Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, January 5, 2010

නාම රූප





පටිච්ච සමුප්පාද ධර්මය හැදින්වීමේ පටන් අවිද්‍යාව, සංඛාර සහ විඤ්ඤාණ ලෙසින් අංග 12න් 3ක් මේ වන විටත් ඔබ කියවා අවබෝධ කරගන්නට ඇතැයි සිතමි.  මෙලෙස පටිච්ච සමුප්පාද ධර්මය හැදින්වීමේ ලිපි පෙලක් පල කිරීමේ අරමුණ ඔබ දන්නවා.  අප මුලිකව අවබෝධ කරගත් නිවන් අවබෝධයට ඉක්මනින්ම ලගා විය හැකි ඉන්ද්‍රීය භාවනාව අර්ථවත්ව දැනගැනීමට එය අනුගමනය කරමින් නිවන් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීමට තමයි මේ ලෙසින් එම විස්තරය අතර තුර පටිච්ච සමුප්පාද ධර්මය විස්තර කොට අවබෝධ කරගන්නට යොමුවුණේ.  මම නිතරම කියනවා වගේ නොදැන යන ගමන නිෂ්ඵල වැඩක් නිසා දැනුවත්ව යාම වැදගත් වන නිසා තමයි මේ වගේ ලිපි පෙලක් තුලින් ඔබට ඒ අවබෝධය ලබාගැනීමට උපකාර වන ලෙසින් ලිපි පෙලක් යොමු කරන්නේ.

ඉතින් පටිච්ච සමුප්පාදයේ 4 වන අංගය තමයි මේ නාම රූප කියන කොටස.  මෙහිදීත් නාම රූප කියන්නේ මොකක්ද? නාම රූප වලට හේතුව කුමක්ද? නාම රූප නිරෝධය කුමක්ද? නාම රූප නිරෝධ මාර්ගය කුමක්ද? මෙන්න මේ කාරණා ටික අවබෝධ කරගත්තා නම් මෙන්න ඔබට තවත් උතුම් නිවන් මගක් විවෘත වෙනවා.  නිවන් දැකීමට අදාල සුවාසුදහසක ධර්මස්කන්ධය තුලින් මෙයත් එක් නිවන් දැකීමට උපකාර වන එක් ධර්මස්කන්ධයක් වෙනවා.  එනිසා මොනවාද නාම රූප කියන්නේ කියන කාරණය හොදින් අවබෝධ කරගැනීමට අධිෂ්ඨාන ඇතිව පටිච්ච සමුප්පාදයේ මෙම උතුම් ධර්ම කොටසත් මෙතැන් සිට කියවා වටහා ගන්න. 

මෙම නාම රූප විවිධ ආකාරයෙන් පැහැදිලි කර ඇති අයුරු අපට දකින්නට අහන්නට ලැබෙනවා.  වරෙක හිත නාම කය රූප කියලා කියනවා.  වරෙක කියනවා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නාම ආදී ලෙසටත්... අටවිසි රූපයෝ සතර මහා භූතයන්ට අදාලව රූපයි ලෙසින් ආදී නොයෙක් විස්තර තියෙනවා.  ඒ විතරක් නෙවේ යම් දෙයක් හදුනාගැනීමට යොදන නමටත් අප විසින් නාම කියලා කියනවා.  ඒ නම යෙදෙන සතර මහා භූතයන්ගෙන් සැකසිච්ච දෙයට රූප යැයි කියනවා.  නාම රූප දෙක එකිකකින් එකක් වෙන් කල නොහැකි යැයිද අන්ධයාගේ කරපිට පාර කියමින් ගමනක් යන කොරා මෙන් යැයි උපමාද මේ නාම රූප දෙකට පෙන්වයි.  නාමයෙන් තොරව රූපය නොපවතී යන අදහස ගෙන විස්තර කරන්නට ගියොත් ගස් ගල් ආදියේද සතර මහා භූත රූප ඇති බැවින් ඒවාටද නාමයන් තිබිය යුතුය.  නාමයන් යනු හිත නම් ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, මනසිකාර ගස් ගල් ආදියටද තිබිය යුතුය.  මෙය තේරුම් ගැනීම‍ට නම් යථාර්ථවත්ව විස්තර කොට තේරුම් ගත යුතුය.  හිතට නාම කිව්වේ ඇයි? ගස්, ගල් ආදියේ නාමය කුමක්ද? මේවා විස්තර කොට දත යුතුය.  මේ නාම රූප කියන කොටස් එකිනෙකට පටලවා ගත්තොත් නම් හරිම අමාරුවක තමයි වැටෙන්නේ.  ඇත්ත ඇත්ත විදියට දැකලා ධර්මය ධර්මය විදියට වටහාගන්න අපහසුවෙනවා.  ඒ නිසා ඇත්ත මාර්ගය තෝරාගන්න ආකාරය අප විසින් අවබෝධ කරගත යුතුයි.  නාම රූප හරියාකාරව වටහා ගත්තොත් පැටලීමක් නැහැනේ නේද?  එනිසා නාම රූප අවබෝධ කරගන්නට උත්සාහ කරමු.


නාම යනු නම්‍යතාවය කියන වචනයෙන් පෙන්වන නැමෙන සුළු බවයි.  රූප යනු රුප්පනය හෙවත් ඔප් නැගී මතු වීමයි.  ඔප නැගී මතුවන නිසා තමයි භූත රූප සහ ඒවා නිසා උපදින රූප වලට රූප ලෙසින් පෙන්වා දුන්නේ.  නම්‍යතාවය ඇතිවන්නේ ඒ ඒ ධර්මතාවයට අනුරූපවයි.  යම් නම්‍යතාවයක මූල ශක්තිය පහල කරන්නේ මනසකින්ය.  ඒ නම්‍යතාවයට මූලික වන නිසයි වේදනා, සංඥා, සංඛා, විඤ්ඤාණ වලට නාම කියලා කියන්නේ.  නැමී සිටින ස්වභාවය යමක විද්‍යාමාන වේද ඒ නිසා ඒවාට නාම කියා හදුන්වා දුන්නා.  ඒ කියන්නේ යම් රූපාකාරයකට හැඩතලයක් තියෙනවා... ඒ හැඩතලයට ඇතිවීමට එහි යම් නම්‍යතාවයක් නැමී සිටීමක් තිබුනානම් එය නාමයක් කියලා හදුන්වන්න පුළුවන්.  ඒ හැඩතලයට නැමී සිටින තුරු යම් ශක්තියකින් එය එසේ පවත්වන තුරු එයට අනුරූපව තියෙන හැඩතලයටත් රූප කියලා කියනවා.  මෙහෙම හිතමුකෝ... දණ්ඩක් වගේ කෙට්ටු උස මිනිසෙකුට “දණ්ඩා” කියලා හදුන්වනවා.  කළු මිටි මිනිසාට “කාලගෝල” කියලා කියනවා... දණ්ඩයි කිව්වා කියලාත් කාලගෝලයා කිව්වා කියලාත් ඒ දෙන්නම මිනිස්සු කියන එක වෙනස් වෙන්නේ නැහැ නේද?  අන්න ඒ නිසයි නම්‍යතාවයක් නැමී සිටීමක් විද්‍යාමාන කරන දේට නාම කියලා කියනවා කිව්වේ.  කුමකට කෙසේ හැදින්වූවත් නාමයන්ගේ නියම අර්ථය නම්‍යතාවය හෙවත් නැමී සිටීමයි.  ඔප් නැංවී පෙනී සිටින ස්වභාවය හෙවත් රුප්පනයම රූපයි.  ඒ ස්වභාවය සතර මහා භූත මුල්ව පෙනෙන නිසයි ඒවාටත් රූප කියලා කියන්නේ.

නාම රූප සකස් වෙන්නේ කොහොමද “විඤ්ඤාණ පච්චයා නාම රූපං” කියන එක්තරා සිද්ධාන්තයක් තුලින් කියලා ඔබ දැනටමත් දන්නවා.    මෙන්න මේ විඤ්ඤාණ හේතුවෙන් හටගන්නා නාම රූප තමයි සසර දුක ඇති කරවන සසර පැවැත්මට මුල්වෙන්නේ.  එතකොට අප මෙන්න මේ කියන නාම රූප තමයි අවබෝධ කරගෙන නිරෝධ කරගත යුත්තේත්. එය කරගත යුත්තේ “විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධෝ (විඤ්ඤාණ නිරෝධ කිරීමෙන් නාම රූපද නි‍රෝධ වේ)” කියන ආකාරයටයි.  නාම රූප පිලිබදව තවදුරටත් අවබෝධය වැඩි කරගනිමු.  ධර්මයේ “විඤ්ඤාණයේ නාම රූපයෝ බැහැ ගනී” කියලා පෙන්වලා දීලා තියෙනවා.  එයින් අදහස් වෙන්නේ එය විඤ්ඤාණය තුල බැහැගත්ත දෙයක් කියලා නේද?  විඤ්ඤාණයකට ඇතුලත් වෙලා තියෙන විඤ්ඤාණයක් තුල සකස්වෙන නාම රූප මොනවද කියලා අප තෝරාගත යුතුයි.  නැත්නම් මෙය අවබෝධ කරගැනීමට අපහසුවෙනවා. 

පංච කාම සම්පත්තිය මුල්කරගෙන ලෝක පැවැත්ම බලාපොරොත්තු වන විකෘති මානසිකත්වයක් විඤ්ඤාණය කියලා අප දැනටමත් හදුනාගෙන තියෙනවා.   මෙන්න මෙවැනි විඤ්ඤාණයක බැහැ ගන්නා නාම රූප තමයි පටිච්ච සමුප්පාදයේ දුකට හේතුවන පැවැත්මට ‍මුල්වෙනවා කියලා කියන්නේ.  හිත කියන්නේ නාම  කය කියන්නේ රූප කිව්වටවත් නමයි රූපයයි කිවූ පමණින් මෙය වටහාගන්නා අපහසුයි. ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය ලෙසින් ඒ ඒ මොහොතක් පාසා ක්‍රියාත්මක වන පටිච්ච සමුප්පාද ක්‍රමය ගැන ඔබ මේ වන විටත් දන්නවා.  මෙයින් පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවිතයේදී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සිදුවන ආකාරයයි.  ආශ්වාද ගෙන දෙන දෙයක් කෙරෙහි සිතෙන් කයෙන් සහ මනසි‍න් ඒ ඒ දේ ‍තුල හැසිරෙන විට එය තුලින් බලාපොරොත්තු මානසිකත්වයක් හටගන්නවා.  ඒ ආශ්වාද ගෙන දෙන දේ නැතිව බැරි බවක් දැනෙනවා.  


උදාහරණයක් අරගෙන බලමුකෝ. 

බීමට හුරුවෙලා නැති තරුණයෙක් යහළුවන් ඇසුරට ගොස් මුලින්ම අකමැත්තෙන් හරි බීමට යොමුවෙනවා කියලා හිතමු.  ඉන්පසු ටිකෙන් ටික එහි ආශ්වාද බවක් දැනී බැදීමක් රැදීමක් ඇතිවෙන්නට පටන් ගන්නවා.  බීමට යොමුවෙන්නේ එහිත් ආශ්වාදයක් තියෙන නිසානේ.  ආශ්වාදයක් නැත්නම් ලෝක සත්වයා මේ ලෝකයේ සැරිසරනවාද? කියලා බුදු පියාණන්වහන්සේ අසනවා. ඒ නිසා ආශ්වාදයක් නැහැ කියන්න කාටවත්ම බැහැ.  ඉතින් බීමට යොමුවූ තරුණයාගේ මනස ඒ ආශ්වාදය ඔස‍්සේ බීමට නැඹුරු කරනවා.  ඔන්න දැන් ඉස්සර තිබුනේ නැති විඤ්ඤාණයක් ඒ තරුණයට ඇතිවෙලා.  බීමට බැදුන නිසා බේබදු කියලා හදුන්වනවා.  නොබී ඉන්න බැහැ කියන තැනට මනස පත්වුවහොත් බේබදු විඤ්ඤාණයක් තමයි පහල වුනේ.  හිත ඉස්සෙල්ලාත් තිබුනා... දැන් ඒක නොබී ඉන්න බැරි මත්පැන් පානය නොකර ඉන්න බැරි හිතක් වෙලා.  හරිම අපහසුයි බීම නොමැති වුනොත්... මානසිකත්වය කරදර කරනවා.  මෙන්න මේ වෙලාවට විඤ්ඤාණයේ බැහැ ගන්නවා පෙර තිබුනේ නැති දෙයක්.  මත් පැන් හල කොහේ තිබුණත්... මොන මොන ජාතියේ මත්පැන් තිබුණත්... බීමට හවුල්වන යහළුවන් කොහේ හිටියත් මෙන්න මේ සියල්ල මනසට බැහැගෙන.  ඒ ඒ ජාතියේ මත් පැන් හලවල් ගැන... බීම වර්ග වල හැටි... ඒ ඒ ආකාර... හවුලට එන යාළුවෝ... මත්පැන් වල රස ස්වභාවය... ගැලපෙන පරිසර ආදී මත්පැන් වලට සම්බන්ධව නොයෙක් රූපාකාරයන් මනසේ බැහැගෙන තියෙනවා.  ඒ රූපාකාරයන්ට මනස නැමිලා හිටින ස්වභාවයක් දැන් මනසට තියෙනවා.    මෙන්න ‍විඤ්ඤාණයට බැහැ ගත්ත නාම රූප.  මෙන්න මේ ආකාර තමයි “විඤ්ඤාණ‍යට නාම රූපයෝ බැහැ ගනී” කියලා පෙන්වා දුන්නේ.

මේක සරල උදාහරණයක්... දැන් මේ උදාහරණය ඔස්සේ ඔබට අවබෝධ කරගන්න පුළුවන්... රාගයෙන්... ද්වේශයෙන්... මෝහයෙන් යුක්තව කටයුතු කරන විට එවාට අදාලව මානසිකත්වය බැදී රැදී සිටින විට මෙන්න මේ ආකාරයට ඒ ඒ ස්වභාවයන්ට අනුරූපව නාම රූප ඇතිවෙන ආකාරය.  ලෝකය හරිම වටිනවා කියන දෘෂ්ඨියෙන් නම් මේ මානසිකත්වය තුල මෙලෙස නාම රූප හටගත්තේ ඔන්න අවිද්‍යා සහගත නාම රූප ඇතිවුණා.  

අන්න ඒ නාම රූප තමයි "විඤ්ඤාණ පච්චයා නාම රූපං” කියලා පටිච්ච සමුප්පාදයේ සසර දුකට හේතුවන පැවැත්මට හේතුවන නාම රූප  කියලා පෙන්වා දෙන්නේ.   

එතකොට හිත නාම ගත රූප කියලා ගත්තොත් අරිහතුන් වහන්සේටත් පිරිණිවන් පාන මොහොත දක්වාම හිත සහ ගත තියෙනවා නේද?  අරිහත් ඵලයට පත්වීමට නාම රූප නිරෝධ කල යුතු බව අප දන්නවා... ඉතින් හිත නාම ගත රූප කියලා අර්ථ ගත්තොත් ධර්මයට ගැලපෙන්නේ නැති බව ඔබටම ‍පැහැදිලියිනේ නේද?  


යම් කිසි දවසක බීමට යොමුවූ තරුණයාට එය හරයක් නැහැ කියලා අවබෝධ වුණා නම් ඒ තානායමවත්... හවුලට ආපු යාලුවෝ වත්... බීම වර්ගවත් ගැන හිත් පහල වෙන්නේ නැහැ නේද?  ඔහු බීමට සම්බන්ධව මනසේ කරදර කරපු සියල්ලෙන්ම නිදහස් වෙනවා නේද?  මෙන්න මේ විදියට නාම රූප නිරෝධ වෙනවා විඤ්ඤාණත් නිරෝධය තුලින්. වටිනවා කියන බලාපොරොත්තුව නැතිව ගියා.  අවිද්‍යාව නිරෝධ වුණා.  අන්න ඒ අවස්ථාවට පත්වෙලා ලෝක ආශ්වාද ගෙන දෙන වැඩපිලිවෙල වැඩකට නැති අසාර දෙයක් කියලා ‍අවබෝධයෙන් දකින විට එබදු දේ හිතන්න කියන්න කරන්න තියෙන බලාපොරොත්තුව අත්හැරී ගිය විට ඒ අදාල බලාපොරොත්තු මානසිකත්වයත් අතුරුදහන් වෙනවා.  “ආරම්මණ විජාණන ලක්ෂණං චිත්තං කියන අවස්ථාව හෙවත් අරමුණු දැනෙන ස්වභාවය චිත්තයි” කියන විවිධාකාර අරමුණු දැනෙන ලක්ෂණය පමණක් ඉතිරිවෙන සුපිරිසිදු චිත්තය ඉතිරිවෙනවා.  ඉතින් මේ චිත්තය නෙවේ නාම කියන්නේ.  ඒ චිත්තය සහිත ගත නෙවේ රූප කියන්නේ.  ඉහත පෙන්වා දුන්න අවිද්‍යා සහගතව බැදිලා රැදිලා විකෘති වන මානසිකත්වයක් තුල හටගන්නා නාම්‍යතාවයට රූපාකාරවලට තමයි නිරෝධ කල යුතු නාම රූප ලෙසින් හැදින්වීමක් කලේ.

අවිද්‍යාව, තෘෂ්ණාව මුලාවේ ඉන්න ලෝක සත්වයෝ ඒ ඒ ධර්ම ස්වභාවයන්ට කැමතිවෙනවා.  ඒවා ප්රිය, මධුර ලෙසින් ගන්නවා.  දුෂ්චරිතයට කැමති වෙලා සමහර අය බලු වැඩ කරනවා...ඌරු වැඩ කරනවා... බූරු වැඩ කරනවා... ගොන් වැඩ කරනවා... යක්ෂ වැඩ කරනවා... නයා පොළගා වගේ හැසිරෙනවා... මෙසේ නොයෙක් සතර අපා ගත ධර්මතාවයන්ට කැමැත්තෙන්ම බැහැගෙන සිදුකරනවා.  ඉතින් එලෙස කැමැත්තෙන් බැදිලා කරන්නේ යම් ධර්මතාවයකටද අන්න ඒ ධර්මතාවයට සිතත් නැමී සිටිනවා.  එතකොට ඒ ඒ ස්වභාවයන් රුප්පනය වෙනවා නැත්නම් ඔප් නැංවිලා එනවා.  වින්දනය කරනවා... හගවනවා... රැස්කරනවා... ඒ ඒ ධර්මතාවලට දැනීම පිහිටනවා.  මෙසේ පංචස්කන්ධය පහල කරගන්නවා.  ආශාවෙන් කලේ බලු වැඩ නම් එය මුල් වෙලා බලු පංචස්කන්ධයක් ලබාදෙන්නට කරුණු යෙදෙනවා.  එයට නැමුනු වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ එහි නාම කොටස් වෙනවා.  රුප්පනය වුනේ රූපයයි.  ඒ වගේ බලු ධර්මතාවයන්ට කැමැත්තෙන් බැදිලා ඉන්න තුරු මේ බලු නාම රූප කියන ඒවා වෙන් කරන්න බැරිවෙනවා.  ඒ වගේමයි කැමැත්තෙන් බැදුනේ ඌරු වැඩ පිලිවෙලකට නම් ඌරු නාම රූප ඇතිවෙනවා... මේවා අද අප අතරම තියෙන නොයෙක් පිරුළු උපමා ආදිය තුල දකින්නට තියෙනවා... අප කථාවටත් කියනවා යමෙක් දුෂ්චරිතයක් කරන කොට බලු වැඩ කරන්න එපා... ඌරු වැඩ... බූරු වැඩ... ගොන් වැඩ කරන්න එපා කියලා එහෙම නේද? 


නාම රූප මෙලෙස බෙදාගන්නට හැකියාවක් ලැබෙන දිනයට නාම රූප ගැන ඥානය පහල වෙනවා.  නාම රූප අවබෝධ වෙනවා. 

අවිද්‍යා, තෘෂ්ණා මුලාව ගොඩනගන තුරු ලෝක සත්වයා අතීත මතක සටහන් වල එල්බ ගෙන සිටිනවා.  වර්ථමානයේ ඒ ධර්මතාවයන් කටයුතු කරන හැටි එවිට මනසින් අරුමුණු කරනවා.  ඒ කරා ක්‍රමයෙන් ඇදෙන්ට වෙනවා.  අවිද්‍යාව, තෘෂ්ණාව නිසා තමන් කැමති ධර්මතාවයට බැදිලා ඒ අනුව කටයුතු කරනවා.  එතකොට සියුම්ව හටගත් ඒ ඒ ධර්මතාවයන් අයිති පංචස්කන්ධය බලවත්වෙලා ඒ ඒ විඤ්ඤාණ බල ගැන්වෙනවා.  අනුකූල නාම රූපයට තදින්ම බැස ගන්නවා.  පරමාණුවේ න්‍යෂ්ටික බලය ලෙසින් හැදින්වෙන මෙම කොටස් ගැන පසුව විස්තර කරගනිමු. එතෙක් මේ විදියට නාම රූප ඇතිවීමට හේතුවත් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනවා.  ආකාරයක් අනුව නමක් තබාගැනීම ලෝකයාගේ සම්මතයක් පමණි.  ඒ ඒ දෙයට සම්මත භාෂාවන් අනුව හැදින්වීමට නමක් යොදාගනී.  උදාහරණයක් විදියට පොල්‍ ගෙඩියක් ගනිමු.  එහි ආකාරය අනුව ‍සෑම රටකම සම්මත භාෂාවෙන් එය හදුන්වන නමක් තියෙනවා.  සිංහලෙන් පොල් කියන්නෙත්... දෙමලෙන් තේංග කියන්නේත් ඉංගිරී‍සියෙන් කොකනට් කියන්නේත් එකම රූප ආකාරයකට නේද?  ලෝකයේ කුමන භාෂාවකින් උනත් හදුන්වන්නේ යම් නම්‍යතාවයක් අනුව හටගත් රූපාකාරයකුයි.  අපි කලින් ගත්ත උදාහරණ එක්කම හිතලා බලමුකෝ... එත‍කොට වඩාත් හොදින්ම අවබෝධ කරගන්න පහසුවෙයි... දුෂ්චරිතයේ උපරිමයකට ගොස් බල්ලන් විදියට කටයුතු කරන මිනිසුන්ට බලු වැඩ කරනවා කියලා හදුන්වන්නේ ලංකාවේ සිංහල භාෂාවෙන් විතරක් නෙවේ නේද?  සියලු රටවල අදාල භාෂාවන්ට අනුව එසේ කටයුතු කරන අයට කියනවා බලු වැඩ කරනවා කියලා.  එහෙම බලු වැඩ කරලා  එයට නැමී ඉදලා නම්‍යාතාවයට අනුව රූපය ලෙසින් බලු කයක් හදාගෙන ඉන්න බල්ලාට සිංහලෙන් බල්ලා කිව්වත්... ඉංග්‍රීසියෙන් ඩෝග් කිව්වාත්... දෙමළෙන් නායි කිව්වාත්... හින්දියෙන් කුත්තා කිව්වාත් බල්ලා බල්ලාමයි නේද?  භාෂාවෙන් කුමන නමක් ආවත් බල්ලාගේ බලු වැඩවත් බලු රූපයවත් වෙනසක් නැහැ නේද?  මේ ඉතාමත් සරල උදාහරනයක් නාම රූප ගැන තවත් අවබෝධයක් ලබන්න.  


ඉතින් මෙසේ අවිද්‍යා සහගතව පහල වෙන ‍මෙන්න මේ නාම රූප නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ?  එය ගත හිත නිරෝධ කිරීම නෙවේ කියලා දැනටමත් ඔබ දන්නවා.  අවිද්‍යාව නිසා පංච කාම ආශ්වාදයන් වටිනවා කියන අදහසින් ඇතිකරගන්නා විකෘති මානසිකත්වයක් තුල ඇතිවන නාම රූප තමයි නිරෝධ කරගෙන සසර දුකින් මිදිය යුත්තේ.  ඉතින් ඔන්න ඔය කියන ආශ්වාදයන් වටිනවා කියන අදහසින් ඇතිවන මානසිකත්වය තුලින් කරදරයක් නැත්නම් ඒ ඒ මානසිකත්වය තුල ඇතිවන නාම රූප තුලින් කරදරයක් නැතිනම් මනස ගිනි අරගන්නේ නැහැ මනස නිවෙනවා කියලා තමන්ටම අවබෝධ වෙනවා.  සැනසෙනවා... අකම්ප්‍යයයි.  ඒ කම්පාවක් නැති ආර්ය සමාධියට හේතුවෙනවා නාම රූප කියන අවස්ථාව උදාවුනේ නැත්නම්.  එසේනම් නාම රූප මෙතෙක් ඇතිවුනේ අවිද්‍යාව මුල්කරගෙන නම් යම් මොහොතක අවිද්‍යාව දුරු වුණාද ඒ මොහොතේ පටන් එබදු නාම රූප මනසට ඇතුල්වෙන්නේ නැහැ.  යලිත් අවස්ථාවෙන් අවස්ථාව පිරිසිදු වෙවී නිදහස් වෙවී ගොස් චිත්ත කියන අවස්ථාවටම පත්වෙනවා.  අවිද්‍යාසහගතව යම් යම් ධර්මතාවයන්ට කැමැත්තෙන් බැදිලා ඒවා ඇසුරු කරන විට බලාපොරොත්තු ඇතිකරගන්නා විට ශක්තීන් පිටවෙලා එබදු නාම රූප සමුහයෝ විද්‍යාමාන වෙනවා.  ඒ බලාපොරොත්තු නැති කර දමන කම් නිරෝධ කර දමන කම් ඒවායින් මිදෙන්න බැරිව යනවා.  එය නැති කර දැමූ විට.. .නිරෝධ කල විට ඒ ඒ නම්‍යතාවයන්ද නැවතිලා නව ශක්ති නිකුත් කරන එකත් නැවතිලා ඒ ඔස්සේ ඔප් නැංවිලා ඒමත් නවතිනවා.  යම් නම්‍යතාවයක් හෝ ශක්තියක් ඉන්පසු පිටකරනවා නම් කරන්නේ ප්‍රවෘත්ති පැවැත්ම නැත්නම් දැනට තියෙන තත්වයට සීමාවෙලා පමණයි.  මතු දුකට හේතුවන්නක් නොවේ එය.

එසේනම් නාම රූප වලට හේතුවත් අනිච්චබව, දුක්ඛ බව, අනත්ථ බව නොදැකීම කියලා පෙර ලිපි ඔස්සේ ඔබ ලබාගත් අවබෝධය ඔස්සේ ඔබට පැහැදිලි විය යුතුයි.   එසේනම් නාම රූප නිරෝධ මාර්ගය තමයි නාම රූප වල ආදීනවයන් මෙනෙහි කරමින් ඒවායේ අත්හැරීමක් නොඇලීමක් මිදීමක් තියෙනවා නම් ඒ ඡන්ද රාගයෙන් මිදීමක් තියෙනවා නම් එහි ආනිශංස දැකිය යුතුයි.  එය තමයි ආර්ය මාර්ගය බවට පත්වෙන්නේ.  නාම රූපය දැකීම... නාම රූපයට හේතුව දැකීම... නාම රූප නිරෝධය තුලින් ලැබිය හැකි නිවන දැකීම සදහා නාම රූප නිරෝධයට අනුගමනය කල යුතු මාර්ගය අවබෝධ කරගැනීම තමයි තමන්ගේ විමුක්තියට හේතුවන්නේ. 

දැන් දැකිය යුතුයි තම තමන්ගේ මනස තුල ඇතිවන නාම රූප මොනවාද? නිදහස් මනසක් තියෙනවාද? කියලා.  ඇස පිනවන, කණ පිනවන, නාසය පිනවන, දිව පිනවන, කය පිනවන, මන පිනවන බලාපොරොත්තු ඇතිව ආශ්වාදය ලැබීමට බලාපොරොත්තු ඇතිව අප මොනවාද ඇසුරු කරන්නේ?  මොන රූප සටහන් ස්වභාවයන්ද මනසට ගන්නේ?  මොන මොන විදියේ ක්‍රියාවක් සමග බැදිලා රැදිලා කෙබදු ආකාරයේ ස්වභාවයක්ද අප බලාපොරොත්තු වන්නේ? කියලා පීඩාකාර මානසිකත්වයක් ඇති කරන අවස්ථාවන් තම තමන් විසින්ම විමසිලිවත්ව සොයා බැලීම තුලින් තමන්ට වැටහෙනවා මෙන්න මේ දෙයට බැදුනේ ඡන්ද රාගය නිසයි... මෙන්න මේ අවිද්‍යාව නිසා ඇතිවන තෘෂ්ණාව නිසයි කියලා... තමන්ටම ‍වැටහෙන්න පටන්ගන්නවා මෙබදු වන්නා වු පංච කාමය ආශ්වාදයන්ට බැදීමේ ස්වභාවය මේකයි කියලා.  එයම හේතුවෙනවා මේ නාම රූප යලි යලි ගොඩනැගෙන්න කියලා අවබෝධ වෙනවා.  එසේනම් මේ යලි යලි ගොඩනැගෙන නාම රූප නතර කර දැමීමට ඇත්ත ඇති ආකාරයෙන් දැකිය යුතුයි කියලා ‍අවබෝධ වෙනවා.  හරයක් නැතිව හිස් අතින් ඉවර කරවන අසාර වැඩපිලි‍වෙල මට නම් තවත් වැඩක් නැහැ මේ අනන්ත සංසාරේ මෙන්න මේ හිස් වැඩපිලිවෙල තුලම නේද මම සැනසිල්ලක් හෙව්වේ කියලා අවබෝධ වෙනවා.  මේ නාම රූප මම අනන්ත සසර ගමනක් තුල ඇසුරු කලා කියලා ලැබිච්ච හරයක් සාරවත් දෙයක් නැහැ කියලා අවබෝධ වෙනවා.   නාම රූප ඇසුරු කිරීමෙන් සාරවත් දෙයක් ලබාගැනීමට ‍මට පෙරත් බැරිවුණා... දැනුත් බැහැ... එහෙනම් මතුවටත් බැහැ කියලා අවබෝධ වෙනවා.  මෙන්න මේ දෙය වටහාගත්තා නම් අතීත, අනාගත, වර්ථමාන කියන තුන්කල්හි නාම රූප සමග යම් සම්බන්ධතාවයක් තිබුණා නම් එහි ඡන්ද රාගය අවසන්වෙනවා.  ගොඩනැගුණ ඡන්ද රාගයත් මතු ගොඩනගන්න තියෙන ඡන්ද රාගයත් ඉවරයි.  අන්න එදාට නාම රූප නිරෝධයි.


එතැනින් පසුව, “නාම රූප නිරෝධෝ සළායතන නිරෝ‍ධා - සළායතන නිරෝධෝ ඵස්ස නිරෝධා - ඵස්ස නිරෝධෝ වේදනා නිරෝධා - වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා - තණ්හා නිරෝධෝ උපාදන නිරෝධා - උපාදාන නිරෝධෝ භව නිරෝධා - භව නිරෝධෝ ජාති ‍නිරෝධා ජාති නිරෝධෝ - ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා - නිරුජ්ඣන්ති ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති!” – “නාම රූප නිරෝධ කිරීම හේතුවෙන් සළායතන නිරෝධ වේ. සළායතන නිරෝධ කිරීම හේතුවෙන් ස්පර්ශ නිරෝධ වේ. ස්පර්ශ නිරෝධ කිරීම හේතුවෙන් වේදනා නිරෝධ වේ. වේදනා නිරෝධ කිරීම හේතුවෙන් තණ්හා නිරෝධ වේ.  තණ්හා නිරෝධ කිරීම හේතුවෙන් උපාදාන නි‍රෝධ වේ.  උපාදාන නිරෝධ කිරීම හේතුවෙන් භවය නිරෝධ වේ.  භවය නිරෝධ කිරීම හේතුවෙන් ජාතිය නිරෝධ වේ.  ජාතිය නිරෝධ කිරීම හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් රැස නිරෝධවේ” ආදී ලෙසට පෙන්වා දුන්න සියලු දුක් රැස නිරෝධ වෙනවා!
නාම රූප නිරෝධය තුලින් නිවන් අවබෝධය ලැබිය හැකි අයුරු ඔබට මනාව පැහැදිලි වන්නට ඇතැයි සිතමි.  නිතරම මේ නාම රූපයන්ගේ ආදීනව මෙනෙහි කල යුතුයි.  එවායෙන් නිදහස්ව ලැබෙන සුවය අවබෝධයෙන් මෙනෙහි කල යුතුයි.  මෙන්න මේ දෙය හරියාකාරව මෙනෙහි කරනවා නම් ආර්ය මාර්ගය අනුගමනයෙන් නිවන් අවබෝධ වෙනවා.   




නාම රූප කියන්නේ මොකක්ද? නාම රූප වලට හේතුව කුමක්ද? නාම රූප නිරෝධය කුමක්ද? නාම රූප නිරෝධ මාර්ගය කුමක්ද? යන නාම රූප තුලින් චතුරාර්ය සත්ය අවබෝධ කරගෙන නිර්වාණ පරතෙරට යන්නේ එලෙසයි! ඉතින් මේ සියලු ‍ලිපි වලින් ඔබට දැනටමත් අවබෝධ වෙලා ඇති මේ නිවන අවබෝධ කරගන්නට තම තමන් විසින් තම තමන්ටම කරගත යුතු වැඩකොටස කොපමණද කියලා.  තම තමන්‍ට අදාල වන නාම රූප  දන්නේ තමන්මයි.  මගේ නිවන වැසීමට හේතුවන නාම රූප නොවේ ඔබෙන් අයෙකුට ඇතිවෙන්නේ.  ඒ නිසයි කියන්නේ ආර්ය මාර්ගය නිවන් මාර්ගය සැමවිටම පෞද්ගලිකයි කියලා.  සම්බුදු පියාණන් මේ සිද්ධාන්තයක් පෙන්වා දුන‍්නේ මේ සිද්ධාන්තය තම තමන්ටම යොදාගෙන තම තමන්ගේ ගැටලු විසදාගෙන විමුක්තිය උදාකරගැනීමටයි.  ඔබ පමණයි දන්නේ ඔබේ මනසට බැසගන්නා නාම රූප මොනවාද කියලා... ඔබ පමණයි දන්නේ කොතරම් දුරකට අව‍බෝධය තුලින් නාම රූප වලින් මනස නිදහස්වෙනවාද කියලා... ඔබමයි දන්නේ අලුතෙන් ඇතිවන නාම රූප මොනවාද ඔබේ මනසට ඒවා කොහොමද බලපෑම් කරන්නේ කියලා... ඔබමයි දන්නේ ඉතිරිය සහ පහ කල පමණ කොතරම්ද කියලා... ඔබමයි දන්නේ ‍ඔබේ නාම රූප ඇතිවීමට හේතුව... ඔබමයි දන්නේ නාම රූප නිරෝධ වෙලාද නැත්ද කියලා... ඒ නිසාමයි විවෘතව හිතමින් තම තමන්ගේ නුවණින්ම විමසමින් මේ වටිනා ධර්ම කරුණු තම තමන්ගේ බුද්ධියෙන්ම අවබෝධ කරගත යුතු වන්නේ.  මගේ නිවනවත් ඔබේ නිවනවත් සම්මා සම්බුදු පියාණන්ට දෙන්නට බැහැ කිව්වේ ඒ නිසයි.  උන්වහන්සේ තම තමන්ටම එය අවබෝධ කරගැනීමට ඕනෑ කරන උපරිමය වුවමනා පමණටත් වඩා දී ඇත.  මෙන්න මේ පටිච්ච සමුප්පාදය ධර්මය හොදින් අවබෝධ කරගත් විට ධර්මය දකිනවා ලෙසිනුත් ධර්මය දකින තැනැත්තාට ධර්මයම දහම් ගුරුවරයා වනවා කියලත් පෙන්වා දුන්නේ ඒ නිසයි.  ඉතින් වහා වහා තමන්ගේ දහම් ගුරුවරයා ලං කරගන්නට උත්සාහ කල යුතුයි.  ඒ දහම් ගුරුවරයා අසලට ඔබ පැමිණි විට ඔබට මගේ උපකාර වුවමනා නොවේවි... වෙන කිසිවෙකුගේවත් උපකාරයක් වුවමනා නොවේවි... එය තමන්ට අත්දැකිය හැකියි.  ඉතින් මේ සියල්ලෙන් උපරිම ඵල නෙලා ගැනීමට බුද්ධිමත් විය යුතුමයි.  ධර්මයෝම ධර්මයෝ පුරවයි නිර්වාණ පරතෙරට යෑම සදහා ධර්මයෝම ධර්මයෝ පවත්වයි ලෙසින් අත්දැකීමෙන් කියන්නට ඔබටත් එවිට ඉක්මනින්ම හැකිවේවි! 

ඔබට ඔබේ ධර්ම ගුරුවරයා ඉක්මනින්ම මුණගැසීමට හිමිවිය යුතු සියලුම 
ආශිර්වාදයන් මෙම ලිපිය සමග ගොනු කරමි!
සම්මා සම්බුදු සරණයි!

No comments: