Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, December 22, 2009

සංඛාර


මේ වන විටත් පටිච්ච සමුප්පාදය පිළිබද මූලික විස්තරයක් සහ අවිද්‍යාව පිලිබද මූලික විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.  එම විස්තරයන් කියවා හොදින් අවබෝධයක් ලබාගන්නට ඇතියි යන විශ්වාසය මත පටිච්ච සමුප්පාදයේ දෙවැනි අංගය වන සංඛාර නැමැති මාතෘකාව ඔස්සේ සංඛාර යනු කුමක්දැයි අවබෝධ කරගැනීමට මෙසේ කරුණු ගොනු කරමි.  “අවිජ්ජා පච්චයා සංඛාරා” හෙවත් “අවිද්යාව හේතුවෙන් සංඛාර” වේ යන කොටස මුලින්ම විස්තරාත්මකව දැනගෙන අවබෝධ කරගනිමු!

ත්‍රිපිඨක ග්‍රන්ථ වල නොයෙක් ආකාරයෙන් සංඛාර පෙන්වා දී ඇත. 
පුඤ්ඤාභි සංඛාර
අපුඤ්ඤාභි සංඛාර
ආනෙඤ්ජාභි සංඛාර යැයි කොටස් 3කින් පෙන්වා ඇත.
එසේම;
කාය සංඛාර
වචී සංඛාර
ම‍නෝ සංඛාර යැයි කොටස් 3කට බෙදාද පෙන්වා ඇත. 
පෙර අවිද්‍යාව පිළිබදව ලියැවුනු ලිපියෙහි “සං” කියන වචනය මනාව තේරුම් ගෙන මතකයේ අවබෝධයෙන් යුක්තව තබාගැනීම බොහෝ ධර්ම කරුණු හොදින් අවබෝධයට වැදගත්වේවි ලෙසින් එහි අර්ථය ඉදිරිපත් කලා ඔබට මතක ඇති.  නැවතත් එහි අර්ථය මතක් කර දෙනවා නම් මේ කියන අවිද්යාව හේතු කොට ගෙන ඉහත කී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම - ඇස, කණ, නාසය, දිව, කය, මන මේ ‍ගොඩවල් හෙවත් සමූහ සමග එක්වීම “සං” යනුවෙන් නම් කරයි.  සරලවම සං යනු එකතුවීම යන අර්ථ දෙයි.  නැවතත් වඩාත් පැහැදිලි කරනවා නම් යම් තෘෂ්ණාවක් හේතු කරගෙන යම් එකතුවක් වේද මේවාට සං කියා කියනු ලැබේ යන්න පෙර ලිපියේද සදහන් කලෙමි.  මේවා සාර ලෙස ගන්නේ අවිද්‍යාව මූලික වී බවත් පෙන්වා දුනිමි.  සාරයි කියා අදහස ඇතිවූ විටයි ඒ පිලිබදව සිතින්, කයින්, වදනින් කටයුතු කරන්නේ.   එසේනම් “සංඛාර” යන වචනය ගත් විට එහිද  මේ කියන “සං” මූලික වී ඇති බව ඔබට බැලූ බැල්මටද පෙනෙනු ඇත.  මෙසේ සං හෙවත් එකතුව කරන්නා යන අර්ථයෙන් සංඛාර යැයි නම වේ.  සං යන එකතුන් සාරයි කියා නිගමනය කරන අවිද්‍යා, තෘෂ්ණා, මුලාවක් යම්තාක් නැගි නැගී එයිද ඒතාක් ලෝ සතුන් සංසාර ගමනක යෙදී සිටියි.  සාර යැයි දෘෂ්ඨිය ඇති තාක් හිතින්, කයෙන්, වචනයෙන් සංඛාර පහල කරයි. ඒවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ලෙසද ඒවායින් කොටසක් පුඤ්ඤාභි සංඛාරය.  කොටසක් අපුඤ්ඤාභි සංඛාරය.  තව කොටසක් ආනේඤ්ජාභි සංඛාර ලෙසින්ද පෙන්වා දීමට හැකියි.

පළමුවෙන්ම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර සහ ආනෙඤ්ජාභි සංඛාර යන කොටස් 3 පැහැදිලි කරගනිමු. 

අවිද්‍යාව හෙවත් ඒ ඇත්ත ඇති ආකාරයෙන් නොදකින පෘතග්ජන කියන්නාවූ ලෝක සත්වයා මේ ලෝකය හරි වටිනවා යැයි සිතාගෙන ලෝකයේ යථාර්ථය ඇත්ත තේරුම්ගන්න බැරිකම නිසා සාරයක් නැති දේවල් සාරයි කියලා හිතාගෙන එහි අසාවෙන් හිත බැදගන්නවා.  මෙලෙස පැවැත්ම සාරවත් ලෙසින් ගෙන එහිම හිත බැදගෙන හිතන්නට, කියන්නට, කරන්නට පටන්ගන්නවා.  මේ පැවැත්ම යලි යලිත් ගොඩනගන්න තමයි එලෙස සිතන්නේ, කියන්නේ, කරන්නේ.

මොනවද මේ පැවැත්මට අයත් කැමැත්තෙන් බැදිලා ගොඩනගන දේවල්?
මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම කියන දේවල් තමයි බොහෝම වටිනා දේවල් කියලා හිතාගෙන ඒවායේ හිත බැදගෙන ඒවා ලබාදෙන්නේ මොනවාද අන්න ‍ඒ අවශ්‍ය උපකරණ අවශ්‍ය අනෙකුත් දේ ලබාගෙන ඒවා බොහෝම හොදින් පවත්වාගෙන ඒ මන වඩන ආශ්වාදය වැඩිම කාලයක් ප්‍රයෝජනය ගන්න පුළුවන් ‍මොනවාදැයි හිතමින් ඒවා පසු පසම ඇදෙමින් ගොඩනගන්න පුරුදු‍වෙලා ඉන්න දේ තමයි මේ සංඛාර වලට මුල.  මේ මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම යනාදිය හිතන පතන විදියටම ලැබෙන දේවල් නෙවේ.  ඒවා ගොඩනගා ගන්න ඕනේ.  ගොඩනගාගෙන තමයි මේ ආශ්වාද විදින්න ඕනේ.  රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් යනාදිය ලබාගන්න ‍ගොඩනගා ගන්න අප විසින් ගත, හිත, වචනය මෙහෙයවලා වෙහෙසක් දරන්න ඕනේ.  කාලය වැය කරන්න වෙනවා... නොයෙක් නොයෙක් ආකාරයෙන් තරග වදින්න පොරබදන්න සිද්ධ වෙනවා.  ඇයි එහෙම වෙන්නේ... පොරකන පිරිස වැඩි නිසා... ඒවායේ අඩුපාඩුව නිසා අපට සිදුවෙනවා මහා තරගයකට බැහැ ගන්න.  “මම” සහ “මගේ” කියලා දෘෂ්ඨියක් ‍ගොඩනගාගෙන ඒ ‍ඒ දේවල් පසුපස හඹායනවා පොරකනවා... තරග වදිනවා.  එලෙසින් බොහෝ අය තරග කරන විට එය පොරයක් බවට පත්වෙනවා.  අන්න ඒ වෙලාවෙදි අප අදහස් දෙකකට යොමුවෙන්න වෙනවා. 

එක අදහසක් තමයි සාධාරණ ලෙසට බෙදාහදාගෙන පොදුවේ හැමෝම මෙය භුක්ති විදිමු යන්න.  අනිත් අදහස එයට ‍විරුද්ධව නැගෙන්න. එහෙම හොදනැහැ... මට තියෙනවා බලය ශක්තිය මට තනියෙන්ම මෙය භුක්ති විදින්න ඕනේ ආදී ලෙසට තව පිරිසක් ඉන්නවා.  මෙන්න මේ අදහස් දෙක ගට්ඨනය වන විට මහාම පොරයක් බවට පත්වෙනවා.  ‍මෙය හොදින් අවධාරණය කරගන්න... එක් කොටසක් තමන් වටා ‍‍ගොඩගහාගන්නත් තවත් කොටසක් එහෙම හොදනැහැ සාධාරණව කටයුතු කරන්න යන අදහසත් සමග තමයි දෙපිලකට බෙදිලා ඉන්නේ.  මෙන්න මේ දෙපිරිසේ සාධාරණව සමගියෙන් සමාදානයෙන් භුක්ති විදිමු යන අදහස ඇතිව එයට කටයතු කරන පිරිස පුණ්‍යභිසංඛාර කියන යහපත් පැත්තට ඒ ඒ කාම සම්පත් ලබාගැනීමට උත්සාහ කරනවා. අන්න ඒ අනුව හිතන, කියන, කරන කටයුතු වලට තමයි කියන්නේ පුඤ්ඤාභිසංඛාර හෙවත් පුණ්‍ය සංඛාර කියලා.


ඒ අදහස් වලට විරුද්ධව නැගී සිටින්න පටන්ගත් විට ගැටෙමින් කරන කටයුතු වලට යොමුවෙනවා.  ගැටෙමින් කරන සියලුදේ ද්වේශ සිතකින් කරන දේවල්.  අන්න ඒ විදියට අයහපත් පැත්තට හිතන්න, කියන්න, කරන්න පටන්ගත්තාම ලෝකයාට දැවීමක්, තැවීමක්, ගැටීමක් ඇතිකරවන අයුක්තිය අසාධාරණයට ලෝකයාව යොමුකර භය ඇති කරවන යම් යම් කාරණා සිත, කය, වචනය හසුරුවමින් කරන්න පටන්ගත්තා නම් අන්න ඒ අය අපුඤ්ඤාභිසංඛාර හෙවත් අපුණ්‍ය සංඛාර කරනවා. 

එතකොට තවත් පිරිසක් ඉන්නවා මේ දෙගොල්ලන්ම දිහා බලාගෙන ඉදලා මේ පැති‍ දෙකෙන් කෝකට ගියත් වෙහෙසකාරීයි. තරගකාරීයී... පොරබදන්න සිදුවෙනවා තරග වදින්න සිදුවෙනවා ඒවා මහා කරදරයක් කියලා දැකලා තමන්ගේ පාඩුවේ ඉන්නවා කියලා අදහස අරගෙන ඒ අනුව හිතනවා, කියනවා, කරනවා.  මෙන්න මේ විදියට සිත, කය, මන හසුරවනවාට කියනවා අනේඤ්ඤාභිසංඛාර හෙවත් අරූප සංඛාර කියලා. 

පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර සහ අනේඤ්ඤාභිසංඛාර ඔබටත් මටත් තේරෙන විදියකට පැහැදිලි කරනවා නම් මෙන්න මේ විදියයි. මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර සහ ආනෙඤ්ජාභි සංඛාර යන කොටස් 3 අවිද්යාව සමග යෙදුනොත් ඒ පුද්ගලයාට සසර ගමනින් නම් මිදීමක් නැත යන්නත් හොදින් අවබෝධ කරගත යුතුය.

සංඛාර තවත් විදියකින් කියනවා නම් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වේ.  කය, වචනය, සිත අවිද්‍යා සහගත බැදීමකින් මතුකරගත්ත ඒ බැදීම් සහගත මානසිකත්වයක් තුලින් ගොඩනගන්නා වූ  සිතුවිලි, ක්‍රියා, වදන් තමයි මේ විදියට කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා හැදින්වූයේ. 

අප විසින් පළමුකොටම “සංඛාර” සහ “කාර” තෝරාගත යුතුයි.  “කාර” කියන්නේ ක්‍රියා කලාපයට.  එහෙනම් ඕනෑම අයෙකුට උපතේ සිට මරණය දක්වාම ක්‍රියා කරන්න වෙනවා.  අරිහත් ඵලයට පත් උත්තමයන්ටත් වෙනවා ක්‍රියා කරන්න.  කථා කරන්න, ක්‍රියා කරන්න, හිතන්න ආදී ලෙසට ක්‍රියා කරන්න.  එහෙනම් “කාර” සහ “සංඛාර” එකක් නොවේ නේද?  අවිද්යාව මුල්වුණාම තමයි මේ ඉහත පෙන්වා දුන්න නිකම්ම නිකම් “කාර” “සංඛාර” බවට පත්වෙන්නේ.  අරිහතුන් වහන්සේට සිතුවලි නැගෙනවා එහෙත් අවිද්‍යාව නිසා ඇතිවන සිතුවිලි නැගෙන්නේ නැහැ.  උන්වහන්සේ කය ක්‍රියා කරවනවා එහෙත් අවිද්‍යාව මුල්කරගෙන කය ක්‍රියාකරවන්නේ නැහැ. අරිහතුන්වහන්සේ කථා කරනවා එහෙත් අවිද්‍යාව මුල්කරගෙන කථා කරන්නේ නැහැ.  ඒ නිසාම උන්වහන්සේගේ සිතට කියනවා “කාර සිත” නැත්නම් “ක්‍රියා සිත” කියලා.  එසේනම් අප විසින් අවබෝධ කල යුතුයි අවිද්යාව ඔස්සේ නැගෙන ක්‍රියා හෙවත් සංඛාර අරිහතුන් වහන්සේට නැහැ කියන දෙය.  එසේනම් යථාර්ථයට පත්වීමට අප විසින් නිරෝධ කරගත යුත්තේ මෙන්න මේ ඉහත සදහන් කල අවිද්යාව මුල්කරගෙන නැගෙන සංඛාර නේද?  අපට දුක ගෙනදෙන්න හේතුවෙන්නේ මෙන්න මේ කියන අවිද්යාව මුල්කරගෙන හටගන්න සංඛාර නේද? 

බොහෝ දෙනාගේ පොදු මතකයක් මම දුටුමි.  එනම් අරිහත්වයට පත්වීමට නම්... නිවන් අවබෝධය ලැබීමට නම් සියලුම සිතුවිලි... සියලුම ක්රියා, සියලුම වදන් නැවතිය යුතු බව.  සියලුම සිතුවිලි... සියලුම ක්රියා, සියලුම වදන් නැති තැන නිවන ඇති බව.  මෙයට පෙරත් විවිධ මාතෘකා ඔස්සේ ‍පල කල ලිපි තුල මේ සියලුම සිතුවිලි, ක්රියා, වදන් නැවත්වීම පිලිබදව විස්තර පහදා දුන් අයුරු ඔබට මතක ඇති.  එසේනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කරනවා යම් යම් ක්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් හේතුකරගෙන පාපයක් සිදුවෙනවා නම්, වරදක් අසාධාරණයක් සිදුවෙනවා නම් අන්න ඒවා අත්හැර දමන්න කියලා.  ඒ ‍ඒ අයහපත් දේ වලින් මිදෙන්නට වෙන්වීමට යම් ක්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් නැගෙනවා නම් අන්න ඒ දේවල් වඩන්න නැතිනම් ඒ ‍දේවල් වර්ධනය කරගන්න ඒ දේවල් නවත්වන්න එපා කියලා පෙන්වා දුන්නා.  ඒ විතරක් නෙවේ උන්වහන්සේ නිවන වශයෙන් පෙන්වා දුන්නේ රාගක්ෂයෝ නිබ්බාණං, ද්වේක්ෂයෝ නිබ්බාණං, මෝහක්ෂයෝ නිබ්බාණං හෙවත් රාගය නැතිකිරීම නිවනයි, ද්වේශය නැති කිරීම නිවනයි, මෝහය නැති කිරීම නිවණයි ලෙසින්.  උන්වහන්සේ කොතනකවත් සදහන් කරලා නැහැ අලෝභ ක්ෂයෝ නිබ්බාණං, අද්වේක්ෂයෝ නිබ්බාණං, අමෝහක්ෂයෝ නිබ්බාණං හෙවත් අලෝභ නැති කිරීම නිවණයි, අද්වේශය නැතිකිරීම නිවනයි, අමෝහය නැතිකිරීම නිවනයි ලෙසින්... සියලු සිතුවිලි, සියලු වදන්, සියලු ක්රියා රාග, ද්වේශ, මෝහ නිසා හටගන්නේ නැති බවට අප හොදින්ම දන්නවා.  කිසිවෙකුට කියන්න බැහැ සියලු සිතුවිලි, සියලු වදන්, සියලු ක්රියා නැති තැන නිවන ලෙසින්.  එසේනම් බුද්ධ වචනයටත් විරුද්ධවයි ඒ පුද්ගලයා කථා කරන්නේ.  ඒ විතරක් නෙවේ බුදු පියාණන්ගේ නාමයෙන් ඒ පුද්ගලයන් තමනගේ ‍මතයන් ඉදිරිපත් කරනවා සියලු සිතුවිලි, සියලු වදන්, සියලු ක්රියා රාග, ද්වේශ, මෝහ වලින් යුක්තයි කියලා.  මේ දේවල් ඔබ විසින් සිතිය යුතුයි.  ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා ඔබ විසින්ම ඔබේම මනසින් ‍අව‍බෝධ කරගත යුතුයි. 

සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි මේ ලෝකයේ වැඩියෙන්ම සිතුව උත්තමයා... අප යම් කරුණක් ගැන සිතනවා නම් උන්වහන්සේ අසීමිතව හිතලා තියෙනවා ඒ කරුණ ගැන... අනන්ත සසරේ පෙර භවයන්ගැන අතීතය සිහිකරන්න උන්වහන්සේ කොතරම් නම් සිතන්නට ඇතිද...   උන්වහන්සේ තමයි මේ ‍ලෝකයේ වැඩියෙන්ම ක්රියා කල උත්තමයා... අප මොහොතක් ක්රියා කරනවා නම් උන්වහන්සේ දික් කල අතක් වක් කල සැනින් වක් කල අතක් දික් කල සැනින් බඹ ලොවටත් වැඩම කරලා ඇවිත් තියෙනවා... උන්වහන්සේම තමයි මේ ලෝකයේ වැඩි පුරම කථා කල පුද්ගලයා... එකවරකෙට වචන 500ක් පිට කිරීමේ හැකියාව උන්වහන්සේට තිබිලා තියෙනවා... දස දහසක් සක්වලින් එපිටට ඇසෙන්න කථා කිරීමේ හැකියාව තිබිලා තියෙනවා... ඔබටම අව‍බෝධ කරගත හැකියි උන්වහන්සේ සිතුවලි, ක්රියා, වදන් යනාදිය අපට වඩා කොතරම් ඉහල තත්වයකින් භාවිතා කරල තියෙනවාද කියලා... එතකොට සියලුම සිතුවිලි... සියලුම ක්රියා, සියලුම වදන් නැති තැන නිවන නම් එයින් අදහස් වන්නේ නිවන පෙන්වා දුන් නිවන මුලින්ම අවබෝධ කරගත් උත්තමයා තුල නිවන නැති බව නොවේද?  එය සත්‍යය වීමට හේතුවක් තිබිය හැකිද?  මේ දේවල් හිතන්න... ඔබේ නිවන සොයාගැනීම‍ට ඔබේ නිවන අවබෝධයට මේ දේවල් හොදින් අවබෝධ කරගෙන යා හැකියි.  තම තමන්ට ඕනෑ විදියට ධර්මය වෙනස් කරන්නාට අත්වන්නේ සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය විකෘති කිරීමේ පාපයයි.  ඒ ධර්මය අධර්මය කිරීමේ හේතුවට ඵලය නම් ඒ ඒ පුද්ගලයන්ට හිතාගන්නවත් බැරි තරම් දරුණුවිය හැකියි. 

එමනිසා... සම්බුදු පියාණන්ගේ දේශනාවන්ට මුල්තැනදී ඒවා අඩංගු ත්‍රිපිඨකයට මුල්තැන දී ඒවාට විරුද්ධ නොවී සිතුවොත් නිවන් අවබෝධයට හේතුවෙන සත්‍යය මාර්ගය අපට එළි පෙහෙළි කරගන්න පුළුවන් වෙනවා.  සන්නිවේදනය සදහා නිර්මාණය කරගත් විවිධ භාෂා‍වන්ට මුල්තැන දී ඒවායේ එල්ඹගෙන ඒ ඒ භාෂාතුලින් දෙන අර්ථ භාෂා රීති තුලින් ඔබ්බට කිසිවක් තිබිය නොහැකියි මත වාද ඉදිරිපත් කරමින් පද පරමයන් ලෙසින් හදුන්වන පුද්ගලයින්ට නිවනක් නැත.  එබැවින් මෙන්න මෙය ඔබට ලැබී ඇති හොදම අවස්ථාවක් විවෘතව සිතන්නට.  නිවන් අවබෝධයට සියලුම සිතුවිලි, සියලුම ක්‍රියා, සියලුම වදන් නැවැත්තුවොත් නිවැරදිද යන්න ධර්මානුකූලව සිතා බලන්න නැවත නැවත සිතා බලන්න හොදම අවස්ථාවක් මේ සංඛාර පැහැදිලි කිරීම තුලින් නැවතත් ලැබෙනවා.  හේතු ඵල ධර්ම සිද්ධාන්තය හොදින් අවබෝධ වන තරමටම ඔබට පරම ඇත්ත සහිත නියම ධර්මයත් හමුවේවි... එය දන්නා තරමින්ම ඔබට ධර්මාවබෝධයත් ලැබේවි.  එම ධර්මාවබෝධය පූර්ණය වූ මොහොතේ ඔබට නිවනත් අවබෝධ වේවි.  හොදින් සිහිතබාගත යුත්ත පොත් පාඩම් කොට... ධර්ම කරුණු කරුණු වශයෙන් පාඩම් ‍කොට නිවන් දැකිය නොහැකි බවත් ධර්මය ‍මේ විශ්වයේ පවතින එකම ඇත්ත බව වටහාගෙන තමන්ට දැනගන්නට ලැබෙන ධර්ම සිද්ධාන්තයන් ඔස්සේ තමන්ව හසුරුවාගෙන ඒ ඇත්ත අවබෝධ කරගැනීමට ඔබ ඔබ විසින්ම නුවණ මෙහෙයවා සිතීම තුලින් පමණක් බවයි. 

මම කැමතියි “සං” කියන වචනය තවදුරටත් පැහැදිලි කරදෙන්න... එතකොට මොකක්ද මේ “සං” කියලා “කාර” කියන වචනයට ඉදිරියෙන් එකතුවෙච්ච වචනය කියන එක ගැන ඔබට වඩාත් පැහැදිලි වේවි. 
“සං” කියන වචනයෙන් අර්ථ දෙන්නේ “එකතුවක්” යන්නයි යන්න මේවන විටත් ඔබ දන්නවා.  එකතුවක් සිදුවෙන ආකාරය තමයි මෙම “සං” කියන වචනයෙන් පැහැදිලි කරදෙන්නේ.  සංයෝග කියන්නේ යම් එකතුවක් එකිනෙකට යෝග වූ විට හැදෙන ඒවායි.  සම්බන්ධ කියන්නේ යම් එකතුවක් එකිනෙකට බැදුණු විට අවස්ථාවයි... ආදී ලෙසට “සං” යෙදී සෑදුණු විවිධ අවස්ථාවන් වචනයන් අපට දැකගත හැකියි.  ඉතින්
මේ එකතුවක් කියන්නේ මොකක්ද?  එකතුවක් නැති තැනක පැවැත්ම තුල අපට දකින්නට දෙයක් නැහැ.  හේතුව තමයි ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන කියන්නේ එකතුවක්.  මොනවායේ එකතුවක්ද?  ආපෝ, තේජෝ, වායු, පඨවි කියන ධාතූන් හෙවත් සතර මහා භූතයන්ගේ එකතුවක් තමයි මේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන කියලා කියන්නේ.  ඒ විතරක් නෙවේ ඒවාට ‍ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යනාදියත් ඔය කියන එකතුවෙන්ම තමයි හැදිලා තියෙන්නේ.  මෙන්න මේ එකතුව අප “සං” කියන වචනයෙන් හදුන්වනවා.  මෙන්න මේ එකතුවෙන් කරන දෙයක් තියෙනවා නම්... ඒ එකතූන් සමග බැදිලා රැදිලා කරන යම් දෙයක් ඇත්නම් එබදු එකතූන් යලි යලිත් හදන්නට හේතුවෙනවා.  ඒ කියන්නේ සං කියන එකතුව සමග ක්‍රියා කරනකොට පැවැත්ම ගොඩගන්න හේතුවෙනවා.  අනිච්ච, දුක්ඛ, අනත්ථ දෙයක් ගොඩනගන්න හේතුවෙනවා.  එහෙනම් සංඛාර ‍ඔස්සේ දුක ගොඩනැගෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි.  දැන් සංඛාර සහ කාර කියන ‍දෙකෙහි වෙනස පැහැදිලි වෙනවා නේද? 

එසේනම් ඉහත සදහන් විස්තරය තුලින් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර යන කොටස් 3ත් කාය සංඛාර, වචී සංඛාර, ම‍නෝ සංඛාර යන කොටස් 3ත් ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට හේතුවන්නට ඇතැයි විශ්වාස කරමි. 

මේ විස්තර කල සංඛාර යලිත් කොටස් 2කට බෙදෙනවා.  එයින් එකක් අවිද්යාව මුල්කරගෙන සිදුවන සංඛාර ඉහත පෙන්වා දුන්න විස්තර කරන ලද සංඛාර කොටසයි.  එහෙත් අනිත් ප්‍රධාන සහ වැදගත්ම කොටස තමයි කුසලය මුල්වීම තුලින් සිදුකරන සංඛාර හෙවත් “කුසල මූල පච්චයා සංඛාර” යන අවස්ථාව.  
පෙර පටිච්ච සමුප්පාදයට අයත් මූලික විස්තර සදහන් ලිපි 2හිම ඔබට ආර්ය මාර්ගයේ ගමන් කිරීමේදී යෙදන පටිච්ච සමුප්පාද චක්‍රයක් ගැන විස්තර කලා ඔබට මතක ඇති.  එය කුසලය මුල් කරගෙන සිදුවන කුසල මූලයෙන් ආරම්භ වන පටිචච් සමුප්පාදයයි.  එහිදී අවිද්‍යාව හේතුවන සහ අවිද්‍යාව නොයෙදී ආරම්භ වන ආකාරය ගැන පැහැදිලි කලා ඔබට මතක ඇති.  මෙහිදීද මෙන්න මේ කුසල මූලයෙන් ආරම්භ වන පටිච්ච සමුප්පාදය ගැන අවබෝධ කරගැනීම වැදගත් වනවා.  මන්දයත් ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්රාවකයෙකුට අදාල වන පටිච්ච සමුප්පාදය පැහැදිලි වන්නේ එය තුලින් නිසායි.  
ආර්යෙකුටත් නැත්නම් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන අයෙකුටත් සංඛාර කොටසක් තියෙනවා.  අරිහත්වයට පත්වෙනකම් වැඩිය යුතු මාර්ගයක් තියෙනවා.  මාර්ගය වඩන අයට වැඩිය යුතු සංඛාර කොටසට කියනවා “කුසල මූල පච්චයා සංඛාර” කියලා.  ඒ කියන්නේ කුසලය මුල් කරගෙන හේතු කරගෙන සංඛාර කිරීමයි.  අපි අත්හැරිය යුත්තේ අවිද්යා පච්චයා සංඛාරා කියන කොටසයි.  එනම් අවිද්යාව මුල්කරගෙන සිදුකරන සිතුවිලි, ක්‍රියා, වදන් අතහැරීමයි.  වැඩිය යුත්තේ මේ කියන කුසල මූල පච්චයා සංඛාරා.  මෙයින් තවත් පැහැදිලි කරදෙන්නට හදන්නේ සියලු සංඛාර අත්හැරිය යුතු නැති බව.  මේ සංඛාර තුල අපට ප්‍රයෝජනවත් කොටසක් තියෙනවා.  නිවන් අවබෝධ කරගන්න ප්‍රඥාව වැඩෙන්න ප්‍රධාන අධාරකයක් තමයි කුසලය මුල් කරගෙන ‍ගොඩනගන සංඛාර.  ඒකත් හරියටම අවිද්යාවේ සදහන් කල ආර්යමාර්ගයට ප්‍රයෝජනවත් කොටස් වගේමයි.  අවිද්යාව හේතුවෙන් ආරම්භ වන පටිච්ච සමුප්පාදය දැනගැනීම පමණක් මේ ආර්ය මාර්ගයේ පැහැදිලි අවබෝධය ලැබීමට ප්රමාණවත් නොවන බව මම ඔබට පෙර ලිපි තුලිනුත් පැවසුවා.  ආර්ය මාර්ගයට හේතුවන්නේ මෙන්න මේ කියන කුසලය මුල් කරගෙන ආරම්භ වන පටිච්ච සමුප්පාදය බව හොදින් අවබෝධ කරගැනීම ඔබට භාරයි.  මන්ද යත් මේ දේවල් පටලවාගැනීම ඔබේම අවබෝධයට බාධාවක් වන නිසාවෙනි. 

“පුඤ්ඤ පාප පහීනස්ස” ලෙසින් අරිහතුන් වහන්සේ පින් පව් දෙක පහ කලා කියලා හදුන්වාදෙන්නේ මේ අවිද්යාව හේතුවෙන් ඇතිවන පින් පව් කොටස් දෙකයි.  කුසලය මුල් කරගත් කොටස් නොවේ.  ධර්මයේ සදහන් වෙනවා ධම්ම දින්නා තෙරුන් වහන්සේ සහ විශාක සිටුතුමා අතර ඇතිවූ සාකච්ඡාවකදී විශාක සිටුතුමා අසනවා “නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන් වහන්සේ එයින් යලි නැගී සිටින විට උන්වහන්සේට පළමුවෙන්ම හටගන්නේ කුමන සංඛාරද කියලා”. එවිට ධම්ම දින්නා තෙරුන් වහන්සේ පිලිතුරු දෙනවා මනෝ සංඛාර ඉස්සෙල්ලාම හටගන්නවා කියලා.  ‍දෙවනුව සහ තෙ‍වෙනුව හටගන්නේ කුමක්ද කියලා ඇසුවිට කියනවා දෙවැනුව කාය සංඛාරත් තෙවැනුව චවී සංඛාරත් හටගන්නවා කියලා.  එසේනම් එයින් පෙන්වා දෙනවා නේද අරිහතුන් වහන්සේටත් සංඛාර කොටසක් තියෙන බව.  ඒත් එය අවිද්යාව හේතුවෙන් ආරම්භ වූ සංඛාර ‍කොටසක් වීමට ‍කිසිසේත් නොහැකියි නේද?  එසේනම් ඒ සංඛාර මේ කුසලය මුල්කරගත් සංඛාර කොටසට අයත්වන්නක් විය යුතුයි නේද? රාගය, ද්වේශය, මෝහය නැතිකොට අරිහත්වයට පත්වෙනවා එනම් නිවන් අවබෝධ කරගන්නවා.  ඉන්පසු රාගයවත්, ද්වේශයවත්, මෝහයවත් යලි පැනනැගීමට හේතු නැහැ.  ලැබූ නිවන වෙනස් වෙන්නේ නැහැ.  ඉන්පසු කථා කරනවා, ක්රියා කරනවා, සිතනවා.  නිවන පිරිහෙන්නේත් නැහැ.  එහෙනම් ඒ වදන්, ක්රියා, සිතුවිලි අවිද්යා සහගත නැහැ.  එනිසා මේ අවිද්යාව මුල් කරගත් පටිච්ච සමුප්පාදය සහ ආර්ය පටිච්ච සමුප්පාදය හොදින් අවබෝධ කිරීමේ වැදගත්කම ඔබ විසින්ම වටහා ගත යුතුයි. 

කුසල මූලයෙන් හටගන්නා සංඛාර කොටස මේ ආර්ය මාර්ගය සදහාය.  අලෝභ, අ‍ද්වේශ, අමෝහ යන හේතු මුල් කරගෙන සිතුවිලි, ක්‍රියා, වදන් කුසල මූලයෙන් නැගෙන සංඛාරයි.  ලෞකික වූ අලෝභ, අද්වේශ, අමෝහ සහ ශාසනික වූ අලෝභ, අද්වේශ, අමෝහත් මීට පෙර විස්තර කල අයුරු ඔබට මතක ඇති.  ආගන්තුකව පැමිණි මූලික බෞද්ධ පින්වතුන්ට ශාසනික වූ අලෝභ, අද්වේශ, අමෝහ ගුණයන්ට එකවරම පත්විය නොහැකියි.  නමුත් ලෞකික වූ අලෝභ, අද්වේශ, අමෝහ ගුණ ධර්ම තුල කටයුතු කරන්නට ඒ අයට හැකියාව ඇත.  එසේ ගමන් කරන ඔවුන‍් ලබාදෙන ‍දේ ලබාගන්නා පිරිස අනුන්තර පින් කෙත් සේ ‍වන විට එනම් ආර්ය මාර්ගය ‍නොඅඩුව පූර්ණ කරගනිමින් නිවන මූලික කොටගෙන ඒ ඒ ඵලයන් ලබමින් ගමන් කරන්නන් උදෙසා කරන පින් පෙත් වලදී ඒවා ලබාගන්නා ආර්ය ගුණ බල මහිමයෙන් යුක්ත දායකයාගේ පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිශංස ලබන්නට උදවු ලබාදෙයි.  මේ අනුත්තර පින් කෙත් ගැන ඉදිරියේදී අප හොදින් විමසා බලමු.  ඒ ශාසනික සත්‍යයේ ආශිර්වාදය හේතු කරගෙන එම දායක පින්වතුන්ට ශාසනික වූ ආයුෂ, වර්ණ, සැප, බල, නුවණ පහල කරන්නට ඒ පුණ්‍ය ශක්තිය ආධාර වෙනවා.  එසේ ජනිත කරගත් ප්‍රතිඵල ඇති පින්වතුන්ට ශාසනික වූ අලෝභ, අද්වේශ, අමෝහ හෙවත් කුසල මූල ප්‍රත්‍ය කරගෙන සංඛාර පහල කරගන්නට අවස්ථාව ලැබෙනවා.  එවිටයි ශාසන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය කුසලය මුල්කරගෙන සංඛාර වැඩෙන්නේ.  එවිටයි ආර්ය සමාධි ඇති, මතු පහතට නොවැටෙන නිවනටම අභිමුඛව ගමන් කර නිවන සම්පූර්ණ කරන්ටම නියම වූ භික්ෂූ, භික්ෂූණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස විද්‍යාමාන වන්නේ. 


‍යම් අවිද්‍යාවක, යම් තෘෂ්ණාවක අත්හැරීමක්, නොඇලීමක්, මිදීමක් වේද ඒ ආර්ය මාර්ගයේ ඵලයයි.  මේ උත්තරීතර ඵල ලබන්නට සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන ඉන්ද්‍රීය 5ක් වැඩී තිබිය යුතුයි.  ඒ ඉන්ද්‍රීය බල වැඩෙන්නට ආයු, වර්ණ, සැප, බල, නුවණ යන කාරණා 5ක් තිබිය යුතුයි.  ඒ කරුණු අඩු පාඩු වුවහොත් උත්තරීතර ආර්ය ඵලයන් නොලැබී යනු ඇත.  බුදු දහම තුල සියලු ගුණ ධර්මයෝම අනුපූර්ව ක්‍රමයකට වැඩෙන බවයි ධර්මයේ පෙන්වා ඇත්තේ.  ළපටි ගුණ ධර්ම ක්‍ර‍මයෙන් වැඩී ගොසින් ගැඹුරු ගුණ ධර්ම පූර්ණය කරගන්නේ.  ශාසනික ගුණ ධර්ම ක්‍රමයෙන් පූර්ණය කර නොගෙන මුහුකුරා ගිය නුවණට ගෝචර වන ගැඹුරු ගුණ ධර්ම පහල කරන්නට නොහැකිය.  ශාසන මාර්ගයට බැසගත් මූලික ආධුනික පින්වතුන්ට ඤාණ සම්පයුක්ත කුසල් සිත් පළමු කාලයේ පහළ කරන්නට බැරිය.  ගැඹුරු දහම් වටහා ගන්නට ඕනෑ කරන පසුතලට තමා තුල පළමුව ගොඩනැගී තිබිය යුතුය.  දන් දීම, වත් පිළිවෙත් කිරීම ආදියෙන් මූලාරම්භ කළ යුතුයි.  සසර දී සිදු කල ශාසන පුණ්‍යතාවයන් තිබූ අය භවයෙන් භවය ඉපදී එනවිට ඒ ශක්තිය යටපත්ව පසුපස ඇදී එනු ඇත.  බුදු සසුන පිළිබදව ඇසෙන විට ඒ අයගේ සිත් සතන් නිරන්ත‍රයෙන්ම බුදු සසුන් කෙත් කරා ඇදී එනු ඇත.  ඒ පින්වතුන් ශාසන ඇප උපස්ථාන, පූජා සත්කාර ආදියට යොමුවූ වහාම පෙර තිබූ පුණ්‍ය ශක්ති බල ගැන්වී උසස් දහම් අවබෝධයට හේතු කාරක ගති ලක්ෂණ වේගයෙන් මතුවී සත්‍යාවබෝධයට නැඹුරු වනු ඇත.  පෙර පුණ්‍යතාවයන් දුර්වල පින්වතුන් ශාසන පින්කෙත් ඇසුරට එන්නට බොහෝ මැලි වනු ඇත.  අඩු තරමින් දානයකට, මල් පහන් ආදියකට අත ගැසූ තරම්වත් ආධාර මාත්‍රයක් කල තරම් හෝ පිනක් තිබූ අයට අනුන්ගේ උනන්දු කිරීම් ස්වභාවයකින් හෝ වැඩි කැමැත්තක් නැතත් ශාසන ඇසුරට එන්ට ඉඩකඩ සකස්වේ.  එබදු පිරිසට ගැඹුරු දහම් කරුණු ඉක්මනින් අවබෝධ නොවනු ඇත.  බෞද්ධ පින්වතුන් අතර ශ්‍රද්ධා, ප්‍රඥා ආදියෙන් දුර්වලකම් දැක ඒ ඒ පිරිස් අවතක්සේරුවට භාජනය නොකල යුතුය.  ශ්‍රද්ධාධික, ප්‍රඥාධික පිරිස් උපමා කරමින් උද්දාම කථාද නොකළ යුතුය.  සැම දෙනම මාත්‍රයෙන් මාත්‍රය හෝ ශාසනික නැණ ගුණ වඩාගෙන කවදා හෝ අප්‍රමාදව නිවන් දකිත්වායි කරුණා මෛත්‍රිය පැතිරවිය යුතුය.  එය ආර්ය මාර්ගය පූර්ණය ‍කරගන්නටද මහත් පිටිවහලක් ආධාරකයක් වනු ඇත.  බෞද්ධ යැයි සිටින ඉහත කී ගුණ ධර්ම කරා ඇදී එන බො‍හෝ පිරිසක් විටෙක ආශාවන්ට, ලෝක ධර්මතාවන්ට ඇලුම් කරමින් උද්දාමව ගත කරයි.  විටෙක සටන් කරමින්, අභියෝග කරමින්, ගැටෙමින්, ලොවම දවමින් ගත කරයි.  අදහස්ද විටෙක ඇලීම් සහගතය.  පාක්ෂිකත්වය කර ගසාගෙනය.  විටෙක ගැටීම් සහිතය.  දූෂිකත්වය කර ගසාගෙනය.  බොහෝ විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් ලබන රාගක්ෂය, ද්වේක්ෂය, මෝහක්ෂය යන නිවන හෝ නිවන් මග නියම ශාසන ලෙස නොගෙන ඊ‍ට වඩා වැඩි වටිනාකමකින් ශාසනය යැයි ඒවාට ඇති බාහිර පරිසරය අල්ලාගෙන උද්දාම වනු ඇත.  ඒ පරිසරය ගොඩනගා ගන්නටම වීර්ය කරනු ඇත.  බාහිර ලෝකය සමග භේද භින්න වීමද සිදු කරගනු ඇත.  ධර්ම රාජ්‍ය බුදු පියාණන්වහන්සේගේය බල රාජ්‍ය අපේ යැයි ලෝක රාජ්‍ය පාලනයෙහි හිත පිහිටුවාගෙන කටයුතු කල කොසොල් රජු, සක්‍රදේවෙන්ද්‍ර වැනි තැන්හි පිහිටමින් බල රාජ්‍ය ගොඩ නගා ගන්නට ජීවිත පූජාවෙන්ද සටන් කරනු ඇත.  එහෙත් භක්තිමත්ය.  බුද්ධ නාම මාත්‍රයටද ගරු සරු දක්වයි.  මෙබදු අවස්ථා දැක දොස් නොකිය යුතුය.  විවේචනය නොකල යුතුයි.  ශාසන පින්වතුන්ගේ ළදරු අවස්ථාව ගෙවෙන්නේ ඔය ලෙස බව තේරුම් ගත යුතුයි.  කවදා හෝ ඒ අයටත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩී එමගින් රාගක්ෂය, ද්වේක්ෂය, මෝහක්ෂය කර නිවන් දැකීමට හැකිවනු ඇත.  තම ජීවිතය හා තම පිරිස දැන් වනසා දැමුවත් ඒ කෙරෙහි නොගැටී අප්‍රමාදව ආර්ය මාර්ගයම වැඩිය යුතුය.  එයයි මුනිවරයන් වහන්සේලා නියම අනුශාසනාව කියා වැටහෙන දිනයක් උදාවනු ඇත.  සසුන් කෙතෙහි මේරූ භෝගය වහා ඵල දරන්නාක් මෙනි. මම නිතරම පැහැදිලි කරදෙන්නේ අප විසින් අන් අය විවේචනය නොකල යුතු බවත් අප විසින් තම තමන්ට අදාල දේ නිසියාකාරව පූර්ණය කල යුතුබවත් පවසන හේතුව දැන් ඔබටත් පැහැදිලි වන්නට ඇතියි සිතමි! මේ ‍දේවල් හොදින් සිහි තබාගැනීම ඔබේම දියුණුවට හේතුවන බවට මට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්. 


