Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, June 22, 2017

සමාවෙන්න බුදු පියාණෙනි!

බුදු පියාණන්වහන්සේ පෙන්වූ දහම විද්‍යාඥයින්ට පවා පෙන්වන්නට හැකි දහමක් බවට මේ වන විට ප්‍රකට වෙමින් පවතිනවා. 
අද වගේ තාක්ෂණය දියුණු නැති කාලෙක... අද වගේ විද්‍යාඥයින් නොසිටි නිසා... බුදු හිමියන් විශේෂ වූ බව තමයි ඒ වගේ මත වල අවසාන අදහස වෙන්නේ. 

සම්මා සම්බුදු කෙනෙක් සියල්ල දන්නාවූ ඥානයකින් ලෝකයේ අචින්ත වූ කර්ම විෂය ගැන පෙන්වා... මේ දේවල් ගැන බුද්ධත්වයට පත්නොවූ මනසකට හිතාගන්නටවත් නොහැකි බව හේතු ඵල දහමින්ම ඔප්පු කර පෙන්නුවත්... මේ වන විට අවිද්‍යාවෙන් පිරුණු සාමාන්‍ය විද්‍යාඥයින් සොයාගත් සමීකරණයක් යොදා කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්නට හැකි යැයි විශ්වාස කරන බෞද්ධයින්ද බිහිවෙමින් සිටිනවා...

ලොව්තුරු බුදුවරයෙක්ට පමණක් පෙන්වා දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම මේ වන විට බොහෝ පිරිසකට විශේෂ වී තිබෙන්නේ, මේ කාලේ වගේ උගත් බුද්ධිමත් අය නොසිටි කලක  උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දහමක් පෙන්වා දුන් නිසා බුදු හිමියන් විශේෂ වී තිබෙනවා යන අදහසින්ම බව නම් පැහැදිලියි.  එහෙත් කියන්නේ නම් එසේ නොවේ නෙවේ.

සාමාන්‍ය මෙකල බහුතරයකගේ භාෂාවෙන් කියනවා නම්; “වැඩ්ඩෝ නොමැති කලක වැඩ පෙන්වූ නිසා“ බුදු හිමියන් විශේෂ වී තිබෙනවා. මෙකල පහල වන මහා විද්‍යාඥයින් අතර තවත් අනේ බුදු හිමියන්ද තවත් එක් විද්‍යාඥයෙක් පමණක් වී තිබෙනවා... 

සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

දහම් දැකීමෙන් බුදුන් දකින්නාට බුදු කෙනෙක් අත්‍යවශ්‍යම වෙන්නේ ඇයිදැයි අවබෝධ වෙනවා... මේ අදහස් වලින් පෙනී යන්නේ තම තමන්ගේ මත තුලින් තම තමන්ට ඕනෑ කරන බුදු කෙනෙකුන් දැක ඇතිවා විනා... අසම සම තුන්ලෝකයටක අග්‍ර තවත් සම්මා සම්මා සම්බුදු කෙනෙකුට හැර සම කරන්නට නොහැකි සම්මා සම්බුදු කෙනෙකු හෝ ඒ දහමේ සුවිශේෂිත්වය පෙර නොඇසූ විරූ බව... තවමත් මේ ඇත්තන්ට පෙනෙන තෙක් මානයකටවත් ලැබී නොමැති සෙයක්මයි...

සැබැවින්ම පරම දුර්ලභ ශාසනය අවසානයකට ඇවිත්මය...

පිළිගන්නෝ බහුල වෙමින්... තමන් දැනටමත් දන්නවා යැයි සිතාගෙන සිටින නිවන් සොයන්නෝ බහුල වෙමින්... දැනටමත් දන්නා දහමකම මහා ගැඹුරක් සොයමින් මහා උසස් කොට කතා කරන්නෝ බහුල වෙමින්... පරම පිවිතුරු බුදු වදන යට හැර ප්‍රතිරූපකයන්ටම තැනදෙන්නෝ බහුල වෙමින්... පුද්ගලත්වයන් සරණ යන්නන් බහුල වෙමින්... ආගමිකයන් බහුල වෙමින්... 

සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

දේශනාව තුල නම් වචනයට කියන්නේ බුදු හිමියන් තරම් විශේෂ කෙනෙක් නොවන බවයි...
උන්වහන්සේගේ දහම අසම සම බවයි...
ඒත් දේශනාවේ හරය තුලින් අහගෙන සිටින කෙනාට කරුණු ඇතිවම ඔප්පු කරන්නේ එහි ඇති දෙයක් නොවන බවයි. “අපේ තාත්තා ලොක්කා... අපේ අම්මා උතුම්“ වෙලා තියෙන්නේ මාන්නක්කාර දරුවන්ගේ නම්බුව රැකගන්නට මිස තාත්තා අම්මා උතුම් වී ඇත්තේ ඇයිදවත් නොදන්නා තරමටම දරුවන් යැයි කියාගන්නා පිරිස බහුල වෙමින් තිබේ...

සැබැවින්ම ශාසනය විනාශ වෙන්නෙ ඇතුලතින්ම බිහිවෙන්නන්ගෙන්මය... 

ඒ අමා මෑණියන්ගේ ඒ බුදු පියාණන්ගේ විශේෂත්වයක් නොදකින අයාලෙ යන අනුවණ අකීකරු හදාගත් දරුවන් බහුලවෙමින් සුජාත දරුවන්ටත් අසම සම මෑණියන් පියාණන්වූ සම්මා සම්බුදුන්ටත් නිසි තැන අහිමිවන ශාසනයේ අවසානය සැබැවින්ම ඇවිත්මය... 

එහෙත් ඒ දරුවන් පවසන්නේ පරපුර රැකෙන බවය... පියාගේ නාමය බබළවන බවමය... කෙසේ නම් මේ අවුල විසඳන්නද... සැබෑ දරුවන් දකින්නේ අනතුර එන්න එන්නම ප්‍රබල වන බවමය!

සමාවෙන්න බුදු පියාණෙනි... මට කල හැකි දේ කල හැකි පමණින් උපරිමයෙන් කරන්නට වෙර දරන්නෙමි... එහෙත්... සමාවෙන්න අමා මෑණියනි...!!

ප්‍රඥාවන්තයෙක් වේ නම් අප්‍රමාද වේවා!!!
ප්‍රතිරූපක වෙනුවට සැබෑ දහමම දකිත්වා!!! 

Tuesday, June 6, 2017

සත්කාය දිට්ඨිය නිරෝධය පිණිස


සත්වයෙක්ය පුද්ගලයෙක් ද්‍රව්‍යයක්ය වස්තුවක්ය යන විකෘති වූ දෘෂ්ඨියක් මොහොතක් පාසා නැඟෙනවා... මමය, මගේය, මගේ ආත්මයය යන හැඟීමක් දැනෙනවා... මෙන්න මේ විකෘති සංඥා විපරීතය නැති කරගැනීම පිණිස වූ පෙර නොඇසූ විරූ දහම අවබෝධ කරගත යුතුයි.  

රූපය ලෙසින් සකස් වී පෙනෙන මායාවට හසුවූ විට... එහි ඇත්ත නොදැන ඇසුර ලබන ක්ෂණයේදීම එයට රැවටුන විට මහා අවුලකට පත්වෙනවා... මුලු සසර පැවැත්මම සකස් වෙනවා... ගත වෙන්නේ ක්ෂණයයි... 

ඇසට රූප පෙනෙන මොහොතේම (දිට්ඨ), කණට ශබ්ද ඇසෙන මොහොතේම (සුත), නාසයට ගන්ධ, දිවට රස, කයට පහස දැනෙන මොහොතේම (මුත), මනට ධර්ම විඳින (විඤ්ඤාත)  මොහොතේම, ඒ ඒ දේ මායාවක් සේ සකස් වී  පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින බව නොදන්නා නිසාම ඒ මොහොතේ විඳින්නට යමක් තිබේ යැයිද, විඳින්න යමෙක් සිටී යැයිද අන්ත දෙකක් දැනෙනවා.  

විඳින්නෙක් සහ විඳින්න දෙයක් ලැබුණ මොහොතේ කැමැති සේ වූ බවක් දැනුනත්... කැමැත්ත ඉෂ්ඨ වූ බව දැනුනත් සැබෑවටම කැමැත්ත ඉෂ්ඨ වුණාද?  මොහොතකටවත් කැමති සේ ලැබුණාද?  ලැබුනේම මායාවක් නම්... සිද්ධ වුනේ රැවටීමක් පමණයි නම්... කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කුමන ලෝකයක උපතක් ලැබුවත් සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් ලෙසින් සංඥාවක් ලැබෙන්නේම මේ මායාවට හසුවීමෙන් නම් පැවැත්ම තුල ඇති සැපය කුමක්ද?  හරය කුමක්ද?

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පංච ස්කන්ධයේ යථාර්ථය නොදත් විට සකස් වෙන ලෝකය හඳුනාගන්නට පෙර නොඇසූ විරූ දහම් විනිවිද දැකිය යුතුයි. 

මම ඉන්නවා මම කැමති සේ නෑ... මම අනිත්‍යයයි... මම කැඩී බිඳී යනවා... මට ඕන වුනත් මට ඕන විදියට මැරෙන්නේ නැතිව ඉන්න බෑ... මම ඇලෙනවා... මම ගැටෙනවා... මම භාවනා කරනවා... මම නිවන් දකිනවා... මම පවතිනවා... මට ඕන විදියට මමවත් නෑ... මේ විදියට නම් තවමත් දහම් දකින්නේ... මේ සෑම දෙයක් තුලම පවතින “මම“ ගැන සංඥාවක් සකස් වෙනවා නම්... මේ සෑම මෙනෙහි කිරීමක් තුලම ස්ථිර වශයෙන්ම පවතින, අඛණ්ඩව පවතින, සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයයක්, වස්තුවක් ගැන සංඥාවක් නැගෙනවා නම් තවමත් සත්කාය දෘෂ්ඨිය ප්‍රහීණ නැතිවා විය හැකියි. 

ක්ෂණයක් පාසා මායාවට රැවටීමෙන් පෙනෙන්නට යමක්, ඇහෙන්නට යමක්, දැනෙන්නට යමක්, විඳින්නට යමක් සැබෑවටම පවතිනවා යැයි හැඟෙනවා නම් ප්‍රිය මධුර, ආශ්වාදය සකස්වීම නතර කල නොහැක්කේමය.  

එසේ නම් පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්ෂණයේදීම ඒ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වන රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඤ්ඤාණයේ යථාර්ථය යථාවත් ලෙසින් දැක අවබෝධ වී තිබීම ලෝකයේ අනිච්ච, දුක්ඛ, අනත්ත සංඥාව ඇතිවීමයි.  නිවැරදි සංඥාවට පත්වීමයි.  නැතිනම් අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කෙරෙහි නිච්ච, සුඛ, අත්ත සංඥාවක්ම නැගෙනවා නිසැකයි.  පැවැත්ම ඒ ක්ෂණයේදීම සකස් වෙනවා නිසැකයි.  

හුස්මක් හුස්මක් පාසා මේ ඇත්ත දකින්නේ නම්... කෑම කන කටක් පාසා මේ ඇත්ත දකින්නේ නම් අප්‍රමාදී යැයි කියන්නට හැකි ප්‍රඥාවන්තයෙක්මය.  

ඉතින් නිවැරදිව දහම් සොයන්න... නිවැරදිව දහම් දකින්න... නිවැරදිව මඟ වඩන්න... දැනුම් සම්භාරය පසෙකලා දැන්වත් අප්‍රමාදීවන්නට හේතු උපකාරයක්ම වේවා!  මායා මුලාව විනිවිද දකින්නට දහම් අවබෝධය ලබන්නට සියලු සතහට තෙරුවණේ රැකවරණය ලැබේවා!

(පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මුල සිට සරලවම පෙර නොඇසූවිරූ දහම් විග්‍රහයක් කර දෙන සත්කාය දෘෂ්ඨිය ප්‍රහීණ වන්නට දැකිය යුතු දහම් පැහැදිලිව විග්‍රහ කර දෙන මේ දේශනයත් නිවී සැනසීම පිණිසම හේතු උපකාර වෙත්වා!)

Tuesday, March 7, 2017

නිවන් පූර්ණයට සතර දැහැන් අවශ්‍යමද?

මේ සටහන වෙන් වෙන්නේ මේ කාලේ අඩුවක් නැතිව පටලවාගන්න ධ්‍යාන හෙවත් දැහැන් ක්‍රමය බුදු දහම සේ පටලවාගෙන තිබීම ගැන ප්‍රඥාවන්තව විමසීම පිණිසයි. 

ලෝකෝත්තර ආර්ය මාර්ගයේ “සම්මා සමාධිය“ කියන ස්වභාවය තුල අත්දකින ලෝකේ කිසිවක් අල්ලානොගැනීමෙන් ප්‍රඥාවෙන් ලැබෙන උපේක්ෂාව මුසුවූ නිරාමිස සුවය බොහෝ දෙනෙක් පටලවාගන්නේ ලෞකික වූ ලෝකයා දන්නා හඳුනන සතර දැහැන් වලටමයි. 


ලෞකික ආර්ය මාර්ගය තුලදී සම්මා සමාධිය කියන අවස්ථාවේදී වැඩෙන්නෙත් ඒ දැහැන්ම තමයි. රූපාවචර අරූපාවචර ලෙසින් බෙදා දක්වන බ්‍රහ්ම තල වල ස්වභාවය තමයි සරලවම දැහැන් කියලා කියන්නේ. 

දැහැනක් ලෝකෝත්තර වෙන්නේ එය වඩන පුද්ගලයාගේ ආර්ය මානසිකත්වයක් ලැබූ විටයි. සරලව කියනවා නම් ත්‍රිලක්ෂණය අවබෝධය, චතුරාර්ය සත්‍යාවබෝධය, හේතු ඵල දහම් අවබෝධය පංචස්කන්ධ, පංචඋපදානස්කන්ධ, ධාතු, ආයතනය ආදී ලෙසින් කියන්නාවූ බුදු හිමියන් පෙන්වූ ධර්මාවබෝධය ලැබූ පුද්ගලයාගේ ස්වභාවය මත තමයි සියල්ල “ලෝකොත්තර“ වෙන්නේ. ලෝකයෙන් එතෙර වෙන පුද්ගලයාට ලෝකයේ සියලු දෑ ලෝකයෙන් එතෙර වීම පිණිස උපකාර වන නිසා තමයි “ලෝකෝත්තර“ කියන වචනය භාවිතයෙන් හඳුන්වන්නේ. 

රූපාවචර සතර දැහැන් මෙන්ම අරූපාවචර දැහැන් කියන්නේ කාම සුඛයෙන් ලබන්නට නොහැකි අසීමිත සුවයක් ලැබිය හැකි අවස්ථාවන්. හේතුව ඒවා බ්‍රහ්ම ස්වභාවයන් වීමයි. හැම කාලයකම මේවා ප්‍රකටයි. බුද්ධ ශාසනයෙන් පසුව වෙනත් ආගම් දහම් වලට හැරී දැහැන් වඩන ක්‍රම ලෙසින් ප්‍රකට වෙන්නෙත් මේ නිසාමයි.  මේ ක්‍රමය හැමදාම තියෙනවා.  බුද්ධ ශාසනයක් පවතින කාලයකත් තියෙනවා... ඒ නිසාමනේ ඉතින් මේකට අහුවෙන්නේ.

ලෞකික ආර්ය මාර්ගයක ඉන්න කෙනාට... චතුරාර්ය සත්‍යාවබෝධය ආදී දහම් අවබෝධය නොලත් කෙනාට නිවන් දකින කමටහනක් වුණත් ලෞකික අරුතකින්ම වැඩෙනවා මිසක්... ලෝකයේ සුගතිගාමී පැවැත්මේම රැඳෙනවා මිසක්... ලෝකයෙන් එතෙර වීම පිණිස අරුතක් එයින් වැටහෙන්නේ නෑ.

එහෙත් ලෝකෝත්තර දහම් ඇස පහල වූ තැන් පටන්ගෙන ඒ ආර්ය පුද්ගලයාට ලෞකික දෙයක් ලෙසින් සම්මත වූ සෑම දෙයක්මත් ලෝකයෙන් එතෙර වීම පිණිස කමටහනක්ම වෙනවා. 

ලෞකික වූ දැහැන් හෙවත් ධ්‍යාන ඒ පුද්ගලයාට ලෝකයෙන් එතෙර වීම පිණිස උපකාර වන දෙයක් බවට පත්වෙන්නේ එය අමුතුවෙන් පුරුදු පුහුණු කර ලබන ලෞකික සුවයක් ඔස්සේ ගොස් නොවේ. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දකින විදසුන් නුවණ පහල වන විට ඒ පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ ලෝකොත්තර නිවීම පිණිස වූ “සම්මා දිට්ඨියයි“ ඒ අංගය වටකරගෙන එකතු කරගෙන අනෙක් අංග 7ම පහල වෙනවා. 

දැක්ම හරි ගිහින් නිසා දකින, අහන, විඳින, දැනෙන දෙයින් සකස් වූ ලෝකයේ ඇත්ත ඥානයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම කාමච්ඡන්ද, ව්‍යාපාද, විචිකිච්ඡා, උද්ධච්චකුක්කුච්ඡ, ථීනමිද්ධ කියන්නාවූ පංච නීවරණ හෙවත් නිවෙන වැසෙන දහම් ඇතිවෙන්නේ නැති මොහොත ලැබෙනවා. ඒ මොහොතට ඒ පුද්ගලයා තුල ධ්‍යාන චිත්ත නැගී සිටිනවා. ඒවා තුලත් ක්‍රියාත්මක වෙන්නේම විදසුන නිසා ඒ පුද්ගලයාට ඒ ලැබෙන සියලුම දැහැන් ලෝකයෙන් එතෙර වීමට උපකාරයක් වෙනවා. ඒ නිසා සතර දැහැන් ලෝකෝත්තර ධ්‍යාන ලෙසින් විග්‍රහ කරනවා. ඒත් ඒ දැහැන් එසේ ලෞකික සහ ලෝකෝත්තර වූනේ අති සියුම් ලෙසින් යෙදෙන “සම්මා දිට්ඨිය“ නිසයි. 

ඒ දැක්ම නිවැරදි වෙච්ච ආර්ය ශ්‍රාවකයා ඒ දැහැන් වල එල්ලෙන්නේ නෑ... ඒ සුවයට වශී වෙන්නේ නෑ... ඒ බ්‍රහ්ම තල වල පැවැත්ම හෙවත් බ්‍රහ්ම යෝනියේ හටගත් ස්වභාවය නුවණින් දකිනවා... යෝනිසෝමනසිකාරයෙන් දකිනවා... ඒ පැවැත්ම තුල ඇති අනිච්ච දුක්ඛ අනත්ත බව අවබෝධ කරනවා... ඒ අනුව ඒ සියලු දෑ ඉක්මවා ගිය සියලු සංස්කරණයන් සමථයට පත්වූ ස්වභාවය අත්දකිනවා... “ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ...“ ආදී ලෙසින් පෙන්වූ අත්දැකීම ලබනවා... එය සිහි කරලා ලබන දෙයක් නොවේ... ප්‍රඥාවෙන් ඇත්ත ඇති සැටියෙන් දුටු නිසා ලබන අත්දැකීමක්!

අරිහතුන්වහන්සේ අත්දකින නිවනම තමයි සෝතාපන්න වූ තැන් පටන්ගෙන අත්දකින්නෙත්. අරිහත්වය කියන්නේ ඒ නිවන සෑම මොහොතකම ක්‍රියාත්මක වීමයි. කිසි තැනක අල්ලා නොගත් ස්වභාවය... කිසිදු යෝනියක හටනොගන්නා ස්වභාවය ප්‍රඥාව පූර්ණය වීමයි... 

ඉතින් මේ අතිසියුම් අවස්ථාව අත්දකින්නට නොහැකි බොහෝ දෙනෙක් ලෞකික දැහැන් වලම ලෝකෝත්තර දැහැන් ලෙසින් පැටලෙනවා. දැහැන් වැඩෙන්නේ නෑ කියලා තවත් පිරිසක් කම්පා වෙනවා... බුදු හිමියන් නිතරම පැවසූ දෙයක් තමයි මේ ශාසනය සිහිය මුල්වී යන ශාසනයක් බව. එය නොදැන සප්ත බොජ්ඣංග වැඩෙන දහම් මග පසෙකලා දැහැන් පසුපස යන්නේ දැහැන් නැතිනම් නිවනක් නැති බව සිතමින්මයි. 

මේ විනාශය වලකා ගන්නට හැකිවෙන්නේ තම තමන්ටයි. බුදුහිමියන් කිව්වේ දහම් ප්‍රතිරූපක ප්‍රකට වෙනවා කියලයි. ඒත් ඒ ප්‍රතිරූපක කියන අයට දොස් කියන්නවත් විවේඡනය කරන්නවත් නෙවේ බුදු ඔවදන. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව“ තමයි බුදු පියාණන්වහන්සේගේ සරලම අවවාදය. කාලාම සූත්‍රය තුලින් පෙන්වන්නෙත් ඒ අදහසමයි. 

