නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, May 10, 2021

ධර්මය හදවතේ සංරක්ෂණය වෙත්වා!

 

මේ දින වල ලංකාවේ ත්‍රිපිටකය ඇසුරු කරන බොදුනුවන් බහුල ව කතා බහ කරන මාතෘකා ව ක් තමයි ත්‍රිපිටක සංරක්ෂිත පනත.  ගිහි පැවිදි දෙපාර්ශවය ම මේ සම්බන්ධව දැඩි උනන්දුවක් තිබෙන බවක් නම් පෙනෙන්නට තිබෙනවා.  නිරන්තරයෙන් මගෙන් ද මේ ගැන විමසා සිටින නිසා මගේ අදහස සුපුරුදු පරිදි සටහනක් තබන්නට සිත් වුනා.

ගිහි වේවා පැවිදි වේවා නිවෙන දහම් මඟක කටයුතු කරනවා නම්... අවංකව ම නිවීමට කැමැත්තක් වේ නම්... මම නම් දකින්නේ තම තමන් තෝරා ගත්ත ඒ මාර්ගයට අවංක විය යුතුයි.  බුදු පියාණන් වහන්සේ ලා ගේ අවවාද අනුශාසනා වලට ගරු කරන ශාස්තෘ ගරුක සැබෑ ශ්‍රාවකයෙක් නම් සෑම මොහොතක් ම කැප කරන්නේ තම තමන්ගේ සිත, කය, වචනය ඒ උතුම් තෙරුවන ට අනුව ධර්මයට එකඟ ව කටයුතු කරනවා ද යන විමර්ශනයෙන් යුක්ත ව යි.  ඒ විමර්ශනය ඇති කල්හි සිත, කය, වචනය රාගයෙන්... ද්වේශයෙන්... මෝහයෙන් සංවරත්වයට පත්වීම කියන කාරණය ප්‍රතිඵලය ලෙසින් අත්දැක ගන්නට හැකි වෙනවා.

ඉතින් මේ විමර්ශනය නැති කල්හි සැම විට ම තම තමන් ඇසුරු කරන ධර්මයට එකඟ ව නෙවේ කටයුතු සිද්ධ වෙන්නේ.  එවිට සමඟිය පැත්තකට ගොස් එක එක කල්ලි වාද පිල් බෙදිලා පද්ධති සකස් කරගෙන ඒවා පවත්වා ගැනීම පිණිස මහා පොරයක් තමයි දැක ගන්නට ලැබෙන්නේ.

ඉතින්  මම විශ්වාස කරන්නේ මේ තෙරුවන සම්බන්ධ කටයුතු වල දී ගිහි පැවිදි දෙපාර්ශවයට ම නුවණක් තිබිය යුතුයි තම තමන් ගන්නා තීන්දු තීරණ ශාස්තෘන් වහන්සේ අනුමත කලා වූ සත්ධර්මයට එකඟ තීන්දු තීරණ ද කියන බව විමසා බලන්නට. ඒත් හැබැයි සත්ධර්මයේ ගැඹුර තෙරුවන හදවතට දැනිලා නැත්නම් මේ දේ කරන්නට හරිම අපහසුයි.  ඒ නිසා තීන්දු තීරණ හැම විටම ලෞකික සම්මතයකට අනුව තමයි අර ගන්නේ.

ඉතින් ඒ නිසා අවංක ව ම නිවන් මාර්ගයේ ගමන් කරන්නට කැමති... අවංකව ම තෙරුවන ට ගරුත්වයෙන් යුතුව කටයුතු කරන නැණවත් ගිහි පැවිදි දෙපාර්ශවයට ම කල්‍යාණ මිත්‍රත්වයෙන් කෙටියෙන් කියන්නට තියෙන්නේ  මේ සියලු දේ ධර්මයට එකඟ ද කියලා විමසා බලන්න කියලා විතරයි.  සුපුරුදු පරිදි නිර්වාණ ධර්ම සදහම් සත්කාරය ඔස්සේ මට හැකි අයුරින් තම තමන්ගේ පර්යේෂණය පිණිස යොදා ගත හැකි කරුණු කාරණා කිහිපයක් පෙන්වා දෙන්නම්.

මුලින් ම අපි මේ තවමත් රැගෙන නැති එහෙත් අනාගතයේ ගැනීමට අදහසක් ඇති බව ප්‍රකාශයට පත් කල මේ තීරණය ට විරුද්ධ ව ගැටෙන... ඒ තුලින් චිත්ත සන්තානයේ කලබලයක් ඇති වූ පාර්ශවය ට තම තමන් ගේ පර්යේෂණය නිවැරදිව සිදු කර ගන්නට හැකි යමක් විමසා බලමු.  තවත් විදියකින් කියනවා නම් ඉතින් අනාගතය කෙරෙහි ඇති බිය.  අතීතය කෙරෙහි ඇති බිය. වර්ථමානය කෙරෙහි වූ බිය. අතීත අනාගත වර්ථමාන කාලයන් ඔස්සේ කම්පා වෙමින්, මම මගේ ලෙසින් ගැනීමට සාරවත් වූ දේ ඇතැයි යන දැඩි  විශ්වාසය මත සිදුවන කටයුතු.  සත්ධර්මය ගැන ගැඹුරින් විමසා ගලපා බැලුවහොත් යමක් කැමති සේ පවත්වා ගැනීම පිණිස...  ආත්මීය ලෙසින් පවත්වා ගැනීම පිණිස ඇති වන තීව්‍රැ සටනක්.  කෙටියෙන් කියතොත් පැවැත්මේම පිහිටා ඇති සිතක්.  මේ සිත ඔබ කෙරෙහි වේ නම් නුවණින් මෙය දැක ගන්නටම වෙනවා.  නැතිනම් එවන් සිතක් දරා ගෙන කටයුතු කරන ඔබ ගෙන් ශාසනය රැකගන්න වැඩපිලිවෙල හෝ කළණ වැට සුරැකෙන වැඩපිලිවෙල සිදු වෙනවා යැයි සිතීම විහිලුවක් වැනි වෙනවා.

ඔබ මුලින් ම විමසා බලන්න ඕන මේ තීරණය ඔස්සේ ඔබගේ සීල ස්කන්ධයට මෙයින් හානි වෙනවා ද?  සමාධි ස්කන්ධයට මෙයින් හානි වෙනවා ද? ප්‍රඥා ස්කන්ධයට මෙයින් හානි වෙනවා ද? කියන දේයි.  එසේ හානි වෙනවා නම්... වේ යැයි බියක් පවතිනවා නම් තවමත් ඔබ අසා ගත යුතු සත්පුරුෂ ධර්මය අසා ගත් ආර්ය ධර්මය අසා ගත් සම්බුද්ධ ශාසනයක ලැබිය හැකි සීල ස්කන්ධයට, සමාධි ස්කන්ධයට, ප්‍රඥා ස්කන්ධයට උරුම කම් කියන්නෙක් නෙවේ නේ දැයි විමසා බලන්න. 

ඒ දේවල් එසේ දරන්නේ නැතිනම් නම් ඒ අයට කියන්නේ තවමත් අසා ගත යුත්ත නිවැරදිව අසා නො ගත්, දරා ගත යුත්ත නිසි සේ දරා නො ගත් අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා කියලයි.  එසේ නම් එවැනි අයට සත්ධර්මය කෙරෙහි තීන්දු තීරණ ගැනීමට කොහොමත් හැකියාවක් නැති බව ශාස්තෘන් වහන්සේ විසින් ම පෙන්වා දී තිබෙනවා.  සත්පුරුෂ සහ ආර්ය ධර්මය ගැන අවබෝධයක් නැති කෙනෙක් ට නිවැරදි ධර්මය හෝ අධර්මය ගැන අදහසක් තියෙන්න බැහැ නේ නේද?

මේ සිදු කරන දෙයින් ඔබට තවත් කෙනෙකුට ත්‍රිපිටක ධර්මය උපුටා ගනිමින් සත්ධර්ම ය පෙන්වා දෙන්නට දේශනා කරන්නට නොහැකි වෙනවානේ කියලා නම් ඔබ තර්ක කරන්නේ සහ ගැටීමට පත් වෙන්නේ... එතැන විමසා බලන්න ඕන ඔබ මේ තෙරුවන ඇසුරු කරන්නේ දේශකයෙක් වී තමන් ත්‍රිපිටකයෙන් ද කරුණු දන්නවා යැයි පෙන්වීමට මිසක් නිවී සැනසී සංසාර ගමනින් විමුක්තිය ලැබීම පිණිස නෙවේ නේද කියලා.  වංචනික ධර්ම හඳුනා ගන්නට දක්ෂ විය යුතුයි.  එසේ දක්ෂ බවක් නැති පුද්ගලයෙකුට සත්ධර්මය රකින ශාසනය රකින වැඩපිළිවෙළට දායකත්වයක් සැපයීමට සැබැවින් ම නොහැකි බව සත්ධර්මය තුලින් ම අවබෝධ කර ගත යුතුයි.

සත්ධර්මයේ ගැඹුර පොත් කිහිපයකට ගොනු කල හැකි දෙයක් නෙවේ.  යමෙක් ධර්මය රකිනවා කියලා හෝ වේවා ධර්මය ප්‍රචාරය පිණිස කියලා හෝ ධර්මය නැති කරන්නට යනවා කියලා හෝ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ මත යැපෙනවා නම් ඒ පුද්ගලයා මේ තෙරුවනේ ගැඹුර ශක්තිය තවමත් විනිවිද දැක නැති බව තමයි හැඟෙන්නේ. 

ඉතින් තම තමන්ගේ නිවන් මඟ කළ එළි කර ගන්නට ත්‍රිපිටක සත්ධර්මය භාවිතා කරන්නට මේ සංරක්ෂිත පනත තුලින් කිසිදු බාධාවක් නැහැ.  එය කරන්නට හැකි දෙයකුත් නොවේ නේ.  ඉතින් තම තමන් සත්ධර්මය අවබෝධ කලා නම් ත්‍රිපිටක සත්ධර්ම කරුණු පද ලෙසින් ගෙන හැර දක්වන්නේ නැතිව එදිනෙදා තම තමන්ගේ වැඩපිළිවෙළ තුල ඒවා යෙදෙන ආකාරය හඳුනා ගෙන නිවන් මඟ විවර කර ගන්නට හැකි වෙනවා.  යමෙකුට පෙන්වා දෙන්නට අවශ්‍ය නම් ඒ තුල කළණ වැට බිඳ ගන්නේ නැතිව සත්ධර්මය රැක ගන්නා ශාසනය රැක ගන්නා ක්‍රම වේදය තියෙනවා.

නොයෙක් නොයෙක් ආකාරයෙන් සම්මා සම්බුදු වදන ද ඉවත දමා ලෝක සම්මත ආකාරයෙන් ධර්මය ශාසනය රැක ගන්නට පොර බඳින ගිහි පැවිදි පාර්ශවයටත් කියන්න ට තියෙන්නේ ශාසනයේ පිරිහීමට වග කියන ශාසනය තුලින් ම බිහි වන අන්‍ය ශාසනිකයන් නොවී ශාස්තෘ ගරුක ධර්ම ගරුක විනය ගරුක වැඩපිළිවෙළ අවබෝධ කර ගන්නට කැප වීම තුල ඔබගේ බලාපොරොත්තුව ඉටු කර ගන්නට හැකි බවයි.    

රැක ගන්නට හදන ත්‍රිපිටකය තුල ඇති වදන් වලට අර්ථයට, ධර්මයට, සාරයට තම තමන්ගේ හදවත් සංවේදී වූ වා නම් මෙවන් කෝලාහල බුද්ධ ශාසනයේ නාමයෙන් ඇති වෙන්නේ නෑ.  ඉතින් මේ ත්‍රිපිටකය සංරක්ෂණය ආදී කටයුතු කෙසේ විය යුතු ද යන්නත්... ප්‍රතිරූපක දහම් යටපත් කොට සැබෑ තථාගත ශ්‍රී සත්ධර්මය කෙසේ මුදුන් පත් කර විය යුතු ද යන්නත්... ඒ ඒ පුද්ගලයන් කෙරෙහි ත්, ඒ ඒ කටයුතු කෙරෙහිත් පිළිපැදිය යුතු ශාසනික ක්‍රම වේදය සම්මා සම්බුදු රඳුන් විසින් ම පෙන්වා තියෙනවා. ඒ ශාස්තෘ වදන ඉක්මවා කටයුතු කිරීම එකලත් දේවදත්ත හිමියන් වැනි හිමිවරුන් සිදු කලා.  ගිහි පැවිදි දෙපාර්ශවය ම දැන හෝ නො දැන මේ කටයුතු වල දී දේවදත්ත හිමියන්ටත් ඒ කටයුතු සිදු කල එවැනි පාර්ශව වලටත් දායකත්වය සහාය පල කලා. 

ඉතින් තම තමන් නුවණැති ව කටයුතු කරන්නට අදිටන් කර ගන්න.  සහාය පල කරන්නෙත්, විරෝධය පල කරන්නෙත් තම තමන්ගේ හිතු මතයට නම් ඒ තුල ශාස්තෘ වදනට ගෞරවයක් නැති නම්, සත්ධර්මයට විනයට ගෞරවයක් නැති නම් එයින් ශාසනය අතුරුදහන් වන වැඩපිළිවෙළ ම සිදු වෙනවා  මිස කිසිවකුටත් වන යහපතක් නම් නැත.   

එහෙනම් නුවණ අංශු මාත්‍රයක් හෝ තිබෙන ඔබට සිහිපත් කරන්නට තියෙන්නේ තවමත් බුද්ධ ශාසනය අවසන් නෑ.  හැබැයි මෙහි අවසානය මේ කෝලාහල නිසාම ඉතාමත් ඉක්මනින් ම සිදු වේවි.  නුවණක් අංශු මාත්‍ර වශයෙන් හෝ තියේ නම් තම තමන් ලබා ඇති අති දුලභ අවස්ථාවේ වටිනාකම අවබෝධයෙන් එය මඟ නො හැර ගෙන කටයුතු කර ගනිත්වා කියල තමයි.  මේ කටයුතු වලට කම්පා වෙමින් තම තමන්ගේ දායකත්වය දෙපාර්ශවයට ම සපයන ගිහි පැවිදි පාර්ශවයන් ට කල්‍යාණ මිත්‍රත්වයෙන් සිහි පත් කරන්නට තියෙන්නෙත් අප්‍රමාදී බව හිස් මුදුනට ම ගනිත්වා යන්න තමයි.

අනිච්ච වූ ලෝකය නිච්ච කර ගෙන ඇති බවත්... දුක වූ ලෝකය සුඛ කරගෙන ඇති බවත්... අනත්ත වූ ලෝකය අත්ත කර ගෙන ඇති බවත්... අසුභ වූ ලෝකය සුභ කරගෙන ඇති බවත්... සිහියෙන් දැක ගන්නට සතර සතිපට්ඨානයේ පිහිටන්නට අති දුලභ සත්පුරුෂ වූත් ආර්ය වූත් තථාගත ශ්‍රී සත්ධර්මය ගිහි පැවිදි දෙපාර්ශවයේ ම හදවත් වලට දැනෙත්වා!!!  විරාගය පිණිස... නිරෝධය පිණිස... නිවීම පිණිස ම කටයුතු සිදු කර ගනිත්වා!!! සියලු සංස්කාර ධර්මයන් හි අනිත්‍යතාවය දැක  අප්‍රමාදී ව කටයුතු සම්පාදනය කර ගනිත්වා!!!

උත්තරීතර බුද්ධ ශාසනයක් අති දුලභව ම යි ලැබෙන්නේ.  එහි ශාන්ත වූ ප්‍රණීත වූ නිවීමක් විමුක්තියක් ලබන්නට අත්දකින්නට ඒ මඟට බැස ගත් මොහොතේ පටන් ගෙන හැකි වෙනවා.  ඒ සුවය ලබන්නට තරම් ඔබත් වාසනාවන්තයි!  ඒ වාසනාව නිසි සේ හඳුනා ගෙන අප්‍රමාදී ව කටයුතු කර ගනිත්වා!!!

Saturday, May 1, 2021

Do you have true FAITH?

 

Article summary

Faith can be varying according to the subject. When it comes to the Buddhism, it’s important to identify whether we have true faith or not which leads us to the true liberation.

The blessed one once explain some points to identify about the true faith.  Let’s check on them and let’s observe ourselves whether we have it or not.

This is in Pali canon - Numbered Discourses (Thika Nipathaya) - 5. The Lesser Chapter (Chulla Wagga) - 42. Three Grounds (Sangalakkhana Sutta)

“Bhikkhus, in three cases one may be understood to have faith and confidence. What three? When one desires to see those of virtuous behavior; when one desires to hear the good Dhamma; and when one dwells at home with a mind devoid of the stain of miserliness, freely generous, openhanded, delighting in relinquishment, devoted to charity, delighting in giving and sharing. In these three cases, one may be understood to have faith and confidence.”

One who desires to see the virtuous ones, who wishes to hear the good Dhamma, who has removed the stain of miserliness, is called a person endowed with faith.

“Oh! It’s easy to identify” you may feel like this.  But is it?  Let’s dig much deeper in to what says here.

