ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියලා කියන්නේ මානසික රෝගී තත්වයක් ලෙසින් තහවුරු කරලා නැති මානසික තත්වයක්. මෙය ගොඩක් ම වැළඳෙන්නේ අපයෝජනයට ලක් වූ, පැහැර ගැනීමකට ලක් වූ පුද්ගලයින් තුලයි. මේ මානසික තත්වයේ ස්වභාවය තමයි අපයෝජනයට ලක් වූ පුද්ගලයා ට හෝ පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා හට එසේ තමන් ව අපයෝජනයට ලක් කල හෝ තමන් ව පැහැර ගත් පුද්ගලයා සමඟ බැඳීමක් හට ගැනීම. තමන්ට කරදරයක් හිරිහැරයක් කරන පුද්ගලයා කෙරෙහි ආදරයක් බන්ධනයක් හට ගැනීම නිසා ඒ පුද්ගලයා කෙරෙහි වහල්භාවයක් ඇති වීම තමයි මේ මානසික තත්වයේ ස්වභාවය.
ඉතින් මේ ලඟදි දවසක
අන්තර්ජාල මිතුරෙක් මට ලිපියක් එවලා තිබුණා. ඒ ලිපියේ තිබුණේ මේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය
නම් වූ මානසික තත්වය දැනට පවතින දේශපාලනික වාතාවරණයකට සමාන කරලා සම්මත ඇත්ත සමඟ
බැඳුණු කාරණා රැසක් තමයි පෙන්වලා තිබුණේ. ඉතින් ඕනෑම දෙයක් ඇසුරු කරන විට සුපුරුදු
පරිදි ඉතින් දහම් සිතිවිලි ගලා ගෙන එනවා නේ. අන්න ඒ වගේ කරුණු ටිකක් තමයි මෙවර කතු
වැකිය තුලින් දහම් කැමති ඔබත් සමඟ බෙදා ගන්නට හිතුවේ.
කලිනුත් කිව්ව වගේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියන්නේ මානසික රෝගී තත්වයක්
කියලා නිල වශයෙන් නම් කල රෝගයක් නොවේ. රෝග ලක්ෂණ කියලා විශේෂයෙන් නම් කරන්නට
දේවලුත් නෑ. නමුත් මේ මානසික තත්වය තිබෙනවා කියලා කියන්න හේතු වන කාරණා විදියට
හඳුනා ගන්නේ තමන්ට වරදක් කරන්නා කෙරෙහි ඇති වන මනාපය... වහල් භාවය හා සමාන බන්ධනය, තමන්ට වරදක් කරන්නාට
විරුද්ධව යමක් පවසන විට හෝ ඒ වහල්භාවයෙන් නිදහස් කර ගන්නට උත්සාහ කරන්නා කෙරෙහි
ඇති වන අමනාපය සහ ඔවුන් ව ප්‍රතික්ෂේප කිරීම. තමන්ට වරදක් කරන්නා ව බේරා ගැනීම
සඳහා තමන්ට කල හැකි උපරිමයෙන් කටයුතු කිරීම. තමන්ට වරදක් කරන්නා ඉතාමත් උසස්
අරමුණකින් යුතු වටිනාකමකින් යුතු කෙනෙක් බව දැකීම. මෙන්න මේ වගේ මානසික තත්වයක්
තියෙන කොට තමයි එයට ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය හෙවත් සතුරාට පෙම් බඳින මානසික තත්වයක් කියලා කියන්නේ.
ඉතින් මේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය
කියන මානසික තත්වය ගැන කියවන විට මට නම් එය දැනුණේ අපි හැමෝටම මෙය තියෙනවා කියලයි.
ඒ කොහොමද? ටිකක් හිතන්න “මම” කියන දේට... “මමත්වය” ට අපි කොතරම් බැඳිලා ද... පෙම්
බඳිනවා ද කියලා. “මමත්වය” තමයි අපව පාලනය කරන්නේ. ඒ හැඟීමට වහල් වෙලා තමයි අප
කටයුතු කරන්නේ. “මමත්වය” ට අපි දීලා තියෙන වටිනාකම වචනයෙන් කියලා නිම කරන්නට බැරි
තරම්. උපන් මොහොතේ පටන් “මම” සනසවන්නට... පෝෂණය කරන්නට... හඬමින් වැලපෙමින් වහල්
සේවය පටන් ගෙන මරණ මොහොත දක්වා ම කරන්නේ “මමත්වය” වටිනාකම දකිමින් “මම” පවත්වා
ගැනීමට වෙහෙස වීමයි.
ඉතාමත් දරුණු ලෙසින් බන්ධනය
සකස් වෙලා... මේ ප්‍රේම බන්ධනය කොතරම් ද කියනවා නම් ධර්මය ලෙසින් අපට අහන්නට
ලැබෙනවා මේ “මම”... “මමත්වය” කියන පාලකයාගේ මුලා වැඩපිළිවෙළ කොහොමද... එය අපව හසු
කර ගෙන අප වහල් වී සිටින්නේ කොහොමද කියලා. නමුත් අපි ඒ ධර්මය ප්‍රකාශ කරමින් මේ
වරද පෙන්වා දෙන්නට එන පිරිස ප්‍රතික්ෂේප කරනවා. සම්මා සම්බුදුවරුන්ගෙන් පටන් ගෙන
මේ “මමත්වය”... “මම” කියන ස්වභාවයට වහල් වෙලා වැරදි නොකල යුතුයි කියන ආගම් දහම්
සියල්ල ම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරනවා.
ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය තුල
තවත් හඳුනා ගත්ත ලක්ෂණයක් තමයි මෙම මානසික තත්වය වඩාත් දරුණු ලෙසින් ඉදිරිපත්
වන්නේ අනාරක්ෂිත බවක්... තනි වූ බවක් දැනෙන අවස්ථා වලදී බව. ඉතින් “මම”...
“මමත්වය” ගැන විග්රහ වන දහම් අසන්නට කණ යොමු නොවන්නේ... විමුක්තිය... නිවීමට
බියක් ඇති වන්නේ මෙන්න මේ වගේ.
“මම”... “මමත්වය” ඉතාමත් වටිනා... යහපතක් ම සිදු කරන
තත්වයක් විදියට තමයි අපට හැඟෙන්නේ. කොච්චර බන්ධනය වෙලා ද කියනවා නම් දෙන්නෙක්
කියලාවත් දැනෙන්නේ නෑ. ඉතින් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය තුල කියවෙනවා තමන්ට මෙසේ
අයහපතක් කරන්නා සමඟ වැඩි කාලයක් ගත කිරීම මේ වගේ වහල් වූ බන්ධනයක් ඇති කරන්නට හේතු
වෙනවා කියලා. ඉතින් අපගේ මේ “මම”... “මමත්වය” ට ඇති මනාපය... වහල් බන්ධනයත් ඉතින්
මේ වගේ නේද? උපන් මොහොතේ පටන් අප එයත් සමඟ බැඳිලා... එකට එකාවන්ව සහයෝගයෙන් වැඩ.
හතුරා හතුරෙක් යැයි හඳුනා
ගන්නට නො හැකි තරමට ම මිතුරෙක් වූ කල... මිතුරෙක් බව හැඟෙන කල ඒ තැනැත්තාට සිදු වන
අනතුර කෙසේ නම් පෙන්වා දෙන්න ද?
අති දුලභව ලෝකයට පහල වන
සම්මා සම්බුදුවරුන් ඒ අනතුර පෙන්වා දෙමින් සතුරා මිතුරෙකු නොව සතුරෙකු ලෙසින් දැක
ගන්නට මාර්ගය පෙන්වා දුන්නා. ලෝක සම්මත ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට නිශ්චිත ප්‍රතිකර්මයක්
නැති වුණත් අප හැමෝම නොදැනුවත්ව ම හසු වී ඇති ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය හා සමාන
මානසික තත්වයෙන් මිදෙන්නට නම් ප්‍රතිකර්මයක් තථාගත ශ්‍රී සත්ධර්මය තුලින් හමු
වෙනවා. හැකි නම් අනතුර ගැන විමසන්න... අනතුර දැක මිදෙන්න!
නිර්වාණ ධර්ම ලිපි කියවන්නට නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරන්නට යොමුව!
No comments:
Post a Comment
Your comment will be reviewed by the author of this blog and will publish soon under this post! Thank you very much for your valuable time! May triple gem bless you for the best!!!