Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, December 3, 2010

උපාදාන

පළමුවෙන්ම සියලුම දෙනාගෙන් සමාව අයදින්නට කැමැත්තෙමි. එයට හේතුව පටිච්චසමුප්පාද ලිපි පෙලහි තණ්හා අංගයට පසු ලිපි පෙල ඉක්මනින් පල නොකිරීම සම්බන්ධවයි. ලිපි පෙලත් සමඟ රැඳී සිටි බොහෝ පිරිසක් එයින් අපහසුතාවයට පත්වෙන්නට ඇතැයි සිතමි. කෙසේ වෙතත් ඔබ වෙනුවෙන් තව තවත් වඩාත් යහපත් දේ ලබා දීම පිණිස කාලය වැය කරමින් සියලු කරුණු අඩංගු වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටින නිසාම මේ ප්‍රමාදය සිදුවන නිසාම නැවත නැවතත් සමාව අයදිමින් මෙසේ මීලඟ අංගය ගැන සටහනක් තබමි. තණ්හා පච්චයා උපාදානං ලෙසින් මෙය පටිච්ච සමුප්පාදය තුල දක්වා ඇත උපාදානය සම්බන්ධව මෙසේ සටහනක් තබමි. තණ්හා වන ආකාරය හොදින් අවබෝධ කරගත් ඔබට ඒ තණ්හාව නිසා ඇතිවන උපාදාන අවස්ථාව අවබෝධ කරගැනීම වැදගත්වෙනවා.  
මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම යන අවස්ථාවන්ට ඒ ඒ තන්හි හා වීම නිසා ඇතිවන තණ්හා කියන ස්වභාවය ගැන ඔබට වැටහීමක් ලබාගැනීමට පෙර ලිපිය උපකාරයක් වෙන්නට ඇතැයි සිතමි. නිච්චයි සැපයි ආත්මයි ලෙසින් ගත් මුලා සහගත දෘෂ්ඨියක් නිසා ලෝක සත්වයා වටිනවා හොදයි සාරයි ලෙසින් ගෙන නොයෙක් තැන්හි හා වෙන හැටි තමන් විසින්ම තමන්ගේ නුවණ මෙහෙයවා තමාගේම ස්වභාවය එය නොවේදැයි අවබෝධ කරගැනීම වැදගත්වෙනවා. ඒ ඒ තන්හි හා වෙලා තණ්හා ස්වභාවය ඇති කරගත් අපට ඒවාත් සමග බැදෙන මානසිකත්වයක් හටගන්නවා. උපාදානය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ විදියට ආසන්නයට ඇදිලා ආසන්නය බැදිලා සිටීමටයි. තව දුරටත් විස්තර කරන විට ඔබට මෙය පහසුවෙන් අවබෝධ කරගන්නට නුවණ මෙහෙයවන්නට පහසුවේවි.   
දැනට අප උපාදානය කියූ විට දන්නවා දැඩිව අල්ලා ගැනීම කියන අදහස දෙනවා කියලා. ඒත් දැඩිව අල්ලා ගත් කියන විට අපට සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන මානසිකත්වය ඇතිවෙනවා... ඒත් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ එය අවබෝධ කරගත යුතු වන්නේ ඒ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන මානසිකත්වයෙන් අපව මුදවාගෙන හේතුවට අනුව ඇතිවන ඵයලන් මිස වෙන විශේෂත්වයක් නැහැ කියන ස්වභාවය අවබෝධ කරගැනීමටයි. ඉතින් එහි අංග පිලිබදව අවබෝධ කරගන්නා විටත් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන ස්වභාවයෙන් මිදී හේතුවට අනුව ඇතිවන ඵල ස්වභාවය හොදින් විස්තර විය යුතුයි. එවිට අපට එහි නියමාකාර අර්ථය අවබෝධ කරගැනීමට ඉතාමත් පහසුවෙනවා. ඒ විතරක් නෙවේ ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීම තුලින් මේ මේ හේතුන්ට අනුව හටගත් ඵලයන් නිසා ඇතිවූ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මායා ස්වභාවයක් ඇති කරලා නේද කියන අවබෝධයත් ඇතිවෙනවා... ඒ අවබෝධය තුලින් හරයක් නැති මායාවක් වටිනවා කියලා ගන්න සුදුසු නැති බවට ඒවායේ ඇලී රැදී ගැටෙන්නට සුදුසු නැති බවත් අවබෝධ වීම නිසා අත්හැරී මිදී ‍නොඇලී යෑම ධර්මතාවයක්.
ගින්නක් දැල්වෙන විට ඉන් නැගී උඩ යන ගිනි රොටුවට සුලග උපාදානය බව සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් වච්චගොත්ත නම් පරිබ්‍රාජකයාට දේශනා කල සේක! ඉතින් මේ උදාහරණය තුලින්ම අප උපාදානය හදුනාගැනීමට උත්සාහ කරමු. සුලග කියන්නේ ගින්දර දැල්වීමට වුවමනා කරන ආධාරකයක් නේද? යමක් යමකට සංයෝග වීම අපට උපාදානය ලෙසින් පෙන්වා දෙන්න පුළුවන්. මෙහෙම හිතන්න යම් දෙයක් තවත් දෙයක් සමග මිශ්‍ර වුණාම ඒ දෙකේම ස්වභාවයට වෙනස් ස්වභාවයක් තියෙන වර්ගයක් නිපදවෙනවා. උදාහරණයක් විදියට හයිඩ්‍රජන් කියන්නේ වායුවක්... ඔක්සිජන් කියන්නේත් වායුවක්... දැන් මේ වායු වර්ග දෙක උපාදානය වු විට නැත්නම් සංයෝග වූ විට ඇතිවන්නේ මොනවාද? ජලය කියන වෙනස් ආකාරය නේද? ජලය වායු ලෙස පේන්න නැහැ නේද? අන්න ඒ වගේ යම් කිසි ආකාරයක පැවැත්මකට ඇලුම් කරන ස්වභාවයක් තමයි තණ්හාව කියන්නේ. එබදු පැවැත්ම තුල යම් ධර්මතාවයක් අරමුණු වුනාම ඉහත කී ඇලුම් කරන ස්වභාවය අරමුණු වූ එයට අනුකූල ධර්මතාවයට සංයෝග වෙනවා. නැත්නම් උපාදාන වෙනවා... එතකොට තණ්හා ස්වභාවයත් අනුකූල ධර්මතාවයත් යන දෙකම වෙන් වෙන්ම නොපෙනී ගොස් ඒ දෙකේ සංයෝගයෙන් නිපදවෙන මමය, මාගේය යන නව හටගැනීම පහලවෙනවා.
දැන් බලන්න මොනවද ඔබත් මමත් උපාදානය කරලා තියෙන්නේ කියලා. පංචකාම වස්තූන් හරිම ප්‍රියයි මනාපයි කියන හැගීමත් සමග ඒවාට සිත ඇලුම් කල විට එබදු එබදු දේ පරිහරණයට වුවමනා කරන දේ ලගා කරගෙන ඒවා කරා බැදෙන්න පටන්ගන්නවා. ඒ ඒ මන වඩන රූප මුල්කරගෙන ඒ මන වඩන රූප සදහා යමක් වුවමනා කරනවාද එබදු වන්නාවූ රූප වස්තු ඇතිකරගෙන අල්ලා ගන්නා දේ තුලින් ඉවතට යන්න අපහසු වෙනවා. අන්න උපාදාන වුණා. කාම වස්තුවක් උපාදාන කලා කියලා එතැනදි කියන්න පුළුවන්. මන වඩන රූපයකට ඇලිලා එය ලබාගැනීමට කටයුතු කරලා එහි බැදෙනවා. මන වඩන ශබ්දයක් හරිම මිහිරියි හොදයි කියලා මානසිකත්වයක් ඇතිකරගෙන එය ලබාගැනීමට වුවමනා කරන අංගෝපාංග එකතු කරලා ඒවා සමග බැදෙනවා. ඒ ඒ තැන හොදයි කියලා හා වෙලා තණ්හා වෙලා ඒ ඒ කාම වස්තුවට බැදෙනවා. මෙසේ ගන්ධයට, රසයට, ස්පර්ශයට සහ ධර්මයන්ට බැදෙන්නට පටන්ගන්නවා. උදාහරණයක් විදියට මන වඩන රූප ඇති චිත්‍රපටි තියෙනවා... නැතිනම් ටෙලි නාට්‍ය ආදී දේ හිතන්නකෝ... ඔය කියන මන වඩන රූප ස්වභාවයට හා වෙලා නැත්නම් ඒ ඒ ස්වභාවයට තණ්හා කරන්න පටන්ගන්න ඔබ චිත්‍රපටි ටෙලි නාට්‍ය නැවත නැවත දකින්න වුවමනා කරන දේ ලගාකරගන්න කටයුතු කරනවා නේද? උදාහරණයක් විදියට රූපවාහිනියක් ගන්නවා... සී.ඩී පටි ගන්නවා... පරිඝණකයක් ගන්නවා... දැන් ඒ ලගා කරගත්ත දේවලටත් බැදෙනවා... රූපවාහිනිය කැඩුනොත් එය හදාගන්නකම් සැනසීමක් නැහැ නේද? සී.ඩී පටියට හානිවෙලා එහි ඇති මන වඩන රූප නොපෙනී යයි කියලා එය පරිස්සම් කරනවා නේද? එතකොට මන වඩන ශබ්ද අහන්න ගන්න රේඩියෝව ගැන හිතන්න... එය බොහෝම ප්‍රවේශම් කරනවා නේද? හොදින් ශබ්දය ගන්න කටයුතු කරනවා... ඒ විතරක් නෙවේ මෙය අවබෝධ කරගන්න තවත් පහසු අවස්ථාවක් තමයි රසය කියන තැනට හා වෙන අවස්ථාව. මන වඩන රසයකට හා වෙනවා... නැත්නම් එතැන හා වෙලා තණ්හා කරනවා... දැන් ඒ රසය නැවත නැවත ලබන්න කටයුතු කරනවා... පීට්සා වලට කැමතියි කියමුකෝ... ඒ රසයට තණ්හා කරන ඔබ නැවත නැවත ඒ රසය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ පීට්සා නිවෙසට ගෙනත් දෙන වෙලද‍සැලහි දුරකථන අංකය ලියාගෙන තියාගන්නවා... ඒ අංකය පරිස්සම් කරගන්නවා... නැවත නැවත ලගාවෙන්න හැකි විදියට ආරක්ෂා තැනක තියාගන්නවා... රසයට ගිජුවෙලා තණ්හා කරන ඔබත් මමත් ඒ රසය ගෙන දෙන්නට හේතු කාරක වන උපකාරක වන දේ වලටත් ඇලෙන්නට බැදෙන්නට පටන් අරගෙන නේද?
දැන් මේ සියල්ල තුලින් ඔබට අවබෝධ විය යුතු දේ කුමක්ද? ඒ තමයි මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන දේ සමග බැදිලා එක් පැත්තකින්... ඒ මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම ලබාදෙන්නට උපකාරක වන දේ සමග බැදිලා තවත් පැත්තකින්.
දැන් මේ කොටස් දෙකම මගේ, මට වුවමනායි... ආදී ලෙසට මානසිකත්වයක් හටගන්නවා. ඔබ ගීත අහන්න කියලා මිලදී ගත්ත රේඩියෝව ගැන හිතන්න... එය ලබාගත්තේ ඔබේ වුවමනාවට නිසා දැන් එය ඔබ ඔබේ කරගෙන “මගේ” කියන මානසිකත්වය හදාගෙන නේද? කෑම ගෙනාවේ ඔබ නම් “මමයි කෑම ගෙනාවේ” කියලා මානසිකත්වයක් හදාගෙන නේද? ලෝකයේ තියෙන නොයෙක් නොයෙක් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ඔන්න ඔය විදියට ඔබගේ වුවමනාව පරිදි “ඔබගේ නැත්නම් මගේ” කරගත්තා නේද? දැන් රූපවාහිනී තියෙනවා “මගේ රූපවාහිනිය” කියලා ඔබගේ වෙන්කරගත්ත කොටසක් තියෙනවා... පීට්සා ඕන තරම් තියෙනවා “මම කැමති පීට්සා” කියලා ඔබගේ වෙන්කරගත්ත කොටසක් තියෙනවා. එහෙම නේද? එතකොට සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ඒ ඒ විදියට නියමිත ආකාරයට තියෙනවා... ඒත් ඒවා‍ “මම මගේ” කියලා මනසින් බැදිලා කොටසක් හදාගෙන එවිට තමයි උපාදානය නැමැති බැදීම හටගන්නේ. ඇසට, කණට, නාසයට, දිවට, කයට, මනට ඇති ඡන්දරාගය ඒවායේ උපාදානය වේ.
තත්ව කථමං තණ්හා පච්චයා උපාදානං (තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය නම් කවරක්ද)? කාමූපාදානං (කාම උපාදානය), දිට්ඨූපාදානං (දිට්ඨ උපාදානය), සීලබ්බත්ථූපාදානං (සීලබ්බත උපාදානය), අත්තවාදූපාදානං (අත්ථ භාව / ආත්ම වාද උපාදානය) ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං (තණ්හා ප්‍රත‍්‍යයෙන් උපාදානය ‍එයවේ).
මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංච කාමයන්ට බැදිලා මානසිකත්වයක් උදාවුණා නම් ඒවාට සංයෝග වූවා නම් එය කාම උපාදානය හෙවත් කාමූපාදාන ලෙසින් දැක්වූ පරිදි හටගත්තා කියලා හදුනාගත හැකියි.
තවත් අයෙක් මේ මේ ස්වභාවය මට කොච්චර හොදයිද... දානයෙන් ඵල නැත පව් පින් කියලා දෙයක් නැහැ කියලා ආදී ලෙසින් නොයෙක් මත තුලින් එක් එක් දෘෂ්ඨීන්ට පත්වේච්ච අය අප අතර ඕන තරම් ඉන්නවා.  මේ තත්ව තානාන්තරය මට කොච්චර හොදයිද කියලා මෙබදු දෙවියෙක් වෙන්න ඇත්නම් මෙබදු බ්‍රහ්මයෙක් වෙන්න ඇත්නම් කියලා තමා විසින් ඇතිකරගන්නවා මේ ලෝකයේ පැවැත්මට හේතුවන රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ කියන මේවා අතරත් ඒවා අතර සැරිසරන්නට හේතුවන ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මන කියන කොටස් ටික අතරත් පැවැත්මක් ගො‍ඩනගාගන්න හිතෙනවා තමන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට. අන්න එබදු මානසිකත්වයක් තියෙන තැනැත්තාට ඇතිවෙනවා භවය පිලිබදව හැගීමක්. ඒ ‍වගේම දෘෂ්ඨියක් ඇතිකරගන්නවා එය තමයි නිච්ච, සැප, ආත්ම වටින්නේ සාරවත් කියලා... අන්න ඒ දෘෂ්ඨිය නිසාම ඒ පුද්ගලයා මම කියන මගේ කියන තැනට බැදෙනවා... ඒ ඒ දෘෂ්ඨි සමග සංයෝග වීම දිට්ඨි උපාදාන කියලා පෙන්වා දෙනවා.
නොයෙක් ආකාර සිල් වත රැකලා මේ මේ තත්වයන්ට මම පත්විය යුතුයි එතැන හොදයි කියලා මානසිකත්වයක් හදාගෙන ලෝක පැවැත්මේ හොද දෙයක් ගැන සිහි කරගෙන හොද දෙයක් ගැන සිතාගෙන මුලා දෘෂ්ඨිය නිසා පුද්ගලයන් ඒ ඒ දේවල් ලබාගැනීමට එක් එක් වැඩපිලිවෙලවල් අනුගමනය කරනවා. අනුගමනය කරමින් ඒ ඒ අවස්ථාවන් සමග බැදෙනවා. එතැනදි කියන්න පුළුවන් එවැනි පුද්ගලයන් සීලබ්බත උපාදානයට පත්වුණා කියලා.
නොයෙක් නොයෙක් අත්බැව් නිච්චයි, සැපයි, ආත්මයි ලෙසින් ගෙන ඒවා සදාකාලික යැයි මුලා අදහස් ගෙන ඇලී එබදු වාදයන් හා සංයෝග වෙනවා නම් එය අත්ථ භාව උපාදානය කියලා ‍පෙන්වා දී තියෙනවා. 
 
එක් එක් අවස්ථාවල උපාදානය ඒ අවස්ථාවට අනුකූලවට අර්ථ අවබෝධ කරගත යුතුයි. තණ්හා ස්වභාවය හිතක් පහළ වුවහොත් ඒ ඒ පැවැත්මන් වෙත ඇළුම් කරන ආශා කරන ස්වභාවයෙන් එය විද්‍යාමාන වේ. උපාදාන ස්වභාවය යම් සිතක නැගුනහොත් ඒ ඒ පැවැත්මේ ධර්ම ස්වභාවයන් හා මමය, මගේය ආදී ලෙසින් දැඩිව බැදී සිටින ස්වභාවය විද්‍යාමාන වේ. යම් කාම ධර්ම ස්වභාවයක ඇළුම් කරන බලාපොරොත්තුවක් යම් සිතක පහළ වේද අවිද්‍යා, තෘෂ්ණා මුලාව නිසාම එසේ වේ. ඒ වස්තු මුණ ගැසුණු තැන දැඩි බැදීමක් වේද ඒ කාම උපාදානයද අවිද්‍යා, තෘෂ්ණා මුලාව නිසාම වේ. යම් භව ධර්මතාවයක ඇළුම් කරන බලාපොරොත්තුවක් යම් සිතක පහළවේද අවිද්‍ය, තෘෂ්ණා මුලාව නිසාම එසේ වේ. එබදු භව ස්වභාවයක් හා සංයෝග හෙවත් දැඩිව බැදී සිටීද බලාපොරොත්තු පරිදි ඇදී සිටීමෙන් වන මේ දැඩි බැදීමද අවිද්‍ය, තෘෂ්ණා මුලාව නිසාම වේ. යම් මිසදිටුවක් කෙරෙහි ඇදී සිටින බලාපොරොත්තුවක් වේද ඒ හේතුවෙන් එබදු මිසදිටු ස්වභාවයන්හි දැඩි බැදීමක් හෙවත් උපාදානයක් වේද අවිද්‍යා, තෘෂ්ණා මුලාව නිසාම වේ. යම් අත්බැවක් කැමති ලෙස, සැප ලෙස, ආත්ම ලෙස වේ යැයිද සදාකාලික යැයිද කරන වාදයන්හි ඇළුම් කරන බලාපොරොත්තුවක් වේද ඒ හේතුවෙන් එබදු වාදයන්හි දැඩි බැදීසිටීමක් වේද ඒ හේතුවෙන් එබදු වාදයන්හි දැඩි බැදීසිටීමක් වේද ඒ අන්තවාද උපාදානය අවිද්‍යා, තෘෂ්ණා, මුලාව නිසාම වේ. උපාදාන වලට හේතුව මෙසේ අවබෝධ කරගැනීම වැදගත් වේ.
උපාදාන නිරෝධය කරන්නට නම් ඒ උපාදානය සඳහා වූ හේතු නිරෝධ කිරීම වැදගත් වෙනවා. ඇස, කණ, දිව, නාසය, කය, මන කියන ඉන්ද්‍රීයයන් තුලින් ගෝචර කරගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන්හි යථා ස්වභාවය නුවණින් දැක ඒ වායෙන් නැවත නැවතත් ආශ්වාද විඳිමින් මුලාවේ ගැවසෙන්නට ගත් තීරණයෙන් මිදෙන්නට කටයුතු කරනවා නම් මේ සියලු උපාදානයන්ගෙන් මිදීමට හැකියාවක් ලැබෙනවා. යථාවබෝධය ලැබූ තැන් පටන් මුලාව දුරුවී යයි. මුලාව දුරුවී ගියේද කාම බලාපොරොත්තුත් දුරුවෙනවා. එවිට ඒ ඒ කාම වස්තු කරා ඇදී සිටින්නට හේතු නැතිවෙනවා. ඒ නිසාම කාම සංයෝගයන් දුරුවෙලා කාම උපාදනය නිරෝධ වෙනවා.
රූප කාම වස්තු, ශබ්ද කාම වස්තු, ගන්ධ කාම වස්තු, රස කාම වස්තු, ස්පර්ශ කාම වස්තු මෙන්ම මනසට ගෝචර වන කාම අදහස්ද මේ කාම වස්තූන් ගෝචර කර ගන්නා ඇස, කණ, දිව, නාසය, කය, මන යන ඉන්ද්‍රීයයන්ද සකස් වූ ඒවා බැවින් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම ධර්ම ස්වභාවය වී තිබෙනවා. ඉතින් එවැනි වෙනස්වීමට පත්වෙලා විනාශ වෙන දේවල් වලට ඇලුනොත් බැඳුනොත් අපට දුකක් අසහනයක් දැනීම සාමාන්‍ය දෙයක්. දුක නොවේවා කියලා පැතුවයි කියලා ඒ දුකෙන් මිදෙන්නට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා කල යුතු වන්නේ ඒ දුක ඇතිවන අවස්ථාවන් හඳුනාගෙන ඒ ඇලීම බැඳීම ඇතිකරගත් දෑහි යථාර්ථය අවබෝධ කරගෙන ඒවාට ඇති ඇලීම, බැඳීම දුරු කරගැනීමයි.
කුමන ආකාරයක හෝ පැවැත්මක් ඇතිනම් එය සදාතනික සුවයක් සැපයක් ඇති දෙයක් ලෙසින් ගැනීම මුලා දෘෂ්ඨිය නිසාම ඇතිවන අදහසක් මිස සත්‍ය අදහසක් නොවේ. ඉතින් ආදීනවය නම් එවැනි දේට ඇලී, බැඳී උපාදානය කලහොත් ස්ථිර ලෙසින් දුක අත්දකින්නට සිදුවීමයි. ඉතින් දෘෂ්ඨි උපාදනය නිරෝධය කරන්නට නම් ඒවැනි මුලා දෘෂ්ඨින්ගේ යථාර්ථය අවබෝධ කරගැනීම වඩාත් ප්‍රායෝගිකයි. මුලාව මුලාව ලෙසින් දැක එයින් මිදීම සුවයක් ලෙසින් දකින්නට මනස හුරු කරගන්නේ නම් දෘෂ්ඨි උපාදානයන්ගෙන් මිදීම සිහිනයක් නොවන්නේමය.
දීර්ඝ ලෙසින් ආයුෂ තිබෙන නිසාම සදාකාලික අත්බැව් යැයි මුලා සිත් ඇතිකරගෙන සුවසේ වෙසිය හැකි අත් බැව් සඳහා සිත අලවා ඒවා කෙරෙහි බලාපොරොත්තු තබාගන්නේ උපාදාන කරන්නේ මුලාව නිසාමයි. පැවැත්මක් වේ නම් ඒ හටගත් දේ විපරිණාමයට පත්වී විනාශයට පත්වීම කොතැනක වුවත් යථාර්ථයයි. දීර්ඝ ලෙසින් ආයුෂ තිබුණද ඒවාටත් ඒ ස්වභාවය උරුමයි. ඒ නිසා ඒවා උපාදාන කර සතුටක් සැපයක් බලාපොරොත්තු වීම තමන්ගේ නොදැනුවත්කම හෙවත් මුලාවම බව අවබෝධ කරගන්නේ නම් අත්ථ භාව / ආත්ම වාද උපාදානයෙන් මිදෙන්නටත් හැකියාවක් ලැබෙනවා නියතයි.
නොයෙක් නොයෙක් සිල් වත් කෙරෙහි ඇලී බැඳී තමන්ගේ විමුක්තිය සොයන්නේ නම් හෝ සුවයක් සැපයක් සොයන්නේ නම් හෝ එයද මුලා අදහසක්ම මිස විද්‍යා අදහස නොවේ. මුලාව දුරුකරගන්නේ යම් සේද උපාදානය නිරෝධය කරගත හැකිවන්නේමය. උපාදානය නිරෝධ කරන්නට මගක් වේ නම් එය ඇසුරු කිරීම නිර්වාණය පිණිසම හේතු වේ.
තමන් දැඩි ලෙස ඇලෙන්නට බැඳෙන්නට යොමුවෙන යම් සත්වයෙක් වේ නම් යම් පුද්ගලයෙක් වේ නම් යම් ද්‍රව්‍යයක් වේ නම් හෝ යම් වස්තුවක් වේ නම් ඒවා හේතුවක් නිසාම හටගත් දෑ නොවේදැයි මෙනෙහි කරන්නට පෙළඹීම එහි යථා ස්වභාවය මතක් කොට දීමට හේතු වේවි. හේතුවක් නිසා ගොඩනැගුණු පහල වුණ හටගත්ත විද්‍යාමාන වන යමක් වේ නම් එසේ සකස් වූ සියලු දෑ විපරිණාමයට පත්වී විනාශයට පත්වීම ස්වභාවය කොට ගෙන තිබේ. එවැනි දේට ඇලී බැඳී දැඩි ලෙසින් අල්ලා ගන්නා තරමින් ඒවා තමන්ට රිසි සේ පවත්වන්නට අදහස් පහල වේ. ඒත් ඒවායේ යථාර්ථය නිසාම ඔබට එසේ කරගන්න නොහැකි වෙනවා. එවිට ගැටෙන්නට පෙළඹීමත් දුකට පත්වීමත් අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඉතින් වඩාත් සුදුසු දේ නම් ඒ යථාවත් බව මෙනෙහි කොට ඔබට පත්වෙන්නට සිදුවෙන ආදීනවය යලි යලිත් මෙනහි කිරීමට පෙළඹීමයි. ඒවායෙන් මිදුනු විට ඔබට ලබන්නට හැකි සැනසීම තව තවත් මෙනෙහි කරමින් ආනිශංස මෙනෙහි කරන්නට යොමුවීමයි. යථාවත් ස්වභාවය මෙනෙහි කරමින් නිතර ආදීනව මෙනෙහි කරන්නේ නම් අත්හැරී මිදී නොඇලී යාමේ ආනිශංස මෙනෙහි කරන්නේ නම් ඔබට ඒ සැනසීම වඩාත් දුර නොවේවි!
අතීතයේ යමෙක් උපාදානය නිරෝධ කලේ නම් අනාගතයේදී යමෙක් උපාදානය නිරෝධ කරන්නේ නම් ඒ මේ ආකාරයෙන්ම බව නුවණින් අවබෝධ කරගෙන උපාදාන නිරෝධයෙන් නිවන් සුව අත්දකින්නට සිත, කය, වචනය මෙහෙයවීම වඩාත් සුදුසු වේ!
පටිච්ච සමුප්පාදයේ උපාදානයේ චතු සත්‍යය අවබෝධයෙන් නිවනට පත්වෙන්නේ මෙලෙසයි. තම තම නැණ පමණින් විමසා යහපතක්ම කරගන්නට පෙළඹෙත්වා! 
සියලු ලෝක සියලු සත්වයෝ නිවී සැනසෙත්වා!

5 comments:

Kalindi De Silva said...

Hi Rajitha akka..,
well done.You have written this article very nicely. If you don't mind please try to increase the font size in the website. It will be easy and can increase the user-friendliness in the website.If you need any help on writing please let me know. I have some time in weekends.

Niwanama wethwa.

Kalindi De Silva said...
This comment has been removed by the author.
Chanaka Aruna Munasinghe said...

පටිච්ච සමුප්පාදය ගැන ලිපි පෙළ ආසාවෙන් කියවූවා. උපාදාන වලින් පසුව ඉතුරු කොටස් තුන ගැන ලිපි ලිවුවේ නැද්ද ?

10. භව
11. ජාති
12. ජරා මරණ - සෝක - පරිදේව - දුක්ඛ -දෝමනස්ස - උපායාස

බොහොම පින්.

Viduransi said...

@Chanaka
ඉක්මනින්ම ලැබෙන්නට සලස්වන්නම්...
ප්‍රමාදයට සමාවෙන්න...
තෙරුවන් සරණයි!

imantha said...

බොහොම පින්