When you check these three cases within you check all these things too. 

What is faith according to you?  For whom you are faithful?  Check who is virtuous ones according to your opinions. What is virtue according to you.  Who is not virtuous people according to you? And to whom do you wish to give?  Is there any limitation to your giving?  To whom you like to listen to the most?  Whose sermons you prefer most to listen? 

Are vegetarian people being virtuous according to you?  Do you see forest tradition bhikkhus are more virtuous than the other bhikkhus?  Do you like to offer food and other things only for these types?  Do you wish to listen to only these types?  Then your virtue & virtuous people & good true dhamma & your giving are all framed according to your personal view. When you wish to give only to those who identify as virtuous people then you are greedy to give to others whom you believe not virtuous. 

So, this is not the true faithful person which explained above by the blessed one.  A true faithful person which has true confidence which arise from wisdom, identifies the virtuous people correctly.  It’s never become personal.  And identifies true dhamma wherever it explains and by anyone and it’s not again personal.  And giving become universal, & not just based on personal views.

So, you see my dear dhamma friends. It’s always deeper than we believe. 

Do not cling in to what your mind believes to be true.  Always seek the truth according to the true dhamma.  When your search is for the truth, you will be guided by the universe itself to reach the noble triple gem.   That’s when you be able to feel the bliss of being a true faithful & confident personality within you. 

So, focus… focus for the true liberation my dear friends!!! Have a blessed time!!!

සැබෑම සැදැහැතියෙක් ද?

සටහනේ අන්තර්ගතය

උත්තරීතර තථාගත ශාසනයක අති දුලභ ව ලැබෙන ශ්‍රද්ධාවන්තයෙක් වීමේ භාග්‍යය ඔබට ලැබී තිබෙනවා දැයි දැන ගන්නට කැමති ද? සර්වඥ වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් එක්තරා අවස්ථාවක පහන් වූ සැදැහැතියෙක්... එහෙමත් නැත්නම් ශ්‍රද්ධාවන්තයෙක් කියලා හඳුනා ගන්නේ කෙසේ ද කියන කාරණා කිහිපයක් පෙන්වා දෙනවා. අපි අනුන් ගැන බලන්නට නොවේ තමන් ගැනම විමසා දැන ගන්නට මේ සම්බුදු අනුශාසනාවත් උපකාර කර ගනිමු.

අපේ ශාස්තෘන් වහන්සේ... උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මෙන්න මෙසේ පෙන්වා දෙනවා.

ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය 1 - තික නිපාතය - පඨම පණ්ණාසකය - 5. චුල්ල වර්ගය - 3.1.5.2 සූත්‍රය (සංගලක්ඛණ සූත්‍රය)

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

දැන් මේ කාරණා 3 සම්බන්ධය සහ නිවැරදිව තමන් ව විමසා බලන්නට දක්ෂ වෙන්න ඕන.  මෙය බැලූ බැල්මට ඉතාමත් සරල කාරණයක් විදියට පෙනුනත් ඉතාමත් ගැඹුරක් මේ තුල දක්නට තියෙනවා.  

මේ වන බොහෝ දෙනෙක් සිල්වතුන් ලෙසින් මැන ගෙන හදා ගෙන සිටින රාමු හරිම දරුණුයි.  ඒ වගේම තමයි සත්ධර්මය ලෙසින් මැන ගෙන හදා ගෙන සිටින රාමුවත් හරිම අනතුරුදායකයි.  මෙන්න මේ අදක්ෂ බව නිසාම සිල්වතුන් දක්නට කැමති වීම, සදහම් අසන්නට කැමති වීමමසුරු මල දුරලා විසීම කියන කාරණා 3ම රාමුවකට කොටු වෙනවා.  ඒ විදියට රාමුවකට කොටු වෙච්ච කෙනෙකුට නම් මේ කාරණාවේ දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන සැබෑම සැදැහැවන්තයෙක් කියලා කියන්නට නොහැකියි.  එහෙනම් දැන් හොඳින් තම තමන්ගේ හදවත... තම තමන්ගේ වැඩපිළිවෙළ... තම තමන් දරන අදහස ගැඹුරින් විමසා බලන්න ඕන.

තමන් ඇසුරු කරන්නට කැමති... දකින්නට කැමති සිල්වතුන් කව්ද බලන්නසිල්වතුන් ලෙසින් ඔබ මැන ගෙන සිටින්නේ කව්දමෙන්න මේ අය දුසිල්වත් කියලා මැන ගෙන සිටින්නේ කව්ද බලන්න?

