Thursday, June 22, 2017

සමාවෙන්න බුදු පියාණෙනි!

බුදු පියාණන්වහන්සේ පෙන්වූ දහම විද්‍යාඥයින්ට පවා පෙන්වන්නට හැකි දහමක් බවට මේ වන විට ප්‍රකට වෙමින් පවතිනවා. 
අද වගේ තාක්ෂණය දියුණු නැති කාලෙක... අද වගේ විද්‍යාඥයින් නොසිටි නිසා... බුදු හිමියන් විශේෂ වූ බව තමයි ඒ වගේ මත වල අවසාන අදහස වෙන්නේ. 

සම්මා සම්බුදු කෙනෙක් සියල්ල දන්නාවූ ඥානයකින් ලෝකයේ අචින්ත වූ කර්ම විෂය ගැන පෙන්වා... මේ දේවල් ගැන බුද්ධත්වයට පත්නොවූ මනසකට හිතාගන්නටවත් නොහැකි බව හේතු ඵල දහමින්ම ඔප්පු කර පෙන්නුවත්... මේ වන විට අවිද්‍යාවෙන් පිරුණු සාමාන්‍ය විද්‍යාඥයින් සොයාගත් සමීකරණයක් යොදා කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්නට හැකි යැයි විශ්වාස කරන බෞද්ධයින්ද බිහිවෙමින් සිටිනවා...

ලොව්තුරු බුදුවරයෙක්ට පමණක් පෙන්වා දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම මේ වන විට බොහෝ පිරිසකට විශේෂ වී තිබෙන්නේ, මේ කාලේ වගේ උගත් බුද්ධිමත් අය නොසිටි කලක  උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දහමක් පෙන්වා දුන් නිසා බුදු හිමියන් විශේෂ වී තිබෙනවා යන අදහසින්ම බව නම් පැහැදිලියි.  එහෙත් කියන්නේ නම් එසේ නොවේ නෙවේ.

සාමාන්‍ය මෙකල බහුතරයකගේ භාෂාවෙන් කියනවා නම්; “වැඩ්ඩෝ නොමැති කලක වැඩ පෙන්වූ නිසා“ බුදු හිමියන් විශේෂ වී තිබෙනවා. මෙකල පහල වන මහා විද්‍යාඥයින් අතර තවත් අනේ බුදු හිමියන්ද තවත් එක් විද්‍යාඥයෙක් පමණක් වී තිබෙනවා... 

සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

දහම් දැකීමෙන් බුදුන් දකින්නාට බුදු කෙනෙක් අත්‍යවශ්‍යම වෙන්නේ ඇයිදැයි අවබෝධ වෙනවා... මේ අදහස් වලින් පෙනී යන්නේ තම තමන්ගේ මත තුලින් තම තමන්ට ඕනෑ කරන බුදු කෙනෙකුන් දැක ඇතිවා විනා... අසම සම තුන්ලෝකයටක අග්‍ර තවත් සම්මා සම්මා සම්බුදු කෙනෙකුට හැර සම කරන්නට නොහැකි සම්මා සම්බුදු කෙනෙකු හෝ ඒ දහමේ සුවිශේෂිත්වය පෙර නොඇසූ විරූ බව... තවමත් මේ ඇත්තන්ට පෙනෙන තෙක් මානයකටවත් ලැබී නොමැති සෙයක්මයි...

සැබැවින්ම පරම දුර්ලභ ශාසනය අවසානයකට ඇවිත්මය...

පිළිගන්නෝ බහුල වෙමින්... තමන් දැනටමත් දන්නවා යැයි සිතාගෙන සිටින නිවන් සොයන්නෝ බහුල වෙමින්... දැනටමත් දන්නා දහමකම මහා ගැඹුරක් සොයමින් මහා උසස් කොට කතා කරන්නෝ බහුල වෙමින්... පරම පිවිතුරු බුදු වදන යට හැර ප්‍රතිරූපකයන්ටම තැනදෙන්නෝ බහුල වෙමින්... පුද්ගලත්වයන් සරණ යන්නන් බහුල වෙමින්... ආගමිකයන් බහුල වෙමින්... 

සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

දේශනාව තුල නම් වචනයට කියන්නේ බුදු හිමියන් තරම් විශේෂ කෙනෙක් නොවන බවයි...
උන්වහන්සේගේ දහම අසම සම බවයි...
ඒත් දේශනාවේ හරය තුලින් අහගෙන සිටින කෙනාට කරුණු ඇතිවම ඔප්පු කරන්නේ එහි ඇති දෙයක් නොවන බවයි. “අපේ තාත්තා ලොක්කා... අපේ අම්මා උතුම්“ වෙලා තියෙන්නේ මාන්නක්කාර දරුවන්ගේ නම්බුව රැකගන්නට මිස තාත්තා අම්මා උතුම් වී ඇත්තේ ඇයිදවත් නොදන්නා තරමටම දරුවන් යැයි කියාගන්නා පිරිස බහුල වෙමින් තිබේ...

සැබැවින්ම ශාසනය විනාශ වෙන්නෙ ඇතුලතින්ම බිහිවෙන්නන්ගෙන්මය... 

ඒ අමා මෑණියන්ගේ ඒ බුදු පියාණන්ගේ විශේෂත්වයක් නොදකින අයාලෙ යන අනුවණ අකීකරු හදාගත් දරුවන් බහුලවෙමින් සුජාත දරුවන්ටත් අසම සම මෑණියන් පියාණන්වූ සම්මා සම්බුදුන්ටත් නිසි තැන අහිමිවන ශාසනයේ අවසානය සැබැවින්ම ඇවිත්මය... 

එහෙත් ඒ දරුවන් පවසන්නේ පරපුර රැකෙන බවය... පියාගේ නාමය බබළවන බවමය... කෙසේ නම් මේ අවුල විසඳන්නද... සැබෑ දරුවන් දකින්නේ අනතුර එන්න එන්නම ප්‍රබල වන බවමය!

සමාවෙන්න බුදු පියාණෙනි... මට කල හැකි දේ කල හැකි පමණින් උපරිමයෙන් කරන්නට වෙර දරන්නෙමි... එහෙත්... සමාවෙන්න අමා මෑණියනි...!!

ප්‍රඥාවන්තයෙක් වේ නම් අප්‍රමාද වේවා!!!
ප්‍රතිරූපක වෙනුවට සැබෑ දහමම දකිත්වා!!! 

Tuesday, June 6, 2017

සත්කාය දිට්ඨිය නිරෝධය පිණිස


සත්වයෙක්ය පුද්ගලයෙක් ද්‍රව්‍යයක්ය වස්තුවක්ය යන විකෘති වූ දෘෂ්ඨියක් මොහොතක් පාසා නැඟෙනවා... මමය, මගේය, මගේ ආත්මයය යන හැඟීමක් දැනෙනවා... මෙන්න මේ විකෘති සංඥා විපරීතය නැති කරගැනීම පිණිස වූ පෙර නොඇසූ විරූ දහම අවබෝධ කරගත යුතුයි.  

රූපය ලෙසින් සකස් වී පෙනෙන මායාවට හසුවූ විට... එහි ඇත්ත නොදැන ඇසුර ලබන ක්ෂණයේදීම එයට රැවටුන විට මහා අවුලකට පත්වෙනවා... මුලු සසර පැවැත්මම සකස් වෙනවා... ගත වෙන්නේ ක්ෂණයයි... 

ඇසට රූප පෙනෙන මොහොතේම (දිට්ඨ), කණට ශබ්ද ඇසෙන මොහොතේම (සුත), නාසයට ගන්ධ, දිවට රස, කයට පහස දැනෙන මොහොතේම (මුත), මනට ධර්ම විඳින (විඤ්ඤාත)  මොහොතේම, ඒ ඒ දේ මායාවක් සේ සකස් වී  පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින බව නොදන්නා නිසාම ඒ මොහොතේ විඳින්නට යමක් තිබේ යැයිද, විඳින්න යමෙක් සිටී යැයිද අන්ත දෙකක් දැනෙනවා.  

විඳින්නෙක් සහ විඳින්න දෙයක් ලැබුණ මොහොතේ කැමැති සේ වූ බවක් දැනුනත්... කැමැත්ත ඉෂ්ඨ වූ බව දැනුනත් සැබෑවටම කැමැත්ත ඉෂ්ඨ වුණාද?  මොහොතකටවත් කැමති සේ ලැබුණාද?  ලැබුනේම මායාවක් නම්... සිද්ධ වුනේ රැවටීමක් පමණයි නම්... කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කුමන ලෝකයක උපතක් ලැබුවත් සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් ලෙසින් සංඥාවක් ලැබෙන්නේම මේ මායාවට හසුවීමෙන් නම් පැවැත්ම තුල ඇති සැපය කුමක්ද?  හරය කුමක්ද?

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පංච ස්කන්ධයේ යථාර්ථය නොදත් විට සකස් වෙන ලෝකය හඳුනාගන්නට පෙර නොඇසූ විරූ දහම් විනිවිද දැකිය යුතුයි. 

මම ඉන්නවා මම කැමති සේ නෑ... මම අනිත්‍යයයි... මම කැඩී බිඳී යනවා... මට ඕන වුනත් මට ඕන විදියට මැරෙන්නේ නැතිව ඉන්න බෑ... මම ඇලෙනවා... මම ගැටෙනවා... මම භාවනා කරනවා... මම නිවන් දකිනවා... මම පවතිනවා... මට ඕන විදියට මමවත් නෑ... මේ විදියට නම් තවමත් දහම් දකින්නේ... මේ සෑම දෙයක් තුලම පවතින “මම“ ගැන සංඥාවක් සකස් වෙනවා නම්... මේ සෑම මෙනෙහි කිරීමක් තුලම ස්ථිර වශයෙන්ම පවතින, අඛණ්ඩව පවතින, සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයයක්, වස්තුවක් ගැන සංඥාවක් නැගෙනවා නම් තවමත් සත්කාය දෘෂ්ඨිය ප්‍රහීණ නැතිවා විය හැකියි. 

ක්ෂණයක් පාසා මායාවට රැවටීමෙන් පෙනෙන්නට යමක්, ඇහෙන්නට යමක්, දැනෙන්නට යමක්, විඳින්නට යමක් සැබෑවටම පවතිනවා යැයි හැඟෙනවා නම් ප්‍රිය මධුර, ආශ්වාදය සකස්වීම නතර කල නොහැක්කේමය.  

එසේ නම් පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්ෂණයේදීම ඒ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වන රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඤ්ඤාණයේ යථාර්ථය යථාවත් ලෙසින් දැක අවබෝධ වී තිබීම ලෝකයේ අනිච්ච, දුක්ඛ, අනත්ත සංඥාව ඇතිවීමයි.  නිවැරදි සංඥාවට පත්වීමයි.  නැතිනම් අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කෙරෙහි නිච්ච, සුඛ, අත්ත සංඥාවක්ම නැගෙනවා නිසැකයි.  පැවැත්ම ඒ ක්ෂණයේදීම සකස් වෙනවා නිසැකයි.  

හුස්මක් හුස්මක් පාසා මේ ඇත්ත දකින්නේ නම්... කෑම කන කටක් පාසා මේ ඇත්ත දකින්නේ නම් අප්‍රමාදී යැයි කියන්නට හැකි ප්‍රඥාවන්තයෙක්මය.  

ඉතින් නිවැරදිව දහම් සොයන්න... නිවැරදිව දහම් දකින්න... නිවැරදිව මඟ වඩන්න... දැනුම් සම්භාරය පසෙකලා දැන්වත් අප්‍රමාදීවන්නට හේතු උපකාරයක්ම වේවා!  මායා මුලාව විනිවිද දකින්නට දහම් අවබෝධය ලබන්නට සියලු සතහට තෙරුවණේ රැකවරණය ලැබේවා!

(පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මුල සිට සරලවම පෙර නොඇසූවිරූ දහම් විග්‍රහයක් කර දෙන සත්කාය දෘෂ්ඨිය ප්‍රහීණ වන්නට දැකිය යුතු දහම් පැහැදිලිව විග්‍රහ කර දෙන මේ දේශනයත් නිවී සැනසීම පිණිසම හේතු උපකාර වෙත්වා!)