Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, May 15, 2010

තණ්හා


පටිච්ච සමුප්පා‍දයේ වේදනා පච්චයා තණ්හා ලෙසින් හදුන්වන “තණ්හා” අංගය ‍පිලිබදව මේ ලිපිය තුලින් විමසා බලමු. 
තත්ව කථමා වේදනා පච්චයා තණ්හා? (වේදනා පච්චයා තණ්හා යනු කුමක්ද?) - රූප තණ්හා, සද්දතණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඵොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා අයං වුච්චති වේදනා පච්චයා තණ්හා”
ඉතින් මෙසේ පෙන්වන ලද “තණ්හා” කියන වචනය තුලින් ලබාදෙන අර්ථය පිලිබදව අප පළමුව අවධානය යොමු කරමු.  මේ සදහා අප “ආශාව” කියන වචනය නැතිනම් “ඇලීම” කියන වචනය ආදී ලෙසින් යොදාගන්නවා... අප හොදින් විමසා බැලිය යුතුයි මෙම පටිච්ච සමුප්පාදය තුල මේ ඇලුම් කිරීම නැත්නම් ඇලීම කියන අදහස මෙම “තණ්හා” සදහා යෙදෙන්නේ ඇයි කියලා.  පෙර ලිපිය තුල අප වේදනාවත් සංඵස්සජා වේදනාවත් හොදින් හදුනාගැනීමට කරුණු ගොනු කලා... ඒ අනුව සංඵස්සජා වේදනා කියන විට මේ ලෝකය නිච්චයි සැපයි ආත්මයි කියන දෘෂ්ඨියක පිහිටා මේ ලෝකය හරිම වටිනවා සාරවත් වූ ධර්ම පිරුණු තැනක් කියන අදහස අරගෙන යම් වින්දනයක් ලබන විට ඒ ලබන වින්දනයන් ප්‍රිය හැටියට මනාප හැටියට දකින විට අපට වුවමනා වෙනවා ඒ ඒ වින්දනයන් නැවත ලැබීමට නැවත ගොඩනැගීමට හඹා යන්න.  අන්න ඒ හඹා යෑමේ බලාපොරොත්තුව මත යලි යලිත් බලාපොරොත්තු ඇති කරගන්නවා මෙබදු වටිනා රූප මට යලි යලිත් බලන්න ඇත්නම්... මෙබදු වටිනා ශබ්ද මට යලි යලිත් අහන්න ඇත්නම්... මෙබදු වටිනා ගන්ධ මට යලි යලි ආඝ්‍රාණය කරන්න ඇත්නම්... මෙබදු වටිනා රසයන් මට යලි යලිත් විදින්න ඇත්නම්... මෙබදු වටිනා ස්පර්ශයන් මට යලි යලිත් ලබන්න ඇත්නම්... මෙබදු වටිනා ධර්මයන් මට යලි යලිත් සිතමින් මානසිකත්වය ගොඩනගන්න ඇත්නම්... කියලා එක්තරා ආකාරයක ඇලීමක් ඇතිවෙනවා.  මෙන්න මේ මානසිකත්වයෙන් මෙන්න මෙවැනි බලාපොරොත්තු සමග ඇති කරගන්නා අල්ලා ගැනීම නැත්නම් ඇලීම තමයි “තණ්හා” කියලා කියන්නේ. 

මේ කියන “තණ්හා” තමයි එක තැනක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙසත් තවත් තැනක රූප තණ්හා, ශබ්ද තණ්හා, රස තණ්හා, ඵොට්ඨබ්බ තණ්හා සහ ධම්ම තණ්හා ලෙසත් පෙන්වා දුන්නේ.  ‍එතකොට මේ තණ්හා කියන වචනයෙන් දෙන අදහස කුමක්ද?  තව දුරටත් ගැඹුරට එහි අර්ථය ගැන විමසා බැලුවොත් අපට දැනගන්නට බොහෝම අපූරු අර්ථයක් ලැබෙනවා... ඒ තමයි මේ රූප, ශබ්ද, ගන්ධ ආදී ඒ ඒ තැන්හි හා වෙන ගති ලක්ෂණය තමයි මේ වචනය තුලින් අදහස් කරන්නේ කියලා.  ඒ ඒ තන්හි හා වීම = තණ්හා  ලෙසින් ගත් විට අපට වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකි පැහැදිලි අර්ථයක් ලබාදෙනවා. ඇයි අප ඒ විදියට නොයෙක් තැන් හි හා වෙන්නේ?  ඒ ඒ තැන හොදයි වටිනවා කියලා ගත්ත මුලා අදහස නිසා නේද?  අප නිච්චයි, සැපයි, ආත්මයි කියලා හිතාගත්තේ අනිච්ඡ වූ, දුක්ඛ වූ, අනත්ථ වූ දේවල් නේද?  අන්න ඒ ටික අවබෝධ කරගන්න අපහසු වූ නිසා තමයි අප අවිද්‍යාවෙන් යුක්තව ඒ ඒ තැන හරිම වටිනවා හොදයි සාරයි කියලා අරගෙන ඒ ඒ තැන් වලට හා ‍වෙන්නේ... නැත්නම් ඒ ඒ තැන් සමග එකතු වෙනවා... නේද? 

ඇසෙන් එවැනි රූපයන් දකිමින් ඇසුරු කරන්න, කණෙන් එවැනි ශබ්දයන් අසමින් ඇසුරු කරන්න, නාසයෙන් එවැනි ගන්ධයන් ආඝ්‍රාණය කරමින් ඇසුරු කරන්න, දිවෙන් එවැනි රස විදිමින් ඇසුරු කරන්න, කයෙන් එවැනි ස්පර්ශ ලබමින් ඇසරු කරන්න, මනසෙන් එවැනි ධර්මයන් සිතමින් ඇසුරු කරන්නත් ඒ ඒ තැන් සමග ජීවත් වෙමින් පැවැත්ම ගෙන යාමට මානසිකත්වයක් උදාකරනවා.  අන්න ඒ මානසිකත්වය තමයි මේ තණ්හා කියන අවස්ථාව තුලින අනන්ත දුකට හේතුවන සසර ගමනක් ගෙන යාමට හේතු ඇති කරන්නේ.  ඒ ඒ තැනට හා කරගත්ත මානසිකත්වය නිසා අත්හරින්න හිතෙන්නේ නැහැ... පැවැත්මට තමයි හිත තියෙන්නේ... පැවැත්ම ගොඩනගන්න මානසිකත්වය ඇතිවෙනවා කියන්නේ එයට අනුකූලව ගොඩනැගෙන ධර්මතාවය නිසා (අපට එය චිත්ත ශක්තිය නැත්නම් කර්ම ශක්තිය ලෙසින් පෙන්වා දෙන්නත් පුළුවන්) සසර ගමනට හේතුවන ශක්තියක් නිර්මාණය වෙනවා. තණ්හා ‍ කියන අංගය අපට සසර ගමනට හේතු වන්නේ සරලවම ඔය කියන ආකාරයටයි. 

තවත් මේ පිලිබදව විමසා බලන විට ලෝකයට අයිති වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ... රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන දේ බාහිර ලෝකයට අයත් දේ නේද?  එතකොට මේ බාහිර ලෝකය ඇසුරු කරන්න නම් අපට ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මන කියන ‍ඉන්ද්‍රීයයන් වුවමනා වෙනවා නේද?  මේ කියන ඇස, කණ, නාසය, දිව, කය සහ මන කියන ගොඩවල් 6ක් ගොඩගසාගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්මයන් කියන තවත් ගොඩවල් ටිකක් වටිනවා හොදයි මගේ කරගන්න සුදුසුයි යන තීරණය මත මගේ කියලා ගොඩගසාගෙන මමයි මගේයි කියලා දෘෂ්ඨි දෙකක් හදගෙන නේද කියලා හිතලා බලන්නකෝ.  එහෙම හදාගත්ත‍ දේවලට දුන්න වටිනාකම මත ඒවා සමග ජීවත් වෙන්න තව තවත් ඉදිරියට පැවැත්මක් ගෙනියන්න හැගීමක් ඇතිවෙලා නේද කියලා ඔබම හිතලා බලන්න... ඒ හැගීම නිසා මොකද වෙලා තියෙන්නේ?

ඇසෙන් ඉවත්වෙන්න බැහැ ඇසහි අවශ්‍යතාවය නැත්නම් ඇසක වුවමනාව ඇතිවෙලා නේද?  රූපයන්ගෙන් ඉවත්වෙන්න පුළුවන්කමක් නැතිවෙලා ඒවා පසු පස හඹාගොස් ඒ ඒ රූපයන් අල්ලාගන්න වුවමනාවක් ඇතිවෙලා‍ නේද?  ඔන්න ඔය වගේම කණ, නාසය, දිව, ශරීරය සහ මන කියන ඉන්ද්‍රීයන් ටික ඒවායෙන් ලබාගන්න ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්මයන් නිසා ඒ ඒ ඉන්ද්‍රීයන් පවත්වාගන්න වුවමනායි කියන මානසිකත්වයම නොවේද ඇතිවෙලා තියෙන්නේ?  තව තවත් ජීවත් විය යුතුයි... ඉදිරියක් ගැන සිතමින් තව තවත් පැවැත්විය යුතුයි කියන මානසිකත්වය ඇතිවෙලා නේද?  ඇයි ඒ? ඔන්න ඔය කියන ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මන කියන ටිකත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන ටිකත් වටිනවා කියලා ගොඩනගාගත්ත මානසිකත්වය නිසා නේද?  ඒ ඒ තැන් අත්හැරලා බැහැ ඒ ඒ තැනට හා වෙලා ඉන්න ඕනෙ කියන හැගීම ඇතිවෙලා නේද?  ඔබම හිතලා බලන්න... ඔබෙන්ම අහලා බලන්න ඔබත් එහෙමයි නේද කියලා.  ඉතින් ඕකට තමයි මේ සසර ගමනට හේතුවන අනන්ත දුකට හේතුවන තණ්හාව කියලා කියන්නේ.  බොහෝම සරලයි... බොහෝම පැහැදිලියි... ඔබට තියෙන්නේ විවෘත මනසකින් ඔබ ගැනම හිතලා මේ කියන දේවල් නුවණින් විමසලා එහෙම නේද මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්නයි.  අවිද්‍යාවත් සමග තමයි මේ කියන තණ්හාව යෙදෙන්නේ... එය තව දුරටත් පටිච්ච සමුප්පාද ඉදිරි විස්තරයන් සමග පැහැදිලි වේවි. 

මෙහිදී අප විසින් අවබෝධ කරගත යුතුයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන දේවල් සමග එකතුවෙලා ඒ ඒ තැන්හි හා වීම නැත්නම් ඒ ඒ ප්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන දේවලට ඇලුම් කිරීම නිසා ලෝක සත්වයාට නැත්නම් ඔබටත් මටත් සසර ගමනක් ඇති වීමට හේතු වෙනවා.  පෙර ලිපියේ සදහන් කල පරිදි සංඵස්සජා වේදනා කියන ‍කොටස හොදින් අවබෝධ කරගන්නට උත්සාහ කල ඔබට ඒ සංඵස්සජා වේදනාව ඇතිකරගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම වලට නේද මේ ඔබත් මමත් ඇලුම් කරන්නේ නැත්නම් ඒවා සමග නේද හා වෙන්නේ කියලා අවබෝධ කරගන්නට පහසු වෙනවා. 

එතකොට මේ තණ්හාව දුරු කරලා දැම්මොත් නැත්නම් නැති කරලා දැම්මොත් මොකද වෙන්නේ?
ඒ ඒ තැන්හි හා වීම නිසා හටගත්ත පැවැත්මට හිතැති මානසිකත්වය නැති වීම නිසා ඒ තුලින් ගොඩනැගෙන වි‍ශේෂ ශක්තිය නිර්මාණය වීමත් නවතිනවා.  මොකක්ද මේ විශේෂ ශක්තිය කියන්නේ.  එය තමයි සසර ගමනක් නිර්මාණය කරන නොපෙනෙන සියුම් ගැඹුරු ශක්තියක් නිර්මාණය වන අවස්ථාව.  තණ්හා කියන අවස්ථාවට පත් ඔබටත් මටත් ඒ තණ්හාව ඇතිවූ දේ නැත්නම් එලෙසින් හා වෙච්ච තැන අමතක කරන්න බැරිවෙනවා නේද?  අතහැරගන්න බැරිව යලි යලිත් ඒ ඇ‍සුරේම ඉන්න හිතෙනවා නේද?
උදාහරණයකින් අරගෙන බලමු...
මන වඩන ගීතයක් අරගෙන බලමු.  ඔබට ඔබ කැමති ගීතයක් සලකා බලන්න පුළුවන්... ඇයි ගීත ගොඩක් අතුරින් ගීත කීපයක් හෝ එකක් අප කැමතියි එය මගේ මන වඩන ගීතය කියලා වෙන් කරගන්නවා... එතැනදි අප විසින් ඒ ගීතයට විශේෂයක් කලා... එය වටිනවා කියලා වෙන්කරගත්තා... එහෙම නැත්නම් නැවත නැවත ඇසුරු කරන්න සුදුසු ගීතයක් ලෙසින් අප විසින් වෙන් කරගත්තා... එහෙම නේද?  ඒ වටිනවා කියලා වෙන්කරගත්ත මානසිකත්වය මත නැවත වාරයක් ඒ ගීතය අසන විට “මගේ කැමතිම ගීතය” කියන හැගීම අපට දැනෙනවා... එය කොතරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ... හරිම වටිනා ගීතයක් කියලා අපට හැගෙනවා... එය නිතර නිතර ඇසුරු කරන්න අසන්න මානසිකත්වයක් ඇති කරගන්නවා... එහෙම නේද?  දැන් අප ඒ ගීතයත් එක්ක හා වෙලා... නැත්නම් ඒ ගීතයත් සමග එකතු වෙලා අමුතු බැදීමක් හදාගෙන... සරලවම කියනවා නම් ඒ ගීතයට අප විසින් තණ්හා කරනවා.  ඒ ගීතය අසන්න හේතුවන කණත් පින්වන්තයි... කණත් වාසනාවන්තයි කියලා මානසිකත්වයක් හදාගෙන... ඉතින් ඔය වගේ ඔබම හිතලා බලන්න ඔබ කොපමණ තැන්වල හා වෙලාද කියලා...  මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම යලි යලිත් ඇසු‍රු කරන්න මානසිකත්වයක් හදාගෙන නේද ඉන්නේ කියලා හිතලා බලන්න!  මෙයට තමයි කිව්වේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඵොට්ඨබ්බ තණ්හා සහ ධම්ම තණ්හා කියලා. 

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම යන මේවා තණ්හා නොවේ කියලා දැන් ඔබට වැටහෙනවා නේද?  ඒ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කෙ‍රෙහි අවිද්‍යාව මුලාව හේතුකරගෙන මතු මතුත් වින්දනයට කටයුතු කරන ඇලීම් සහගත මුලා බලාපොරොත්තුවට තමයි තණ්හා කියන්නේ. 

තවත් ආකාරයකින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙසින් පෙන්වා දෙන්නේ කුමක්ද කියලාත් අප විමසා බලමු. 
කාම තණ්හා
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම යන මේවා වින්දන ආශ්වාදයට කැමතිව ඒ මුලාවෙන් හට ගන්වමින් භුක්ති විදින්නට යන වේදනා සම්පිණ්ඩනයන් යලි යලිත් ලබන්නට ඇතිවන මුලා බලාපොරොත්තුවෙහි හා වීම නිසා ඇතිවන මුලා ස්වභාවයට කාම තණ්හා කියලා හදුන්වා දෙන්න හැකියි.  පංච කාම සම්පත් පිලිබදව ඒවා භුක්ති විදීමේ ආශ්වාදය මුල්කරගෙන ඒ ඒ තැනට ‍හා වෙලා ඇලී බැදී ඉන්න වුවමනායි කියලා සිත තුල යම් කිසි ගති ලක්ෂණයක් හටගත්තා නම් අන්න ඒ ගති ලක්ෂණය මුල්කරගෙන කාම යම් තැනකද ඒ තැන ඉක්මවා යන්න නොහැකි බැදුනු රැදුනු ස්වභාවයක් ඇතිවෙනවා. එයට කියනවා කාම තන්හි හා වෙලා නැත්නම් කාම තැනකට ඇලිලා කාම තණ්හා ‍වුණා කියලා. 

තව අවස්ථාවක් තියෙනවා කාම අවස්ථාව අත්හැරලා හිටියත් භව කියන අවස්ථාව ඉක්මවා යන්න නොහැකි.  කාමයන් සදහා පමණක්ම නොවේ මේ ලෝක සත්වයා ජීවත් වෙන්නේ... කාමයන් අත්හැරපු කෙනාටත් මේ ලෝකයේ පවතින්න හිතෙනවා... මොන මොනවා හරි දැනගන්න... මිත්‍රයන් ඇසුරු කරන්න... දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න... මෙබදු ආකාරයකට මගේ ජීවිතය ගත කරන්න වුවමනායි... මෙබදු තත්ව තානාන්තරයකින් වැජඹෙන්න තියෙනවා නම් කියලා රූප දකින්න හෝ ශබ්ද ‍අහන්න හෝ ගන්ධ ආඝ්‍රාණය කරන්න හෝ රස බලන්න හෝ ස්පර්ශ විදින්න හෝ ධර්මයන් ඇසුරු කරන්න හෝ නොවන නමුත් සිතේ හටගන්නා තමන් උසස් තත්වය තානාන්තර ඇතිව ජීවත් වෙන්න මහේශාක්‍ය ලීලාවෙන් ජීවත්වෙන්න වුවමනායි ආදි ලෙසින් වෙනමම ආකාරයේ තැනකට හා වෙනවා... ඇලීමක් ඇතිවෙනවා... එබදු එබදු භවයන් කෙ‍රෙහි සිතක් පිහිටුවාගෙන හා වෙනවා... අන්න එය භව තණ්හා ලෙසින් දැක්විය හැකියි.  තවත් ආකාරයකින් කියනවා නම් අවිද්‍ය, තෘෂ්ණා මුලාවෙන් මුලා වූ පුද්ගලයන්ගේ මුලා තීරණ මත ගොඩ නැගුණු මති මතාන්තර අනුව ලොව සදාකාලික වූ කැමති සේ පවතින කිසි දෙයක් ඇත මමය, මගේය යැයි ගන්ට හරවත් ස්ථාන ආත්ම භාව ඇතැයි ගොඩ නැගුනු මායා වදන් වැල් වලට මුලාවී එබදු භවයන් බලාපොරොත්තුව එබදු තැන්හි හාවෙන මුලා අදහස් ඇති කර ගෙන කටයුතු කරන්නේ භව තණ්හාවයි.  ශාස්වත වාදී අන්තයක් ලෙස මෙය බුදු දහම තුල පෙන්වා දී ඇත.

අවිද්‍යාවෙන් මුලාවූ හේතු ඵල ධර්මය පිලිබද දැනුමක් නැති පෘතග්ජනයෝ විටෙක දුගති භයන්හි ඇති අප්‍රමාණ ආදීනව අසා පාපී ක්‍රියා වලට මැලි වෙති.  දුසිරිත් වලට බිය වෙති.  එහෙත් ඒ යථාවබෝධයකින් නොවේ.  සමහරෙක් මුලා විශ්වාස පදනම් කරගෙන මිච්චා දිට්ඨි, මිච්චා සංකප්ප, මිච්චා වාචා, මිච්චා කම්මන්ත, මිච්චා ආජීව, මිච්චා වායාම, මිච්චා සති, මිච්චා සමාධි, මිච්චා ඥාණ, මිච්චා විමුක්ති යන අංග දහයෙන් යුක්ත වන්නේද පරම අසත් පුරුෂයන් ලෙසින් හදුන්වා දිය හැකියි.  බොහෝ විට භෞතික වාදීන් යැයි කියාගනිමින් තමන් විශේෂ කොට දක්වන්නට පෙළඹෙන කොටස් තුල මෙම ලක්ෂණ දකින්නට තියෙනවා... මෙම පිරිස කරන්නේ ඤාණවන්ත වූ ප්‍රඥාවන්ත වූ උතුමන් දිවැසින් දැක ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර දැනගත් පාප සහ දුගති භවෝත්පත්ති තුට්ටුවකට ගණන් නොගෙන තම කපටි නුවණට පෙර කී අවිද්‍යාවෙන් මුලාවූ හේතු ඵල ධර්මය පිලිබද දැනුමක් නැති පෘතග්ජන පිරිස් අවනත කරගන්නවා... ඔවුන්ගේ පෙර පාප වලට තිබූ බිය, ලැජ්ජාව දුරු කර දමනවා... මිසදිටුව බලවත් වෙනවා.  අවිද්‍යා තෘෂ්ණා මුලාව බලවත් වෙනවා... මුලා ආශ්වාදයන්ට තිබූ කෑදරකමට ලොකු රුකුලක් ඉන් ලැබෙනවා... පනින රිළවුන්ට ඉනිමං බදින සේ යන කියමනක් තියෙනවානේ... අන්න ඒ වගේ ඕනෑම පාපයක්, ආසාධාරණයක් කරමින් මුලා ආස්වාද වින්දන බලාපොරොත්තු වී ඒ පාප තණ්හි හා වෙනවා.  නැත්නම් තණ්හා වෙනවා.   තවත් විදියකින් කියනවා නම් තමන් කැමති ආකාරයට පවතින්නට නොහැකි වීම නිසා ඇතිවූ විශේෂ වූ දාහය නිසා මා කැමති ආකාරය විශේෂයෙන් ගොඩනගා ගත යුතුයි කියලා මානසිකත්වයක් ඇති කරගෙන නොලැබුණ දේ ලබාගැනීමේ තණ්හාවක් ඇති කරගන්නවා.  අන්න ඒ නොලැබුණ දේ ලබාගැනීමට ඒ ඒ තැන්හි හා වීම නැත්නම් ඒ තැන ඇලීමේ මානසිකත්වය අපට විභව තණ්හා ලෙසින් පෙන්වා දීමට පුළුවන්. 

මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙසින් හෝ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ‍ධර්ම ලෙසින් හෝ ලෝක සත්වයා ඒ ඒ තැන් සමග හා වෙලා ඇති කරගන්න ඇලීම නැත්නම් තණ්හාව ඇති‍‍වීමට මූලික හේතුව ඒ ඒ තැන් වටිනවා, හොදයි, සාරවත් කියලා ගත්ත දෘෂ්ඨිය නේද?  ඉතින් තණ්හාවට හේතුව කුමක්ද කියලා ඔබටම දැන් අවබෝධ වෙනවා නේද?  තමන්ට කැමති සේ පවත්වා ගන්නට බැරි දුකක් ගෙනදෙන හරයක් නැති දේ එසේ කැමති සේ පවත්වා ගත හැකි සැපදායී සාරවත් දේ ලෙසින් සලකාගෙන ඒ අනුව ඒ ඒ දේට වටිනාකමක් දී මමයි මගේයි කියලා ගොඩවල් හදාගෙන අනන්ත දුකක් දෙන පැවැත්මකට හිමිකම් කියනවා නේද කියලා ඔබ විසින් ඔබගෙන්ම විමසා බැලීම වඩාත් සුදුසුයි.  ඉතින් ඇත්ත ඇති ආකාරයෙන් යම් දිනක තමන්ගේ ප්‍රඥාවෙන් දුටුවා නම් කැමති සේ පවත්වා ගත හැකි සැපදායී සාරවත් දේ ලෙසින් සලකාගෙන ඒ අනුව ඒ ඒ දේට වටිනාකමක් දී මමයි මගේයි කියලා ගොඩගසා ගත්තේ ගොඩගසා ගන්නේ තමන්ට කැමති සේ පවත්වා ගන්නට බැරි දුකක් ගෙනදෙන හරයක් නැති දේ නොවේදැයි කියලා අවබෝධයක් එනවා... ඒ අවබෝධය ලැබුණු විට ඒ ඒ තැන්හි හා වීමේ හරයක් නැති ස්වභාවය වැටහෙනවා... එවිට එයින් මිදෙන්නට කටයුතු කරන්න පුළුවන් වෙනවා. 

ඇත්තටම ධර්මය හොදින් අවබෝධ කරගන්නට නොහැකි වූ පිරිස්  විසින් සියලු ආශාවන් තණ්හා ගොඩටම එකතු කර පෙන්වනවා... උදාහරණයක් විදියට නිවන් දැකීමට ඇති ආශාවත් තණ්හාව නේද කියලා තර්ක වාද ඉදිරිපත් කරනවා.  නිවන් දකින්නට ඇති යම් ආශාවක්, බලාපොරොත්තුවක්, පැතුමක් වේ නම් එය චන්ද ඉද්ධිපාදයට අයිත්‍ වෙනවා.  එය සතර ඉද්ධිපාද වලින් එකක්.  නිවන් අවබෝධයට ප්‍රත්‍යක්ෂයට උපනිශ්‍රිත වන සියල්ලෙහි ඇති ආශා, බලාපොරොත්තු, පැතුම් ඡන්ද ඉද්ධිපාදයට අයිති ඒවායි.  ඒවා අයත් වන්නේ අවිද්‍යාව මූලික කරගෙන පටන්ගන්නා පටිච්ච සමුප්පාදයට නොවේ.  එය අයත් වන්නේ කුසලය මුල් කරගෙන හටගන්නා ආර්ය පටිච්ච සමුප්පාදයේ ප්‍රසාද කියන කොටසටයි.  එහි ප්‍රසාද කොටස අවිද්‍යාවෙන් ආරම්භ වන පටිච්ච සමුප්පාදයේ තණ්හා කොටසට සමාන කර වරදවා වටහා නොගත යුතුයි.  ඉතින් තණ්හාව නිවැරදිව අව‍බෝධ කරගැනීමත් ඒ තණ්හාවට හේතුව නිවැරදිව අවබෝධ කරගැනීමත් එයින් මිදීමට කටයුතු කරන්නට වැදගත් වන බව ඔබ දැනටමත් හොදින්ම දන්නවා ඇතැයි සිතනවා.

සසර දුක් ගොඩ නිවා දැමීමට හෙවත් නිවනට කරන යම් ආර්ය මාර්ගයට හේතු කාරක කටයුතු වල නිරත වෙනවා නම් ඒ සදහා දිවා රෑ වෙහෙස වෙනවා නම් එය තණ්හාව නොවන බව අවබෝධ කරගැනීම වැදගත් වේ.  අන් අයට නිවන් මග පාදා ගැනීමට උපාකාර වන අයුරින් මෙත් වැඩීම, දම් දෙසීම ආදිය තණ්හාව හා සම්බන්ධ නැත.  ඒවා කුසලය මුල කරගෙන සිදු කරන කටයුතු වේ.  තමාගේ විමුක්තියට කරන ඒ කටයුතු වල නිරක වීම තම විමුක්තියෙන්ම කෙලවර කරගැනීමට හේතුවන බව අවබෝධ කරගත යුතුවේ.  ඉන්පසුද අනුන්ගේ විමුක්තිය උදෙසා දයානුකම්පාවෙන් අත හිත දේද ඒවාට කිසි බැදීමක්, ඇලීමක් නැතිව ලැබී ඇති අවස්ථාව අනුව පමණක් ඒ කෙරෙහි ක්‍රියාත්මක වෙන කුසලය මුල් කරගත් කටයුතු අරිහතුන් වහන්සේගේ ජීවිතාවසානයත් සමග කෙළවරවේ.  ඉතින් අවිද්‍යාව මුල්කරගත් විට ඇතිවන තණ්හාවත් කුසල මුල් කරගත් විට ඇතිවන ප්‍රසාදයත් හොදින් වෙනස්කොට අවබෝධ කරගත යුතුවේ. 

මුලාව නිසා තමන්ට කැමති සේ පවත්වා ගන්නට බැරි දුකක් ගෙනදෙන හරයක් නැති දේ එසේ කැමති සේ පවත්වා ගත හැකි සැපදායී සාරවත් දේ ලෙසින් සලකාගෙන ඒ අනුව ඒ ඒ දේට වටිනාකමක් දී මමයි මගේයි කියලා ගොඩවල් හදාගැනීම තුලින් ඒ ඒ තැන්හි හා වීම නිසා හිමිවන අනන්ත සසර දුක ගැන නිතර මෙනෙහි කරමින් එහි ආදීනවයත් ඒ ඒ තැන්හි හා නොවුනහොත් ලැබිය හැකි සැනසීමේ නිවනේ ආශ්වාදය නිතර නිතර මෙනෙහි කිරීම තුලිනුත් තණ්හාව නිරෝධය කරගෙන නිවනින් සැනසීමට හැකිවෙනවා.  මුලා නිගමනයන් ඔස්සේ ඒ ඒ තැන හා වීමට මානසිකත්වයක් ඇතිවන විටම එහි යථා ස්වභාවය අවබෝධ කරගෙන එයින් මිදීමට ඔබේ සිත දියුණු කරගැනීම ඔබට නිශ්චිත සතුටක් නිශ්චිත නිදහසක් හිමි කරගැනීමට උපකාර වෙනවා.  අත්හැරීමේ මිදීමේ නොඇල්මේ වටිනාකම නිතර සිහි කිරීම වැදගත්වෙනවා.  ඉතින් මේ ආකාරයෙන් තණ්හාවත්, තණ්හාවට හේතුවත්, තණ්හාව නිරෝධයත්, තණ්හා නිරෝධ මාර්ගයත් දැනගැනීම ඔ‍බට නිවනින් සැනසීමට හැකියාව ලැබෙන තවත් නිවන් මගක් බව අවබෝධ කරගත යුතු වෙනවා.  

සියලු ලෝක සියලු සත්වයෝ නිවී සැනසෙත්වා!

No comments: