Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, November 26, 2016

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 3 කොටස

දෙවන කොටස හා සැබැඳියි...
අප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් අප්‍රමාදී බවේ උපරිමයෙන් යුතුව ඒ නිවැරදි සිහියෙන් කටයුතු කරන්නේ නම් අවමයෙන් සතියක් හෙවත් දින 7ක් තුල අනාගාමී හෝ අරිහත් වන බවත්... ඒ අප්‍රමාදීභාවයෙන්ම කටයුතු කලහොත් උපරිමයෙන් අවුරුදු 7ක් තුල ආනාගාමී හෝ අරිහත් වන බවත්... එසේ නැතිනම් මිය යන මොහොතේ හෝ අනාගාමී හෝ අරිහත් වන බව බුදු හිමියන් පෙන්වා දෙනවා.

රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, කියන පංචස්කන්ධයේ මායා මුලාවේ ඇත්ත සැටියෙන් දැනගැනීම තුල යටිකුරු කල සියල්ලම උඩුකුරු වෙනවා. එතෙක් කැමැත්ත ඉෂ්ඨ වුණාය කියන අදහස නැගී ආවේම අරමුණ ලැබෙන ක්ෂණයේමයි... 

මේවායේ ඇත්ත නොදන්නා විට ශබ්දයක් ඇසෙන විටම එය ශබ්දයක් ලෙසින් මැනගැනීම තුලම කැමැත්ත ඉෂ්ඨ වුණාය කියන අදහස නැඟී අවසන්. එහෙත් ශබ්දය නම් මායාවේ ඇත්ත දැනගත් මොහොතේ පටන්ගෙන එය නම් කැමැත්ත කිසි ලෙසින් ඉෂ්ඨ කරන්නේම නැති බවත් එයට එසේ කරන්නට හැකියාවක්වත් නැති බවත් අවබෝධ වෙනවා... මේ ආකාරයටමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සියල්ලෙහි අනිච්ඡ දුක්ඛ අනත්ථ බව දකින්නේ...

අල්ලාගත් සියල්ල යනු හුදෙක් අප සැමට වටහා ගත හැකි සැමට හසුවන ඇලෙන ගැටෙන මට්ටමක් නොව එතැනින් ඔබ්බට ගිය සැපයත් දුකත් නොලැබෙන මෝහසහගත උපේක්ෂාව ක්‍රියාත්මක වන මට්ටමේ පටන්ගෙනම ක්‍රියාත්මක වන අති සියුම් අවස්ථාවකි.  “මම“ යන හැඟීම ක්‍රියාත්මක වන තාක්... රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම හමුවේ ප්‍රතිචාරයක් නැගෙන තාක් අල්ලාගත් සියල්ල ක්‍රියාත්මක වන බව දැකගන්නට හැකිවෙන්නේ දහම් ඇස පහල වීම තුලින්මය.  

ඉතින් මෙන්න මේ වගේ සියුම් දහමක්... ගැඹුරු නමුත් සරලව හිතන්නේ නම් අවබෝධ කරගන්නට හැකි දහමක්... තම තමන්ගෙන් ගිලිහී යන්නට දෙන්න එපා... බුදු දහම කියන්නේ පෙර ඇසු විරූ දහමක්... දන්නා කියන දැනීමක් ගැන කියැවෙන හෝ ගැබ් වන දහමක් නොවේ... 

වැරදෙන පැටලෙන මුලාවෙන තැනත් දැනගන්න...
අපි ලෝකයේ විවිධ අරමුණ හමුවේ ඇලෙනවා... ගැටෙනවා... ඒ ඇලීමෙන් ගැටීමෙන් මිදෙන්නට මහා අපහසුයි කියලයි අපට හිතෙන්නේ... ඒත් ටිකක් භාවනාවක් කරනාකොට... දහම් කරුණක් හෝ වේවා දැනුමක් වශයෙන් මෙනෙහි කරනකොට මේ ඇලීම ගැටීම ක්‍රම ක්‍රමයෙන් යටපත් වෙනවා.  කොටින්ම මේ කියන දහම් කොටසම දත්තයක් වශයෙන් තේරෙනවා...ඒ තේරෙන දත්තය නැවත නැවත මෙනෙහි කරනවා... ඒ මෙනෙහි වෙන්නේ වචී සංකාරයක් හෙවත් සිත ඇතුලේ සංවාදයක් වගෙයි... විතර්කයක් වගෙයි... ඒ තුලින් නැගෙන සමාධියක් තියෙනවා... එයටත් රැවටෙනවා...

ඉපදුන ගමන් පොඩි ළමයෙක් ඉන්නවා වගේ ඉන්නට හැකි වෙනවා. ඒත් පොඩි ලමයා රහත් වෙලා නෑ... ඇයි? රාගය, ද්වේශ, මෝහය අනුශසය වශයෙන් ක්‍රියාත්මකයි. හේතුව රාග, ද්වේශ, මෝහ මූලයන් ඒවා හටගන්නට හේතු දැනගත් අවබෝධය තවමත් ක්‍රියාත්මක නැතිවීමයි. මේ ස්වභාවයට කියන්නේ මෝහ සහගත උපේක්ෂාව කියලයි. සැපත් නැති දුකත් නැති උපෙක්ෂා සහගත ස්වභාවය. මේ තත්වයට පත්වූ විට බොහෝ දෙනෙක් රැවටෙනවා. තමන් අරිහත්වයට පත්වෙලා කියලත් හිතන්න පුළුවන්. මේ තත්වයේදී ධ්‍යානාදියත් නැඟී එනවා. ඒ සුවයේත් ඉන්න පුළුවන්... ඒත් කෙලෙස් නිරෝධ කරන දහම් ඇසෙන් යුතු ප්‍රඥාව ක්‍රියාත්මක වන මේ ශාසනයේ උතුම් බ්‍රහ්මචරියාව එය නොවේ. 

ඒ නිසා ප්‍රවේශම් වෙන්න... රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් වූ පංචස්කන්ධය හෙවත් විපාක වශයෙන් අත්දකින ලෝකය සකස් වන ආකාරය නුවණින් දැකගන්න. ප්‍රශ්ණ සියල්ලම විසඳෙනවා. ඒ අවබෝධය තුලම සකස්කිරීම් නිරෝධයෙන් ලබන ශාන්ත ප්‍රණීත නිරාමිස නිවන් සුවය අන් කිසිවකින් ලබන්නට හැකි දෙයක් නොවේ. එය මේ ලෝකයේ අත්දකින ධ්‍යාන හෝ වේවා වෙනත් අසීමිත සුවයක් ගෙන දෙන කිසිවකට සම කරන්නට හැකි හෝ ඒවා තුලින් පෙන්වා දෙන්නට හැකි දෙයකුත් නොවේ. 

අවසාන වශයෙනුත් කියන්නට තියෙන්නේ ඇසෙන, පෙනෙන, විඳින, දැනෙන මොහොතක් පාසා රැවටෙනවා. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඇහැට රූප පේනවා... ආසාවක් තියේ නම් හැරිලා බලනවා. මෙන්න මේ මට්ටමෙන් ඉවත් වුණාම ඇතියි කියලා... අනේ උතුම් බුදු දහම නම් ඒ මට්ටම නෙවේ. අවිද්‍යව තියෙන තුරාවට ඇහැට පේන මට්ටමේම කරන්නේ බැලීමම තමයි. ඒ බැලීම නිසාම තමයි ප්‍රිය අප්‍රිය රූප ආදී බොහෝ කෙලෙසීම් ඇතිවෙන්නේත්. 

දහම් ඇස පහල වූ තැන් පටන්ගෙන මෙන්න මේ දේ ගැන සිහියෙන් යුතුව කටයුතු සිදුවන විට බැලීම නතර වෙන්නට පටන්ගන්නවා. පෙනීමට සීමා වෙන්නට පටන්ගන්නවා. අරිහතුන්වහන්සේට පමණක් පෙනෙන ඇහෙන කියන්නාවූ මූලික මට්ටම තිබෙනවා. හේතුව උන්වහන්සෙගේ අවබෝධය පූර්ණයි. ඇසට හෝ එයට ලැබෙන රූපයට රැවටෙන්නට අංශුමාත්‍ර තරම්වත් හේතු නෑ. අනුශසය නෑ. මෙන්න මේ විදියට ලබන්නේ මෝහයෙන් තොරවූ උපෙක්ෂාවයි. 

මේ උතුම් බුදු දහමේ හරය... සියුම් බව... ප්‍රඥාවන්ත බව... දුර්ලභබව... ප්‍රඥාවන්තව තෝරාගන්නට තෙරුවණේ ආශිර්වාදයම ලැබේවා!!! කළණ මිතුරු ඇසුරෙන් සත්ධර්මයම ලැබේවා!!!


වැදගත් දේශනයක්;

Friday, November 25, 2016

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 2 කොටස

1 කොටස හා සැබැඳියි...
ඒත් දැන් ඒ පුද්ගලයා මේ අනතුර ගැන දන්නවා. හරියට අතේ තිබුණ මහා වනයක් තුවාලයක් හොඳ වුණා වගේ. මෙච්චර කාලයක් වස වල අතදාගෙන හිටියේ තුවාලයක් තියෙන බවවත් නොැදනයි. ඒත් දැන් දන්නවා ඒ තිබුණ තුවාලය වනය සුවවූ බව. දැන් ඒ පුද්ගලයා වස වල අතදාන්නේ බියක් නැතිවයි. 


හේතුව ඒ පුද්ගලයා දැන් අබැද්ධිය දන්නවා. පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වන මායා මුලාව මහා බොරුව වංචාව දන්නවා. 

ඒ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වන බොරුව වංචාව මායාව නොදන්නා තාක් සකස් වූ ආශ්වාදය ගැන දැනගන්නවා. ආශ්වාදය තතු සේ දැනගන්නවා...

ඒ ආශ්වාදය සකස් වන මොහොතේ ඒ හා බැඳී ක්‍රියාත්මක වූ පංචස්කන්ධයේ ඇත්ත නොදැනීම නිසාවෙන් සිද්ධ වෙන සිද්ධිය හෙවත් අවිද්‍යා, සංකාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන ආදී නවය ගැන දැනගන්නවා. ඒ ආකාරයෙන් ආදීනවය තතු සේ දැනගන්නවා...

ආශ්වාදය සකස් වූ හැටි දැනගත්විට... මහා වංචාව හඳුනාගත් විට... ඒ හා බැඳුනු ආදීනවය දැනගත් විට... මේ සිද්ධිය ක්‍රියාත්මක වූ ඇස - රූප, කණ - ශබ්ද, නාසය - ගන්ධ, දිව - රස, කය - ස්පර්ශ, මේ සියලු දේ ඔස්සේ සකස් වෙන මන - ධර්ම ගැන හෙවත් ලෝකය ගැන මහා කලකිරීමක්මයි ඇතිවෙන්නේ. ඒ කලකිරීමම නිස්සරණයට හේතු වෙනවා... අනිශ්‍රිත වෙන්නට හේතු වෙනවා... ආශ්‍රයන්ගෙන් තොර වෙන්නට පටන් ගන්නවා...

මේ ඇහෙන, පෙනෙන, දැනෙන, විඳින ක්ෂණයක් පාසා යමෙකුට සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් යන විකෘති ඥාණ පහල වෙන තාක් ලෝකය හටගන්නවා. එහෙත් මේ අවබෝධයට පත්වූ ඥානය පහල වූ ලෝකය විනිවිද දකින්නට දහම් ඇස පහල වූ පුද්ගලයාට මේ විකෘතිඥානයන්ගෙන් හෙවත් විඤ්ඤාණයන්ගෙන් මායාව පෙන්වන මොහොතක් පාසා ඒ මායාව පසාරු කරගෙන... විදගෙන... විනිවිද දකිමින් ඒ මායාව මායාව සේ හඳුනාගන්නවා... 

මෙන්න මේ ක්‍රියාවලියට භාවනාව කියනවා... ඒ විනිවිද දැකීමට විදසුන් ඥානය කියනවා... විදසුන් වැඩීම කියනවා... ඒ විනිවිද දැකීම උදෙසා ඒ මොහොතේ ඇතිවන සමථ ස්වභාවයට සමථ භාවනාව කියනවා..

දහම් ඇස පහල වීම නිසාම... ඥානය පහල වූ නිසාම... දැක්ම හරිගිය නිසාම... අරමුණක් හමුවේ ඒ ක්ෂණයෙහිදී ඒ දැක්ම ක්‍රියාත්මක වන මොහොතක් පාසා ඒ හා එකට බැඳී නිවැරදි දැක්මෙන් යුතු සිහිය, විරිය, නුවණ ක්‍රියාත්මක වෙනවා... ඒ තුල අරමුණ විනිවිද දකින නිසාම පංච නීවරණ හෙවත් කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, උද්ධච්චයක් කුක්කච්චයක්, විචිකිච්ඡා, ථීනමිද්ධ කියන්නාවූ කෙලෙසීම සිද්ධ වෙන්න හේතු නැතිව යනවා... 

ඒ කෙලෙස් දවා හැරීම ධ්‍යානයක් ලෙසින් අත්දැකගන්නටත් හැකිවෙනවා... කෙනෙක් ඒ ධ්‍යාන සුවයේ රස බලන්නට නතර වෙන්නටත් පුළුවන්... ඒත් විදර්ශනාව ප්‍රබලව නැගෙන පුද්ගලයා ඒ දැහැන් තල හෙවත් පැවැත්ම තුලම වූ බ්‍රහ්ම තල නම්වූ පැවැත්මද විනිවිද දකිනවා... එයත් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ මායාවෙන්ම මිස ඉන් තොරව සකස් වූ දෙයක් නොවන බව දකිනවා... එහිද ආශ්වාදය, ආදීනව, නිස්සරණය දකිනවා... ඒ දැහැනත් ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාට ආර්ය කමටහනක් බවට පත්වී තිබෙන නිසාම දැහැන් තල හෙවත් බ්‍රහ්ම තලයන්හි පැවැත්මත් නිවන පිණිසම වූ කමටහනක් බවට පත්වෙනවා.

ඒ ආකාරයෙන් තුන් ලෝකයේම පැවැත්ම මොහොතක් මොහොතක් පාසා ක්ෂය කරන්නට නිරෝධ කරන්නට විජ්ජාව දුටු මොහොතේ පටන් හැකිවෙනවා. සියලු දෑ කර්මස්ථානයක්ම බවට පත්වෙනවා.  

ඒ නිරෝධය පූර්ණ වන්නට ගත වන කාලයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදිනවා යැයි පවසනවා. 

ඒ තුල අතහැරී මිදී නොඇලී යන මොහොතක් පාසා සීලයක පිහිටනවා... ඒ සීලය පිහිටන මොහොතක් පාසා සමාධියට පත්වෙනවා... ඒ සමාධිය නැවතත් විදසුන් නුවණින් ප්‍රඥාව පිණිසම හේතු වෙනවා... 

දුටු නිවනකට... අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමක් මිස... දැනුමෙන් වචන හරඹයෙන් තර්ක වාදයෙන් නොයෙක් නොයෙක් වත් පිළිවෙත් තුලින් නුදුටු නිවනක් මතු දැකගැනීමක් නොවේ.

මේ දහම් ඇස පහල වූ පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් මොහොතක් මොහොතක් පාසා සිහිය පවත්වන්නේ නම් ඒ පුද්ගලයාට අප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. 

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් මේ අවබෝධයෙන් යුතු නමුත් විශේෂ සිහියක් පැවැත්වීමක්, විරියක් යෙදීමක් සිදුනොකර ඒ ලැබූ අවබෝධයේ සුවයෙන් කාලය ගත වෙන්නට ඉඩ හරින්නේ නම් ඒ පුද්ගලයාට ප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. බුදු හිමියන් පවසන්නේ කොතරම් ප්‍රමාද වුවත් නිවනටමයි නැමී සිටින්නේ... නිවනින්මයි කෙලවර වන්නේ ඒ නිසා ඒ අය ගැන නැවත හිතන්නට දෙයක් නැති බවයි. 

ඔවුන් ලත් අවබෝධය නැති කරන්නට දහම් ඇස අන්ධ කරන්නට තරම් ඔවුන්ගේ කෙලෙස් ප්‍රබල නැහැ.