Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, December 14, 2012

භව

“භවා“ති ද්වෙ භවා: කම්ම භාවො ච පටිසන්ධිකොච පුනබ්භවො. 

කතමො කම්මභවො: පුඤ්ඤාභිසංඛාරො අපුඤ්ඤාභිසඞකාරො අනෙඤ්ජාභිසංඛාරො, අයං කම්ම භවො. 

කතමො පටිසන්ධිකො පුනබ්භවො: පටිසන්ධිකො රූපං වෙදනා සඤ්ඤා සඞඛාරා විඤ්ඤාණං, අයං පටිසන්ධිකො පුනබ්භවො. 

“භව“ යනු භව දෙකකි: කර්ම භවයද ප්‍රතිසංන්ධි සංඛ්‍යාත පුනර්භවයදැයි. 

කර්ම භවය කවරැ යත්: පුණ්‍යභිසංස්කාර යැ, අපුණ්‍යභිසංස්කාරයැ, අනෙඤ්ජාභිසංස්කාරයි. මේ කර්ම භව නම් වෙයි. 

ප්‍රතිසන්ධි සංඛ්‍යාත පුනර්භවය කවරැයත්: ප්‍රතිසන්ධියෙහි වූ රූපයැ වේදනා යැ සංඥා යැ සංස්කාර යැ විඥාන යැ යන යම් ධර්ම කෙනෙක් වෙත්ද, මේ ප්‍රතිසන්ධික පුනර්භවය වේ. 

තත්ථ කතමං උපාදාන පච්චයා භවො: ඨපෙත්වා උපාදානං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චතිඋපාදාන පච්චයා භවො. 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි... 

“එහි උපාදාන ප්‍රත්‍යයෙන් භව කවරෙ යත්; උපාදානය තබා වෙදනාස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාරස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය යන මේ උපාදාන ප්‍රත්‍යයෙන් භව යයි කියනු ලැබේ. “ 

මේ තියෙන්නේ ත්‍රිපිඨකයේ “භව“ ගැන විස්තර වෙන කොටසක්... 

කර්ම භවය යනු කුමක්ද? 

ජීවත් වෙලා ඉන්න සත්වයෙක් ජීවත් වෙලා ඉන්න කාලය තුල නොයෙක් ආකාරයේ පුණ්‍ය කර්ම කරනවා පාප කර්ම කරනවා. 

මේ පුණ්‍ය කර්ම නිසාත් පාප කර්ම නිසාත් මනස තුල ඒ ඒ භවයන්ට අවශ්‍ය කරන සම්පාදනය සිදුවෙනවා. 

භව ලෙසින් ගත්විට ජාතියක් බිහිකරන්නට අවශ්‍ය කරන මූල නිර්මාණාත්මක ශක්තිය ලෙසින් එය හැදින්වූවත් ධර්මයට ගැලපෙනවා... විවිධ ජාති නිපදවන්න මුල් වෙන්නේ මේ කියන විවිධ වූ භවයි. 

ඉතින් අවිද්‍යාවෙන් යුක්තව පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් ඇසුරු කිරීම හේතු කොට ගෙන ඒ පුද්ගලයාට බලාපොරොත්තුවක් ඇතිවෙනවා මතු මතුත් මේ තුල රැදිය යුතුයි කියලා. ඉතින් මතක ඇතිනේ උපාදාන වලදී පෙන්වා දුන්නා ගැලවෙන්න බැරිව බැදී සිටින ආකාරය... 

කාමයන්ට බැදුනොත් කාමයෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා... ද්වේශයට බැදුනොත් ද්වේශයෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා... මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන්ට හිත බැදෙනවා... ඒ ආශ්වාදයන් යලි යලිත් ලැබීමේ බලාපොරොත්තුව ගොඩනැගෙන හැම මොහොතකම අපට නොපෙනී නොදැනී සිදුවෙන දේ තමයි මතු මතුත් ඒ ආශ්වාදය ලැබීමට හැකි වන ලෙසින් එක්තරා ශක්ති විශේෂයක් ලෝකයට නිදහස් වීම. ඉතින් එහෙම නිදහස් වෙන ශක්ති විශේෂය එයට අනුකූල වූ තැනක පිහිටනවා... තවත් විදියකට කියනවා නම් කාමයන්ට ඇලුන බැදුන පුද්ගලායගේ කාම ආශ්වාදයන් ගැනීමේ බලාපොරොත්තුව මතින් ලෝකයට නිදහස් වෙන ඒ ශක්ති විශේෂය කාම භවයෙහි පිහිටනවා. 

ඉතින් මේ තත්වයෙන් මිදී හිත මීලඟ මට්ටමට දියුණු වුවහොත් ඒ කියන්නේ ඒ පුද්ගලයා පංච කාමයට හසුනොවන දෙයකට බැදුනොත් එහෙම උදාහරණයක් වශයෙන් යෝගියෙක් වැනි කෙනෙක් ශාන්ත නිදහස් පරිසරයක් සුවයි සැපයි කියලා හිතට ගත්තා නම් එහිම ඇලුනා නම් බැඳුනා නම් එතැන මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම ආශ්වාදයන් නැතිවුණාට පැවැත්ම පිණිස නිදහස් ආශ්වාදයක් ගෙන දෙන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක එවන් වූ දෙයක් උපාදාන කලොත් එහිම රැඳුනොත් බැඳුනොත් එවිට ඇතිවන්නේ කාමාවචර නොවන රූපාවචර උපාදාන තත්වයයි. එතකොට භවය තමයි රූප භවය. 

ඉතින් මෙහෙම ඉන්නකොට ඒ යෝගියාට අහන්න දකින්න හම්බ වෙනවා බාහිර ලෝකයේ ගහ මරා ගැනීම් කලකෝලාහල වගේ දේවල්... ඉතින් හදවත කම්පාවට පත්වෙලා හිතනවා අනේ මේ ලෝක සත්වයන්ට මෙහෙම දුක් අදෝනා එනවානේ මට මේවා බලන්නවත් අහන්නවත් නැති තැනක ඉන්න පුළුවන් නම් කියලා ඒ වගේ තැනකට හිත අලවාගෙන එහිම හිත බැදෙනවා රැදෙනවා ඒ මානසිකත්වය තුලින් දැනීම තුල පමණක් ඉන්න ස්වභාවයක් ඇති කරගන්නවා එයම උපාදානය කරනවා. සරලව කියනවා නම් රූප දකින්න විඳින්න තියෙන අකමැත්ත තුලින් ඇතිකරගන්න ඇලීම බැඳීම හෙවත් උපාදානය. ඒ තුලින් බාහිර ලෝකයක දැනීමක් නැතිව පැවැත්මක් ගෙන යන පැවැත්මේ කොටසක් වන අරූපාවචර කියන පැවැත්මට පත්වෙනවා. තවත් කෙටියෙන් කියෙනවා නම් පවතින්න කැමැතියි හැබැයි ලොකයේ රූප, ශබ්ද ආදිය ඇසුරු කරන්න කැමති නෑ... ඒ මානසිකත්වයෙන් තමයි අරූප භව පහල වෙන්නේ. 

දැන් වැටහෙනවානේ කාම භව රූප භව අරූප භව කියන භව 3හි ජීවත් වෙන්නට හේතු ගොඩනැගෙන ආකාරය. 

ඇලීම නිසා ගැටීම ඇතිවෙනවා. ඔන්න ඒ අය සිත කය වචනය යොදවන්නේ පව් කරගන්න. තවත් ආකාරයකට කියනවා නම් දස අකුසලයේ නිරත වෙනවා. පුරුද්දක් ඇතිකරගන්නවා පව් කටයුතු කරන්න. සිත කය වචනය අකුසල්ගත පව් වැඩවලට යොමුකරමින් පව්කාරයෙක් බවට පත්වෙනවා. පව්කාරයෙක් බවට පත්වුණා කියලා කියන්නේ ඒ පුද්ගලයා ඒ පුරුද්ද ඇතිව ඒ බවට කැමැත්තෙන් මියගියොත් එහෙම සතර අපාගත උත්පත්තියක් තමයි ලැබෙන්නේ. පවට අකුසලයට ඇලීම තුලින් අපුණ්‍ය (පුණ්‍ය නොවන) අභිසංඛාර (සිත, කය, වචනය කැමැත්තෙන් මේ වෙනුවෙන් යොදවා කරන කියන සිතන දෑ) ඇතිකරගන්නවා ඒ බවට පත්වෙනවා. හේතුව මෙසේ වෙත්දි ඵලය ලැබෙන්නේ ඒ හේතුවට අනුව නිසා තමයි මේ කියපු කරපු සිතපු දේවලට විඳවන්න උරුම අධික දුක උරුම අත්බැවයක් ලැබෙනවා. තවත් විදියකට කියනවා නම් කැමැත්තෙන් බැඳුනේ යම් සේද ඒ අනුවයි ඵලය. 

තවත් කෙනෙක් පිනට ඇලෙනවා... පුණ්‍ය කටයුතු වෙනුවෙන් සිත කය වචනය යොමු කරනවා. කැමැත්තෙන් බැඳුනේ පිනටයි... සිත කය වචනය හැසිරෙව්වේ පිනටයි... ඒ අයට ලැබෙන ඵලයත් ඒ අනුවයි. සුගතිගාමී අත්බැවයන් ඵලය ලෙසින් ලැබෙනවා. 

ඉතින් භවයට පත්වීම තම තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒකට තමන් ගැන හොඳ සිහියෙන් විමසිල්ලෙන් ඉන්න ඕන. උදාහරණයකින් කියනවා නම්... 

තරහාගියා... තරහා බවට පත්වුණා, ආදරයක් ඇතිවුණා... ආදරයක් ඇතිවූ කෙනෙක් බවට පත්වුණා... ගැටීම උපරිමයට ගියොත් තිරිසන් සතෙක් බවටත් පත්වෙන වෙලාවල් තියෙන්නේ... නැත්නම් මගේ යකා අවුස්සගන්න එපා කියලා කියන්නේ යක්ෂ බවට පත්වෙලා... මෙන්න මේ වගේ තමන් තුල නිතර ඇතිකරගන්න බව මොකක්ද කියලා හොයලා බලන්න... නිතරම සිත, කය, වචනය තිරිසන් බවට පත්වූවෙක් වගේ නම් හසුරවන්නේ... පුරුද්දක් හුරුවක් කැමැත්තක් ඇතිකරගන්නේ දැන් මෙන්න මේ තිරිසන් බවටයි. දැන් ඉතින් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඵලය හේතුවට අනුවයි. තිරිසන් උපතක් ලැබෙන්නට තමයි ඔය හේතු ගොඩ නගන්නේ. නොයෙක් නොයෙක් බවට ඒ කියන්නේ හොඳ බවට, නරක බවට, මනුස්ස බවට, තිරිසන් බවට, දේව බවට, බ්‍රහ්ම බවට, ආර්ය බවට, ශාන්ත බවට, දුක බවට, සතුටු බවට, ආදී ලෙසින් නොයෙක් නොයෙක් බවට පත්වෙනකොට ඒ අනුව ජාති පහළ වෙනවා. 

තමන්ව තේරුම්ගන්න කියලා නිතරම බුදු හිමියන් දේශනා කලේ මේ නිසාමයි. සිද්ධාන්තය අවබෝධ වුණාම ඒ කියන්නේ සෝතාපන්න වුණාම කෙනෙක් සතර අපාගත නොවෙන්නේ මේ නිසාමයි. මොකද ඒ පුද්ගලයා අවබෝධයෙන් දන්නවා සිත, කය, වචනය කෙසේ හැසිරවිය යුතුද කියලා. වැටහීම අනුව තමයි ඒවා හැසිරවෙන්නෙත්. 

කිසිවකට ඇලෙන්නේ නැතිව කැමැත්තෙන් බැඳීමේ ආදීනව දකින්නට පුරුදු වුණ මනසට ගැටීමක් ඇතකරගන්න හේතුවක් නැතිව යනවා... මෙන්න මේ විදියට හේතු නිරෝධ වන මාර්ගයකට ඇතුලු වෙනවා. ඒ තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. තවත් විදියකට කියනවා නම් අතහැරීමේ ක්‍රම පිළිවෙතට තමයි මේ ආර්ය මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. 

නොයෙක් නොයෙක් අවස්ථාවන් වල තමන් විසින් අල්ලා ගන්නා නොයෙක් දේ තුලින් පත්වෙන නොයෙක් නොයෙක් භවයන් වටහාගන්නවා... එසේ ඒවා අල්ලාගන්නට හේතුව හොයා බලා එයින් මිදෙන්නට මනස යොමු කරගන්නවා. මේ පුද්ගලයාට පවට කිසිම කැමැත්තක් නෑ... පවට කැමැත්තෙන් බැඳිලා නෑ... ඒත් සමහර වෙලාවට ප්‍රඥා මට්ටම අනුව අකමැත්තෙන් වුවත් පවක් කරගන්නට ඉඩ ප්‍රස්ථාව තියෙනවා. මොකද තමන්ගේ ජීවිතයට තියෙන ආශාව නැතිවෙච්චවත් මරණ භයවත් නැතිවෙච්ච අරිහතුන්වහන්සේ කෙනෙක් නොවෙන නිසා ඒ ඒ මට්ටමෙන් පවක් කරගන්නට හැකියාවක් තියෙනවා. ඒත් ඒවා සතර අපාගත උපතක් ගෙන දෙන්නට තරම් බරපතල හේතුවක් මේ අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයාට සිද්ධ වෙන්නේ නෑ. 

ප්‍රඥා මට්ටම් අනුව තමයි මේ පුද්ගලා පින් කටයුතු වලටත් කැමැත්තෙන් බැදෙන්නේ... පිනට කැමැත්තෙන් බැඳී සිදුකරන කොට සුගතිගාමී අත්භවයන් ලැබෙනවා. ප්‍රඥාව දියුණුවෙනකොට පින් කොච්චර කලත් ඒවාට ඇලී බැඳී නොකරන්න මනස අවබෝධයෙන් දැනගන්නවා. මෙන්න මේ විදියට පැවැත්ම කෙලවර කරගන්නට හැකියාවක් ලැබෙනවා. 

ඉතින් කැමැත්තෙන් බැදෙනකොට කැමැත්තෙන් බැඳී සිත, කය, වචනය මෙහෙයවනකොට දුකටපත්වෙන්නට සිද්ධ වෙනවාමයි. පැවැත්මට හේතුවෙනවා කියලා පිනත් අනවබෝධයෙන් අතෑරියොත් වැඩේ වැරදිලා අනාථ වෙනවා. ඒ නිසා කරන කියන සිතන දෑ අවබෝධයෙන් යුක්තව කිරීම තමයි වැදගත් වෙන්නේ. භවය තෝරාගෙන භවයෙන් මිදෙන්න ධර්මය උපකාර කරගැනීමට බුද්ධිමත් ඔබට හැකිවෙත්වා!!! 
සියලු ලෝක සියලු සත්වයෝ නිවී සැනසෙත්වා!!!

No comments: