Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, September 8, 2011

මායාකාරයෙකුගේ මායාව දකිමුද?

ඔන්න දවසක් මට බොහෝ දුරක් ඇවිදීමට සිදුවුණා... කකුල් දෙක හොදටම රිදෙන්න ගත්තා මහන්සිය එන්න එන්නම වැඩිවුණා... මට හිතුනා දැන් වැටුණා තමයි අයියෝ දැන් නම් මැරුණම තමයි කියලා... මම වැඩිය ඇවිදින්න කැමති නෑ කියලා මතක් වෙන තරමටම මහන්සිය තෙහෙට්ටුව එන්න එන්නම දෙගුණ තෙගුණ වුණා... ඒත් එකපාරටම මතක් වුණා “අයියෝ මම කොච්චර මෝඩයෙක්ද“ කියලා...

මට මතක් වුණා මේ පියවර තබන හැම වාරයක්ම මගේ පළවෙනි පියවරනේ කියලා... එක්වරක් වම් කකුල තබනවා එක්වරක් දකුණු කකුල තබනවා... කොහොම වෙතත් තබන්නේ ඒ මොහොතට අදාල පලවෙනි පියවරනේ කියලා... මගේ මෝඩ විඤ්ඤාණය තමයි මට අදහස් දෙන්නේ “ඔන්න ඔහේ මෙච්චර දුරක් ඇවිද්දා... මෙච්චර පියවර ගාණක් තිබ්බා... මෙච්චර මහන්සියි දැන්... තව මෙච්චර ඇවිදින්න තියෙනවා...“ ආදී වශයෙන්...

ඉතින් ඔන්න මම හිතන්න ගත්තා... හිතන්න... හිතන්න... මෝඩ රජිතා හිතන්න... මේ මගේ පළවෙනි පියවර නම් කොහොමද මට මෙච්චර මහන්සියක් දැනෙන්නේ? මට මතක් වුණා බස් රථයෙන් බැස්ස වෙලාවේ තියපු පළවෙනි පියවර... ඒ වෙලාවේ මගේ කයට මහන්සියක් තිබුනේ නෑනේ... ඉතින් ඒ වගේ මේ හැම පියවරක්ම මම පළවෙනි වතාවටනේ තියන්නේ එහෙනම් කොහොමද මට මෙච්චර මහන්සියක් දැනෙන්නේ? ඒත් එක්කම මගේ මහන්සිය අඩුවෙමින් යනවා කියලා මට දැනුණා... වම් පියවර... දකුණු පියවර... කොහොම වෙතත් තියන්නේ පළවෙනි පියවර... පළවෙනියටම තියෙන පියවරක් කවදාවත් මහන්සියක් ගෙන දෙන්නේ නෑනේ... මගේ ගමනාන්තයටත් ආවා... මට හිතුනා තවත් කිලෝමීටර් ගණනාවක් වුණත් යන්න පුළුවන්නේ කියලා...

මම කියන්නේ නෑ මේ ක්‍රමයට කකුල් රිදෙන එකවත් හති දමන එකවත් අතුරුදහන් වෙලා යනවා කියලා... ඒවා ලැබෙන විදියට ලැබේවි... ඒත් ඔබට “දැන් මැරෙන්න තරම් මහන්සියි“ කියලා මනසට දැනෙන වේදනාව හැගීම නම් නැතිවෙලා කොච්චර දුරක් වුණත් ඇවිදින්න පුළුවන් වෙනවා ෂුවර්ම ෂුවර්! මේ අවස්ථාවට පසුව මම මේ ක්‍රමය මට හැකි සෑම අවස්ථාවක සෑම දෙයකටම අත්හදා බලන්න පටන් ගත්තා... තවමත් කරනවා... පුරුද්ද වැඩිවෙන තරමටයි ප්‍රතිඵල වැඩිපුර ලැබෙන්නේ... බොහෝ අවස්ථාවල මගේ දිනචරියාවට අදාල කටයුතු බොහෝමයක් මටත් නොදැනුවත්වම ඉතාමත් සාර්ථකව ඉවර කරගන්නට මට හැකිවෙනවා... හැම මොහොතකම මට මහන්සියක් දැනෙනකොට... “දැන් නම් ඇති“ කියන හැගීම දැනෙන කොට මම මේ ක්‍රමය අනුගමනය කරමින් හිතන්න පුරුදු වුණා... තවමත් එය වර්ධනය කරගෙන යනවා...

මොහොතින් මොහොත ගෙවි ගෙවී යනවා... හැම මොහොතක්ම අලුත්ම මොහොතක්... වරක් මම අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ “Opening the door of your heart” නම් කෘතිය කියවන විට එහි එක් කථාවක් තිබුණා මේ වගේ ක්‍රමයක් පැහැදිලි කරලා... තමන්ට ලැබුණ අධික රාජකාරි පිලිබදව තරහා ගිය හිමි වරුන්ට අජාන් චා හිමියන් විසින් දුන්න පුංචි උපදෙසක් තමයි ඒ කථාවේ ගැබ්වෙලා තිබුනේ... උපදෙස තමයි “ඔබේ ප්‍රශ්ණය තමයි ඔබ හිතනවා වැඩියි“

ඒකනම් ඇත්ත... අපේ ඇත්තම ප්‍රශ්නේ තමයි අපි හිතනවා වැඩියි... හිතන්නේත් අවශ්‍ය දෙයක් ගැන නෙවේ... හිතන්න ඕන අනිවාර්යෙන්ම හිතන්න ඕන... ඒත් හිතන්නේ මොනවද කියලා තෝරගන්නත් ඕන... අපි යමක් කරන්නට පටන් ගත්තාම ඒ ගැන හිතන තරම පොඩ්ඩක් හිතලා බලන්නකෝ... “මට කවදා මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද? මට තව කොච්චර කාලයක් මේකට යයිද? මට තව කොච්චර මහන්සි වෙන්න වෙයිද? තව කොච්චර ඉවර කරගන්නට තියෙනවද? කොච්චර වෙහෙසද මේක කරන එක? “ ඔය වගේ දහසක් සිතිවිලි එක්ක තමයි යම් වැඩක් කරන්න පටන් ගන්නේ... කරන්නේ... කරලා ඉවර වෙන්නෙත් එහෙමයි...

ඉතින් එහෙම හිතන්න හිතන්න අපිට දැනෙන්නේ අපි මහා විශාල වැඩක් කරන්න පටන් අරගෙන ඒක ඉවරයක් නෑ වගේ... අපේ විඤ්ඤාණය විසින් අපට එකතු කරලා දෙනවා ඔයා මෙච්චර කලා.. තව මෙච්චර කරන්න තියෙනවා... ඔන්න ඔය වගේ පොදි ගොඩක් අපට මවලා දෙනවා ඔන්න කරපං කියලා... දැන් ඉතින් මහන්සියිනේ කොහොමත්... කයේ වෙහෙසට වඩා මනසෙන් හදාගත්ත මහන්සිය තමයි ඔය දැනෙන්නේ...

ඇවිදීම උදාහරණයක් වශයෙන් ගෙන මේක හදුනාගන්න බලමුකෝ...

අපි ඇවිදින්න කියලා පියවරක් තබන මොහොතක් ගැන සිතන්න... මෙය කියවන ගමන් පරිඝණකය අසල හිටගෙන පියවරක් තබලා ප්‍රායෝගිකව අත්හදා බලන්නකෝ... එතකොට ඔබට මෙය වටහාගන්නට පහසු වේවි... අපි පියවරක් තබන්නට අදහස් කරලා පියවර ඔසවනවා කියන්නේ ඒ පියවරේ උපත හෙවත් ආරම්භයයි... එය පොලොවෙන් එසවූ මොහොතේ පටන් නැවත පොළොවට තබන මොහොත වෙනකම් ඔසවාගෙන ඉදිරියට ගෙන යන අවස්ථාව ඒ පියවරේ වෙනස්වීමට ලක්වන හෙවත් විපරිණාමයට පත්වන කාල සීමාවයි... පොලොවට පතිත වුණා... පොළොව ස්පර්ශ කරනවා කියලා කියන්නේ ඒ අපි ඔසවා තැබූ පියවරේ අවසානය හෙවත් මරණයයි... නැවත ආරම්භ කරන්නේ අලුත්ම තත්වයන් යටතේ අලුත්ම පියවරක්...

බලන්න මේ රූප සටහන දිහා... 
මේ පුංචි මොහොතත් තවත් අවස්ථා මිලියන ගණනකට බෙදා වෙන් කරලා බලන්නට අපිට පුළුවන් වුණත් මේ යථාර්ථය අවබෝධ කරගන්නට යමෙකුට එච්චර ගැඹුරට කිදා බහින්නට අවශ්‍යතාවයක් වෙන්නේ නෑ... මෙන්න මේ අවස්ථාව හොදටම වටහාගන්නට හැකි නම් ඔබ මෙතෙක් නොදුටු යථාර්ථය ඔබ ඉදිරියේ මතුවේවී... එක් අවස්ථාවක් හරියටම අවබෝධ කරගන්නවා කියන්නේ ප්‍රඥාවෙන් අනෙක් අවස්ථාවනුත් ඒ ලෙසමයි කියලා දැනගන්නට හැකිවෙනවා.

ඉතින් මේ වගේ උදාවෙමින් වැය වෙමින් යන මොහොතවල් රාශියක් එකතු කරලා අපට දනවන දේ තමයි “මම ඇවදිනවා, ඇවිද්දා...“ යන හැගීම... ඇත්තටම අපි ඇවිදිනවද කියලා ඔබේ නුවණින් හිතා බලන්නට පුළුවන්... ඇත්තටම අපි කරන්නේ මෙන්න මේ අවස්ථා පොදි රාශියක් එකතු කරලා මැනගැනීමක් කරගන්නවා ඒ තුලින් විශ්වාස කරනවා අපි මෙච්චර ඇවිද්දා... මෙච්චර ඇවිදිනවා... මෙච්චර ඇවිදින්න තියෙනවා වගේ නොයෙක් දේවල්...

ඉතින් අනෙක් හැම අවස්ථාවක්ම මේ හා සමානයි... ඉහතින් පෙන්නුවේ ඉතාමත් සරල උදාහරණයක් පමණයි... එවිට මේ මායා මුලාව හදුනාගන්නට හැකිවෙනවානේ... ඒ වගේ හදුනාගන්නට හැකිවෙන සෑම මොහොතකම දියුණු වන්නේ ප්‍රඥාවයි... එයම තමයි සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් උපමාවකින් පෙන්වා දුන්න “විඤ්ඤාණය නම් මායාකාරයා“ ගැන හදුනාගන්නට උපකාර වෙන්නේත්. විඤ්ඤාණය කියන මැජික්කාරයාගේ මැජික් බොහෝම බලවත් අපිව අමාරුවේ දාන්න... ඒ නිසා ඒවා නිසි පරිදි හදුනාගැනීම අපේම ගැලවීමට හේතුවෙනවා... මේ ක්‍රමය පුරුදු වෙනවා කියන්නේ මැජික් කාරයව අතේ මාට්ටු කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එකයි... ආයෙත් නම් සෙල්ලම් දාන්න එන එකක් නෑ... දිගටම අල්ලාගන්න නිතරම පුරුදු පුහුණු කරන්න වෙනවා... හරියට පොලිසියේ හොරු මංකොල්ලකාරයන්ව අල්ලන්න පුහුණු වෙනවා වගේ... ඉතින් මට නම් විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි කියලා... මොකද මේ සරල එහෙත් ඉතාමත් බලගතු ක්‍රමය තුලින් අත්හැරීම මිදීම නොඇලීමට සිත වර්ධනය කරගන්නට ඉතාමත් රුකුලක් ලැබෙන බව අත්දැකීමෙන් දැනෙන නිසයි. මෙම ක්‍රමය තුලින් සත්ධර්මයේ සදහන් වන සෑම සියලු භාවනා ක්‍රමයක්මත් ආවරණය වෙනවා කියලා දැනෙනවා... එය ඔබටත් ඔබේ නැණ පමණින් වටහාගන්නට හැකිවේවි.

මෙම ක්‍රමය තුලින් රාග, ද්වේශ, මෝහයන්ගෙන් මිදෙන්නට පහසුවක් ලැබෙනවා... ඔබට තරහා යනවා නම් ඒ මොහොත ගැන මෙනෙහි කරන්න... හිතලා බලන්නට බෙදලා බලන්න කේන්ති ගියේ තරහා ගියේ මොන වගේ මොහොතකටද කියලා... ඇත්තටම වෙලා ඇත්තේ විඤ්ඤාණය කියන මායාකාරයගේ මැජික් කෑල්ලකට ඔබ රැවටිලා අහුවෙලා කියලා ඔබටම එවිට වටහාගන්නට හැකිවේවි... ඒ මායාකාරයා විසින් ඔබට පොදියක් පෙන්නලා කියනවා “මෙන්න මේක වලියක් දාගන්න ගහ මරාගන්න රණ්ඩු වෙන්න කේන්ති ගන්න තරම් සුදුසු වටිනාකමක් තියෙන දෙයක්“ කියලා... අනේ ඉතින් අපිත් අපූරුවට අහුවෙනවා... මේ ක්‍රමය පුරුදු කරන්න ඔය බොරු මායම් වලට ඔබව කොටු කරගන්නට ඔය මායාකාරයින්ට බැරිවේවි... තරහා යන කොට තරහාගන්න තරම් දෙයක් තිබුනේ නෑ කියලා වැටහේවි...

“ඒයි මෝඩයා...“ ඔන්න කණට ඔය වචනය ඇහුන ගමන් කේන්ති යනවා... තරහා යනවා... “කව්ද මට මෝඩයා කිව්වේ? ඒකා කොහොමද මට මෝඩයා කියන්නෙ?“... ඔය වගේ සිතිවිලි ගොඩයි... ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න ඇත්තටම මොකද වුනේ ඇත්තටම ඇහුනේ මොකක්ද කියලා...

කව්රු හරි ඔබට “මෝඩයා“ කිවවොත්... ඇත්තටම ඒ පුද්ගලයා ඔබට “මෝඩයා“ කියලා ද කිව්වේ? නෑ මිත්‍රයා ඒ වෙලා තියෙන්නෙත් මායාකාරයගේ තවත් උගුලකට ඔබ අසුවෙලා පමණයි...

යමෙක් ඔබට “මෝඩයා“ කිව්වම ඒ පුද්ගලයාගෙන් මුලින්ම පිටවෙන්නේ “මෝ“ කියන ශබ්දයයි... දෙවැනුව “ඩ“ ශබ්දය පිටවන කොට “මෝ“ කියලා මුලින් කියපු ශබ්දය අතීතයට එකතු වෙලත් ඉවරයි... “ඩ“ ශබ්දය ඔබට ඇසෙන ප්‍රමාදයට “යා“ ශබ්දය ලැබෙනවා... ඔබ විසින් “යා“ ශබ්දය අහන පරක්කුවට “මෝ“ සහ “ඩ“ ශබ්ද දෙකම අතීතයට එකතු වෙලා ඉවරයි... දැන් ඉතින් මායාකාරයා කඩිමුඩියේ වැඩ පටන්ගෙන අතීතයට එකතු වෙච්ච මතක සටහන් ටික ඔක්කෝම එකක් බවට එකතු කරලා මවනවා... “මෝ + ඩ + යා“ එකතු කරලා ඔබට දෙනවා අදහසක් අන්න අහගත්තා නේද “මෝඩයා“ කියලා වචනයක් ලෙසින්... මෙය පහසුවෙන් වටහාගන්නට හැකිවේවි යැයි සිතා මම පුංචි සටහනක් හැදුවා... බලන්න වැටහෙනවද කියලා...
දැන් තේරෙනවානේ ඇත්තටම අපි ඇලෙන්නේ ගැටෙන්නේ ගෙවී ගිය අතීත මතක සටහනකට මිසක් වර්ථමාන මොහොතකට නෙවේ... වර්ථමානය කියලා හිතාගෙන රැවටිලා ඉන්නේ මතක සටහන් සමූහයකට පමණයි... ඇයි දෙයියනේ අතීතයට එකතු වෙච්ච සටහන් සමූහයකට පණ ඇරගෙන බැදෙන්නයි පණ එපා කියලා සටන් කරන්නයි කොච්චර නම් මෝඩ වෙන්න ඕනද අපි... එහෙම නේද? ඉතින් ඔය ටික වටහා ගන්න තරමට ඇලීමෙනුයි ගැටීමෙනුයි මිදෙන්නත් හැකියාවක් ලැබෙනවා නියතයි... මන්ද පෞද්ගලිකව මටනම් ලැජ්ජයි මම මේ විඤ්ඤාණය නම් මායාකාරයගේ උගුලට අහු වෙලා ගෙවිලා ඉවර වෙච්ච අතීත මතක සටහන් ටිකක් බදාගෙන තුරුලු කරගෙන ඇලෙනකොට ගැටෙන කොට... කොච්චර නම් මෝඩයෙක්ද කියලා සිහිවෙනවා... එතකොට ලජ්ජාවේ පණ යනවා... ඉක්මනටම ඒ තත්වයෙන් මිදුනේ නැතිනම් වෙන නස්පැත්තියත් දකිනවා... ඇත්තටම ඒ ලජ්ජාවම මට මහත් ශක්තියක් උනන්දුවක් ඇතිකරවනවා ඉක්මනින්ම මේ වැඩකට නැති රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදීම පිණිස!

ඉතින් මෙන්න මේ සිද්ධාන්තයම තමයි ඇසෙන් දකින සෑම රූපයකටමත්, කණෙන් අසන සෑම ශබ්දයකටමත්, නාසය දනවන සෑම ගන්ධයකටමත්, දිවට දැනෙන සෑම රසයකටමත්, කයට දැනෙන සෑම ස්පර්ශයකටමත් විතරක් නෙවේ මනසට දැනෙන සෑම සිතිවිල්ලකටමත් පොදු ක්‍රම රටාව...

ඉතින් ඇලෙන ගැටෙන බැදෙන හැම මොහොතකම මෙන්න මේ පොදිය බෙදලා බලන්න... ඔබට මායාව දැකගන්නට හැකිවේවි... ඔබ මෙය පුහුණු කරන තරමටම ඔබට යථාර්ථය දිස්වේවි... යථාර්ථය දිස්වෙන තරමටම ප්‍රඥාව නැගේවි... ප්‍රඥාව නැගෙන තරමටම ඔබට රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදෙන්නට හැකිවේවි... රාග ද්වේශ මෝහයන්ගෙන් මිදෙන තරමටම ඔබට මනසේ සැබෑම සැනසීම උදාවේවි... සැනසීම උදවෙන තරමටම ඔබට සැබෑම සතුට අත්දකින්නට හැකිවේවි... සැබෑම සතුට අත්දකින තරමටම ඔබගේ දුක කෙලවරක් වේවි! ඔන්න ඉතින් මේ කිව්වේ මගේ පුංචි අත්දැකීමක් සහ මම පුහුණු කරන ක්‍රම රටාවක්... ඉතින් මට නම් දැනෙනවා මේ ක්‍රමය අති සාර්ථකයි කියලා... ඉතින් ඔබට හිතෙනවා නම් පංච ඉන්ද්‍රීයයන් පිනවන එකෙන් මිදෙන්න බෑ කියලා මේ ක්‍රමය අත්හදා බලන්නකෝ... නිතරම කේන්ති යනවා නම් තරහා යනවා නම් එයිනුත් මිදෙන්න බෑ කියලා හිතෙනවා නම් මේ ක්‍රමය අත්හදා බලන්නකෝ... සාධාරණය වෙනුවෙන් සටන් කරන්නට හිතෙනවා නම් ඔබ පණ දෙන්නට හදන සාධාරණයේ යථාර්ථය කුමක්ද කියලා මෙන්න මේ විදියට බෙදලා බලන්නකෝ... ඔබට මේ මායා මුලාව වැටහෙන තරමටම ඔබ ප්‍රඥාවන්තයෙක් වේවි... ඔබ මෙය වටහාගන්නට උත්සාහ නොකරන තරමට ඔබ විඤ්ඤාණය නම් මායාකාරයාගේ වහලෙක් වෙලා මෝඩයෙක් වගේ මායාවක් ඇත්ත කියලා හිතාගෙන කාලය ගතකරාවි. තමන්ට වඩාත් සුදුසු වහලෙක් වෙලා මෝඩයෙක් වගේ කාලය ගත කරන එකද නැතිනම් නිවහල් නිදහස් ප්‍රඥාවන්තයෙක් වෙන එකද කියලා තම තම නැණ පමණින් තෝරාගෙන කටයුතු කරගන්නට මෙම පුංචි සටහන උපකාරයක්ම වෙත්වා! එහෙන්ම ඔබට සුභ පතනවා... තෙරුවන් සරණින් මුලාවෙන් මිදී සැබෑම ජය ලැබේවා කියලා පතනවා!

5 comments:

isu said...

really usefull akka, thanks ,

Solitude said...

Akki, is this similar to Udayanga, Aththangama, Ashwaada, Aadeenawa and Nissarana?? From the beginning to the end?

Viduransi said...

@Solitude,
Yes, It's the same... All the dhamma theories are connected to each other. So you can understand in the same manner you said too. Teruwansaranai!

තීර්ථ යාත්‍රිකයා said...

භූරිදත්ත මහතෙරුන්වහන්සේ ගැන ගූගල් සෙවුමක් දාද්දි අහම්බෙන් මේ අඩවියට ගොඩ උනේ. පුදුමාකර විදිහට වටිනවා ඔබතුමී කරන මේ වැඩේ. බොහෝම පින් ඔබතුමියට.

Viduransi said...

ගොඩක් ස්තූති! මෙය www.nirvanadhamma.com වෙබ් අඩවියේ බ්ලොග් අඩවියයි. මෙහි වෙබ් අඩවිය ඔස්සේද තවත් සත්ධර්මය ඇසුරු කරන්නට හැකියාව තිබෙනවා. තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!