ඒ නිසා ප්‍රඥාවන්තවන්න. මේ උතුම් බුද්ධ ශාසනය... උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුර ඔබට මඟ හැරෙන විදිය ඔබටවත් සිතාගන්නට නොහැකි වේවි. හැමදාම කියනවා වගේ බුදු හිමියන්ගේ දහම මිස දේවදත්ත හිමියන්ගේ දහම පසුපස හඹා යන්නේ නැතිව බුදු වදන සහ දෙව්දත් වදන හඳුනාගන්නට දක්ෂ වන්න! අප්‍රමාදී වන්න!

දැහැන් සුවයි තමයි... කාම සුවයට ලොල්වූ ඔබට පළමු වරට මේ වගේ දැහැන් අත්දැකීම් එනකොට “අයියෝ මොනවද මෙච්චර කාලයක් කර කර හිටියේ“ කියලා හිතෙයි තමයි... බ්‍රහ්ම ස්වභාවය අත්දැකීමක් විදියට දැනෙනකොට නිවන් දැක්කා වගේ දැනෙයි තමයි... 

සංඥා විපරීතය හඳුනාගන්නා දහම පසෙකලා නොදන්නා අරුත් ඇති අවබෝධ නොවූ දහම් පද පෙලකින් එන එන සංඥා මඟ හැරී යන විට අපූරුවට විදසුන් වැඩෙනවා කියලා හිතෙයි තමයි... මේ වගේ පැවැත්ම තුලම පැවැත්ම නැවතුණා යැයි විපරීත අදහස් ඇතිව මිත්‍යා දැක්මකින් ඇරඹි ගමන මිත්‍යා විමුක්තිය ලබමින් අවසන් වන විට අරිහත්වූණා යැයි සිතේවි තමයි... 

නිරෝධය යැයි නොදැනීම අසංඥ තල වල ස්වභාවයක් අත්දකින බව හඳුනාගන්නට නොහැකි වෙයි තමයි... ඒ නිසාමයි මේ විටින් විට අනතුර පෙන්වන්නට උත්සාහ කරන්නේ... සර්පයා නිවැරදි තැනින් හසු නොවුනහොත් සිදුවන විනාශය අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති බව දන්නවානේ. 

සත්ධර්මය පරම දුර්ලභයි. ඒ පරම දුර්ලභ අති සියුම් ගාම්භීර සම්මා සම්බුදු කෙනෙකුට පමණක් විවර කර දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම ඥානයක් ලෙසින් ක්‍රියාත්මක වන තුරු තීන්දු තීරණ නොගෙන විවෘතව විමසන්නට ප්‍රඥාවන්ත වන්න යැයි තමයි කියන්නට තියෙන්නේ!

මේ සියලු දෑ සම්බන්ධයෙන් ත්‍රිපිටකය පුරාවටද බුදු හිමියන් පෙන්වා දී තිබෙන ප්‍රඥාවන්ත වූ මඟ අනවබෝධයෙන් යුතුව විග්‍රහ කරගන්නට යෑමෙන් පැටලුමෙන් පැටලුමටම පත්වෙනවා.  සියල්ල බොහෝ අපූරුවට පැහැදිලි යැයි බැලූ බැල්මට පෙනුනත් එය එසේ නොව සර්පයා වැරදි තැනකින් හසුවී මහා විනාශයකට පත්වී ඇති බව සැබෑම අවබෝධයක් ලැබූ යම් දිනක දකීවි... දැනේවි... අත්දකීවි!  එහෙත් එය එසේ වන විට මේ බුද්ධ ශාසනයත් මඟ හැරී තියෙන්නටත් ඉඩ තිබේවි!

“නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය ඔස්සේ මේ සියලු කරුණු ගැඹුරින් විග්‍රහ කරගන්නට යෙදෙමු.  එතෙක් සිහියෙන් නුවණින් විරියෙන් තෙරුවන් සරණ ලබමින් පිරිසිදු පිවිතුරු පෙර නොඇසූ විරූ දහම් සහිත බුදු වදනම විමසත්වා!!! එයම ලබත්වා!!! නිවනම වෙත්වා!!!

මේ දැහැන් ගැනත්, ඒ ඒ චරිත ස්වභාවයන් ගැනත් ඉතාමත් කෙටියෙන් විනාඩි කිහිපයක් ඇතුලත් අංග සම්පූර්ණ විග්‍රහයක් කර දෙන උතුම් කළ්‍යාණ මිත්‍රයාණන්වහන්සේ නමක් වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මේ දේශනාවද ප්‍රඥාවන්තව විමසන ඔබ සැමට උපකාරයක්ම වේවා!


(උන්වහන්සෙගෙන් දහම් ඔවදනක් ලබන්නට දුර්ලභව පැවැති කලක දහම් සාකච්ඡාවක් පවත්වා එය ලැබෙන්නට සැලැස්වූ පින්වත් කළ්‍යණ මිතුරු සැමට මේ ජීවිත කාලය තුලදීම නිවන් අවබෝධය පූර්ණය කරගන්නට මේ පුණ්‍ය කුසල ශක්තීන් හේතු වාසනා වෙත්වා!!!)

තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

Thursday, February 16, 2017

නුවණක් නැතිව දහම් අසා අනතුරට පත්වීම!


දහම් ඇස පහල වූ දේශකයාණන්වහන්සේ හමුවන්නට කිහිප දෙනෙක් එනවා...
ඉන් එක් අයෙක් දහම් ඇස පහළ වීම පිණිස ගැටලුවක් අසනවා... 
එවිට දේශකයාණන්වහන්සේ පෙර නොඇසූ විරූ දහම් විවර වන ලෙසින් කරුණු කාරණා පහදනවා...

ඒත් අසන්නාගේ චිත්ත විතර්කයන් දැනෙන දේශකයාණන්වහන්සේට මේ අසන්නාට මේ ටික නොතේරීම නිසාම කම්පාවක් ඇතිවී ඇති අයුරු දැනෙනවා... අපහසුතාවයට පත්වී ඇති අයුරු දැනෙනවා...

එවිට දේශකයාණන්වහන්සේ ඔහුට තේරෙන මට්ටමක් හෙවත් සතර පෙර නිමිති දකින්නාවූ මට්ටම සේ එදිනෙදා කලකිරීමක් ඇතිවන්නට හේතුවන කරුණු කාරණා පෙන්වා දෙනවා... වචනයෙන් කියනවා “ඔච්චර ගැඹුරක් ඕන නෑ මෙන්න මේ ටික දැකගන්නකෝ... මෙන්න මේ ටික දැනගන්නකෝ“ කියලා...

එතකොට අසන්නා ප්‍රීතියට පත්වෙනවා... සහනයක් ලැබෙනවා... හැබැයි අනුවණකමට හිතනවා “ආ මේ ටික දැනගත්තාම හොඳටම ඇති“ කියලා... එතැන හිටිය අනෙක් පිරිසත් මොකද කරන්නේ... ඒ අයත් හිතනවා “ආ ඔය ටික දැනගත්තාම ඇති“ කියලා... දේශකයාණන්වහන්සේත් කිව්වනේ කියලා... 

ඒ අය නුවණින් දකින්නේ නෑ ඒ දේශකයාණන්වහන්සේ ඒ දහම් ගැටලුව විසඳා දුන්නේ අර ප්‍රශ්ණය ඇසූ පුද්ගලයාටයි කියලා... ඒ පුද්ගලයත්වයට ගැලපෙන ලෙසින් තමයි ඒ කරුණ විසඳුවේ කියලා නුවණින් දැකගන්නේ නෑ... ඒ නිසාම අර වගේ අනුවණ තීරණ ගන්නවා...

ඒ අනුවණ තීරණය නිසාවෙන් ඒ පිරිසම අර කිවූ තැන නවතිනවා... පෙර ඇසූ විරූ දහමක්ම, පෙර නොඇසූ විරූ දෙයක් සේ දරනවා... දහම් ඇස පහල වූවා යැයි රැවටෙනවා... දේශකයාණන්වහන්සේ පෙන්වා දෙන ගැඹුරු සැබෑ පෙර නොඇසූ විරූ දහම් කොටස් මඟ හරිනවා... “උන්වහන්සේම කිව්වනේ ඔච්චර ඕන නෑ කියලා“ කියනවා...

දේශකයාණන්වහන්සේගේ අරමුණ වුනේ ප්‍රීතියට පත්වෙන අසන්නා, දිගින් දිගටම කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබමින් සත්ධර්මය ශ්‍රවණය කරමින් උන්වහන්සේ මුලින්ම පෙන්වා දුන්නාවූ මේ ගැඹුර හසුකරගන්නට අප්‍රමාදීවේවි යන අදහසයි... ප්‍රඥාවන්තයෙක් ඇසුවොත් නම් සිදුවන්නෙත් එයමයි...

අන්න ඒ නිසාම බුදු හිමියන් පෙන්වා දුන්නා, මේ දහම ප්‍රඥාවන්තව විමසන ප්‍රඥාවන්තයින් උදෙසාමයි කියලා... මන්ද අනුවණකමින් විමසන කෙනා අර වගේ අතරමඟ නවතිනවා...

මේ වන විට බුදු හිමියන් විවිධාකාර පුද්ගලත්වයන්ට ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් දුන් දහම් කොටස් සූත්‍ර දේශනා වශයෙන් පවතිනවා... මේ දහමේ හරය අවබෝධ කරගන්නවා වෙනුවට ඒ ඒ මට්ටම් වලින් දහම මෙය යැයි පවසමින් ලෝක සත්වයා දකින ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම, ප්‍රියයන්ගේ වෙන්වීම, අප්‍රියයන් හා එකතුවීම, යමක් කැමති සේ නොලැබීමේ දුක ආදී බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට තෝරාගත හැකි මට්ටමකින්ම දහම යැයි රැවටී නතර වී සිටිනවා... එයම විග්‍රහ කරනවා... බුදු දහම යැයි එයම ප්‍රකට කරනවා... 

මෙකල දේශකයාණන්වහන්සේලාගෙන් දහම් අසන බහුතරයක් පිරිසක් තුලද මේ දේ දැකගන්නට තියෙනවා... මතුපිට මට්ටමක්ම හසුකරගෙන දහම් දැක්කා යැයි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන ස්වභාවයන් ඉස්මතු වෙනවා... මෙය තම තමන්ටම කරගන්නා මහා අවාසනාවක්... අති දුර්ලභව මනුසත් බවක් ලැබ... අතිදුර්ලභව ලබන බුද්ධ ශාසනයක් ලැබ... අතිදුර්ලභව ලබන කළණ මිතුරු ඇසුරක් ලැබ... අතිදුර්ලභව ලබන පිවිතුරු සත්ධර්මයක් ලැබ... හොද්දකට බැසගත් හැන්දක් සේ ඒ ගැඹුර සියුම් බව දැකගන්නට උත්සාහ නොදැරීම අනුකම්පාසහගතයි...

බුදු හිමියන් මේ සත්ධර්ම ශ්‍රවණයේ අඩුපාඩුව මෙකල සිදුවන බව විටෙක පෙන්වා දී තිබෙනවා... බුද්ධ ශාසනය නැති වෙන්නට මෙයත් හේතුවන බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා... හේතුව තමයි, මෙසේ අනුවණව තීරණ ගන්නා... මෙසේ විමසුමකින් තොරව සත්ධර්මය අසන්නා හට දහම් ඇසක් පහල වීමට පරිසරය වැසී යනවා... තමන් විහින්ම ඒ පරිසරය වසාගෙන තිබෙනවා... 
ඉතින් උතුම් තෙරුවණටවත් මේ විහින් වලේ වැටෙන්නාහට උපකාරයක් විය නොහැකියි... අනුවණවකමකින් විමසන්නාට ලෝකයම සකස් වෙනවා මිස... පැවැත්මම සැකසෙනවා මිස... පැවැත්ම නැවැත්මක් නැත... සත්පුරුෂ දහමෙහි... ආර්ය දහමෙහි දක්ෂ බවක් සකස් වෙන්නේ නැත...

ඒ නිසා ඔබ ප්‍රඥාවන්තව විමසන ප්‍රඥාවන්තව දහම් අසන්නෙක් විය යුතුයි... දේශකයාණන්වහන්සේ විසින් පෙන්වා දෙන තමන්ට නොවැටහෙන දහම් කරුණ තමන්ට නොවැටහෙන්නේ මන්දැයි විමසිය යුතුයි... නොවැටහෙන්නේ නම් ඒ නොවැටහෙන කරුණම තව තවත් විමසන්නට ප්‍රඥාවන්ත විය යුතුයි... පංච ඉන්ද්‍රීයයන්ට වැටහෙන දත්තයන් තුලින් දහම් නොවිමසා සියුම් ගැඹුරු අදහස අවබෝධය පිණිස කටයුතු විවර කරගත යුතුයි.... 

යම් දහම් කරුණක් විග්‍රහ කර ඇති අයුරු ප්‍රඥාවන්තව විමසා මේ දහම් කරුණ මට ගැලපෙනවාද, මගේ චරිත ස්වභාවයට මෙය ගැලපෙනවාද, මේ මට්ටමින්ද දහම් දැකිය යුත්තේ, මේ කියන දේ තුලින් පැවැත්ම නවතිනවාද ආදී වශයෙන් ප්‍රඥාවන්තව විමසිය යුතුයි...

සමහර අවස්ථා තිබෙනවා ඒ දේශකයාණන්වහන්සේ විසින්ම වෙනත් පුද්ගලයෙකු ඇසූ විට අර පෙර කිවූ ප්‍රමාණවත් කිවූ මට්ටම නම් ප්‍රමාණවත් නැත මෙන්න මේ විදියට දහම තෝරාගත යුතුයි යැයි පෙන්වා දෙනවා... මන්ද ඒ අසන්නා හට අර කිවූ පෙර නොඇසූ විරූ දහම් මට්ටම හසුකරගන්නට ඒ අවස්ථාවේදී පැහැදිලි මානසිකත්වයක් තිබෙන නිසා... 
අන්න එවිට ප්‍රඥාවන්තව විමසන්න ඕන... මෙයාට මෙහෙම කිව්වා... අරයට අරහෙම කිව්වා... එහෙනම් කොයි කොටසද ගැඹුරු කොටස... ඒ ගැඹුරු සියුම් කොටස මට වැටහෙනවාද? ඇයි මට ඒ කොටස වැටහෙන්නේ නැත්තේ... මේ විදියට ප්‍රඥාවන්තව විමර්ශණය කල යුතුයි!

අති දුර්ලභ මිනිසුනේ ප්‍රඥාවන්තවන්න! මන්ද ඔබව බේරාගත හැක්කේ ඔබටම පමණි.... අති උතුම් ශාස්තෘවරයාණන්වහන්සේලා විසින්... ඒ ශාස්තෘවරයාණන්වහන්සේලා පෙන්වන දහම් අවබෝධ කරගත් උතුමන් විසින් අනුකම්පාවෙන් යුතුවම යම් අනතුරක් පෙන්වන්නට මහා මෙත් සිතකින් කටයුතු කරනවා... ඒ අනතුර හඳුනාගන්නට ප්‍රඥාවන්තවන්ත වන්න! මන්ද තමන්ව ගලවා ගත හැක්කේ තමන්ටම පමණි!!! 
තෙරුවන් සරණ උපරිමයෙන්ම ලැබ නිවනම වෙත්වා!!!

දැන්වත් ප්‍රඥාවන්තව නියම දහම දැකගන්නට අප්‍රමාදීවන්න!

මායාව විනිවිද දකින්නට දහම් ඇසක් අවශ්‍ය වෙනවා... මේ විපාකයක් වශයෙන් ලැබී තිබෙන ඇස,කණ, දිව, නාසය, කය, මන කියන ඉන්ද්‍රීයයන්ගෙන් ඇහෙන පෙනෙන දැනෙන විඳින දේවල් වලින් නම් ලොව්තුරා බුදු පියවරුන් පෙන්වා දුන්නාවූ පෙර නොඇසූ විරූ දහම් දැකගන්නට නොහැකියි... අන්න ඒ මායාව විනිවිද දකින්නට අංශු මාත්‍ර හෝ දහමක් පෙන්වා දෙන්නේ යම් කෙනෙක්ද ඒ උතුමන් දොහොත් මුදුන් දී නමස්කාර කරන්නට නිසිමය... 

අති පූජනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දේශනා වල මේ ගැඹුර අත්දැකගන්නට හැකිවූනා නම් උන්වහන්සේගේ අඩුව පුරවන්නටැයි... උන්වහන්සේ පෙන්වූ දහමමයි... යැයි කියා අධර්මයන්ගේ සරණ නොපතාවි... දැන්වත් ප්‍රඥාවන්තවන්න... වචන පද ඉක්මවා ධර්මය දැකගන්න...

කැමති සේ නැතිවූයේ, කැමත්ත ඉටුවුනේ නැතිවූයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ පංචස්කන්ධයක් වශයෙන් සැකසී මායාවක් සැකසූ අවස්ථාවේදීමයි! ඒ පංචස්කන්ධ මායාව නොදැක එයට රැවටී එය භාරගන්නා මොහොතේ පටන්ගෙන සකස් වෙන පංච උපාදානස්කන්ධයද හරි හැටි තේරුම් නොගෙන ඒ පංච උපාදානස්කන්ධයට සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා ගනිමින්... ඒ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා අතර ගහ, කොළ, අඹුදරුවන්, ගොන් හරක් එළු බැටලුවන් දකිමින්, අනේ මේවා අපේ කැමැත්තට නෑ නොවේදැයි පැවසූවාට එතැන දැක ඇති දහමක් නොවේ... 


යමෙක් විපාකයක් වශයෙන් සකස් වී ඇති මේ මායාව සකසන ක්‍රියාදාමය විනිවිද දකිමින්... ගහ, කොළ, අඹුදරුවන්, ගොන් හරක් එළු බැටලුවන් විනිවිද යමින් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා විනිවිද යමින්, පංච ස්කන්ධ මායාව සැකසුන ආකාරය ප්‍රඥාවෙන් විනිවිද දකින්නේ නම් පෙර නොඇසූ විරූ දහම් දැකුමට ඒ ඇත්තන්ට දහම් ඇසක් පහල වී ඇත... ආර්ය පර්යේෂණය අන්න එවිට සිදුවනු ඇත... 


සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් ගන්නා සංඥා විපරීතය... සංඥා විපල්ලාසය නිවැරදි වනු ඇත... විපාකයක් සේ අත්දකින මායාව පසාරු කරගෙන විනිවිද යමින් විදසුන වැඩෙනු ඇත... සංඥා විපරීතය නිසාම සකස් වෙන “මම“ සකස්වීම නතර වනු ඇත... 


සියල්ල අත්හැරී මොහොතෙන් මොහොත නිවනම ලැබෙනු ඇත... මන්ද අල්ලා ගත් සියල්ල යනු මොහොතක් පාසා පංචස්කන්ධ මායාව නොදැක “මම“ යැයි හැඟීමෙන් යුතුව මායාව භාරගැනීමම වේ... මේ දේ අහන දකින දැනෙන විඳින මොහොතක් පාසා සිදුවන බව ප්‍රඥාවෙන් දකින්නේ නම් වැටහේවි...

මේ දහම දැකගන්නට මායාවේම ඵලයක් ලෙසින් ලැබූ ඇස, කණ, දිව, නාසය, කය කියන පංච ඉන්ද්‍රීයයන් තුලින් නොහැකි නිසාම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නාවූ ඉන්ද්‍රීය පහක් බුදු හිමියන් පනවා ඇත.. ලැබෙන්නේද වැඩෙන්නේද ඒ ඉන්ද්‍රීයයන්මයි... මායාව විදින්නට සකස් වූ මනසිකාරය එවිට සොරු අල්ලා දෙන සොරෙක්ම සේ යෝනිසෝ මනසිකාරය නමින් පෙනී සිටින්නට පටන්ගනී... සබ්බේ ධම්මා අනත්තාති අවබෝධය ප්‍රත්‍යක්ෂ වන ක්ෂණයක් පාසා මේ සොරු අල්ලන්නේද සොරෙක්මය යන අවබෝධය, සිහිය නිසාම එයද අතහැරීම සාමාන්‍ය දෙයකි... 


මෙවන් ගැඹුරු දහම් අවබෝධයෙන්ම මතු කර දුන් ඒ උතුම් කළ්‍යාණ මිත්‍රායාණන්වහන්සේ වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමිපාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේගේ පද පෙරලි මත අතරමං නොවී පද පෙරලා පෙරලා මතු කර දෙන්නට උත්සාහ දැරූ මේ පෙර නොඇසූ විරූ දහම් හේතු වාසනා ඇති සියලු සතට ගෝචර වේවා!! 
මෙවන් ගැඹුරු දහම් මතුකරන අතලොස්සකටත් වඩා අඩු ප්‍රමාණයක හිමිවරුන් සහ උපාසක උපාසිකා පිරිස් මේ වන විටත් අප අතරම සිටිනවා... උන්වහන්සේලාද මේ ජීවිතය කෙලවර කරගන්නට මත්තෙන් තම තම නිවන් මඟ පාදා ගන්නට මායාවේ තීන්දු තීරණ වලට නොරැවටී කටයුතු සලසා ගනිත්වා! 

අප්‍රමාදීව නිවන් මඟම පූර්ණය වී නිවනින්ම සැනසෙත්වා!!! 
තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!