නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, February 26, 2014

ධර්ම දානයෙන් නිසි ඵල ලබත්වා!!!

මෙම සටහන වෙන් වන්නේ මා ලියන්නාවූ බෙදාගන්නාවූ ධර්මය ඇසුරු කරන ධර්මයට හිතැති පිරිස් වෙතට පුංචි මතක් කිරීමක් කිරීමටයි. 

අන් අය සමඟින් ධර්මය බෙදාගන්නට පටන්ගෙන මේ වන විට සම්මතයේ වසර කීපයක් ගත වී තිබෙනවා. මුල්කාලයේ පටන්ගෙනම ඒවා ඇසුරු කරමින් රැඳී සිටි යමෙක් වේ නම් ඒ අය මුල් කාලයේ ධර්ම විග්‍රහයන් සහ මේ වන විට බෙදාගන්නාවූ ධර්ම විග්‍රහයන් අතර වෙනසක් ඇති බවට අත්දැකගෙනත් ඇති. මේ වෙනස ධර්ම සිද්ධාන්තයට වඩා විග්‍රහ කිරීමේ ස්වභාවය මත පදනම් වී තිබෙන බව තෝරාගැනීම වැදගත් වෙනවා යන්න සිහිපත් කිරීමටයි මේ ලිපිය වැඩියෙන්ම වෙන් වෙන්නේ. 

හතරවටින්ම ඝණ කැලයකින් වටවූ ගම්මානයක් තිබෙනවා නම් ඒ කැලය ගිනි ගෙන දැවෙමින් ගම්මානය අනතුරට පත්වෙනවා නම් ඒ අනතුර දුටු පුද්ගලයෙක් විසින් "ගිනි ගන්නවෝ බේරෙන්ඩෝ!!!" කියමින් හැකි සෑම දෙනාටම අනතුරු අඟවමින් තමනුත් බේරෙන්නට කටයුතු කරනවා නම් තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම යහපතක් වෙන බව මගේ අදහසයි. ඒ අනුව තමයි මා විසින් එක් පුද්ගලයෙකු හෝ මේ සසර අනතුර වටහාගෙන බේරෙන්නට කැමැත්තක් මතු කරගනීවි යන අදහස ඇතිව මට වැටහෙන යමක් හැකි පමණින් බෙදාගන්නට උත්සාහ කරන්නේ. 

ඉතින් සෑම අවස්ථාවකම සිහිපත් කරනවා සේ මම නැවත නැවතත් කියන්නේ මේ ධර්ම දානයන් ඇසුරු කරන ඔබ විසින් මේ සෑම දෙයක්ම බොහෝම ප්‍රවේශමෙන් ඇසුරු කල යුතුයි යන්නම තමයි. සෑමවිටම ධර්මය තෝරාගත යුතු අන්දමත් නැවත නැවත සිහිපත් කරන්නේත් ඒ නිසාමයි. තවමත් අරිහත්වයට පත්නොවූවෙකු නිසාවෙන් ධර්ම විග්‍රහයන් තුල අඩුපාඩු තියෙන්නට පුළුවන්. සමහරවිට සිද්ධාන්තය වැටහී තිබුණත් ඒවා සටහන් තැබීමේ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. සමහරවිට උපරිමයෙන් නිවැරදිව සටහන් තැබූවත් එය කියවා තෝරාගැනීමේදී ඔබ විසින් නුසුදුසු අන්දමින් තෝරාගැනීමක් කර තිබෙන්නට තියෙන්න පුළුවන්. මේ වගේ බොහෝ කාරණා නිසාවෙන් ධර්මය තෝරාගැනීමේදී අප විසින් සිහිතබාගත යුතු කරුණු බොහෝමයි. අපට ලැබිය හැකි යහපත අයහපත තීන්දු වන්නේද ඒ ඇසුරු කරන ආකාරය මතමයි.

මා විසින් ඔබත් සමග බෙදාගන්නා ධර්මය හුදෙක් පොත පතේ දෑ හෝ වේවා මා අසන ලද ධර්ම දේශනාවන් ඒ ආකාරයෙන්ම පිටපත් කිරීමක් නොවන නිසාවෙනුත් ඒවා මාගේ අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමකට ගෝචර වන පමණින්ම තෝරාගන්නා ආකාරයෙන් සහ අත්දැකීම් තුලින් මට ලැබෙන ප්‍රතිඵල තුලින් බෙදාගන්නා නිසාවෙනුත් අඩුපාඩු බොහෝ විය හැකියි. ඒ වගේම ඒ තුලින් ලැබිය හැකි ප්‍රතිඵලත් විවිධාකාර විය හැකියි. කෙසේ හෝ වේවා උපරිමයෙන් නිවැරදිව තෝරාගත හැකි ලෙසින් බෙදාගැනීමට තමයි උත්සාහ කරන්නේ.

මුල්කාලයේ යම් ධර්ම විග්‍රහයක් සිදු කලේ නම් මේ වන විට ප්‍රායෝගිකව ලත් අත්දැකීම් පුහුණුව මත ඒ ධර්ම විග්‍රහයම වෙනස් ආකාරයකින් තවත් ගැඹුරින් විග්‍රහ වීමක් සිදුවී තිබෙන්නට හැකිය. එය එසේ නොවේ නම් කියවන ඔබටද කිසිදු ප්‍රතිඵලයක් ලැබිය නොහැකියිනේ නේද?

හැමදාම එකම කරුණ පමණක් නම් කියන්නේ වැඩිපුර ලිවීමට හෝ ධර්ම දානය පිණිසම පමණක් නම් කාලය ගත කරමින් ඉන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයා ප්‍රායෝගිකව මේ ධර්ම පුහුණු කරන්නට යොදා තිබෙන කාලය අවමයි යන්නයි. එවිට එවන් පුද්ගලයන් තුලින් අපට ලැබිය හැකිදෑද අවම වෙන්නට පුළුවන්. ඒ නිසාම එවන් විපතක් මට හෝ ඔබට සිදු නොවන අයුරින් කටයුතු කරන්නට තමයි මට හැකි අයුරින් උපරිම උත්සාහයක යෙදෙන්නේ. 

ඉතින් මේ ලිපිය තුලින් නැවතත් මේ කාරණා සිහි පත් කරන්නේ නව වසරේ ඔබට දිගින් දිගටම මේ "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය තුලින් හෝ වේවා බ්ලොග් අඩවිය තුලින් හෝ වේවා "ෆේස්බුක්" තුලින් හෝ වේවා අන් කවර ආකාරයකින් හෝ වේවා ධර්මය ලැබෙන්නටත් පුළුවන් නැතිවෙන්නටත් පුළුවන්... එසේ නැතිවුවහොත් අවමවුවහොත් ඒ තව තවත් මේ ධර්මයේ ප්‍රායෝගික පුහුණුවටම මුල්තැන දෙමින් මගේත් තව බොහෝ දෙනෙකුගේත් හිතසුව පිණිසත් කටයුතු කිරීමක් නිසාම මිස අන් කවර හේතුවක් නිසාවත් නොවන බව කාරුණිකව තෝරාගෙන මෙතෙක් මා බෙදාගත්තාවූ යමක් වේ නම් ඒ දෑ තුලින් ඔබගේ ජීවිතයත් ධර්මයෙන් පෝෂණය කරගන්නට වහ වහා කටයුතු කරන මෙන් සිහිපත්කරන්නෙමි. 

මේ ධර්ම දානමය පින්කම යමෙක් විටෙක ලාභ කීර්ති ප්‍රශංසාවන්ට යටවී කරන්නක් ලෙසින් දකිනවා... තවත් කෙනෙක් මාන්නය උපදවාගැනීමක් ලෙසින් දකිනවා... තවත් කෙනෙක් අවංක උත්සාහයක් ලෙසින් දකිනවා... බොහෝ දෙනෙක් මෙය වළකාලීමටද උත්සාහ දරනවා... කිහිප දෙනෙක් අවංකවම මෙම උත්සාහයට අසීමිත උපකාරයන්ද කරනවා... මේ ජීවිත කාලය තුල සත්ධර්ම තුලින් අවංක සතුටක් සැනසීමක් ලබනවා නම් ඒ මාත්‍රය තව කෙනෙකුටද ලබාදීමේ අවංක වේතනාව විනා අන්කවරක්වත් නැතැයි කීවද එයද විවිධාකාරයෙන් තෝරාගන්නා පිරිස් සිටීවි. ඉතින් මේ අංශු මාත්‍ර උත්සාහය තුලින් යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා තම තමන් ලබාගන්නා දෑ තම තමන්ටයි. 

ඔබ මේ උත්සාහ තුලින් යම් ධර්ම ඥානයක් වර්ධනය කරගන්නේ නම් ඒ ඥානයද අනිත්‍යවූ ධර්මතාවයම රැගත් බව නිති සිහි තබාගෙන අතැහැරීම නොඇලීම මිදීම තුලින් ශාන්ත ප්‍රණීත නිර්වාණයම අත්පත් කරගැනීමට වහ වහා උත්සාහවන්ත වන්න. ධර්ම ඥානයද වෙනස්වීමට ලක්ව යන්නාවූ අනිත්‍යවූ ධර්මතාවයෙන්ම යුක්ත වූවක් බව තෝරාගැනීම ධර්ම දානය කරන්නාවූ ඔබටද යහපත්වූ ප්‍රතිඵල ලැබීමට උපකාරයක්ම වනු ඇත. එවිට තමන් බෙදාගන්නා වූ යම් ධර්මයක් වේ නම් ඒ තුලින් මානයක් ඇතිකර නොගැනීමටත් ලාභ, කීර්ති, ප්‍රශංසා ආදිය බලාපොරොත්තු නොවීමටත් ඔබ සැමටත් ඒ සිහිය උපකාරයක්ම වේවි.

ධර්ම දානයක් තුලින් යමෙක් ලාභයක් ලබනවා නම් එය තවත් සසර අනාථ සත්වයෙකුගේ සසර අනාථත්වයෙන් මිදීමට රැකුලක් උපකාරයක් වූ පමණින් ලබන ලාභයක්ම පමණයි. එවන් වූ ලාභයක් නොලබන්නේ නම් ඒ ධර්ම දානය වෙනුවෙන් ගත කල කාලයෙන්ද ඵලක් නැත. බුදු හිමියන්ගේ අවවාදය අනුශාසනාව වූයේ යමෙකුට කෘත උපකාර කිරීමට අවශ්‍ය නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයම හේතු ඵල දහමම නිවෙන්නට උපකාර වන ධර්මයම හැකි අයුරින් බෙදාගන්නා ලෙසටයි. 

එහිදී තමන්ගේ අවබෝධයෙන් කල නොහැකි නම් එසේ අවබෝධයෙන් කරන්නාවූ වූ උතුම් පුද්ගලයන්ගේ හෝ වේවා ධර්මය බෙදාගැනීම ඉතාමත් වටිනා උත්සාහයක්ම වෙනවා. මන්ද මේ සසර එතරම්ම භයංකාර නිසාවෙනුයි. ඒත් ඒ උත්සාහයේදී තමා ඒ තුලින්ම අනතුරට පත්කර නොගැනීමට නිති සිහි තබාගත යුතුද වෙනවා. අන් අය තමා ගැන හිතන ආකාරය කෙසේ වේදැයි නොසිතා සිතට එකඟව කටයුතු කරමියි නොසිතා ධර්මයට එකඟව කටයුතු කිරීමට අධිඨන් කරගෙන මේ සසර දුක් කෙලවර කරගැනීමට වහ වහා උත්සාහ දැරීම බුද්ධිමත් සැබෑම මිනිසෙක් වන ඔබ විසින් ඔබටම කරගන්නා යුතුකමයි!!!

ඔබගේම මනසේ සිරකාරයෙක් වෙමින් සිහිනලෝකයක සිරවී සිටින ඔබට එයින් මිදීමට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි!!! අනුන් ගැන නොව තමන් ගැනම සිතා බලන්න... තමන්ටම යොමුවෙන්න... තමන් තුල ඔබ නොදුටු අත්නොදැකපු දෑ බොහෝමයි... සිහියෙන් මිදී අවදිවීමට ඔබට සියලු ආශිර්වාදයන් ලැබේවා!!!

www.nirvanadhamma.com වෙබ් අඩවියේ ජනවාරි මස කතු වැකිය ලෙසින් පළවූ ලිපියයි... එම වෙබ් අඩවිය සමඟින් රැඳී නොසිටින පිරිසගේ ධර්ම ඇසුර පිණිස ලබාදෙන්නෙමි!“

No comments: