Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, June 7, 2012

“ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“

බොහෝ කාලයකට පසු වැදගත් යමක් ඔබත් සමග බෙදා ගත යුතුයි යන අදහස පහල වූ බැවින් මේ කරුණ සදහා නියම කාලය මේ යැයි සිතා මෙසේ ලියමි.  මෙහි එන සෑම කරුණක්ම බුද්ධිමත්ව නුවණින් විමසා බලා තම තමන්ගේ යහපත උදාකරගැනීමට අවංකව කටයුතු කිරීමේ තීරණය ඔබටම භාරකරන්නෙමි. 

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් යම් ප්‍රකාශයනයක් යමෙක් පිළිබදව සිදු කරනවා නම් උන්වහන්සේ විසින් එය සිදුකරන්නේ සියලු හේතු තතු සේ දැනගෙනයි! එහෙම නේද?  ඒත් ඉතින් අපි යමෙක් ගැන හෝ යම් ධර්මයක් ගැන යම් ප්‍රකාශයක් කරන්නේ තවම හරියටම සත්ධර්මයවත් තතු සේ නොදැනයි නේද? එහෙම කියන්නේ කොහොමද සත්ධර්මය මම තතු සේ නොදන්නවෑ... කියලා වාද විවාද තර්ක එහෙමත් සිතට නැගේවි... ඒත් හොදින් හිතලා බලන්නකෝ සත්ධර්මය තතු සේ දැනගන්නේ උත්තරීතර අරිහත්වයේදී නොවේද කියලා... මේ කරුණ අප විසින් කිසිම මොහොතක අමතක නොකල යුතු කරුණක් කියලා මම විශ්වාස කරනවා...

ඒ ඒ මාර්ගඵල අනුව ඒ ඒ ආර්ය පුද්ගලයන්ගේ බුද්ධිමට්ටම් අනුව විවිධ අවස්ථාවල සත්ධර්මය අන් අයට උපකාරයක් වන අයුරින් බෙදා හදාගත්තද මෙය මෙසේමයි කියන විශ්වාසය නිවැරදිව ඇති කරගත හැකි වන්නේ ඒ උත්තරීතර අරිහත්වයට පත්වූ පසු පමණමයි නොවේද කියලා තම තමන්ගේ ඥාන මට්ටම් වලින් විමසා බැලිය යුතු වෙනවා.  අරිහත්වයට පත්වූ පසුත් උන්වහන්සේලාගේ ඥාන මට්ටම් අනුව ධර්මය බෙදාගන්නා ක්‍රමයන් විවිධ වන්නට තිබෙන අවස්ථාව නිසාම ඒ ඒ ධර්ම කරුණු 100%ක් පරිපූර්ණව විස්තර විග්‍රහ ඇතිව සිදු නොකරන්නට තිබෙන අවස්ථාවද වැඩියි...
 
ඉතින් අපි අපගැන කථා කලොත් අපි තාම මේ සත්ධර්ම මාර්ගයේ ඉන්න නොදරුවෝ...  හේතු ඵල දහම තමන් තුල වැඩී ඇති බව ප්‍රත්‍යක්ෂ වූවත් බුදු පියාණන්වහන්සේ විසින් සියලු හේතු තතු සේ දැනගෙන සිදු කල යම් යම් කාර්යයන් සිදුකරන්නට අප කිසිවෙකුටත් නොහැකියි යන්න තරයේම සිහි තබා නොගත්තොත් මහා අයහපතක් සිදුවෙන්නට තිබෙන අවස්ථාව වැඩි බව අප නිතරම සිහි තබාගැනීම වඩාත් සුදුසුයි කියලයි මගේ අදහස... මම එහෙම කිව්වේ සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් සියලු හේතු තතු සේ විමසා බලා සිදුකරන යම් යම් නිගමන අපි මතුපිට සුළු යම් යම් කරුණු කීපයක් දැක දැන නිගමනයන්ට පත්වන්නට යොදාගන්නා නිසයි.  

මේ ටික කාලයට විවිධ අයගේ විවිධ වූ මතයන් පිටස්තරයෙක් ලෙසින් මට හැකි අයුරින් මගේ බුද්ධි මට්ටම හැකි අයුරින් ගවේෂණයක යෙදුණු විට මට වැටහුණු කාරණය නම් ඒ බෙහෝ දෙනෙකුගෙන්ම  නිවී සැනසීම පිණිස ගතහැකි පුංචි හෝ අදහසක් තිබෙන බවයි....  මා ගැන කථා කලොත් මේ සත්ධර්ම  ඇසුර මට හැකි උපරිමයෙන් සෑම විටම ඒ ඒ පදයන්ගෙන් ඔබ්බට ගිය අර්ථය අදහස විමසා බලන්නට යොමුවූ නිසාම ඒ ධර්මය දේශනා කරන පුද්ගලයන් සමග විශේෂ ඇලීමක් හෝ විශේෂ ගැටීමක් ඇති නොකරගෙන කටයුතු කරගන්නට මට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබුණ බව කිව යුතුම වෙනවා...   කෙනෙක් කියූ නිසා පිලිගන්නේ නැතිව යමක් යම් තැනක තියෙනවා කිව්වොත් ත්‍රිපිඨකයේ මෙය තිබෙනවා කිව්වොත් ඒ ඒ තැන මට පුළුවන් උපරිමයෙන් ගවේෂණය කරන්නට කටයුතු කලේ පුංචි කාලේ පටන්ගෙනම තිබූ කෙනෙක් කිව්වට එකපාරටම පිලිගන්නේ නැතිව ඉන්න ස්වභාවය නිසාමයි.  ඉතින් ඒ ගවේෂණයේ ප්‍රතිඵල ඇත්තටම මගේ අල්ප වූ බුද්ධිමට්ටමෙන් නම් යහපතක්ම ලබා දුන් බව මට සහතික විය හැකියි.  මේ සත්ධර්මයේ තුලින් මේ වන විට ලබා ඇති නිවීම සැනසීමත් තවමත් ලබන නිවීම සැනසීමත් පෙන්වා දෙන්නට වචන කොතරම් භාවිතා කලත් හැකියාවක් ලැබෙන්නේ නෑ.  මේ කරුණ සම්බන්ධයෙන් මා අනුගමනය කල සහ තව දුරටත් සිදු කරගෙන යන පිලිවෙත කථා කරනවා නම් සෑම මොහොතකම තෙරුවණේ ආශිර්වාදය උපරිමයටම ලබන බව අත්දකිනවා... ඒකට හේතුව වන්නේ මේ ධර්මය මා ඇසුරු කලේ සහ කරන්නේ මාගේ නිවී සැනසීම පිණිසත් ඒ නිවී සැනසීම තුලින් ලෝකයාට සෙත සැලසීමේ අවංක චේතනාවම පමණක්ම නිසාත් බව මට 100%ක්ම පැහැදිලියි.  ඉතින් මම හැමවිටම හිතුවේ මේ සත්ධර්මය සත්‍ය නම් යමෙක් තුලින් ඒ සත්‍ය ධර්මය මතු වෙනවා නම් පුද්ගලත්වයෙන් පිටතට ගොස් ඒ ධර්මය මුල් කරගෙන එකම සත්ධර්මයක් මතු විය යුතු බවයි...  මේ වෙනකොට මට හැකි අයුරින් සිදු කල ගවේෂණයට අනුව මට වැටහුණු කාරණය නම් මේ සත්ධර්මය මතු වන ඒ උත්තරීතර ආර්ය සංඝරත්නයට අයත් යැයි අනුමාන කල හැකි බොහෝ පිරිසක් අප අතරම සිටින බවයි... ඒ ඒ අයට තිබෙන ඥාන  මට්ටම් අනුව ඒ ඒ අය තමන්ට වැටහෙන අයුරින් ඒ ඒ කරුණු පහදා දෙන්නට උත්සාහ කරනවා... ඉතින් ඒ අදහස් වචන පද එකම නොවෙනවා වගේම එකක්ම විය යුතුමයි කියලත් නියමයක් නැති බවත් සිහි තබාගැනීම සුදුසු බව තමයි මගේ අදහස... 

උදාහරණයක් විදියට කියනවා නම් අපි වීදුරු කියන ස්වභාවය තුලින් හදුනාගත යුතු දේ ඒ ඒ දේහි හැඩයෙන් හදුනාගන්නට ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නේද? ඒ කියන්නේ වතුර බොන වීදුරුවක් හැදිලා තියෙන්නෙ වීදුරු කියන ස්වභාවයෙන් වගේම බීම බොන බීම බෝතලයක් හැදිලා  තියෙන්නෙත් වීදුරු කියන ස්වභාවයෙන්ම නම් අපි ඒ දෙක වීදුරුද කියලා හදුනාගත යුතු වන්නේ ඒ ස්වභාවයෙන් මිස ඒවායේ හැඩයෙන් නොවන බව සිහි තබාගත යුතු වෙනවා කියලයි මගේ අදහස...  දැන් බොහෝ පිරිසක් දැන හෝ නොදැන කරන්නෙත් මේ හැඩයෙන් හොයාගන්නවා මිස ස්වභාවය අනුව හොයාගන්නට උත්සාහ කිරීමක් නොවේ යන්නයි මගේ අත්දැකීම....

ඉතින් ඒ ස්වභාවය තමයි චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද ධර්මය සහ රාගවිනය ද්වේශ විනය මෝහ විනය කියන බුදු හිමියන් විසින්  ධර්මය හදුනාගන්නටැයි කියලා පෙන්වා දුන්න ක්‍රම වේදයන් කීපය. ඒකට බහා බලන කෙනෙකුට වචන පද එක්ක ගැටීමක් එන්න විදියක් නෑ කියලා මම මේ වෙනකොට අත්දැකීමෙන් දන්නවා...  එහෙම වෙනවා නම් වෙන්නේ ඒ ඒ පුද්ගලයා විසින් ඒ ඒ ධර්මය බෙදන පුද්ගලත්වය කෙරෙහි ඇති කරගන්නා ඇලීම මත හෝ තමන් තුල සත්ධර්මය මතු නොවීම යන මූලික කාරණා මත මිස වෙන හේතුවක් මත නොවේ කියලත් මගේ බුද්ධිමට්ටමෙන් තෝරා ගත්ත කාරණයක්...

ඉතින් අපි ධර්මයවත් හරි හැටි අවබෝධකරගන්නේ නැතිව... ප්‍රඥාව පූර්ණයට පත්කරගන්නේ නැතිව හැඩය තුලින් නිගමනයන්ට පත්වෙලා සිතින්, කයෙන්, වචනයෙන් අපවාද උපවාද අපහාස කරනවා නම් දැන හෝ නොදැන අප මේ අපහාස කරන්නේ බුදු පියාණන්වහන්සේගේ සත්‍ය වූ සත්ධර්මයටමයි කියන දේ තෝරා බේරාගත්තේ නැතිනම් මහා විනාශයක් තම තමන්ටම සිදුවෙනවා කියලයි මගේ අදහස...  මේ වෙනකොට අත්දැකීමෙන් දුටු දෙයක් තමයි එකම ධර්මයට එක හාමුදුරුකෙනෙක් කියන කොට බනිනවා වෙනත් හාමුදුරුකෙනෙක් කියන කොට මහා ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා මාන කරමින් පිලිගන්නවා...  අන්තිමට හොදින් විමසා බලනකොට අවස්ථා දෙකේම ලැබුණු ධර්මය තුල තිබෙන අන්තර්ගතය ගැඹුරු බව සිද්ධාන්තය එකම එකයි... ඉතින් මුලින්ම සිද්ධාන්තය තමන් තුල ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් මේ අවුල වෙන්න යනකොට තමන් විසින්ම ඒ සිද්ධාන්තය තුලින් ඒ අවුල වෙන්න කලින්ම නවත්තගන්න තරම් බුද්ධිමත්භාවයක් වර්ධනය වෙනවා කියලායි මගේ අදහස.

ඉහල ප්‍රඥා මට්ටමක ඉන්න කෙනෙක් ඒ මට්ටමෙන් පහදා දෙන විට පහල මට්ටමක ඉන්න කෙනෙකුට එය ඒ ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂ වීමක් සිදු වන්නේ නෑ... ඒ කෙනා වචන පද තෝරාගත් පමණින් ඒ දේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා කියලා හිතාගත්තද එය එසේ වන්නේ නෑ... ඉතින් යමෙකුට සිතෙනවා නම් තමන් අරිහත්වයෙන් මෙහා සිටින මාර්ග ඵල ලාභියෙක්ය කියලා හැම තිස්සේම ඒ පුද්ගලයා සිහියෙන් ඉන්න එක සුදුසුයි තමන් තවමත් අරිහත්වයට නම් පත්වෙලා නෑ කියන දේ පිලිබදව.  එතකොට තමයි ඒ තත්වයට ලගා වෙන්නට තමන්ට තවමත් කල යුතු දෑ තිබෙනවා කියන දේ පිළිබදව අවබෝධයක් තිබෙන්නේ... නැතිනම් සිටින තැනම සිටිනවා මිසක් තමන් තමන් පිළිබදව තෝරාගත්ත නිගමනය වැරදි නම් අඩුපාඩු සහිත නම් සසර අනාථයෙක්ම වෙනවා විනා සිදුවන යහපතක් නම් නැති බව විමසා දැනගත යුතු වෙනවා.  

ඉතින් මා දැක තිබෙනවා තමන් ඇලුම් කරන ස්වාමීන්වහන්සේලා දේශනා කරන ධර්මයේ පද ඒ ආකාරයෙන්ම  වෙනත් තැනකින් මතු නොවුනොත් අහන්නේවත් නැතිව ප්‍රතික්ෂේප කරන පිරිස් අප අතර ඉන්නවා.  හදිසියේවත් හේතු ඵල දහමට ගැලපෙන ධර්මයක් ඒ ස්වාමීන්වහන්සේ කෙනෙක් දේශනා කලොත් “ආ අපේ හාමුදුරුවන්ව කොපි කරලාද කොහෙද අපේ හාමුදුරුවන්ගේ දේශනයක් අහලා වෙන්න ඇති“ කියලා කියන බොහෝම අඩු බුද්ධිමට්ටමකටම පත්වෙච්ච අයත් මා දැක තිබෙනවා.  ඒ විතරක් නෙවේ අරිහත්වයට පත්වෙච්ච උතුමන් පිළිබදව පවා සැක සංකා උපදවාගන්න මට්ටම යම් යම් අවස්ථා වල කටයුතු කල පිරිස් දැක තිබෙනවා... ඇයි ඒ?  සරලව කියනවා නම්  ගලපන්න කිව්ව සූත්‍රය ධර්මය විනය පැත්තක තියලා ඒවා මතු කරලා දුන්න වචන පදයන්ට ඒ ඒ ධර්මය ගලපන්න ගිහින් තමයි ඒ වගේ නොගැලපෙන අදහස් වලින් සිත් සතන් පිරිලා ගිහින් තියෙන්නේ.  ඉතින් මෙවැනි ගෝල බාලයන් දැකලා ඒ ඒ ස්වාමීන්වහන්සේලාට පවා අගෞරව කරන්නට අපහාස උපහාස කරන්නට අහන දකින බාහිර පිරිස් යොමුවෙනවා.  ඉතින් නිවැරදි සත්ධර්මයක් ඒ ගරු කටයුතු ස්වාමීන්වහන්සේලාගෙන් පිටවුණත් දේවදත්ත වැනි ගෝලයන්ගෙන් බුදු හිමියන් ගැන නිගමනයට පත්වෙනවා වගේ කටයුතු කරන නිසාවෙන් ඒ ඒ හිමිවරුන්ට අපහාස කරන්නට උපහාස කරන්නට උපවාද කරගන්නට බොහෝ පිරිස් යොමුවෙනවා.  ඉතින් ඇත්තටම ඒ ගරු කටයුතු ස්වාමීන්වහන්සේලා විසින් නිවැරදිව නිරවුල්ව සත්ධර්මය පෙන්වා දී තිබුනත් ගෝල බාලයන් ඒවා ග්‍රහණය කරගෙන තිබෙන මට්ටම අනුව ඒ ඒ අයගෙන් දැනගන්න පිරිස ඒ ඒ අයගේ හැසිරීම අනුව මැනගන්න පිරිස් බොහෝ අවුල් වලට පත්වෙනවා.  අකටයුත්තක්ම සිදු කරගන්නවා.  ඉතින් තම තමන්ගේ නිවන කැමැත්තෝ තම තමන්ගේ හිත සුව කැමැත්තෝ මේ කරුණු බොහෝම නුවණැතිව විමසා බලා ලැබෙන සෑම සියලු අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කිරීම වඩාත් සුදුසු යැයි මා විශ්වාස කරනවා.  තමන් පිලිගන්නේ දේහිම එල්ලී නොසිට බුදු හිමියන් තෙරුවන කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන තමාගේ හිත සුව පිණිස තමාගේ නිවීම පිණිස තමා තුල ප්‍රඥාව වර්ධනය කරගැනීම පිණිසම මේ ධර්මය ගවේෂණය කරන්නේ නම් මේ අපූරු ආශ්චර්යමත් සත්ධර්මය තමන්ව සුරකින ආකාරය තමන්ට යහපත ලබාදෙන ආකාරය උපරිමයෙන්ම අත්දැකගන්නට හැකිවෙනවා ඒකාන්තයි නිසැකයි.  

හැබැයි ඉතින් මේ ගවේෂණය කරන්නේ තර්ක වාද කරලා ලෝකේට පේන්න ධර්ම ලොක්කෝ වෙන්න නම් ඒ තුලින් තවත් කෙනෙක් වැරදියි කියලා ඔප්පු කරන්න නම් එයින් ලැබෙන යහපතක් ඇත්තේ නෑ කියලා මගේ විශ්වාසයක් තියෙනවා.  මන්ද එවැනි පුද්ගලයන් මා දැක තිබෙන නිසාත් එවැනි පුද්ගලයන් මේ ධර්ම මාර්ගය තුල අතරමග මග නොමග වූ අයුරුත් දුටු නිසාමත්.  ඉතින් මේ වෙනස අත්දැකීමෙන් ලබන්නට නම් බුදු හිමියන් දේශනා කරන ලද සත්ධර්මය තුලම හැසිරෙමින් තම තමන්ට අවංක වෙමින් කටයුතු කිරීම වැදගත් වෙනවා.  එවිට මේ ධර්මය තුලින් ලැබෙන දෑ බොහෝමයි කියලා තමන්ටම අත්දැක ගන්නට හැකිවේවි.  

මේ ලිපියේ ඇති කරුණු නැවත නැවත කියවා හෝ වටහාගන්නට උත්සාහ කරන්නේ නම් වඩාත් සුදුසුයි කියලායි මගේ අදහස... මන්ද ධර්මය තුලින් දියුණුවක් ලබන්න... බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්න චිත්ත විශුද්ධිය තමන් තුල වර්ධනය වන පමණින් මේ මේ දේවලට සාර්ථකව මුහුණ දී ඒ ඒ දේ නිවැරදිව  තෝරාබේරාගෙන යහපත උදාකරගන්නට තිබෙන අවස්ථාව වැඩි වෙනවා මිස අඩුවක් වෙන්නේ නෑ... තමන්ගේ නිවන තමන්ට පමණක් නොවේ එයින් අන් අයටත් ලැබෙන යහපත ආශිර්වාදය අනන්තයි අප්‍රමාණයි... යමෙක් තුල ඇත්තටම ලෝක අනුකම්පාවක් තියෙනවා නම් වහා වහා තමන්ගේ නිවන පූර්ණය කරගන්නට ප්‍රඥාව පූර්ණයට කටයුතු කරගන්නට කටයුතු සිදු කල යුතු වෙනවා...  ඒ ප්‍රඥාව පූර්ණය කරගන්නට ක්‍රම වේදයක් හික්මීමක් සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙනවා ... අන්න ඒ විදියට කටයුතු කරලා එතෙක් සිත කය වචන බොහෝම සංවරයෙන් අන්අය ගැන නිගමනයන්ට පත්නොවී ඒ ඒ හැම අවස්ථාවකින්ම තමන්ගේ නිවී සැනසීමට ගත හැකි දේ ලබාගෙන මේ කටයුත්ත බොහෝම පරිස්සමෙන් තීක්ෂණ බුද්ධියකින් යුතුව සිදු කරගත හැකිවෙනවා...

එකපාරම එක එක පුද්ගලයන් ගැන අහන දකින දෑ ගැන නිගමනයන්ට පත්වෙන්නට යොමුවීම සුදුසු නෑ... එයින් අවාසිය තමන්ටමයි... තමන් යමකට අකමැති නම් එයින් පෞද්ගලිකව ඉවත් වී සිටින්න ඒ පිළිබදව තමන්ගේ පෞද්ගලික මතය තුලින් අදහස් උදහස් ලබාදෙමින් අන් අයවත් කුපිත කරවමින් විවේචනයන්ට යොමුවීම ධර්ම මාර්ගයේ වැඩීමට මහා බාධකයක් වේවි.  “මම තාම අරිහත්වයට පත්වෙලා නෑනේ“ කියන අදහස නිතර නිතර සිහි කරගෙන ඒ තත්වයට ලංවෙන්නට සත්ධර්ම ඇසුර ලබන්න... මේ ලෝකය තවමත් අරිහතුන්වහන්සේලාගෙන් ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් බහුල පින්බිමක්... උන්වහන්සේලා ඒ ඒ මට්ටම් වලින් කුමන ආකාරයෙන් ධර්මය දේශනා කලත් මතු වන්නේ එකම ධර්මය තමයි.... ඒ එකම ධර්මය විස්තර කරන්න විග්‍රහ කරන්න යොදාගන්න පදයන් වෙනස් වුණා කියලා ඒ ධර්මය අධර්මයක් කියනවා නම් ඒ අනුව ගැටෙනවා නම් ඒ ඒ උත්තමයන්ට ගරහනවා නම් තමන් හරියි කියලා හිතාගෙන ඉන්න ධර්මයෙන් වුණත් තමන්ට ලැබෙන සැනසීමක් යහපත් අභිවෘද්ධියක් ප්‍රතිඵලයක් නෑ කියලා නිතර සිහි තබාගැනීම වැදගත් වෙනවා.  

අරිහතුන්වහන්සේ කෙනෙක් වැඩියත් තමන් ඉන්න රාමුව පුංචි නම් ඒ රාමුවට උන්වහන්සේ ගැලපෙන්නේ නැතිනම් උන්වහන්සේගෙන් තමන්ට ලබාගත හැකි වැඩි යහපතක් නැති බව තම තම නිවන කැමැත්තෝ හොදින් නුවණින් විමසා දැක දැන වටහාගන්නට උත්සාහ ගනිත්වා.  තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත මතින් සිත කය වචනය හසුරුවා කටයුතු කරන විට ඒ තුලින් අයහපතක් සිද්ධ කරගන්න පිරිසත් වැඩිවෙනවා.  

නෙලුම් හැදෙන්නේ මඩේමයි... මඩෙන්මයි පෝෂණය වෙන්නෙත්... නෙලුම කිව්වොත් මට මඩ වල ඉන්න බෑ... මට වෙනතැනක හැදෙන්න ඕන කියලා ඒක නෙලුමක් වෙන්නේ නෑ වගේම ඒකට අපි ලබාදෙන විශේෂත්වය ගෞරවය ඒ විදියට ලබාදෙන්නෙත් නෑ... අන්න ඒ නෙලුම වගේ මේ කුණු ගොඩේම ඉදලා කුණු ගාගන්නේ නැති මානසිකත්වයක් ඇති කරගන්නට තමයි බුදු හිමියන් අපට මාර්ගයක් පෙන්වා දුන්නේ... ඒකට කුණු වලිනුත් සහාය උපකාර ලබාගත යුතු වෙනවා... ඒ නිසා පිදිය යුත්තන් පුදමින් ලබාදිය යුතු ගෞරවය හැමවිටම සමසේ  ලබාදෙන්නට උත්සාහ කරමින් තමන්ගේ නිවීම පිණිස කටයුතු කරගන්න එක අප්‍රමාදී බවට ප්‍රඥාව පූර්ණය කරගන්නට වඩාත්ම සුදුසු ක්‍රමය කියලයි මගේ අදහස...

ගලපන්න කිව්වදේට ගලපනවා විනා වචන පදයන්ට නොගලපා... හැඩයට අනුව නොසසදා අන්තර්ගතය
විමසා බලා තම තමන්ගේ යහපත උදාකරගැනීම වඩාත් සුදුසු යැයි සිතමි.  ඒ වගේමයි තමන් මේ සත්ධර්ම මාර්ගය තුල අත්දැකීමෙන්ම නිවීමක් සැනසීමක් ඒ ඒ මට්ටම් වලින් උදාකරගන්නේ නැතිව අනුන්ට ඒ දේට පත්වෙන්නට මග පෙන්වන්න උත්සාහ නොකර සිටින එක බොහෝම වැදගත් වෙනවා.  පිස්සු හැදිලා වගේ දකින දකින අයට නොමිලේ ලබාදෙන අත්පත්‍රිකා වගේ බෙද බෙද යන්නේ නැතිව ධර්ම ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඒ ඒ පිරිසට මතක් කරන්නට කැමැතියි.  “ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“ / “අත්තාන මේව පඨමං - පතිරූපේ නිවෙසයේ“ කියලා ධර්මයේ මෙවැන්නක් සදහන් කරනවා “පළමුව තමා සුදුසු ගුණයෙහි පිහිටු විය යුතුයි“ යන්න පැහැදිලි කර දීමට.  නැත්නම් වැදි බණ වෙනවා කියලත් කථාවට කියනවනේ... ඉතින් තමන් යහපතෙහි නොපිහිටා අනුන්ට අවවාද කරන්නට යාමෙන් නියම ප්‍රතිඵල ලබන්නට අපහසුයි කියලා නුවණින් විමසා දැනගත යුතු වෙනවා.

සැබෑවටම සත්ධර්මය තුලින් පෝෂණය ලබනවා නම් ඒ අනුව හික්මෙනවා නම් කාගෙන් වුවද ලැබෙන යහපත් අවවාදය පිළිගෙන සිය ජීවිතය සකසා ගැනීම සිදු කරගන්නට බුද්ධිමත් ඒ ඒ පිරිස් කටයුතු කරනවා.  ධර්ම දේශනා කරන්නේ කව්ද කොතැනද මාර්ග ඵල ලබලද නැත්ද ආදී බාහිර දෑ ඒ නුවණැත්තාට වැඩක් නැත. කාගෙන් වුවද යහපත් දෑ තෝරාගෙන ඒවා ප්‍රායෝගිකව භාවිතා කරමින් බහුලව භාවිතා කරමින් ප්‍රත්‍යක්ෂ නුවණ ඇතිකරගැනීම නුවණැත්තා කටයුතු කරන ආකාරයයි.  ඒ නුවණැත්තා අනුශාසකයා විවේචනය නොකර ඒ අනුශාසනයෙන් තම ජීවිතය යහපත් කර ගන්නට වෙහෙසෙනවා මිස ලෝකයේ පවතින්නට ලාභ කීර්ති ප්‍රශංසා උදෙසා හෝ “මම දන්නවා“ කියන දෑ පෙන්වන්නට ඒ ධර්මයේ හික්මෙන නුවණැත්තා තුල කිසිදු කැමැත්තක් අභිප්‍රායක් ඇත්තේම නැත!  ඉතින් මේ කරුණු නුවණින් විමසා බලා කව්රු කව්රුත් යහපත් උදා කරගැනීමට කටයුතු කරන්නට පෙළඹෙන්නටත් ඒ සදහා තෙරුවණේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙන්නටත් මෙත් සිතින් සෙත් පතමි!  තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!