යමෙක් සිල්වතුන් ලෙසින් “නිර්මාංශ” පිරිස නම් කරනවා.  තවත් සමහර අවස්ථා වල දී යමෙක් පවසනවා “අපි නම් සිල්වතුන් කියන්නේ ආරණ්‍යවාසී හිමිවරුන් ට” කියලා. තවත් වෙලාවක තවත් යමෙක් පවසනවා “මෙන්න මේ ආකාරයේ දහම් කියන අය තමයි සිල්වතුන් ඒ භික්ෂූන් වහන්සේලාට නම් සිල්වතුන් කියන්න පුළුවන් අපි නම් දකින්නට කැමති ඒ භික්ෂූන් වහන්සේලා සහ එය ඇසුරු කරගෙන සිටින පිරිස තමයි” කියලා. 

තවත් විදියකට කිව්වොත් බලන්න ඔබ යම් යම් ආකාරයෙන් කල්ලි ගැසිලා කණ්ඩායම් හදා ගෙන පද්ධති හදා ගෙන ඒ පිරිස තුල පමණක් සිල්වතුන් දකිනවා ද, ඒ ඇසුර පමණයි සිල්වතුන් ඇසුර කියලා ගන්නේ කියලා.  යම් පුද්ගලත්වයක් මුල් කරගෙන සකස් කර ගත්ත පද්ධතියක් තුල පමණයි නම් සිල්වතුන් දකින්නේ තවමත් ඔබට තෙරුවන මුල් වෙලා නෑ. 

ඒ කියන්නේ ඔබට ශාස්තෘන් වහන්සේ ව ගිලිහිලා.  කොතැනක තිබුණත් ඒ ශාස්තෘන් වහන්සේ විසින් ප්‍රකට කල සත්ධර්මය උකහා ගන්නට තරම් තවම දක්ෂතාවය ක් නෑ.  ආර්ය සංඝ රත්නය කියන සීලවන්තයින් දැක ගන්නට තරම් තවම දක්ෂතාවය ක් නෑ.

මෙන්න මේ හේතුව නිසාම ඔබගේ සිතේ දන් දීමට කැමැත්ත ඇති වෙලා තියෙන්නෙත් තමන් තෝරා ගත්ත භික්ෂූන් වහන්සේ නමකට හෝ පිරිසකට පමණයි.  “අපි නම් දෙන්නේ මේ ආරණ්‍යයට... අපි නම් දෙන්නේ මේ වගේ බණ කියන හාමුදුරුවන්ට... අපි නම් දෙන්නේ මෙන්න මේ පද්ධතියට සම්බන්ධ පිරිසට...” මෙන්න මේ විදියට බෙදා ගෙන රාමුවකට කොටු වෙලා තමයි දන් දෙන්නේ.  එයින් බාහිර කෙනෙකුට දන් දීම ට සිතේ අති සියුම් ආකාරයෙන් මසුරු මල යෙදිලා. 

දැන් බලන්න ඔබ ඔබව ම රවටා ගන්නවා වෙන්න පුළුවන් මම නම් සිල්වතුන් දකින්නට කැමති, සත්ධර්මය අහන්නට කැමති, මසුරු මල දුරලා දන් දීමේ ඇලී සිටින කෙනෙක් කියලා.  එහෙත් ඇත්තට ම තවමත් ඔබ ශාසනයේ සැදැහැවන්තයෙක් නම් වෙලා නෑ.  ඔබ යම් පුද්ගලත්වයකට, කල්ලියකට, පද්ධතියකට කොටු වෙච්ච පුද්ගල සරණ ගිය ඒ කොටසේ සැදැහැවන්තයෙක් මිස ශාසනයේ තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්තයෙක් නෙවේ.

ගැඹුර වැටහෙනවා නේදහැම මොහොතකම අති සියුම් යෙදෙන වංචනික ධර්මයන් හඳුනා ගන්න.  සිතට එකඟ ව නෙවේ ධර්මයට එකඟ ව විමසන්න.  තෙරුවන් සරණ ගිය සැබෑම සැදැහැවන්තයෙක්... සැදැහැවන්තියෙක් වෙන්නට කැප වෙන්න!  ඔබට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ සියලුම කතු වැකි කියවන්න මෙතැනින් යොමු වෙන්න!