මෙසේ කුසල මූල ප්‍රත්‍යයෙන් සංඛාර වැඩුණු විටයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ.  නිවන් ඵලය ඉන් ලැබෙනු ඇත.  මෙමගින් බැහැර වූ ලෝක පැවැත්ම මූලික කරගත්, ප්‍රධාන කරගත් ඉතිරි සියලුම සංඛාරයෝ අවිද්‍යා මූලිකය.  අවිද්‍යා, තෘෂ්ණා මුලාවෙන් ජනිත කරන සියලු සිතිවිලි, ක්‍රියා, වදන් වලින් නැගෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් පහල වන සංඛාරයි.  කුසල මූල පච්චයා සංඛාර හෙවත් කුසලය මුල්වීම හේතුවෙන් සංඛාර වේ ලෙසින් ආරම්භ වන ආර්ය පටිච්ච සමුප්පාදය තුල විඤ්ඤාණ, නාම රූප, සළායතන, ස්පර්ශ, වේදනා යන අවස්ථාවන්ට වෙනතෙක්ම දකින්නට තිබුණත් ඒ කිසිවක් අවිද්‍යාව හේතුවෙන් ආරම්භ නොවන බව ඔබටම අවබෝධ කරගත හැකියි.  ඒ වගේම වේදනා පච්චයා තණ්හා හෙවත් වේදනාව හේතුවෙන් තණ්හාව වේ ලෙසින් ‍මෙහි යෙදෙන්නේ නැහැ.  වේදනා ‍පච්චයා පසාදෝ, පසාද පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භව, භව පච්චයා ජාති ආදී ලෙසට ගොස් “ඒ‍ව මේතස්ස කේවලස්ස ධම්මානං සමුදයෝ හෝති” නොහොත් “මෙසේ ධර්මයන්ගේ පහල වීම සිදුවේ” ලෙසින් අවසන් වන බව ඔබ දැනටමත් දන්නවා.  ඒ වගේම මේ තුලින් ආර්ය ජාතීන් 4ක් භික්ෂු ජාතිය, භික්ෂුණී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය ලෙසින් ඇතිවෙනවා කියලාත් කිව්වා. මේ සිව් පිරිසටත් ජරාවට පත්වීම මරණ ආදී දේ ජරා මරණ ලෙසින් පෙනවා තියෙනවා. එය එසේ බව අපටත් දැකගත හැකියි.  ඒත් “ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” නැතිනම් “මෙසේ සියලු දුක් රැසක පහලවීම සිදුවේ” ලෙසින් අවසන් නොවී “ඒ‍ව මේතස්ස කේවලස්ස ධම්මානං සමුදයෝ හෝති” නොහොත් “මෙසේ ධර්මයන්ගේ පහල වීම සිදුවේ” ලෙසින් අවසන් වීමට තමයි නියම වී තිබෙන්නේ.  එසේනම් මේ තුලින් ධර්මය පහල වෙනවා නම් දුක් රැසක් පහල නොවෙනවා නම් එයට භය වීටම හේතුවක් මම නම් නොදකිමි.  ඔබටත් එසේමැයි මම සිතමි! මන්ද යත් සසර ගමනට ඇද දමන දෙයක් ඇත්නම් අන්න එයටයි අප භය විය යුතුයි.  එයින් මිදීමට කටයුතු කල යුතුයි.  එහෙත් යම් දෙයක් කුසලයට මුල්වීම නිසා පැවැත්ම අවසන් කිරීමට හේතු වෙනවා නම්... අන් අයට යහපතක් කරන්න හේතු වෙනවා නම්... භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන උත්තරීතර ‍කොටසකට අයත් වීමට හේතු වෙනවා නම්... ඇයි අප එයින් මිදිය යුත්තේ? ඇයි එයට භය විය යුත්තේ?  වැඩි දුර අවබෝධය ඉදිරි ලිපි තුලින් ස්ථිර කරගන්නටත් හැකි වේවි. 


මෙහිදී අපට අවබෝධ කරගත හැකියි “කුසලස්ස උපසම්පදා” කියන වැඩිය යුතු කුසලය ගැන.  අන්න ඒ කුසලය වඩන විට වැඩෙන්නේ ආර්ය මාර්ගයයි.  ආර්ය මාර්ගය වැඩෙන විට ප්‍රඥාව වැඩෙනවා.  වැඩෙන ප්‍රඥාව ‍අවබෝධ වෙනවා මෙච්චර කල් අල්ලාගෙන හිටිය දුක ගෙන දෙන ලෝකයැයි යමක් ඇත්ද එයට බැදුන ඡන්ද රාගයක් ඇත්ද අන්න ඒ ඡන්ද රාගය අතහැරී, මිදී, නොඇලී යන්න පටන්ගන්නවා ක්‍රමයෙන්.  මේ කාරණාව මත තමන්ට වැ‍ටහෙන්න ගන්නවා වටිනවා යැයි සිතාගෙන දුකගෙන දෙන දේවල් අල්ලාගෙන හිටියා ඒ ඒ අවස්ථාවල රාග ගින‍්නෙන් දැවුණා, ද්වේශ ගින්නෙන් දැවුණා, මෝහ ගින්නෙන් දැවුණා වගේම ජාති, ජරා, මරණ,සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනාදී එකලොස් ගින්නකින් දැවි දැවී හිටියා කියලා අවබෝධ වෙනවා.  ඒ ඒ ගින්නෙන් දැන් මිදිලා නිවිලා ඉන්නේ කියලා අවබෝධ වෙනවා.  ‍‍හේතුව එබදු ගින්නට හේතුවන දේ ඇසුරු නොකරන නිසා.  අසාර බව දැනගෙන අත්හැරී නොඇලී ගියා කියලා අවබෝධ වෙනවා.  ඡන්ද රාගයෙන් එබදු දේ සමග බැදෙන්නේ නැහැ කියලා අවබෝධ වෙනවා.  ඒ නිසා එවැනි‍දේ ගොඩනගන්න බලාපොරොත්තුවක් තමන්ට නැතිබවත් අවබෝධවෙනවා.  පෙර ගින්න නැහැ කියලා තමන්ටම අවබෝධ වෙනවා.  තමන් නිවන් දැක්කද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ එය තමන්ටම අවබෝධ කරගන්න පුළුවන්.  පෙර තිබූ ගින්න නැතිවී නිවී සැනසී ගිය අකාරය අවබෝධ වෙනවා කුමක් නිසාද?    මෙන්න මේ ඉහත පෙන්වා දුන්න අවිද්‍යාව තුලින් හටගන්න සංඛාර නිරෝධ වුණානම් විඤ්ඤාණ නිරෝධයි, නාම රූප නිරෝධයි, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති ආදී සියල්ල නිරෝධ‍ වෙනවා.  අවිද්‍යාවෙන් හටගන්නා සංඛාර නිරෝධ කරගත්තා නම් නිවන් අවබෝධය ලබනවා. 

එසේනම් නිවන් දැකීමට මේ සංඛාර තේරුම් ගැනීමේ වැදගත්කම ඔබට පැහැදිලි වෙනවා නේද?  මෙසේ සංඛාර තේරුම්ගත යුතු ඔබ සංඛාර වලට හේතුව තේරුම් ගත යුතුයි.  සංඛාර නිරෝධය තේරුම් ගත යුතුයි.  සංඛාර නිරෝධ මාර්ගය තේරුම් ගත යුතුයි. 

සංඛාර සංඛාර වශයෙන් දැකිය යුතුයි මොනවාද සංඛාර කියන්නේ කියලා... ඒවා කොහොමද හටගන්නේ කියලා දැකිය යුතුයි... ඒ කාරණා දෙක මේ වන විටත් පැහැදිලි කරදී තියෙනවා.  ඒ වා‍ගේම මේ සංඛාර හටගැනීමේදී එහි අසාරත්වය දැක්කා නම් සංඛාර අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ථ වශයෙන් දැක්කා නම් අපි දකිනවා සැරිසරන්න වටිනා දෙයක් හරයක් ඇති දෙයක් ඒ තුල නැහැ කියලා.  එවිට තමයි සංඛාර නිරෝධයේ වටිනාකම අවබෝධ වෙලා නිවනට හිත පිහිටවා ගත්තා වෙන්නේ.  සංඛාර නිරෝධයක් ඇතිද එය නිවනයි.  රාගක්ෂයෝ නිබ්බාණං, ද්වේශක්ෂයෝ නිබ්බාණං, මෝහක්ෂයෝ නිබ්බාණං ආදී වශයෙන් නිවන පෙන්වා තිබෙන්නේ ඒ ආකාරයටයි.  එසේනම් සංඛාර නිරෝධයක් ඇත්ද නිවන එතැනයි යන්න අවබෝධ කරගත යුතුයි.  එසේනම් ඔබේත් මගේත් එකම අරමුණ වන උතුම් නිවන් ඵලය ලබාගැනීමට නම් සංඛාර නිරෝධ කරගත යුතුයි.  සංඛාර අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් දැකිය යුතුයි. 

තමන් කැමතිසේ පවතින්නේ නැතිබව ධර්මතාවය නම් කැමතිසේ නොපවතින දෙයක් දුකක් මිස සතුටක් ලබාදෙන්නේ නැතිබවත් අවබෝධ වූවා නම් යම් ක්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් මට ඕනේ මෙහෙම පවත්වන්න කියලා යෙදෙවුවාට එය කල නොහැක්කක් කියලා අවබෝධ වෙනවා.  ඒවා ඇසුරු කරන්න කරන්න දුක පමණක් බව අවබෝධ වෙනවා.  මේ අනන්ත සසර තුල අප කොපමණ හිතලා ඇතිද? කොපමණ කරලා ඇතිද? කොපමණ වචන කථා කරල ඇතිද? ඒත් තවමත් හිතනවා, කියනවා, කරනවා.  ඒ විතරක් නෙවේ ඉදිරියටත් කියන්න, කරන්න, හිතන්න බලාපොරොත්තු වෙනවා.  මෙන්න මේ යන ගමන හරයක් නැහැ කියලා වැටහුණ දිනයට දකිනවා අසාර ගමනක ස්වභාවය.  අසාර සකස්කිරීමක ස්වභාවය.  අසාර සිතුවිලි, ක්‍රියා, වදන් පැවැත්වීමේ ස්වභාවය දකිනවා.  එසේනම් රාගය, ද්වේශය, මෝහය මුල්කරගෙන යම් පුද්ගලයෙක් හිතන්න කියන්න කරන්න පටන්ගත්තා නම් අසාරත්වය පමණයි ඉතිරිවෙන්නේ කිසිම ඵලයක් දකින්නට ඉතිරිවෙන්නේ නැහැ.  යම් දවසක ඥානවන්තව මෙසේ සිතලා අවබෝධ කරගත්තා නම් මෙසේ අසාර වන්නා වූ සිතුවිලි, ක්‍රියා, වදන් අසාරත්වයක්ම ඇතිකරවනවා කියලා.  එසේ හරයක් නැති දේ පසුපස යෑම අවිද්යාව කියලාත් අවබෝධ වෙනවා. 


එතකොට අවබෝධ වෙනවා අවිද්‍යාව නිසා නේද මේ විදියට සිතන්න, කියන්න, කරන්න පටන්ගන්නේ කියලා.  රාගය, ද්වේශයෙන්, මෝහයෙන් කියන කරන සිතන ඒවා අවිද්‍යාව නිසා නේද මතුවන්නේ කියලා අව‍බෝධ වෙනවා.  ඒ විදියට හරයක් නැති දේවල් පසු පස මට තවත් යන්න ඕනේ නැහැ ඒ දේවල් කිසිම වැඩ‍කට නැහැ කියලා අවබෝධ කරගත්තාම පංච කාම ලබන පැත්තට යන්න තිබුණ හිත එතැනින්ම අවසන් වෙනවා.  එබදු හිතකින් කරන ක්‍රියා කලාපය එතැනින්ම ඉවරයි.  පුණ්‍ය සංඛාර හෙවත් පුඤ්ඤාභිසංඛාර අවසන් වෙනවා.  යම් කිසි පව් වැඩකට අදාලව කරන්න, කියන්න, සිතන්න තිබුණ වැඩපිලිවෙල එවැනි සිතක කොහොමටවත් ඉතිරිවෙන්නේ නැහැ.  අපුඤ්ඤාභිසංඛාර හෙවත් අපුණ්‍ය සංඛාරත් අවසන් වෙනවා. 

එසේ දැකලා සහමුලින්ම කෙලවර කලදිනයට “පුඤ්ඤපාප පහීනස්ස” කියන අරිහත්වයට පත්වෙනවා.  එය තමයි මේ බුදු දහමේ තියෙන උත්තරීතර ප්‍රතිඵලය.  ඔන්න ඔය උත්තරීතර ඵලය ලබන්නට සංඛාර වල යථාර්ථය අවබෝධ කරගැනීම වැදගත්වෙනවා.   එසේනම් නිවන් දකින්න අවශ්‍යනම් සංඛාර තේරුම් ගත යුතුයි.  සංඛාර වලට හේතුව තේරුම් ගත යුතුයි.  සංඛාර නිරෝධය තේරුම් ගත යුතුයි.  සංඛාර නිරෝධ මාර්ගය තේරුම් ගත යුතුයි.  මෙහිදී සංඛාර මුල්කරගෙන චතුරාර්ය සත්‍ය වටහාගත්තා කියන තැනට පත්වෙනවා.  ඔන්න තවත් නිවන් මාර්ගයක් විවෘත වුණා.  ඔබ සංඛාර නිරෝධය තුලින් නිවන් අවබෝධ කරගන්නවා නම් මෙන්න මේ විස්තරය හොදින් අවබෝධ කරගෙන ඒ අනුව මාර්ගය අනුගමනය කිරීම තුලින් ඔබට නිවන් අවබෝධ කරගත හැකියි. 

මේ උත්තරීතර ධර්ම මාර්ගය තුලින් සංඛාර නිරෝධ කරගන්නා ආකාරය අවබෝධ කරගත යුතුයි.  එතුලින් සංඛාර නිරෝධ වූ විට විඤ්ඤාණ නිරෝධ වෙනවා කියන කාරණයත් පෙන්වා දී තිබෙනවා.  එසේනම් සංඛාර ඇතිතැන විඤ්ඤාණ වැඩෙනවා සංඛාර නැතිතැන විඤ්ඤාණ නිරෝධ වෙනවා කියන එක පැහැදිලිවෙනවා.  සංඛාර හේතුවෙන් ගොඩනැගෙන විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ - සෝක - පරිදේව - දුක්ඛ -දෝමනස්ස - උපායාස යන සියලු දුක් රැස නැතිවී යනවා.  නිවනින්ම සැනසෙනවා! 

මේ සංඛාර තුලින් විඤ්ඤාණ ගොඩනැගෙන්නේ කොහොමද කියලා අප මීලග ලිපිය තුලින් විමසා බලමු.

එතෙක් ඔබේ අව‍බෝධය පිණිස කෙටිසටහනක් තබනවා නම් සංඛාර අවිද්‍යවෙන් හටගන්නවා... අවිද්‍යාව නිසා හටගන්නා සංඛාර වලට අවිද්‍යාව හේතුවෙනවා.  එයින් විඤ්ඤාණ හටගන්නවා. විඤ්ඤාණ වලට ඒ සංඛාර හේතුවෙනවා.  මෙන්න මේ විඤ්ඤාණ කියන අවස්ථාවට පත්වෙන එක වලක්වාගැනීමට සංඛාර නිරෝධ කරගන්න පුළුවන් වුණා නම් හැකිවෙනවා.  කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ‍එහෙමත් නැත්නම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනේඤ්ඤාභි සංඛාර ආදී ලෙසින් ‍පින් පව් ආදී දේ සකසා මේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් ගොඩනගලා දෙන යම් කිසි වැඩපිලිවෙලක් තියෙනවා නම් ඒ දේවල් පසුපස යන්නේ මේ ‍ඇත්ත නොපෙනී විද්යාව පහලනොවී ලොකය වටිනවා යැයි ගන්න නිසායි.  අවබෝධය තුලින් එබදු ලෝකය පසුපස හඹායන ස්වභාවය නැතිවී අත්හැරී නොඇලී මිදී ගියානම් ලෝකයට බැදුනු ක්‍රියා, ලෝකයට බැදුනු වදන්, ලෝකයට බැදුනු සිතුවිලි වලින් මිදුනා නම් එයයි සංඛාර නි‍රෝධ වීම.  එතැනම ආර්ය මාර්ගය පූර්ණයි නිවන් අවබෝධය ලැබී අරිහත්වයට පත්වෙනවා. 

එසේනම් සංඛාරත්, සංඛාර වලට හේතුවත්, සංඛාර නිරෝධයත්, සංඛාර නිරෝධ මාර්ගයත් හොදින් අවබෝධ වී නොපමාව නිවනට යොමුවීමට ඕනෑ කරන සියලුම ආශිර්වාදයන් මේ ලිපිය තුල කැටිකරමි!
සම්මා සම්බුදු සරණයි!

2 comments:

Anagarika Wijayananda said...

සංකාර නිර්වචනය කිරීමේ දී මෙතුමී පලමුවෙන් ඒ පිලිබද දැක්වූ නිර්චනය අපි බලමු පලමුවෙන්..මෙන්න එය////
අප විසින් පළමුකොටම “සංඛාර” සහ “කාර” තෝරාගත යුතුයි. “කාර” කියන්නේ ක්‍රියා කලාපයට. එහෙනම් ඕනෑම අයෙකුට උපතේ සිට මරණය දක්වාම ක්‍රියා කරන්න වෙනවා. අරිහත් ඵලයට පත් උත්තමයන්ටත් වෙනවා ක්‍රියා කරන්න. කථා කරන්න, ක්‍රියා කරන්න, හිතන්න ආදී ලෙසට ක්‍රියා කරන්න. එහෙනම් “කාර” සහ “සංඛාර” එකක් නොවේ නේද? අවිද්යාව මුල්වුණාම තමයි මේ ඉහත පෙන්වා දුන්න නිකම්ම නිකම් “කාර” “සංඛාර” බවට පත්වෙන්නේ.//මෙන්න මෙතුමී දෙවනුව සංකාර පිලිබද දක්වන නිර්වචනය/// මාර්ගය වඩන අයට වැඩිය යුතු සංඛාර කොටසට කියනවා “කුසල මූල පච්චයා සංඛාර” කියලා. ඒ කියන්නේ කුසලය මුල් කරගෙන හේතු කරගෙන සංඛාර කිරීමයි. අපි අත්හැරිය යුත්තේ අවිද්යා පච්චයා සංඛාරා කියන කොටසයි. //මුලදී අවිද්‍යාව මුල්කොට ගෙන සං කාර ඇතිවන බව පවසන මෙතුමී දෙවනුව අවිද්‍යාව රහිතව ඇතිවන සංකාරද ඇතිබව පවසයි..‍මෙහි ඇගි පරස්පරය නුවනින් විමසත්වා

Anagarika Wijayananda said...

ඔබතුමී සිතන ආකාරයට අනුව අරතුන් වහන්සේලාට ඇත්තේ සංඛාර නොවේ...ඛාර පමණයි..මට වැටහෙන ලෙස නම් අරහතුන් වහන්සේලාට නැත්තේ පංච උපාදානස්කන්ද මිස පංචස්කන්ද නොවේ...ඉතිං ඔබතුමි සතන අයුරින් අරිහතුන් වහන්සේලාට ඇත්තේ සංඛාර නොව ඛාර පමනක් නම් පංචස්කන්දය දැක්වීමේදී සංඛාරස්කන්දය ලෙස නොව ඛාරස්කන්දය ලෙස දැක්වීමට සිදුවනු ඇත...මෙවන් වැරදි අන්තර්ජාලය තුලින් ප්‍රචාරය කිරීමේ අනතුරනම් සත්ධර්මය ගැන වැටහීමක් නැති බොහො දෙනා මේ විකෘති අදහස් සත්‍යලෙස ගෙන නොමග යෑමයි...ඒ කාරණය ඔබතුමීටත් මේ සසරතුල දිගු කලක් අයහපත පිනිස පවතිනු ඇත...අදහස් දැක්වූයේ ඔබතුමීට සහ අන්අය ගැන අතිවු කරුනාවෙනි...තෙරුවන් සරණයි