Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, April 7, 2010

වේදනා



පටිච්ච සමුප්පා‍දයේ වේදනා ලෙසින් හදුන්වන අංගය ‍පිලිබදව මේ ලිපිය තුලින් විමසා බලමු.

ලෝක සත්වයෙක්  සසර ගමනේ සැරිසැරීමේදී ඒ ඒ අත්බැවට පත්වන විට අත් බැවින් අත් බැව මාරුවෙවී යන ගමනක් හැදෙනවා.  මේ සසර ගමන කියන නිරන්ත‍රයෙන් හැදෙන ගමන ගැන පෙන්වා දෙන පටිච්ච සමුප්පාද චක්‍රය නැත්නම් හේතු ඵලවාද ධර්මය ගැන තමයි මේ එකින් එක කියලා තේරුම් කරලා දෙන්න උත්සාහ දරන්නේ.  පටිච්ච සමුප්පාදය මහා සාගරයක් වැනියි කියලා බුදු පියාණන් වහන්සේ විසින්ම පෙන්වා දී තියෙනවා.  ඒ මහා සාගරය වැනි පටිච්ච සමුප්පාදයේ‍ කොටස් එකින් එකින් හැකි උපරිමයේ නිවැරදිව අවබෝධ කරගත්තා නම් මහා ධර්ම ඥානයක් පහල වෙනවා.    එහෙනම් අප දැකිය යුතුයි යම් ලෝක සත්වයෙක් මේ සසර ගමන සැරිසරාගෙන යනවිට යම් චක්‍රානුසාරයකින් ඇතිවන වැඩපිලිවෙලක් හේතු කරගෙනයි මෙබදු භව ගමනක් සකස් වෙලා එන්නේ.  අන්න ඒ විද්‍යානුකූලව පෙන්වන ලද දහම් චක්‍රය තමයි මේ ආකාරයෙන් එකින් එක විස්තර කොට අව‍බෝධ කරගන්නට උත්සාහ දරන්නේ. 
කායික වේදනා සහ මානසික වේදනා වශයෙන් ආකාර 2කින් අපට වේදනා හදුනාගත හැකිය.  කය ඇසුරු කරන අසහනකාරී වේදනා දුක්ඛ වේදනා ලෙසින්ද මනස ඇසුරු කරන අසහනකාරී වේදනා දෝමනස්ස වේදනා කියාද අපට වටහා ගත හැකිය.  මේ දෝමනස්ස යන්න තවදුරටත් විස්තර කරගන්නට බැලුවොත් දෝ - මන - අස්ස නැත්නම් දූෂිත මනසක් ඇසුරු කිරීම ලෙසින් සරලව අවබෝධ කරගැනීමට හැකිය. 
පොඩි දරුවෙක් දුකෙන් හඩනවා... ඒ අවස්ථා 100ක් සලකා බැලුවොත් එයින් සිතට ‍රිදිලා නැත්නම් සිතට වේදනාවක් ඇවිත් හඩන වාරගණන එයින් 10ක් වත් නැහැ නේද?  කයට වේදනාවක් දැනුන නිසා තමයි කුඩා දරුවන් වැඩිපුරම හඩන්නේ... වැඩිහිටි කෙනෙක් නැත්නම් ළමා විය ඉක්මවූ අයෙක් ගැන සිහියට ගන්න... සරලවම ඔබ ඔබගැනම හිතලා බලන්නකෝ... ඔබ දුකට පත්වූ අවස්ථා 100ක් ගෙන බැලුවොත් එයින් කයට දැනුන වේදනාවක් නිසා දුකට පත්වූ අවස්ථා ගණන වාර 5කටත් වඩා අඩුයි නේද?  ඔබ වැඩිපුරම හඩන්නේ දුකට පත්වෙන්නේ ඔබේ සිතට ඇතිවූ වේදනාවක් නිසා නේද?  මේ සියලු මානසික දුකට මුල අවිද්‍යා තෘෂ්ණා මුලාව මොහොතින් මොහොත පහළ කිරීමයි.  මේ මුලාව තියෙන තුරු සැප වේදනාවට ඇලීමත් දුක් වේදනාවට ගැටීමත් උපේක්ෂා වේදනාවට මැදිහත් තත්වයකින් මුහුණ දීමටත් කටයුතු කරයි. 
ධර්මයේ සදහන් වෙනවා වේදනා වල ප්‍රිය භාවය සිද දමා දැනගැනීමට හෙවත් පිරිසිද දැනගැනීමට කටයුතු කල යුතු බව... ඒ සදහා සැප වේදනාවන් දුක් ලෙසත්, දුක වේදනාවන් උල් ලෙසත් උපේක්ෂා වේදනා අනිච්ඡ (ඉච්ඡ සේ ‍නැහැ / කැමති සේ නැහැ) ලෙසත් දැකිය යුතු බව.  ඉතින් මේ විදියට නිකම්ම හිතුවයි කියලා යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැනේ... පුරුදු පරිදි හැකි උපරිමයෙන් ඒ යථාවබෝධයට උපකාර වන කරුණු විස්තර කොට අවබෝධ කරගැනීම වැදගත් වෙනවා. 
ඵස්ස පච්චයා වේදනා කියලා සදහන් වෙන විට එයින් අදහස් වන්නේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනා ‍වේ යන්නයි.  නමුත් මේ කෙටි අදහසින් අපට අවබෝධ කරගන්නට අපහසුයි කෙබදු ආකාරයක් ස්පර්ශයක්ද කෙබදු වේදනාවක්ද මේ කියන්නේ කියලා.  ස්පර්ශය ගැන මූලික විස්තරය ඔබ මේ වන විටත් කියවා අවසන්.  අභිධර්මයේ විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය කියලා කොටසක් තියෙනවා.  එහි මේ කොටස් ඉතා පැහැදිලිව විස්තර කර දීලා තියෙනවා... ඒ විතරක් නෙවේ ඔබට ‍මේ ලිපි තුල සදහන් කරුණු පිලිබදව සැක පහල වේ නම් විභංගප්‍රකරණය ඇතුලු සියලුම ත්‍රිපිඨක ග්රන්ථ සම්පූර්ණව හොදින් කියවා අවබෝධ කරගන්නට උත්සාහ කලේ නම් මේ සියල්ල හොදින් අවබෝධ වේවි.  කෙසේ වෙතත් ගැඹුරු ලෙසින් දක්වා ඇති ඒ ගැඹු‍රු ධර්ම කාණ්ඩයන් මෙසේ සරලව විස්තර කොට අවබෝධ කරගන්නට අප උත්සාහ කරගනිමු.  තම තමන්ගේ නිවන උදෙසා ලැබිය යුතු ධර්මාවබෝධය සදහා සැබැවින්ම වැදගත්වන්නේ අප විසින් එකතු කරගන්නා වචන ප්‍රමාණය නොව අප විසින් අවබෝධ කරගන්නා අර්ථයයි.  යම් ලිපියක් කියවන විට හෝ ධර්ම දේශනාවකට සවන් දෙන විට එයින් පැවසීමට උත්සාහ කරන නිවනට හේතුවන ධර්ම අර්ථය අවබෝධ කරගන්නට අප විසින් සැමවිටම උත්සාහ කල යුතුයි. 
“තත්ව කථමා සලායතන පච්චයා ඵස්සෝ?  චක්ඛූ සම්ඵස්සයෝ සෝත සම්ඵස්සයෝ ඝාන සම්ඵස්සයෝ ජිව්හා සම්ඵස්සයෝ කාය සම්ඵස්සයෝ මනෝ සම්ඵස්සයෝ අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ” ලෙසින් පෙන්වා දී තිබෙනවා. 
එසේනම් වේදනාවට ප්‍රත්‍යය වන්නේ යම් ස්පර්ශයක්ද එය සංස්පර්ශය බව මෙයින් පැහැදිලි වෙනවා.  6 ආකාරයකට විග්‍රහ කරලා තියෙන සංස්පර්ශය ගැන හොදින් විස්තර කරලා පසුගිය ලිපිය තුලින් ඔබ වෙත ඉදිරිපත් කලෙමි.  ඒ අනුව පටිච්ච සමුප්පාදය තුල දුකට හේතුවන ස්පර්ශය නැත්නම් සංස්පර්ශය ගැන අදහසක් අවබෝධයක් දැනටමත් ඔබට ඇතැයි සිතමි.  ඒ අවිද්‍යා සගහත ස්පර්ශය තුලින් ඇතිවන වේදනාව ගැන විස්තර කොට දැනගෙන අවබෝධය කරා යෑමට මේ ලිපියෙහි සදහන් කරුණු උපකාරයක් වේ යැයි සිතමි.  
ඵස්ස පච්චයා වේදනා කියන විට එය විග්‍රහ කරලා දීලා තියෙන්නේ මෙසේයි.
“තත්ව කථමා ඵස්ස පච්චයා වේදනා? චක්ඛු සම්ඵස්සජා වේදනා සෝත සම්ඵස්සජා වේදනා ඝාන සම්ඵස්සජා වේදනා ජිව්හා සම්ඵස්සජා වේදනා කාය සම්ඵස්සජා වේදනා මනෝ සම්ඵස්සජා වේදනා අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා.”


“ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ යැයි යනු කුමක්ද?  චක්ඛු සංස්පර්ශයෙන් උපන් වේදනා, සෝත සංස්පර්ශයෙන් උපන් වේදනා, ඝාන සංස්පර්ශයෙන් උපන් වේදනා, ජිව්හා සංස්පර්ශයෙන් උපන් වේදනා, කාය සංස්පර්ශයෙන් උපන් වේදනා, මනෝ සංස්පර්ශයෙන් උපන් වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ”


ඉතින් මෙතැන මේ පෙන්වා දෙන වේදනාව නිකම්ම‍ වේදනාවක් නොවේ කියලා ඔබට පේනවා නේද?  එයට යම් විශේෂ කොටසක් එකතු කරලා තියෙනවා. 
එකින් එක විස්තර කරගන්න උත්සාහ කරමු.  චක්ඛු සම්ඵස්සජා වේදනා ලෙසින් නිකම්ම නිකම් වේදනාවක් නොවේ සම්ඵස්සජා වේදනා කියලා සදහන් කරනවා.  අප දැනට දන්නා වේදනාවත් මේ පටිච්ච සමුප්පාදයේ තිබෙන වේදනාවත් එකක් නොවන බව අව‍බෝධ කරගැනීම වැදගත් වෙනවා.  හරියටම පෙර ලිපිය තුල දැනට දන්නා ස්පර්ශයේත් පටිච්ච සමුප්පාදය තුල දුකට හේතුවක් ලෙසින් පෙන්වා දුන් ස්පර්ශයේත් ‍වෙනස වගේ මේ වේදනා ‍වන්හි වෙනසත් අවබෝධය වැදගත් වෙනවා.  සියලු ‍කරුණු හොදින් අවබෝධය ලබන විට එය ඔබටත් මනාව පැහැදිලි වේවි.  ස්පර්ශ සහ සංස්පර්ශ දෙකෙහි වෙනස අප දැන් දන්නවා.  අවිද්‍යාසහගතව මුලා සහගතව වැරදි ආකල්පයකින් ලෝකය දෙස බලලා නිච්ච සැප ආත්ම කියන දෘෂ්ඨියකින් ලෝකයට බැදිලා ඇති කරගන්නා වූ දෘෂ්ඨියකින් යම් කිසි ස්පර්ශයක් කරනවාද... ඇහැට රූපයක් පෙනෙන විට රූපයක් වශයෙන් පමණක් නොගෙන මන වඩන ‍රූපයක්... වටිනා රූපයක්... මෙබදු ස්වභාවය ඇති රූපයක්... මට අයිති රූපයක්... ‍මගේ පිරිසට අයත් රූපයක්... ලෙසින් මේ ආදී නොයෙක් ලෙසින් ගෙන එහි ඇලීමක් බැදීමක් රැදීමක් ඇති කරගන්නවා.  අන්න ඒ රූප අරමුණක් කෙරෙහි, ශබ්ද අරමුණක් කෙරෙහි, ගන්ධ අරමුණක්, රස අරමුණක්, ස්පර්ශ අරමුණක් කෙරෙහි මමත්වයෙන් බැදිලා ම‍මය මගේය කියන දෘෂ්ඨියට පත්වෙලා මේ ආකාරයෙන් යමක් ඇසුරු කරන්නට ගත්තා නම් එය දැක්කා විතරක් නෙවේ... ඇහුවා විතරක් නෙවේ... දැනීමක් විතරක් නෙවේ ඒ ඒ දේ පිලිබදව තවත් විශේෂත්වයක් ඇතිවයි ඒ ඒ අරමුණු ගන්නේ.  ඒ මගේ‍ දෙයක්... ආදී ලෙසට බැදීමකින් ගන්නවා... ඡන්ද රාගයෙන් බැදිලා කියලා එයට කියනවා.  මෙන්න මේ විදියට ඡන්ද රාගයෙන් බැදිලා එබදු ආකාරයේ ස්පර්ශයක් ලැබුනු විට වින්දනයක් ලැබුවා නම් එයත් සීමාව ඉක්මවා ගිය විශේෂ වින්දනයක් බවට පත්වෙනවා. 
අප උදාහරණයක් අරගෙන බලමු...
රුපියල් දාහක නොට්ටුවක් කෙනෙක් ලග තියෙනවා.  ඒක අපේ නෙවේ කියලා දන්නවා නම් අප ඉන්නේ එවැනි අදහසක නම් ඒ නෝට්ටුව ඉරුනත්... සුලගට ගියත් අපට එච්චරම ගැටලුවක් නැහැ.  නමුත් ඒ නෝට්ටුව මම කියන තැන... මගේ කියන තැන තිබුණා නම් එහෙම ඒ විදියට තමන්ට සම්බන්ධ වුනා නම් එයට විශේෂ සැලකිල්ලක් දක්වනවා.  එයට මොනවා හරි කරදරයක් වුනොත් අප කලබල වෙනවා... වික්ෂිප්ත වෙනවා... එවැනි නෝට්ටුවක් දැක්කාට පස්සේ ‍මේකෙන් මට මේ මේ වැඩ කරගන්න පුළුවන් කියලා අදහසක් එනවා.  නොට්ටුවක් පමණක් නොවේ එවැනි මම මගේ කියන ගොඩේ වටිනාකමක් දීලා ගොඩගසාගත්ත මොනයම් හෝ දෙයක් තියෙනවා නම් එය දැකීමේ සීමාව ඉක්මවා ගොස් එයට ඇලෙන්න ගැටෙන්න කටයුතු කරගන්නවා.  ඒ අනුව ඇලීම ගැටීම තුලින් සිත තුල දූෂ්‍යතාවයක් ඇතිවෙනවා.  එහෙම නැත්නම් අප තුල මානසිකත්වයක් ඇතිවෙනවා... මම මෙච්චර මුදලක් තියෙන අයෙක් මෙච්චර වත්කමක් තියෙන අයෙක් කියන මානසිකත්වය... අර අරමුණු කරගත්ත වස්තුව මම මගේ කියන ගොඩට දාගෙන බලනවා.  එතකොට ඇතිවෙන්නේ මුලාව නැත්නම් මෝහය.  ඇලීම ගැටීම මුලාව කියන කරුණු තුනම ඇතිවෙනවා වගේම මමය මගේය යන හැගීමෙන් මම එතැන සිටිය යුතුයි මගේ දේ ඇසුරු කල යුතුයි ආදී ලෙසට හැගීමක් ගන්නා නිසා ඒ ඒ දේවල් පසු පස හඹා යන මානසිකත්වයක් ඇති කරගන්නවා.  එතකොට අපට ඇතිවන්නේ ප්‍රිය මනාප ආකාරයක් හෝ එයට විරුද්ධ දෙයක් එනවිට අප්‍රිය අමනාපයක් ඇතිවෙනවා.  එනිසා තමයි මේ වේදනා හදුන්වා දෙන විට චක්ඛු සම්ඵස්සජා වේදනා... සෝත සම්ඵස්සජා වේදනා ලෙසින් ඇසට පෙනෙන දේ කණට ඇසෙන දේ නාසයට, දිවට, කයට, මනසට දැනෙන දේ මම මගේ කියන අදහසින් ඇසුරු කරන විට එහිදී ඇතිවන වේදනාව සම්ඵස්සජා වේදනාවක් ලෙසින් ඇතිවෙනවා කියලා පෙන්වා දුන්නේ.  ඒ සම්ඵස්සජා වේදනාව සමහර වෙලාවට සැප වේදනාවක්... එනිසාම මේ වේදනා කියන‍ කොටස තවත් ආකාරයකින් පෙන්වනවා සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා. 


මේ වේදනාව කියලා පෙන්වන කොටසේ අප විසින් දැකිය යුතු කොටසක් තියෙනවා.  සංස්පර්ශයෙන් ඇතිවන වේදනාවත් ‍යමෙක් ගැසුවොත් ඇතිවන වේදනාවයි කියන්නේ වෙනස් ආකාර දෙකක් කියලා වටහාගත යුතුයි.  හිසරදය නිසා... බඩ රීදීම නිසා... තුවාල වීම නිසා කායික වශයෙන් ඇතිවන නොයෙක් ආකාරයේ වේදනා තියෙනවා.  එය ඔය කියන සම්ඵස්සජා වේදනාව නොවේ.  මේ පටිච්ච සමුප්පාදයේ පෙන්වා දෙන්නේ ස්ථිරවම නිරෝධ කල හැකි වේදනාවක්.  ලොව්තුරා බුදු පියාණන් වහන්සේලා... මහ රහතන් වහන්සේලා වේදනා නිරෝධ කලා කියලා පෙන්වා දෙනවා.  ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ... ස්පර්ශය නිරෝධය තුලින් වේදනාව නිරෝධ වේ.... එහෙත් ලොව්තුරා බුදු පියාණන් වහන්සේලාටත් කලින් කියපු කායික වේදනාවල් තිබුන ‍බව සදහන් වෙනවා.  ඒවගේමයි මහ රහතන් වහන්සේලාටත් ඒ ඒ වේදනාවන් තිබූ බවට නොයෙක් පිරිත් සූත්‍ර දේශනාවලින් පෙන්වා දී තිබෙනවා...
