Friday, November 25, 2016

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 1 කොටස

මේ උතුම් බුදු දහමට දහම් ප්‍රතිරූපක බොහෝමයක් එන්න එන්නම වැඩිවෙනවා... ගැඹුරු දහම ලෙසිනුත් බුදු දහම නොවන අන්‍ය වූ දහමක්ම ප්‍රකට වෙමින් පවතිනවා... ශ්‍රවණය කරන්නවුන්ද බුදු හිමියන් පෙන්වා දුන් නිසි සිහියෙන් තොරව දත්ත රැසක් හිස මත පටවාගෙන ශ්‍රවණය කරන්නට පෙළඹීමෙන් නිසි ඵල ලබන්නට නොහැකි වී තිබෙනවා. 


මේ අපූරු පෙර නොඇසූ විරූ දහම තුල දැකිය යුතු දේ... ලැබිය යුතු දේ... සිදුවිය යුතු දේ කෙටියෙන් නමුත් පිළිවෙලින් පෙන්වා දෙන්නට මෙතැන් පටන් ලිපි කිහිපයක් තුලින් කටයුතු කරන්නම්. 

රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නාවූ පංච ස්කන්ධයේ ඇත්ත ඇති ආකාරයෙන් නොදන්නා තාක් මේ ස්කන්ධ පහට ඡන්ද රාගයෙන් බැඳෙනවා... ඒ බැඳීමට දෙන නම තමයි පංච උපාදානස්කන්ධය... මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඉපදීමම... සකස් වීමම දුකහි හටගැනීමයි.... 

යමෙක් මේ පංච උපාදානස්කන්ධයේ සමුදය හෙවත් දුක්ඛ සමුදය දකිනවා... ඒ දැක්ම කුමක්ද? අන් කවරක්වත් නොවේ පංචස්කන්ධයේ මායා මුලාව හඳුනාගැනීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි... පංචස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනත්ත බව දකිනවා. ඥානය පහල වෙනවා.  එසේ නොදැක නම් පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්ත දකිනවාය කියලා කරුණක් විද්‍යාමාන වෙන්නේ නෑ.  

ඒ ක්ෂණයේම තමයි ඒ පුද්ගලයාට අවබෝධ වෙන්නේ පංච ස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්තබව නොදැක්ක නිසාම... පංච ස්කන්ධයේ මායා ක්‍රියාකාරිත්වය නොදන්නාකම නිසාම... ඒවා කෙරෙහි ඡන්දරාගයක් හටගත් බව... එතැන් පටන් ඒ පුද්ගලයා මෝහය / අවිද්‍යාව සකස් වූ තැන හඳුනාගන්නවා... 

පංච ස්කන්ධයට හෙවත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයට රැවටුනු රැවටිල්ල හඳුනාගන්නවා... ඒ රැවටිල්ල නිසාම ඒවා නිච්ච, සුඛ, අත්ත වශයෙන් සංඥා විපරීතයක සිටි බව හඳුනාගන්නවා. ඒ සංඥා විපරීතය නිසාම ඒවාට අන්ධයෙක් වගේ බැඳුණු බව දැනගන්නවා... ඒ බැඳුනු නිසාම පංච උපාදානස්කන්ධය හෙවත් සියලු දුක් රැස ක්ෂණයක් පාසා සකස් වී භවය, සසර ඒ ඒ මොහොතේම තනන බව හඳුනාගන්නවා... 

“මම“ හැදෙන හැටි... “මම“ පවතින හැටි... මේ සියල්ල තතු සේ දැනගන්නවා... ඒ නිසාම විසි ආකාරයක සත්කාය දිට්ඨිය පහවෙනවා... “මම“ මූලිකව පැවැත්ම මූලිකව යම්තාක් කුකුසක් තිබ්බේ නම් විචිකිච්ඡා නම් වූ ඒ සියල්ල දුරු වෙනවා... කල යුත්ත දැනගන්නා නිසාම බාහිරය මත යැපෙමින් වත් පිළිවෙත් තුලින් හෙවත් ලෝකය මතම පිහිටමින් මායාවකින් සකසා පෙන්වන ලෝකයට අදාල දේවල් වලින් ලැබිය හැකි නිරෝධයක් නැති බවත් දැනගන්නවා... සීලබ්බතපරාමාස සංයෝජනයත් ඒ අයුරින් පහ වෙනවා...

අන්න ඒ ඥානය පහල වූ... පෙර නොඇසූ විරූ දහම්හි ඇස පහල වූ ඒ පුද්ගලයාට ඒ ප්‍රබල ඥානයත් සමඟින් අඥානකම් පහව යනවා... අඥානකම නිසාම සතර අපාගත උපතක් ලබාදෙන්නට හේතුවන යම්තාක් කෙලෙස් උපදින්නට හේතු තිබුනේ නම් ඒ හේතු නිරෝධ වෙනවා. සතර අපාගත මට්ටමින් ලෝකය නිරෝධ වෙනවා. 

කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, මේ තුන් ලෝකය හමුවේ ඇලීමක් බැඳීමක් හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් වූ පංචස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් අත්දකින්නේ නැතිකම නිසාමයි.
වැදගත් දේශනයක් (මේ යොමුවෙන් පිවිසෙන්න);
මේ කරුණ හොඳින් විග්‍රහ වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දහම් දේශනාවන් අතුරින් එක් දේශනාවක් මේ සමඟ එකතු කරන්නට සිත් වුනේ...  මේ පෙර නොඇසූ විරූ දහම කැටි කොට මෙසේ සටහනක් තබන්නට සිත්වූයේද නැවත මේ දහම් දේශනය අසන්නට ලැබුණු නිසායි... 

අනෙක් කාරණය තමයි මේ සියලු දෑ උතුම් ත්‍රිපිඨක සත්ධර්මය තුල අපූරුවට ගලපා පෙන්වා දී තිබීම.  අර්ථ නොදැන බැලුවොත් නම් හසුවන්නේ වෙනමම අදහස්මයි.  ලැබෙන්නේ වෙනමම තේරුමක්ම තමයි... ඒ නිසා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සත්ධර්ම ශ්‍රවණයෙන් තමන්ගෙන් විය යුතු යෝනිසෝ මනසිකාරය සහ දහම් අනුදහම් පටිපදාව යන සෝතාපන්න අංග 4ට මුල් තැන ලබාදෙමින් අප්‍රමාදී වන්නට උත්සාහවන්ත වන්න! 

1 comment:

  1. Thanks for sharing the true Dhamma as the present era has created so many, to complicate and confuse the truth, analyzing and defining according to their own whims and fancies. Yes, first understand the 5 aggregates, and clinging, such as mine feed the ego. This understanding itself is enough for liberation, if practise properly.

    ReplyDelete

Your comment will be reviewed by the author of this blog and will publish soon under this post! Thank you very much for your valuable time! May triple gem bless you for the best!!!