නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, May 28, 2016

තමන් තමන්ටම වල නොකපා ගැනීම පිණිසයි!

ශාසනය දුලභයි... එය අවසන්ව යයි... එවන්වූ මොහොතක ඔබෙන් ඔබට යුතුකම ඉටු වෙනවදැයි විමසා බලන්නට අංශු මාත්‍ර තරමින් හෝ උපකාරයක්ම වෙත්වා!!!

මෑත කාලයේ සිදුවූ අවස්ථා කිහිපයක්ම කයේ හිරිගඬු මතුවන්නට තරම් සැබැවින්ම බියකරු විය. ඒ බිය බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ නොහැඟෙන්නේ මේ දහමේ දුර්ලභත්වය තවමත් වටහාගෙන නොමැතිකම නිසාවෙන් වන්නටද පුළුවන... එසේත් නොමැති නම් වටහාගත්තද සිහියක් නැතිකම නිසාවෙන් මාන්නය ප්‍රමුඛ වී ඇති නිසාවෙන්ද විය හැකිය...

සත්ධර්මය ලෙසින් ලෝකයේ පැවැත්ම පිණිසම හේතුවන බොහෝ දෑ පවසන ගිහි පැවදි පිරිස් ඇත...   එහෙත් එවැන්නවුන්ටම තැනදී එවන් දේ පසෙකලා නිවන පිණිසම ලෝකෝත්තර මාර්ගයම විවර කරමින් රාගයෙන් මිදෙන්නට ද්වේශයෙන් මිදෙන්නට මෝහයෙන් මිදෙන්නට සත්ධර්මයක් පෙන්වා දෙන්නවුන්ගේ අංශු මාත්‍ර හෝ අඩුපාඩු දකිමින්... දේශනා ස්වරෑපයන්ගේ අඩුපාඩු දකිමින් දේශනා වල වචන භාවිතයේ අඩුපාඩු දකිමින් මේ කරගන්නට විනාශයේ තරම අංශු මාත්‍රයක් හෝ වැටහෙන්නෝ ඒ මහා විනාශයෙන් ගැලවීමට මොහොතක් සිතත්වා!

දහම පෙන්වා දෙන්නට ගලපා දෙන උපමා තුල උදාහරණ තුල සමහර විට අඩුපාඩු තියෙනවා විය හැකියි... ලෝකෝත්තර දහමක් 100%ක්ම ලෝකයේ ඇති උපමාවක් තුල ගැබ්වෙනවා යැයි සිතීමම දහම අවතක්සේරු කිරීමකි... ලෝකයේ උපමාවක් තුලින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ඒ අදහස ගලපාගෙන ලෝකයෙන් එතෙර වන මාර්ගය විවර කරගැනීමටය... ප්‍රඥාවන්තයෝ උපමාවෙන් උදාහරණයෙන් මේ ගැඹුරු දහම තෝරාගන්නා බව බුදු හිමියන් පෙන්වා දුන්නේ නිකටම නොවේ... 

බාහිර කරුණු වලින් තමන්ට ඇති දැනුමේ මට්ටමකින් බොහෝ දෑ මනිමින් මේ කරගන්නා විනාශය සුළු පටු නොවේ... මෙවන් විනාශකාරී යුගයක අනතුරු බුදු හිමියන් පෙන්වා අප්‍රමාදීවීමම යෙහෙකියි බුදු හිමියන් පෙන්වා දුන්නේ නිකමට නොවන බව දැනෙන්නේ ධර්මය තුලම සිටිනවා යැයි සිතන බොහෝ දෙනෙක් තුල සිදුවන මේ අඩුපාඩුව නිසාමයි... 

තමන් ධර්මය වටහාගත්ත පමණින් 1%ක් තරමින් හෝ රාගයෙන් මිදෙන්නට ද්වේශයෙන් මිදෙන්නට මෝහයෙන් මිදෙන්නට වදනක් හෝ පිටවන වාරයක් පාසා එය කව්රුන් කිව්වත් කෙසේ කිව්වත් ඒ කෙරෙහිම පැහැදෙන්නේ එවැනි දෙයකට වදනකින් හෝ ලැබෙන රුකුල දුර්ලභ නිසාමයි... 

ඉතින් එවන්වූ යුගයක 1%කින් වන අඩුපාඩුවක්ම ඉස්මතු කරමින් නිවන පිණිස වදනකින් පවා උපකාරයක් වන ගිහි පැවැදි දෙපාර්ශවයට කරන්නාවූ සියලු ගැරහීම් තුලින් පාඩුව ඇතිවන්නේ තමන්ටම බව නිති සිහි තබාගැනීම ප්‍රඥාවන්තකමයි... මන්ද අංශු මාත්‍ර තරමින් හෝ අතහැරීමට ලක්ව ඇත්තාවූ ඔවුන් ඕනෑම මොහොතක අනුකම්පාවෙන් කරන්නාවූ දේශනාවන්ද නතර කර තම තමන්ගේ නිවීමම ප්‍රමුඛ කර නිහඬ වනු ඇත... 
 

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් නැවත මිනිස් ලෝකයේ උපදින්නට හේතු ඇත... ඔවුන් විටෙක භාවනා යෝගීව සිටින විට තමන්ට අවබෝධ වූ සත්ධර්මය මතුවී ආ විට භාවනාව තුලින්මයි සෝතාපන්න වන්නේ යැයි දේශනා කල හැකියි... එය ප්‍රත්‍යවේක්ෂා ඥානයන්ගේ අඩු බව නිසාත් දේශනා හැකියාවේ ඇති අඩු ලුහුඬුකම් නිසාවෙන් පවසන්නාවූ දෙයක් විනා ඒ තුලින් ඔවුන්ගේ ආර්ය භාවය මැනීමට කිසිවෙකුටත් නොහැකිය.... 

විටෙක තමන්ගේ මාර්ග ඵල ප්‍රකාශ කරන්නට හැකියි... එය ලෝක අනුකම්පාවෙන් කරනවා විය හැකියි... එය බාහිරයෙන් බලා දත්තයන් තුලින් නිගමනයන්ට පත්ව ආර්ය ශ්‍රාවකයන් එසේ කරන්නේ නැතැයි මැනගෙන තමන්ට ලබාගත හැකි දුර්ලභ අවස්ථාවක් මඟ හරවාගන්නවා විය හැකිය...

තමන් කියන ආකාරයෙන් දහම නොකියන නිසාවෙන් හෝ වේවා තමන් භාවිතා කරන පද යොදා නොගන්නා නිසා හෝ වේවා ධර්මය පෙන්වා දෙන ඉරියව් විලාශය නිසාවෙන් හෝ වේවා ඇඳුම් නිසාවෙන් හෝ වේවා ඇවිදින ක්‍රමයක් නිසාවෙන් හෝ වේවා තමන්ට ලබාගත හැකි අති දුර්ලභ අවස්ථාවන් මඟ හරවා ගන්නා ආකාරය දැකීමද ඇඟ කිලිපොලා යයි...

“ධර්මය හොඳයි තමයි ඒත් ඕවා අහලා මාර්ග ඵල ලබන්නට හැකිදැයි කියන එක ගැටලුවක්” මෙන්න මෙවැනි වැකි සුලභ වීගෙන යයි... මාර්ග ඵල ලබන්නට හේතු වාසනා ඇත්තවුන්ට ඒ දේ කරගැනීමට අනිවාර්යෙන්ම මාර්ගය සැකසී ඒවි... අනුන් වෙනුවෙන් යැයි තම සිතේ වංචනික ධර්මයන්ට හසුව තමන් අමාරුවේ දාගැනීමෙන් වැලකී සිටීමට තම තමන් ප්‍රඥාවන්ත වීම මෙකල කල යුතු දෙයකි...

බුද්ධ ශාසනය කෙමෙන් කෙමෙන් අවසන්වී යයි... ඒ අතර මේ බුද්ධ ශාසනයෙන් ඵල ලබාගන්නට හිමිකම් ඇති හේතු වාසනා ඇති පින්වතෙක් වන්නට ඔබටද අවස්ථාව තියෙනවා විය හැකියි... ඒත් වැඩකට නැති පද අතර අතරමංව... වැඩකට නැති සම්මතයන් අතර අතරමංව... වැඩකට නැති පොත පත තුල අතරමංව මේ කරගන්නා විනාශය වැටහෙත්වා! අති දුර්ලභව ලැබෙන්නාවූ අවස්ථාව මඟ හරවා ගැනීමට තරම් අනුවණ වෙනවා දැයි තම තමන්ගෙන්ම විමසත්වා!!!

පොත පතින් ධර්මාවබෝධයට පත්වන්නට හැකි නම් බුදු හිමියන් මේ කළණ වැට නොකඩන්න අවසාන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයෙන් නැතිවන දිනයට මේ ශාසනයද අවසන් වෙන බව පෙන්වා දී ඇති කරුණ සුළු පටු සේ නොදකින්න... කළ්‍යණ මිත්‍රත්වය මතම මේ බුද්ධ ශාසනය 100%ක් පවතින බව පෙන්වා දුන්නේ මේ වටිනාකම හඳුනාගත යුතු නිසාමයි... බුදු හිමියන් විසින්ම එසේ නම් පොත පත ලියා තබනවා නොවේද?  ආර්යයන් වහන්සේලා අත්‍යවශ්‍යම වූ විටෙක පමණක් පොත පතක සටහනක් තැබුවේ ආර්ය භාවයටම පත්වූවෙකුට ඒ දේවල් තුලින් දේශනා කල හැකි දෑ මතුකරගැනීමට විනා ඒ තුලින් ආර්ය භාවයට පත්වීම උදෙසා නොවන බව ප්‍රඥාවන්තව අවබෝධ කර නොගතහොත් විනාශය තමන්ටමය!

මෙකල පොත පතකට දෙන වටිනාකමවත් ජීවත්ව සිටින තමන් අතරම සිටින කළණ මිතුරන්ට නොදෙන ආකාරය දුටු විට සැබැවින්ම පෙනෙන්නේ අවසාන වී යන බුද්ධ ශාසනයේ පෙර නිමිතිමය... පොතට නොගැලපේ නම් රහතුන්වහන්සේ කෙනෙක් වුවත් කම් නැත අපට එපා ඒ බණ යැයි පවසන්නට තරම් නුවණ වැසී යන ආකාරය සැබැවින්ම බියකරුය... 

ඉතින් දහමක් නොදන්නා පෘතග්ජන පිරිස පමණක් නොවේ මේ අඩුපාඩුව සෝතාපන්න ආර්ය ශ්‍රවකයන්ව සිටින ඇත්තන්ගෙන් පවා විය හැකියි... තමන්ට වැටහෙන පමණින් අන් අයගේ ආර්ය භාවයන් නිගමනය කරමින් මහා අපවාදයන්ට කරගසා නොගෙන අප්‍රමාදීව අවසන් කරගත හැකි ගමන ප්‍රමාද කර නොගෙන අනුන් ගැන නොව තමන් ගැන සොයන්නටම විදසුන් වඩමින් වහ වහා නිවන් සුවයෙන්ම සුවපත් වන්නට තෙරුවණේ ආශිර්වාදය රැකවරණය එවන් වූ අරි උතුමන්ටද ලැබේවා!

තමන්ට අවබෝධ වූවා යැයි සිතෙනා දහම... තමන් දෙසනා දහම... තමන් තුල වේදැයි ප්‍රායෝගිකව ඒ දහම තමන් තුල ක්‍රියාත්මක වේ දැයි නිති සිහියෙන් නුවණින් විරියෙන් යුතුව විමසා බලත්වා!!! 

මාරයාට හෝ වේවා මාර පාර්ශ්වික බලවේගයන්ට හෝ වේවා අමනුශ්‍යයින්ට හෝ වේවා අසුරයන්ට හෝ වේවා දොස් නඟමින් මේ දහම යට ගහන්නට ඔවුන් කරනා වැඩ යැයි අනුන්ට වරද පටවන මොහොතක් පාසා තමන් තුල ඒ දහම් නැඟී තමන් ඒ පිරිස සේ ක්‍රියාත්මක වී ඇති අයුරු යෝනිසෝ මනසිකාරයෙන්ම දැකගනිත්වා! දහම අවබෝධ වූ සත පියාගේ භූමියේ රැඳෙත්වා!!! තවමත් මඟ සොයන සත පියාගේ භූමියට පත්වෙත්වා!!!

තවමත් ප්‍රමාද නැත... අති දුලභ සත්ධර්මය වචනයකින් පවා මතු කර දෙන... ඒ වදනින් ඒ කරුණින සාධුනාද දිය හැකි උතුමන් මේ වන විට අප අතරම ඇත... ඒ ඇසුරේ වැදගත්කම වටහාගන්නට ප්‍රඥාවම පහල වේවා! තෙරුවණේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා!!!

Wednesday, May 18, 2016

දස අකුසලයෙන් පිරි යුද්ධයක් නිමාවීමේ ජය ප්‍රඥාවන්තව සැමරීම පිණිස...


මෑත ඉතිහාසයේ අපගේ ජීවිත වල අත්දකින්නට තිබුණ මහා යුද්ධයක් අවසන් වෙච්ච දිනයක් විදියට අද දවස ලාංකිකයන්ට අමුතු දිනයක් නොවේ. ඒ කාලේ කොතරම් භීතයක් සාමාන්‍ය ජනයා තුල තිබුණාදැයි ඒකාලයේ ජීවත්වූ අතීතය අමතක නැති පිරිසට සිහිපත් වේවි. 

ඉතින් ඒ වගේ යුද්ධය නිසාවෙන් සෘජුවම පෙලීමට ලක්වූ පිරිසත් මෙවන්වූ කුඩා රටක යුද්ධයක් ඇතිවන විට අස්සක් මුල්ලක් නෑර විවිධාකාරයෙන් පීඩාවට පත්වූවනුත් අද දිනය සමරන්නේ තම පාර්ශ්වය ලැබූ ජයක් ලෙසටයි. 

මේ දිනය සැබෑවටම අගය කල යුතු දිනයක් බවට පත්වන්නේ එවන් වූ ජයකට වඩා ලැබූ ජයක් නිසාමයි. 

ඒ තමයි වසර ගණනාවක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් මහා ප්‍රාණ ඝාත රැසකටත් තවත් බොහෝ පාපකර්මයන් රැසකටත් මේ යුද්ධය හේතු වුණා. රට වෙනුවෙන් හෝ වේවා දෙමව්පියන් වෙනුවෙන් හෝ වේවා දස අකුසලයේ නිරත වීම දුගතියට හේතු වන බව හේතු ඵල දහමට අනුව ධර්මයේ පෙන්වා දෙනවා. 

ඉතින් එවන්වූ මහා පාපකර්මයන් රැසකින් බොහෝ පිරිසකට මිදෙන්නට අවස්ථාවක් උදා වුණේ අද වගේ දිනයකයි. දෙපාර්ශවයේම මේ පාපකර්මයෙන් කවදා නම් මිදෙන්නදෝයි සිතමින් සිටිය පිරිස බොහෝමයි.

එවන්වූ පිරිසකට එවන්වූ අවස්ථාවක් සලසා දුන්නාවූ සෑම සියලු සත්ව පිරිස් වෙතට අප කරගත්තාවූ මහා පුණ්‍ය කුසල ශක්තීන්ගේ බලයෙන් ඔවුනවුන් විසින් අනන්ත සසර පුරාවට කරගත්තාවූ යම්තාක් පුණ්‍ය කුසල ශක්තීන් ඇදී විත්මේ ජීවිත කාලය තුලදීම ධර්මාවබෝධයටම පත්වී සසර ගමන සුවපත් කරගන්නට අවස්ථාව උදා වේවා! එසේම වෙත්වා! එසේම වෙත්වා!! එසේම වෙත්වා!!! 

ඒ වාගේම යම්තාක් එවන්වූ යුද්ධයක් නිසාවෙන් විනාශයට පත්වූවේක් වේ නම් තවමත් යුද්ධය නිසාවෙන් විනාශයට පත්වන්නන් වේ නම් ඒ සෑම සියලු සත්ව පිරිස් වෙතට සසර සුවපත්භාවය පිණිසම අප කරගත්තාවූ පුණ්‍ය කුසල ශක්තීන් හේතු උපකාර වේවා!!! එසේම වෙත්වා! එසේම වෙත්වා!! එසේම වෙත්වා!!! 

එවන්වූ මහා පීඩාකාරී කාලසීමාවකින් බොහෝ සත මුදවාගෙන යහපත්වූ ජීවිත තත්වයක් උදා කරදුන්නාවූ යම්තාක් පිරිසක් වේ නම් ඒ පිරිස නිසාම සත්ධර්මය කෙරෙහි යොමුවන්නට පරිසරය සකසා ගත්තාවූ පිරිස බොහෝමයි. නන් අයුරින් සත්ධර්මය බැබළවීම උදෙසා ලැබගත් අතහිත බොහෝමයි. 

ඒ සෑම සියලු පුණ්‍ය කුසල ශක්තීන්ගේ බලයෙන් ඒ තත්වයන් උදා කරගන්නට අංශු මාත්‍ර වශයෙන් හෝ සිතිවිල්ලකින්, ක්‍රියාවකින්, වදනකින් උපකාර කලාවූ ඒ සෑම සතට මේ ලබාගත්තාවූ දුර්ලභ මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල නෙලාගෙන ධර්මාවබෝධයෙන්ම සසර සුවපත් භාවය ලැබගැනීමට ඔවුන් විසින්ම අනන්ත සසර පුරාවට සිදුකරගත්තාවූ පුණ්‍ය කුසල ශක්තීන් ඇදී ඒවා! ඒවා!! ඒවා!!! ප්‍රඥාවන්ත යහපතක් අභිවෘද්ධියක්ම වෙත්වා!!! තෙරුවන් සරණින් සියලු සතට නිවනේ ශාන්තියම වෙත්වා!!! 

මැයි 18ක් වූ දිනක අංශු මාත්‍ර වශයෙන් හෝ යුද්ධය නිසාවෙන් දස අකුසලයේ නිරතවී, ඒ කරුණින් දස අකුසලයෙන් නිදහස් වීමේ ජය අර්ථවත්ව සැමරීම පිණිසයි!!!

Tuesday, May 17, 2016

පිනක උපකාරය නුවණින් දැකගන්නට...

කීයක් හරි හොයාගෙන යන වාහනයට ගෙවලා...
පුළුවන් පමණින් පූජා කරන්නට දේත් රැස්කරගෙන...
මහා ශ්‍රද්ධාවකින් ලකලෑස්තිවෙලා...
අපි මේ මහා පින්කමකට යන්නටයි හැමෝටම පවසලා...
උදේ පාන්දර අවදි වෙලා...
දුරු කතර ගෙවාගෙන... සකසාගත්ත ආහාරයත් වාහනයේම අරගෙන...
කොහොම කොහොම හරි පින්බිමට එන සැඳැහැවතුන්ට...
පින්බිමට පා තැබූ තැන් පටන්...
තමන් පැමිණි අරමුණ අමතකවන අයුරු නම් සැබැවින්ම බියකරුයි...
ඉන්පසු සොයන්නේම සැප පහසුවයි...
කෑමක් බීමක් දෙනවදෝයි සිත විමසයි...
ඉන්නට සුව පහසු තැනක් වේ දෝයි සොයමින් යයි...
සාංඝික දානයෙන් කොටසක් තමන්ට ලැබෙනතෙක් ඉවසුම් නැතිව යයි...
පින්කමට සම්බන්ධ වෙන්නට ඉඩ දුන්නන්හටද අපවාද උපවාද කරයි...
මේ හැමදේම අස්සේ පින්කම හෙමින් හෙමින් අවසන් වී යයි...
දෙවියෝ වැඩියද? බුදු රැස් විහිදුනාද? පින්කමේ ඔක්කෝම කෙරුණද?
අවසන ප්‍රශ්ණ පත්තරයක්ම ඉතුරු වෙයි...
අවසානයේ පිටත් වෙන්නේ?
ලෝභයෙන්මයි... ද්වේශයෙන්මයි... මෝහයෙන්මයි...
නැවත ගොස් හැමෝටම පවසන්නේ අපි මහා පින්කමක් කර ආ බවයි...
සුගතියට නිවනට ඉඩ හදාගත් බව තමන්ටම පවසා ගනියි...
තමන්වම රවටා ගනියි...
“දන් දෙන්නට සුදුසුමැය, පින් කරන්ට සුදුසුමැය. දෙවි වූවහුටද උපකාරයෝ පින්ය, මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය, පැවදිවූවහුටද උපකාරයෝ පින්ය" ලෙසින් බුදු හිමියන් පැවසුවේ...
මෙසේ මමත්ව චාරිකාවක් කරනු පිණිස නොවන බව නුවණින් දැකිය යුතුමය...
අනාථ සසර ගමනක් කෙලවර කරගන්නට උපකාරයක්ම වූ ඒ උතුම් තෙරුවණ කෙරෙහි...
කළගුණ දක්වන්නට පින්කම් කරන්නට යොමුවූ සිතට...
ශ්‍රද්ධාව නම් බලය... ශ්‍රද්ධාව නම්වූ ඉන්ද්‍රිය වැඩුමට... පින උපකාරයක්ම වේ...
හැම අපහසුවක්ම නොසළකා හරිමින්... කායික වේදනා නොසලකා හරිමින්...
පින්කමක අරමුණ හොඳහැටි දැන එය යහතින් එය සාර්ථක කරගන්නට කැපවූ සිතක...
විරිය නම් බලය වැඩුමට... විරිය නම් වූ ඉන්ද්‍රිය වැඩුමට ඒ පින උපකාරයක්ම වේ...
රාගය ද්වේශය මෝහය කෙරෙහි සිහියෙන් යුතුවම පින්කමේ කටයුතු කරන්නේ නම්...
සිහිය නම් වූ බලය වැඩුමට... ඉන්ද්‍රිය වැඩුමට මෙන්න මේ පින උපකාරයක්ම වේ...
ශ්‍රද්ධාව, විරිය, සිහිය යෙදෙමින් තමන් කෙරෙහි යොමුවූ සිතකින්...
තමන් වෙහෙස වන පින්කම සාර්ථක කරගන්නට කැපවූ සිතට...
සමාධිය නම් බලය වැඩුමට... සමාධි ඉන්ද්‍රිය වැඩුමට ඒ පින උපකාරයක්ම වේ...
මේ සියල්ල යෙදෙන තැන පින්කම හුදෙක් තවත් එක් පින්කමක් වී නොනැවතී...
ඒ කටයුතු වඩා ගැනුමට උපකාර කරනා කළණ මිතුරන් හඳුනාගෙන...
ඒ ඇසුර තුල රාගය ද්වේශය මෝහයම ක්ෂය කරන සත්ධර්මයම හඳුනාගෙන...
ප්‍රඥා බලය වැඩෙන... ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රියම වඩාගන්නට... ඒ පින්කමක් උපකාර වේ...
මෙන්න මේ මේ බොහෝ අයුරින් පින හැමෝටම බොහෝ සේ උපකාර වේ...
මෙන්න මේ මේ බොහෝ අයුරින් දානය හැමෝටම බොහෝ සේ උපකාර වේ...

එහෙත් ඔබ? 

මෙසේ පින්කම් කරන්නේද? විමසා බලන්න...
දොස් පරොස් සොයමින් අංශු මාත්‍ර හෝ වරද අඩුපාඩු දකිමින් ගැටෙන ඔය සිතට...
දෙවියන් සොයමින් බුදු රැස් සොයමින් මුලාවූ ඔය සිතට...
තමන් තුල ප්‍රඥා ලෝකය දැල්වූ විට විහිදෙන රැස් මාලාව දැකගන්නට දහම් ඇසම ලැබේවා!
ප්‍රඥාව යෙදෙමින් විදසුන් වඩන්නාවූ සිතට වඳිනා දෙවියන් දැකගන්නට දහම් ඇසම ලැබේවා!!
රාගක්ෂයම ද්වේක්ෂයම මෝහක්ෂයම වී උතුම් නිවන් සුවයෙන්ම අප්‍රමාදීවම සැනසෙත්වා!