Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, June 17, 2010

නිර්වාණයට‍ හේතුවන නිවැරදි සීලය හදුනාගනිමුද?


පංච සීලය නැතහොත් පන්සිල් මොනවාද?
මෙම ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් ඔබට මේ වන විටත් ඔබ දැන හදුනාගෙන සිටින ඉතාමත් ඕනෑකමින් පිළිපදින පංචසීලය වන, “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” ඉක්මනින්ම පෙන්වා දේවි.  යමෙක් ඇසුවොත් පංච දුෂ්චරිතයන්ගෙන් වැළකීම යනු කුමක්දැයි එවිටත් ඔබ දෙන පිළිතුර “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” ලෙස නොවේද?  යමෙක් ඇසුවොත් පංච ශික්ෂා යනු මොනවාද ලෙසින් එවිටත් ඔබ දෙන පිළිතුර “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” නොවේද?  තවත් කව්රුන් හරි ඇසුවොත් පස් පවින් වැළකීම යනු කුමක්ද ලෙසින් එහෙත් ඔබගේ පිළිතුර “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” මෙයම නොවේද? සිල් වත ලෙසින් ඇසුවත් සීලය ලෙසින් ඇසුවත් ඔබගේ පිළිතුර මෙයම නොවේද?  අපි විසින්  සිතිය යුතු අවස්ථාව දැන් එළඹ ඇත.  පංචසීලය, පංච දුෂ්චරිතය, පංච ශික්ෂා, පස් පවින් වැළකීම, සිල් වත හෝ සීලය ලෙසින් මේ එකම කාරණා 5 ගැනීම කොතරම් සුදුසුද ලෙස අප සිතා බැලිය යුතුයි. පංච දුෂ්චරිතය, පන්සිල්, පංච සික්ඛා, පස්පව්, සිල්වත, සීලය මේවාද විස්තර සහිතව දැනගත යුතුය.  ප්‍රථමයෙන් සිල් සහ සිල් වත යන කරුණු පැහැදිලිව වෙන් කර ගත යුතුයි... ඒ නිසා ඒ පිලිබදව විමසා බලමු!
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
යම් සමාදානයක් වේද එය වතකි.   
සංවරත්වයේ පිහිටිමක් වෙයිද එය සීලයකි.    
එසේ නම් වත සීලය නොවේ.  අප සමාදාන වන පංච දුෂ්චරිත වත, අශ්ඨාංග සීල වත ආදියත් භික්ෂූණ් වහන්සේලා සමාදන් වන සාමණේර වත, උපසම්පදා වත ආදියත් සිල් නොව වත් ගණයට වැටේ.  වත යනු සීලයට උපකාර වන දෙයක් බව පෙන්වා දී ඇත.  වතක් සමාදානය වන තැනැත්තා තමන් විසින්ම යම් කාලයක් තුල අධිෂ්ඨානයක් කරගන්නවා ‍මම මෙන්න මේ කාලය තුල මෙවැනි පවින් හෝ මේ මේ වැරදි ක්‍රියාවන්ගෙන් ඉවත් වී සිටිනවා ලෙසින්. 
එසේනම් පන්සිල් හෙවත් පංච සීලය මොනවාද?
“සංවරට්ඨේන සීලං”  යන දහම් විග්‍රහය පරිදි සීලය සංවරත්වයේ පිහිටීමෙන් ලැබෙන සිසිල් ගුණයකි.  ආර්ය ශ්‍රාවකයාගේ සීලයට නිති පන්සිල් හවෙත් නිත්‍ය පංච සීලය කියති.  නිත්‍ය ලෙසින් පෙන්වා දෙන්නේ ස්ථිර යන අදහසයි.  යම් සීලයක් ස්ථිර නම් එය කිසි ආකාරයකින් වත් නොකැඩෙන සීලයක් විය යුතුය.  එහි පළමු වැනි කොටස ප්‍රාණඝාතයෙන් වැළකීම යනුවෙන් අදහස් කරන අර්ථයක් අද අප අතර දකින්නට අත්විදින්නට ඇත.  සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙසේවත් නොකරන්නේ පව් හයක් පමණක් බව ධර්මයේ සදහන්වේ.  එනම්
01)  මව මැරීම
02)  පියා මැරීම
03)  අරිහතුන් වහන්සේලා මැරීම
04)  බුද්ධ ශරීරයේ ලේ ඉපැද්දීම
05)  සංඝ භේදය
06)  නියත මිත්‍යා දෘෂ්ඨියෙකු නොවීම යන කාරණා 6යි.
 අරිහතුන් වහන්සේ දිවි ඇති තෙක් නොකරන කරුණු 5ක් ‍ගැනද ‍පෙන්වාදී ඇත.
1.      දැන දැන ප්‍රාණියෙකුගේ දිවි තොර කිරීම
2.      දැන දැන අන්සතු වස්තුවක් සොර සිතින් ගැනීම
3.      දැන දැන කාම මෛථුනයක යෙදීම
4.      දැන දැන මුසාවාද කීම
5.      සංනිධිකාරක පරිභෝග වැළදීම
අරිහතුන් වහන්සේගෙන් නොකෙරෙන බව කී මේ කාරණා තුලින් හතරක්ම මෙකල නිත්‍ය පංච සීලය තෝරා සමාදන් කරවනවා නේද?  එසේම වතක් සීලය හැටියටද අර්ථ දී තියෙනවා නේද?  මෙසේ කල විට තත්වය බැරෑරුම් ලෙස වැටහී සෝතාපන්න වීමත් එසේ මෙසේ වැඩක් නෙවේ ලෙසින් වැටහී අධෛර්යට පත්වෙනවා නොවේද?
එසේනම් පද වශයෙන් නොගන්න පංච සීලය මොනවාද?  ධර්මයෙහි සදහන්‍ වෙනවා අඛණ්ඩ වූ, අචිද්‍ර වූ, අසබල වූ, අකල්මාස වූ යන කාරණා 4කින් යුක්ත ශුද්ධ සීලය ඇත්තා සෝතාපන්න පුද්ගලයෙක් ලෙසින්.  එසේනම් එලෙසින් පෙන්වාදුන් පංචසීලය කුමක්ද?
“කිං සීලං? සීලය යනු කුමක්ද?”
“පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලංතී!”
ආර්ය පුද්ගලයාගේ සෝතාපන්න පුද්ගලයාගේ  පංච සීලය මෙයයි. 
කළ්‍යණ මිත්‍ර ඇසුරකින් සද්ධර්මය ශ්‍රවණය තුලින් තම තමන්ගේ නුවණින් මෙනෙහි කොට ධර්මාවබෝධය ලබන තැනැත්තා හට ත්‍රිලක්ෂණය වැටහී මේ ලෝකය අසාර ලෙසින් දකිනවා.  ඒ පුද්ගලයා හට පරපත්‍ය රහිතයි හෙවත් අන්‍ය ආධාර අනවශ්‍යයයි දස මාර සේනා පැමිණියත් එම පුද්ගලයා නිවනින්ම සසර කෙලවර කිරීම අනිවාර්යයි ඔහු ආපසු හැරවීමට හේතු නොමැති බව බුදු පියාණන් වහන්සේ ‍දේශනා කොට තියෙනවා.  මෙවැනි පුද්ගලයින්ගෙන් ලෝකයට කිසිවිටක අවැඩක් සිදුවන්නේද නැත. 

මෙ‍ම පුද්ගලයා‍ තුල සතර අපාගත වීමට නියමිත යම් වැඩපිලිවෙලක් ති‍බෙන්නේද එවැනි වැඩපිලිවෙලක් කිසිදිනක ඒ සිත තුල හටගන්නේ නැහැ.  එය පහ වූවා. පහ වූවාමය.  නැවත නොනැගේ.  එයයි පහාන සීල ලෙසින් පෙන්වා දුන්නේ.

එලෙසින් සතර අපාගත වීමට හේතුවන යම් වැඩපිලිවෙලක් ඉන්පසු රමණය කරමින් හෙවත් ඇසුරුකරමින් නැවත එවැනි දේ ඇසුරු කිරීමට එම පුද්ගලයාට යෙදෙන්නේ නැහැ.  එය වේරමණී සීලයයි.

සතර අපාගත වීමට හේතුවන යම් පාප සිතුවිල්ලක් ඇත්ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි කෙදිනකවත් හට ගන්නේ නැහැ.  එය චේතනා සීලයයි. 

සංවර සීල ලෙසින් පෙන්වා දී තිබෙන්නේ එලෙසින් සතර අපාගත වීමට හේතුවන පාපයන් කිරීම තුලින් ඇතිවන යම් අසංවරතාවයක් ඇත්ද ඒ සිතෙහි හටගන්නේ නැහැ යන්නයි. 

මෙම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙදිනක හෝ නිවන් අවබෝධය තුලින් මේ සසර ගමන කෙලවර කරන තුරු මේ ලෙසින් කියන්නා වූ සීල ගුණය බිදෙන්නේ නැහැ... අත්හැරෙන්නේ නැහැ... එය ප්‍රතික්‍රමණය හෙවත් ඉවත්වී යන්නේ නැහැ කියලා අවිතික්කම සීල ලෙසින් පෙන්වා දුන්නා.

මෙන්න මේ කියන පංච සීලයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා අරිය කාන්ත සීලයෙන් යුක්තයි.  මෙන්න මේ ලෙසින් පෙන්වා දෙන පංච සීලය සමාදන්විය නොහැකියි යන්න ඔබටම වැටහෙනවා ඇති.  සතර අපාගත වීමට නියමිත වැඩපිලිවෙල මිස සියළු පවින් නිදොස්වූ පුද්ගලයෙක් ලෙස මෙහිදී සෝතාපන්න පුද්ගලයා හදුන්වාදී  නොමැති බව ඔබ විසින් අවබෝධ කරගත යුතුමය.  බුදු පියාණන්ගේ ප්‍රතිමා අසලට ගොස් හෝ ගරුතර සංඝරත්නය අසලදී හෝ කොතැනකදී හෝ වාක්‍ය පහක් කටපාඩම් කරගෙන ඒ තුල ගත කරන කාලය තුල සමාදන් වන වත තුලින් මෙම සීලය නොපිහිටන බවද ඔබ විසින්‍ ඔබේම මනසින් විමසා දත යුතුය. 
ධර්මාවබෝධය තුලින් ලෝකයේ අසාරත්වය දැනගත් දිනයේදී අවබෝධ වූ දිනයේදී මේ හරයක් නැති ලෝකයේ මොන හේතුවක් නිසා මොනවා ලබාගන්න මම පව් කරන්නද කියන සිතුවිල්ල මතින් මෙන්න මේ කියන යම් තරමකින් පවින් නිදහස් වන දිනයේදී කිසිදිනක නොබිදෙන තමාගේම නුවණින්ම අවබෝධ කරගත් සත්‍යයක් තුලින් නැගෙන අවබෝධයක් තුලින් පිහිටන සංවරත්වය හෙවත් පංච සීලයෙහි පිහිටනවා.  
එසේනම් වතින් සාමණේර වත, උපසම්පදා වත ලෙසින් භික්ෂූණ්වහන්සේලාට තිබෙන වතක සිටින්නට පුළුවන්.... නැතිනම් අෂ්ඨාංග වත, නවාංග වත ආදී ලෙස තිබෙන ‍නොයෙක් වත් පුරන අයෙක් සිටින්නට පුළුවන්... ඒ කව්රුන් කුමන වතක සිටියත් සතර අපාගත වීමට හේතු යෙදෙන අවස්ථාවක් කුමන ලෙසකින් හෝ මතුවන්නට අවස්ථාව තිබෙනවා.  ඒත් ධර්මාවබෝධය තුලින් සතර අපාගත වීමට හේතු කිසිලෙසකත් නොයෙදෙන තත්වයට පත්වූ විට කුමන වතක සිටියත් නැතත් ඒ පුද්ගලයා තුල ඉහත පෙන්වා දුන් පාරිශුද්ධත්වය තුලින් ලැබෙන පහාන, වේරමණී, චේතනා, සංවර  හා අවිතික්කම  යන පංච සීලයෙන් යුක්ත වෙනවා. 

එනම් සීලය චිත්ත පාරිශුද්ධත්වය තුලින් තමන් තුලම ඇතිවන දෙයක් මිස සිත මට්ටු කරමින් සිතට තදින් අවවාද කරමින් බලහත්කාරයෙන් සිත දමනය කරගෙන සිටින වතක් නොවන බව ඔබගේ නුවණට මේ වන විටත් අවබෝධ වී හමාර බව මට සිතේ.  අප දැනගත යුතුයි සීලය යනු සමාදන් වන පද නොවේ යන්න.  යම් අයෙක් යථාවබෝධය තුලින් යහපත යහපත ලෙසටත් ලගා කරගත යුත්තක් ලෙසටත් යහපත් ඵල ලබාදෙන ලොවට අවැඩක් ‍සිදුනොවන ක්‍රියාවක් ලෙසටත් සුචරිතයක් ලෙසටත් තමන් වැඩි වැඩියෙන් වර්ධනය කරගත යුත්තක් ලෙස දැක අයහපත අයහපත ලෙසත් ඉවත් කොට දැමිය යුත්තක් ලෙසත් අයහපත් ඵල ලබාදෙන ලෙසත් ලොකයාට අවැඩක්ම සිදුවන ක්‍රියාවන් ලෙසටත් දුෂ්චරිතය ලෙසටත් තමන් නොපමාව ඒ දේ පහ කර දැමිය යුතුයි ලෙස දැක්කා නම් තමන්ගේම නුවණින්ම විමසා අවබෝධයට පත්වූවා නම් ඔබ සතුන් මරන්න කිව්වත් මරන්නේ නැහැ... ඔබ සොරකම් කරන්න කිව්වත් කරන්නේ නැහැ... ඔබ කාමයෙහි වරදවා හැසිරෙන්න කිව්වත් හැසිරෙන්නේ නැහැ... ඔබ බොරු කියන්න කිව්වත් කියන්නේ නැහැ... ඔබ මත්පැන් සුරාව සූදුව ලං කරගන්න කිව්වත් කරන්නේ නැහැ.  එලෙසින් තමන්ගේ නැණ නුවණ මොට කරන දමන එවැනි මාර්ගයකට පත්වෙන්නේ නැහැ.  ඒවැනි දේ කිරීමට කැමති නැති ස්වභාවයට පත්වෙනවා. එලෙසින් යම් අයෙකුට ධර්මාවබෝධය තුලින් වැරැද්දට කැමති නැති ස්වභාවයක්... අකමැත්තක්... වැරදි කිරීමට අලසකමක් ලැබුණානම් ඒ පුද්ගලයා‍ට සීල ගුණයක් ලැබෙනවා.  තම තමන්ගේ නුවණින් විමසන්න... සිතන්න... පන්සිල් යනු සමාදන් විය යුතු දෙයක්ද? පන්සිල් සැබැවින්ම පිහිටන්නේ කා තුලද? පන්සිල් යනු මොනවාද? කියලා තමන්ගේම නුවණින් විමසා බලන්න. 
මෙම පංච සීලය තවත් වරෙක බුදුහිමියන් ලෙසින් මෙසේ පෙන්වා දුන්නා...
මහානාම යන කුමාරයා වරෙක බුදු හිමියන්ගෙන් අසනවා “ස්වාමිනී, අරිය ශ්‍රාවකයාගේ සීලය කුමක්ද?” එවිට බුදුහිමියන් පෙන්වා දෙනවා “පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී, අදින්නාදානා පටිවිර‍තෝ හෝථී, කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී, මුසාවාදා පටිවිර‍තෝ හෝථී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී අයං උච්ඡති මහානාම අරිය ශ්‍රාවකො සීලවා හෝථී” ලෙසින්.

මෙහිදී පටිවිරති හෝථී ලෙසින් පෙන්වා දුන්නේ කුමක්දැයි සලකා බලමු.  පටිවිරති යන පදය සැලකීමේදී “රති” යන පදයෙහි අර්ථය වටහාගැනීම වැදගත්.  එයින් පෙන්වාදෙන්නේ කැමැත්ත, ආශාව, ඇල්ම... විරති යනු කැමැත්තෙන් වෙන්වීමයි... ආශාවෙන් වෙන්වීමයි... ඇලීමෙන් වෙන්වීමෙයි... බලාපොරොත්තුවක් නැතිවීමයි...

එසේනම් මහානාම කුමාරයාට පෙන්වා දුන් ආර්ය පුද්ගලයා‍ගේ පංච සීලය
පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
අදින්නාදානා පටිවිර‍තෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
මුසාවාදා පටිවිර‍තෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
චිත්ත පාරිශුද්ධිය තුලින් නැගෙන මානසික සංවරත්වයක් තුලින් වරදට කැමැත්තෙන් නොබැදෙන ලක්ෂණයම නොවේද මේ ලෙසින් පැහැදිලිව පෙන්වාදී තිබෙන්නේ?  සත්‍යාවබෝධය තුලින් මේ සීලය තුලින් තව තවත් මනසට නැගෙනවා මේ හරයක් නැති ලෝකයක අන් අයට හිංසා කරලා රිදවලා... අන් අයගේ දේවල් තමන් සතුකරගන්න හදලා... වැ‍රැදි ඇසුරෙහි බැදෙමින් කය පිනවලා... බොරුවෙන් අන් අයව රවටලා... මදයට ප්‍රමාදයට හේතුවන සුරාවෙන් මේරයෙන් මත්වෙලා තමන්ට ලබාගත හැකි ප්‍රයෝජනයක් ඵලයක් නොමැතිබව තමන්ගේම නුවණින් වැටහෙනවා.  එලෙසින් වැටහීම ලත් දිනයට ඒ පුද්ගලයා‍ සෝතාපන්න ඵලය අත්කරගත් පුද්ගලයෙක් ලෙසින්ද හැදින්විය හැකිය.  මෙහිදී සුරාමේරය යන කරුණ තවත් බොහෝ විග්‍රහ කොට ගත යුත්තක් එය ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

එහෙත් මේ පංච සික්ඛා පද මොනවාද?
මේ පංච සික්ඛා පද දේශනා කලේ බුදු පියාණන්වහන්සේ විසින්මය.  ශාසනික සික්ඛා පද අබුද්ධෝත්පාද කාලයේ නැත.  වචන එසේම භාවිතා කරන අෂ්ඨාංග සීල ක්‍රම ආදිය වේදය තුල  තිබුණ අතර ඒවාට පටු ලෞකික අර්ථ දී තිබිණි. 
අප අද පන්සිල් ගනිමුයි පවසන සමාදානය පංච සික්ඛා සමාදානයයි.  සික්ඛා පද බොහෝ ගැඹුරු අරුත් ගෙන දෙන්නකි.  ප්‍රවේසම් ලෙස සිහියෙන් රැකිය යුතුයි.  නමුත් මේවාට දී ඇත්තේ පටු අර්ථ විග්‍රහයකි.  සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත්පැන් නොබීම යන මේවා පන්සිල් යැයි කියමින් සමාදන් කරවන්නේ‍ද පංච සික්ඛාමය.  සික්ඛා පද සමාදන්ව ඒවා කඩාගත්විට ආණාවිතික්කමාවරණයට වැටෙන්නට පුළුවන.  එය ආවරණයක් බැවින් එවිට ධර්මය අර්ථවත්ව හදවතට කිදා නොබැසීම සිදුවේ.  එනිසා මෙම භයානකත්වය වටහාගෙන අවබෝධයෙන් යුතුව තම තමන්ගේ නුවණින් විමසා මේ දේවල් අවබෝධ කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.
අංගුත්තර නිකායේ අෂ්ඨාංග උපෝසථ සූත්‍රය, නවාංග උපෝසථ සූත්‍රය, අරිය උපෝසථ සූත්‍රය, විශාඛ උපෝසථ සූත්‍රය ආදියෙන් මේ සික්ඛා පිළිබදව පාලි සහ සිංහල අර්ථ බලාගත හැකිය.
01)  පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරන්නේය.
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරමි.  මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ පළවෙනි සික්ඛාවයි” 

මෙහි පෙන්වා ඇත්තේ ශාසනික වූ දයානුකම්පාවයි.  සතුන් නොමරා සිටිමින් පමණක් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන සික්ඛා පදය මම හරියට රැක්කා කිව්වොත් එය ‍කොතරම් නිවැරදිද යන්න ඔබගේම නුවණින් විමසා බලන්න.  

02)  අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ  නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්නේමය. 
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරමි.  මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.
මේ මාගේ දෙවෙනි සික්ඛාවයි” 

මෙයින් අදහස්‍වන්නේ සොරකම් කිරීමෙන් වැලකී සිටීම පමණක් නොවන බව ඔබටම දැන් වැටහෙනවා ඇත. කෙටියෙන් කිවහොත් මෙලෙසින් සික්ඛා පදය සමාදන් වූ විට තමන් පානය කරන තේ පානය පවා තමාට අන් අයෙක් විසින් දුන්නොත් පමණක් ගත යුතුය.  බත් ආදී ආහාරයක් පවා අන් අයෙක් විසින් බෙදා පිලිගැන්වුවොත් පමණයි නේද ගත යුත්තේ?  දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන අයෙකුට පමණයි නේද මේ කියන දෙවෙනි සික්ඛා පදය නොකැඩී නොබිදී ආරක්ෂා කල හැකි වන්නේ? සොරකම් නොකොට අන්සතුදේ නොගෙන අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකුට සිටින්න පුළුවන්.  එහෙත් “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙසින් දෙවෙනි සික්ඛා පදය සමාදන් වන පුද්ගලයා සමග ඒ ඇත්තාට ඇප උපස්ථානය සදහාද යමෙක්අසලින්ම සිටිය යුතු නොවන්නේද?  වන්දනාමාන කරමින් පූජා සිතින් පිලිගන්වන ඇත්තෙක් අසලම සිටිය යුතුයි නේද? 

03)  අබ්‍රහ්ම චර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මෙය එදිනෙදා භාවිතයේදී “කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙසින් වෙනස්කොට ඇත. 
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ  අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. 
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි.  මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.
මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” 
04)  මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරන්නේමය. 
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරමි.  මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ හතරවෙනි සික්ඛාවයි.”

05)  සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි 
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන යම් සූරාවක්, මේරයක් ඇද්දමේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර මත් නොවීම හේතුවෙන් අප්‍රමාදීව නිවන් අවබෝධ කල සේක! 
උන්වහන්සේ අනුගමනය කරන්නාවූ මමද සුරාවෙන් මේරයෙන් වෙන්ව  ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ  කරමි.   මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. 
මෙය මාගේ පස්වෙනි සික්ඛාවයි.”
(සුරාව මේරය -  මදයට හේතුවන ප්‍රමාදයට හේතුවන ලොව අල්ලාගැනීමට හේතුවන සුරාවක් තියෙනවා මේරයක් තියෙනවා.  සුරා නම් සරාගය නැමැති අර්ථ දෙයි.  මේරා නම් මිහිරියාව නැමැති අර්ථ දෙයි.  සරාගික වන්නේ මොනවා තුලින්ද? ලස්සන රූප දැක, මිහිර හඩ අසා, ගන්ධ, රස හා ස්පර්ශ යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන පංච කාමයෙන් සරාගික වෙනවා.    එම පංච කාමයන් තුලින් රාගික සිතක් ඇතිකරගෙන එහි මිහිරියාවට පත්වූ විට මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් මත්වෙනවා.  එලෙස මත්වීම තුලින් ‍නිවනින් සිත ඈත්ව යනවා. ලෝකය කොච්චර ආශ්වාදද කොච්චර ලස්සනද කියලා ලෝකයටම ඇලී සිටින්න සිතෙනවා.  එලෙසින් නිවනට ප්‍රමාදය ඇතිවී ලෝකය තුලම ඇලෙනවා.  එය සුරා මේරය මජ්ජපමාදට්ඨානා තුලින් පෙන්වා දුන්නා.)
මෙලෙසින් විස්තර ‍කලේ පංච ශික්ෂාවයි.
පස්පව් යනු පංච දුෂ්චරිත නොවේ.  එයට වඩා පුළුල් විස්තරයකි.  ඉහතකී ශික්ෂා පද 5න් පෙන්වූ වෙන්විය යුතු පාපා කොට්ඨාශ 5ට අසුනොවන පවක් නැත.  ඒ අත්හැරිය යුතු කොටසටයි පස් පව් කියන්නේ.  සය පව් හෝ සත් පව් ආදී ලෙසටවත් සතර පව් තුන් පව් ආදී ලෙසටවත් නොව පස් පව් යනු ශාසන සම්මත වචනයකි.  එසේනම් කොටස් පහකට සියලු පව් අඩංගු විය යුතු බව දැනගැනීම අවබෝධය ඉතාමත් වටින්නේය.
එසේනම් පංච දුෂ්චරිතය හෙවත් “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම”‍ ආදියෙන් වෙන්වී දස අකුසල් අත්හැර සීල ගුණයේ ශාසනික අර්ථ සහිතව පිහිටීම සිදුකිරීම වඩාත් සුදුසුය.  වත සහ සීලය වෙන්කොට හදුනාගෙන කටයුතු කිරීම මේ ආර්ය මාර්ගය නිවැරදිව පූර්ණය කරගෙන යාමටද ඉතා වැදගත්වෙනවා. පංච දුෂ්චරිතයෙන් වෙන්වන වත ලැබූ පමණින් පංච සීලය ලැබුවා යැයි වැරදි මතයන්ට වැරදි තීරණයන්ට එළඹ නොගෙන තම තමන්ගේ නුවණින්ම කරුණු විමසා බලන්න.  ඒ වගේම මම නිතර ඉල්ලා සිටින පරිදි මෙහිදීද විශේෂයෙන් ඉල්ලා සිටින කරුණක් ඇත.  මා කියු පමණින් මෙම කාරණා මෙලෙසමයි යැයි නොගෙන තවත් ‍අයෙක් කියූ පමණින් මෙලෙස පෙන්වා දුන් කාරණා ඉවත් නොකොට තම තමන් සතු බුද්ධිමට්ටම මෙහෙයවා සිතන්න... මම නිතර ඉල්ලා සිටින පරිදි විවෘත වූ මනසිකින් සිතන්න... ඔබටත් මේ වෙනස අනිවාර්යෙන්ම අවබෝධ වේවි.  

 මෙහි ඔබ සදහන් කිසිවක් ඔබ විසින් අන්‍ය පුද්ගලයන් හෝ සම්මතයන් සමග තර්ක වාද කොට ඒවා වෙනස්කිරීමට සටන් කිරීමට නොව ඔබගේම මනසින් නුවණින් විමසා අවබෝධ කොට ගෙන ඔබගේම විමුක්තිය සො‍යාගැනීමටවේ.  තම තමන්ගේ අවබෝධය තුලින් නුවණින් විමසා සත්‍යාවබෝධය ලබන පිරිස් බිහීවීම නොබෝ කලකින්ම සිදුවිය හැක්කකි.  එහිදී මෙ‍ම කරුණු ස්ථීර වීමටද ඉඩ ඇත.  එතෙක් තම තමන් බේරාගැනීමට කටයුතු කල යුතුමය.  ඒ සදහා මේ කරුණු ගැන සිතා බලමින් ලබන අවබෝධය පිටුවහලක් වන බව ඔබටද වැටහෙනවා ඇතියි සිතමි. 

ඒ වගේම සාම්ප්‍රදායිකව පන්සිල් දීම ලෙස මෙකල කරන පංච ශික්ෂා සමාදානයේ විප්ලවයක් නොකර එබදු අවස්ථාවන්ට සම්බන්ධවන්ට සිදුවුවහොත් විවේචනාදියෙන් බාධක නොකර, ඉදගෙන සිටින තුරු හෝ ඇස් පියාගෙන සිටින තුරු හෝ සමාදන් වෙමියි යම් කාල අධිෂ්ඨානයක් කරගන්න.  ඒ වෙලාව අවසන් වන විටම ඔබ නිදහස් වෙනවාද ඇති.  එවැනි සුළු මොහොතක කාලයක් වුවත් මෙම ශික්ඛා පද අවබෝධයෙන් නොකඩා සිටින්නේ නම් ඉතාමත් යහපති.   රකින්නට හැකිනම් සමාදන්ව කොතෙක් කල් සිටියත් ඉතාමත් යහපතක්ම වන්නේය.  පෝය දිනයන් වෙන් කර ඇත්තේද මෙවැනි පහසු සමාදානයන් සදහාමය.  එබැවින් එදිනට උපෝසථ සමාදානයට හැකි තරම් අවබෝධයෙන් යුක්තව උත්සාහ කරන්න.  මෙලෙස අවබෝධයෙන් යුක්තව ශික්ෂා සමාදන්ව සංවරය හුරු කරන ඔබට ලෞකික වශයෙන් දෙව්ලොවට ඉනිමගක් බදුය.  උතුම් නිවන් මග සදහා නම් ආර්ය ශීලයට මහා උපනිශ්‍රයකි.  නිතර එදිනෙදා ජීවිතයේදී රකින්නට නොහැකි නම් ඉහත පංච ශික්ඛා නිතර ගැනීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටීමට පෙළඹෙන්නේ එය ඔබගේ නිවන් මග වසාදැමීමට ‍හේතුවන කාරණයක් වීමට ඉඩ ඇතිවන බැවිනි.    

එමෙන්ම පංච දුෂ්චරිත සිදු වෙන්ට ඉඩ ඇති බැවින් පාපයට ලැජ්ජා, භය ඇති කවුරු වුවත් මේ දුෂ්චරිත‍ පහෙන් වෙන්වීම සමාදන්ව ආරක්ෂා කිරීම නම් අති උතුම් වගේම මූලික සිල් වතක් ලෙස පංච දුෂ්චරිතයෙන් ‍වැලකීමට අදිටන් කරගැනීමම සෑහේ.  ‍දුෂ්චරිතයෙන් වෙන්වීම අපහසු යැයි සිතුනත් එයින් ‍වෙන්වීම තමන්ට මෙන්ම ලෝකයාටද බොහෝම යහපත් ක්‍රියාවක්. එලෙසින් එයින් වෙන්වී සිටීම පංච දුෂ්චරිතයෙන් වෙන්වීම යන වතහි සිටිනවා වෙනවා.  ඉහත කී කරුණු 5 පෙර රජවරු පවා පනවා ඇත.  මෙය ඉතාමත් හොද දෙයක් වන අතර බුදු හිමියන් පවා අනුමත කල පංච දුෂ්චරිතයෙන් වැළකීමේ වත ලෙස හැදින්විය හැකියි.  එලෙසින් වතක සිටීම එක් දිනයකට හෝ පැය කීපයකට සීමා නොකොට තමන්ගේ ජීවිත කාලය තුලම සිටින්නට උත්සාහ කිරීමත් යහපත් ක්‍රියාවක් වෙනවා.  මෙම පංච දුෂ්චරිතයන් සදහා වෙන වෙනම පද දේශනා කර ‍නොමැති බැවින් සරලව අවබෝධයෙන් යුතුව මෙවැනි කවියක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි.
මම සතුන්                                නොමරමි
සොරකම් කිසිත්                       නොකරමි
දුසිරිතෙන්                                වැළකෙමි
බොරු බසින් මත් පැනින්            වැළකෙමි

තෙවරක් මේ කවිය කියා දුෂ්චරිතයෙන් වැළකීමටත් සුචරිතව කටයුතු කොට නිවන් අවබෝධයට රුකුල් සලසා ගැනීමටත් දැඩි අදිටනක් ඇති කර ගන්න.
එමෙන්ම මෙම පංච දුෂ්චරිතයනගෙන් වැළකීමට බොහෝම පහසු ක්‍රමයක් ඇත.  එය බුදු හිමියන් පවා අනුමත කල ක්‍රමයයි. 
අපි විසින් අපටම පැහැදිලිවන ධර්මයකට අනුව සිතනවා “මාව තව කෙනෙක් මරණවා නම් රිදවනවා නම් හිංසා කරනවා නම් මම කැමති නැහැනේ,  ඒ වගේ තවත් මිනිසෙක් හෝ වේවා යම් සතෙක් හෝ වේවා තමන්ට රිදවනවා නම් හිංසා කරනවා නම් මරණවා නම් අකමැතියි වගේම භයයි.  එසේනම් එලෙස මටත් අසාධාරණයක් අවැඩක් ලෙස සිතෙන ලෝකයාටත් අසාධාරණයක් අවැඩක් ලෙස සිතෙන දෙයින් මම වැළකී සිටිය යුතුයි.  එලෙසින් අවැඩ අසාධාරණ කිරීම ඉතාමත් නුසුදුසුයි අන් අයටත් මට මෙන්ම වේදනාව ඇතිවෙනවා ඒ නිසා එලෙසින් අන් අයට මමත් අකමැති වේදනාවක් අත්කර දීම ධර්මානුකූල නැහැ කියලා තමන්ගේ නුවණින්ම කල්පනා කොට තීරණයක් ගෙන මේ අවැඩින්... පවින්... මිදී සිටිනවා.
එලෙසින් තම සිතින්ම කල්පනාකොට තීරණයක් ගත් පුද්ගලයා කෙදිනකවත් තම තීරණය වෙනස් කරන්නේ නැහැ.   එයට හේතුව කාලය කොතරම් වෙනස්වුවත්... කුමන යුගයක් පැමිණුනත් තමන්ව මරණවාට තමන්ට රිදවනවාට තමන්ට හිංසා කරනවාට තමන්ව භය කරනවාට කැමති පුද්ගලයන් බිහිනොවීමයි. 
එලෙසින් අපට සිතිය හැකියි එවැනි තමන්ව මරණවාට තමන්ට රිදවනවාට තමන්ට හිංසා කරනවාට තමන්ව භය කරනවාට කැමති පුද්ගලයන් අතීතයේ සිටියේත් නැහැ වර්ථමානයේත් නැහැ අනාගතයේත් අනිවාර්යෙන්ම බිහිනොවන බවට තමන්ට දැකිය හැකියි.  එනම් එය තුන්කාලයටම ගැලපෙන ධර්මතාවයක්.  මන්ද යත් එලෙසින් සිතන ඇත්තන් සිටින විට අන් අයටත් එලෙස කිරීම නුසුදුසු බව සුචරිතයක් ලෙසින් ඔවුන් දකිනවා... අන් අයට එසේ කිරීම පහත් නොගැලපෙන දුෂ්චරිතයක් ලෙසින් ඔවුන් දකිනවා... මෙලෙසින් මේ සත්‍යය වටහාගත් තැනැත්තා බුද්ධිමතෙක් ලෙසින් පිලිගැනීමට කුමන ආගමකට අයත්ද යන්න වැදගත් නොමැතිබවත් ඔබටම වැටහෙනවා ඇති.  ඔවුන් බෞද්ධාගමේද... ක්‍රිස්තියානි හෝ කතෝලිකද... හින්දුද... මුස්ලිම්ද...හෝ කුමන ජාතියකට රටකට අයත්ද යන්න හෝ කුමන ශාස්ත්‍රෑවරයෙක් අනුගමනය කරනවාද යන්න වැදගත් නොමැති බව ඔබටම වැටහෙනවා ඇති.  මෙය තුන්කාලයටම ගැලපෙන බුද්ධිමතුන් විසින් ගනු ලබන බුද්ධිමත් ධර්මයක්.  බෞද්ධයන්ට පමණක් අයත් දෙයක් ලෙස මෙම කාරණය වෙන් කොට දැක්වීමට කාටවත් සිදුකල නොහැක්කක් මන්ද යත් එය ලෝක ධර්මයයි.  ධර්මය ධර්මය ලෙසිනුත් අධර්මය අධර්මය ලෙසිනුත් දැනගන්නා ලෝක ධර්මය ස්වභාවය තමයි එලෙසින් පෙන්වා දුන්නේ.  එනම් එලෙසින් ධර්මය හෝ අධර්මය පිලිපැදීමට මේ ලෝකයේ ඕනෑම අයෙකුට ජාති ආගම් කුල භේද වලින් තොරව හැකියි.  අප පිලිගත්තාත් නැතත් මේ ධර්මය පිලිපදින තැනැත්තාට යහපත් ඵලයත් අධර්මය ඔස්සේ පිලිපදින තැනැත්තාට අයහපත් ඵලයත් නිසැකව ලැබෙන හේතු ඵල ධර්මය තමයි විශ්ව සත්‍යය. 
එසේනම් තමන්ගේ හෘදසාක්ෂියට අනුව මෙම යහපත් තීරණය ගත් අයෙක් සිල් සමාදන් වී සිටියත් නැතැත් “අනේ මටත් මෙහෙම අවස්ථාවක භය හිතෙනවා රිදෙනවා නේද...” සිතා කරදරයට පත් අයට උපකාරයක් පවා කරන්න පෙළඹෙනවා නොවේද?  මෙම සත් ක්‍රියාව සිදුකරන්න එම පුද්ගලයා‍ පෙළඹුනේ තමන්ගේ ආගමට භයේවත් තමන් අනුගමනය කරන ශාස්ත්‍රෑවරයාගේ නියෝගය මතවත් තමන් දැඩිව ඇති කරගත් අධිෂ්ඨානයක් මතවත් යම් කාලසීමාවකට පමණක් යහපත් දේ කිරීමට සිතාගත් නිසාවත් අපායට භයේවත් දිව්‍යලෝකේ යාමටවත් වෙන මොනම හේතුවක් නිසාවත් නොවේ තමන් විසින්ම තමන්ගේම නුවණින් යහපත්දේ යහපත් ලෙසටත් අයහපත් දේ අයහපත් ලෙසටත් දුටුව නිසායි.  එනම් දැන හෝ නොදැන මේ විශ්වයේ තිබෙන එක් සත්‍යයක් තමන්ගේම නුවණට අවබෝධ වූ නිසායි.
මෙලෙසින් ධර්මය ධර්මය ලෙස අවබෝධ කරගත් තැනැත්තාට එම ධර්මය තුලින්ම සංවරත්වයක් ලබාදෙනවා.  ඒ සංවරත්වය මත පිහිටන සීලයක් තියෙනවා ඒ තමයි “සංවරට්ඨේන සීලං” ලෙසින් පෙන්‍වා දුන්නේ.  එම කිසිදු පොරොන්දුවක් ‍හෝ අධිෂ්ඨානයක් නොමැතිවම සත්‍යාවබෝධයක් තුලින් ලැබූ සංවරත්වය තුලින් නැගුන සීලය අපව නිවන් අවබෝධය කරා පත්කීරීමට මහගු උපකාරයක්ද වෙනවා.    එමෙන්ම වත සමාදන් කරමින් පමණක් කොතරම් කාලයක් ගත කලත් බුද්ධිමත්භාවයට හෙවත් තමන්ගේ බුද්ධියට අසුවන මේ ධර්මතාවය අවබෝධ වුනේ නැත්නම් කුමන හේතුවක් නිසා හෝ වේවා මෙම වත බිදී යයි.  එයට හේතුව තමයි යමෙක් සත්‍යයක් අවබෝධ වීම තුලින් තීරණයක් ගෙන මාර්ගයක ගමන්‍කරන්නේ නම් ඒ මග වෙනස් කිරීමට කිසිම ලාභයකට කීර්තියකට ප්‍රශංසාවකට නොහැකිවීම.  අනවබෝධය මෙවැනි ලාභ කීර්ති ප්‍රශංසා වලට රැවටී මුලාවට පත් කරයි. 
එසේනම් මේ සත්‍යාවබෝධයට මග සොයනා ඔබටත් මටත් නිරන්තරයෙන් සමාදන් විය හැකි වතක් ඇති බව මේ වන විට ඔබට පැහැදිලි වෙනවා ඇති.  එනම් පංච දුෂ්චරිතය හෙවත් “සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම සහ මත්පැන් බීම”‍ යනාදී දේ තුලින් හැකි උපරිමයෙන් වෙන්වී සිටීමයි. 
තම තමන්ගේ නුවණින් විමසා ශ්‍රී සද්ධර්මය අසන විට අවබෝධ වන සත්‍යය ධර්මය තුලින් “පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / අදින්නාදානා පටිවිර‍තෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / මුසාවාදා පටිවිර‍තෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ” යන තත්වයන්ට පත්ව උතුම් වූ “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං” යන පංච සීලය ලැබීමට ඒ පෙන්වාදුන් සංවරත්වය ලැබීමට විවෘත මනසකින් සත්‍යය අවබෝධය ලැබීමට කටයුතු සිදුකරගන්නා සැමටම හැකිවෙනවා ඇත!
සැනසුම් බුදු දහම් සංවර ලෙස   ඒවා  
සැනසුම් සිල්ගුණය හැම හදේ   පිහිටවා 
සැනසුම් සාම සැම සත වෙත     විහිදේවා 
සැනසුම ලබා සත නිවනින්        සැනසේවා!

1 comment:

සිoහල බෞද්ධයා said...

ඔබ සෑහෙන්න මහන්සි වෙනවා කියලා මට පේනවා. ඔබේ කැපවීම විශ්වාස කරන්නත් අමාරුයි. මම ඔබට සුභ පතනවා.(As I see you are working very hard.Unbelievable.......! Good luck....!)

--සිoහල බෞද්ධයා--