Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, December 29, 2009

විඤ්ඤාණ




උතුම් බුදු දහම තුලින් විඤ්ඤාණ පිලිබදව දැනගතයුත්ත කුමක්ද එයින් අපට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද කියන කාරණය හොදින් තේරුම් අරගන්නට ඕනේ. 

විඤ්ඤාණ කියන්නේ මොකක්ද? විඤ්ඤාණ වලට හේතුව කුමක්ද? විඤ්ඤාණ නිරෝධය කුමක්ද? විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්ද? මෙන්න මේ කාරණා ටික අවබෝධ කරගත්තා නම් මෙය උතුම් නිවන් මගක්.  නිවන් දැකීමට අදාල සුවාසුදහසක ධර්මස්කන්ධය තුලින් මෙයත් එක් නිවන් දැකීමට උපකාර වන එක් ධර්මස්කන්ධයක් වෙනවා.  එනිසා මොනවාද විඤ්ඤාණ කියන්නේ කියන කාරණය හොදින් තේරුම් ගත යුතුයි. 

විඤ්ඤාණ සකස් වෙන්නේ කොහොමද “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන එක්තරා සිද්ධාන්තයක් තුලින්.  අවිද්‍යාව නිසා හටගන්නා සංඛාර වලට අවිද්‍යාව හේතුවෙනවා.  එයින් විඤ්ඤාණ හටගන්නවා. විඤ්ඤාණ වලට ඒ සංඛාර හේතුවෙනවා.  මෙන්න මේ විඤ්ඤාණ කියන අවස්ථාවට පත්වෙන එක වලක්වාගැනීමට සංඛාර නිරෝධ කරගන්න පුළුවන් වුණා නම් හැකිවෙනවා යන්න පෙර සංඛාර විස්තරය සහිත ලිපියේ සදහන් කලා ඔබට මතක ඇති.  ‍මෙන්න මේ අවස්ථාව තුල සංඛාර මගින් කොහොමද විඤ්ඤාණ ඇතිවෙන්නේ යන්න අපට අවබෝධයට පහසු වෙන ආකාරයට පැහැදිලි කරගත යුතුයි. 

සුපිරිසිදු චිත්තය කහට ගැන්වේ... 
සංඛාර හේතුවෙන් “ප්‍රභාශ්වරත්වය නම් චිත්තයයි - අරමුණු දැනෙන ස්වභාවය චිත්තයයි" කියලා පෙන්වපු කහට ගැන්වීමෙන් තොරවූ මූලික චිත්ත ස්වභාවය කහට ගැන්වෙන්න පටන්ගන්නවා.  ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුක්තව යම් කිසි පුද්ගලයෙක් හිතන්න කියන්න පටන්ගත්තා නම් එසේ එයට අනුකූලව මෙහෙයවන මානසිකත්වය ක්‍රම ක්‍රමයෙන් රාග කහට, ද්වේශ කහට, මෝහ කහට ගැනෙන්න පටන්ගන්නවා.  මේ චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට පත්වෙන්නේ... කටහ ගැන්වෙන්නේ අවස්ථා 9ක් තුල කහට ගැන්වීමක් තුලින්.  චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, ‍මනේන්ද්‍රියන්, විඤ්ඤාණං, විඤ්ඤාණං ස්කන්ධ ලෙසින් චිත්ත 9 වතාවක් කහට ගැන්වෙමින් ගොස් තමයි විඤ්ඤාණ අවස්ථාවට පත්වෙන්නේ.  ඒ කහට ගැන්වීමට හේතුව තමයි කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර කියන රාග, ද්වේශ සහ මෝහ මුල් වී හටගත්ත නැත්නම් අවිද්‍යාව නිසා හටගත්ත මානසිකත්වය. 

අපට දැනෙන ලෙසින් අවබෝධයට පහසු වෙන ලෙසින් මේ චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, ‍මනේන්ද්‍රියන් යන අවස්ථාවන් පහදා ගනිමු. 


චිත්ත වල ස්වභාවය තමයි අරමුණක් දැනෙන ලක්ෂණය.  ඒ කියන්නේ දැනගන්න බලාපොරොත්තුවක් නැති අවස්ථාවක්. දැනීම දැනෙනවා... ඒත් එය දැනගන්න බලාපොරොත්තුවක් නැහැ.  පෙනීම සහිත ඇස් තියෙන නිසා නොයෙක් නොයෙක් දේ පෙනෙන්නට තියෙනවා ඒත් ඒවා ගැන උන්නදුවෙලා බලන්න බලාපොරොත්තුවක් නැහැ නැතිනම් පෙනුනාය කියලා ඒවා බලන්න උවමනාවක් නැහැ කිව්වොත් ඔබට පැහැදිලි වෙනවාද?   කණ තියෙන නිසා නොයෙක් ශබ්ද ඇහෙනවා.  ඒත් ඒවා අහන බලාපොරොත්තුවක් නැහැ.  නාසය තියෙන නිසා ගන්ධයන් දැනෙන ස්වභාවය තියෙනවා ඒත් ඒ ඒ ගන්ධයන් වින්දනය කරන්න බලාපොරොත්තුවක් නැහැ.  දිව තියෙන නිසා රස දැනෙනවා ඒත්ත ඒ රස ලබාගැනීමට බලාපොරොත්තුවක් නැහැ.  කය තියෙන නිසා ස්පර්ශයන් දැනෙනවා ඒත් ඒ ස්පර්ශ ගැන බලාපොරොත්තුවක් නැහැ.  මෙන්න මේ ආකාරයට හිත තියෙනවා කියලා දැනෙනවා ඒත් ඒ හිත යොදවමින් පංච කාමයන් පසුපස හඹා යෑමට බලාපොරොත්තුවක් නැහැ.  මෙය තමයි ප්‍රභාශ්වර පිරිසිදු අරමුණු දැනගැනීමේ ලක්ෂණය සහිත චිත්ත ස්වභාවය ලෙසින් පෙන්වා දුන‍්නේ.  මේ චිත්ත ස්වභාවය අරිහත්වයට පත් උතුමන් හටයි පවතින්නේ. 


මෙන්න මේ චිත්ත ස්වභාවයට පෙනෙනවා, ඇහෙනවා, ගන්ධයන් දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා ආදිය ‍සිදුවෙනකොට අවිද්‍යාවෙන් යුක්තව ඒ දේවල් සාරවත් ලෙස ගන්නා ලෝක සත්වයාට ඒ ඒ අරමුණු දැනෙන මට්ටමින් ඉන්න බැරිව යනවා.  ඒක මොකක්ද කියලා දැනගන්නමයි හිතෙන්නේ.  දැනගෙන මේ අහවල් දේනේද කියලා මැනගන්න හිතෙනවා.  පේන දේවල්, ඇහෙන දේවල් ආදී ලෙසට වෙන් වෙන් කරලා මැනගැනීමේ බලාපොරොත්තුවක් හිතේ හටගන්නවා.  ඒ තුලින් මේ මේ දේවල් මේ ආකාරයි මේක ලස්සනයි.. මේක කැතයි... මේක මේ හැඩය ආදී ලෙසට මැනගන්නවා.  මෙන්න මේ මනින අවස්ථාව තමයි චිත්ත කියන අවස්ථාව ඉතාම සුළු කහටක් ගැන්විලා පත්වෙන මනෝ කියන අවස්ථාව. 


මෙන්න මේ මැනගත්ත දේවල් වටිනවා කියලා මනසින් එකතුවෙන අවස්ථාවට පත්වෙනවා.  මන සමග අප දැනටමත් හොදින් දන්නා “සං” කියන අවස්ථාව යෙදී මානසං බවට පත්වෙනවා. 


දැන් ඒ දේවල් අතහැර ඉන්න බැරි තත්වයකට හිත පත්වෙනවා... ඒවායේ ඇසුරේම ඉන්න හිතෙන තත්වයට චිත්ත කියන අවස්ථාව කහට ගැන්විලා හදයං කියන අවස්ථාවට පත්වෙනවා. 


ඇසුරු කරන දේවල්ම වඩාත් බලවත්වෙමින් පනපෙවමින් ලං කරගන්නවා.  ඒවාට තියෙන හිතවත් කම වැඩිවෙලා බැදීම් රැදීම් එනවා ඒ කියන්නේ පණ්ඩරං කියන අවස්ථාවට චිත්ත කහට ගැන්වෙනවා.       


දැන් මැන ගත්ත දේවලම ජීවත්වෙන්න හිතෙනවා.  යථා ස්වභාවයෙන් නැත්නම් පකෘති මානසිකත්වයෙන් ඉවත්වෙලා වටිනවා කියලා ලංකරගත්ත දේ සමගම සිතින් ජීවත්වෙන්න පටන්ගන්නවා.  මනෝ මනායතනං අවස්ථාව.
ඒ දේම අග්‍රකරගෙන මනේන්ද්‍රියන් කියන අවස්ථාවට පත්වෙනවා. 


දැන් දැනීම නැත්නම් දැනෙන ස්වභාවය යොමුකලේ හරයක් ඇතිදෙයකට නෙවේ නිසා අසාර පැවැත්මක් වටිනවා කියලා අල්ලගත් මුලාවකට නිසා විඤ්ඤාණං කියන අවස්ථාවට කහට ගැන්වුණා. 

මෙන්න මේ ආකාරයට තමයි සංඛාර නිසා චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට කහට ගැන්වෙන්නේ. 


අති සංකීර්ණ ගැඹුරු දහමක් තරමක් සරලව... 
ඔබට මතක ඇති පටිච්ච සමුප්පාද හැදින්වීමේ ලිපිය තුල පටිච්ච සමුප්පාදය ප්‍රධාන වශයෙන් ආකාර 4කින් ක්‍රියාත්මක වෙනවා ලෙසින් සටහන් තිබූ බව.
1.     හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය)
2.     ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය)
3.     සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය)
4.     අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්‍යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය)

අවිද්‍යාව ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ සකස්වෙනකොට සකස්වෙලා එකට බැදෙන රැදෙන ක්‍රම 4ක් තියෙනවා. ඒ තමයි ඉහත පෙන්වා දුන්න පටිච්ච සමුප්පාද ආකාර 4. 

“අවිජ්ජා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං” මේ ප්‍රත්‍යය වෙලා බැදෙන හැටි. 

“අවිජ්ජා පච්චයා සංඛාර අවිජ්ජා හේතුකෝ - සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුකං (අවිද්‍යාව හේතුවෙන් සංඛාර හටගන්නවා.  එයට අවිද්‍යාව හේතුවෙනවා - සංඛාර හේතුවෙන් විඤ්ඤාණ හටගන්නවා, එයට සංඛාර හේතුවෙනවා)” මේ හේතු වශයෙන් බැදෙන හැටි.

“අවිජ්ජා පච්චයා සංඛාරා අවිජ්ජා සම්ප්‍රයුක්තං - සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර සම්ප්‍රයුක්තං (අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාරවේ. අවිද්‍යාව සමග යෙදේ.  සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ.  සංඛාර සමග යෙදේ)” මේ සමග යෙදෙන හැටි. 

“අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා අවිජ්ජා - සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා සංඛාරා (අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාරවේ. සංඛාර ප්‍රතයයෙන් අවිද්‍යාවවේ.  සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ.  විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් සංඛාරවේ)” මේ අන්‍යෙන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන හැටි.

හේතු, ප්‍රත්‍ය, සම්ප්‍රයුක්ත, අඤ්ඤ මඤ්ඤ කියන 4 ආකාරයකින් මෙන්න මේ විඤ්ඤාණය අවිද්‍යාව සහ සංඛාර සමග සම්බන්ධ වෙනවා.  ඉතාම ගැඹුරුයි මෙය බොහෝම හොදින් සියුම්ව හිතලා තෝරගන්න ඕනේ. 

සංඛාර නිසා විඤ්ඤාණ බවට පත්වීම තවත් සරලව පහදා දෙනවා නම් උපතේදී බොහෝ විට ළදරුවෙකුට තිබෙන්නේ දැනෙන බව සහ ඒවාට ප්‍රතිචාර දක්වන්නට පහල වෙන සිත් පෙලක්‍ නේද?  බොරුවට, වංචාවට, කපටි කමට, අසත්පුරුෂ කමට හෝ ගුණයට, සත්පුරුෂ බවට, යහපතට හෝ නැමුනු සිත් පහල වෙන්නේ උපතින් පසු කියන, කරන, සිතන ආකාරය අනුව පහල වූ පෙලවල් වලින් බව අප දන්නවා.  යම් යම් පහත් හෝ උසස් ගති ලක්ෂණ ඇති චිත්ත ස්වභාවයන් පහල වෙන්නේ හිතන, කියන, කරන දේට අනුවයි. 
විකෘති දැනීම... 
ඉතින් ඤාණ යනු න්‍යය ධර්ම නැත්නම් සිද්ධාන්ත පිලිබද දැනීමයි.  අවිද්‍යාවෙන් මුලාවී ආශාවන්ට වහල් වී කටයුතු කරන විට න්‍යය ධර්ම දැනීම නැත්නම් සිද්ධාන්ත දැනීම වෙනුවට විකෘති දැනීමක් හටගන්නවා.  ඒවාට තමයි විඤ්ඤාණ කියලා කියන්නේ.  අප දුක, මුලාව කරා ඇ‍දගෙන යන්නේ, මතු මතු භව වලට ඇද‍ දමන්නේ අවිද්‍යාවෙන්, මුලාවෙන් ඒ ඒ සිද්ධාන්ත ධර්ම නොවැටහෙන ලෙස සිතුවිලි, ක්‍රියා, වදන් තුලින් නැගුන විඤ්ඤාණ වලිනි.  ලෝකයට ඇලුම් කරමින් පහල වන කෙබදු ගතියක් නමුත් මේ විඤ්ඤාණ සමග තමයි යෙදෙන්නේ. 

අප භයානක ලෙස, මුලාවක් ලෙස, දුකට හේතු කාරකයක් ලෙස දැන අත් හල යුත්තේ අවිද්‍යාව මුල්කරගෙන ඇතිවූ සංඛාර හේතුවෙන් ගොඩනැගෙන විඤ්ඤාණයන්ය.  විඤ්ඤාණ සහ විඤ්ඤාණ ස්කන්ධ යනු වෙනම තේරුම් ගත යුත්තක්.  සූත්‍ර පිඨකයේ දේශනාවල විඤ්ඤාණ ස්කන්ධය දේශනා කර ඇත්තේ චිත්ත මාත්‍රයක් ලෙස නොවේ.  අතීත, අනාගත, වර්ථමාන, සියුම්, ඝණ, දුර, ලග, හීන, ප්‍රනීත විඤ්ඤාණ යැයි යම් සම්පිණ්ඩනයක් වේද එය විඤ්ඤාණ ස්කන්ධයයි යනුවෙනි. 

ඉතින් මේ චිත්ත කියන අවස්ථාව, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, ‍මනේන්ද්‍රියන් කියන අවස්ථාවන් ඉක්මවා ගොස් විඤ්ඤාණං කියන තැනට පත්වෙලා අතීත අනාගත වර්ථමාන කියන තුන් කල්හි එබදු දැනීම් පොදි එකතු කරලා මනසින් සනිටුහන් කරගෙන ඒ තුල බැදිලා රැදිලා ඉන්න පරිසරයක් ගොඩනගාගෙන එබදු දැනීම් ස්වභාවයකට පත්වෙලා ඉන්න විට කියනවා විඤ්ඤාණස්කන්ධයක් හා බැදිලා ඉන්නවා කියලා.  මේ විඤ්ඤාණ ස්කන්ධයක් සකස්වෙලා එන ආකාරය තමයි මෙලෙස කෙ‍ටියෙන් අප දැනගත්තේ. 

එහෙනම් විඤ්ඤාණ කියන්නේ මොකක්ද? විඤ්ඤාණ වලට හේතුව මොකක්ද?
“සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැන විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ විග්‍රහ වෙනවා
 “තත්ථ කථමං සංඛාර පච්චයා විඤ්ඤාණං? 
(සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වෙනවා කියන්නේ කුමක්ද?) 
“චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාණ විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, 
කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං 
අයං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං (සංඛාර‍ හේතුවෙන් හටගන්න විඤ්ඤාණ එයවේ)”.      

ගින්න ගින්නමයි...
මේ ආකාරයට තමයි විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය තුලින් මේ කාරණය අපට තේරුම් කරලා තියෙන්නේ.  දැන්‍ අප තේරුම් ගන්න ඕනේ මේ රටාව තුලින් මේ විඤ්ඤාණ කියන අවස්ථාව ප්‍රභේද නැත්නම් අවස්ථා 6කට බෙදලා විග්‍රහ කරලා පෙන්වනවා.  බුදු පියාණන්වහන්සේ පෙන්වා දෙනවා මේ ප්‍රභේද වශයෙන් වෙන් කෙරුවට මේ විඤ්ඤාණ වල ස්වභාවය එකයි කියලා.  දර එකතු කරලා ගිනි ‍ගොඩක් ගහනවා, පිදුරු එකතු කරලා ගිනි ‍ගොඩක් ගහනවා, දහයියා එකතු කරලා ගිනි ගොඩක් ගහනවා මේ ආදී වශයෙන් කොල රොඩු එකතු කරලා ගිනි ‍‍ගොඩක් ගහනවා.  මේ විදියට දර වලින් හැදුන ගින්දරට දර ගින්න කියනවා, පිදුරු වලින් නැගුන ගින්නට පිදුරු ගින්න කියනවා, දහයියා වලින් නැගුන ගින්නට දහයියා ගින්න කියනවා, කොලරොඩු වලින් නැගුණ ගින්නට කොලරොඩු ගින්න කියනවා හැබැයි මොන නමින් හැදින්වූවත් ගින්න එකවාගේ. 

මෙන්න මේ වාගේ ඇස මුල්වෙලා හටගන්න විඤ්ඤාණ වලට චක්ඛු විඤ්ඤාණ කියනවා, කණ මුල්වෙලා හටගන්නා සිත් වලට නැතිනම් ඒ ආකාර වූ කෙළෙස් සහිත සිත්වලට සෝත විඤ්ඤාණ කියනවා, නාසය මුල්කරගෙන හටගන්න ඒවාට ඝාණ විඤ්ඤාණ කියනවා, දිව මුල්කරගෙන නැත්නම් රස මුල්කරගෙන හටගන්නා ඒවාට ජිව්හා විඤ්ඤාණ කියනවා,  ඒවාගේම කය පහස මුල්කරගෙන හටගන්න ඒවාට කාය විඤ්ඤාණ කියනවා, මන ධර්මයන් මුල්කරගෙන හටගන්න ඒවාට මනෝ විඤ්ඤාණ කියලා කියනවා.  මේ ආකාරයට මේ විඤ්ඤාණ කියන තත්වයේදී 6 ආකාරයකට බෙදලා පෙන්වූවත් විඤ්ඤාණ නැමැති එකම ස්වභාවය තමයි ඒ ඒ හටගත්ත ස්වභාවයන් අනුව නැත්නම් මූලධර්මයන් අනුව ඒ ඒ නමින් පෙන්නලා තියෙන්නේ.  ඒ නිසා හොදින් තේරුම් ගන්න ඕනේ විඤ්ඤාණ කියන ස්වභාවයේ යථා ස්වභාවය.   මොකක්ද මේ විඤ්ඤාණ කිව්වේ කියලා ඔය ආකාරයට අපි එකින් එකට තෝරගන්න ඕනේ.  එක චිත්තක්ෂණයක් තුලද ‍ඉහත ‍විස්තර කල පටිච්ච සමුප්පාද චක්‍ර 4 හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවාද?  එය මම මෙහි විස්තර නොකොට පසුවට විස්තර කිරීමට කල් තබන්නෙ‍් ඉතාමත් ගැඹුරු කරන මූලික විස්තරයට බහාලමින් ඔබව පටලවා අපසුවට පත් කිරීම නුසුදුසු බැවිනි. 

විඤ්ඤාණ කියන්නේ හිතයි... හිතේ කොටසයි කිව්වාට පමණක් හරියන්නේ නැහැ ගැඹුරෙන් තෝරගන්න ඕනෙ මේ විඤ්ඤාණ කියන අවස්ථාව මොකද මේ විඤ්ඤාණ දුකක් ගෙනදෙන්න මුල්වෙන නිසායි.  ඒ නිසා එය හොදින් හොයලා බැලිය යුතුයි.  විඤ්ඤාණ ගොඩනැගුනොත් අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ගොඩනැගුනොත් අපට නවත්තන්න බැහැ 
“විඤ්ඤාණ පච්චයා නාමරූපං - නාම රූප පච්චයා සලායතනං  - සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” බවට පත්වෙලා දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නැහැ.  අනාථ වෙලාම තමයි නවතින්නේ. 

විඤ්ඤාණ පස්සේ ගියොත් අනාථ වෙන නිසා විඤ්ඤාණ දැනගන්නම ඕනේ.  විඤ්ඤාණ හැදෙන හැටි දැනගන්න ඕනේ.  එතකොටයි දුරු කරගන්න පුළුවන් බව දැනගෙන දුරු කරගන්න මාර්ගය හොයාගෙන දුරුකරගන්න පුළුවන් වෙන්නේ.  හොදින් තේරුම් ගන්න ‍ඕනේ විඤ්ඤාණ නිරෝධ කරගන්න ඉස්සෙල්ලා විඤ්ඤාණයක ආදීනව දකින්න ඕනේ.  යමක් වටිනවා කියලා සිතුවිල්ල තියෙන කම් ඕක වටින්නේ නැහැ විසිකරලා දාපන්, අයින් කරපන් අමතක කරපන් කිව්වට කවදාවත් කරන්න බැහැ.  වටිනවා කියන දෘෂ්ඨිය යම් හෙයකින් අප තුලින් අහක් වෙලා ගියා නම් ඕක විසිකරපන් කියලා කව්රුවත් කියලා දෙන්න ඕනේ නැහැ.  තමන්ම විසිකරනවා මයි වැඩක් නැහැ.  ඒ ගැන හිතන්න එපා කියන්න දෙයක් නැහැ හිතන්න හරයක් නැති බව ඇත්තමයි කියලා එබදු ස්වභාවයන්ට පත්වීමක් වෙනවා යථාර්ථය තුලින් විඤ්ඤාණ අසාරයි කියලා වටහාගන්න.  එය අසාරයි කියලා වටහාගත්ත විට එය අත්හැරපන්, ‍මිදියන්, නොඇලියන් කියලා කව්රුත් කියන්න ඕනේ නැහැ අත්හැරීම, මිදීම, නොඇලීම ස්වභාවයක් වෙනවා නිවී සැනසී යාම ස්වභාවයක් වෙනවා. කෙටියෙන් කියනවා නම් නිවන් අවබෝධ කරගැනීම ස්වභාවයක් වෙනවා.  “ධර්මයෝම ධර්මයෝ පවත්වයි නිර්වාණ පරතෙරට යාම සදහා ධර්මයෝම ධර්මයෝ පුරවයි” කියලා දේශනා කලේ මේ හේතුව මත.   

අපි දකින්නේ කොහොමද?  “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”.  
අපිට ඇහෙන්නේ කොහොමද?   “සෝතංච පටිච්ච ශබ්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං” , එතකොට ගන්ධය දැනෙන්නේ කොහොමද? “ඝාණංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං”, 
රස දැනේනේ කොහොමද? “ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං”, 
ස්පර්ශ දැනෙන්නේ කොහොමද? “කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං”, 
ධර්ම නැගෙන්නේ කො‍හොමද? “මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං” 


මේ විඤ්ඤාණ හටගන්නා ආකාරයයි.  මේ හටගන්න එක්තරා ක්‍රමයක් ධර්මය තුල ධර්ම වාක්‍යයකින් පෙන්වලා තියෙනවා.  මේ සියල්ල ‍ගැන අවබෝදයක් ලැබීමට මෙයට වඩා ගැඹුරට මේ ගැන සිතිය යුතුයි. ඒ ධර්ම වැකිය තුලින් පෙන්වා දුන්නේ මොකක්ද කියලා අව‍බෝධ කරගත යුතුයි. 

මුලින්ම “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන අවස්ථාව ගනිමු.  මෙහි චක්ඛු කියන්නේ ඇස කියලා ඔබ දන්නවා.  රූප කියන්නේ රූප වලට කියලත් දන්නවා.  පටිච්ච කියන්නේ මොකක්ද කියලාත් දන්නවා.  පටි + ඉච්ච = පටිච්ච කියන්නේ කැමැත්තට අනුව බැදුනු කියන අර්ථය දෙනවා.  මේ ගැන පටිච්ච සමුප්පාද හැදින්වීම තුල හොදින්ම විස්තර කොට අවබෝධ කරගත්තා.  උප්පජ්ජති කියන්නේ උපදිනවා කියලා.  චක්ඛු විඤ්ඤාණය ඉපදුනු විදිය තමයි ඒ කිව්වේ.  එහෙනම් “ඇසත් රූපයත් කැමැත්තට අනුව බැදුනාම තමයි චක්ඛු විඤ්ඤාණය උපදින්නේ” කියලා පෙන්වා දෙනවා නේද?  එතකොට ඇයි අප කැමැත්තෙන් බැදුනේ?  අවිද්‍යාව නිසා කියලා ඔබ දන්නවානේ?  ඉතින් කැමැත්තෙන් බැදෙනකොට අවිද්‍යාව හේතුවන නිසා තමයි අවිද්‍යාව සමග විඤ්ඤාණය යෙදෙන්නේ.

එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේවා හටගැනීමේදී “පටිච්ච” කියලා වචනයක් තියෙනවා කැමැත්තෙන් බැදුනාම හටගන්නා වූ දෙයක්.  ඇහැ රූපයක් කෙරෙහි කැමැත්තෙන් බැදුනාම නිකම්ම බැදුනාට හරියන්නේ නැහැ දැක්කට විතරක් මදි රූප පේන එක විතරයි එතකොට වෙන්නේ.  චක්ඛු විඤ්ඤාණ හටගෙන එකින් එකට වැඩෙන්න නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා සහගත චක්ඛු  විඤ්ඤාණයක් හටගන්නවා නම් එය වෙනම තෝරාගත යුතුයි.  කුමක් නිසාද ඇහැයි රූපයයි කියන මේ දෙක පිලිබදව කැමැත්තෙන් බැදිලා හරි ප්‍රිය මනාප දෙයක් කියලා හිතාගෙන ඇලුම් කරන හිතකින් එයට බැදුනොත් අන්න ඒ හේතුවෙන් හටගන්නවා අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණයක්.  එහෙනම් චක්ඛු විඤ්ඤාණය කියන එක විපාක සිතක් වශයෙන් හටගත්තාට අපි ඒ විපාක සිතේ අවස්ථාවේ ඉන්නේ නැතිව ගොඩනගාගන්න චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා බල බලා.  පෙනෙන එක එකක් බලන එක තව එකක්.  මේ දෙකේ වෙනස ඔබට අවබෝධ වෙනවා නේද? බලන්න හිතිලා අප ඕනෙකමකින් ආශාවකින් බලන්න ගියොත් මොකද වෙන්නේ අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණ හටගෙන  එබදු සංඛාරයෙන් හටගත්තාවූ විඤ්ඤාණයක් වෙනවා.  


අන්න ඒ විඤ්ඤාණය හරිම භයානකයි මොකද මතු මතුත් ඇහැක් ඇතිවීමට රූපයක් ඇතිවීමට හේතුවෙන සසර ගමනට හේතුවන ශක්තියක් නිපදවෙන්නේ මෙන්න මේ හේතුවෙන්.  ඇහැ හේතු කරගෙන සසර ගමනට හේතුවන දුක් ගින්නක් ඇති කරවන මතු සසර ගමනට හේතුවන චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවානම් සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණයක් වෙන්න ඕනේ.  එහෙනම් ඇහෙන් පේනකොට පේන දේ ගැන යලි යලි බලන්න හිතිලා ඒ පිලිබදව යලි යලි බලන්න පටන්ගන්න ආශ්වාද මානසිකත්වයක් තියෙනවා නම් ඒ පසුපස හඹායන මානසිකත්වයක් මතුවුණා නම් අන්න එතැන ඇතිවෙනවා සංඛාර වශයෙන් ‍ගොඩනගන්නා වූ චක්ඛු විඤ්ඤාණය මුල්කරගෙන හටගන්නා විඤ්ඤාණයක්.  මෙන්න මේ විඤ්ඤාණය ඇහැ මුල්කරගෙන හටගත්ත රූපය මුල්කරගෙන හටගත්ත පෙනීම මුල්කරගෙන හටගත්ත අවිද්‍යාවෙන් බැදිලා සකස් කරගත්ත නව විඤ්ඤාණයක් තමයි සසර ගමනට හේතුවන විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ.  එසේනම් පුණ්‍ය හෝ අපුණ්‍ය විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ.  මෙන්න මේ නිසා විඤ්ඤාණ ගොඩනැගෙන කොට විපාක විඤ්ඤාණය එකක් ඒවාගේම සංඛාර වලින් අප ගොඩනගාගන්න ඇස නිසා ගොඩනගාගන්න විඤ්ඤාණය එකක්.  

අන්න “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”  කියලා ගොඩනගාගත්තේ අවිද්‍යාවෙන් සසර ගමනට හේතුවන්නා වූ ඇස මුල්කරගත්ත විඤ්ඤාණයක්.  එතනින් පස්සෙත් ධර්ම වැකියක් සදහන්වෙනවා... ඒ මොකක්ද? “තිණ්ණං සංගති ඵස්සෝ”‍ කියන ධර්ම වැකිය.  ඔබ දැනටමත් සමහරවිට අහලා ඇති මේ වැකියේ තේරුම වශයෙන් “මේ 3හි එකතුව ස්පර්ශයයි” ලෙසින්.  ඒත් මගේ අරමුණ තවත් ගැඹුරට එයට වඩා වැඩි දෙයක් අවබෝධ කරගැනීමට හැකිවෙන ලෙස කරුණු ගොනු කිරීමයි.  එසේනම් බලමු මොකක්ද මේ   “තිණ්ණං සංගති ඵස්සෝ”‍ කියන ධර්ම වැකිය තුලින් අදහස් කරන්නේ කියලා. 
 සංග සහ සංඝ  ග යනු වල හරඹය දැනගන්න අර්ථ වැදගත් දැනගත යුතුමයි... 
මොකක්ද මෙහි තියෙන මේ  “සංග” කියන වචනය යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත්.  “සංඝ” කියන්නේ සං කියන එකතූන් බිද හරිනවා යන්නයි.  එය තමයි අප සංඝත්වයට පත්වෙනවා ලෙසින් පෙන්වා දෙන්නේත්.   “සංග” කියන්නේ කෙලෙස්වලටයි.  බොහෝවිට තිසරණය සරණ යෑමෙදී පවා ඔබ නොදැනුවත්ව සංගං සරණං ගච්ඡාමි ලෙසින්‍ කිව්වොත් එයින් අදහස් වෙන්නේ කෙලෙස් සරණ යනවා කියලායි.  ඒ නිසා තිසරණයේ සරණ යන විට සැමවිටම සංඝං ‍සරණං ගච්ඡාමි ලෙසින් නියමාකාරයෙන් ශබ්ද කොට අදාල සරණාගමනය සිදුකරගැනීම නුවණ ඇත්තන්ට භාරයි.  ඉතින් මේ ඉහත පෙන්වා දුන් ධරම වැකියේ තියෙන්නේ “තිණ්ණං සංගති ඵස්සෝ” ලෙසින් මේ කියපු කෙලෙස් යන අදහස දෙන සංග කියන වචනයයි.  “තිණ්ණං” කියලා කියන්නේ 3 කියන්න.  “තිණ්ණං සංග” කිව්වේ “‍කෙලෙස් තුනක්” යන්න අදහස් ඇතිවයි.  ඵස්ස කියන්නේ ස්පර්ශයට.  ඉතින් ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” - ඵස්ස හේතුවෙන් වේදනා වේ.  වේදනා හේතුවෙන් තණ්හා වේ.  තණ්හා හේතුවෙන් උපාදාන‍ වේ.  උපාදාන හේතුව භව වේ.  භව හේතුවෙන් ජාති වේ.  ජාති හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මෙසේ සියලු දුක් රැස පහලවේ” යන තැනට සම්බන්ධ වෙන ස්පර්ශය හැදෙන හැටි තමයි මේ ධර්ම වැකිය තුලින් පෙන්වා දෙන්නේ.  මේ කෙලෙස් 3ක් නිසා ඇතිවන ස්පර්ශයක් නිසා සසර ගමන හැදෙනවා යන්න තමයි මෙයින් සරලවම අදහස දෙන්නේ.  

මේ අවස්ථාව සම්බන්ධ වෙන්නේ
“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”‍
“සෝතංච පටිච්ච ශබ්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!
“ඝාණංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!
“ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!
“කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!
“මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා  - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ  - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”  යන ආකාරයටයි. 

මේ පෙන්වන්නේ අවිද්‍යාව ඔස්සේ ආරම්භ වෙලා විඤ්ඤාණ ආදී ලෙසට ඇවිත් ඉන්ද්‍රීය මුල්කරගෙන සංස්පර්ශ කියන අවස්ථාවට පත්වෙලා සසර ගමනට හේතු හැදෙන ආකාරයයි. 


මේ ආකාරයට කෙලෙස් 3ක් නැත්නම් සංග 3ක් නිසා ස්පර්ශයක් ‍හටගන්නවා.  මොන ස්පර්ශයක්ද? අවිද්‍යා සහගත ස්පර්ශයක් හටගැනීමට හේතුවන සංග 3ක් තියෙනවා.  මේ කියන සංගය මොකක්ද කියලා තවදුරටත් දැනගන්න ඕනේ.  
“චක්ඛු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති 
එත්ත නිවීසමානා නිවීසති” මෙන්න එක සංගයක්. 
“ඇස ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මධුර ස්වභාවයෙන් යුක්තයි. 
මේ ඇස නිසා හටගන්නා වූ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා” මෙන්න ඇහේ සංගය. 
“රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති 
එත්ත නිවීසමානා නිවීසති” මෙන්න රූපයේ සංගය.  
“රූප ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මධුර ස්වභාවයෙන් යුක්තයි.  
මේ රූපය නිසා හටගන්නා වූ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා” 
ඇහේ සංගය දැක්කා රූපයේ සංගය දැක්කා තවත් එකක් තියෙනවා. 
“චක්ඛු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති 
එත්ත නිවීසමානා නිවීසති” මෙන්න චක්ඛු විඤ්ඤාණයේ සංගය.
 
මේ කියන ආකාරයට “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන කොට ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය පිලිබදව යම් කාම ක්ලේෂයක් වේද එසේ එකතු වන ක්‍රියාවලියක් වේද එයයි ස්පර්ශය කියලා මේ 3හි සංගය නැත්නම් කෙලෙස් එකතුවුනොත් තිණ්ණං සංගති ඵස්සෝ ලෙසින් ස්පර්ශ ඇතිවන අයුරු පෙන්වා දෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නා ඇස නිසා හටගන්න විඤ්ඤාණයක් ගොඩනැගුනොත් එය මුල්කරගෙන හටගන්නවා සංගයක් නැත්නම් එහි තෘෂ්ණාවෙන් බැදීමක් මෙන්න මේ සංග 3 එකතුවීමෙන් හටගන්නවා ස්පර්ශයක්.  අවිද්‍යා සහගත සසර ගමනට හේතුවන ඵස්ස කියන අවස්ථාව තමයි ඒ ලැබුණේ.  යමකට යමක් ගෑවුනාම දැනෙන දැනීම නෙවේ ස්පර්ශය කියන්නේ.  ඇසට රූපයක් ස්පර්ශ වීම නෙවේ මේ කියන්නේ.  එය අවබෝධ කරගත යුතුයි.  
මන්ද යත් සම්මා සම්බුදු පියාණන්ටත් අරිහතුන් වහන්සේලාටත් ඇසකට රූපයක් ස්පර්ශ වීම තිබෙනවා.  එතැන්හි තිබෙන ස්පර්ශ විම්, දැනීම්, හැදිනීම් නොවේ මේ පටිච්ච සමුප්පාදයේ පෙන්වන ස්පර්ශ වේදනා ලෙස දක්වා තියෙන්නේ... එය ඉක්මවපු අවස්ථාවක් තමයි මේ සදහන් වෙන්නේ.  එහෙනම් පටිච්ච සමුප්පාදයේ ඵස්ස කියන අවස්ථාවෙන් පෙන්වන ඔය කියන අවිද්‍යා සහගත අවස්ථාව තමයි පෙන්වන්නේ.  ඵස්ස ‍නැත්නම් ස්පර්ශ කියන අංගය විස්තර කරන විට වැඩි විස්තර අවබෝධ කරගනිමු.  ඉතින් මේ ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය කියන 3 එලෙසින්ම තියෙන්න ඇරියා නම් ඔය කියන විදියට සසරගමනට හේතුවන්නේ නැහැනේ.  ඇස ගැන තියෙන සංගයත්, රූපය ගැන තියෙන සංගයත්, චක්ඛු විඤ්ඤාණ ගැන තියෙන සංගයත් නිසා තමයි ඔය කියන “තිණ්ණං සංග” බවට පත්වෙලා ස්පර්ශ හදමින් සසර ගමනකට දුකට හේතු ඇති කරන්නේ.  
ඒ ගොඩනැගෙන අවස්ථාවට මුල්වෙන්නේ ඔන්න ඔය කියන්නා වූ “සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණයක්” තියෙනවාද අවිද්‍යා සහගතව හටගන්නා ඔය කියන චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ 6 ආකාරයෙන් පෙන්වූ විඤ්ඤාණ මුල්කරගෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැදිලා රැදිලා හටගත්තා නම් යම් කිසි බැදීමක් ඒවාට අන්න ඒ බැදීම නිසා හටගත්ත දේට කියනවා “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා.  ඒ තමයි පටිච්ච සමුප්පාදයේ සසර දුකට හේතුවන විඤ්ඤාණය හටගත්ත අයුරු.  අවිද්‍යාව හේතු වෙලා අවිද්‍යාවත් සමග යෙදිලා මුලාසහගත දැනීම්, හැදිනීම් ගොනු කරගත් මුලා සිත් විශේෂයක් තමයි මේ විඤ්ඤාණ කියන්නේ කියලා තේරුම් ගන්න ඕන.  අරිහතුන් වහන්සේලාට ‍ඒ මුලා විඤ්ඤාණ පහල වෙන්නේ නැහැ.  එයට හේතු නැහැ.  ඒ අවිද්‍යා සහගත විඤ්ඤාණ  උන්වහන්සේලා නිරෝධ කරනවා.  ඒ තුලින් අවිද්‍යා සහගත ස්පර්ශයත් නිරෝධ කරගන්නවා.  අවිද්‍යාසහගත වේදනාත් නිරෝධ කරගන්නවා.  මේ විදියට අවිද්‍යාව තෘෂ්ණාව සම්බන්ධ වෙන්නේ නැතිව අරිහතුන් වහන්සේට පවා රූප ආදිය ස්පර්ශ වෙනවා.  දැනීම්, හැදිනීම් පහල වෙනවා.  ඒවා ගැබ්වී නැගෙන හිත් ඥානයෙන් පූර්ණයි.  ලෝකයා විඤ්ඤාණ  කියලා හැදින්වුවත් උන්වහන්සේලාගෙන් දිස්වෙන ඒ සියල්ල ඤාණ විශේෂයන් වෙනවා.  අවිද්‍යාව තෘෂ්ණාව මු‍ලාවේ සිට දකින, අසන, ගන්ධයන් දැනෙන, ආදී කරුණු වලදී තමයි විඤ්ඤාණ  කියලා හදුන්වන්න පුළුවන් වෙන්නේ.  විඤ්ඤාණ  කියන්නේ විකෘති දැනීම් සමූහයක් කියලා අවබෝධ කරගත යුතුයි. 


විඤ්ඤාණ හටගන්න කොට ඒවායේ යථා ස්වභාවය අපි දැක්කා.  දැනෙන එක පෙනෙන එක අපට වලක්වන්න බැහැ.  අරිහතුන් වහන්සේලාටත් පිරිණිවන් පාන තුරු දැනෙනවා පේනවා ඇහෙනවා.  හැබැයි ඡන්ද රාගයෙන් බැදීමක් සහමුලින්ම නැහැ.  මෙන්න මේ වගේ අප දැනගන්න ඕන මෙන්න මේ වෙනස. දැනීම, පෙනීම, ඇසීම එකක් ඒවාට ඡන්දරාගයෙන් බැදීම තව එකක්.  අප අයින් කල යුත්තේ දැනීම නොදැනෙන තත්වයට පත්කීරීම නොවේ.  එයට බැදෙන ඡන්ද රාගය තමයි ඉවත් කරගත යුත්තේ.  ඉතින් සංග කියන්නේ එක්වීම කියලා අරගෙන “තිණ්ණං සංගති ඵස්සෝ” යන්නට “මේ 3හි එක්වීම ස්පර්ශයයි” කියලා අර්ථ ගත්තොත් මේ අව‍බෝධය ලබන්න බැරිවෙනවා.  එහෙම ගත්තොත් ස්පර්ශය පච්චයා වේදනා .. වේදනා පච්චයා තණ්හා කියන සියල්ලම යෙදිලා අරිහත්වයට පත්වෙන්නත් බැරිවෙනවා නේද?  ඒ නිසා මේ අර්ථ අවබෝධය වැදගත් වෙනවා.    
අවිද්‍යාව, තෘෂ්ණා මුලාවෙන්
ඇස මෙහෙයවා ඒ මුලාවෙන්ම රූප අරමුණු කරගෙන මුලා සහගත දැකීම් අදහසකින් අවිද්‍යාව මුල්වූ 
චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. 
කණ මෙහෙයවා ඒ මුලාවෙන්ම ශබ්ද අරමුණු කරගෙන මුලා සහගත ඇසීමේ අදහසකින් අවිද්‍යාව මුල්වූ ‍
සෝත විඤ්ඤාණය ඇතිවෙනවා.   
නාසය මෙහෙයවා ඒ මුලාවෙන්ම ගන්ධ අරමුණු කරගෙන මුලා සහගත ආඝ්‍රාණ අදහසකින් අවිද්‍යාව මුල්වූ ඝාණ විඤ්ඤාණය ඇතිවෙනවා.  
දිව මෙහෙයවා ඒ මුලාවෙන්ම රස අරමුණු කරගෙන මුලා සහගත රස අදහසකින් අවිද්‍යාව මුල්වූ 
ජිව්හා විඤ්ඤාණය ඇතිවෙනවා.  
කය මෙහෙයවා ඒ මුලාවෙන්ම ස්පර්ශ අරමුණු කරගෙන මුලා සහගත දැනීම් අදහසකින් අවිද්‍යාව මුල්වූ 
කාය විඤ්ඤාණය ඇතිවෙනවා.  
මන මෙහෙයවා ඒ මුලාවෙන්ම ධර්ම අරමුණු කරගෙන මුලා සහගත වැටහීම් අදහසකින් අවිද්‍යාව මුල්වූ 
මනෝ විඤ්ඤාණය ඇතිවෙනවා.  
මේ ලෙසින් විඤ්ඤාණත් විඤ්ඤාණ වලට හේතුවත් දැන ගන්න අවබෝධ කරගන්න ඕන.

එහෙනම් විඤ්ඤාණය අවිද්‍යා සහගතව නැගුනා නම් ඒ අවිද්‍යා සහගත විඤ්ඤාණය අවිද්‍යාවෙන් තොරවුණා නම් මොකද‍ වෙන්නේ?
ඒ විඤ්ඤාණය කුසල මූල පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං කියන ආකාරයට හටගන්නා විඤ්ඤාණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විපාක විඤ්ඤාණයක් වෙනවා.  මෙන්න මේ නිසා විඤ්ඤාණ වල ස්වභාවය අප තේරුම් ගත්තා නම් විඤ්ඤාණ විඤ්ඤාණ හැටියට දැනගනී.  එහෙනම් එහි ස්වභාවය තමයි කැමතිසේ පවතින දෙයක් නෙවේ මේ විඤ්ඤාණය කියන්නේ ඒවා අනිච්චයි.  ඒවාගේම එබදු කැමතිසේ පැවැත්මක් නැත්නම් එයින් හටගන්නේ දුකක් අසහනයක්.  එහෙනම් ඒ විඤ්ඤාණ යම්තාක් පවත්වනවා නම් ඒවායේ බැදී රැදී ඉන්නවා නම් ඒ හේතුවෙන් අසහනයයි දුකයි මතුවෙනවා.  එහෙනම් එබදු දෙයක් හරයක් නැති සාරයක් නැතිවම ගෙවිලා යන විඤ්ඤාණයක් ඇත්ද එයින් ලැබිය හැකි සාරත්වයක් නැහැ.  මෙන්න ‍මේ ටික හරියට තේරුම්ගත්තා නම් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් විඤ්ඤාණ පිලිබදව දැනගත්තා වෙනවා.  අන්න එදාට දකිනවා විඤ්ඤාණ ධර්මානුකූලව. 

එතෙක් දැක්කේ අවිද්‍ය සහගතව.  අවිද්‍යා සහගතව විඤ්ඤාණ තියෙන තුරු ලෝක සත්වයා‍ට මේ පේන එක ඇහෙන එක හරි වටිනවා.  දැනෙන එක හරි වටිනවා එය නැතිනම් එහෙම භයක් ‍දැනෙනවා.  අනේ විනාශ වෙන්න එන්නේ මැරෙන්න එන්නේ කියලා භයක් දැනෙනවා.  ජීවත්වීමේ ආශාව කියලා කියන්නේ මේ දැනෙන, පෙනෙන ස්වභාවය තුල හොද දේවල් තුල බැදී රැදී ඉන්න තියෙනවා නම් අන්න ඒ අවස්ථාව තමයි ආශ්වාද භුක්ති විදීම සදහා පැවැත්ම ගෙන යන්න බලාපොරොත්තුවන අවස්ථාව.  එහෙනම් මේ විඤ්ඤාණ පිලිබදව යථාර්ථය දැනගත්තාට පස්සේ මෙබදු හරයක් නැති විඤ්ඤාණ පස්සේ මොකට යනවාද මොනවාට නිපදවනවාද මොනවට ඒවා හොදයි කියලා නිගමනය කරලා ඒ පසු පස හඹායනවාද? ‍මට වැඩක් නැහැ එබදු විඤ්ඤාණයන්ගෙන් කියලා අදහස ආවවිට ඒ විඤ්ඤාණත් සමග එකතු වෙලා යම් කිසි ඡන්ද රාගයක් තිබුණා නම් ඡන්ද රාගය ගිලිහිලා ගිහින්ලා මෙන්න මේ ආකාරයෙන් නිවෙන්න පටන්ගන්නවා.  අන්න ඡන්ද රාගය දුරුවෙලා ගියා නම් මොකද වෙන්නේ විඤ්ඤාණ පිලිබද ඡන්ද රාගයක් නැතිවෙනකොට ඒ විඤ්ඤාණය අවිද්‍යාසහගතව පටන්ගත්ත එකක් වෙන්නේ නැහැ. 

අවිද්‍යාව නිශේධ කරපු එකක් නම් මොකද වෙන්නේ? ඒ විපාක විඤ්ඤාණයක් ඉතිරිවෙනවා.  කුසල මූලයෙන් හටගන්නාවූ ලෝක අනුකම්පාවෙන් හටගන්නා දැනීමකට රැදීමකට පෙළඹෙන ඡන්ද රාගයක් හා නොබැදුන විඤ්ඤාණයක් බවට පත්වෙනවා.  විඤ්ඤාණය ඡන්ද රාගය සමග බැදිලා නැත්නම් සසර ගමනට හේතුවන පැවැත්මක් හේතුවන දුකට හේතුවෙන්නේ නැහැ.  අන්න ඒ විඤ්ඤාණ නිරෝධයට කියනවා නිවන කියලා.  යමෙකුට නිවන අවබෝධයට අවශ්‍යනම් විඤ්ඤාණ වල යථාර්ථය මෙසේ වටහාගෙන ඒවායේ තියෙන අසාරත්වය තේරුම් අරගෙන ඒ විඤ්ඤාණ නිරෝධයෙන් නැතිනම් ඡන්ද රාගය නිරෝධයෙන් එබදු විඤ්ඤාණයන්ගෙන් නිදහස්වෙන ආකාරය තේරුම් අරගෙන මෙසේ නිදහස් වුණොත් අන්න ඒ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනවා තමන්ට නිවන් දකින්නට නැත්නම් මේ උතුම් ඵලය ලබාගන්නට විඤ්ඤාණ නිරෝධය තුලින්. 

උදාහරණයකින් තවත් පහදා දෙනවා නම් උණු වතුර අපි උණු වතුර කියලා හදුන්වනවා.  එයට තේ කොල සහ සීනි එකතු කලාම අප එය හදුන්වන්නේ තේ කහට එකක් කියලා නේද? තේ කහට එකයි උණු වතුර එකයි කියන්නේ දැන් ‍2ක් නේ නේද? හැබැයි ඉතින් අර තේ කහට ටිකයි... සීනි ටිකයි ඉවත් කලොත් එහෙම ඒක උණුවතුරම තමයිනේ නේද?  එතකොට අප තේ කහට එකක් කියලා හදුන්වන එකේ වැඩිපුර තියෙන්නේ උණුවතුර නේද?  තේ කොල නිසා ඇතිවූ කහටත් සීනිත් කියන්නේ 1%ක් පමණ කොටසක්.  99%ක්ම තියෙන්නේ උණුවතුර.  එහෙනම් උණුවතුර එක තේ කරන්න බලපෑම කලේ ආගන්තුකව එකතුවෙච්ච ඒ කහට ටිකක් නේද?  මෙන්න මේ වගේ  විඤ්ඤාණ නිරෝධය කිවූ විට අප අවබෝධ කරගත යුතුයි මෙන්න මේ කිව්ව කහට තමයි නැති කරන්නේ කියලා.  එතකොට කහට අයින් කලාම උණුවතුර එකට යලිත් තේ කියලා කියන්න බැහැ වගේ ආගන්තුකව එකතුවෙච්ච කහට ඉවත් කලාම යලිත් එයට විඤ්ඤාණය කියලා කියන්නත් බැහැ.  එය යලිත් චිත්ත බවට පත්වෙනවා.     එසේනම් වටහා ගත යුතු විශේෂ කොටසක් තියෙනවා මොකක්ද නිරෝධ කල යුතු විඤ්ඤාණ වශයෙන් අපට පෙන්නුවා බුදු පියාණන්වහන්සේ දේශනා කලා පටිච්ච සමුප්පාදයේ යම් කිසි විඤ්ඤාණ ‍කොටසක් නිරෝධ කල යුතුයි කියලා නිවන් අවබෝධ කරන්නට ඵලය පූර්ණ කරන්නට. මොකක්ද විඤ්ඤාණ නිරෝධයක් කල යුතු බව පෙන්වා දුන්නා.  අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා - සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා” කියන මෙන්න මේ කියන ක්‍රමයටයි විඤ්ඤාණ නිරෝධ කලයුත්තේ.

ඒ විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්ද? විඤ්ඤාණයක් යම් ආකාරයකින් හටගත්තා නම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගුණු අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ‍ගොඩනැගෙන්න හේතුවුනේ මොකක්ද එබදු වන්නා වූ ‍හේතු කාරකය කුමක්ද? එහි ඇත්ත ඇති ආකාරයෙන්‍ නොදැනීමයි.  දැන්‍ ඒ විඤ්ඤාණය අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අන්තථ වශයෙන් තේරුම් ගත්තා නම් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ සියල්ලේම ස්වභාවය මේකයි කියලා වටහාගත්තා නම් හරියට තේරුම් ගියා නම් ඒවා අසාරයි කියලා වැටහෙනවා.  අසාරයි කියලා වැටහුණානම් මොකද වෙන්නේ “අසාරට්ඨේන අනත්ථා” විඤ්ඤාණ වල අනත්ථ තත්වය වැටහිලා ගියානම් අල්ලන්න හරයක් නැහැ වටිනා දෙයක් නෙවේ කියලා අත්හැරී ගියානම් ඒවා පිළිබද හඹායන පොළඹවන මානසිකත්වය නිදහස්වෙනවා.  අන්න එතනට නිදහස් වුණානම් අකම්ප්‍යයි.  කම්පාවක් නැති වූ ආර්ය සමාධිය තුලින් ආර්ය ප්‍රඥාව පූර්ණයට පත්වෙලා අරිහත්වයට පත්වෙනවා.  මෙන්න මේ කාරණය තේරුම් ගන්න ඕනේ.  විඤ්ඤාණ ‍නිරෝධ කලාම ලැබෙන ඵලය මේකයි.  ඒ උත්තරීතර වන්නාවූ නිවීම සැනසීම මේ විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙනවා. මෙන්න මේ කාරණය තේරුම්ගත්තා නම් අපිට පුළුවන් විඤ්ඤාණ නිරෝධ කරගැනීමේ වටිනාකම දකින්න.  විඤ්ඤාණ ආදිනව සහිතයි විඤ්ඤාණ නිරෝධය ආනිශංස සහිතයි කියලා.  මෙන්න මේ ටික දැනගත්ත මොහොතේ පටන් ඔහුට ආර්ය මාර්ගයක් වැඩෙන්න පටන්ගන්නවා.  මොකක්ද වැඩෙන්නේ? විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙන ශාන්තිය අත්දකින්නට හැකිවෙනවා.  


විඤ්ඤාණ ඇසුරෙන් තිබෙන්නා වූ ආදීනව පෙනෙන් පටන්ගන්නවා.  යම් දවසක විඤ්ඤාණ ආදීනව වශයෙන් දැකලා විඤ්ඤාණ නිරෝධය ආනිශංස වශයෙන් දැකලා ඒ සදහා නිතර සිහි කරන්න පටන්ගත්තා නම් පහ කල යුතු විඤ්ඤාණ පිලිබදව ඡන්ද රාගය පහවෙලා යනවා.  නිදහස්වී ලැබෙන්නාවූ ශාන්ත ප්‍රණීත නිවී සැනසීම අත්දකින්න හැකිවෙනවා.  මෙන්න මෙයට කියනවා විඤ්ඤාණයේ යථාර්ථය දැකලා විඤ්ඤාණ තුලින් චතුරාර්ය සත්‍ය අව‍බෝධ කරගෙන නිවන් දකින මග කියලා.  හොදින් තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදයේ පෙන්වූ විඤ්ඤාණ නිරෝධයේ ස්වභාවය ඔය ආකාරයෙන් වටහාගන්න. 


එහෙනම් මේ ‍ විඤ්ඤාණ ‍නිරෝධ කරගන්න මාර්ගය හොදින් තේරුම්ගන්න ඕන.  ඇසෙන් රූපයක් බලන විට ආශ්වාද ජනක හිතකින් හිතෙනවා නම් යලි යලිත් බලන්න ඕන කියලා අන්න චක්ඛු විඤ්ඤාණ අවිද්‍යාව සහගතව ගොඩනැගෙන්න හේතුව.  කනෙන් ශබ්දයක් ඇසුන විට එහි ආශ්වාද ‍වශයෙන් බැදිලා යලි යලිත් ඒ ආශ්වාදය ලබන්න ඒ ශබ්දය යලි යලිත් ඇසිය යුතුයි යන මානසිකත්වය ‍ගොඩනැගෙනවා නම් අන්න සෝත විඤ්ඤාණය ඡන්ද රාගයත් සමගම ‍ගොඩනැගෙනවා.  නාසයට ගන්ධයක් ‍එනකොට යලි යලිත් ආඝ්‍රාණය කලයුතුයි යලි යලිත් මම ඒ සදහා පෙළඹිය යුතුයි ඒ පසුපස හඹා යායුතුයි කියලා අදහසක් එනවා නම් අන්න එය ඝාණ විඤ්ඤාණය ඡන්ද රාගය සමග බැදිලා.  දිවට රසයක් දැනුනාම එහි ප්‍රිය මනාපයේ ඇලිලා රැදිලා බැදිලා යලි යලිත් ඒ රසය පසුපස මම හඹායායුතුයි ඒ රසය බලාපොරොත්තු විය යුතුයි කියලා ඒ සදහා නියැලුනා නම් අන්න ජිව්හා විඤ්ඤාණය පිලිබදව ඡන්ද රාගයෙන් බැදිලා.  ඒ වාගේම කයට පහසක් දැනෙන විට ඒ පහස ප්‍රිය මනාප වශයෙන් අරගෙන යලි යලිත් එබදු පහස පිලිබද හඹායන බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ හේතුවෙන් හටගන්නවා කාය විඤ්ඤාණ ඡන්ද රාගයෙන් බැදිලා අවිද්‍යා සහගතව සසර ගමනට හේතුවන විඤ්ඤාණයක් පහල වෙනවා.  


මනස ඔය සියල්ලම එකතු කරගෙන මනෝ රූප මවමින් මනෝ සංඥා ඇතිකරගෙන ඒ පිලිබද ඡන්දරාගයෙන් බැදුනොත් සසර ගමනට හෙවත් පැවැත්මට අවශ්‍ය දේ නිපදවන එබදු වන්නා වූ මනෝ විඤ්ඤාණයක් ‍‍ගොඩනැගෙනවා.  එහෙනම් ඡන්දරාගය දුරුකරගන්න නම් එහි අසාරත්වය දැකිය යුතුමයි.  අසාරත්වය දැකලා එය දුරු කරගත්ත දිනයට එයින් මිදිය හැකියි.  දැන් අප දැනගත්තා යථාර්ථයෙන්ම විඤ්ඤාණත්, විඤ්ඤාණ වලට හේතුවත්, විඤ්ඤාණ නිරෝධයත්, විඤ්ඤාණ නිරෝධ මාර්ගයත්.  පටිච්ච සමුප්පාදය තුල මේ උතුම් දහම තේරුම්ගත්තා නම් ඔන්න තවත් නිවන් මගක් විවෘත වුණා ඔබට ඒකාන්තයෙන්ම නිවන අවබෝධයට හේතුවෙනවා. 


සුපුරුදු පරිදි ඔබට ධර්ම ඥානය ලැබගැනීම සදහා හිමිවිය යුතු සියලුම ආශිර්වාදයන් මෙම ලිපිය සමග ගොනු කරමි!සම්මා සම්බුදු සරණයි!

1 comment:

Anonymous said...

Theruwan Saranai :)