සත්වයෙක්ය පුද්ගලයෙක් ද්‍රව්‍යයක්ය වස්තුවක්ය යන විකෘති වූ දෘෂ්ඨියක් මොහොතක් පාසා නැඟෙනවා... මමය, මගේය, මගේ ආත්මයය යන හැඟීමක් දැනෙනවා... මෙන්න මේ විකෘති සංඥා විපරීතය නැති කරගැනීම පිණිස වූ පෙර නොඇසූ විරූ දහම අවබෝධ කරගත යුතුයි.
රූපය ලෙසින් සකස් වී පෙනෙන මායාවට හසුවූ විට... එහි ඇත්ත නොදැන ඇසුර ලබන ක්ෂණයේදීම එයට රැවටුන විට මහා අවුලකට පත්වෙනවා... මුලු සසර පැවැත්මම සකස් වෙනවා... ගත වෙන්නේ ක්ෂණයයි...
ඇසට රූප පෙනෙන මොහොතේම (දිට්ඨ), කණට ශබ්ද ඇසෙන මොහොතේම (සුත), නාසයට ගන්ධ, දිවට රස, කයට පහස දැනෙන මොහොතේම (මුත), මනට ධර්ම විඳින (විඤ්ඤාත) මොහොතේම, ඒ ඒ දේ මායාවක් සේ සකස් වී පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින බව නොදන්නා නිසාම ඒ මොහොතේ විඳින්නට යමක් තිබේ යැයිද, විඳින්න යමෙක් සිටී යැයිද අන්ත දෙකක් දැනෙනවා.
විඳින්නෙක් සහ විඳින්න දෙයක් ලැබුණ මොහොතේ කැමැති සේ වූ බවක් දැනුනත්... කැමැත්ත ඉෂ්ඨ වූ බව දැනුනත් සැබෑවටම කැමැත්ත ඉෂ්ඨ වුණාද? මොහොතකටවත් කැමති සේ ලැබුණාද? ලැබුනේම මායාවක් නම්... සිද්ධ වුනේ රැවටීමක් පමණයි නම්... කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කුමන ලෝකයක උපතක් ලැබුවත් සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් ලෙසින් සංඥාවක් ලැබෙන්නේම මේ මායාවට හසුවීමෙන් නම් පැවැත්ම තුල ඇති සැපය කුමක්ද? හරය කුමක්ද?
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පංච ස්කන්ධයේ යථාර්ථය නොදත් විට සකස් වෙන ලෝකය හඳුනාගන්නට පෙර නොඇසූ විරූ දහම් විනිවිද දැකිය යුතුයි.
මම ඉන්නවා මම කැමති සේ නෑ... මම අනිත්‍යයයි... මම කැඩී බිඳී යනවා... මට ඕන වුනත් මට ඕන විදියට මැරෙන්නේ නැතිව ඉන්න බෑ... මම ඇලෙනවා... මම ගැටෙනවා... මම භාවනා කරනවා... මම නිවන් දකිනවා... මම පවතිනවා... මට ඕන විදියට මමවත් නෑ... මේ විදියට නම් තවමත් දහම් දකින්නේ... මේ සෑම දෙයක් තුලම පවතින “මම“ ගැන සංඥාවක් සකස් වෙනවා නම්... මේ සෑම මෙනෙහි කිරීමක් තුලම ස්ථිර වශයෙන්ම පවතින, අඛණ්ඩව පවතින, සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයයක්, වස්තුවක් ගැන සංඥාවක් නැගෙනවා නම් තවමත් සත්කාය දෘෂ්ඨිය ප්‍රහීණ නැතිවා විය හැකියි.
ක්ෂණයක් පාසා මායාවට රැවටීමෙන් පෙනෙන්නට යමක්, ඇහෙන්නට යමක්, දැනෙන්නට යමක්, විඳින්නට යමක් සැබෑවටම පවතිනවා යැයි හැඟෙනවා නම් ප්‍රිය මධුර, ආශ්වාදය සකස්වීම නතර කල නොහැක්කේමය.
එසේ නම් පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්ෂණයේදීම ඒ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වන රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඤ්ඤාණයේ යථාර්ථය යථාවත් ලෙසින් දැක අවබෝධ වී තිබීම ලෝකයේ අනිච්ච, දුක්ඛ, අනත්ත සංඥාව ඇතිවීමයි. නිවැරදි සංඥාවට පත්වීමයි. නැතිනම් අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කෙරෙහි නිච්ච, සුඛ, අත්ත සංඥාවක්ම නැගෙනවා නිසැකයි. පැවැත්ම ඒ ක්ෂණයේදීම සකස් වෙනවා නිසැකයි.
හුස්මක් හුස්මක් පාසා මේ ඇත්ත දකින්නේ නම්... කෑම කන කටක් පාසා මේ ඇත්ත දකින්නේ නම් අප්‍රමාදී යැයි කියන්නට හැකි ප්‍රඥාවන්තයෙක්මය.
ඉතින් නිවැරදිව දහම් සොයන්න... නිවැරදිව දහම් දකින්න... නිවැරදිව මඟ වඩන්න... දැනුම් සම්භාරය පසෙකලා දැන්වත් අප්‍රමාදීවන්නට හේතු උපකාරයක්ම වේවා! මායා මුලාව විනිවිද දකින්නට දහම් අවබෝධය ලබන්නට සියලු සතහට තෙරුවණේ රැකවරණය ලැබේවා!
(පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මුල සිට සරලවම පෙර නොඇසූවිරූ දහම් විග්‍රහයක් කර දෙන සත්කාය දෘෂ්ඨිය ප්‍රහීණ වන්නට දැකිය යුතු දහම් පැහැදිලිව විග්‍රහ කර දෙන මේ දේශනයත් නිවී සැනසීම පිණිසම හේතු උපකාර වෙත්වා!)
No comments:
Post a Comment
Your comment will be reviewed by the author of this blog and will publish soon under this post! Thank you very much for your valuable time! May triple gem bless you for the best!!!