Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, December 18, 2009

අවිද්‍යාව


පටිච්ච සමුප්පාදයේ අංග 12 පිළිවෙලින් විස්තර කරගෙන යන මේ ලිපි පෙල ඔස්සේ පළමුවෙන් වඩාත්ම වැදගත් අංගය වන අවිද්‍යාව පිළිබදව මනා‍ අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කරමු.  
අවිද්‍යාව යනු කුමක්දැයි කියලා “දුක පිලිබද නොදැනීම - දුකට හේතුව නොදැනීම - දුක නිරෝධ කල හැකි බව නොදැනීම - දුක නිරෝධ කරන මාර්ගය නොදැනීම” ලෙසින් පටිච්ච සමුප්පාද විභංගය ආරම්භයේදීම “තත්ථ කතමා අවිජ්ජා? (අවිද්‍යාව යනු කුමක්ද?) - දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා” ලෙසින්‍ පෙන්වා දෙනවා. තව විදියකින් කියනවා නම් චතුරාර්ය සත්‍යය නොදැනීම තමයි අවිද්‍යාව කියලා මෙයින් පැහැදිලි වෙනවා.  මෙයයි මෙහි අර්ථය කියලා කිව්වත් අපට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 

අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම දැනගෙන තියෙන්නේ ඕනෙ. ලෝක සම්මත විද්‍යාවක් තියෙනවා ආර්ය ධර්මය තුල විද්‍යාවක් තියෙනවා.  ලෝක සම්මතයේ විද්‍යාව කියන්නේ මොනවා හෝ මේ ලෞකික පැවැත්ම තුල භෞතික පැවැත්ම තුල ඇති දෙයක් ගැන යම් කිසි අවබෝධයක් ලබාගැනීමට ඒවා හැදෙන හැටි... ඒවායේ විපර්යාස... ඒවායෙන් ගන්න පුළුවන් ඵල ප්‍ර‍යෝජන ආදිය ගැන අත්දැකීම් මාලාවක් ලබාගෙන ඒ තුලින් ගොඩනගා ගන්න දෙයක් තමයි අද අප දකින නවීන විද්‍යාව.    ඒත් අප මහා සම්මා සම්බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන් විද්‍යාව එයට වඩාගැඹුරුයි.  ලෝකයේ යම් දෙයක් හටගත්තා නම් ඒ හටගත්ත දේ තුලින් මුලින්ම ‍අප ලෝකය බලාගන්න ඕනේ.   දුක දකින කොට කොහෙද දුක තියෙන්නේ කියලා දකින්න ‍ඕන. “ලෝකය දුකෙහි පිහිටලා තියෙනවා” ‍කියලා ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා.  හැමවිටම කියනවා වගේ තම තමන් විසින්ම තම තමන්ගේ නුවණින් විවෘතව විමසා බැලිය යුතුයි ධර්මාවබෝධය ලැබීමට නම්.  ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා නම් එදාට විද්‍යාව පහලවෙනවා.  අවිද්‍යාව දුරුවෙනවා.

ලෝකයා නොයෙක් සම්මත ‍ගොඩනගා ගන්නවා.  සියල්ලම සතුට සොයන්න කියලත් කියනවා.  තමන්ගේ සතුට වෙනුවෙන් කල හැකි උපරිමය කරන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ.  ඔබ මේ ලෝකය පසු පස හැල්මේ දුවන්නේ ලෝකය කුමක්ද කියාල හදුනගෙනද?  මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා ඔබට මොහොතකටවත් හිතුනාද? මුලින්ම ලෝකය කුමක්ද, එයට අඩංගුවෙලා තියෙන්නේ මොනවාද කියලා එහෙනම් අප විසින් අවබෝධ කරගත යුතුයි.  ස්කන්ධ ව‍ශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ආදී නොයෙක් ආකාර ලෙසට ලෝකය විස්තරය තිබුණත් මේ අවස්ථාවට ගැලපෙන පරිදි සරලවම ලෝකය පහදාගනිමු.  ඇස, කණ, දිව, නාසය, කය, මන ආදීයත් ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ටික හොදින් අවබෝධ කරගත්තා නම් මේ කියන ඒවා නොවන ලෝකයක් පෙන්වාදෙන්නට නැතිබව අවබෝධවෙනවා.  ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස, ‍ස්පර්ශ, ධර්ම තමයි නේද ලෝකය කියන්නේ?  හොදට හිතලා බලන්න දැන් ඔබේම මනසින් මෙයින් පිට ලෝකයක් යැයි කියලා පණවන්න දෙයක් තියෙනවාද කියලා? 

එහෙනම් මොකක්ද ඇත්ත? මොකක්ද බොරුව?
අපි ඇත්ත වහලා නැති දෙයක් මවලා පෙන්නලා විකෘතියක් සකස් කරනවා නම් අප ඒ විකෘතියට රැවටිලා තමයි ගමන්‍ කරන්නේ.  එතකොට අප විසින් ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ දෘෂ්ටියට අරගෙන ඉන්නේ බොරුවක් නේද?  මේ ආකාරයෙන් අප විසින් දැකිය යුතු දෙයක් තිබෙනවා.  ලෝකය දුකයි කියලා කිව්වට එකපාරමටම කිසිම කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ.  මොකද ආශ්වාදය කියන දෙය තුලින් මේ ලෝකය වැහිලා තියෙන නිසා.  පංච කාම ආශ්වාදය නැමැති ආශ්වාදය තුලින් මේ දුක ගෙනදෙනවායැයි කියන ඇස, කණ, දිව, නාසය, කය, මන ආදීයත් ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ටිකත් වැහිලා තියෙනවා.  ඒ නිසාම අප බැලූ බැල්මට මේ දේවල් වැහිලා තියෙන ආශ්වාදයට කොටුවෙලා දුකක් නැහැ කියලා තමයි අවබෝධ කරගෙන තියෙන්නේ.  අන්න ‍ඒ ගත්ත ආශ්වාද දෘෂ්ටිය තුලින් මෙන්න මේ ටික කරගසාගෙන පොදිගහගෙන ඒ පසුපසම හඹාගෙන යනවා.  ඒ නිසා තමයි කියන්නේ දුකක් පසුපස හඹාගෙන යනවා මායාවකට රැවටිලා කියලා.  මේ ඇත්ත අපට පේ‍න්නේ නැත්තේ අප හිතන්නේ නැති නිසායි... අපි විවෘතව හිතුවානම් මේ දේවල් ගැන අවබෝධ කරගන්න අපහසුවෙන්නේ නැහැ.  ඒකයි අප ඇත්ත කියලා බොරුවකට රැවටිලා කියලා කියන්නේ. 

එහෙනම් ඒ රැවටීමෙන් මිදෙන්න ඇත්ත ඇති හැටියට දැනගන්න අප විමසන්න ‍ඕනේ මේක මේ ‍දුකයි කියන්නේ ඇයි කියලා.  ඇස දුකයි කියනවා රූප දුකයි කියනවා... කණ දුකයි කියනවා ශබ්දය දුකයි කියනවා... දිව හා රස, නාසය හා ගන්ධයන්, කය හා ස්පර්ශ , මන සහ ධර්ම මේ සියල්ලම දුකයි කියනවා නම් එයට හේතුවක් තියෙන්න ඕනේමයිනේ ඒනිසා අප ඒ ගැන විමසා බැලිය යුතුයි නේද?

“යංපිච්ඡං න ලභති තම්පි දුක්ඛං - කැමති සේ කැමති යමක් ලැබෙන්නේ නැත්නම් එය දුකයි”
එතකොට මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස, ‍ස්පර්ශ, ධර්ම යන දේවල් ඔබට පුළුවන් ඔබ කැමති විදියට පවත්වන්න?  ඇස මේ ඇහැ අපි බලාපොරොත්තු වෙනව කැමති සේ පවත්වන්න. ප්‍රිය මනාප සේ පවත්වන්න. බෑ. අප්‍රිය අමනාප ඒව එනවට කැමති නෑ.  නමුත් කැමති සේ නෑ. අප්‍රිය අමනාප ඒව එනව. රූප, අපි කොච්චර කැමති උනත් පවත්තන්න බෑ.  අකමැති රූප එනව නමුත් කැමති නෑ. කැමති රූප  යනව ඒකට කැමතිත් නෑ.  නමුත් අපි කොච්චර කැමති නැති උනත් අකමැති ඒවා එනව කැමති ඒවා යනවා. තමන් “කැමති සේ නෑ” එහෙනම් ඉච්ච සේ නෑ. ඇහැ කැමති සේ නෑ, රූප  කැමති සේ නෑ, කන කැමති සේ නෑ, ශබ්ද කැමති සේ නෑ, නාසය කැමති සේ නෑ, ගන්ධ කැමති සේ නෑ, දිව කැමතිසේ නෑ, රසය කැමති සේ නෑ, කය කැමති සේ නෑ, ස්පර්ශ කැමති සේ නෑ, මන කැමති සේ නෑ, ධර්මයෝ කැමති සේ නෑ. ඔය ටිකම තමයි මුළු ලෝකෙම කිව්වෙත්. එහෙනම් මුලු ලෝකයම තමන්ට කැමති සේ නැහැනේද?

යමක් තමන්ට කැමති සේ නැතිවුණාම මොකද හිතෙන්නේ? දුක හිතෙනවා නේද? එහෙනම් තමන්ට කැමතිසේ කැමති දේවල් නොතිබීම නිසාත්... තමා අකමැති දේවල් අත්විදින්නට වෙන නිසාත් මේ ලෝකය අපට ඕන විදියට අපට කැමති විදියට නැහැ.  ඒ නිසාම අපට දුක එනවා.  කැමතිදේ කැමති විදියට නැති වීම තුලිනුත් දුක එනවා.  අකමැති දේවල් එනවට අකමැති වුණත් එවා ඒම නිසාත් දුක එනවා.  එත‍‍කොට වැඩිපුරම දුක ඇතිවෙන්නේ ‍මොකෙන්ද?  වැඩිපුරම දුකක් දැනෙන්නේ තමන් කැමති දෙයක් කැමති සේ නැතිවෙනකොට.  වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් මිය ගියාම නොදන්න කෙනෙක් මියගියාට වැඩිය දුකයි නේද?  එතකොට වැඩියෙන්ම ආදරය කරන කෙනෙකුට කරදරයක් ආවාම එතකොටත් දුකයි... වැඩියෙන්ම තරහ කෙනෙකුට කරදරයක් වුණාම සතුටුයි... ඒත් ඒ පුද්ගලයාට හැමදාම එහෙම නොවෙන එකට දුකයි... තමන් වයසට ගිහින් දිරාපත් වෙනකොට දුකයි... ඒත් වෙන තමන් අකමැති කෙනෙක් වයසට ගිහින් දිරාපත් වෙනකොට සතුටුයි... ඒත් තමන්ට වඩා ඉක්මනින් ඒ තරහා පුද්ගලයාට එහෙම නොවෙන එක ගැන දුකයි... මේ විදියට හැම තිස්සේම වැඩිපුර දුකක් එන්නේ අප වැඩියෙන්ම කැමති දෙයක් නිසා නේද?

ඉතින් මේ කැමතිදේ කැමති විදියට පවත්වගන්න නොහැකිවෙනකොට එයට කරදර, බාධක එනකොට ඒ වැනසීම් වලින් බේරගන්න ඒ දේවලට විරුද්ධව සටන් වදින්නට, හැපෙන්නට, තරග කරන්නට සිදුවෙනවා.  එලෙස කොපමණ ගැටුණත් ඒ ගැටීම තුලිනුත් ධර්මතාවය නැමැති ජරාවට පත්වීම, දුර්වල වීම, විනාශ වීම ආදී ඒවාට විරුද්ධව ඒවා රැකගන්න බැරිවෙනකොට අපට ඒකාන්තයෙන්ම දුකක් එනවා.  සහනයක් බලාපොරොත්තුවෙන් හිටියා ලැබෙන ආකාරයකින් රැවැට්ටුවා දුකකින් ‍කෙලවර වුණා මේ ටික තමයි සිද්ධවෙන්නේ කියලා විවෘත හිතා බැලුවොත් අවබෝධ වේවි! 


ප්‍රිය ජනක රූපයක් තියෙනවා බල බලම ඉන්න තියෙනවා නම් හොදයි කියලත් හිතෙනවා... ඒත් බැහැ ඒකට අවස්ථාව නැහැ... එතකොට දුකයි.  ප්‍රිය ජනක ශබ්දයක් තියෙනවා අහ අහම ඉන්න තියෙනවා නම් ඉන්න තියෙනවා නම් හොදයි කියලත් හිතෙනවා... ඒත් බැහැ ඒකට අවස්ථාව නැහැ... එතකොට දුකයි.  ප්‍රිය ජනක සුවදක් එනවා ඒ සුවද හැමතිස්සේම දැනෙනවා නම් නම් හොදයි කියලත් හිතෙනවා... ඒත් බැහැ ඒකට අවස්ථාව නැහැ... එතකොට දුකයි.  ප්‍රිය ජනක රසක් තියෙනවා ඒ රස විදිමින්ම ඉන්න තියෙනවා නම් හොදයි කියලත් හිතෙනවා... ඒත් බැහැ ඒකට අවස්ථාව නැහැ... එතකොට දුකයි. ප්‍රිය ජනක ස්පර්ශයක් දැනෙනවා එය හැමතිස්සේම දැනෙනවා නම් නම් හොදයි කියලත් හිතෙනවා... ඒත් බැහැ ඒකට අවස්ථාව නැහැ... එතකොට දුකයි. ප්‍රිය ජනක සිතුවිලි එනවා ඒවා හැමතිස්සේම සිතට නැගෙනවා නම් නම් හොදයි කියලත් හිතෙනවා... ඒත් බැහැ ඒකට අවස්ථාව නැහැ... එතකොට දුකයි.  මෙලෙස තමන්ට කැමති විදියට රූප, ශබ්ද, ගන්ධ,රස, ‍ස්පර්ශ, ධර්ම යන ලෝකය විදින්න අවස්ථාව නැතිවෙනකොට එයට විරුද්ධව ගැටෙනවා.  දුක් වෙනවා... කොච්චර අකමැති වුණත් මේ දුක එනඑක වලක්වගන්නත් බැහැනේ... ඉතින් අප ඇත්තටම අනාථයි කියලා හිතෙන්නේ නැත්ද?  අන්ත අසරණයො කිව්වත් හරියටම හරි.  ඇයි හැමතිස‍්සේම සැප වශයෙනුත් දුක වශයෙනුත් දෙකින්ම එන්නේ දුක නිසා ඒකට කරගන්න දේකුත් නැති නිසා අසරණ අනාථයෝ වෙලා!

ඉතින් ඉස්සර තිබුණ ‍ලෝකයත් වර්ථමාන ලෝකයත් අනාගතයේ ලෝකයත් ඔන්න ඔය කියන ස්වභාවයෙන් යුක්තයි.  ඒ කියන්නේ ඊයේ සිටියෙත් අද මේ ඉන්නේත් හෙට ඉන්න වෙන්නේත් එවැනිම වූ ලෝක ස්වභාවයක් තුල නම් දැනුත් මෙහි කැමති සේ පැවැත්විය හැකි දෙයක් නැති බව ඔප්පු වෙනවානම් එහිත් මම කියලා ගන්න මගේ කියලා ගන්න සුදුසු දෙයක් නැහැ නේද? මතු පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම් ඔය කියන ස්වභා‍වයෙන් පිට දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ නේද?  එහෙනම් මතු බලාපොරොත්තුවන දේ තුලත් කැමති සේ පැවැත්විය හැකි දෙයක් නොමැති ‍බවට දැන් වැටහෙනවාද?  එහෙනම් කැමති සේ නොපවතින දෙයක කැමති සේ පැවත්වන්නට යන උත්සාහයේදී අසහනයක් දුකක් ඇතිවෙන බව ඔබේ නුවණටම අ‍වබෝධ වෙනවා නේද? මේ පැවැත්මේ ඉන්නකම් අසහනයෙන් මිදෙන්නත් බැහැ දුකෙන් මිදෙන්නත් බැහැ කියලා දැන් අවබෝධ ‍වෙනවා නේද?  හිතන්න හිතන්න... සිතීම තුලින් මම යථාර්ථය අවබෝධ කරගෙන එයින් මිදෙන්න සාර්ථක ගමනක යෙදෙනවා... ඒ හිතීම ඔබටත් ඔ‍බේ ගැලවිල්ලට බේ‍රිල්ලට යොදාගන්න... ඔබට නිගමනයකට එන්න පුළුවන් වේවි මේ ලෝකය තුල ‍මම කියලා මගේ කියලා මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න තැනක් නැහැ කියලා.  ලෝකය කියලා මෙච්චර කල් බදාගෙන ඉදලා තියෙන්නේ මෙච්චර කල් හැල්මේ දුවලා තියෙන්නේ මොනවා පිටුපසද කියලා ඔබටම වැටහේවි!  සම්මතය තුල මිනිසුන් නොයෙක් මත දරමින් ලෝකය සුවයි හොදයි යහපතයි ඒකට මේ ‍මේ දේවල් කරන්න ඕනේ කියලා අදහස් දක්වමින් පොරකනවා.  ඒ ඇයි?  ටිකක් මෙන්න මේ ඇත්ත ‍හොයාගන්න උත්සාහ නොකරපු නිසා... ඒ ඇත්ත ‍හොයන්න උත්සාහ නොකලේ ඇයි?  ඒ අයට බලාපොරොත්තුවක් තියෙනවා කොහේ හරි මේ සැපය ඇති කියලා...

මුදල් නැති කෙනෙක් හිතනවා මුදල් තිබුණොත් සැපයි කියලා... රැකියාවක් නැති කෙනෙක් හිතනවා රැකියාවක් තිබු‍ණොත් සැපයි කියලා... විවාහයක් නැති කෙනෙක් හිතනවා විවාහයක් තිබුණොත් සැපයි කියලා... දරුවෝ නැති කෙනෙක් හිතනවා දරුවෝ හිටියොත් සැපයි කියලා... මේ විදියට නොයෙක් බලාපොරොත්තු ගොඩගහගෙන ඒ පස්සේ ඒවා ලබාගන්න දුවනවා... ඒවා ලබාගන්න කොච්චර වෙහස මහන්සිවෙනවාද? කොච්චර දුක්විදිනවාද? කියලා පේන්නේ නැහැ... අමාරුවෙන් ඒවා ලබාගත්තත් තවත් අඩුවක් සැනසීමක් නැහැ කියලා දකිනවා... ඊටපස්සේ ඒ අඩුව ‍පුරවගන්න නැවතත් අර විදියටම කටයුතු කරනවා... මේ වගේ නැති සැනසීමක් හොයනවා මේ පැවැත්ම තුල... ඒ හෙවීම ඔස්සේ නොනවතින ගමනක යෙදෙනවා... නැවත නැවත නැවත එකම දෙයම කරමින් නොනවතින ගමනක යෙදෙනවා... අපිවත් දන්නේ නැහැ කවද්ද මැ‍රුණේ... කවද්ද ඉපදුනේ කියලා... සසර ගමන කෙ‍ලවරක් නැතිව දිගින් දිගටම යනවා...!!!

බුදු පියාණන් දේශනා කරනවා අබ ඇටයක් තරම්වත් ලෝකය තුල සහනදායී දෙයක් තියෙනවා නම් ලෝකයේ තථාගතයන්‍වහන්සේ නමක් පහළ වීමට හේතුවක් නැහැ කියලා.  ඒ විතරක් නෙවේ උන්වහන්සේ නිවන සැපයි කියලා නිවෙන මාර්ගයක් පෙන්න‍න්නේනැහැ කියලා.  මේ ලෝකේ කොතනක හරි සැපයක් තියෙනවා නම් නිවන වෙනුවට ඒ තැන අනුමත කරනවා කියලා පෙන්වනවා.  උන්වහන්සේ දේශනා කලා නිවනම සැපයි නිවනම ප්‍රණීතයි නිවනින් මෙපිට මේ ලෝ සත්වයාට සුවයක් මම නොදකිමි එනිසා එයම අනුමත කරමි කියලා.  ඉතින් මේ ගැන ‍හිතන්න පොඩ්ඩක් කාලය වෙන් කරන්නේ නැතිව ලෝකය පස්සේ නැති සුවයක් හොයමින් පැවැත්ම ගෙනියනවා.  ඒක හරියට ග නැති බලු බෙටි හොයනවා වගේ වැඩක්! හම්බවෙයිද?  පිළිතුර ඔබ ලගම තමයි.   

අපේ මුලාව නිසාම සහනදායීත්වයක් ලෝකය තුල‍ සොයනවා මිසක් ඒකෙන්ම අසහනයට පත්වෙනවා මිසක් ‍වෙන කාටවත් වැරදි පටවන්න බැහැ.  මානසික අසහනයට පළවෙනි කාරණය ඔබට හමුවුණා නේද? ඔය ක්‍රියාවලියට අහුවෙලා අපේ බලාපොරොත්තු ටික ඉෂ්ඨ කරගන්නට හදනකොට එයින් දහයෙන් එකකට තරම් වත් හම්බ‍කරන දේ මදි.  එතකොට දහයෙන් නවයක්ම අපි අසහනයේ.  සල්ලි මදිනේ... හම්බ කරපුවා මදිනේ... කී දෙනෙක් හම්බ කලත් මේකාලේ ජීවත් වෙන්න බැහැනේ...ඕවා තමයි නිතරම අහන්න දකින්න තියෙන්නේ... අසහනය වැඩිවෙනකොට මත්පැන් වලින් සහනය ‍හොයන්න යනවා.  පියවි සිහියෙන් ඉදලා හොයාගන්න බැරි සහනය වෙරි වෙලා මත්වෙලා ලැබෙයිද?  විවාහයෙන් අසහනයක් නම් බිරිද හරි සැමියා හරි හොද නැති නිසා කියලා හොද ගෑණියෙක් හොද පිරිමියෙක් හොයනවා... ලැබෙයිද?  මේ විදියට නැති සහනයක් පසු පස අසහනයෙන් ගමන් කරනවා.  ලෝකය තුල මෙසේ සහනය පතා හඹා යන කරුණු 6ක් තියෙනවා. එයින් 5ක් මූලික වෙලා 6 වන කරුණ හටගන්නවා. මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ යන 5 මූලික වෙලා 6වන කරුණ වන මන වඩන ධර්ම හිතේ බැසගෙන මානසික අවුලක් ඇති කරනවා.  

මේ අවබෝධයත් එක්ක ලැබෙනවා අප විසින් දිගින් දිගටම ගිනිදෙන දෙයක් ආශාවෙන් පොදිබැදගන්න හදනවා කියලා.  ‍ඉහත පෙන්නවලා දුන්න ධර්මය අවබෝධ වුණානම් අප විසින් පැවැත්විය නොහැකි දෙයක් පවත්වන්න හදන නිෂ්ඵල කාර්යයක නිරතවෙලා ඉන්නවා කියලා අපටම අවබෝධ වෙනවා. 
ඒ අවබෝධය ලැබූ විට ඇත්ත ඇති ආකාරයෙන් දැක ගැනීමේ මූල ධර්මය අවබෝධ කරගත්තා වෙනවා.  එතකොට මෙපමණ කාලයක් විද්‍යාවක් කියලා අවිද්‍යාව වැඩපිලිවෙලක් නේද කරගෙන ගියේ කියලා වැටහෙනවා.  එය තමන් විසින්ම දැක තමන් විසින්ම අවබෝධ කල යුතුයි කියලා කියන්නේත් මෙන්න මේ හේතුව උඩම තමයි.  තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඒත් ඒ චක්‍රය පමණයි කියලා දෙන්න පුළුවන් අවබෝධ කරවන්න බැහැ.  ධර්ම චක්‍රය කියන්නේත් ඒකයි.  චක්‍රානුසාරයෙන් ගණන සාදාගන්න අප දැනගත යුතුයි.  ඒ වගේම ධර්මය නැමැති අවබෝධය ලබන්න අවශ්‍ය ක්‍රම රටාව මතුකරගන්න අප දැනගත යුතුයි.  මේ විදියට නියම අවබෝධය ලැබුණ විට අපටම වැටහෙනවා අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. 

එපමණක් නොවේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස, ‍ස්පර්ශ, ධර්ම යන දේවලට ආශා කරමින් ඇසුරු කරමින් ඒ ඒ ආශ්වාදයන්ගෙන් මත්ව කටයුතු කරන අනිත් ලෝ සතුන් සමගද පොදු ඇසුර ‍බලාපොරොත්තුව නිසා ගොඩ නැගුන සම්බන්ධීකරණ ලෝක ස්වභාවයෝද නිකම්ම පහළ වූවා නොවේ.  ඒවා වටිනා දේ ලෙස, ආශ්වාද වස්තු ලෙස බදාගෙන ඇලී ගැලී මතු මතුත් පවත්වන් අවිද්‍යා වැඩ පිළිවෙල නිසා ගොඩනැගෙන ශක්තිය මත පහල ‍වන දේ බව තේරුම් ගත යුතුය.  මෙබදු අවිද්‍යා වැඩ පිළිවෙලක් මත ගොඩ නැගුන ලෝකයක ජීවත් වන නිසයි එකිනෙකාගේ සහාය සම්බන්ධතාවය නැතිව ජීවත්වන්නට නොහැකි පරිසරයක් අපට ගොඩනැගී ඇත්තේ. මේ දේවල් නුවණින් අවබෝධ කරගත යුතුයි.  අවිද්‍යා වැඩපිලිවෙල අනන්ත සසරේ පටන් මේ දක්වාත්, මින් මතුවටත්, ස්ථිර සැප කිසිම ලෝක ධර්මතාවයක් ගොඩනගා නැති බවත්, දැන් ගොඩ නගමින්ද නැති බවත්, මතු ගොඩනගන්නේත් නැති බවත් එසේ වීමට හේතු සාධක නොමැති බවත් වටහා ගත යුතුයි.  ගොඩනගන සියල්ලම විපරිණාමයට පත්වෙලා වැනසිලා යනවා.  කොතෙක් ආශා කලත්, කොතෙක් වටිනවා කිව්වාත් කොතෙක් රැක ගන්නට හැදුවත් සියලු ලෝක සත්වයන්ට තමන් කැමතිසේ කිසිවක් නොපවතින බව අවබෝධ කරගත යුතුයි.
බහුතරයක් ලෝක සත්වයන් පරාජිතව මහා අසහනකාරීතත්වයන්ගෙන් දැවෙද්දී දහසකට, ලක්ෂයකට එකක් මට ජය ලැබුණයි උදම් අනන හැටි දැක තිබෙනවා‍ නේද?  ඒ ජය ඒ පුද්ගලයන්ට ඒකාන්තයෙන්ම පරාජය දී ගෙවී යන හැටිත් දැක තිබෙනවා නේද?  තරගකාරී ලෝක රග මඩලේ ලෝක පොර පිටියේ ‍කරන මේ නිස්සාර සෙල්ලම සාරත්වයෙන් හිස්වූ  අවිද්‍යාවේම නිගමනයෝ බව වටහාගැනීම සුදුසුයි නොවේද? 
හටගත් ජීවිතය යම් දිනක මරණයෙන් කෙළවර වනු ඇත.  සැමටම එම විපාක දුක්ඛයට මුහුණ දෙන්නට සිදුවෙනු ඇත.  උපේක්ෂාවෙන් ඒවා විද දරාගත යුතුයි.  එහෙත් ඔබත් මමත් විදින දුක් කන්දරාවෙන් 99%ක්ම මේ විපාක දුක් කන්දට අයත් නැති ‍අවිද්‍යාව මුලාව නිසා ගොඩනගා ගත් දුක් කදක් බව මොහොතකටවත් සිතුවාද? අපමණ වෙහෙස වෙමින් විදින්නේ මොනවාද? අසහනයක්!! 


අමතරව පටලවාගෙන විදින මේ දුකෙන් නිදහස් වෙන්න මේ ජීවිත කාලයේදීම පුළුවන්.  එනම් සියලු ලෝක ස්වභාවයන්ට ඇති අවිද්‍යා සහගත මුලා සහගත ඇල්මේ යම් අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක්, හෙවත් නිරෝධයක් වේද, එම නිරෝධයට පත්වීමෙන් ඒ දුක් අසහනයෙන් මිදීමට හැකියි.  එවිටයි ඒ දුක මතු හටගැනීමට හේතුවන සියලු හේතු දුරුවන්නේ.  නාථත්වය එන්නේ.  ලෝකයට ඇති මුලා සහගත ආශාව, බැදීම නිරෝධ කිරීම නම්වූ නිරෝධය තේරුම් ගෙන නිරෝධය නාථයි නැත්නම් සුදුසුයි ලෙස දැකිය යුතුයි.    

මෙපමණ කාලයක් සැපයි සැපයි කියලා හිතාගෙන හිටිය සාරවත් දේ ලෙස සිතාගෙන හිටිය දේවල නියම ස්වභාවය විනිවිද දකින දහම් නුවණක් නොතිබූ නිසා.  විද බලන්නට හැකියාවක් නැති නිසා අවිදු හෙවත් අවිද්‍යා යැයි කියනවා. 
  
මෙන්න මේ දුක වහලා පෙන්වපු මායා මර උගුල දුටු දිනයට “දුක පිලිබද නොදැනීම හෙවත් දුක්ඛේ අඤ්ඤාණං” යන්න නැතිවී ගොස් “දුක පිලිබද දැනීමේ හෙවත් දුක්ඛේ ඤාණං” කියන ඥානය පහලවෙනවා.

එබදු මායා දර්ශන පසු පස හඹා යෑම දුක ඇති කරනවා කියලා දැක්ක දවසට “දුකට හේතුව නොදැනීම / දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං” නැතිවී ගොස් “දුකට හේතුව දැනීම / දුක්ඛ සමුදයෙ ඤාණං” කියන ඥානය පහලවෙනවා.

එලෙස හඹායෑම නතර කරලා ඒ දේවල් අත්හැරී මිදී නොඇලී ගිය දිනයට දුක නැතිවෙනවා කියලා දැක්ක දිනයට “දුක නිරෝධ කල හැකි බව නොදැනීම / දුක්ඛ නිරෝධ අඤ්ඤාණං” නැතිවී ගොස් “දුක නිරෝධ කල හැකි බව දැනීම / දුක්ඛ නිරෝධ ඤාණං”නැමැති ඥානය පහලවෙනවා. 

එහෙනම් එයට ඇති මාර්ගය ඇත්ත ඇති ආකාරයෙන් දැකලා මෙතෙක් රැගෙන සිටිනො‍යෙක් දෘෂ්ටි වාද වලින් එක් එක් අය කියන දේ විශ්වාස කරගෙන සිටීම නොවේ තම තමන් විසින්ම තමන්ගේ නුවණින් මේ දේවල් අවබෝධ කරගෙන ඇත්ත ඇති ආකාරයෙන් තම නුවණින් අවබෝධ කරගැනීම තුලින් සුදුසුම මාර්ගයේ ගමන් කිරීම තමයි සුදුසුම කියලා දැක්ක දවසට “දුක නිරෝධ කරන මාර්ගය නොදැනීම / දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං”  නැතිවී ගොස් “දුක නිරෝධ කරන මාර්ගය දැනීම / දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං” ඥානය පහලවෙනවා.


එහෙනම්, “දුක පිලිබද දැනීම - දුකට හේතුව දැනීම - දුක නිරෝධ කල හැකි බව දැනීම - දුක නිරෝධ කරන මාර්ගය දැනීම” තමයි විද්යාව කියන්නේ නැත්නම් සම්මා දිට්ඨි හෙවත් නිවැරදි දැකීම කියලා කියන්නේ. 

එලෙස සම්මා දිට්ඨිය ලැබීමට මේ ආකාරයෙන් ලෝකය අනිච්ච හෙවත් කැමති සේ නොපවතී යන්නත්, දුක්ඛ හෙවත් කැමතිසේ නොපැවතීම නිසා දුකවෙනවා යන්නත් යමක් අනිච්ච නම් දුක්ඛ නම් එය “අසාරට්ඨේන අනත්ථා” හෙවත් අනත්ථයි නැත්නම් සාරත්වයැයි ගන්න දෙයක් නැහැ කියලා කියන දේවල් අවබෝධ කරගත යුතුමයි.  එහෙනම් ධර්මය අවබෝධ කරගැනීමට නොයෙක් පොත්පත් ඇසුරු කරමින් පදවැල් පමණක් කටපාඩම් කරගෙන සිටිමින් ධර්මය දන්නවා යැයි කියමින් සිටීම නොවේ වැදගත් මෙන්න මේ කියන මේ ලෝකයේ ස්වභාවය මනාලෙස තම තමන්ගේ නුවණින් විමසා “ඇත්ත / පරම සත්‍යය” වටහාගැනීමට උත්සාහ කලයුතුයි. 

එලෙසින් ඔබ‍ට අවිද්යාව කියන දෙයින් මිදිලා විද්යා බවට පත්වෙන්න පුළුවන් වුණානම් “අවිජ්ජා පච්චයා සංඛාරා හෙවත් අවිද්යාව හේතුවෙන් සංඛාර හටගනී” කියන සංඛාර හටගැනීමට හේතුව නැතිවෙලා යනවා.  එතකොට තමයි “අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ” කියන තත්වයට පත්වෙනවා.

පෙර පටිච්ච සමුප්පාද විස්තරය තුල සදහන් වූ තවත් කරුණක් තමයි අවිද්‍යාව ‍නොයෙක් අයුරින් විස්තර කොට තිබෙනවා යන්න.  එයට හේතුව ‍අවිද්‍යාව යන්න හොදින් අවබෝධ කරගැනීම සැබවින්ම අවශ්‍යම කරුණක් නිසායි. 
  
අවිද්‍යාව යනු කුමක්දැයි කියලා “දුක පිලිබද නොදැනීම - දුකට හේතුව නොදැනීම - දුක නිරෝධ කල හැකි බව නොදැනීම - දුක නිරෝධ කරන මාර්ගය නොදැනීම” ලෙසින් පටිච්ච සමුප්පාද විභංගය ආරම්භයේදීම “තත්ථ කතමා අවිජ්ජා? (අවිද්‍යාව යනු කුමක්ද?) - දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා” ලෙසින්‍ පෙන්වා දෙන ආකාරයත් එහි විස්තරතයත් මේ වන තෙක් ඔබ විසින් කියවා අවබෝධ කරගන්නට උත්සාහගත් කොටසයි.

“තත්ව කථමා අවිජ්ජා? (අවිද්‍යාව යනු කුමක්ද?) - යං අඤ්ඤාණං, අදස්සනං, අනබිසමයෝ, අනනුබෝධෝ, අසම්බෝ‍ධෝ, අප්පටිවේදෝ, අසංගාහ‍නෝ, අපරියෝගාහ‍ණෝ, අසම පෙක්ඛනා, අපච්චක කම්මං, දුම්මේජ්ජං, බාල්‍යයං, අසම්පජඤ්ඤං, මෝහෝ, පමෝහෝ, සම්මෝහෝ, අවිජ්ජා, අවිජ්ජා ඕඝෝ, අවිජ්ජා යෝගෝ, අවිජ්ජා අනුසයෝ, අවිජ්ජා පරියුට්ඨානං, අවිජ්ජා ලංගී, මෝහෝ අකුසල මූලං, අයං වුච්චති අවිජ්ජා” කාරණා 23ක් අවිද්යාව යනු කුමක්ද කියලා පහදා දෙන්න ධර්මයේ විස්තර කර දීලා තියෙනවා. 

අවිද්‍යාව කොටස් 23කින් යුක්ත වන බව මෙයින් හොදින්ම පැහැදිලි වෙනවා.  ඔබත් මමත් මෙතෙක් අසා තිබූ ‍අවිද්‍යාව නම් මෝහයයි යන්න මෙහිදී මෝහය යනු අවිද්‍යාවේ එක් අවස්ථාවක් පමණයි කියලා ඔබටම දකින්නට පුළුවන්.  

 “යං අඤ්ඤාණං” ලෙසින් පෙන්වා දෙනවා ඉහත විස්තර කල  “දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං” යන චතුරාර්ය සත්‍ය ගැන ඥානය නොමැති අවස්ථාවක් ලෙසින් සියල්ලන්ම මේ අවස්ථාව තුලින් පෙන්වා දෙනවා. එයත් අවිද්‍යාවයි.  මේ අඤ්ඤාණං කියන තත්වයෙන් මිදෙන්න ඒ ඒ ඤාණ 4 ලැබී සම්මා ඥානයෙන් සම්මා විමුක්තියට පත් වූ විට සම්මා ඤාණයෙන් සම්පූර්ණ වෙනවා.  එදාට තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන් නැතිවෙන්නේ.  එතෙක් අවිද්‍යාව තිබෙනවා.  රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ඡ, අවිද්‍යා ලෙසින් අවසන් අරිහත් ඵලය ලබන විට අවිද්‍යාව ලෙසින් කොටසක් ඉවත් වෙන බව පෙන්වා දුන්නේ.  මේ අවිද්‍යාව‍ ලෙසින් පෙන්වා දුන්නේ මෝහය කියන අවිද්‍යාව නොවේ.  ඒ මෝහය කියන සතර අපා ගත වන අවිද්‍යා කොටස සෝවාන් ඵලයත් සමගම නැතිවෙලා යනවා.  ඉන් පස්සේ කාම ලෝකයේ පැවැත්මට හේතුවන අවිද්‍යා කොටස් තමයි ඉතිරි වෙලා තියෙන්නේ.  අනාගාමී වන විට කාම ලෝකයේ ඉපදෙන්න හේතුවන අවිද්‍යාවත් ඉවර වෙනවා.  එහෙත් රූපාවචර අරූපාවචර ලෝකවල ඉපදෙන්න තියෙන අවිද්‍යාව තවත් ඉතිරියි.  අන්න ඒ කොටස තමයි අරිහත් ඵලයත් සමග අවසන් වෙන්නේ.   
“අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධෝ...”  කියන අවස්ථාවන්ට පත්වෙන්නේ මෙන්න මේ අරිහත් ඵලයත් සමග සිදුවන නිරෝධය ඔස්සේයි. 

යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය පිළිබද අවබෝධයක් නැතිකම පවක් නෙවේ!  එය නොදැනීමේ ඵලය තමයි කොතනක හෝ පැවැත්මකට මුලවෙන එක.  බඹ ලොව යන්නත් දෙව් ලොව යන්නත් අපායගාමී වෙන්නත් යන මේ මොනම ආකාරයක සසර පැවැත්මකට හේතුවක් හටගන්නවා නම් හටගන්නේ මෙන්න මේ කියන චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නිසායි.  ‍ලෝකයේ මොනයම් තැනක හරි හිත අලවගන්න හිතෙන‍්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නිසා පැවැත්ම සාරත්වයෙන් ගත්ත දෘෂ්ටිය නිසා.  මෙන්න මේ දෘෂ්ටිය කියන එක ලෝභය නෙවේ!  එය දෘෂ්ටියක් පමණයි.  ඒ දෘෂ්ටියට මුල තමයි අවිද්‍යාව.  මෙන්න මේ අවස්ථාවම තමයි අවිද්‍යාව යනු “දුක පිලිබද නොදැනීම - දුකට හේතුව නොදැනීම - දුක නිරෝධ කල හැකි බව නොදැනීම - දුක නිරෝධ කරන මාර්ගය නොදැනීම”  ලෙසින් පෙන්වා දී තිබෙන්නේ කියලා ඔබට මේ අනුව පැහැදිලි වෙන්න ඇතියි සිතමි!

“අදස්සනං” කියන්නේ දර්ශනයක් නැහැ කියන එකටයි.  මේ අවස්ථාවට පත් වූ පුද්ගලයාට ඇත්ත පේනනේ නැහැ නැත්නම් විදර්ශනය නැහැ කියන එක තමයි මෙහිදී පෙන්වා දුන්නේ. එයත් අවිද්‍යාවේ ආකාරයක්. 

“අනබිසමයෝ” කියලා පෙන්වා දුන්නේ මේ තත්වයට පත් පුද්ගලයාට අභ්‍යන්තරයෙන් ධර්මය පිහිටන්නේ නැති තත්වයකට පත්වෙනවා කියන එකයි.  එයත් අවිද්‍යාවේ ලක්ෂණයක්.
 
“අනනුබෝධෝ” අනුබෝධයක් නැහැ කියන එකයි මෙයින් පෙන්වා දුන්නේ.  එයත් අවිද්‍යාවේ ලක්ෂණයක්.  මේ පෙන්වා දෙන්නේ පුද්ගලයෙක් අවිද්‍යාව වර්ධනය වීම තුලින් පත්වෙන්න පුළුවන් තත්වයන් ගැනයි.   

“අසම්බෝ‍ධෝ” සම්බෝධියක් නැහැ කියන එක තමයි මෙයින් පෙන්වා දුන්නේ. 

“අප්පටිවේදෝ” ප්‍රතිවේදයක් නැහැ කියන එකයි මෙයින් දැක්වූයේ.  එයින් පෙන්වන්නේ ධර්මය පිලිබදව විද්‍යා දැනුම. මේ තත්වයට පත්වෙන පුද්ගලයාට එයත් නැහැ කියන එකයි මෙයින් පෙන්වන්නේ.   

“අසංගාහ‍නෝ” බණක් ඇහුවත් හිතේ පිහිටන්නේත් නැති අවස්ථාව තමයි මේ පෙන්වාදුන්නේ.

“අපරියෝගාහ‍ණෝ” ධර්මය පිළිබදව ප්‍රයෝග සම්පත්තිය කියන තත්වයත් නැහැ කියන එක.

“අසම පෙක්ඛනා” ඒ සමයට පත්වෙන්නවත් නොහැකි අවස්ථාව.  දහම් සමයේ පිහිටන්න බැහැ කියන එක තමයි මේ පෙන්වා දුන්නේ. 

“අපච්චක කම්මං” ප්‍රත්‍යක්ෂ කිරීම කියන එකට කොහොමටවත් ලං වෙන්න බැහැ කියන එක තමයි මෙයින් පෙන්වා දුන්නේ. මේ තත්වයට පත් පුද්ගලයාට ආර්ය මාර්ගය කියන්නේ මොකක්ද කියලවත් වැටහෙන්නේ නැහැ.  බණ ඇහුණත් තේරෙන්නේ නැහැ.  අවිද්‍යාව තුලින් මේ තරමටම දුෂ්‍ය වෙලා. 

“දුම්මේජ්ජං” කලින් අවස්ථාවේ දූෂ්‍යය භාවයට පත්වෙන්න පටන්ගත්ත පුද්ගලයා ඔන්න දැන් විනාශ පැත්තට පත්වෙනවා.  හරියට දුම් කහටක් බැදිලා වගේ තමයි දැන්.  යහපත් චිත්ත ස්වභාවය ක්‍රමයෙන් අඩුවෙලා ගිහින් එයින් කහට ගැනෙමින් පාප පැත්තට ගමන් කරනවා.  දුම් තවත් විදියකින් හදුන්වනවා ධූමය කියලා. ඒ කියන්නේ ගසට.  ගහක මැලියම් එන හෙවත් දුම් මල කියලා අදහස ගත්තා නම් මෙය හොදින් වැටහෙනවා.  දුම් කහටක් වගේ කියලා කිව්වත් හරි. දුම් වල නැතිනම් ගස්වල තියෙන මල හෙවත් මැලියම් කියන ස්වභාවයට තමයි දුම්මේජ්ජ කියලා කියන්නේ. ඒ දුම්මල එන විට එය දිරාපත් වෙන්න ගන්නවා.  එහි නැගීසිටින්නට තියෙන සෘජු බව නැතිවෙලා යනවා.  ‍යමෙකුට අවංකයි කියලා කියන්න බැරිතැනට කහට ගැනෙන්න පත්වෙනවා නම් මල බැදෙනවා නම් දිරන්නට ගන්නවා නම් ඒ පුද්ගලයා එතැන් පටන්ගෙන දුම්මේජ්ජ තත්වයට පත්වෙලා තමයි ඉදිරියට යන්නේ. මෙතැන් සිට ඒ පුද්ගලයා කහට ගැනෙන්න පටන්ගන්නවා.  “ආගන්තුක උපකිලිට්ඨේන උපකිලිට්ඨං” කියන ආගන්තුක උපකිලිටි පටන්ගැනෙන්නේ මෙන්න මේ තත්වයේ සිටයි.  එතැන් පටන් තමයි අවිද්‍යාවේත් පහත් කොටස ආරම්භ වෙන්නේ. 

“බාල්‍යයං” මෙන්න “අන්ධෝ බාලෝ පෘතග්ජනෝ” කියලා පෙන්වපු පෘතග්ජන ගති ලක්ෂණය.  බාල බවට පත්වීම.  මෙහිදී ඔබට අවබෝධ විය යුතුයි පෘතග්ජන කියන තත්වය කෙතරම් පහත් තත්වයක්ද යන්න.  දැනටමත් යම් දුරකට හෝ ඇත්ත දැක ආර්ය මාර්ගයට පිවිස සිටින ඔබ ඔබවම පෘතග්ජනයෙක් ලෙස හදුන්වාගන්නවා නම් මින් පසු වරක් දෙවරක් නොව සිය වරක් හෝ සිතන්නේ නම් මැනවි.  පෘතග්ජනයා යනු ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැති, වීර්ය මාත්‍රයක්වත් නැති, සති මාත්‍රයක්වත් නැති, සමාධි මාත්‍රයක්වත් නැත, ප්‍රඥා මාත්‍රයක් වත් නැති පුද්ගලයෙක් වේ.  එසේනම් ඔබ පෘතග්ජනයා යැයි ඔබව හදුන්ගන්නේ නම් ඔබ බුදුන්, දහම්, සගුන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැති, දහම් කෙරෙහි සංවරය මාත්‍රයක්වත් නැති, ධර්මය පිලිබද චතුරාර්ය පිලිබදව දැනීම් මාත්‍රයක්වත් නැති, ඒ දැනීම් මාත්‍රය නිසා ලෝකය අත්හරිනවා කියන මාත්‍රයක්වත් සිද්ධ වුණේ නැති, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට ප්‍රඥා මාත්‍රයක්වත් නැති අයෙක් ලෙසින් හදුන්වා‍ගන්නේ නම් වඩාත් සුදුසුවේ. 

ඔබ ධර්මාවබෝධය සුළුවෙන් හෝ ලබා ඇති අයෙක් නම්... යහපත අයහපත වෙන් කර හදුනාගෙන යහපතෙහි නියැලෙන්නෙක් නම්... මලක් පුදා හෝ බුදු හිමියන්ට ‍ගරු කරන්න තරම් පෙළඹෙන අයෙක් නම්... වෙනත් ‍ආගමක හෝ වේවා වෙනත් ආගමක් අදහන්නෙක් හෝ වේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් භක්තියක් තියෙන අයෙක් නම් ඔබ පෘතග්ජනයා කියන අවස්ථාවෙන් බොහෝ ඉදිරියට පැමිණි ආර්ය ශ්‍රාවකයෙක් බව අමතක කරන්න එපා.  මෙතෙක් නොදැනුවත් කමින් හෝ තමන්ට පෘතග්ජනයා ලෙසින් හැදින්වීමක් දුන්නේ නම් අද පටන් දැනුවත් බවින් යුක්තව මේ අවස්ථාවන් අවබෝධ කරගෙන නිවැරදි වන්න.  ඔබ ආර්ය මාර්ගයට පිවිස අවසන්... ඔබ ඉක්මනින් හෝ ප්‍රමාද වී නිවන් අවබෝධය ලැබීමට තරම් වාසනාවන්ත වී ඇති ආර්ය පුද්ගලයෙක්.  ඔබ අන්ධ බාල පෘතග්ජනයෙක් නොවේ යන්න සිහි තබාගනිමින් ‍මාර්ගය නොපමාව පූර්ණය කරගන්න. 
  
“අසම්පජඤ්ඤං” මේ අවස්ථාව වන විට චක්ඛු සම්පජංඤ 4ම නැති අවස්ථාවක්.  එයට පත්වෙන්නත් බැහැ.  ඒ කියන්නේ සාත්තක සම්පජංඤ, සප්පාය සම්පජංඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජංඤ ආදී ලෙසින් තමන්ගේ වැඩකටයුතු නිවනට හෝ වේවා යහපතට හෝ වේවා හේතු වනවාද නැත්ද කියලාවත් සොයාගන්න තරම්වත් ශක්තියක්  නැතිවීම තමයි මේ අවස්ථාවේදී වෙන්නේ.  එයට ගෝචර කරගන්න බැහැ. 

“මෝහෝ” මෙන්න මුහා වුනා.  ඒ කියන්නේ මුව වැහිලා ගියා කියන එකටයි.  මේ වනවිට ‍විශාල ලෙසින් කහට ගැන්විලා.  අවිද්‍යාවේ චතුරාර්ය සත්‍යය අවබෝධ ‍නොවීම නිසා පටන්ගන්නා අවස්ථාවේ පටන් යමෙක් කහට ගැන්වීමට පත්වෙන ඉතාමත් පහත් තැනකට පත්වෙනවා නම් අන්න එවැනි අවස්ථාවක් තමයි මෝහය කියන්නේ.  එතකොට අවිද්‍යාව නම් මෝහය යැයි ලෙසින් පමණක් පෙන්වා දෙන්න බැහැ නේද?  පුද්ගලයෙක් මෝහය කියන අවස්ථාව වෙන විට පව් කරන තත්වයන්ට පත්වෙලායි සිටින්නේ කියලා ඔබටම තේරෙනවා නේද?

“පමෝහෝ” මෝහයම බලවත් වීම තමයි මෙයින් පෙන්වා දුන්නේ.

“සම්මෝහෝ” මෝහය සමගම බැදුනා කියලා තමයි ‍පැහැදිලි වෙන්නේ. 

“අවිජ්ජා” මෙන්න මේ අවස්ථාව ලෝක සම්මතයේ අවිජ්ජාව නම් මෝහයයි කියලා කියන විට මෙන්න මේ තැන පෙන්වන්න පුළුවන්.  අවිජ්ජාව කියන එක විස්තර කරගෙන එනවිට ලෝක සම්මතයට අනුවම අවිජ්ජා කියන අවස්ථාවකට පුද්ගලයා‍ පත්වෙන තැනක් එනවා.  අන්න ඒ අවස්ථාවට තමයි අවිජ්ජාව නම් මෝහයයි කියලා 
අවබෝධ කරගෙන තියෙන්නේ. 

“අවිජ්ජා ඕඝෝ” ඕඝය කියලා කියන‍්නේ පල් වෙන කහට ගැහෙන තැනකට.  ඕඝයට බැස්සා කියලා කියන්නේ එවැනි තැනකට බැසගත්තා කියන එකයි. 

“අවිජ්ජා යෝගෝ” එයටම යෝග වුණා.  ඒ කියන්නේ ඒ පල්වෙන තැනටම ඇලිලා ගැලිලා හිටියා කියන එකටයි. 

“අවිජ්ජා අනුසයෝ” අවිජ්ජාවේ පාප අනුසයෝ. මේ අනුශසයන් තමයි හැමවිටම නැවත නැවත නගා සිටින්නට පෙළඹෙන්නේ.  කිදා බැහැගන්න හේතුවන අවිද්‍යාව කිව්වත් හරි.    අනුව සයනය කරන නිසා අනුශය කියලා කියනවා.  ඒ කියන්නේ අනුකූලව පවතින්නේ එ‍හෙත් නිදාගෙන සිටින්නේ කියන එකයි.  ඕන වෙලාවට මතුවෙලා එනවා. 

“අවිජ්ජා පරියුට්ඨානං” මේ කියන්නේ නිදාගෙන සිටින ඒවාත් නැගී සිටිනවා කියන එකයි.  අවස්ථාවක් මතුවෙනකොටම අවිද්‍යාව නැගී සිටිනවා.  මේ අවිද්‍යාවේ බලවත් අවස්ථාවක්.  මෝහයම නැගී සිටිනවා මේ අවස්ථාවන් වන විට. 

“අවිජ්ජා ලංගී” නැගී සිටිය අවිද්‍යාවටම ලැගගෙන ඉන්නවා කියන එක තමයි මේ කිව්වේ. 

“මෝහෝ අකුසල මූලං” මෙන්න මෝහ චෛත්‍යසිකයට පත්වුණා.  ඒ කියන්නේ ක්‍රියාත්මක වන අවස්ථාවට පත්වුණා.  මෝහය කියන අකුසලය මුල්කරගත් අවස්ථාව.  මෝහය වැඩිලා ඇවිත් අකුසලයකට මුල්වෙන්න මෙන්න මේ තත්වයට එනකම් වැඩිලා පැමිණිය යුතුයි.  මෝහය අවිද්‍යාවයි කියන්න මෙන්න මේ තරම් අවස්ථාවකට එය 
වැඩිලා පත්විය යුතුයි. 

මේ පැහැදිලි කිරීම් තුලින් අපට වැටහෙනවා අවිද්‍යාව තුලම 
පාප නොවන කොටස් කොච්චර තියෙනවාද පාප කොටස් 
කොච්චර තියෙනවාද කියලා. 


ඔබට වැටහෙනවාද මෙච්චර කල් අප දැ‍නගෙන සිටිය මූලික පටිච්ච සමුප්පාදයෙන් පමණක් මේ දේවල් වල යථාර්ථය තේරුම් ගැනීමට අපහසු වී තිබුණ අයුරු?  අභිධර්ම පිඨකයේ පෙන්වන බෙදා දක්වමින් පැහැදිලි කර ඇති ‍පටිච්ච සමුප්පාදය කොතරම් සාර්ථක ලෙසින් අවබෝධයට හේතුවෙනවාද කියලා ඔබටම වැටහෙනවා නේද?  ගැඹුරුයි කියලා අමතක කරලා දැමිය යුතු ධර්ම කොටසක් නොවේ පටිච්ච සමුප්පාදය කියන්නේ.  එය අවබෝධ වෙනවා කියන්නේ ධර්මය අවබෝධ වෙනවා කියන එකයි.  ගණිත විශයට අදක්ෂ නම් ගණිතය අමතක කරදැම්මොත් ගණිතය හැමදාම බැරිවෙනවා.  
ඒත් කොහොම හරි මූලික සිද්ධාන්තයන් ඉගෙන ගත්තාට පස්සේ ඒ අවබෝධය තුලින් ගැලපෙන ගැටලු සියල්ලම නිරාකරණය කරගන්න ඒ සිද්ධාන්තය ප්‍රමාණවත් වෙනවා. 
  
අවිද්‍යාවට අදාලව තවත් විස්තර පැහැදිලි කර දෙනවා නම් අප විසින් අවබෝධ කරගත යුතුයි මේ ලෝකයේ එල්බගෙන එයට බැදීම අප්‍රමාදව ඉවත් කරගත හොත් අමෘත‍ හෙවත් අම ලැබෙනවා යන්න.  අම කියන්නේ නිවනට.  ප්‍රමාද වන විට ලෝකයට ඇලී‍සි‍ටීම නිසාම මේ අම නම් ශාන්තිය ක්ෂය වෙනවා.  කා + අම නැතිනම් කාම වෙන්නේ එවිටයි.  පංච කාමයන් ලෙසින් හදුන්වන්නේ ඒවා හටගන්නේ මෙන්න මේ ලෝකයට ඇලී සිටීම හේතුවූ නිසායි.  
මේ කාමයෝ ලොවන්නට ගිය විට ඒවාටම ඇලෙනවා.  ඒකට තමයි කියන්නේ ලෝ + අබ්භ හෙවත් ලෝභ කියලා.  
මේ පංච කාමයෝ ලබත්ම ‍යම් යම් දේවල එල්බ ගන්නේද ඒවා පහත් අදහස් ඇති අයගේ පොරයට හේතුවූ දේ වෙති.  එසේම කැඩී බිදී විනාශ වන දේවල්ය. කඩා බිද විනාශ කරන දේවල්ය.  කොතෙක් ආරක්ෂා කලත් සංවිධානයකර ආරක්ෂාව තරකරගෙන හිටියත් යම් විටෙක කැඩී බිදී විනාශවෙලා යනවාමයි!මේ දේවල් වලට මමය, මගේය යන ආධිපත්යය පතුරන්නට ගියහොත් ඉහත කී වැනසීම් වලින් එකකට ලකිවිය හැකි දේවල් නිසාම එයට විරුද්ධව ඒවා පවත්වා ගන්නට සටන් වදින්නට, හැපෙන්නට, තරග කරන්නට සිදුවෙනවා.  එලෙස ඒ ඒ ආශ්වාදයන් පසු පස හඹායෑම මගින් අපට දෙවැනි ඇසුරක් ලබාදෙනවා.  එනම් එවා පැවැත්වීමට විරුද්ධව එන බලවේග සමග සටන් කිරීමක්.  මේ දෙවැනි ඇසුරත් දුක, දාහය වෛරය, ‍ක්රෝධය ලබාදෙනවාමයි එනම් ඒ දෙවැනි ඇසුර - ද්වේශය යන ස්වභාවය ලෙසින් දැකිය හැකියි! 
මේ දේවල් ආශ්වාද ලෙසින් භාරගන්නේ නොදන්නාකම නිසාමයි.  ඒවා බොහෝම වටිනවා, ආශ්වාදනීයයි ලෙසින් නිගමනය කරනවා.  ආලයෙන් බැදෙනවා... විරුද්ධව සටන්කරනවා... ඒ කුමන විදියකට උපාය යෙදුවත් ඒවාට උරුම ධර්මතාවයට අනුව කැඩී බිදී විනාශ වී හෝ කඩා බිද විනාශ කල විට අඩනවා, වැළපෙනවා, ශෝක කරනවා, අසහනයෙන් පෙලෙනවා.  මෙන්න මේ ඇත්ත මුහා හෙවත් මුවා කරලා වහලා තියෙන මුලාවක බැදීමට කියනවා මෝහ කොටස කියලා. 
ධර්මයේ සදහන් වන්නේ මේ කාම ආශ්වාද පානය කරන හෙවත් බොන දේවල් ලෙසටයි.  ආශ්වාද තෘප්තිමත් කරගන්නට මේවා සුවය ගෙන නොදේ.  ඇසුරු කරන මොහොතක් මොහොතක් පාසා ඒ ආශ්වාද අවස්ථාව ගෙවිලා යනවා.  ඒත් යලි යලි හොයමින් ලොවනවා.  එතකොට ඉතුරුවන්නේ ක්ෂය වීම, කහට ගති ඇතිවීමකි.  එසේ ලොවන්නට ගොස් ක්ෂය වන කහට ගැන්වෙන බැවින් ලෝ + ක = ලෝක යන අර්ථය දෙනවා.  එබැවින් මේ ලෝක ඇසුර, කාම ඇසුර, ලෝභ ඇසුර නිසා දුක, අසහනය පිරී පවතී.  මෙසේ ලෝකයට, ලෝභයට, කාමයට අයත් වන පංච ඉන්ද්‍රියන් මෙන්ම මන යන අධ්‍යාත්මික ඉන්ද්‍රිය කොටසද අයත්වෙනවා යන්න ඔබට හොදින්ම මේ වන විටත් අවබෝධ වී ඇතියි සිතමි.  මේ ඉදුරන් 6 තුලින් ගන්නා අරමුණු අවිද්‍යාව නිසාම කහට ගැන්විලා මනස රාගය, ද්වේශය, මෝහය සහගත තත්වයන්ට පත්ව සියලු අසහනයන් ගොඩනැගෙනවා.  
මේ පංච කාමයන් වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර දේ සහ ඒවායේ බැදී සිතන සිතිවිලි සහ ගති බාහිර කොටසට අයත්වේ.  මේවා බොහෝ විට වටිනා මන වඩන ආශ්වාද ජනක දේ ලෙස ලෝ සතුන් තීරණය කරන්නේ, සාරවත් දේ ලෙස සිතන්නේ මේවායේ නියම ස්වභාවය විනිවිද දකින දහම් නුවණක් නැති බැවිනි.  විද බලන්නට හැකියාවක් නැති නිසා අවිදු හෙවත් අවිද්‍යා යැයි කියනවා.  
මෙහිදී “සං” කියන වචනය මනාව තේරුම් ගත යුතු වගේම මතකයේ අවබෝධයෙන් යුක්තව තබාගැනීම බොහෝ ධර්ම කරුණු හොදින් අවබෝධයට වැදගත්වේවි!  මේ කියන අවිද්යාව හේතු කොට ගෙන ඉහත කී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම - ඇස, කණ, නාසය, දිව, කය, මන මේ ‍ගොඩවල් හෙවත් සමූහ සමග එක්වීම “සං” යනුවෙන් නම් කරයි.  සරලවම සං යනු එකතුවීම යන අර්ථ දෙයි.  
ඉහත කී ‍‍ගොඩවල් සමග එකතුවීම සාරවත් හැටියට ගන්නේ ඒවායේ නිසි තතු අවබෝධ‍ නොවීම නොදැනුවත්කම හෙවත් අවිද්යාව නිසාමය.  එබැවින් අවිද්යාව නිසා ‍මේ ගොඩවල් කෙරෙහි බැදීම නම් වු “සං” නම් එකතුවක් කෙරෙහි සාර යන හැගීම ඇතිවේ.මේ අවිද්යාව තිබෙන තුරු ඇති වන දෘෂ්ටිය සංසාරයි යන අදහසයි.  අපි සංසාර ගමනක නියැල්ලෙන්නේ මෙන්න මේ එකතුව සාරයි කියන හැගීම තියෙන තාක් නේද කියලා ඔබට අවබෝධ වෙනවා නේද? 
එසේනම් තවදුරටත් පෙර පටිච්ච සමුප්පාද ලිපියේ කෙටියෙන් සදහන් කල අවිද්‍යාවෙන් වෙන් වෙන්වන පුණ්‍ය සහ පාප කොටස් වලට හේතුවන පටිච්ච සමුප්පාදය කෙසේද යන්න තව දුරටත් විමසා බලමු. අවිද්‍යාව යන්න කුමක්ද යන්න මේ වන විට හොදින් අවබෝධ වී ඇති ඔබට අවිද්‍යාව නිසා පින් සහ පව් වලට යොමුවන ආකාරය අවබෝධ කරගන්නට අපහසු නොවනු ඇත.  
චතුරාර්ය සත්‍ය නොවැටහීම නිසා නොයෙක් නොයෙක් අවස්ථාවන් ඔස්සේ කහට ගැන්වෙමින් කිලිටි වෙමින් අවිද්‍යාවේ මූලික අවස්ථාවේ පටන් දූෂිත අවස්ථාව වෙනතෙක් මිනිසෙකුට පත්විය හැකි ආකාරය දැනටමත් ඔබ දන්නනවා. 

අවිද්‍යා පච්චයා සංඛාරා (අවිද්‍යාව හේතුවෙන් සංඛාර වේ)  යන්න කොටස් 2කට බෙදා පෙන්වා ඇති බව අප මේ වන විටත් දන්නවා. 
කුසල මූල පච්චයා සංඛාරා (කුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) සහ 
අකුසල මූල පච්චයා සංඛාරා (අකුසය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)

කුසල මූල පච්චයා සංඛාරා (කුසල මූලයෙන් පටන් ගන්නා පටිච්ච සමුප්පාදය) යන්න ‍කොටස් 3කට බෙදා ඇති බවත් ඒවා 
අලෝභ පච්චයා සංඛාරා (අලෝභය මුල්වීම හේතුවෙන් සංඛාර වීම), අද්වේෂ පච්චයා සංඛාරා (අද්වේෂය මුල්වීම හේතුවෙන් සංඛාර වීම), අමෝහ පච්චයා සංඛාරා (අමෝහය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) යන්නත් දැනගත්තා. 

අලෝභ, අද්වේශ, ‍අමෝහය ලෙසින් කුසල කාරණා 3ක් මුල් කරගෙන ආර්ය මාර්ගය වැඩිය යුතු බව ඔබත් මමත් හොදින්ම දන්නවා.  ලෝභ, ද්වේශ, මෝහ සහගත වැඩපිලිවෙලකින් ආර්ය මාර්ගයවත් කුසල්වත් වැඩෙන්නේ නැහැනේ නේද?  ඉතින් අලෝභ, අද්වේශ, ‍අමෝහය ලෙසින් කුසලයට මුලක් සකස්කරගත් විට ආර්ය මාර්ගය වැඩීමට හෝ ලෞකික සුගතිගාමී පින් කොටසට යොමුවෙනවා.  මේ කරුණු 3ත් නැවතත් ලෞකික සුගතිගාමී පින් කොටස සහ ලෝකෝත්තර ආර්ය මාර්ගය ලෙසින් කොටස් 2කට බෙදා ඇති බවත් අප දැනගත්තා.

ලෞකික සුගතිගාමී පින් කොටස - මෙහි දී අලෝභ, අද්වේශ, ‍අමෝහයන් මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේදනා ‍පච්චයා පසාදෝ, පසාද පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසට ගොස් “ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” ලෙසින් අවිද්‍යාව හේතුවෙන් පටන්ගන්නා ‍පොදු පටිච්ච සමුප්පාදයේ පෙන්වා දෙන ලෙසින් “මෙසේ සියලු දුක් රැසක පහලවීම සිදුවේ” ලෙසින් අවසානය පෙන්වා දෙනවා. 

මෙහිදී වේදනා ‍පච්චයා තණ්හා යෙදෙන අවස්ථාව වෙනුවට වේදනා පච්චයා පසාදෝ කියන අවස්ථාව දකින්නට තියෙනවා.  ඒ කියන්නේ අලෝභ, අද්වේශ, අමෝහ සහගත කුසලයන් මුල් කරගත් විට වේදනාව ඔස්සේ තණ්හාවට නෙවේ ප්‍රසාදයටයි පත්වෙන්නේ කියන එකයි. අධිමොක්ඛ කියන්නේ මුදුන්පත් වීමට.  මුඛ්‍ය වීම නැතිනම් ප්‍රධාන වීම අදහස් දෙනවා.  පසාද පච්චයා අධිමොක්ඛෝ කියන්නේ ප්‍රසාදයම මුදුන්පත්වෙනවා කියන එකයි.  මුදුන් පත්වෙන ප්‍රසාදය තුලින් ප්‍රසාද බවක් ලැබිලා ඒ තුලින් ප්‍රසාද, පැහැපත් ජාතියක් පහලවෙනවා.   මෙන්න මේ පටිච්ච සමුප්පාදය තුලින් තමයි දෙවියන්, බඹුන්, මිනිසුන් යන ජාතීන් පහල වෙන්නේ.  භව පැවැත්මට හේතුවන නිසාම එය අවිද්‍යාවට සම්බන්ධ කරලා තමයි මේ පෙන්වා තියෙන්නේ.  මොකද යමෙක් කොතනක හෝ පැවැත්මකට හේතුවන දේවල් කරමින් යනවා කියන්නේ ඒ පුද්ගලයා මේ පැවැත්ම සාරයි කියන දෘෂ්ඨිය තුල ඉන්නවා කියන එකයි.  ඉතින් පැවැත්ම සාරයි කියන දෘෂ්ඨිය ඇතිවන්නේ මේ අවිද්‍යාව නිසා.  ඇත්ත නොදැකපු නිසානේ.  ඒ නිසා තමයි අලෝභ, අද්වේශ, අමෝහ සහගත වූ කුසල් ‍මුල්වීම හේතුවෙන් ප්‍රසාද ජාතියක් නැතිනම් යහපත් ජාතියක් පහල වෙන්න හේතු යෙදෙන්නේ.   මෙහිදී මෝහය ලෙසින් ගත නොහැක්කේ මෝහය කියන තත්වයට බලවත් නොවී අනුශය ලෙසින් පැවතීම නිසායි.  අනුශය සහ පරියුට්ඨාන ලෙසින් දෙකක් තියෙනවා. 

අලෝභ, අද්වේශ, අමෝහ සිතක් පහල වන විට ලෝභ, ද්වේශ, මෝහ කියන්නේ එහි අනුශයයි.  නැතිනම් ලෝභ, ද්වේශ, මෝහ නැගිලා නැති අවස්ථාව.  එවිට ඒ නැගී නැති ලෝභ, ද්වේශ, මෝහයන් චෛතසික ලෙසින් ගනන් ගැනෙන්නේ නැහැ.  චෛතසික කියලා කියන්නේ සිත තුල ක්‍රියාත්මක වන කොටස් වලට.  ක්‍රියාත්මක කරන්නට නම් නැගී සිටින්නට ඕනේනේ.  නැගී සිටිනවා කියන්නේ පරියුට්ඨාන කියන එක.  නිදාගෙන ඉන්න නැත්නම් අනුශය කියන අවස්ථාවේ ඉන්න කෙනෙක් ක්‍රියාත්මක  පිරිසට අයත් නොවෙන්නේ ‍ඒ ලෙසටයි. 
අලෝභ, අද්වේශ, අමෝහ නැගෙන විට ලෝභ, ද්වේශ, මෝහ නිදාගන්නවා.... ලෝභ, ද්වේශ, මෝහ නැගෙන විට අලෝභ, අද්වේශ, අමෝහ නිදාගන්නවා.  මෙන්න මේ නිදාගන්න එක නැති කරන එක තමයි ආර්ය මාර්ගයෙන් කරන්නේ.  සමුච්ඡේද ප්‍රහාණය කියලා, අනුශය නසනවා කියලා ආදී ලෙසින් තමයි එය හදුන්වන්නේ.  අනුශය නැත්නම් නිදාගෙන ඉන්න අයව නැතිකරන තෙක් සැමදෙනාගේම සිත්වල අලෝභ, අද්වේශ, අමෝහ නැගෙන විට ලෝභ, ද්වේශ, මෝහ නිදාගන්නවා.  ආර්යන්ගේ සිත්වල මේ ලෝභ, ද්වේශ, මෝහ සහ අලෝභ, අද්වේශ, අමෝහ සමුච්ඡේද ප්‍රහාණය වෙනවා.  ඒ කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ විතරක් නෙවේ ක්‍රමයෙන් අලෝභ, අද්වේශ, අමෝහ යන අවස්ථාවනුත් සිටින්නේ නැතිව නැතිවෙලා යනවා.  ලෝභක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය වීම වි‍ශේෂයක්.  ලෝභක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය කියන්නේ අලෝභ, අද්වේශ, අමෝහ නෙවේ. ලෝභක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය කරන්න පුළුවන් වෙන්නේ මේ ආර්ය මාර්ගයෙන් පමණමයි! 
ලෞකික සුගතිගාමී පිනක් කරන කොට අලෝභ, අද්වේශ, අ‍මෝහ මතුවෙනවා... නැත්නම් ක්‍රියාත්මක වෙනවා.  ඒත් ලෝභ, ද්වේශ, මෝහ කියන අවස්ථාවන් නිදි.  පවක් කරන විට  ලෝභ, ද්වේශ, මෝහ කියන අවස්ථාවන් මතුවෙනවා... නැත්නම් ක්‍රියාත්මක වෙනවා අලෝභ, අද්වේශ, අ‍මෝහ අවස්ථාවන් නිදි.  
ආර්ය මාර්ගයදී අලෝභ, අද්වේශ, ‍අමෝහයන් මෙන්ම ‍ලෝභ, ද්වේශ, මෝහයනුත් ක්ෂය වෙමින් යනවා කිසිවෙකුට නිදාගන්න දෙන්නේ නැහැ.  එය තමයි විශේෂත්වය.  ඉතින් මේ ආර්ය මාර්ගයේදී “ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” නැතිනම් “මෙසේ සියලු දුක් රැසක පහලවීම සිදුවේ” ලෙසින් නොමැතිව “ඒ‍ව මේතස්ස කේවලස්ස ධම්මානං සමුදයෝ හෝති” නොහොත් “මෙසේ ධර්මයන්ගේ පහල වීම සිදුවේ” ලෙසින් අවසන් වන බව දැනගත්තා නේද? එය දුක් කරදර රැසක පහලවීමට අයත් වුනේ නැහැ.  ආර්ය ජාතීන් 4ක් තියෙනවා කියලත් කිව්වා.  එනම් භික්ෂු ජාතිය, භික්ෂුණී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය යන ජාති 4යි.  මේ කිව්වේ මව් කුසකින් උපදින මස් ලේ කයක් සහිතව බිහිවෙන ජාති 4ක් නෙවේ.  ආර්ය ජාතිය කියලා කියන්නේ මේ ශාසනය තුල ශාසන දහම තුලින් නැගිලා උපත ලද සිව් පිරිසටයි.  මේ මෙලොවම උපදින ජාති 4ක් නැත්නම් අපට පටිච්ච සමුප්පාදය සිද්ධාන්තය ඉක්මනින්ම ‍යෙදී ඵල ලබාදුන්න අවස්ථාවක් හොදින්ම දකින්නට ලැබෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව.  
මෙහිදී මේ 4 නාමයන් පමණක් නොවේද කියලා ඔබට සිතෙන්නටත් පුළුවන්.  එයත් පැහැදිලි කර දෙනවා නම් පටිච්ච සමුප්පන්නව රූපයක් හටගත් විට එය හදුනගන්න අප නොයෙක් නාමයන් භාවිතා කරනවා.  ඒ වගේ තමයි මේ කියන භික්ෂු ජාතිය, භික්ෂුණී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතියට අදාල රූපයන්, ගති ස්වභාවයන් දකින්නට පුළුවන්.  ඒ නිසාම තමයි ඒ අයව හදුන්වන්න මේ නාමයන් යොදාගත්තේත්.  මෙම ජාති 4ට පත්වීමෙන් තොරව දුකත් දුකට හේතුවත් මේ ජීවිතයේදීම බිද හරින්නට වුවමනා කරන පසුතලය සෑදීමට නොහැකියි කියලා ඔබත් මමත් දන්නවා.  මේ ජාති 4ට පත්වීමට ඒ ඒ වේශයෙන් ‍වෙස්ගෙන සිටියාට නොහැකියි.  ඒ සදහා පත්වීමට මේ පටිච්ච සමුප්පාද ධර්මය න්‍යායට අනුව බෞද්ධ සිව් පිරිස පහළ කරන කුසලය මුල් කරගෙන ආරම්භ වන පටිච්ච සමුප්පාදය තුලින්.  
මේ කරුණු පිලිබදව පැහැදිලි අවබෝධයක් ඔබට ඉදිරි ලිපි පෙල තුලින් ලැබෙන අව‍බෝධයත් සමග ලැබේවි.  
අකුසලයත් කරුණු 3කින් යුක්ත බවත් ඒවා ලෝභ, ද්වේශ, මෝහ සහගත වැඩපිලිවෙලක් බවත් අකුසලය මුල් කරගෙන සංඛාර වැඩෙන්නේ දුගතියට බවත්
එයින් සංඛාර හටගන්නා ආකාරයත් කෙටියෙන් පෙර පටිච්ච සමුප්පාදය හැදින්වීමේ ලිපිය තුලින් දැනගත්තා. 
අකුසල මූල පච්චයා සංඛාරා (අකුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) යන්නෙහි 
ලෝභ පච්චයා සංඛාරා (ලෝභය මුල්වීම හේතුවෙන් සංඛාර වීම)
ද්වේෂ පච්චයා සංඛාරා (ද්වේෂය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) 
මෝහ පච්චයා සංඛාරා (මෝහය මුල්වීම හේතුවෙන් සංඛාර වීම) ආදී ලෙසින් නැවතත් බෙදෙන බව අප දන්නවා. 

මේ ලෝභය මුල් කරගෙන සංඛාර සිදු වීම සිදුවෙනකොට ඒ ලෝභය මුල්කරගත් චිත්තයෙන් ආරම්භ වෙලා ඒ අනුව සංඛාර කරන්න ‍නැත්නම් සකස් කරන්න පටන්ගත් විට තමයි ලෝභය මුල් කරගෙන හටගන්න ලෝභ මූල පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණ ආදී ලෙසට පටිච්ච සමුප්පාදය සිද්ධාන්තය යෙදෙන්නේ.  එසේ ක්‍රියාත්මක වී යන විට වේදනා කියන අවස්ථාවට පත්වූ විට වේදනා ‍පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසට දුක් රැසක පහලවීම සිදුවේ ආදී ලෙසින් සිදුවෙනවා.  අකුසලය මුල් කරගත් නැතිනම් අකුසලයක් වන ලෝභය මුල් කරගෙන ආරම්භ වන විට වේදනා ‍පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං නැතිනම් ඇලීමයි බැදීමයි තමයි සිදුවන්නේ. 

අකුසලයක් වන ද්වේෂය මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච සමුප්පාදය වේදනා ‍පච්චයා තණ්හා වන අවස්ථාව නොව වේදනා පච්චයා පටිඝං, පටිඝ පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසට පෙන්වා දී තිබෙනවා.  ද්වේෂය මුල් වූ විට වේදනාව නිසා ගැටෙන තත්වය ඇතිවෙලා එයින්ම අධිමොක්ඛ කියන තත්වයට නැත්නම් ගැටීම කියන තත්වයම මුදුන්පත්වෙලා ඒ මුදුන්පත් වූ ගැටෙන බවට පත්වෙනවා එයින් ගැටෙන නැත්නම් පටිඝ කියන ජාතිය පහල කරගන්නවා යන්න ‍තමයි මෙහි පෙන්වා දී තියෙන්නේ.  නොයෙක් අවස්ථාවල සැමවිටම ගැටෙමින්, තරහින්, ද්වේශයෙන් ඉන්න ‍සත්ව කොටස් ඕන තරම් ඔබ දැක ඇති.  ඒ තත්වයන්ට හේතුව දැන් ඔබටම බොහෝම නිරවුල්ව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. 

අකුසලයක් වන මෝහය මුල්කරගෙන හටගන්නා සිතකින් ආරම්භ වන පටිච්ච  සමුප්පාදය වේදනා ‍පච්චයා විචිකිච්ඡා, විචිකිච්ඡ පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසටයි.  විචිකිච්ඡා කියන්නේ සැකය... එසේනම් වේදනාව නිසා සැකය ඇතිවෙනවා මෝහය මුල්කරගත් පටිච්ච සමුප්පාද චක්‍රය තුලින්.  වේදනාව ඔස්සේ සැකය ඇතිවෙලා සැකයම මුදුන්පත් වෙලා ඒ සැක සහිත බවකට පත්වෙනවා.  එයින්ම සැක ජාතියක් ‍පහල කරගන්නවා.  හැමතිස්සේම භයෙන් සැකයෙන් ඉන්න සත්ව කොටස් අප ඕන තරම් දැක තියෙනවා නේද?  එසේනම් හිතන්න... මේ පටිච්ච සමුප්පාද සිද්ධාන්තය යෙදීම තුලින් බොහෝම අපූරුවට මේ ලෝකයේ ගැටලු විසදෙනවා ඔබටම අත්විදින්න පුළුවන් වේවි මේ ධර්මය 
අවබෝධ වන පමණින්ම!

ඔබට පටිච්ච සමුප්පාදය අවබෝධ වන තරමින් ලෝකයත් දකින්නට හැකිවේවි!  ඒ මෙතෙක් ඔබ දැකපු ලෝකය නොවේ.  එය වෙනස්ම ආකාරයකින් දකින්නට අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම සිද්ධාන්තය ඔබට උපකාරවන නිසාම මෙහි සෑම කරුණක්ම හොදින් අවබෝධ කරගැනීම නුවණින් මෙනෙහි කර මනසට කාවද්දාගැනීම ඔබ කල යුත්තක්.   මම ඔබට උපකාරයක් වීමට ඕනෑකරන දේ හැකි උපරිමයෙන් සපයන්නට වග බලාගන්නෙමි.  ඔබ‍ ඔබගේ කාර්ය නිවැරදිව කරගන්නා මෙන් ඉල්ලා සිටිමි. 

මේ අවිද්‍යාව පැහැදිලි කිරීමේ ලිපිය තුල අඩංගු කරුණු තුලින් ඔබට අවිද්‍යාව යන්න කුමක්ද? එය විවිධ අවස්ථාවන්ට පත්වෙන්නේ කෙසේද? එය පටිච්ච සමුප්පාද සිද්ධාන්තය තුල සිදු කරන කාර්ය භාරය ‍කුමක්ද යනාදිය ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි.  සම්බුදු පියාණන් විසින් ආර්ය මාර්ගයේ ගමන් කරන්නට 84,000 ක ධර්මස්කන්ධයක් පෙන්වා දුන්නා.  84,000 ක ධර්මය පෙන්වා දුන්නේ මෙන්න මේ අවිද්‍යාව කියන එක පහදා දෙන්නයි.  මොකද අවිද්‍යාව වටහා ගත්තා නම් සියල්ලටම පිළිතුරු ඔබටම ලැබෙනවා මේ සසර ගමන කෙලවර කර නිවනින්ම සැනසෙන්නත් අප සැමට හැකිවෙනවා.  මෙවැනි කෙටි ඉඩක මේ වගේ ගැඹුරු ධර්ම කොටස් සියල්ලම ලිපියකින් ලියා දක්වන්න අපහසු බව ඔබට අවබෝධ විය යුතුයි.  බුදු පියාණන් වහන්සේ වරෙක පෙන්වා දුන්නා උන්වහන්සේ මේ දේශනා කලේ මහා සාගරයෙන් අතේ ඇගිල්ලක නිය පොත්තට ගත් ජල බිදු කීපයක් තරම් ධර්මයක් පමණක් බවත් උන්වහන්සේ අවබෝධ කරගත් දන්නා දේ මහා සාගරයට සමාන බවත්.  ඉතින් හිතන්න ඒ නිය තුඩක තියෙන ජල බිදු කීපය මෙතරම් විශාල නම් ඉතිරි හරිය අවබෝධ කරගැනීමට කොතරම් අපහසුවේවිද කියලා.  මම දන්නේ මෙච්චරයි... අපගේ බුදු පියාණන් අප විසින් දත යුත්ත දේශනා කල සේක!  උන්වහන්සේ අපගේ නිදහසට ඕනෑ කරන දේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේශනා කරදී ඇත.  ඔබට ඇත්තේ උන්වහන්සේගේත් ගුරුවරයා වන ධර්මය අවබෝධ කරගැනීමට ඕනෑකරන මේ පටිච්ච සමුප්පාදය සිද්ධාන්තය හොදින් අවබෝධ කරගෙන ‍ධර්ම ගුරුවරයා හමුවීමටයි.  ඉන්පසු ඔබට මගේවත් වෙන කිසිවෙකුගේත් උදව් උවමනාවන් නොවනු ඇත.  ධර්මය ගුරුවරයා වී ඔබව නිවන තෙක්ම දැනුවත් කරාවි!

මේ ලිපියත් සමග මම සුපුරුදු පරිදි මගේ සියලු ආශිර්වාදයන් අමුණමි.  එයට හේතුව ඔබ විසින් මෙහි ඇති සෑම කරුණක්ම තම තමන්ගේම නුවණින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපකාරයක් කරගනු ඇතැයි යන විශ්වාසය මතය.  
මම මගේ කාර්ය කරන්නෙමි... ඔබ ඔබේ කාර්ය කරගන්නා සේක්වා!
සම්මා සම්බුදු සරණයි!

No comments: