Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, July 5, 2011

අනර්ථයක්ම ගෙන දෙන අන්තගාමී වීම!

අනර්ථයක්ම ගෙන දෙන අන්තගාමී වීම!
 (අප අතර සුලභ මාතෘකාවක් උදාහරණයට ගෙන සටහන් තබන්නෙමි)!
අපි අතරින් කෙනෙක් නිර්මාංශ වීම අගය කරනවා, තවත් කෙනෙක් මාංශ අනුභවය අගය කරනවා!  දැන් අපි මෙහෙම හිතමු...
සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ මුල්ම දේශනාව තුල තිබෙන මූලිකම කරුණ තමයි ලෝකයේ පුද්ගලයන් “ඇත“ යන අන්තයත් “නැත“ යන අන්තයත් ඇසුරු කරනවාය, එම ක්‍රමයන් දෙකම / එම අන්තගාමී වීම් දෙකම හීනය, ග්‍රාම්‍යයය, හිස් වු අර්ථ රහිත වැඩපිලිවෙලක්ය යන්න පැහැදිලි කොට පෙන්වා දීම.
දැන් අප බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා...

ලෝකයේ යම් පුද්ගලයෙක් නිර්මාංශ වීම හොදයි කියන අන්තයට ගොස් ඒ වෙනුවෙන් සිත, කය, වචනය මෙහෙයවා සිතනවා, කරනවා, කියනවා...
ලෝකයේ තවත් පුද්ගලයෙක් මස් මාංශ ආහාරයට ගැනීම හොදයි කියන අන්තයට ගොස් ඒ වෙනුවෙන් සිත, කය, වචනය
මෙහෙයවා සිතනවා, කරනවා, කියනවා...
දැන් මේ දෙපිරිසට සැනසීමක් ලැබෙයි කියලා ඔබට හිතෙනවද?
නිර්මාංශ වීම හොදයි කියන අන්තය අල්ලාගෙන සිටින පුද්ගලයාගේ කැමැත්ත තමයි ලෝකයේ සියලු දෙනාම හෝ වේවා බහුතරයක් පිරිස හෝ වේවා නිර්මාංශ වීම දැකීම.
මස් මාංශ ආහාරයට ගැනීම හොදයි කියන අන්තය අල්ලාගෙන සිටින පුද්ගලයාගේ කැමැත්ත තමයි ලෝකයේ සියලු දෙනාම හෝ වේවා බහුතරයක් පිරිස හෝ වේවා මස් මාංශ ආහාරයට ගන්නවා දැකීම.
මේ අන්ත දෙකේ ඉන්න පුද්ගලයන් දෙදෙනාම තම තමන්ගේ කැමැත්තට අනුව කටයුතු සිදුවෙනවා දැකීමට සිත, කය, වචනය මෙහෙයවනවා...
තවත් ආකාරයකට කියනවා නම් සංඛාර කරනවා... තවත් ආකාරයකට කියනවා නම් තමන් අල්ලා ගත්ත අන්තයට අනුව පින් හෝ පව් හෝ ඒ දෙකටම අයත් නොවන හෝ ලෙසින් සිතින් සිතනවා, කයින් කරනවා, වචනයෙන් කියනවා...
හේතුවට අනුවයි ඵලය ලැබෙන්නේ... ඒ කොහොමද කියලා අපි විමසා බලමු...
නිර්මාංශ වීම හොදයි වටිනවා කියලා අල්ලාගෙන එයට කැමැත්තක් ඇති කරගෙන නිර්මාංශ වීම කෙරෙහි හා වෙච්ච එයට කැමැත්තෙන් බැඳුනු පුද්ගලයා හැකි සෑම අවස්ථාවකම තමන් ඉන්නා අන්තය අල්ලාගෙන ඒ අනුව සිත, කය, වචනය මෙහෙයවනවා...
සිතුවිලි, ක්‍රියා, වදන් තුලින් නිර්මාංශ වීමම අගය කරනවා එහි වටිනාකම කියනවා අන් අයවත් තමන් කැමැත්තෙන් බැදී ඇති අන්තයට පත් කරගැනීමට තමන්ට හැකි පරිදි කටයුතු කරන්නට සිත, කය, වචනය මෙහෙයවනවා...මෙසේ සිත, කය, වචනය මෙහෙයවන තරමින් නිර්මාංශ වීමේ වටිනාකම දනවන අගය කරන එයට කැමැත්තෙන් බැදෙන්නට තව තවත් හේතු දෙවන සිත් පහල වෙනවා...  නිර්මාංශ වීමට සම්බන්ධව සිහින මවනවා... එයටම නැඹුරු වෙනවා... කෙටියෙන් කියනවා නම් දැන් ඒ පුද්ගලයාගේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන ඉන්ද්‍රීයයන් සමූහය කටයුතු කරන්නේ නිර්මාංශ වීමට සම්බන්ධවයි...
එසේ කටයුතු කරන්නට කරන්නට තමන්ට ලැබෙන ආශ්වාදය නිසාම තව තවත් ඒ නිර්මාංශ වීම නම් අන්තයටම හා වෙනවා... එහිම බැදෙනවා... එහිම ඇලෙනවා... තව තවත් නිර්මාංශ බවට පත්වෙනවා...
තවත් ආකාරයකින් කියනවා නම් කරවල කන එක අතහරිමින් නිර්මාංශ වීමට පටන් ගත්ත පුද්ගලයා කිරි මිශ්‍ර ආහාර පවා නොකන පුද්ගලයෙක් බවට එසේත් නැතිනම් තවත් දුරගොස් නිගණ්ඨනාථපුත්ත වැනි පරම අවිහිංසා වාදියෙක් බවට පත්වෙනවා...
ඉතින් මෙසේ පහල කරගත්තේ නිර්මාංශ වීම නම් අන්තයට ඒ ඒ මට්ටමින් පත්වූ ජාතීන් සමූහයක් තමයි... ජාතියක් කියලා කියන්නේ හේතුවක් නිසා හටගත්ත දෙයක්නේ... ඉහත කරුණට අනුව නම් නිර්මාංශ වූ පුද්ගලයෙක් බිහිවීමට / හටගැනීමට හේතු වුනේ නිර්මාංශ වීම හොදයි, වටිනවා කියලා ගත්ත දෘෂ්ඨිය නේද කියලා ඔබට හොදින් විමසා බලන විට පැහැදිලි කරගන්නට හැකිවේවි...
හේතුවක් නිසා හටගත්ත ජාතියක් වේ නම් ඒ ජාතිය හටගත්ත තැන් පටන් විපරිණාමයට පත්වෙලා විනාශයට පත්වෙනවා... ඒ කියන්නෙ එහි ජරාමරණ දකින්නට සිදුවෙනවා... ඒ වගේම ඔය ආකාරයටම මස් මාංශ ආහාරයට ගැනීම හොදයි කියන අන්තය අල්ලාගෙන සිටින පුද්ගලයාගේත් ජාතිය පහල වෙනවා...
එසේ නිර්මාංශ වීම කියන අන්තය හෝ වේවා මස් මාංශ ආහාරයට ගැනීම හොදයි / නිර්මාංශ නොවීම හොදයි කියන අන්තය හෝ අල්ලාගත්ත
පුද්ගලයන් දෙදෙනා විසින් තම තමන්ට රිසි සේ කටයුතු සිදුවෙනකොට ඇලෙනවා එයට විරුද්ධව කටයුතු සිදුවෙනකොට ගැටෙනවා...
ඇලෙන ගැටෙන තරමින් නැවතත් එම කටයුතු රැසම කරගෙන යන්නට ඇස, කණ, දිව, නාසය, කය සහ මනක් පහල වෙන්නට හේතු ඇතිවෙනවා... ඒ ඒ ඇලීම ගැටීම අනුව ක්‍රියාත්මක වීමට සුදුසු ඇස, කණ, දිව, නාසය, කය සහ මන නොයෙක් නොයෙක් අයුරින් පහල වෙන්නට හේතු ඇතිවෙනවා...  තවත් අයුරකින් කියනවා නම් නිර්මාංශ වීම සහ නොවීම යන අන්ත දෙකට බැසගත්ත පුද්ගලයන්ට ඒ අන්ත දෙකෙහි ක්‍රියාත්මක වීමට සුදුසු පරිදි හේතු අනුව නැවතත් කයක් පහල වෙනවා ...
නිර්මාංශ වීමේ අන්තය අල්ලාගත්ත පුද්ගලයා ඒ තමන් අල්ලාගත්ත අන්තය තමන්ට කැමති සේ පවත්වාගන්නට සිත, කය, වචනය හැසිරවූයේ යම් ආකාරයකටද ඒ ආකාරයට අනුව විපාකය ලැබෙනවා...
යහපත් ලෙසින් නිර්මාංශ වීමේ අගය පෙන්වා දෙමින් සැමට මෛත්‍රී සහගතව කටයුතු කරමින් සිත, කය, වචනය මෙහෙවූයේ නම් දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්... නිර්මාංශ වීමේ අගය පෙන්වා දෙන්නට සිත, කය, වචනය ගැටෙන පැත්තට ද්වේශසහගතව මෙහෙයවූයේ නම් සතර අපායට හිමි දුගතිගාමී අත්බැවයක් ලැබෙන්නටත් හැකියි... නිර්මාංශ තිරිසන් සතුන් ඕනෑතරම් අප අතර ඉන්නවානේ... ඒ විතරක් නෙවේ යක්ෂ, ප්‍රේත භූත කොට්ඨාශත් ඉන්නවා නිර්මාංශ... තමන් කැමැත්තෙන් බැදී අල්ලාගත්ත අන්තය තමන්ට රිසිසේ පවත්වාගන්නට සිත, කය, වචනය හැසිරවූයේ යම් ආකාරයකටද අන්න ඒ ආකාරය පවත්වාගන්නට සුදුසු ඇසක්, කණක්, දිවක්, නාසයක්, කයක් සහ මනක් තමයි විපාක ඵලය ලෙසින් තමන් ගොඩනැගූ හේතුවට අනුව පහල වෙන්නේ... අප දන්නවා අප අතරම නිර්මාංශ වීම සුදුසුයි කියා හෝ නිර්මාංශ නොවීම සුදුසුයි කියා හෝ තමන් තෝරාගත්ත අන්තයන්ගේ තුල කටයුතු කරමින් එකිනෙකා මරා දමන්නට තරම් ද්වේශයකින් කටයුතු කරගන්නා පිරිසක් සිටින බවට... හේතුවට අනුව ඵලය ලැබීම ධර්මතාවයයි... හේතු ගොඩනගමින් “ඵලය මට එපා එපා“ කිව්වට හේතු තිබෙන තාක් ඵලය ලැබීම සිදුවෙනවාමයි!

නිර්මාංශ වීමේ අන්තය එලෙසින් පැහැදිලි කල විට නිර්මාංශ නොවීමේ අන්තයට පත්වූ පුද්ගලයාටත් ඒ ආකාරයෙන්ම කටයුතු සිදුවෙන අයුරු ගලපාගන්නට බුද්ධිමත් ඔබට හැකියාවක් ඇති යැයි සිතමි...
මෙන්න මේ හේතු ඵල දහම නිසාම තමයි සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් “ඇත“ හෝ “නැත“ කියන අන්තයන්ට පත්වෙන්නට එපාය එය අනර්ථයක්ම ගෙන දෙන අසාර වැඩපිලිවෙලක්ය ලෙසින් පෙන්වා දුන්නේ... ඒ නිසා අන්ත වලට පත්නොවී මාධ්‍යය තුලින් මධ්‍යම පටිපදාව තුලින් නිවන් අවබෝධ කරගන්නට උපදේසයක් දුන්නා...
මොකක්ද මේ මාධ්‍ය හෙවත් මධ්‍යම පටිපදාව කියලා කියන්නේ?
ලෝකය නම් අන්ත දෙකෙන් යුක්තයි... තවත් අයුරකින් කියනවා නම් ගිනි ගොඩක්... ඒ අන්ත දෙකෙන් කොතැන අල්ලාගත්තත් අවසන විනාශයම තමයි... සාමාන්‍යයෙන් කියන්නේ අන්තගාමී නොවී මද පමණින් අල්ලා ගන්න කියලනේ... ඉතින් මේ ගිනිගන්නා ලෝකය තුල අන්ත 2 අතහැර මැද්දක් කියලා මද පමණින් හෝ අල්ලාගන්නට අල්ලාගෙන සැනසෙන්නට හැකියාවක් තිබේදැයි තමන්ගෙන්ම විමසා බලා තීරණය ගත යුතු වෙනවා... ඒ නිසා මධ්‍යම පටිපදාව ලෙසින් සම්මා සම්බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්නේ අතහැරීමේ, මිදීමේ, නොඇලීමේ මාධ්‍යම නොවේදැයි ඔබට වටහාගන්නට අපහසුවක් නොවේවි යැයි සිතමි!
දැන් හිතන්න ඔබ නිර්මාංශ වීම හෝ නොවීම යන අන්තයන්ට කැමැත්තක් ඇති කරනොගෙන කටයුතු කරනවා කියලා...
ධර්මය තුලින් යම් පුද්ගලයෙකුට වැටහෙනවා මේ ලෝකය පවතින්නට සුදුසු තමන්ගේ කැමැත්තට අනුව කටයුතු ඉටු කරගන්නට හැකි සුවදායී තැනක් නොවේ කියලා... එතැන් පටන් ඒ පුද්ගලයාගේ කැමැත්ත තමයි මේ ලෝකය අත්හැරී මිදී නොඇලී යාම...
ඒ පුද්ගලයාට ලෝකය අත්හැරී මිදී නොඇලී යාම පිණිස උපකාර වන්නේ යම් ධර්මයක්ද එය උපයෝගී කරගෙන තමන්ගේ අරමුණ ඉටුකරගන්නට තමයි ඒ පුද්ගලයා දැන් කටයුතු කරන්නේ...
තමන් කැමැත්තෙන් බැදෙන්නේ යමකටද ඒ අනුව සිත, කය, වචනය මෙහෙයවී ඒ ඒ තැනට හා වීමෙන් සිදුවන අකරතැබ්බය හෙවත් තමන්ට අත්විදින්නට වන සසර දුක පිළිබදව මනා අවබෝධයක් ධර්මය දකින පුද්ගලයාට ලැබෙනවා...
ඉතින් ඒ පුද්ගලයා යම් හේතුවක් නිසා නිර්මාංශ වූවා නම් එයට ඇලී ගැලී බැදී ඒ අන්තයටම පත්නොවී සුදුසු පරිදි තමන්ගේ අරමුණට ලගා වෙනවා...
ඒ පුද්ගලයෙක් යම් හේතුවක් නිසා මස් මාංශ ආහාරයට ගන්නවා නම් එයට ඇලී ගැලී බැදී ඒ අන්තයටම පත්නොවී සුදුසු පරිදි තමන්ගේ අරමුණට ලගා වෙනවා...
ධර්මාවබෝධයට පත්වූ පුද්ගලයාට අන්තගාමී වීමක් නැතිවන්නේ ඒ අන්තගාමී වීමේ හේතු ඵල දහම් න්‍යය තමන්ට අවබෝධ වී ඇති නිසා හේතු නිපදවීමෙන් ලැබෙන ඵලයන් දැකගන්නට වටහාගන්නට හැකි නිසයි...
තවත් ආකාරයකට කියනවා නම් ලෝකය යනු ඔය කියන “ඇත“ සහ “නැත“ කියන අන්ත දෙකෙන් යුක්ත බව වටහාගෙන ඒ අන්තයන් දෙකට පත්වීමේ නුසුදුසු බව වටහාගෙන එවන් වූ ලෝකය අත්හැරී මිදී නොඇලී යන ක්‍රම වේදයට පත්වෙනවා...
නිර්මාංශ වීමේ අන්තයට ඇලීමක් නැති තරමින් එයට විරුද්ධව දේ එනවිට ගැටීමක් නැතිවෙනවා... නිර්මාංශ නොවීම හෙවත් මස් මාංශ අනුභවයට ඇලීමක් නැති තරමින් එයට විරුද්ධව දේ එනවිට ගැටීමක් නැතිවෙනවා...
මේ අන්ත දෙකට ඇලීම ඇති පමණින් ගැටෙනවා... මේ අන්ත දෙක අතහැරී ඇති පමණින් සැනසීම ලැබෙනවා... දැන් ඔබ ඔබේ සිතට මේ ධර්ම න්‍යය යොදා බලන්න... ඔබ ඉන්නේ කුමන අන්තයකද කියලා සොයා ගන්නට හැකිවේවි තමන්ට ගැටීම ඇතිවන කරුණ හොයාගන්නට හැකිවුනෝතින් හොඳයි නේද?
උදාහරණයක් විදියට ඔබ නිර්මාංශ වීමේ අන්තයට පත්වී ඇති අයෙක් නම් ඔබට නිර්මාංශ වීමට විරුද්ධව කරුණු කාරණා මතුවන තරමින්
ගැටීමට පත්වේවි... අසහනයක් දුකක් හිතට දැනේවි...
ඔබ නිර්මාංශ නොවීමේ අන්තයේ නම් ඔබට එයට විරුද්ධව කරුණු මතුවන තරමින් අසහනය දුක ගැටීම ඇතිවේවි...
අසහනය එනවිට අසහනය හදුනාගෙන අසහනයට හේතුව සොයාබැලුවොත් ඔබට ඔබ පත්වී සිටින අන්තය සොයාගන්නට හැකිවේවි... අන්තය සොයාගත්තා නම් අන්තගාමී නොවී කටයුතු කරගන්නට මාර්ගයත් පැහැදිලි වේවි... හීන වූ, ග්‍රාම්‍ය වූ, හිස් වැඩපිලිවෙලක් වූ, අනර්ථයක්ම ගෙන දෙන්නාවූ අන්තයන් දෙකට පත්නොවී තමන් කියන, කරන, සිතන දෑ මේ අන්තයන් අත්හැරී මිදී නොඇලී යන මාර්ගයට පත්කරගන්නේ යම් දිනකද එතැන් පටන් ඔබ පත්වී සිටින්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයටයි!
යම් මොහොතක, යම් දිනක එහි කෙලවර අත්හැරී මිදී නොඇලීමේ ශාන්තිය සහිත වූ නිර්වාණයයි!
දැන් ඔබ විසින් ඔබේම නුවණින් විමසා පහත ගැටලු වලට තම තමන්ම පිලිතුරු සපයාගෙන තීරණයකට පත්විය හැකියි...

නිර්මාංශ වීමේ අන්තයද වඩාත් සුදුසුද?
නිර්මාංශ නොවීමේ අන්තයද වඩාත් සුදුසුද?
එසේත් නැතිනම් මේ අන්ත දෙකටම පත්නොවී ඒ අන්ත දෙකෙන්ම මිදී යන වැඩපිලිවෙලද වඩාත් සුදුසුද?
තවත් වැදගත් කරුණක් මෙයටම සම්බන්ධ කොට සටහන් තැබීම සුදුසු යැයි සිතමි...
ධර්මාවබෝධයට පත්නොවෙන තාක් අප විසින් මේ “ඇත“ සහ “නැත“ යන අන්තයන්ට පත්වූ අසාර වූ වැඩපිලිවෙලක යෙදී සිටිනවා...
ඒ වැඩපිලිවෙල තුල යහපත මෙන්ම අයහපතද ගැබ්වෙලා තිබෙනවා...
ඒ නිසාම අපට යහපත් මෙන්ම අයහපත් විපාකද ඵලයන් ලෙසින් ලැබී තිබෙනවා...
නිර්මාංශ වීමේ හෝ වේවා නිර්මාංශ නොවීමේ හෝ වේවා වෙනත් මොන යම් හෝ වේවා කරුණක් ගෙන ඒ ඒ අන්තයන්ට පත්වූ පුද්ගලයා
විසින් සිත, කය, වචනය හසුරවන ස්වභාවය තුල යහපත ගැබ්වන්නේ යම් තරමින්ද එපමණින් යහපත් විපාකයක්ද අයහපත ගැබ්වන්නේ යම් පමණකින්ද එපමණින් අයහපත් විපාකයක්ද ලැබීම හේතු ඵල දහමේ ස්වභාවයයි.
ඒ නිසා ඔය අන්තයන්ට පත්වී ඒවා 100%ක්ම සුපිරිසිදු සුදුසුම දේ ලෙසින් තීරණයට පත්වෙන්නට මේ හේතුඵල දහම හරි හැටි නොදන්නා කිසිවෙකුටත් නොහැකියි... සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් පමණයි සියලු හේතු දැක දැන කටයුතු කරන්නේ...
ඒ නිසා උන්වහන්සේටම පමණයි තවත් කෙනෙකුට කරන්නට සුදුසු දේ සහ නුසුදුසු දේ සුදුසු පරිදි තත්වාකාරයෙන් පෙන්වා දෙන්නට හැකියාවක් තිබෙන්නේ...
සියලු හේතු තබා මූලික හේතු ඵල දහම පිළිබදවත් අවබෝධයක් නැති අයෙකු විසින් “ඇත“ හෝ “නැත“ යන අන්තයන්ට පත්ව කරන කියන කටයුතු තමන්ගේ විනාශයටම හේතුවෙනවා මිස ඉන් ලැබෙන යහපත බොහෝම අල්ප මාත්‍රයක් විය හැකියි...
සසර ගනුදෙනු අනුව ලෝකය පවතින හේතු ඵල ක්‍රමරටවක් තිබෙනවා...
ඒ ක්‍රම රටාව වටහාගන්නට හැකියාවක් ලැබෙන්නේ සත්ධර්මය තුලින්මයි... ඒ හේතු ඵල දහම නොදන්නා තාක් සර්ව සාධාරණ ලෝකයක් පතමින් තමන් සිටිනා අන්තයම ජයග්‍රහණය කරවන්නට ලෝක සත්වයා කටයුතු කරනවා... ඒ තුලම නැසෙනවා... ඒ තුලම යලි හටගන්නවා... යලිත් නැසෙනවා... කෙලවරක් නැති ගමනක යෙදෙනවා... අනන්ත දුකට පත්වෙනවා...
සියලු අන්තයන් අතහැරී මිදී නොඇලී යන මාධ්‍ය හඳුනාගන්නට උත්සාහ කරන තරමින් ඔබට සැනසීම උදාවනු නියතයි!


No comments: