Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, October 14, 2011

ආර්ය ශ්‍රාවකයාගේ අප්‍රමාදය පිණිස හේතුවන සුවිශේෂීවූ කරුණු

බුද්ධ දේශනාවෙන් ඇසුරින් කැටි කොටගත් ආර්ය ශ්‍රාවකයාගේ අප්‍රමාදයට හේතුවන කරුණු කීපයක් කෙටියෙන් පෙන්වා දෙන්නටයි මෙම ලිපිය යොදාගන්නේ. ඉතින් සෝතාපන්න ආදී මාර්ග ඵලයන් ලැබූ ආර්ය ශ්‍රාවකයෙකු වුවත් සමහර කරුණු කෙරෙහි සැලකිලිමත් නොවනු හොත් නිවී සැනසීම ප්‍රමාද වෙනවා... ඔහුගේ / ඇයගේ මාර්ග ඵලයන් පූර්ණයට පත්කරගෙන අරිහත්වයට පත්වීම ප්‍රමාද වෙනවා... ඒ නිසා ආර්ය අනාර්ය දෙපිරිසටම ඉතාමත් වැදගත් වෙන මේ කරුණු රැස කියවා එකින් එක නුවණින් විමසා තමන්ට හැකි උපරිමයෙන් තමාගේ ජීවිතයට ලං කරගෙන අප්‍රමාදී වීමට කටයුතු කරගැනීම ඔබට භාර කරමින් මෙසේ සටහන් තබන්නෙමි!

ආර්ය ශ්‍රාවකයාගේ අප්‍රමාදය පිණිස හේතුවන සුවිශේෂීවූ කරුණු මෙසේයි;
1. ආර්ය ශ්‍රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි
නිවීම පිණිසම සිත, කය, වචනයෙහි සංවරත්වයෙන් යුක්තව ආචර ගෝචර සම්පන්නව අංශුමාත්‍ර වරදෙහිත් බිය උපදවාගෙන ඒ ඒ ශික්ෂා පදයන්හි දැඩිකොට හික්මීම. 
2. ඉදුරන්හි වැසූ දොර ඇතියේ වෙයි
ඇස, කණ, දිව, නාසය, කය සහ මන ඉන්ද්‍රීයයන් තුලින් මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන් ඇසුරු කිරීමේ සංවරත්වය. කෙටියෙන් කියනවා නම්; රාග, ද්වේශ, මෝහයන් කෙරෙහි සිහියෙන් හිදිමින් මිදීම.
3. බොජුනෙහි පමණ දන්නේ වෙයි
මෙහි අදහස නම් ප්‍රත්‍යවේක්ෂා කොට ආහාරය ගැනීමයි. කෙසේද යත්; යම් ආහාරයක් ගන්නා විට “මම මේ ආහාරය ගන්නේ පංච කාමය ආශ්වාදයන් ලබමින්, කෙලි කවටකම් කරමින්, ක්‍රීඩාවන් කරමින්, සැරසෙමින්, ප්‍රමාද වෙමින්, මත්වීම පිණිස නොවේ. මේ කයෙහි යැපීම පිණිස, වෙහෙස සංසිදීම පිණිස, ආර්ය මාර්ගය පූර්ණයට පත්කරගැනීම පිණිස කය පවත්වාගැනීමේ අරමුණින් යුක්තවයි“ ලෙසින් සිතා අධිශ්ඨානයෙන් යුක්තව ආහාර ගැනීමයි. 

එහෙම ආහාර ගන්නා විට රසවත් ආහාරයක් කියලා තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නේ වත් රසවත් නැතැයි කියලා අවශ්‍යතාවයට වඩා අඩුවෙන් ආහාරයක් ගෙන කුසගින්නේ සිටින්නේවත් නැහැ. මන්ද එසේ ආහාරයක් ගන්නා විට තමන්ගේ සැබෑ අරමුණු රසය හෙවත් දිව පිනවන අරමුණ නොවන නිසා.
මෙන්න මේ පමණ නොදැනීම හෙවත් රස පිණිස ආහාරයක් ගන්නා විට එහෙම කාලයක් වේලාවක් ප්‍රමාණයක් නැතිව ආහාර ගන්නට අප පෙළඹෙනවා. 


ඉහත පරිදි පුරුදු කරන්න අද අදම උත්සූක වන්න... මෙය ඉතාමත් ප්‍රායෝගිකයි නිවැරදිව පුරුදු පුහුණු කලොත් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන බවට අත්දැකීමෙන්ම මට කියන්න පුළුවන්. මමත් මෙය පුරුදු පුහුණු කරනවා... මගේ දියුණුව මටම අත්දකින්නට හැකියි... පෙර මෙන් රස තෘෂ්ණාවෙන් ආහාර සෙවීම ක්‍රමයෙන් අඩුවෙමින් යන බව තමන්ටම අත්දැකගන්නට හැකියි... කුමන ආකාරයේ කෑමක් වුවත් තේරීම් බේරීම් නොකර කය පැවැත්වීමේ අරමුණෙන් යුක්තව ආහාරයට ගැනීමට කම්පාවකින් තොරව හැකියාව ලැබෙමින් පවතිනවා... එය දියුණු වෙලා දැන් මට දිනකට එක වේලකින් පමණක් යැපෙන්නට හැකි මානසිකත්වයක් ගොඩනැගිලත් තියෙනවා... ගිහි පරිසරයක ඉන්න නිසා අන් අයට අපහසුතාවයක් කරදරයක් නොවන පරිදි මේ කටයුතු කරගෙන යන්නට නුවණින් යුතුව කටයුතු කරගනිමින් බුදු හිමියන් පෙන්වූ අවවාදයන් උපදේසයන් නිවීම පිණිසම යොදාගෙන දියුණුව ලබන්නට හැකිවෙලා තියෙනවා... ඉතින් කව්රුවත් ඇවිත් කරලා දෙනකම් ඉන්නේ නැතිව තමන්ගේ හිතේ ධෛර්යෙන් අධිශ්ඨානයෙන් යුක්තව සැබෑවටම නිවීමේ ආශාව ඇතිව සසර දුක් කෙලවර කරගැනීමේ උනන්දුව ඇතිව මේ කටයුතු නුවණැතිව ප්‍රගුණ කරන්න තම තමන් තීරණය කරගත යුතු වෙනවා. 
 4. නිදිවැරීමෙහි යෙදුනේ වෙයි
දවස තුල සක්මනේ යෙදෙමින් නීවරණ ධර්මයන්ගෙන් මිදෙයි. රාත්‍රියෙහි ප්‍රථම යාමයේදී සක්මනෙහි යෙදෙමින් නීවරණ ධර්මයන්ගෙන් මිදෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු පයහි වම් පය මදක් ඇල තබා දකුණු පසට ඇලව යලිත් නැගිටින කාල සීමාව අධිශ්ඨාන කොට සීහ සෙය්‍යාව කරයි. රාත්‍රියෙහි පශ්චිම යාමයේ නැගී සිට යලිත් සක්මනෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කරයි. මෙසෙයින් නිදිවැරීමෙහි යුක්ත වූයේ වෙයි. 

ඉහත තියෙන්නේ ත්‍රිපිඨක ග්‍රන්ථයන්හි දැක්වෙන ආකාරයයි... එහි අදහස මගේ නැණ පමණින් වැටහෙන පරිදි තෝරාගත් පරිදි විස්තර කර දෙනවා නම් මෙසේයි...

සක්මනෙහි යෙදීම ලෙසින් මෙහි අදහස් කර ඇත්තේ කායිකව අපි කරන සක්මන පමණක් නොවන බවයි මගේ හැගීම. ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට කියනවා නම් මෙහෙම හිතමු... “සිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා“ කියලා සිංදුවකත් තියෙනවානේ. ඒ සිංදුවෙන් අදහස් කලේ සිත කිසිවිටකත් එකතැනක තියෙන්නේ නැති බවයි... හැම තිස්සේම පංච කාම ආශ්වාදයන් ඔස්සේ එහේ මෙහේ ඇවිදිනවා... ආශ්වාදයන් හොයනවා... හරියට හිගන්නෙක් වගේ ඉල්ල ඉල්ල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම පසුපස ඇවිදිනවා... මෙසේ සක්මන් කරවන හිත අප විසින් එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය පිණිස සක්මන් කරවිය යුතුයි... හරියට සටන් බිමට බැහැලා ඉන්න සෙබලෙක් සතුරන් විනාශ කරන්න ඉදිරියටම ගමන් කරනවා වගේ... රාග ද්වේශ මෝහ කියන කෙලෙස් සතුරන් අල්ලා ගැනීම පිණිස සිතට විවේකයක් නොදී සක්මන් කරවිය යුතුයි...


නිදා නොගන්නා සෑම මොහොතකම මේ ආකාරයට සිත සක්මන් කරවන්නට ප්‍රගුණ කල යුතුයි. මේ විදියට හැසිරෙන සිතට නිදි මතක් දැනෙන්නේ නෑ... අත්දැකීම තුලින් මට කියන්නට හැකියි මේ ක්‍රමය ඉතාමත් ප්‍රායෝගික බව.
බුදු හිමියන්ගේ කාලයේදී පවා සක්මන් කරමින් සිටින විටත් නින්ද ගොස් වැටෙන භික්ෂූණ්වහන්සේලා සිටි බවට නොයෙක් විට සටහන් දක්නට ලැබෙනවා... ඇත්ත එය වෙන්න පුළුවන්... ඒ වෙන්නේ සිත සක්‍රීය නොවී අක්‍රීයව පංච නීවරණ ධර්මයන්ගෙන් මත්වන විටයි. එවිට කෙලෙස් සමග කරන සටන කෙරෙහි අලස බවක් දැනෙනවා... එහෙත් ඉහත ආකාරයට සක්මන අප තුල ප්‍රගුණ වූ විට මේ ආකාරයට සිදුවන්නේ නෑ... සැතපී වුණත් නිදිමතක් නැතිව නිද්‍රාවට පත්නොවී භාවනාව කරගන්නට හැකිවෙනවා.


කෙලෙස් සතුරන් අල්ලා ගැනීම පිණිස සක්‍රීය වූ මනසකට තවත් විදියකට කියනවා නම් රෝදයක් වැනි වූ මනසට “සක්මන“ කියනවා කියලාත් කියන්න පුළුවන් කියලා මට හිතෙනවා. මන්ද එවිට කය සක්මන් කලා හෝ කය හිදගෙන සිටියා හෝ කය හිටගෙන සිටියා හෝ කය සැතපී සිටියා හෝ යන සතර ඉරියව්වෙන් කය පවත්වාගෙන භාවනාව සිදුකරන්නට හැකියි ලෙසින් බුදු හිමියන් පෙන්වූ කරුණටත් මෙය මනාව ගැලපෙනවා.


ඉහත ත්‍රිපිඨකයේ සදහන් පරිච්ඡේදය තුල සදහන් වෙන පරිදි දිවා කාලය තුලත් මධ්‍යම රාත්‍රියේ මද කාලයක් හැරුණ කොට අනෙක් කාල සීමාවන් තුලත් සක්මනෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන් පහ කරන්න කියන විට එයින් අදහස් කරන්නේ නිදාගෙන සිටින සීමිත කාලය හැරුණු කොට මේ කෙලෙස් සතුරන්ගේ ප්‍රහාණය පිණිස විදර්ශනාවෙහි යෙදෙන සමථයෙහි යෙදෙන සක්‍රීය මනසක් ඇතිව අනෙක් සෑම කාලයක්ම ගත කිරීම සිදු කල යුතු බවක් පැහැදිලි වෙනවා.

කයට වෙහෙසක් මහන්සියක් ඇතිවිට කයට සැතපීමට අවශ්‍ය නම් ඒ අවස්ථාවත් ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවම ඒ කියන්නෙ “මම මේ සැතපෙන්නේ පංච කාම ආශ්වාදයන් ලැබීම පිණිස නොවේ... මත්වීමට ප්‍රමාදයට නොවේ... කයේ වෙහෙස සංසිදුවාගෙන ආර්ය මාර්ගය පූර්ණය කරගැනීම පිණිස මේ කයට ලබා දිය යුතු විවේකය ලබා දීම පිණිස පමණයි“ ලෙසින් සිතා නැගිටිය යුතු වේලාවක් සිතින් අධිශ්ඨාන කරගෙන නිදා ගත් විට අවශ්‍ය විවේකය උපරිමයෙන් ලැබෙනවා මෙන්ම අධිශ්ඨාන කරගත්ත කාලයටත් නැගිටින්නට හැකියාවක් ලැබෙනවා.


නින්දෙන් කය මිදුන වහාම සක්‍රීය මනස හෙවත් සක්මන පටන් ගත යුතු වෙනවා... නැතිනම් යලිත් කම්මැලිකමට නිදාගන්න හිතෙනවා. කෙලෙස් සතුරන් පරාජය කිරීමේ සටන වහ වහා ආරම්භ කිරීම පිණිස වහාම සැතපී සිටි තැනකින් බැස ගොස් කයට පිබිදීම පිණිස අවශ්‍ය දේ සපයා දීම බාහිර වශයෙන් උපකාර වෙන කරුණු ලෙස තමයි මට වැටහෙන්නේ. ඒ කියන්නේ සීතල වතුරෙන් මුහුණ හොදාගෙන උණුසුම් තේ වැනි පානයක් ගත් විට කයෙහි මැලි බවක් වේ නම් එයත් නැතිවෙන්න හේතු තියෙනවා... ඒත් මදියැයි සිතෙනවා නම් කය වෙහෙස වෙන ලෙසින් සක්මනෙහි / ඇවිදීමෙහි යෙදවීම තුලින් නැවත කයටත් ක්‍රියාශීලි බවක් ලැබෙනවා.


ඉතින් ලෝකෝත්තර වූ නිවීම පිණිසම වූ අර්ථයත් මතුපිටින් ලැබෙන ලෞකික අර්ථයත් යන දෙකම එකට කැටිකොට නිවීම පිණිසම සක්මන කරගන්නට ප්‍රගුණ කරගත යුතු වෙනවා... ප්‍රගුණ වන තරමට නිද්‍රා සහගත බව නැතිවෙනවා. අප්‍රමාදීව නිවී සැනසීමට හැකිවෙනවා. මේ දේවල් තම තමන් අත්දැකීමෙන් කොතරම් සුදුසුද රාගක්ෂය ද්වේශක්ෂය මෝහක්ෂය වෙනවාද කියලා අත්දැකීමෙන් යුක්තව දැනගෙන මේවා හරිද වැරදිද කියලා තීරණයට පත්වෙනවා මිසක් පොතේ තියෙන එකට ගැලපෙන්නේ නෑනේ කියලා නම් තර්ක වාද කරමින් කාලය නාස්ති කරගන්නට උත්සාහ කරන එක තරම් අනුවණකමක් තවත් නෑ කියලා තමයි මට නම් ඕනෑම වේලාවක කියන්නට තියෙන්නේ.


තමන්ගේ ගැලවීම තමන් විසින්ම කරගත යුතුයි. ඒ සදහා කටින් සටන් කරමින් ඉදලා හරියන්නෙ නෑ... තමන් දැඩි අධිශ්ඨානයෙන් යුක්තව තමන් තුල ඉන්න සතුරන් සමග සටන් කරන්න පටන් ගන්න ඕන... අන්න එතකොට තමන්ටම ක්‍රමයෙන් අත්දැකගන්නට හැකිවෙනවා පොත්පත්වල තියෙන්නේ තවත් කෙනෙක් කියලා දෙන්නේ ඇත්තටම කෝප්පයක තියෙන වතුර ප්‍රමාණයට සමාන ධර්ම කොටසක් පමණයි කියලා... ඒත් බුදු හිමියන් පෙන්වා දුන්න තමන් විසින්ම අත්දැකීමෙන්ම දැකිය යුතු අනන්තවත් සත්ධර්මය කෝප්පයේ තිබෙන ජල ප්‍රමාණයට සාපේක්ෂව මහා සාගරය වගේ කියලා වැටහෙන්නට පටන් ගන්නවා. එතකොට තමයි තමන් තුලත් තෙරුවන කෙරෙහි සැබෑම ගෞරවය ඇතිවෙන්නට පටන්ගන්නේ... ඒ නිසා තමයි බුදු හිමියන් කියලා තියෙන්නෙ තම තම නැණ පමණින් තෝරගන්න කියලා. අනුන්ගේ නැණ පමණින් තමන්ව මුදවාගන්නට කිසිවෙකුටත් නොහැකි බව සිහි තබාගෙන තමාතුල මේ උත්තරීතර සත්ධර්මය වර්ධනය කරගන්නට උත්සූක වෙත්වා කියලා මෙත් සිතින් පතමි! 
5. සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වූයේ වෙයි
1. බුද්ධරත්නයේ, ධම්මරත්නයේ, සංඝරත්නයේ යන තෙරුවන්හි අනන්තවත් ගුණ නුවණින් දැක අචල ශ්‍රද්ධාවකින් යුක්ත වෙයි.
2. පාපයට පිලිකුල් කරයි.
3. කාය, වචී, මනෝ දුෂ්චරිතයෙහි අකුශල ධර්මයන්හි ලජ්ජා ඇතිවෙයි බිය ඇතිවෙයි.
4. නිවී සැනසීම පිණිසම වූ සත්ධර්මය බොහෝ කොට අසමින්, දරමින්, නුවණින් විමසමින් අනුගමනය කරයි.
5. අකුශල ධර්මයන්ගේ පහ කිරීම පිණිසත් කුසල ධර්මයන්ගේ වැඩීම පිණිසත් දැඩි වීර්යයෙන් යුක්තව කටයුතු කරයි.
6. සිහියෙන් යුක්තව පෙර කල කී සිතූ දෑ කෙරෙහි සිහිකරනවා. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව කල කී දෑ කෙරෙහිත් තමන්ට ඒ ඒ අරමුණු ලැබී සිත, කය, වචනය ක්‍රියාත්මක කල ආකාරය කෙරෙහිත් මතුවට ලැබිය හැකි එවන් වූ අරමුණු කෙරෙහිත් මනා සිහියෙන් යුක්තව කටයුතු කරනවා
7. උදය වැය ස්වභාවය මෙනෙහි කිරීමට හැකි ප්‍රඥාවෙන් යුක්තව පංචඋපාදන්සක්ධන්යන්ගේ උදාවීම වැය වීම හෙවත් හේතු ඵල දහම අවබෝධකරගෙන ඒවා මෙනෙහි කරමින් යථාර්ථය මෙනෙහි කිරීමේ ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා

6. අධිචිත්තය ඇසුරු කල ඉහාත්මයෙහි සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුලව ලබනුයේ වෙයි
කාමච්ඡන්දයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් උපන් ප්‍රථම ධ්‍යනයත්... ද්විතීය ධ්‍යනය, තෘතීය ධ්‍යානය, චතුර්ථධ්‍යානයත් යන ආදිය රිසි සේ ලබමින් ඇසුරු කරමින් චිත්ත අභ්‍යන්තරයේ උපන් සුඛ විහරණයෙන් යුක්තව වෙසෙයි. 

මෙහිදීත් ධ්‍යාන ගැන තම තම නැණ පමණින් දැනගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි සමහර පුද්ගලයන් සිටින්නට පුළුවන් ධ්‍යාන නොලැබෙන එහෙත් උපචාර සමාධි ලෙසින් හදුන්වන ආර්ය සමාධියන්ට පත්වීමට පමණක් හැකි අය... ධ්‍යාන කියන්නේ ඉහාත්ම සුඛ විහරණය පිණිස කයේ පහසුව පිණිස තිබෙන්නක්... අරිහත්වයට මෙය අනිවාර්ය අංගයක් නොවන බවට හදුනාගත යුතුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් සිව්පිළිසිඹියාවත් පංච අභිඥාබලයනුත් සහිතව, ඒ වගේම තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් සිව්පිළිසිඹියාව පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් පංච අභිඥා බලයන් පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් ත්‍රිවිධ්‍යාවන් පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් සතර ධ්‍යානයක් පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් උපචාර සමාධීන් පමණක් ඇතිව. 


මේවා එකින් එක වෙනස් වුණා කියලා ඒ ඒ අවස්ථාවේ උන්වහන්සේලා ලබා ඇති අරිහත්වයේ නිවනෙහි කිසිදු වෙනසක් නොවන බව බුද්ධිමත්ව වටහාගන්නට උත්සාහ කල යුතුයි. සසරේ පුරුදු පුහුණු කර ඇති ආකාරයට පාරමිතා පුහුණු කොට ඇති ආකාරය අනුව මේ මේ දේවල් වෙනස් අයුරින් ලැබෙන්නට හෙතු තියෙනවා... 


පොදුවේ ආර්ය ශ්‍රාවකයෙකු පිළිබදව විස්තර විග්‍රහ කරන විට සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් මේ සතර ධ්‍යානයන් පිළිබදව සමාපත්තීන් පිළිබදව වර්ණනා කොට විශේෂ කොට විග්‍රහ කොට පෙන්වා දෙනවා. ඉතින් තමනුත් ඒවා ලබාගෙන ඒ සුවයන් ලබන අතර අප්‍රමාදීව නිවීම පිණිසම කටයුතු කරගැනීමට උනන්දු විය යුතුයි වීර්ය කල යුතුයි... නොලැබුනා කියලා පසුතැවෙන්නේ නැතිව ඇත්තටම නොලැබෙන්න හේතුව කුමක්ද කියලත් දැන හදුනාගන්නට උත්සාහ කල යුතුයි. නැතිනම් නිවීම පිණිසම නොවූ නොගැලපෙන භාවනාවන් කරලා මේ සතර ධ්‍යානයන් නොලැබූ විට හෝ විකෘතීන් ලබා ධ්‍යානයන් ලෙසින් රැවටී සිටින විටත් නොගැලපෙන අදහස් ගෙන මග නොමග වෙන්නට තිබෙන අවස්ථාව වැඩියි. “මට මෙය ලැබෙන්නේ නැතිව ඇති“ ධ්‍යානයන් ලැබෙන භාවනාවන් නොවඩා කිසිම උත්සාහයක් නැතිව අතහැර දැමීම අනුවණකමක් බව සිහි තබා ගත යුතුයි. 


ඉතින් මේ බොහෝම කෙටියෙන් තමයි ඉහත පැහැදිලි කිරීම් සිදුකලේ... මීලඟ ලිපිය තුලින් ශෛක්ෂ මහණුන් හෙවත් මාර්ග ඵලයන් ලැබූ සෝතාපන්න ආදී ආර්ය පුද්ගලයෙකු වුණත් ධර්මයෙන් ඈත්වෙලා මාර්ගය වැඩීම අතපසුකරගන්නා ඒ අයුරින් නිවනට ප්‍රමාද වන්නට හේතුවන කරුණු කීපයක් පෙන්වා දෙන්නට කටයුතු කරන්නම්. එතෙක් මේ කතුවැකි තුලින් මේ “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය තුලින් යම් සත්ධර්ම කරුණක් පෙන්වා දෙන්නට උත්සාහ කරනවා නම් ඒවා කිව්වේ කව්ද? කොයි හාමුදුරුවෝද? හාමුදුරුවන්ගේ මාර්ග ඵලය කුමක්ද? මේ කතුවැකිය ලියන මගේ මාර්ග ඵලය කුමක්ද ආදී දෑ සොයමින් කාලය නාස්ති කරගන්නේ නැතිව ඒ කියලා තියෙන්නේ කුමක්ද කියලා තමන්ට තියෙන බුද්ධිමට්ටමකින් විවෘතව විමසා බලා ප්‍රායෝගිකව ජීවිතයට ලංකරගෙන ඒවා තුලින් තමන්ගේ රාගය ද්වේශය අඩුවෙනවද කියලා තමන්ම හොයාලා බලාගන්නට උත්සාහ කරන්න වීර්ය කරන්න කැපවෙන්න... එවිට නිවීම ලැබේවා ලැබේවා කියලා පතන්න දෙයක් නෑ රාග ද්වේශ මෝහ අඩුවෙන පමණින් තමන්ට ලැබෙන සැනසීම නිවීමත් ඒ ගුණයන් වැඩීමෙන් ඉක්මනින්ම නිර්වාණය ලැබෙන්න පරිසරය සැකසෙන බවත් තමන්ටම දැකගන්නට හැකිවේවි! තෙරුවන් සරණින් යහපතක්ම වෙත්වා!!!

2 comments:

chaamaa said...

In here as I feel according to Dhamma "SAKMANA" in the three yaama is walking meditation in peaceful manner. Because one of obstacle to Nirvana is Theenamiddha(Sleepiness). In the Night and the early morning as a human we feel sleepy. So that by walk meditation we can get rid of that sleepiness. Thats why Lord Buddha(Bhagyawathun wahanse) told like this. If I'm not correct please correct me.

Viduransi said...

Yes, You are correct... I just shared an another meaning which we can observe through the "Sakmana" and it's process... when we can absorb many meanings which are matches to the Dhamma theory it will be a great support to practice the path nicely. The meaning you share is the common meaning and that's correct without a doubt... hope you can get the support too from the meaning I shared in this article for your betterment!