Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, February 16, 2010

ඵස්ස (ස්පර්ශය)

පටිච්ච සමුප්පාදයේ අංග 12 අතරින් මීලගට සටහන් තබන්නේ ඵස්ස නැත්නම් ස්පර්ශ ‍යන අංගය පිලිබදවයි.  මෙයට පෙර ලිපිය තුලින් සලායතන කුමක්ද? සලායතන වලට හේතුව කුමක්ද? සලායතන නිරෝධය හෙවත් උදා නොකිරීම කුමක්ද? ඒ සලායතන උදා නොවීමට ගත යුතු පියවර හෙවත් සලායතන නිරෝධ මාර්ගය කුමක්ද? යන කොටස් ගැන තිබූ සටහන් තුලින් විවෘත මනසකින් කරුණු විමසා බලන්නට හැකිවුණි නම් මනා අවබෝධයක් ලබන්නට ඔබටත් හැකිවෙන්නට ඇතැයි සිතමි.  සලායතන හේතුවෙන් ඇතිවන ඵස්ස නැත්නම් ස්පර්ශ පිලිබදව කරුණු අවබෝධ කරගන්නට මේ ලිපිය තුලින් උත්සාහ දරනු ඇතැයි සිතමි!

මෙම ස්පර්ශය යනු කුමක්ද? ස්පර්ශයට හේතුව කුමක්ද? ස්පර්ශ නිරෝධය කුමක්ද? ස්පර්ශ නිරෝධ මාර්ගය කුමක්ද? යන කරුණු 4 හරියට වටහාගත්තා නම් ස්පර්ශය මුල්කරගෙන වටහා ගන්න චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.  අන්න ඒ ටික තේරුම් ගත්තා නම් උතුම් නිවන ශාක්ෂාත් කරගැනීමට යම් මගක් අනුගමනය කල යුතුද අන්න ඒ උත්තරීතර මාර්ගය මේ තුලින් අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා.  එහෙනම් මේ උතුම් නිවන් මගක් යන්න වටහාගෙන ස්පර්ශයත්... ස්පර්ශයට හේතුවත්... ස්පර්ශය නිරෝධ කිරීමෙන් ලැබෙන ශාන්තියත්... ඒ සදහා අනුගමනය කල යුතු මාර්ගයත් වටහාගෙන ස්පර්ශය නිරෝධ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ ‍හේතුවෙන් වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධ කිරීම හේතුවෙන් තණ්හා නිරෝධ වෙනවා.  තණ්හා නිරෝධ කිරීම හේතුවෙන් උපාදාන නි‍රෝධ වෙනවා.  උපාදාන නිරෝධ කිරීම හේතුවෙන් භවය නිරෝධ වෙනවා.  භවය නිරෝධ කිරීම හේතුවෙන් ජාතිය නිරෝධ වෙනවා.  ජාතිය නිරෝධ කිරීම හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් රැස නිරෝධ‍ වෙනවා.  මේ අකාරයෙන් ස්පර්ශය නිරෝධ කරගත්තා නම් දුකෙන් නිදහස් වීමේ මාර්ගය පෑදෙනවා.  ඒ සදහා ඉහත කාරණා එකින් එක හොදින් විග්‍රහ කරලා තේරුම්ගන්න ඕනේ. 

මුලින්ම සලායතන පච්චයා ඵස්සෝ කියන තැන දැක්වෙන ස්පර්ශය හදුනාගනිමු!
අප දැනටම දන්නවා ආයතන 6 හෙවත් සලායතන හදන්නේ අවිද්‍යාව තෘෂ්ණාව සහ මුලාව නිසා බව.  ලෝක සත්වයා ඒ ඒ ලෝක ආශ්වාද භුක්තිය උදෙසා එයට අනුකූලව ස්පර්ශ ලබන්නට පටන්ගන්නවා. 
ස්පර්ශ විවිධාකාරයෙන් තියෙනවා...
අප ලීයක් තවත් ලීයක් සමගින් ගැටීමක් සිදුකලොත් එයත් එක්තරා ස්පර්ශයක්.  ගලකට ගලක් හැප්පුවත් එක්තරා ස්පර්ශයක්.  ඒ වගේම ඇහැකට රූපයක් පෙනීමත්, කණට ශබ්දයක් ඇසීමත්, නාසයට ගන්ධයක් දැනීමත්, දිවට රසයක් දැනීමත්, කයට ස්පර්ශයක් දැනීම ආදී දේත් එක්තරා ආකා‍රයක ස්පර්ශයන් වෙනවා.  එහෙත් මේ ස්පර්ශයන් නොවෙයි පට්චච් සමුප්පාද ධර්මය තුල සලායතන පච්චයා ඵස්සෝ ලෙසින් පෙන්වන ලද ස්පර්ශය.  එහි පෙන්වා දෙන ස්පර්ශය නිරෝධ කරන්න පුළුවන් එකක් අප ජීවත් වෙලා ඉන්නකොටම.  ඒ ස්පර්ශය මාර්ග ඵල අවබෝධයත් සමග නිරෝධ වෙන දෙයක්.  අරිහත් ඵලයට පත්වූ විට මේ ස්පර්ශය සහමුලින්ම නිරෝධයි. 
ඉතින් අප විසින් මෙතැන පෙන්වන සසර දුකට හේතුවන යම් ස්පර්ශයක් ගොඩනැගෙනවා නම් ඒ කෙබදු ස්පර්ශයක්ද කියන කාරණය ධර්මානුකූලව තේරුම්ගත්ත දිනයට තමයි මේ පටිච්ච සමුප්පාදය තුල පෙන්වපු ඒ අවිද්‍යා සහගත ස්පර්ශය කුමක්ද කියලා තෝරගන්න පුළුවන් කම ලැබෙන්නේ.  ඒ ආකාරයෙන් වටහාගත්තේ නැත්නම් අපට පුළුවන් කමක් නැහැ අත්හැරිය යුතු නොඇලී මිදී යායුතු යම් ස්පර්ශයක් වේ නම් ඒ කෙබදු ස්පර්ශයක්ද කියලා තේරුම්ගන්න.  අන්න ඒක තේරුම් ගන්නට නම් ස්පර්ශය මනා සේ වටහාගත යුතුයි. 
ඉතින් ඉහත පෙන්වා දුන්න පරිදි අප ජීවත්ව සිටින විටදීම මාර්ග ඵල අවබෝධයත් සමග අරිහත්වයත් සමග නැතිවී නිරෝධ වී යන ස්පර්ශය හදුනාගැනීමට වැදගත්වෙනවා...
එසේ නිරෝධ කල හැකි ස්පර්ශය තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා අවිද්‍යා සහගත ස්පර්ශයයි.  එසේනම් අප දැනගත යුතුයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා ස්පර්ශය මොකක්ද අවිද්‍යා සහගත ස්පර්ශය මොකක්ද කියලා.  මේ කියන කාරණය අප ‍හොදින් තේරුම් අරගන්නට ඕනේ.  ස්පර්ශය කියන එක ‍වටහාගන්න ඕනේ.  සසරගමනට හේතුවන ස්පර්ශයක් අපට තවම ලැබෙනවාද කියලා අවබෝධ කරගන්න ඕනේ.    

ප්‍රිය මනාප ලෙස දැනගන්නට හෝ අප්‍රිය අමනාප ලෙස ගැටෙන්නට හෝ මුලාව නිසා පහල වන දැනීම් සදහා සත්වයා ලෝකය ස්පර්ශ කරනු ලැබේ.  ලෝකයෙහි ඇලීමට, ගැටීමට, මුලාවට සම්බන්ධව ඇස රූප ස්පර්ශ කරයි... කණ ශබ්ද ස්පර්ශ කරයි... නාසය ගන්ධ ස්පර්ශ කරයි... දිව රස ස්පර්ශ කරයි... කය පහස ස්පර්ශ කරයි... මන ධර්මයෝ ස්පර්ශ කරයි!  එසේ ස්පර්ශ කරන්නේ ඇස, කණ, දිව, නාසය, කය, මන ආයතන 6ක් බවට පත්කරගෙනය. 
එසේ ආයතන හේතුවෙන් කරන ස්පර්ශයෝ සලායතන ප්‍රත්‍යයෙන් කරන මේ ස්පර්ශයෝ වෙති.  යම් හෙයකින් අවිද්‍යා තෘෂ්ණා මුලාව දුරු විනි නම් මේ 6 අකාරයක ස්පර්ශ ඉන්පසු පහල නොවේ.  ‍එහෙත් ඇසට රූපත්, කණට ශබ්දත්, දිවට රසත්, නාසයට ගන්ධත්, කයට ස්පර්ශත්, මනට ධර්මත් ස්පර්ශ වීම ඉන්පසු‍වත් තිබේ.  අරිහතුන් වහන්සේගේ පිරිණිවන්පෑම දක්වාම මේ ස්පර්ශයන් දැනේ.  නිරෝධ සමාපත්තියේදී මේවාද ස්පර්ශ නොකර සිටීමට උන්වහන්සේට හැකියාව ඇත. 

අප දැනටම දන්නවා පටිච්ච සමුප්පාදය ආකාර 4කට යෙදෙනවා කියලා.  ඒවා හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය), ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය), සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය), අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්‍යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය) ලෙසින් අප දැනගත්තා.  මේ ආකාර හතර සමග අවිද්‍යාව යෙදෙන විට මේ කියන ස්පර්ශයත් එයට සම්බන්ධ වෙනවා.  ස්පර්ශ චෛතසිකය කියන අවස්ථාවේදී පෙන්වන ස්පර්ශය මේ සලායතන හේතුවෙන් ස්පර්ශ වේ ලෙසින් පටිච්ච සමුප්පාදයේ පෙන්වන ස්පර්ශය නොවේ.  මේ දේවල් පටලවාගත්තොත් යථාර්ථය තුලින් නිවන් අවබෝධය ලබන්නට බාධා ‍ඇතිවෙනවා.  එසේනම් මේ කියන ස්පර්ශය තුලින් ඇතිවන අවිද්‍යා සහගත වැඩපිලිවෙල අප විසින් අවබෝධ කරගත යුතුයි. 

ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා.  කණට ශබ්ද ස්පර්ශ වෙනවා.  අවිද්‍යා සහගත විට මේ එන ස්පර්ශ වලට අමතරව අප විසින් මනසින් ස්පර්ශයක් ගොඩනගා ගන්නවා.  එසේ ගොඩනගා ගන්න ස්පර්ශ බුක්ති විදිනවා.  ‍මොනවද මේ කියන බුක්ති විදින්න ගොඩනගාගන්න ස්පර්ශ?  යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ “මගේ පුතා / දුව” කියන එක එක් ස්පර්ශයක්.  තව අයෙක් ස්වාමිපුරුෂයා ලෙසින් සම්මත වෙලා තියෙනවා නම් බිරිදක් විදියට සම්මතයෙන් අයෙක් සිටිනවා නම් “මගේ සැමියා මගේ බිරිද” කියලා ගොඩනගාගන්නවා තව ස්පර්ශයක්. මෙන්න මේ විදියට ඒ පෙනෙන්න තිබුණ මනුස්ස ස්වරූපය ඉක්මවලා අප විසින් වෙනත් නමකින් වෙනත් ස්වභාවයකින් එය ස්පර්ශ කරනවා.  මෙය ටිකක් විතර ගැඹුරු වුණත් හොදින් විවෘත මනසකින් යලි යලිත් සිහිගන්වන විට නුවණින් විමසන විට හොදින්ම අවබෝධ වෙනවා.  

ඇස, කණ, නාසය, දිව, කය කියන කොටස් අඩංගු බාහිරට පෙනෙන රූපය “මනුස්සයෙක්” ලෙසින් ගැනීම එක් පෙනීමක්.  ඒ හැඩරුව තුලින් මේ මනුස්සයා මෙබදු කෙනෙක් මෙබදු නම් ගොත් තියෙන කෙනෙක් මේ පෙනෙන හැටියෙන් මට ඒ අයගේ හැටි පෙනෙනවා කියලා අපේම ස්පර්ශයකිනුත් අප විසින් ඒ ඒ පුද්ගලයා හදුනාගන්නවා.  හැබැයි මේ ස්පර්ශ දෙකේදීම අපට ඇලෙන්නට, ගැටෙන්නට තරම් දෙයක් හටගත්තේ නැහැනේද?
අප විසින් ඒ ඒ පුද්ගලත්වය තුල මේ ඥාතියා.. මේ මිතුරා... මේ හතුරා... ආදී ලෙසින් එක් එක් දෘෂ්ඨියන් තුලින් ස්පර්ශයක් ඇති කරගන්නවා.  මෙන්න මේ කියන දෘෂ්ඨි තුලින් ඇතිකරගන්න ස්පර්ශය තුලින් තමයි මේ මිතුරා... මේ හතුරා... මගේ නෑදෑයා... මගේ පවුලේ කෙනා ආදී ලෙසින් නොයෙක් නොයෙක් ආකාරයෙන් පුද්ගලයින් පිලිබදව අදහස් ඇතිකරගෙන බැදෙන්නේ රැදෙන්නේ.  අන්න ඒ ස්පර්ශය නිසා හටගන්නා වින්දනයක් තියෙනවා නම් එය මුල්කරගෙන සසර ගමනට අප විසින් ඇදෙනවා බැදෙනවා.     එහෙනම් මේ පැවැත්ම කරා ඇදී බැදී සිටිනවා නම් එසේ වීමට හේතුවන වින්දනයක් ඇතිකරන්නේ යම් ස්පර්ශයකින්ද මෙන්න මේ ස්පර්ශයට තමයි කිව්වේ අවිද්‍යාසහගත ස්පර්ශය කියලා.  අප හොදින් තේරුම් ගන්න ඕනේ එබදු ස්පර්ශයක් ගොඩනැගෙන හැටි.  
උදාහරණයක් අරගෙන බලමුකෝ!
දරුවා ඉතා කුඩා කාලයේ අම්මා කෙනෙක් විදේශ රැකියාවකට ගියා කියලා හිතමුකෝ.  අවුරුදු 10ක් 15ක් විතර යනකම් ඒ අම්මාට එයාගේ දරුවගේ ඡායාරූපයක්වත් මොනම විදියකින්වත් රූපය දැක ගැනීමට අවස්ථාව නැතිව ගියා කියලා හිතමුකෝ... ඒ අම්මා ආපසු තම රටට එනවිට හිතින් ‍මනෝ රාජ්‍යයක් මවාගෙන එනවා මගේ පුතා මේ වගේ ඇති... මේ වගේ උස මහත ඇති... ආදී ලෙසට... මේසේ එනවිට පාසලක් ඇරිලා ළමයි යනවා කියලා හිතමුකෝ... එතකොට එක ලමයෙක් ඇගේ හැප්පිලා මේ අම්මා වැටෙන්න යනවා.  එතකොට ඒ අම්මා අර ලමයට බැන වදිනවා... හැදිලා තියෙන හැටි තමයි... හරිම නරකයි... ආදී ලෙසට බැන වදිනවා.  එවිට එතැන මේ කාන්තාව හදුනන අයෙක් පැමිණ කියනවා ඔය බනින්නේ ඔයාගෙ ලමයටමනේ කියලා... එතකොට මේ මගේ පුතාද කියලා හැගීමක් එනවිටම අර තරහත් ඉවරයි විශාල සෙනෙහසක් ඇතිවෙනවා “මගේ පුතා” කියන දෘෂ්ටියත් සමගින්ම.  මේ විදියට දෘෂ්ඨි ස්පර්ෂයක් හටගන්නවා. 
මේ වගේ අවස්ථාවන් ඕන තරම් අප අතර සිදුවෙනවා.  ඔබටත් සමහර වෙලාවට මේ වගේ සමාන අවස්ථාවන් අත්විදින්න හැකිවෙලා ඇති.  ඉතින් කලින් උදාහරණය තුලින් අවබෝධ කරගන්න හැකි විශේෂ දෙයක් තියෙනවා.  ඒ තමයි රූපය ඇසට ස්පර්ශ වුණා කියලා විශේෂයක් වුනේ නැහැ... ඒත් “මගේ” කියන දෘෂ්ඨිය තුලින් ඒ නමින් අමතන... ඒ නමින් හැගීම් උපදවාගන්නා ස්වභාවයක් ස්පර්ශ කරගත්තා.  අන්න ‍ඒ ස්වභාවයට කියනවා දෘෂ්ඨි ස්පර්ශයකින් යුක්ත වෙනවා කියලා.  මෙන්න මේ දෘෂ්ඨී ස්පර්ශය තමයි මිත්‍යා දෘෂ්ඨියෙන් බැදිලා අවිද්‍යා සහගත ස්පර්ශය ලැබුවා කියලා හදුන්වන්නේ.  එහෙනම් මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි... අවිද්‍යා සම්ප්‍රයුක්තයි... අවිද්‍යාව සමග යෙදෙනවා...මෙන්න මේ ස්පර්ශය තමයි සසර ගමනට හේතුවන ස්පර්ශය.  ඇහැට රූප පෙ‍නුනට සසර ගමනේ ගමන් කරන්නේ නැහැ... සසර ගමනේ නැවත උපදින්නට හේතු ඇතිවන්නේ නැහැ... කණට ශබ්ද ඇහුනයි කියලා සසර ගමනට හේතු ඇතිවෙන්නේ නැහැ... නාසයට සුවදක් දැනුනට... දිවට රසක් දැනුනට... කයට ස්පර්ශයක් දැනුනට... සසර ගමනට හේතු ඇතිවෙන්නේ නැහැ.  අරිහත්වයට පත්වූ උත්තමයන් වහන්සේලාගේ ඇසට රූප පෙනිලා තියෙනවා... කණට ශබ්ද ඇසිලා තියෙනවා... නාසයට ගද සුවද දැනිලා තියෙනවා... දිවට රස දැනිලා තියෙනවා... කයට ස්පර්ශ දැනිලා තියෙනවා... හැබැයි උන්වහන්සේලා එක් ස්පර්ශයක් නිරෝධ කරලයි හිටියේ.  මොකක්ද ඒ ස්පර්ශය... අර කලින් පෙන්වා දුන්න අවිද්‍යා සහගත ස්පර්ශය තමයි නිරෝධ කරලා අරිහත්වයට පත්වුනේ.  ඉතින් මේ කොටස අවබෝධ වුනා නම් ස්පර්ශ නියමාකාරයෙන් අවබෝධ කරගත්තා වෙනවා. 

ඉතින් සත්වයා හිතුවත් නැතත්... සත්වයාට ගෑවුනත් නැතැත්... ලෝකයේ ද්‍රව්‍ය වස්තූන් ද්‍රව්‍ය වස්තු සමග ස්පර්ශ වෙනවා.  අවිද්‍යාව, තෘෂ්ණාව, මුලාව ඇති තුරු ඉන්ද්‍රීයයන් 6න් ලෝකය ස්පර්ශ කරන්නට ආශාව, බලාපොරොත්තුව පහළ කරයි.  එවිට ඒවා සදහා අවධානය යොමු කරයි.  අවධානයට ගෝචර වන විට බලාපොරොත්තු  පරිදි ස්පර්ශ කරයි.  එවිට අවිද්‍යා, තෘෂ්ණා දෘෂ්ඨිය හා එක්වූනු ස්පර්ශ පහල කෙරේ.  චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය සහ මනෝ සංස්පර්ශය ලෙසින් එම ස්පර්ශය හදුන්වනු ලැබේ.   මෙය ඉතාමත් හොදින් විභංගප්‍රකර‍ණයේ දක්වා තියෙනවා...

“තත්ව කථමො සලායතන පච්චයා ඵස්සෝ: චක්ඛු සම්ඵස්සෝ, සෝත සම්ඵස්සෝ, ඝාන සම්ඵස්සෝ, ජිව්හා සම්ඵස්සෝ, කාය සම්ඵස්සෝ, මනෝ සම්ඵස්සෝ අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ - එහි තේරුම; සලායතන පච්චයා ඵස්සෝ යනු කුමක්ද? - චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය සහ මනෝ සංස්පර්ශය සලායතන පච්චයා ඵස්ස ලෙසින් වේ” ලෙසින් මේ අවිද්‍යාසහගත සංස්පර්ශය බොහෝම පැහැදිලිව එහි අර්ථ ගන්වා තිබෙනවා.

ඔබට මෙහි විශේෂ අවස්ථාවක් දැකිය හැකිවෙනවාද?  මෙහි අප අවධානය යොමු කල යුතු අති සුවිශේෂී කොටසක් තියෙනවා.  එය තමයි සැබැවින්ම අප විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය. 
ඔබට දැකිය හැකිද “ඵස්ස” යන වචනය අර්ථ දැක්වීමේදී ඒ ඵස්ස යන්නට විශේෂ කොටසක් එකතු වී තියෙනවා.  ඵස්ස අර්ථ දැක්වීමේදී එය සම්ඵස්ස ලෙසින් පෙන්වා දී තියෙනවා... ඉතින් මේ නිකම් නිකම් ස්පර්ශය මෙහි සංස්පර්ශය ලෙසින් විශේෂ කොට දක්වා තියෙනවා.  අප බොහෝ දෙනා දන්නවා මේ ඵස්ස සම්ඵස්ස ‍යන්න සමාන ලෙසින් පෙන්වා දී ඇති බව.  ඵස්ස = සම්ඵස්ස.  එය ඇත්ත බව අපටත් පෙනෙන්නට තියෙනවා.  ඒත් එසේ ඵස්ස = සම්ඵස්ස වන්නේ කෙසේද යන්න අප විසින් විමසා බැලිය යුතුම වෙනවා.  නැතිනම් කව්රුවත් කිව්ව නිසා ඵස්ස = සම්ඵස්ස ලෙසින් අපත් පිලිගත්තා පමණක් වෙනවා මිස අපට එයින් ලැබිය හැකි අවබෝධයක් නැතිව යනවා. 

අවිද්‍යාව, තෘෂ්ණාව තමයි මේ කියන ඵස්ස සම්ඵස්ස බවට පත්වීමට හේතුවන්නේ. චක්ඛු ස්පර්ශය චක්ඛු සංස්පර්ශය බවටත්,  සෝත ස්පර්ශය සෝත සංස්පර්ශය බවටත්, ඝාන ස්පර්ශය ඝාන සංස්පර්ශය බවටත්, ජිව්හා ස්පර්ශය ජිව්හා සංස්පර්ශය බවටත්, කාය ස්පර්ශය කාය සංස්පර්ශය බවටත් සහ මනෝ ස්පර්ශය මනෝ සංස්පර්ශය බවටත් පත්වූයේ අවිද්‍යාව තෘෂ්ණාව මුලාව නිසාය.  එසේ අවිද්‍යාව තෘෂ්ණාව මුලාව නැති තැන ස්පර්ශය පමණක් පහල වන අතර සංස්පර්ශය පහල නොවේ.  පටිච්ච සමුප්පාදය කියන්නේ අපට අනන්ත දුකට හේතුවන ලෝකයම විස්තර කරගැනීමට හැකිවෙන කරුණු පෙන්වා දෙන මූලික චක්‍රයයි.  මේ චක්‍රය තුල දුකට හේතුවත් දුක නිරෝධ කරන ආකාරයත් තමයි ප්‍රධාන ලෙසින්ම පැහැදිලි කර දී තිබෙන්නේ.  ඉතින් එහි සැමවිටම දුකට හේතුවන කරුණුත් ඒවා නි‍රෝධය තුලින් දුක නිරෝධ වන කරුණුත් මිස එයින් බාහිර කරුණු ගොනු කොට නැහැ... ඒ අනුව තමයි මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ දුකට හේතුවන ස්පර්ශයක් නැත්නම් දුකට හේතුවන ඵස්ස ගැන සදහන් වෙන්නේ... එය නිකම්ම නිකම් ඵස්ස නොවන බව පෙන්වා දෙන්න ‍තමයි එය මනාව අර්ථ දක්වා සම්ඵස්ස ‍ලෙසින් වැඩිදුරටත් අර්ථ ගන්වා අවබෝධ කරගැනීමට පහසු වීමට විස්තර කර දී තිබෙන්නේ...    
ඒ අයුරින් තමයි අවිද්‍යාව තෘෂ්ණාව නි‍රෝධයත් සමග නිරෝධ කල හැකි ස්පර්ශයක් පටිච්ච සමුප්පාදය තුල මෙලෙසින් පෙන්වා දී තිබෙන්නේ.  මේ කියන අවිද්‍යාසහගත ස්පර්ශය නැති සම්මා සම්බුදු පියාණන් වහන්සේට... රහතන් වහන්සේලාටත් රූප දැකිය හැක... ශබ්ද ඇසිය හැක... ගන්ධ දැනිය හැක... රස දැනිය හැක... කයට ස්පර්ශ දැනිය හැක... මනට ධර්මයන් දැනිය හැක... ඒ ඉහත පෙන්වා දුන් සංස්පර්ශ නිසා නොවන බවට ඔබටම දැන් අවබෝධ වෙනවා ඇති. 

අප තවදුරටත් බලමු මේ ස්පර්ශත් සංස්පර්ශත් ගොඩනැගෙන ආකාරය ගැන. 
අයෙමත් උදාහරණයක් ගෙන බලමු.
අනතුරකින් දෙදෙනෙක් මිය යනවා.  එක් අයෙක් තමන්ගේ පවුලේ තමන්ට බොහෝම ලංව වාසය කල අයෙක්.  අනෙක් පුද්ගලයා ‍ඔබ හරියටම දන්නේ නැති කෙනෙක්.  මිය ගිය දෙන්නාම මිනිස්සු දෙන්නෙක්.  වෙනසකට තියෙන්නේ මේ දෙන්නාගෙන් එක් අයෙක් ඔබ විසින් ඔබගේ අයෙක් ලෙසින් පිලිගෙන තිබීමත් අනෙක් පුද්ගලයා ඔබ හරියටම හදු‍න්න්නේ නැති අයෙක් ලෙස පිලිගෙන තිබීමත් පමණයි.  ඒ වෙනස තුලින් ඔබ කොතරම් දුකට පත්වෙනවාද?  ඔබ ඔබගේ ඉන්ද්‍රීයයන් 6 මෙහෙයවන්නේ අර තමන්‍ට බැදීමක් ඇති පුද්ගලයාගේ වෙන්වීම නිසා දුකට පත්වීමට නේද? ඒ කියන්නේ ඔබ දැන් ඒ ඔස්සේ ආයතන 6ක් ඇති කරගත්තා යන්න නේද?  ඇයි එහෙම වුනේ?  ඒ ඔබ විසින් ඒ පුද්ගලයා “මගේ” කියන හැගීමෙන් ස්පර්ශ කර තිබුණ නිසායි.  අනෙක් පුද්ගලයාගේ මරණය ඔබට එතරම් දුකක් නොගෙනාවේ ඒ පුද්ගලයා ඔබ විසින් “මගේ” කියන හැගීමෙන් ස්පර්ශ කර නොතිබූ නිසා නේද?  මේ ස්පර්ශය නිකම් නිකම් ස්පර්ශය නොවේ අවිද්‍යාසහගතව තෘෂ්ණාවෙන් ඇති කරගත්ත “මම මගේ” කියන දෘෂ්ඨීය ඔස්සේ ඇති කරගත්ත සංස්පර්ශයයි.  
“මගේ” කියන හැගීම ඇතිනොවූ නිසා ඔබට අන් පුද්ගලයාගේ මරණයෙන් දුකක් ඇතිවුනේ නැහැ... ඒත් “මගේ” කියන හැගීම ඇතිවූ පුද්ගලයාගේ මරණය ඔබට දුකක් ගෙන ඒමට සමත් වුණා.  දර්ශන ස්පර්ශය ඒ මියගිය දෙදෙනාගෙන්ම ලැබුනේ එක විදියටයි.  ඒත් එය සංස්පර්ශයක් කරන්න අර “මගේ” කියන දෘෂ්ඨිය සමත් වුණා.  එතැන් පටන්ගෙන ඔබ ඒ මියගිය දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් දකින්නේ තවත් කෑල්ලක් එයට එකතු කරගෙනයි.  “මගේ” කියන කෑල්ල තමයි දැන් ඒ මියගිය පුද්ගලයෙකුට එකතු කරගෙන සිටින්නේ.  ඇලීම වැඩි වන තරමට ඔය “මගේ” කියන කෑල්ලට තව තවත් විශේෂණ එකතු කරගන්න අප පෙළඹෙනවා... උදාහරණයක් විදියට “මගේ රත්තරන් අම්මා... මගේ සුදු දුව... මගේ මැණික” ආදී ලෙසට වටිනා යැයි සම්මත දේ තුලින් වටිනාකමක් තව තවත් ඔබ්බවන්නට අප කටයුතු කරනවා. 
ඔන්න ඕක තමයි සංස්පර්ශය... “මගේ” ලෙසින් වැඩි යමක් එකතු කරගෙන අවිද්‍යාසහගතව දෘෂ්ඨිගතවෙලා ස්පර්ශය සංස්පර්ශය කරගෙන ඒ තුලින් නොයෙක් වේදනා ගන්නවා.  ඉතින් අර කලින් උදාහර‍ණයේ මියගිය පුද්ගලයන් දෙදෙනා නිසා ඇතිවූ වේදනාව එක සමාන නොවුන හේතුව දැන් ඔබට වැටහෙනවා නේද?  ඉතින් ඔය වගේ “මම” “මගේ” කියන දෘෂ්ඨියෙන් ඇහැට, කණට, නාසයට, දිවට, කයට, මනට යමක් අරමුණු වෙච්ච මොහොත තමයි සංස්පර්ශයක් ඇති‍ වෙන මොහොත... ඒ ඔස්සේ තමයි එකම විදියේ පුද්ගලයන් දෙදෙනෙක් දැක්කත් එයින් ‍එක් අයෙක් “මගේ අහවල් පුද්ගලයා” ලෙසින් ගන්නේ... එකම විදියේ පොත් දෙකක් තිබුණත් මේ “මගේ පොත” කියලා වෙන් කරගන්නේ... එකම විදියේ ගෙවල් 2ක් තිබුණත් මේ “මගේ ගෙදර” කියලා වෙන් කරගන්නේ... “මේ මගේ දේ”.... “මේ මගේ අයට අයිති දේ”... ‍ “මේ අපේ පරම්පරාවට අයත්‍ දේ”... “මේ අපේ නෑදැයන්ගේ”.... මේ “මගේ” කියන දෙය අසීමිතව විහිදිලා ‍යනවා. “මම” කියන තැන සිට පටන්ගෙන “මගේ ඇහැ... මගේ කණ... මගේ නාසය... මගේ දිව... මගේ කය... මගේ මන... ඉන්පසුව මගේ ඇදුම... මගේ ආභරණ... මගේ භාණ්ඩ... මගේ පාවහන් ආදී ලෙසට තමන් ඇසුරු කරන දෙය “මගේ” කියලා ස්පර්ශ කරන්න ගන්නවා.. ඉන්පසුව “මගේ දුව... මගේ පුතා... මගේ අම්මා... මගේ තාත්තා... මගේ සැමියා.. මගේ බිරිද” ලෙසට තවත් බෙදිලා යනවා.. මගේ දේපල... කියලා යනවා.. මෙගේ නෑදැයන්ගේ දේ... මගේ පරම්පරාවට අයත් දේ කියලා තවත් විහිදිනා... ඉන්පසුව මගේ ගම කියන තැනට යනවා... මගේ ගමේ මිනිස්සු කියන තැනට විහිදෙනවා... අපේ හැදිලා තියෙන්නේත් මගේ කියන කොටස එකතුවෙලා තමයි... අප කියන කොට මම කියන කෙනා එහි ගැබ්වෙනවා... ඉතින් ඉන්පසුව  මගේ ජාතිය... මගේ ආගම...  මගේ රට... අපේ රට... කියන තැනට විහිදෙනවා... ලෝකය එක්ක සම්බන්ධ වෙනකොට මේ අපේ රටේ ඉන්න ලාංකිකයෝ කියන තැන සිට සම්බන්ධ වෙනවා... අ‍පි ලාංකිකයෝ... මම ලාංකිකයෙක්... ආදී ලෙසට විහිදී යනවා... රටට එරෙහිව ලෝකයේ වෙනත් තැනකින් විරුද්ධ දේ එනවිට දෙමළ, සිංහල ජාති බේද බලන්නේ නැතිව එකට එකතුවෙලා අපේ රට වෙනුවෙන් කියලා සටන් වදිනවා... ජාති මට්ටමෙන් නම් “‍මගේ ජාතිය” කියන එක බේරගන්න අනෙක් ජාති එක්ක ගැටෙනවා... මගේ ආගම බේරගන්නත් ඒ වගේ තමයි... එතකොට මෙය තව දුරටත් විහිදිලා පිටසක්වල ජීවින් පියාඹන පීරිසියකින් ලෝකය විනාශ කරන්න එනවා කියලා දැනගන්නට හැකිවුනොත් මොකද කරන්නේ... මගේ ලෝකය.. අපේ ලෝකය බේරගන්න කියලා ඔක්කෝමලා එකට එකතුවෙනවා නේද? මෙහෙම ඉතින් දිගින් දිගටම යන්න පුළුවන්... දැනට බොහෝ පිරිසකට එච්චරටම වැටහීමක් නැතුවා මිසක් දස දහසක් සක්වලත් මගේ... අපේ... කියන තැනට යනකම් මේ “ම‍ගේ” විහිදෙනවා...  පැවැත්ම හා ජීවය සම්බන්ධව අප ප්‍රයෝජනයට ගන්න අංශු මාත්‍රයක් හෝ සම්බන්ධව අනන්තයට මේ විහිදීම සිදුකරගන්න ඉඩ තියෙනවා...
ඉතින් මෙන්න මේ විදියට “මම” “මගේ” කියලා බැදුනාට පස්සේ ස්පර්ශ නිකම්ම නිකම් ස්පර්ශ නොවේ... සංස්පර්ශ වෙනවා කියලා ඔබට දැන් වැටහෙන්නට පටන්ගෙන ඇති.  ඇහැට පේන රූප නිකම් චක්ඛු ස්පර්ශ නොවේ චක්ඛු සංස්පර්ශ වෙනවා.  කණට ඇහෙන ශබ්ද නිකම්ම සෝත ස්පර්ශය නෙවේ සෝත සංස්පර්ශය වෙනවා,  නාසයට දැනෙන ගන්ධයන් නිකම්ම ඝාන ස්පර්ශය නොවේ ඝාන සංස්පර්ශය වෙනවා, දිවට දැනෙන රස නිකම්ම ජිව්හා ස්පර්ශය නොවේ ජිව්හා සංස්පර්ශය වෙනවා, කයට දැනෙන ස්පර්ශයන් නිකම්ම කාය ස්පර්ශය නොවේ කාය සංස්පර්ශය වෙනවා වගේම මනට දැනෙන ධර්මයන් නිකම්ම මනෝ ස්පර්ශය නෙවේ මනෝ සංස්පර්ශය වෙනවා. 
ඉතින් ස්පර්ශයත් සංස්පර්ශයත් අතර මූලික වෙනස වටහාගන්නට මේ කෙටි විස්තරය ප්‍රමාණවත් වේ යැයි සිතමි.
එසේනම් මේ අවිද්‍යාසහගත ස්පර්ශ වලට හේතුව කුමක්ද?
හේතුව බොහෝම පැහැදිලියි නේද?  අප විසින් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඡන්ද රාගයෙන් බැදිලා නොයෙක් නොයෙක් දේ වැදගත් වටිනවා කියලා දෘෂ්ඨියකට බැහැ ගත්තා.  සත්ව පුද්ගල දෘෂ්ඨියට බැහැගත්තා... ආත්ම දෘෂ්ඨියකට බැහැ ගත්තා... අන්න ඒ හේතුවෙන් ඒ ආකාරයෙන් ස්පර්ශයක් ඇතිවුණා නම් එය තමයි සසර ගමනට අනන්ත දුකකට හේතුවන්නේ. 
වර්ථමාන මොහොතක රූපයක් දකිනවා, ශබ්දයක් අසනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් දැනෙනවා, පහසක් ලබනවා, සිතිවිල්ලක් සිතනවා යන හැගීම් සූක්ෂම අවස්ථා එකතුවක ආසන්න මතක සටහන් වේ.  සැබැවින්ම අප අවබෝධ කරගත යුතු වැදගත් කරුණ නම් එවැනි සියලුම දේ මොහොතින් මොහොත අතීතයට යන මතක සටහන් මාත්‍රයක් පමණක් බවත් අප විසින් ඒ ඒ මතක සටහන් ඔස්සේ අතීත දර්ශනයක් ‍ගොඩනගා‍ ගෙන ඇසෙන් දැක්ක රූපය මනසින් දකින්නට පටන්ගනී... කණෙන් අහපු ශබ්දය මනසින් අසන්නට පටන්ගනී... නාසයෙන් ගත්ත ගන්ධය මනසින් ආඝ්‍රාණය කරන්නට පටන්ගනී... දිවෙන් ගත්ත රස මනසින්න විදින්නට පටන්ගනී... කයෙන් ගත් ස්පර්ශය මනසින් ස්පර්ශ කරන්නට පටන්ගනී... එලෙසින් මනසින් වටහාගනී... එලෙස නිපදවාගන්නා මනෝ ආකාරයක් මනසින් ස්පර්ශ කරන විට මේ මේ රූපයකැයි... මේ මේ ශබ්දයකැයි වැටහීමක් ඇතිවේ... ලොකු කුඩා, දිග පළල, උස මහත, ලස්සන අවලස්සන, ආදී ලෙස වැටහීමක් ගනී.  අප ඇසට ‍පෙනෙන ‍මොහොතක් ගත් විට එයින් ඔය කියන ආකාරයේ වැටහීමක් ගන්නට තරම් දෙයක් නොපෙනේ... ශබ්දයත් එසේමයි... මොකද ඒ මොහොත ඉතා සියුම් මොහොතක් නිසා ඔය කියන වැටහීමක් ගන්න තරම් දෙයක් ඒ මොහොතට අසුවන්නේ නැහැ... කොහොම වෙතත් මේ ගැඹුරු ධර්ම කොටසක්... එහි සරල අර්ථය ලෙසින් මෙසේ සටහන් තබන්නේ අප විසින් යථාර්ථය නොපෙනී මුලාවෙන් මතක් කර ගැනීම නිසා  සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු වල රූප සටහන් ඇසින් බලනවා යැයි රැවටීමක් ඇති කරගෙන මනසින් බැලීම සිදුකිරීමයි. 

ඇත්තටම මේ ඉතා ගැඹුරු ධර්ම කොටස දීර්ඝ ලෙස වඩාත් පැහැදිලිව විස්තර කොට ඔබ හමුවේ ඉදිරි දිනයක තබන්නෙමි... එය එසේ සටහන් තැබීම වඩාත් සුදුසු වේ යැයි මට සිතේ.  එයට හේතුව පටිච්ච සමුප්පාද ධර්මය කෙරෙහි මූලික අදහසක් ලබන්නට උපකාර කරගැනීමට හැකි අයුරින් සටහන් තබන මේ ලිපි පෙල තුල එවැනි ගැඹුරු කොටස් එකතු කොට ඔබට අවබෝධ කරගත හැකි සරල කොටසත් අවබෝධ වීමට පැටලුම් සහගත වීමට ඉඩ ඇති බැවිනි... සුදුසු පරිදි තවත් ලිපියකින් එවැනි ගැඹුරු ධර්ම කොටස්ද ඔබ වෙත හැකි උපරිමයෙන් සරල ලෙසින් දක්වමින් ගෙන ඒමට උත්සාහ කරමි. 
එතෙක් මේ ලිපිය තුල තබන සටහන් තුලින් ඔබ අවබෝධ කරගත යුත්ත අවබෝධ කරගැනීම ඔබට භාරයි. 

ඉතින් සරලවම අප විසින් යථාර්ථය නොදැන සිටීම නිසා ගන්නා ලද මුලා හැගීමක් ඔස්සේ ස්පර්ශ මුලාවක බැදී සිටියි.  මෙයයි සලායතන නිසා ඇතිවන ස්පර්ශය.  පෙර භවයන් තුලත් ‍මේ භවයේදී සේම එසේ මුලා වැඩපිලිවෙලක් අනුගමනය කොට බලාපොරොත්තු ගොඩනැගීමේ හේතුවට ඵලයක් ලෙසින් අද මේ ඉන්ද්‍රීය හයක් සහිතව අප පහල වී සිටිති.  ජීවත්ව සිටින තුරු ඒ ඒ කර්ම ශක්තියට අනුව ලැබුන ඉන්ද්‍රීය හයෙහි සාර්ථකත්වය මත පෙනීම, ඇසීම, ආඝ්‍රාණය, රස දැනීම, ස්පර්ශ දැනීම, සිතුවිලි නැගීම සිදුවේ.  එහෙත් මේ මොහොතේ ඒ අවිද්‍යා සහගත වැඩපිලිවෙල හදුනාගෙන එයින් දුරු වීමට හැකිනම් යලිත් මෙබදු කයක් දැරීමට හේතු පහල නොකරයි... යලිත් පැවැත්මක් සදහා හේතු පහල කිරීමෙන් වැලකීමට හැකිවේ.    

පටිච්ච සමුප්පාදයේ සදහන් ස්පර්ශ නිරෝධය කුමක්ද?
මේ ස්පර්ශයට හේතුවන ඡන්ද රාගය ඇතිවන්නේ ඇයි කියලා බැලුවොත් අපට අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය නොවැටහීම හේතුවෙන් කියලා අවබෝධ කරගන්න පහසුයි.  ඉතින් මේ අනිච්ච වූ දුක්ඛ වූ අනත්ථ වූ මෙබදු දෘෂ්ඨීන් ස්පර්ශ කරගෙන යනවා නම් ඒකෙන් දුකක් දාහයක් මිස අසාරත්වයක් මිස වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා අවබෝධ වෙනවා.  ඉතින් අන්න ඒ අවබෝධය තුලින් මේ කැමති ලෙස පැවැත්වීමට නොහැකි ලෝකයක දුක්ක් අසාරත්වයක් ගෙනදෙමින් අනාථයෙන් අනාථයට පත් කරන මේ වැඩපිලිවෙල අත්හැරී මිදී නොඇලී ගියදිනයට නිවී සැනසීම ඇතිවෙනවා කියලා දැක්කා නම් එය තමයි ස්පර්ශ නිරෝධය කියලා.  අවිද්‍යාව මුලාව නිරෝධ වූ දිනයට අප හසුවී ඇති මායාවේ තරමද වටහාගැනීමට හැකිවනු ඇත. පෙනීම්, ඇසීම්, ආග්‍රාණය කිරීම්, රස දැනීම්, ස්පර්ශ දැනීම්, සිතීම් ආදී දේහි නිසරු බව එදිනට අවබෝධ වේ.  එවැනි නිසරු දේ තුල පැවතීමද අත්හැරී යයි.  එවිට ඇස තිබුනත් රූප තිබුණත් ආයතන කරගන්නේ නැත... කණ තිබුණත් ශබ්ද ඇසුනත් ආයතන කරගන්නේ නැත... නාසය තිබුණත් ගන්ධය දැනුනත් ආයතන කරගන්නේ නැත... දිව තිබුණත් රස දැනුනත් ආයතන කරගන්නේ නැත.. කය තිබුණත් ස්පර්ශ දැනුනත් ආයතන කරගන්නේ නැත.. මන තිබුනත් සිතුවිලි නැගුනත් ආයතන කරගන්නේ නැත.. ආයතන ‍යම්සේ නොවේද අවිද්‍යා තෘෂ්ණා මුලාවෙන් හටගන්න ස්පර්ශයෝද එතැන නැත.  ඒ අවිද්‍යාසහගත සංස්පර්ශයන්ගෙන් මිදුනා නම් මිදුනාම වේ... නිවුනා වේ... නිවන අවබෝධ වුවාම වේ.    

මෙතෙක් අප අවබෝධ කරගන්නට උත්සාහ කල ස්පර්ශ නිරෝධ මාර්ගය කුමක්ද?
ඉහත පරිදි ස්පර්ශ නිරෝධය අවබෝධ කරගත් තැනැත්තාට අවබෝධ වෙනවා ඒ අවිද්‍යා සහගත ස්පර්ශ නිරෝධය තුලින් උතුම් වූ නිවන් අත්දැකිය හැකි බව වැටහෙනවා.  ඉන්පසුව ස්පර්ශ නිරෝධ කිරීමට සිදුකල යුතු කටයුත්තක් කල්පනා කරන්නට ඒ පුද්ගලයා පෙළඹීම සාමාන්‍ය දෙයක්.  ස්පර්ශයන්ගේ ආදීනව ඒ පුද්ගලයා අවබෝධ තුලින් වටහාගෙන අවසානයි... එ පමණක් නොවේ ස්පර්ශ නිරෝධයෙන් ඇතිවන ශාන්ත ප්‍රණීත නිවන් සුවයේ ආනිශංසයන්ද මෙනෙහි කල යුතුයි.  මෙන්න මේ විදියට අනන්ත දුකට ඇද දමන ස්පර්ශයේ ආදීනවයත් එයින් මිදී ඇතිවන නිවන් සුවයේ ආනිශංසයත් නිතර නිතර මෙනෙහි කරන විට යම් අවිද්‍යාසහගත ස්පර්ශයක් වේ නම් එයින් මිදීමට අවබෝධයෙන් යුක්තව කටයුතු යෙදෙනවා.  මේ ලෙසින් යම් දිනක ස්පර්ශයන්ගේ ආදීනවයන් දැකීමේත් නිවනේ ආනිශංසයන් දැකීමත් පූර්ණභාවයට පත්වන මොහොතක් එනවා.  එය තමයි ධර්මයේ සදහන් වන පරිදි ස්පර්ශ නිරෝධය තුලින් නිවන් අවබෝධ වීම යන්න ලෙසින් පෙන්වා දී තිබෙන්නේ.  මේ ආදීනව සිහි කිරීමත් ආනිශංස සිහිකිරීමත් හොදින් දියුණු වූ පසු ස්පර්ශයන්ගේ ස්වභාවය එකින් එක වටහා ගන්නට ඔබට හැකිවේවි!

යම් ඇහැට පෙනෙන රූපය මෙබදු ස්පර්ශයක්... මේ පෙනෙන ස්පර්ශය කුමක්ද... ආදී ලෙසින් යමක් දකින විට බලන විට අදාල ධර්මය සිහියට නැගීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එලෙසින් පෙනෙන... ඇසෙන... දැනෙන දේ වලට ඡන්ද රාගයෙන් බැදී මේ මේ දේවල් හරිම වටිනවා... හරිම වැදගත්... හරිම සැපයි ලෙසින් භාරගත්විට දැනෙන් ස්පර්ශය දුකට හේතුවන ස්පර්ශය බවත් එය අන් ස්පර්ශයන් සමග ඇති වෙනසත් හොදින්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා පමණක් නොවේ ධර්මාවබෝධයේ දියුණුවේ මට්ටම අනුව ඒ ඒ දේවලින් මිදීමටත් කටයුතු නොපමාව සිදුකරගන්නවා.  ඇත්තටම එවැනි දුක්ඛිත තත්වයන්ට පත්කරන අවිද්‍ය සහගත ස්පර්ශය හොදින් අවබෝධ වූ පසු එහි යථාර්ථය අවබෝධය වූ පසු එවැනි ස්පර්ශ නතර කරන්න දෙයක් නැහැ ඉබේම නතර වෙනවා.  ඒ ඒ වස්තූන් එබදු දෘෂ්ඨියන්ගෙන් දැක්කත්... වටිනවා යන හැගීම තුලින් ස්පර්ශ වෙන්නේ නැතිව යනවා. 
මේ අවිද්‍යා සහගත ස්පර්ශය හදුනාගැනීමට පුංචි කථාවක් මේ සමගම සටහන් තැබීම සුදුසුයැයි මට හැගේ!

එක් තාත්තා කෙනෙක් මිය යන විට ඔහුගේ පුත්තු 3 දෙනාට රත්තරන් පුටුවක් තෑගි කරනවා බෙදාගන්න කියලා.  ඒ තාත්තා මිය ගිය පසු ඒ පුත්තු 3 දෙනාම ඒ පුටුව බෙදාගන්න බැරිව රණ්ඩු කරන්න පටන්ගන්නවා.  මොකද ඒක රත්තරන් පුටුවක් නිසා ගොඩාක් වටිනවා කියන දෘෂ්ඨියෙන් තමයි ඒ පුත්තු 3 දෙනාම ඉන්නේ.  ලොකු පුතා කියනවා මම තමයි වැඩිමලා ඒ නිසා මට ලොකු කොටසක් ඕනේ කියලා... එතකොට මැද පුතා කියනවා එහෙම බැහැ මම තාත්තව ඔයාලට වැඩිය බලාගත්තා ඒ නිසා මටයි වැඩිපුර කොටස ඕනේ කියලා... එ‍තකොට බාලයා කියනවා මට තමයි තාත්තා වැඩිපුර ආදරේ ඒ නිසා මටයි වැඩිපුර කොටස ඕනේ කියලා... මේ විදියට රත්තරන් පුටුව බෙදාගන්න බැරිව රණ්ඩු කරමින් ඉන්නකොට එතනට පැමිණෙනවා තවත් පුද්ගලයෙක්.  ඒ පුද්ගලයා අහනවා රණ්ඩු වෙන්නේ ඇයි කියලා... එතකොට අර 3දෙනා එයාලගේ ගැටලුව කියනවා.  ඒ පුද්ගලයාත් විමසනවා ඒ කියන්නේ මේ පුටුව හරිම වටිනා එකක් නේද කියලා.. එතකොට අර 3දෙනාත් කියනවා ඔව් ඔව් හරිම වටිනවා ඒ නිසා මට මෙච්චර ‍ඕනේ... මට අච්චර ඕනේ කියලා ආයෙත් රණ්ඩුවෙනවා.  එතකොට අර පුද්ගලයා කියනවා ඉස්සෙල්ලා ඔය ගොල්ලෝ මේක ඇත්තටම රත්තරන්ද කියලා හොයලා බැලුවද කියලා.  එතකොට ඒ පුතාලා 3 දෙනා මදකට නිහඩ වෙලා කියනවා නැහැනේ අපට තාත්තා කිව්ව නිසා මිසක් අප රත්තරන්ද කියලා බැලුවේ නම් නැහැ කියලා.

එත‍කොට අර පුද්ගලයා රන්කරුවෙක් ගෙන්වලා ඒ පුටුව පරික්ෂා කරවනවා.  ඒ රන් කරුවා කියනවා මේක රත්තරන් නෙවේ නිකම්ම නිකම් ලී පුටුවක් රත්තරන් පාටගාල විතරයි කියලා... එතකොට අර පුත්තු 3 දෙනාටත් හිනා යනවා... ඒ අය කියනවා අනේ අපි ‍වගේ මෝඩයෝ හොයන්නේ බලන්නේ නැතුව රණ්ඩුත් වුණා... අපි හිතාගෙන හිටියේ මේක හරිම වටිනවා කියලා... දැන් කාටද ලොකු කොටස ඕනේ ඔන්න අරගන්න කියලා ඒ අය ඒ අයවම උපහාසයටත් පත් කරගන්නවා... ඉතින් අවිද්‍යා සහගත ස්පර්ශයේ යථාර්ථය අවබෝධ වූණාම ඔන්න ඔය කියපු පුත්තු 3දෙනාගේ හැසිරීම වගේ වේවි අපේ හැසිරීමත්... අනේ මෙච්චර කල් වටිනවා වටිනවා කියලා මගේ මගේ කියලා රැකගන්න උත්සාහ කලේ වැඩකට නැති දෙයක්නේද කියලා අව‍බෝධ කරගන්න අප හැමෝටම හැකිවෙනවා.  ඔය අවිද්‍යා සහගත ස්පර්ශය උපරිමයට පත් අය තමයි මගේ දේ රැකගැනීමේ අරමුණින් දස අකුසලයෙහිම නිරත වෙන්නේ.  ඒ දස අකුසලයේ නිරත වන පුද්ගලයන්ගෙන් සිදුවන හානිය ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි.  ඉතින් යමක යථාර්ථය නොපමාව අවබෝධ කරගැනීමේ වැදගත්කම ඔබට වැටහෙනවා ඇතැයිද සිතමි.        

අනන්ත දුකට පත්වන සසර ගමනට හේතුවන ස්පර්ශය අවබෝධ කරගැනීමත් එයට හේතුව ඡන්ද රාගයෙන් බැදී සිටීම නිසා යන්න අවබෝධ කරගැනීමත් එවැනි ස්පර්ශ නිරෝධයෙන් නිවන ලැබිය හැකි අවබෝධ කරගැනීමත් ස්පර්ශ‍යන්ගේ ආදීනව දැක එයින් වෙන්වීමේ ආනිශංස දැක එය යලි යලි සිහි කරමින් එයට අනුකූලව තම කටයුතු සිදුකර ගනිමින් ගමන් කරන මාර්ගය තුලින් ස්පර්ශය නිරෝධ වෙනවා යන්න අවබෝධ කරගැනීමත් ඒ තුලින් තම තමන්ගේ අරමුණ සාර්ථකව ඉටු කරගැනීමත් තම තමන් විසින්ම සිදුකරගත යුතු වෙනවා.  තම තමන් විසින් රූප ස්පර්ශ කරන විට, ශබ්ද ස්පර්ශ කරන විට, ගන්ධ ස්පර්ශ කරන විට, රස ස්පර්ශ කරන විට, ස්පර්ශයන් ස්පර්ශ කරන විට, ධර්මයන් ස්පර්ශ කරන විට ඒ ඒ ස්පර්ශයන් කොතරම් දුරට අවිද්‍යා සහගත කියලා විමසිල්ලෙන් සිටීම වැදගත්වෙනවා.  තමන් කියන, කරන, සිතන දේ තුලින් රාගයට, ද්වේශයට, මෝහයට කරුණු සිද්ධ වෙනවාද කියලා විමසිල්ලෙන් සිටීමට මේ තුලින් අවස්ථාව උදාවෙනවා.  මම නිතරම කියනවා භාවනාව කියන්නේ නිහඩ තැනකට ගොස් ඇස් පියාගෙන පැය කීපයක් කරන දෙයක් පමණක්ම නොවේ කියලා.  ගිහි වතක සිටින ඔබට එසේ කිරීමට කාලය සොයාගැනීමත් අපහසුයි කියලා මම දන්නවා... ඒ නිසාම තමයි ඉන්ද්‍රීය භාවනා‍ව සිදුකරන විදිය මුලින්ම ඔබ වෙනුවෙන් සටහන් තබන්නේ... ඒ ඉන්ද්‍රීය භාවනාව නිවැරදිව කරන්න උපකාර වන කරුණු මෙසේ නොයෙක් මාතෘකා ඔස්සේ සටහන් තබනවා කියලාත් ඔබ දැන් දන්නවා... ඉතින් මේ ධර්මාවබෝධය සතියේ දින හත තුලම පැය 24ම ඔබට රාගයට, ද්වේශයට, මෝහයට සිතින්, කයින්, වචනයෙන් සිදුවෙන කටයුතු පිලිබදව මනා සිහියෙන් සිටීමටත් ඒ රාග, ද්වේශ, මෝහ සහගත සිතුවිලි, කටයුතු සහ වදන් වලින් මිදීමටත් ඔබට උපකාර වනවා.  යම්‍ මොහොතක මෙසේ ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිමින් තමන්ගේ සිත, කය, වචනය හසුරවන මොහොතක ඒ ධර්මාවබෝධය පූර්ණයට පත්වීම නැත්නම් යථාර්ථය අත්විදින්නට හැකියාව ලැබෙන මොහොත ඔබ ලබන උපරිම ඵලයයි. 

ඇස් පියාගෙන එකතැනක හිදගෙන තනියම නිවන් දකින අය පමණක් නොවේ මේ ලෝකයේ සිටින්නේ.  නොයෙක් කටයුතු කරමින් තමන්ගේ උපරිම ඵලය වන නිවන ලබපු පිරිස් එකලත් සිටියා අදටත් සිටින්නට නොහැකි වන්නට නොහැකියි.  ඒ නිසා තමන්ගේ කාලයෙන් උපරිම ඵල නෙලාගැනීමයි වැදගත් වන්නේ.  ලෝභය, ද්වේශය, මෝහය ඇසුරු කරගෙන සිතින් කයින් වචනයෙන් යමක් ස්පර්ශය කරනවා නම් එය සසර ගමනට හේතුවන අවිද්‍යා සහගත ස්පර්ශය කියලා වටහාගැනීම සුදුසුයි. 
එසේම කුසලය මුල් කරගෙන වැඩිය යුතු ස්පර්ශයකුත් තියෙනවා කියලා ඔබ දන්නවා.  අවිද්‍යාව හේතුවෙන් හටගන්නා ස්පර්ශය තණ්හාවට හේතුවන විට කුසලය මුල්කරගෙන කුසලය හේතු කරගෙන හටගන්නා ස්පර්ශය ප්‍රසාදයට හේතුවෙනවා කියලා ඔබ දැනටමත් පෙර ලිපි තුලින් දැනගෙන තිබෙනවා.  එනම් අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් සිතින්, කයින්, වචනයෙන් යමක් ස්පර්ශ කරනවා නම් එය කුසලය මුල් කරගෙන නැගෙන ස්පර්ශයයි.  ‍‍
මේ කොටස් පිලිබදව ඉදිරියේදී දීර්ඝ ලෙස විස්තරාත්මකව දැනගන්නා තෙක් නිරෝධ කල යුතු ස්පර්ශය අවෝබධ කරගන්නට උත්සාහ කරන්න.  එයින් ලබන ශාන්ත නිවනින් සැනසෙන්න තම තමන් විසින්ම තීරණය අරගෙන කටයුතු සිදු කරගත යුතුයි. 

අත්හැරිය යුතු දේ අත්හැරීමෙනුත්  ඇසුරු කල යුතු දේ ඇසුරු කීරීමෙනුත් යන යම් මාර්ගයක් ඇත්ද එය උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් අවබෝධ කරගෙන එම මාර්ගය පූර්ණ කරගෙන උතුම් නිර්වාණ ඵලය ලබන්නට කටයුතු සිදු කරගැනීම ඔබට භාරයි!   

No comments: