Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, March 15, 2014

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි?

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී - ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි!

මේ වැකියේ සැඟවුණු අදහස කෙටියෙන් නමුත් පෙන්වා දීම සුදුසුයැයි සිතුණ නිසාම මෙම සටහන ඒ අනුව ගොනු කරමි.

“ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි“ යනුවෙන් පෙන්වා දී තිබෙන ධර්ම කොටස බොහෝ දෙනෙක් අදහස් ගෙන සිටින්නේ බාහිර වූත් භෞතික වූත් රැකවරණයක් සම්බන්ධවයි. එය නිසි ලෙසින් තෝරාගැනීම නිවීම පිණිස මෙන්ම ධර්මයෙන් ලැබෙන්නා වූ නිසි රැකවරණය තෝරාගැනීමටත් වැදගත් වෙනවා. පසුගිය කතුවැකියකදීත් ධර්මය තුලින් ලැබෙන ආරක්ෂාවක් රැකවරණයක් ගැන විග්‍රහ කරගන්නට යෙදුනා ඔබට මතක ඇති. ඉතින් මේ වැකිය තුලත් ගැබ්වෙන ඒ උත්තරීතර ගැඹුරු අර්ථයන් මතු කරගැනීම වැදගත් වෙනවා.

ධර්මයේ හැසිරෙන පුද්ගලයාට සොර සතුරු කරදර හෝ වේවා මාර්ග අනතුරු හෝ වේවා ලෙඩ දුක් හෝ වේවා අකල් මරණ හෝ වේවා වෙනත් බාහිර වූත් කරදර නොපැමිණෙන ආකාරයට තමයි බොහෝ දෙනෙක් මේ අදහස තෝරාගෙන සිටින්නේ. මේ නොගැලපෙන වැටහීම නිසාම බොහෝ අවස්ථාවල අන්‍යආගමික පිරිස් වලින් පවා අපහාස උපහාසයට ලක්වන අවස්ථාවන්ද දක්නට ලැබෙනවා. 

එපමණක් නොවේ මෙවැනි අදහස් ගෙන ධර්ම කටයුතු කරගෙන යන්නාවූ යමෙක් වේ නම් තමන්ට එවන් වූ අනතුරකට හෝ අසහනකාරී අවස්ථාවකට පත්වූ විට ධර්මය බොරු... කෝ කොච්චර කලත් මෙයින් ලැබෙන දෙයක් නෑනේ... මේ ධර්මය ඇසුරු කරලා වැඩක් නෑ... වගේ අදහස් ගෙන අන්‍යවූ ආගමක් දහමක් සොයා පිහිට රැකවරණය බලාපොරොත්තුවන අවස්ථාවන් පවා දක්නට තියෙනවා.

මුලින්ම “ධර්මයේ හැසිරීම“ කුමක්දැයි තෝරාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ සිතනවා නම් ධර්මයේ හැසිරීම ලෙසින් පවසන්නේ හුදෙක් පන්සල් යෑම, බෝධි පූජා පැවැත්වීම, මල් පහන් සුවඳ දුම් පූජා කිරීම, සිල් සමාදන් වීම ආදී දෑ ලෙසින් නම් මේ වදන තුල සැඟව ගිය ඒ ගැඹුරු අර්ථය තෝරාගැනීමට ඔබට මඳක් අපහසුවේවි. 

“ධර්මයේ හැසිරීම“ යනු හුදෙක් ඉහත කී වත් පිළිවෙත් තුල ක්‍රියාත්මක වීමක් නම් නෙවේ. ඒ දේ තුල ක්‍රියාත්මක වෙමින් තමන් විසින් “ධර්මයේ හැසිරෙනවාය“ කියලා අදහස් ගෙන තිබෙනවා නම් වහ වහා ඔබ විසින් තම තමන්ගේ වැරදි වැටහීම ඉවත් කරගැනීමට කටයුතු කල යුතුම වෙනවා. එසේ නොවුනොත් අවාසිය පාඩුව ඔබටමයි. කෙටියෙන් පවසනවා නම් “ධර්මයේ හැසිරීම“ යනු ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත්වීම සහ ඒ තුල ක්‍රියාත්මක වීමයි. තවත් ආකාරයකට කියනවා නම් සෝතාපන්න ඵලයට පත්වූ තැන් පටන්ගෙන නිවන පූර්ණය කරගැනීම දක්වාම වූ වැඩපිලිවෙලයි. ඇයි මේ එහෙම කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. මෙහෙම තෝරාගන්නකෝ...

ධර්මයේ හැසිරෙන්න නම් හැසිරිය යුතු ධර්මය කුමක්දැයි තෝරාගත යුතු වෙනවා එහෙම නේද? ධර්මය නම් හේතු ඵල දහම් සිද්ධාන්තය තෝරාගැනීම සහ ඒ අනුව කටයුතු කරගැනීමයි. ඉතින් ඒ ධර්මය හෙවත් හේතු ඵල දහම් සිද්ධාන්තය යමෙකුට අවබෝධ වීමම තමයි සෝතාපන්න ඵලයට පත්වීම හෙවත් පළමුවෙන්ම ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත්වීම ලෙසින් ධර්මය තුල පෙන්වා දෙන්නේ. තවත් ආකාරයකින් කියනවා නම් අන්තයන්ගෙන් මිදුණු මධ්‍යම ප්‍රතිපදාව තුල කටයුතු කරන්නට පටන්ගන්නේ සෝතාපන්න ඵලයට පත්වූ තැන් පටන්ගෙනයි. ඔන්න දැන් ඒ පුද්ගලයාට ධර්මය කුමක්දැයි වැටහෙනවා. ධර්මය කුමක්දැයි දැන ඒ තුල හැසිරෙනවා. දැන් ධර්මයේ හැසිරෙන පුද්ගලයාට ධර්මයේ රැකවරණය ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? භෞතිකවූත් බාහිරවූත් රැකවරණයක් ගැනද මේ පෙන්වා දෙන්නේ? එහෙම දෙයක් නම් නෙවේ.

හේතු ඵල දහම් සිද්ධාන්තය හෙවත් ධර්මය යමෙකු තුල පහල වූ විට ඒ පුද්ගලයා ලෝකය දකින්නේ හේතු ඵල දහමට අනුවයි. ලෝකයේ එතෙක් සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයයක්, වස්තුවක් ලෙසින් යම් මැනගැනීමක් තිබුනේ නම් ඒ මැනගැනීමෙන් ඉවත්වීම පිණිස තමයි එතැන් පටන්ගෙන නුවණ මෙහෙයැවෙන්නේ. එතෙක් කාලයක් මායා ලෝකයේ මුලාවට හසුව කටයුතු වීමක් සිද්ධ වුණා නම් දැන් ඒ අනතුර හැඳිනගෙන තමයි කටයුතු කරන්නේ. 

අන්න ඒ නිසාම ඒ පුද්ගලයාට ඇසට රූපයක් ගැටෙන විට, කණට ශබ්දයක් ගැටෙන විට, නාසයට ගන්ධයක් ගැටෙන විට, දිවට රසයක් ගැටෙන විට, කයට ස්පර්ශයක් ගැටෙන විට, මනට ධර්මයන් ගැටෙන විට අනතුර හඳුනාගෙන, උඟුල හඳුනාගෙන කටයුතු කරනවා. එතෙක් කාලයක් ඇම නොදැන ගිලීමෙන් අනතුරට පත්වූවා නම් දැන් මේ ධර්මය දන්නා ධර්මයේ හැසිරෙන පුද්ගලා විසින් ඇම තෝරාගෙන අනතුර හඳුනාගෙන සිටිනවා. 

අන්න ඒ නිසාම ඒ පුද්ගලයාට තමන් තෝරාගත්තාවූ ධර්මය තුලින් නැවතත් පැවැත්ම පිණිස නැවතත් ඉපදෙමින් ලෙඩවෙමින් වෙනස්වීම් වලට ලක්වෙමින් මරණයට පත්වෙමින් අනන්ත දුක් රැසක් විඳිමින් ගෙවන්නට සිද්ධ වෙන පැවැත්තම ඇති හේතු ක්‍රමයෙන් ඉවත් වෙමින් යනවා. එවන් වූ පුද්ගලයෙකුට ලෝකයේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් කියන්නාවූ යමක් වේ නම් ඒ ප්‍රශ්ණයක් ගැටලුවක් කියන්නාවූ දෑහි යථාර්ථය ඒ පුද්ගලයා ධර්මය තුලින්ම දන්නා නිසාම ක්‍රමයෙන් කම්පා නොවන සුළු අසහනයක් නැති සාමකාමී මනසක් ඒ පුද්ගලයාට හිමිවෙනවා. 

ලෙඩ නොවේවා ලෙසින් පැතුමක්වත් ලෙඩ රෝග වලට ලක්වූවොත් ඒවායෙන් ඉක්මනින් මිදේවා ලෙසින් අසහනකාරී මානසික තත්වයන්වත් ලෙඩරෝග සුවකරගැනීමේ අනිසි වැඩපිලිවෙලක්වත් ධර්මයේ හැසිරෙන පුද්ගලයාට ඇතිවෙන්නේ නෑ. ලෙඩ රෝග වලින් ඇතිවන යම් කායික අපහසුවක්වේ නම් එය හැකි අයුරින් ඉවත් කරගන්නට හැකි නම් ඉවත් කරගන්නට කටයුතු කරන අතර එසේ කරගන්නට නොහැකිවූවොත් එසේ නොහැකිවූවා යැයි කම්පාවක් ඒ පුද්ගලායට ඇතිවෙන්නේ නෑ. 

සොර සතුරු කරදරයක් ඇතිවූවොත් ඒ පුද්ගලයා එහි ධර්මතාවය හොඳින් තෝරාගෙන සිටින නිසාවෙන් අසහනකාරී පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන්නේ නෑ. යම් රිය අනතුරකට ලක්වූවොත් බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීමකට පත්වූවොත් සිත් පීඩාවක් අසහනයක් නැතිව ඒ සෑම දෙයකට කම්පාවකින් තොරව මුහුණ දීමේ ශක්තියක් ඒ පුද්ගලයාට ඇතිවෙනවා.

මෙන්න මේ ආකාරයට යම් වූ බාහිර වූත් භෞතික වූත් කරදරකාරී පීඩාකාරී යම් යම් අවස්ථාවන් වේ නම් ඒ දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වූ විට කම්පා නොවන අසහනයෙන් තොර මනසක් හිමිවීම තමයි ධර්මය තුලින් ලැබෙන රැකවරණය කියලා කියන්නේ. මඳක් සිතා බලන්න එවන් වූ රැකවරණයක් නොවේද තම තමන්ට අවශ්‍ය වෙන්නේ කියලා? ඇයි? 

බාහිර වූ භෞතික වූ කරදර හිරිහැර කොතෙක් නොඒවා නොඒවා යැයි පැතුවත් ඒ සෑම දෙයක්ම පැමිණීම ලෝකයේ ධර්මතාවයයි. මන්ද යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම ඒ සෑම දෙයකම ධර්මතාවයයි. ඒ ධර්මතාවය නිසාම කැඩෙන බිඳෙන විනාශ වන, කඩන්න බිඳින්න විනාශ කරන්න හැකි, කැඩී බිඳී විනාශ වී යන ස්වභායෙන් යුක්ත සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු රැසක් සහිත අවස්ථාවන් සමූහයක් තමයි අපි ජීවිතය ලෙසින් මුහුණ දෙන්නේ. ඉතින් ලෝකයේ ස්වභාවය මෙන්න මේ ආකාර වන විට මේ ලෝකය කුමක්ද එයට හේතුව කුමක්ද එය නිරෝධ කරගන්නේ කෙසේද එයට මාර්ගය කුමක්දැයි තෝරාගත්තාවූ ධර්මය නිසි ලෙසින් තෝරාගත්තාවූ පුද්ගලයා තමයි නිසි ලෙසින් ධර්මයේ හැසිරෙන්නේ. ඒ ධර්මය තුල හැසිරෙන විට ලැබෙන රැකවරණය තමයි මොන දේ සිද්ධ වුණත් කම්පාවක් නැති ස්වභාවයට පත්වීම. 

තවත් ආකාරයකට කියනවා නම් ලාභයක් වුණත් අලාභයක් වුණත්, යසසක් වුණත් අයසක් වුණත්, නින්දාවක් වුණත් ප්‍රශංසාවක් වුණත්, දුකක් වුණත් සැපක් වුණත් මොනදේ වුණත් අකම්ප්‍ය හෙවත් කම්පාවක් නැති මනසක් ලැබීම පිණිස ධර්මයේ හැසිරෙන්නා තමයි ධර්මය තුලින් ලැබෙන නිසි රැකවරණය ලබන්නේ. පැවැත්ම පිණිස හේතු වන යමක් වේ නම් ඒ ඒ දෑ තෝරාගෙන ඒවායෙන් බේරී තමන්ව අනන්ත වූ දුක් රැසින් මුදවාගන්නට ධර්මය තුලින් රැකවරණය ලැබෙන්නේ ඒ ගැඹුරු ධර්මය තෝරාගෙන එහි හැසිරෙන පුද්ගලයාටයි.

පැවැත්මක් තුල හිඳිමින් පැවැත්මට හේතු හදමින් යමෙක් මා ඉපදීමේ දුකෙන් මිදේවා... මා ලෙඩවීමෙන් මිදේවා... මා අනතුරුවලින් මිදේවා... මා විනාශයන්ගෙන් මිදේවා... මා මරණයෙන් මිදේවා... යැයි කියනවා නම්, හිතනවා නම්, කටයුතු කරනවා නම් එයම තමයි අවිද්‍යාවේ භයංකාරත්වය. විද්‍යාව පහල නොවූ සිතක ස්වභාවය එයයි. ඒවායෙන් මිදීමක් ලැබිය හැකි එකම ක්‍රමය සැබෑ ධර්මය තමන් තුල පහල කරගෙන ඒ අනුව කටයුතු කරගැනීමයි. 

අන්න ඒ නිසාවෙන් ඔබත් ඒ ගැඹුරු ධර්මය අප්‍රමාදීව තෝරාගන්නට කටයුතු කලයුතුමයි නේද? ප්‍රමාද නොවෙන්න. ධර්මය තෝරාගන්න. ඒ උතුම් ධර්මයේ හැසිරෙන්න. ඒ ධර්මයෙන් ලැබෙන රැකවරණය අප්‍රමාදීව ලැබගන්න. ඒ වෙනුවෙන් තෙරුවණේ ආශීර්වාදය උපරිමයෙන් ලැබේවායි සුපුරුදු ලෙසින්ම මෙත් සිතින් පතමි!!!

No comments: