වේදනා නිරෝධ කිරීම හේතුවෙන් තණ්හා නිරෝධ වේ.  තණ්හා නිරෝධ කිරීම හේතුවෙන් උපාදාන නි‍රෝධ වේ.  උපාදාන නිරෝධ කිරීම හේතුවෙන් භවය නිරෝධ වේ.  භවය නිරෝධ කිරීම හේතුවෙන් ජාතිය නිරෝධ වේ.  ජාතිය නිරෝධ කිරීම හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් රැස නිරෝධවේ”, යන්න අර්ථ වේ. 
මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතු කාරණය තමයි මෙලෙස සටහන් තබන්නේ ඔබට “පටිච්ච සමුප්පාදය” ගැන හැදින්වීමක් පමණක් බව.  මෙහිදී පටිච්ච සමුප්පාදය ගැන හැකි උපරිමයෙන් විස්තරයක් දැක්වීමට අදහස් කරමි.  එහෙත් මෙහිදී ඉහත සදහන් පටිච්ච සමුප්පාද අංග 12 පිලිබදව විස්තර නොකරමි.  එයට වැදගත් හේතුවක් ඇත.  පටිච්ච සමුප්පාද ධර්ම කාණ්ඩය සාගරයකට සම කර ඇත්තේ හේතු සහිතවයි.  එය මේ විදියට වචන කීපයකින් හෝ එක් ලිපියකින් හෝ යමෙකුට අවබෝධයක් ලබාගැනීමට හැකිවන අයුරින් කරුණු ගොනු කිරීමට ඉතාමත් අපහසු ධර්ම කොටසකි.  “පටිච්ච සමුප්පාදය” ලෙසින් මාතෘකාගත කොට එහි අංග 12 වන අවිද්යාව, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන‍, භව, ජාති, ජරා මරණ - සෝක - පරිදේව - දුක්ඛ -දෝමනස්ස - උපායාස යන කරුණු පිලිබදවද විස්තර කරන්නට යෑම සැබවින්ම නිශ්ඵල කාර්යයක් වන හෙයිනි!  මක්නිසාද යත් මේ ලෙසින් ලියැවෙන ලිපියක පැහැදිලි ‍යමෙකුට උපකාරයක් අවබෝධයක් ගත හැකි යමක් ගැබ්වී තිබිය යුතුමය.  නැත්නම් එය ලිපිය ලියන්නාගේ මෙන්ම කියවන්නාගේද කාලය පමණක් කා දැමීමට හේතුවනු ඇත.  එහෙත් ඔබේත් මගේත් නිවන් අවබෝධය පිණිස හේතුවන මේ උතුම් ධර්ම කරුණු බෙදා හදා ගැනීමේදී එය නිෂ්ඵල අර්ථ ශුන්‍ය කාර්යයක් පමණක් කිරීමට මට කිසිසේත් නොහැකිය.  උතුම් පටිච්ච සමුප්පාද ධර්මයෙහි අංග 12 වන අවිද්යාව, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන‍, භව, ජාති, ජරා මරණ - සෝක - පරිදේව - දුක්ඛ -දෝමනස්ස - උපායාස යන කරුණු පිලිබදවද අවබෝධයක් ලබාගත හැකි අයුරින් සකසන දීර්ඝ විස්තර අඩංගු ලිපි පසුව බලාපොරොත්තු වන්න!  එතෙක් මේ ලිපිය තුලින් සසර ගමනට හේතු පහදාදෙන “පටිච්ච සමුප්පාද” යන පොදු ධර්ම කරුණ ගැන යම් හෝ අවබෝධයක් හැකි වේවියැයි සිතමි!
පටිච්ච සමුප්පාදය ප්‍රධාන වශයෙන් ආකාර 4කින් ක්‍රියාත්මක වෙනවා.
1.     හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය)
2.     ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය)
3.     සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය)
4.     අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්‍යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය)

මේ ආකාර 4 ඒවා යෙදෙන අයුරු ආදී මේ පිලිබදව වැඩි විස්තර සහිතව අවබෝධයක් ලබාගැනීමට ඔබට ඉදිරි ලිපි තුලදී උපකාරයක් ලැබේවි.  එතෙක් කරුණු වශයෙන් පමණක් දැනගැනීමට මෙම ලිපිය තුලදී මේ කරුණු පෙන්වා දෙමි!
පටිච්ච සමුප්පාදය ලෝකයේ සියලුම සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සදහා යෙදෙන න්‍යය ධර්මය නම් එය මේ ලෝකය පිලිබදව මනා වැටහීමක් ලබාගැනීමට ඇති අති උතුම් ධර්ම කොටසක් නිසාත් පැවැත්ම පිළිබදව සියලුම ආකාරයේ අවබෝධයක් ලබාගැනීමට ඇති රටාව නිසාත් මෙම පටිච්ච සමුප්පාදය තව දුරටත් කොටස් වශයෙන් බෙදා දක්වමින් පැහැදිලි කරදෙන අවස්ථාවන් අභිධර්මපිඨකයේ විභංග ප්‍රකරණයේ තිබෙනවා.
ධර්මය තුල තියෙනවා පාප හේතුවකින් පහල වෙන්නේ පාප සංස්කාරයක් කියලා.  ඒ වගේමයි පුණ්‍ය හේතුවකින් පහල වෙන්නේ පුණ්‍ය සංස්කාරයක් කියලා.  ඒ අනුව විමසා බැලුවොත් අවිජ්ජා පච්චයා සංඛාරා කියන දෙයින් පමණක්ම නම් මේ ජාති පහල වෙන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන කොහොමද පුණ්‍ය සංස්කාරයක් ඇතිවෙන්නේ කියන ප්‍රශ්ණය සිතට නැගෙන්න පුළුවන්.  අවිද්‍යාව කියන්නේ මෝහයයි කියලා තමයි මේවනතෙක් ඔබත් මමත් දැනගෙන සිටියේ.  ඒත් මෝහ සංඛාරයකින් කොහොමද දෙව් ලොවට යන්නේ බඹ ලොවට යන්නේ කියලා සිතට ගැටලුවක් ඇතිවෙන්න අවස්ථාවක් තියෙනවා.  ඉතින් මෙහෙම ඇතිවන ගැටලු බොහෝමයක් නිරාකරණය කරගන්න සුදුසුම තැන තමයි අභිධර්මපිඨකය.  පටිච්ච සමුප්පාදය පිළිබද විභංගය කියන කොටසේ එකින් එක ඉතාමත් හොදින් මෙය පැහැදිලි කරලා තියෙනවා.  එහි පෙන්වා තිබෙනවා සියල්ලම අවිද්‍යාවෙන් පටන්ගන්නේ නැතිබවත් එය පළවෙනි අවස්ථාවක් නැතිනම් පොදු මූලික අවස්ථාවක් පමණක් බවත් අවිද්‍යාව යන්න කුමක්ද යැයි ඉතා පැහැදිලිව වෙන් වෙන් වශයෙන් විස්තර කොට පැහැදිලි කරලා තියෙනවා.  අවිද්‍යාව ඇතුලු ඉහත අංග 12 විස්තර කරන ලිපි වලදී මෙය ඉතාමත් හොදින් පැහැදිලි කරගනිමු.  එතෙක් අවිද්‍යාවෙන් වෙන් වෙන්වන පුණ්‍ය සහ පාප කොටස් වලට හේතුවන පටිච්ච සමුප්පාදය කෙසේද යන්න විමසා බලමු.

අවිද්‍යා පච්චයා සංඛාරා (අවිද්‍යාව හේතුවෙන් සංඛාර වේ)  - මෙය කොටස් 2කට බෙදා පෙන්වා ඇත.
1.        කුසල මූල පච්චයා සංඛාරා (කුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)
2.        අකුසල මූල පච්චයා සංඛාරා (අකුසය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)

එත‍කොට කුසලය කරුණු 3කින් යුක්තයි.  අලෝභ, අද්වේශ, අමෝහ සහගත වැඩපිලිවෙලක් තමයි කුසල් කියන්නේ.  එතකොට කුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වීම පහත අයුරින් කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්. මේ ‍අලෝභ, අද්වේශ, අමෝහ වැඩපිලිවෙල තුලින් ලෞකික සුගතිගාමී පින් කොටසට අයත්දේ සංඛාර කරන්නත් පුළුවන් ආර්ය මාර්ගය හෙවත් ලෝකෝත්තර නිවන් මාර්ගයට සංඛාර කරන්නත් පුළුවන්.  එය මෙසේ බෙදා දක්වන්නෙමි. සුගතියක සිට තමයි ආර්ය මාර්ගය වඩන්නේ.  දුගතියක ඉදලා ආර්ය මාර්ගය වඩන්න බැහැනේ. මෙන්න මේ කියන කුසල මූල පච්චයා සංඛාර යන්න වඩන්නට නම් සුගතියක ඉන්න ඕනේ.  ඉතින් මෙය ඉතාමත් පැහැදිලි ලෙසින් පෙන්වා දී තිබෙනවා. 
    
කුසල මූල පච්චයා සංඛාරා (කුසල මූලයෙන් පටන් ගන්නා පටිච්ච සමුප්පාදය) - මෙය ‍කොටස් 3කට බෙදා ඇත.
අලෝභ පච්චයා සංඛාරා (අලෝභය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)
අද්වේෂ පච්චයා සංඛාරා (අද්වේෂය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)
අමෝහ පච්චයා සංඛාරා (අමෝහය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)
                                               
අලෝභ පච්චයා සංඛාරා (අලෝභ‍ය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙය කොටස් 2කට බෙදා ඇත.
ලෞකික සුගතිගාමී පින් කොටස
ලෝකෝත්තර ආර්ය මාර්ගය
අද්වේෂ පච්චයා සංඛාරා (අද්වේෂය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙය කොටස් 2කට බෙදා ඇත.
ලෞකික සුගතිගාමී පින් කොටස
ලෝකෝත්තර ආර්ය මාර්ගය
අමෝහ පච්චයා සංඛාරා (අමෝහය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙය කොටස් 2කට බෙදා ඇත.
ලෞකික සුගතිගාමී පින් කොටස
ලෝකෝත්තර ආර්ය මාර්ගය
                               
ලෞකික සුගතිගාමී පින් කොටස - මෙහි දී අලෝභ, අද්වේශ, ‍අමෝහයන් මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේදනා ‍පච්චයා ප්‍රසාදෝ, ප්‍රසාද පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසට ගොස් “ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” ලෙසින් අවිද්‍යාව හේතුවෙන් පටන්ගන්නා ‍පොදු පටිච්ච සමුප්පාදයේ පෙන්වා දෙන ලෙසින් “මෙසේ සියලු දුක් රැසක පහලවීම සිදුවේ” ලෙසින් අවසානය පෙන්වා දෙනවා. 

එහෙත් ආර්ය මාර්ගයදී අලෝභ, අද්වේශ, ‍අමෝහයන් මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේදනා ‍පච්චයා ප්‍රසාදෝ, ප්‍රසාද පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසට ගොස් “ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” නැතිනම් “මෙසේ සියලු දුක් රැසක පහලවීම සිදුවේ” ලෙසින් අවසන් නොව “ඒ‍ව මේතස්ස කේවලස්ස ධම්මානං සමුදයෝ හෝති” නොහොත් “මෙසේ ධර්මයන්ගේ පහල වීම සිදුවේ” ලෙසින් පෙන්වාදෙයි.  එබැවින් ආර්ය මාර්ගය උදෙසා වන කුසලය මුල් කරගෙන පටන් ගන්නා පටිච්ච සමුප්පාදය දුක හටගන්වන, මතු දුකට හේතුවන එකක් නොව ආර්ය භාවයට හේතුවන්නක් බව පෙනේ.  මෙහිදී ජාති ලෙස ප්‍රවෘත්ති ජාති 4ක් ඇතිවේ.  එනම් භික්ෂු ජාතිය, භික්ෂුණී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය යන ජාති 4යි.  මෙම ජාති 4ට පත්වීමෙන් තොරව දුකත් දුකට හේතුවත් මේ ජීවිතයේදීම බිද හරින්නට වුවමනා කරන පසුතලය සෑදීමට නොහැක.  මේ ජාති 4ට පත්වීමට ඒ ඒ වේශයෙන් ‍වෙස්ගෙන සිටියාට නොහැකිය.  ඒ සදහා පත්වීමට මේ පටිච්ච සමුප්පාද ධර්මය න්‍යායට අනුව බෞද්ධ සිව් පිරිස පහළ කරන කුසලය මුල් කරගෙන ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේ.  මේ පිලිබදවත් වැඩි විස්තර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

අකුසලයත් කරුණු 3කින් යුක්තයි.  ලෝභ, ද්වේශ, මෝහ සහගත වැඩපිලිවෙලක් තමයි අකුසල් කියන්නේ.  අකුසලය මුල් කරගෙන සංඛාර වැඩෙන්නේ දුගතියටයි.  එතකොට අකුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වීම පහත අයුරින් බෙදන්න පුළුවන්.

අකුසල මූල පච්චයා සංඛාරා (අකුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙය කොටස් 3කට බෙදා ඇත.
ලෝභ පච්චයා සංඛාරා (ලෝභය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙහිදී ලෝභය මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේදනා ‍පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසටයි.
ද්වේෂ පච්චයා සංඛාරා (ද්වේෂය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙහිදී ද්වේෂය මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේදනා ‍පච්චයා පටිඝං, පටිඝ පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසටයි.
මෝහ පච්චයා සංඛාරා (මෝහය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) - මෙහිදී මෝහය මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච
සමුප්පාදය වේදනා ‍පච්චයා විචිකිච්ඡා, විචිකිච්ඡ පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසටයි.

මෙ‍සේ පටිච්ච සමුප්පා‍දයෙන් දුකත්, දුකට හේතුවන වැඩ පිළිවෙලත් දේශනා කර ඇත.  බුදු පියාණන්වහන්සේ  දේශනා කලේ දුක පිරිසිද දැන දුකට හේතුව මෙලොවදීම වනසන්ටය.  එසේ නම් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය භව ගමනකට සීමා‍ නොකොට මේ ජීවිතයටම උරුම බව දැන මේ ජීවිතයේදීම දුකත් ‍දුකට හේතුවත් බිද හරින්නට උත්සාහ කල යුතුය. 

ඉදිරියේදී පටිච්ච සමුප්පාදයේ අංග 12ත් කුසලය මුල් කරගෙන සිදුවන පටිච්ච සමුප්පාදයත් එකින් එක මනාව සරලව පැහැදිලි කරගනිමු.  එතෙක් මේ කරුණු හොදින් විමසා තම තමන්ගේ නුවණින් නිතර සිහිකොට “මුලු ලෝකයම කැමැත්තට අනුව බැදීම හේතුවක් ‍කොටගෙන ඒ හේතුවට සමානව ඵල නිපදවන ධර්මතාවයකින් යුක්තයි නැතිනම් පටිච්ච සමුප්පන්නයි” යන්න ‍හොදින් තමන් විසින්ම අවබෝධ කරගන්න.  පටිච්ච සමුප්පාදය ධර්මය න්‍යායට අනුව සිතන්නට වු විට ඉතා කෙටිකලකින් “යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති - යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” ලෙසින් “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී.  ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී” යන්න සිදුවේ.  මෙහි බුදුන් දැකීම යනු රූපයක් දැකීම නොව පරම සත්‍යය දැකීමයි. 

දහමේ සියුම් කරුණු විනිවිද දැකීමට කටපාඩම් කරගෙන තිබුණාත් නොහැකිය.  මේ සදහා සමතයකට පත් මනසක් තිබිය යුතුය.  සමතයකට පත්මනසක් ඇතිවිටයි ආත්ම ලාභයට වසග නොවී හරි වැරදි නියම හේතු පල ධර්ම අනුව වටහාගන්නට හැකිවෙන්නේ.  
ඔබටත් ධර්ම ඥානය ලැබගැනීම සදහා හිමිවිය යුතු සියලුම ආශිර්වාදයන් 
මෙම ලිපිය සමග ගොනු කරමි!
සම්මා සම්බුදු සරණයි!

6 comments:

ජීවිතේ මල් said...

සොයා ගිය දැයක් පිලිබඳ බොහෝ වටිනා පැහැදිලි කිරීමක් !
ඔබට බොහොමත්ම කුසල් සිදුවෙනවා !
තෙරුවන් සරණයි !

Nandika Sirinuwan said...

බොහොම වටිනවා...
මෙ විදියට පුළුවන් තරම් සරලව කියාදීම නිසා වැඩි දෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වෙනවා..
බොහොම පින්...
තෙරුවන් සරණයි..!

චතුර මධුෂාන් said...

ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්, ඔබට පින්.
මට මේ කාරණා ගැන පැහැදිලි කර ගන්න අවශ්‍යයි.
විභව තන්හාව
කාම, රූප හා අරූප භව
නාම ධර්ම.
යනු මොනවාද? යන්න.
ලිපි මගින් හෝ පිළිතුරු ලබා දෙන්න.

Viduransi said...

චතුර මධුෂාන්...
සමාවෙන්න අවුරුද්දකට පස්සේ පිලිතුරු දෙන්නේ... බ්ලොග් අඩවියේ කටයුතු ටිකක් අඩාල වෙලා තියෙන නිසයි ඒ...
වෙබ් අඩවියත් සමඟ රැඳී ඇතැයි සිතනවා...
ඔබට පෙනෙන (ඇසට - රූප), ඇහෙන (කණට - ශබ්ද), විඳින (දිවට - රස, නාසයට - ගන්ධ, කයට - ස්පර්ශ, සහ මනට ධර්ම) මේ සියල්ලම රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන තත්වයන්ගේ එකතුවයි. ඒ කියන්නේ පංචස්කන්ධයේ නිර්මාණයන්. ඉතින් මේ පංචස්කන්ධයේ ඇත්ත ගැන දන්අනේ නැති නිසාම අවබෝධයක් නැති නිසාම.. පෙනෙන, ඇහෙන, විඳින දේවල් හමුවේ අප රැවටෙනවා... ඒ මායාවට හසුවෙනවා... ඒ රැවටීම තුල නැවත නැවත මේ දේවල් පංච ඉන්ද්‍රියයන් (ඇස, කණ, දිව, නාසය, කය) ඔස්සේ විඳින්නට ඇති කැමැත්ත කාම රාගයයි.
එය කාම රාග තත්වයට වර්ධනය වුනේ මුලින්ම අරමුණ එනවිටම රූපයේ ඇත්ත නොදැන සිටි නිසාමයි... රූප කියන්නේ පොදුවේ චක්ඛු රූප - රූප රූප, සෝත රූප - ශබ්ධ රූප,ඝාණ රූප - ගන්ධ රූප,ජිව්හා රූප - රස රූප,කාය රූප - ස්පර්ශ රූප, මනෝ රූප - ධර්ම රූප කියන හැමදේකටමයි. ඒ එන රූපයේ ඇත්ත නොදන්නාකම නිසාම ඒ රූපයට එන වේදනාවත් වැරදිලා එන්නේ... සංඥාවත් වරදිනවා... සංකාරයත් වරදිනවා... විකෘති දැනීමක්ම දැනෙනවා එයට විඤ්ඤාණය කියනවා... ඉතින් කෙනෙකුට පංච කාම අදහසක් විඳින්නේ නැති ස්වභාවයකින් යම් අරමුණක් කෙරෙහි ඇතිවන අදහස තමයි රූප රාගය කියන්නේ... ඒ කියන්නේ රූපයේ ඇත්ත නොදන්නා කම නිසාම රූපයක්යැයි දැනෙන හැඟෙන ඒ ඔස්සේ ප්‍රතිචාරයක් දැනෙන ස්වභාවය... එතකොට ඔය මොන රූපත් ඕනේ නෑ විඳින්න ඕන නෑ කියලා දැනෙන දැනීම තමයි අරූප රාගය අරූප භවය කියන්නේ... විභව තණ්හාව කියලත් කියනවා.. ඒ කියන්නේ රූප ඕනේ නැතිව පවතින්නට ඇති කැමැත්ත... රූප ඇසුරු කරමින් උපෙක්ෂා මට්ටමට පත්වී සිටින ස්වභාවය හෙවත් එසේ පවතින්නට ඇති කැමැත්ත තමයි රූප රාගය සකසා රූප භවය සකසන්නේ... භව තණ්හාව කියලත් කියනවා... ඒ මට්ටම් ඉක්මවා ගිහින් හොඳටම රැවටිච්ච ස්වභාවය තමයි කාම භවය හෙවත් කාම රාගය කියන්නේ... කාම තණ්හා කියලාත් කියනවා... මේ සෑම අරමුණක් පාසාම හැඟෙන දැනෙන කොටස නාම කොටසයි... ඒ හැඟෙන දැනෙන කොටසට අනුව මැවෙන රූපය රූප කොටසයි... තනිකරම මනෝ මූලිකවම සිදුවන සිද්ධියක්... ඉතාමත් කෙටියෙන් කිව්වේ... අපහැදැලි කොටස් නැවත නැවත විමර්ශණය කරන්න...

චතුර මධුෂාන් said...

Bohoma pahadili. Kalekin hari blog walata aye awa eka gana sathutui. Puluwannam oya hithana widiyata rupawachara dyana 4 ha arupawachara dyana 4 monawageda kiyala ketiyen hari msg ekak ho post ekak Danna
Uthunma dhanaya dhamma danaya. Obata kusal thawa thawath wadewi. Thankz

sudarshana said...

සාධු...! සාධු..! සාධු...! විදුරන්සි අගනා පැහැදිලි කිරීමක්