එහෙනම් ඔවුන් නිරෝධ කල අපට නිරෝධ කල හැකි වේදනාව අප අවබෝධ කරගත යුතුයි නේද?  පටිච්ච සමුප්පාද චක්‍රයට අනුව අවිද්‍යාසහගතව ගොඩනගපු වේදනා නිරෝධ කරපු ලොව්තුරා බුදු පියාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් කලින් සදහන් කරපු සැප වේදනා, දුක වේදනා, මධ්‍යස්ථ වේදනා ආදිය දැනුනන් අවිද්‍යාවෙන් ගොඩනගපු සංඵස්සජා වේදනාව ඔවුන්ට නැත.  එසේනම් උන්වහන්සේලා නිරෝධ කරලා තියෙන්නේ ‍නිකම්ම නිකම් වේදනාව නෙවේ සංඵස්සජා වේදනාවයි. 
මෙන්න මේ කියන සංඵස්සජා වේදනාව උදාහරණ සහිතව අප විසින් අවබෝධ කරගත යුතුයි. 
මම මගේ කියන දෘෂ්ඨීය එක්ක බැදිලා යම් ස්පර්ශයක් ලබනවා නම් ඇලීම හෝ ගැටීම මුල්කරගෙන සංඵස්සජා වේදනාවක් ඇතිවෙනවා.  සංඵස්සජා කියන්නේ අවිද්‍යා තෘෂ්ණාව එක්ක බැදිලා ගොඩනැගෙන දෙයක්.  ඒ නිසා තමයි එය සංඵස්සජා වේදනා ලෙසින් පෙන්වා දී තියෙන්නේ... එතකොට තමයි තණ්හා ගොඩනැගෙන්නේ... නැත්නම් තණ්හා ගොඩනැගෙන්නේ නැහැ නිකම්ම නිකම් වේදනාවක් පමණයි.   
තව දුරටත් පැහැදිලි කරගන්නවා නම් මෙහෙත හිතන්නකෝ... මමය මගේය කියන මානසිකත්වය ඇතිව යම් දෙයක් ඇසුරු කරනවා නම් ඒ ‍ඒ දෙයහි ඇලෙන ස්වභාවයක් මානසිකත්වය තුල ඇතිවෙනවා.  එතකොට ඒ ඇලෙන ස්වභාවය තුලින් තණ්හාව උපාදානය කියලා පෙන්වපු අවස්ථාවන්ට යනතෙක් ලෝකයට ඇලෙනවා බැදෙනවා... ඒ නිසා තමයි සංස්පර්ශයෙන් නැත්නම් සංඵස්සයෙන් ජනිත වන වේදනාව සසර ගමනට හේතුවෙනවා කියලා කිව්වේ.  ඇලුනාම මොකද වෙන්නේ?  ඒ පසුපස හඹායන්න හිතෙනවා නේද?  ඒ වගේ දේවල් මට තව තවත් වුවමනා නේදැයි සිතෙනවා නේද?  ඒ ආදී වශයෙන් මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ සහ මන වඩන ධර්ම ආදී දේ අරමුණු කරන විට ඒ අරමුණු ‍කරන දේ තුල ප්රිය මධුර ස්වභාවයක් තියෙනවා නම් ඒවා තමා විසින්ම පවත්වන්න උත්සාහ කරනවා.  ඒ කියන්නේ තමන්ට කැමති සේ පවත්වාගත හැකියි යන මානසිකත්වය තුලින් එය පැවැත්වීමේ අදහසින් ඒ පසු පස හඹායන මානසිකත්වයක් හටගන්නවා.  අන්න ඒ වින්දනය හේතුවෙන් ඇතිවන ඇලීම බැදීම හඹායන මානසිකත්වය සසර ගමනට හේතුවන්නා වූ මානසිකත්වය මුල්කරගෙන එයට වුවමනා කරන පසුතලයක් ගොඩනැගෙන්නේ.  අන්න ඒ හේතූන් නිසා තමයි කිව්වේ සංඵස්සජා වේදනා කියලා. 
මෙහෙම හිතන්නකෝ... කෑමක් ගන්න කොට රස දැනෙනවා.  පැණි රස නම් පැණි රසයි කියලා... ඇඹුල් නම් ඇඹුල් කියලා... තිත්ත නම් තිත්තයි කියලා ආදී ලෙසට දැනෙනවා... ඒ දැනීම නෙවේ මේ කියන වේදනාව... ඒ දැනීම තුලින් අදහසක් ගන්නවා නම් මේ රසය හොදයි... මේ රසය මම තව තවත් විදින්න ඕනෙ... මේ රසය වැදගත් නැවත නැවත ලැබිය යුතුයි යන දෘෂ්ඨියක් ගෙන ලෝකය පිලිබද බැදෙනකොට තමයි ඔය කියන සංඵස්සජා වේදනාව ඇතිවෙන්නේ... නිච්චයි... සැපයි ආත්මයි කියන දෘෂ්ඨියෙන් ස්පර්ශ කලොත් තමයි සංඵස්සය  ඇතිවෙන්නේ... ඒ සංස්පර්ශයෙන් ඇසුරු කරන කොට එයට අනුකූලව ඇතිවන වින්දනයක් ඇතිවෙලා සංඵස්සජා වේදනා කියන තත්වය ඇතිවෙනවා. 
එතකොට නිරෝධ කරගන්න වුවමනා කරන්නේ ඔන්න ඔය කියන සංඵස්සජා වේදනා කියන නැත්නම් සංස්පර්ශයෙන් ජනිත කරන වින්දනය නැමැති මානසිකත්වය නේද?  එය නිරෝධ කිරීමෙන් සසර ගමනට හේතුවන සම්බන්ධතාවය දුරුවෙලා යනවා.  එයින් සසර ගමන දුරු වීම හේතුවෙන් අනන්ත සසර දුකට පත්වන්නේ නැහැ.  එසේනම් වේදනාව කුමක්ද? වේදනාවට හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනා නිරෝධ මාර්ගය කුමක්ද? යන කාරණා 4 මේ වේදනා කියන කොටසට අදාලව අප දැනගෙන සිටියා නම් දැනුවත් වුණා නම් ඒ තැනැත්තාට නිවන් අවබෝධයට හේතු කාරක වන ඥාන 4ක් පහල වුණා කියලා පෙන්වා තියෙනවා. 
ඉතින් ඇලීමෙන් බැදීමෙන් නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨිය තුලින් යමක් ස්පර්ශ කොට ඒ තුලින් ලබන වින්දනය තමයි  අප විසින් නිරෝධ කල යුතු වන්නේ.  වේදනාව ‍එසේ දැනගත් පසු එයට හේතුව සොයා බලන විට වැටහෙනවා මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දේවල් ඇසුරු කරමින් ලෝකය පිලිබදව දරන අවිද්‍යාසහගත දෘෂ්ඨිය තුලින් යලි යලිත් ඇලෙමින් හඹායන මානසිකත්වය තමයි මේ වේදනාව නැත්නම් වින්දනය පවතින්නට හේතුව කියලා.  මමත්වය තුලින් ස්පර්ශ කරන විට ඒ මමත්වය තුලින්ම හටගන්න ‍වින්දනය නැත්නම් වේදනාවට තමයි එහෙනම් මෙසේ සංඵස්සජා වේදනා කියලා කිව්වේ. 
මමයි කියලා ගන්න... මගේ කියලා ගන්න හරයක් නැහැ කියලා යම් අවබෝධයකට පත්වුණා නම් එදින සිට ඇහැට රූප පේනවා... රූප පෙනීමේ ස්පර්ශය තිබුණත් අවිද්‍යාසහගතව වටිනවා යන හැගීමෙන් ගත් සංස්පර්ශය නැහැ... කණට ශබ්ද ඇසීමේ ස්පර්ශය නිසා කණට ශබ්ද ඇසුනත් අවිද්‍යාසහගතව වටිනවා යන හැගීමෙන් ගත් සංස්පර්ශය නැහැ.   ඒ වගේම දිවට රස දැනෙනවා වටිනවා යන අවිද්‍යාසහගත හැගීමෙන් ගත් රස සංස්පර්ශය නැහැ... නාසයෙන් ගන්ධ දැනෙනවා... වටිනවා යන හැගීමෙන් ආඝ්‍රාණය කොටගත් සංස්පර්ශය නැහැ. මේ විදියටම කයෙන් සහ මනෙන් වටිනවා යන අදහස් ඇතිව අවිද්‍යාසහගතව ගන්නා සංස්පර්ශයන් නැහැ.  ඉතින් මේ විදියට මේ ඉන්ද්‍රීයන් තුලින් අදාල අයුරින් දැනීමක් ඇතිවුවත් ස්පර්ශයක් ලැබුවත් ඒ ලබන ස්පර්ශයන් වටිනවා හොදයි වැදගත් ලෙසින් අවිද්‍යාසහගත මානසිකත්වයකට පත්වෙලා සංස්පර්ශ කරන්නේ නැතිනිසා ඒ හේතුවෙන් ජනිත වන වේදනාව නැත්නම් ‍වින්දනය නැතිවෙනවා.  ඉතින් මේ විදියට වේදනාව නිරෝධ කරන්නට නම් මේ සංස්පර්ශය නිරෝධ කල යුතුයි කියලා අපට අවබෝධ වෙනවා.
වටිනවා කියලා ගත්තේ අනිච්ච දුක්ඛ අනත්ථ දෙයක් නේද කියලා දැකිය යුතුයි.  ඒ කියන්නේ තමන් වටිනවා කියලා ගත් යම් රූපයක් තියෙනවා නම් ශබ්දයක් තියෙනවා නම් ගන්ධයක් තියෙනවා නම් රසයක් තියෙනවා නම් ස්පර්ශයක් තියෙනවා නම් ධර්මයක් තියෙනවා නම් එය තමන්ට කැමති සේ පවත්වන්න පුළුවන් දෙයක්ද කියලා දැකිය යුතුයි.  ඒ ආශ්වාද මාත්‍රය විදින්න ගියොත් ඒ කැමතිසේ පැවැත්විය හැකියි යන අදහසින් ඒ ඒ දේ ඇසුරු කොට ඒසේ කරන්නට ඒ වින්දනය ලබන්නට ගියොත් නැත්නම් ඒ වේදනාවට පත්වෙන්න ගියොත් ඒ සදහා වුවමනා කරන පසුතලය ලබන්නට තමන් විසින් උත්සාහ වීර්ය කල යුතුයි.  අපි කොච්චර කැමති සේ පවත්වන්නට උත්සාහ කලත් එසේ නොපවතින නොයෙක් ආකාරයේ විපරණාමයන්ට පත්වෙලා විනාශ වෙලා යන දේ ඇසුරු කරමින් තමයි ඔය අප කථා කරන වින්දනය නැතිනම් වේදනාව ලබාගන්නට වෙන්නේ.  ඒ වේදනාව ලැබීමට ‍වින්දනය ලැබීමට වුවමනා වුවොත් දහසක් කම්කටොලු මැද්දේ නොවේද ඒ වුවමනා කරන පරිසරය ගොඩ නගාගන්නට වෙන්නේ.  දැන් බලන්න අප බැරි‍ දෙයක් නොවේද කරන්න හදන්නේ කියලා... “අනේ කොහොම හරි මම මේ දේ රැක ගත යුතුයි... මගේ ඇස, කණ, දිව, නාසය, කය රැකගත යුතුයි... මේ ප්රිය ජනක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රැකගත යුතුයි”... එහෙම කියලා උත්සාහ කරනවා... ඒත්‍ ඒවගේ ධර්මතාවය තමයි විපරණාමයට පත්වෙලා විනාශ වීම... ඒ අය ඒ ධර්මතාවයට අනුව එසේ වෙත්දී අපි නොවිදිනා දුක්විදිමින් අනේක වීර්ය කරමින්... උත්සාහ කරමින් එය තමන්ට කැමති විදියටම පවත්වන්න හදනවා... දැන් කරන්න බැරි දෙයක් කිරීමේ මුලාසහගත හරයක් නැති කටයුත්තකට යොමුවෙලා ඒක කරගන්න බැරිවීම නිසාම අප දුකට පත්වෙනවා... ඇයි දුකට පත්වෙන්නේ අප ‍ කරන්න බැරි දෙයක් කරන්න හදනවා යැයි යන්න නොදැන සිටීම නැත්නම් එසේ දැන සිටියත් නැහැ කරන්න පුළුවන්මයි කියන මුලාසහගත අදහසේ සිටීම...  මම කියලා මගේ කියලා පවත්වාගන්න හදනකොට රැකගන්න හදන කොට බාධකයක් කරදරයක් නොඒවි කියන මුලා අදහසින් වික්ෂිප්ත වෙලා ඒවා රැකගැනීමට පෝෂණය කිරීමට කෙලවරක් නැති දුක් ‍විදිනවා.  ඒ දුක පේන්නේ නැත්තේ ඇයි?  මේ වේදනා ආශ්වාදය නිසා.  ඒ වේදනාවේ ආශ්වාදය ආශ්වාදයක් ලෙසින් මනසට ගෙන මේ දුකට පත්වෙනවා... ඒ වේදනාවේ ආශ්වාදයක් ලෙසින් ගන්න දෙයක් නැහැ මේ දේවල හරයක් නැහැ කියන අදහස වැටහෙන විට මේ සියලු දේහි අසාරත්වය වැටහෙන්නට ගන්නවා. 
මෙහෙම හිතන්නකෝ... පුංචි කාලේ දරුවෝ ඔබත් එහෙම කරන්න ඇති සමහර විට... පොල්කටුවකට වැලි පුරවලා කෝම්පිට්ටු හදනවා කියලා ‍බොහෝ උත්සාහ කරමින් වීර්ය කරමින් කාලය වැය කරමින් ඒ තුලින් ආශ්වාදයක් ලබනවා.  ඒ කාලෙදි අම්මලා තාත්තලා වැලි ගාගෙන අපිරිසිදු‍ වෙන්නේ නැතිව එන්න කියලා කිව්වටවත් අප අහන්නේ නැහැ... ඒ අය කියනවා තේරුමක් නැති වැඩ කරන්නේ නැතිව එන්න කියලා.  ඒත් අපි අහන්නේ නැහැ... ඇයි?  අප එයින් ලබනවා ආශ්වාදයක්... එහි හරයක් නැහැ කියලා ඒ නිසාම අපට පෙන්නේ නැහැ... එහෙම නේද?  ඒත් ටිකක් ලොකු වෙනකොට දැනුම් තේරුම් තියෙන කොට ඒ කෝම්පිට්ටු හදන කටයුත්ත ගැන මොකද හිතෙන්නේ?  අපටම අවබෝධ වෙනවා “අයියෝ! මොනතරම් තේරුමක් නැති වැඩක්ද කලේ” කියලා... දැන් කව්රුත් කථා කලත් ඒවා හදන්න මහන්සිවෙන්න... උත්සාහ කරන්න... කාලය ඒ වෙනුවෙන් යොදවන්න කැමති වෙනවාද?  දැන් එයින් ආශ්වාදයක් තියෙනවාද?  ඒ ආශ්වාදය නැති කලේ හරයක් නැහැ කියන අවබෝධය අප තුල ඇති කල මානසිකත්වය නේද?  මෙන්න මේ විදියටම තමයි අනිච්ච දුක්ක අනත්ථ වශයෙන් වේදනා පිලිබදව මෙනෙහි කරන විට ලැබෙන අවබෝධය තුලින් ඇතිවන මානසිකත්වයෙන් වේදනා නිරෝධ වෙන්නේ. 
එතෙක් කල් ම‍මය මගේය යන අදහසින් ඒ ඒ දේ පසු පස හඹායමින් ලැබූ වේදනාවන් වල හරයක් නැති බව අවබෝධ වෙනවා.  ඒ කටයුතු වල හරයක් නැති බව අවබෝධ වෙනවා.  හරයක් නැති බව අවබෝධයෙන් ලැබෙන මානසිකත්වය ඒ නිශ්ඵල කටයුතු වලට යොමුවීම නවතා දමනවා.  ඒ තුලින් ‍වේදනාවට හේතුව නවතා දැමෙනවා... හේතුව නවතා දැමීම නිසා ඵලය වන වේදනාවත් නැවතී යනවා.  ඒ වේදනා නිරෝධය තුලින් ලැබෙන සැනසීම එවිට අවබෝධ වෙනවා.  හරයක් නැති දේවල නිරත වෙමින් කාලය කා දමමින් වෙහෙස මහන්සි වී දුකට පත්වීම නතර වීමෙන් ලැබෙන ශාන්ත සුවය අවබෝධ වෙනවා.  එයම නොවේද නිවන ලෙසින් දැක ඒ අත්දැකීමට පත්වෙන්න කටයුතු කරනවා.  එසේනම් වේදනා නිරෝධ කරන්නට මේ වේදනා වල ආදීනවයන් නිතර සිහියෙන් සිට දැක ඒවා ඒ ඒ මොහොතේ නවතා දමන්නට කටයුතු කරමින් ඒ නිරෝධය තුලින් ලබන ශාන්ත නිවනහි ආනිශංස යහපත මෙනෙහි කරමින් සිහියෙන් කටයුතු කිරීම මේ උතුම් ආර්ය මාර්ගය නොවේද යන්න අවබෝධ වී එසේ කටයුතු කිරීමෙන් ශාන්ත ප්‍රණීත නිවනට පත්වෙනවා. 
එසේනම් වේදනාව පිලිබදව මේ වේදනාවත් වේදනාවට හේතුවත් වේදනා නිරෝධයත් වේදනා නිරෝධ මාර්ගයත් අවබෝධ කරගන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණයෙන් නිවන් අවබෝධ වූවා යන්නයි.  ඉතින් අසූ හතර දහසක මාර්ගයන් තුල වේදනාවේ චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන් අත්දකින අයුරු අවබෝධ කරගෙන ඒ තුලින් නිවන් අවබෝධය ලැබීමට මටත් ඔබ සියලු දෙනාටමත් හැකිවේවායි මෙත් සිතින් ආශිර්වාද කරමි!

No comments: