Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, November 7, 2017

ඉල්ලීම

විටෙක ද්‍රව්‍ය වස්තු ආකාරයෙන් හෝ වේවා... විටෙක ප්‍රාර්ථනාවන් සේ හෝ වේවා... නොයෙක් ආකාරයෙන් “ඉල්ලීම“ අපේ ජීවිත වලට සම්බන්ධ වෙනවා. මේ ඉල්ලීම පිළිබඳව බුදු හිමියන් පෙන්වා දුන්නා වූ ඔවදනක් අනුසාරයෙන් මෙවර කතු වැකිය සටහන් තබමි. ප්‍රඥාවන්තව විමසා බලා යහපත පිණිසම උපකාර කරගනිත්වා!

ත්‍රිපිටක සත්ධර්මය තුල ඇති විනය පිටකය තුල ප්‍රඥා ශාසනයත් කරුණා ශාසනයත් එකට ගැබ්වන නිවීම පිණිස ඉතාමත් වැදගත් කරුණු කාරණා රැසක් පවතිනවා. මේ දේවල් ප්‍රඥාවන්තව අපගේ ජීවිත වලට ල කරගැනීම අප්‍රමාදීව නිවන් ලබන ශ්‍රාවකයෙක් වීමට අප සියලු දෙනාටම උපකාරයක් වෙනවා. විනය පිටකය ඇත්තේ භික්ෂුවකට හෝ භික්ෂුණියකට පමණක් යැයි ඉවත නොදමා නිවනක් අවශ්‍ය වේ නම් නිවීම පිණිස අප්‍රමාදීවීමට අවශ්‍ය වේ නම් ඒ තුල පෙන්වා දෙන කරුණු කාරණා තම තමන්ගේ ජීවිත වලට ලං කරගැනීමට ප්‍රඥාවන්ත විය යුතුයි. 

විනය පිටකයේ පාරාජිකා පාළියේ සංඝාදිසේස කාණ්ඩයේ කුටිකාර සික්ඛාපදයට සම්බන්ධ කොටස් තුල බුදු හිමියන් විසින් පෙන්වා දුන්නාවූ පුංචි කතාවක් කෙටියෙන් සඳහන් කරන්නම්. 
ඔන්න ගංගා නදිය අසල තවුසන් දෙදෙනෙක් වාසය කරනවලු. ඒ දෙදෙනාගෙන් පොඩි තවුස්තුමා ලගට මණ්කණ්ඨ කියන නාගරාජයා එනවා. ඇවිත් ඔහුව වෙලාගෙන හිස මත පෙනය පෙන්වා ගෙන ඉන්නවලු. ඉතින් මේ වැඩපිලිවෙලට මහත් සේ බියට පත්වෙලා සිරුර වැහැරෙමින් ඉතාමත් දුර්වල භවට පත්වෙන මේ පොඩි තවුස්තුමාගෙන් ලොකු තවුස්තුමා සිද්ධිය විමසනවා. එවිට නාගරාජයාගේ කතාව කියනවා. ලොකු තවුස්තුමා කියනවා නාගරාජයාගෙන් මැණික ඉල්වන්න කියලා. එදා පටන්ගෙන නාගරාජයා එනවිට පොඩි තවුස්තුමා “මැණික දෙන්න මැණික දෙන්න“ කියලා කියනවා. “තාපසයන්ට මොකටද මැණික්“ කියලා නාගරාජයා අහනවා. “මට වැඩ තියෙනවා මැණික දෙන්න“ කියලා විටෙන් විට ඉල්ලන විට “මේ මැණික නිසා තමයි මම ආහාර පාන සොයාගන්නේ ඔබට එයින් ඵලක් නෑ“ කියලා නාගරාජයා යලි නොඑන්නම යනවා. 
ඒ වගේම විටෙක කුරුළු රංචුවක් නිසා හිරිහැරයට පත්වූ භික්ෂූණ්වහන්සේ නමකට බුදු හිමියන් විසින් දුන් ඔවදනක් ලෙසින් මේ කතාවද එතැනදී පෙන්වා දෙනවා. මධ්‍යම රාත්‍රියට පෙරද මධ්‍යම රාත්‍රීයේදීද අළුයම කාලයේදීද තුන්වරක් බැගින් “මට කුරුළු පියාපත් අවශ්‍යයයි. එක් එක් පියාපත බැගින් සෑම කුරුල්ලෙක්ම මට පියාපත් දේවා“ කියලා කියන්න කිව්වා. කුරුළු රංචුව ඉන්මතුවට නම් ඒ කැලයට ආවේ නෑ කියලා පෙන්වා දෙනවා. මේ කතා දෙක අවසානයේදී බුදු හිමියන් අපූරු වදනක් කියනවා. 

“තෙසං හි නාම භික්ඛවේ තිරච්ඡානගතානං පාණානං අමනාපා භවිස්සති යාචනා අමනාපා විඤ්ඤත්ති, කිමඞග පන මනුස්සභූතානං“

“ඒ තිරිසන් ගත සත්වයන්ට පවා ඉල්ලීම අප්‍රිය විය, ඉල්ලන සුළු බව තිබීමද (ඇඟවීම) අප්‍රිය විය. එසේ නම් මිනිසුන් ගැන කවර කතාද“ 

මේ කතාවන් ගෙන හැර පාමින් අවවාද අනුශාසනා කරන්නේ කුටි සාදාගන්නට දායකයෙක් ඉදිරිපත් නොවූ අවස්ථාවක තම තමන් විසින්ම ඒවා සකසා ගන්නට ගොස් නොයෙක් ආකාරයෙන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉල්ලූ භික්ෂූන් පිරිසක් මූලික කරලයි. මේ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී බුදු හිමියන් “ඉල්ලීම“ යනු නොගැලපෙන ක්‍රියාවක් ලෙසින් ප්‍රතික්ෂේප කොට දක්වා තිබෙනවා. 

රට්ඨපාල හිමියන් මහණ වෙන්නට මත්තෙන් ඔහුගේ පියා විසින් අහනවා විවිධාකාර පිරිස් තමන්ගෙන් නොයෙක් දෑ ඉල්ලූවත් ඔබ ඉල්ලන්නේ නැත්තේ ඇයි කියලා. එවිට රට්ඨපාල කුලපුත්‍රයා විසින් මෙසේ පවසනවා...

“ඉල්ලන තැනැත්තේ අප්‍රිය වෙයි. ඉල්ලූ දෑ නොදෙන තැනැත්තේද අප්‍රිය වෙයි. එහෙයින් “මා කෙරෙහි අප්‍රිය භාවයක් නොවේවා“ යි මම් ඔබ නොයදිමි“ යි රට්ඨපාල කුල පුත්‍රයා පවසනවා. 

ඉතින් මේ සියලු දෑ ප්‍රඥාවන්තව විමසන්න. භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා උපාසක උපාසිකාවක් හෝ වේවා කාරණය කොතරම් යහපත් වුවත්... පින් කටයුත්තක් වුවත් නිතර නිතර ඉල්ලන්නට යෑම අප්‍රසාදයට හේතුවෙනවා. තමන්ට ලැබෙන දෙයක් පින් කටයුතු කරන්නට ප්‍රඥාවන්ත විය යුුතුයි. නොඉල්ලා යමක් ලැබේ නම් ලැබීමට සුදුසු නිසාමයි ලැබී තිබෙන්නේ. අන්න ඒ ලැබූ දෙයින් අවශ්‍යතාවයන් සේම පුණ්‍ය කුසල කටයුතුද කරගන්නවා විනා ඉල්ලා කරන්නට යෑම සුදුසු නොවෙයි. 

එය ශාසන වැඩපිලිවෙල නොවන බව සිහි තබාගත යුතුයි. මේ ඉල්ලීම නිසාම මේ වන විට ශාසනයත්, ශාසනයේ භික්ෂූන්වහන්සේලා, භික්ෂුණීන්වහන්සේලා සේම උපාසක උපාසිකා පිරිසද නන් ආකාරයෙන් ගැරහීම් වලට අපහාස උපහාසයන්ට ලක්වෙනවා දකින්නට තියෙනවා. ඒ නිසා මින් මතුවට පින්කම් ආදියට හෝ වේවා කොතරම් යහපත්වුවත් මිල මුදල් හෝ වේවා ද්‍රව්‍ය වස්තු හෝ වේවා ඉල්ලන්නට යෑමට මත්තෙන් සිතිය යුතුයි. 

පින්කමක් නම් අවශ්‍ය දෑ පවසන්න... කැමැත්තෙක් දේවි. එසේ නැතිව මේවා මේවා අවශ්‍යයයි අපට සපයා දෙන්න යැයි ඉල්ලීම් නොකල යුතුයි. ලැබෙන්නේ අවශ්‍යතා ලැයිස්තුවෙන් අඩක්ද ඒ අඩ යොදාගෙන පින්කම කරන්නට තම තමන් ප්‍රඥාවන්ත විය යුතුයි. එසේ නොවුනහොත් චිත්ත ප්‍රසාදයට වඩා අප්‍රසාදයට ලක්වන්නෝ බහුල වෙනවා. මෙය ප්‍රඥාවන්ත ශාසන වැඩපිලිවෙල නොවන බව අවබෝධ කරගත යුතුයි. 

ඉතින් ප්‍රඥාවන්තව පුණ්‍ය කටයුතු කරන්නට දිවි සරු කරගන්නට මේ කෙටි ලිපිය වැදගත් වේවි යැයි සිතනවා. ඉදිරියේදීම මේ ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විග්‍රහ කරගනිමු. ආර්ය ශ්‍රාවකයන් ඉල්ලීමට සුදුස්සන් බව විටෙක බුදු හිමියන්ම පෙන්වා දෙනවා. ඒ කුමන අර්ථයෙන්දැයි වෙනම දහම් කොටසකදී ඉදිරියේදී විග්‍රහ කරගනිමු!

“ඉල්ලීම“ ඉවතලා... ඉල්ලන සුළු බවද නැති කොට... ලද දෙයින් සතුටුව... ලද දෙයින් පින් කරන... ලද දෙයින් මෙලොව පරලොව ජයගෙන නිවන් මග පුරන ප්‍රඥාවන්ත අප්‍රමාදී ශ්‍රාවකයෙක් වෙන්නට ඔබ සැමට තෙරුවණේ ආශිර්වාදයම ලැබේවා!



No comments: