නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, December 19, 2014

කප්රුක පූජා කරමු!

කප්රුක යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන මහා කල්ප වෘක්ෂය ලෙසින් බොහෝ දෙනෙකු දන්නවා. ඒ කප්රුක දෙව්ලොව තිබෙන්නක් බවත් එය ආසන්නයට ගොස් තමන් සිතූ පැතූ දෑ ප්‍රාර්ථනා කල විට එම වෘක්ෂයෙන් ඒ ඒ දෑ ලැබෙන බව තමයි විශ්වාසය.
මෙය සංකේතවත් කරවන සුවිශේෂ කප්රුක් පූජාව නිර්මාණය කොට අදත් විහාරස්ථානවල කඨින පූජෝත්සව කාලයන්හිදී ඇට්ටේරියා ශාඛයක් හෝ අඹ අත්තක් හෝ තබා තිබෙනවා ඔබ දැක ඇති. එහිදී ඔබ පන්සලට අවශ්‍ය කරන ද්‍රව්‍ය බොහෝමයක් මේ කප්රුකෙහි එල්ලා හෝ ඒ අසලින් තබා ශාසනික පූජාවන් කරන්නට කටයුතු කරනවා... එහෙම නේද?

ඉතින් මේ කප්රුක් පූජාව අර්ථවත් අන්දමින් නිර්වාණ ශාන්තිය උදාකරගැනීම පිණිස කුසලයක් වැඩෙන ආකාරයෙන් කිරීම ප්‍රඥාව වැඩීමට හේතුවක් වන නිසා මේ සටහන ගොනු වෙන්නේ මේ පූජාව අර්ථවත්ව කරගැනීමට සිත පැවැත්විය යුත්තේ කෙසේද යන්න සරලව කෙටියෙන් විග්‍රහ කරගැනීමටයි.

කප්රුක යනු සිතූ පැතූ සම්පත් දෙන්නාවූ ශාකයක් බව මුලින්ම සිහිපත් කරගත්තානේ. ඉතින් මේ සිතූ පැතූ සම්පත් දෙන ඒ සුවිශේෂී කප්රුක නියෝජනය කරලා තමයි අප විසින් නොයෙක් ආකාරයේ ශාකයන් භාවිතා කරමින් කප්රුක් පූජාවන් කරන්නේ එහෙම නේද?

ඉතින් කප්රුක් පූජාවන් සිදුකරන විට ඔබට මේ ආකාරයට සිහිපත් කරගැනීමට හැකිනම්;

“මම මේ පූජාවන් කරන්නේ මට සිතූ පැතූ සම්පත් දෙන ශාකයකටයි, මම සිතන්නේ යමක්ද එය ලැබීමට මා කරන ප්‍රාර්ථනය හේතුවෙනවා. මේ පූජාව තුලින් ඒ තත්වයන් ලැබීමට තරම් ප්‍රබල පුණ්‍ය ශක්තියක් මට රැස්වෙනවා... මා හිසට වහලක් පැතුවොත් නිවසක් හිමිවේවි... වාහනයක් පැතුවොත් වාහනයක් ලැබේවි... බඩු භාණ්ඩ පැතුවොත් ඒවා ලැබේවි... ඒ ආකාරයට මා සිතන්නේ යමක්ද එය ලබාදීමට තමයි මේ ලෝකයේ කප්රුක පහල වෙලා තියෙන්නේ.   මේ වගේ පැතුම් මම කොතෙක් නම් පතන්නට ඇතිද? 

මේ ආකාරයට සිතූ පැතූ සම්පත් මට ලැබේවා යන පැතුම පතමින් මේ අනන්ත සසර පුරාවට හිඟන්නෙක් වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන්ම පතමින් ඉල්ලමින් සිඟමින් මම කොතරම් නම් දීර්ඝ ගමනක් ආවද?
මේ විදියට සැබෑම කල්ප වෘක්ෂය අභියසදීත් මම කොතරම් නම් මේ ආකාරයේ පැතුම් පතන්නට ඇතිද?  ඒ පැතුම් ඉටුවෙලා ඒ සැපසම්පත් ලබන්නට ඇතිද? දැනුත් ඒ දේම කිරීම කොතරම් සුදුසුද?
අති දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අතිදුර්ලභ ශාසනයක ඉපදෙන්නට තරම් වාසනාවන්තකමකුත් ලබාගෙන නිවීම පිණිස ධර්මයක් ශ්‍රවණය කරන්නට හෝ මේ ආකාරයට කියවන්නට තරම්වත් භාග්‍යවන්තභාවයකුත් තබාගෙන ඒවා මඟ හරිගනිමින් මේ ආකාරයට තව තවත් පැතුම් පතනවා නම් මාගේ ඇති ප්‍රඥාවන්තභාවය කුමක්ද? මා බුදු පියාණන්වහන්සේ සැබෑ ශ්‍රාවකයෙක් විය හැකිද? ශ්‍රාවකභාවයට පත්වන්නට උත්සාහකරන්නෙක්වත් විය හැකිද? නැත!

අද මා මෙසේ පූජා කරන්නේ කප්රුකයි. එනම් මේ සසරක් පුරාවට මට සිතූ පැතූ සම්පත් ලබාදෙමින් මා මොහොතක ආශ්වාද මුලාවකට රඳවන්නට සමත්වූ අවිද්‍යා සහගත පැතුම් පැතූ මමත්වයම අද මා මෙසේ තෙරුවණ ඉදිරියේ අතහැර දමනවා. ඒ කප්රුකම ශාසනය උදෙසා පූජා කරනවා. එතැන් පටන් මට තවත් නම් පැතුම් පතන්නට කප්රුකක් මේ ලොව තුල නැති බව වටහාගන්නවා. ශාසනික වස්තු පරිහරණය මට හිමි දෙයක් නොවන බැවින් ඒ කප්රුක කෙරෙහි අංශු මාත්‍ර හෝ ආශාවක් ඇලීමක් බැඳීමක් නොමැතිවම මේ මොහොතේ මා විසින් අතහැර දමනවා.

හිඟන්නෙක් වගේ මට මේවා ලැබේවා අරවා ලැබේවා යාන වාහන ගෙවල් දොරවල් ලැබේවායි පතමින් නොදැනුවත්වම ඇසට රූප පතමින්, කණට ශබ්ද පතමින්, නාසයට ගන්ධ පතමින්, දිවට රස පතමින්, කයට ස්පර්ශ පතමින්, මනට ධර්මයන් පතමින් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නාවූ පංච ස්කන්ධයටම ඇලෙමින් එයම සිඟමින් ආ සසර ගමන මෙතෙකින් අවසන් කරගැනීමටම මේ අතහැරීම අවබෝධයෙන් යුතුව උපකාර කරගන්නවා!!!

පැතුවේ නැතත් ඔබට අවබෝධයෙන් යුතුව මේ අතහැරීම කල හැකි නම් එයින් සකස් වන කුසල ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඒ වාගේම තමයි මේ කප්රුකට එල්ලා හෝ එහි අභියස හෝ ශාසනික වශයෙන් පරිහරණය කල හැකි යමක් තබා ශාසනික වශයෙන් ඵල ප්‍රයෝජනයට ගත හැකි යමක් පූජා කොට ලබන පුණ්‍ය ශක්තියත් ඒ තුල නැවතත් අතහැරීමේ ගුණය වඩමින් වැඩෙන කුසල ශක්තියත් නිවන් සුව ලැබීම පිණිස නොඅඩුවම හේතු උපකාර වෙනවා. 

ඉතින් තවත් කෙනෙකුට ගැටලුවක් නැඟෙන්නට හැකියි චෛත්‍යයක් වටා පළඳවන්නට යෙදෙන වටතිර පූජාවට කප්රුක් පූජාව යැයි නම් කියන්නේ ඇයිදැයි... ඉතින් මට හැඟෙන ආකාරයට නම් චෛත්‍යයක ගර්භය තුලින් අදහස් කරන්නේ ධර්මස්කන්ධයයි.... එතැනින් ඉහළට ක්‍රමයෙන් නිර්වාණය කරා ගමන් මඟ තමයි අර්ථවත් කරන්නේ. ධර්මස්කන්ධය වට කොට කප්රුක ලෙසින් හඳුන්වන වටතිරය පැළඳවීම තුලින් නැවතත් ඉහත ආකාරයේ අතහැරීමක් කිරීමට සූදානම් වන මනසක් අර්ථවත් කරගැනීමට හැකියි. ඒ ආකාරයෙන් සිතූ පැතූ සම්පත් ලබාදෙන මහා කල්ප වෘක්ෂය අතහැරීමට හැකි මනසක් අපතුල වැඩෙන යම් මොහොතක ධර්මස්කන්ධයද අපට ලැබී නිවීම උදාකරගැනීමට හැකිවෙනවා. ඉතින් මේ සංකේතවත් වන්නේ එවන් වූ මානසික තත්වයක් බව තමයි මට හැඟෙන්නේ.

මේ සියල්ලට අමතරව යම් පුණ්‍ය කර්මයක් කිරීමෙන් ගැබ්වෙන අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් මේ දේවල් තුල තිබෙනවා. කප්රුක් පූජාව තුලින්ද අනෙකුත් පූජාවන් සේම ආර්ය මාර්ගය සුවසේ සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය කරන යම් සැප සම්පතක් අවශ්‍ය වේ නම් එය ලබාගැනීමට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ගැබ්වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබට නිදහසේ ධර්මයක්වත් අසාගන්නට නොහැකි පරිසරයක් තිබෙනවා නම් ඒ බාධක අවම කරගෙන කටයුතු කරගන්නට හැකි තත්වයක් මේ පුණ්‍ය ශක්තීන් තුලින් ලැබීමට හැකියි.

එහෙත් මෙය අදාල වන්නේ ඔබගේ ප්‍රඥාවන්තභාවය මතම තමයි. ඔබගේ ප්‍රඥා මට්ටම ඉහළ නම් ඕනෑම කරදර අවස්ථාවක් බාධක අවස්ථාවක් නිවන් මාර්ගය පූර්ණයට උපකාර වන ආශිර්වාදයක් ලෙසින්ම භාරගෙන බුද්ධිමත්ව විදර්ශනා වඩමින් නිවීම පිණිසම යොදාගැනීමට හැකියි. එමෙන්ම ඔබ අවශ්‍ය කරන කුසලය නොවැඩෙන ආකාරයෙන් සිතුවේ නැතිනම් අවබෝධ කරගත්තේ නැතිනම් කොතරම් පුණ්‍ය කර්ම සිදුකලද අවශ්‍ය කරන මහත් ඵලය මහා ආනිශංසය ලබාගැනීමට තවත් බොහෝ කාලයක් ගත වීමට හෝ මඟ හැරීමටද ඇති අවස්ථා වැඩිය.

එනිසා ප්‍රඥාවන්ත වන්න. කප්රුක් පූජාවකදී ඔබ වටතිර පළඳවන විටදී හෝ වේවා කල්ප වෘක්ෂය සංකේතවත් කරන කප්රුක අභියස හෝ වේවා ප්‍රඥාවන්තයාට සිහිවෙන්නේ මේවා කොතරම් නම් කාලයක් කරගෙන එන්නට ඇතිද? ඒ සෑම අවස්ථාවකම මා රැවටුනේ මේ පංචස්කන්ධයටමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම වලටමයි රැවටුනේ. මා පැතුවේම පංචස්කන්ධයයි. පතමින් යමක් ලැබූ “මම“ යැයි රැවටුනේද පංචස්කන්ධයටමයි. මේ රැවටීම තවදුරටත් සිදුනොවිය යුතුයි.

ආර්ය මාර්ගය පූර්ණය පිණිස මට දැන් ලැබී ඇති අවස්ථාව හොඳටම ඇති. අතිදුර්ලභ මනුශ්‍යත්වයක් ලබාගෙන අතිදුර්ලභ ශාසනයක් ලබාගෙන අතිදුර්ලභ සත්ධර්මය ශ්‍රවණය කරගෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ඇති මට තවදුරටත් පැතිය යුත්තක් නොමැත. දැන් ඇත්තේ මා විසින් කරගත යුත්තයි. එය ප්‍රඥාවන්තව ඉටුකරගැනීමට අවබෝධයෙන් යුතුව සිහිය පවත්වමින් නුවණින් දකිමින් වීර්යයෙන් යුතුව කටයුතු කිරීම තම තම නැණ පමණින් තෝරාගෙන කරගත හැකි දෙයකි. 
තෙරුවන් සරණින් මහා කල්ප වෘක්ෂය දන් දීමට අතහැරීමට පූජාකිරීමට සියලු පැතුම් අතහැරීමට මමත්වය අතහැරීමට ඒ තුලින් නිවන් අවබෝධ කිරීමට, මහත් ඵලය මහත් ආනිශංසය ලැබීමට සෑම සතට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!

ඔබට මඟ හැරුණු යහ පාලනය!

මේ දිනවල බහුතරයක් පිරිස උනන්දුව සිටින්නේ දේශපාලනය සම්බන්ධවූ මාතෘකාවන් සමඟයි. අන්තර්ජාලය හරහා හෝ වේවා එදිනෙදා ජීවිතයේදී හෝ වේවා කතා බහ කරන්නට යෙදෙන ඔබ තුල දක්නට ලැබෙන්නාවූ නොදන්නාකම පිළිබඳව විවෘත මනසකින් විමර්ශනය කොට ගැඹුරින් සිතා බලා යහපත සලසා ගැනීම පිණිස මෙම සටහන අංශු මාත්‍ර වශයෙන් හෝ වේවා උපකාර යන මෙත් සිතින් යුතුව සටහන් තබමි.
බෞද්ධ යැයි පවසන බොහෝ පිරිසක් පවසන්නේ මේ ලක්බිම බෞද්ධයන් වැඩි ප්‍රතිශතයක් සිටින බෞද්ධ රටක් බවයි. එහෙත් ඔබගේ ක්‍රියා, වදන් තුල ඒ බෞද්ධ බව තිබෙනවාදැයි බුද්ධිමත්ව විමර්ශනය කල යුතුමය.
දේශපාලනික වාද විවාද හමුවේ බොරු, කේළාම්, පරුෂ වචන, අපහාස කිරීම්, චරිත ඝාතනය කිරීම් ආදියෙන් නොනැවතී බුදු රජාණන්වහන්සේ සහ ධර්මයට අදාල කොටස් නොගැලපෙන ලෙසින් යොදාගෙන කරන්නාවූ තර්ක වාද බොහෝමයක් දැකගන්නට ලැබිණි.

එපමණක් නොව දේශපාලනික වශයෙන් පමණක් දැක සම්මා සම්බුදුරජාණන්වහන්සේලා උදෙසා මේ ශාසනය උදෙසා සකස් කොට පූජා කරන්නට යෙදෙන්නාවූ “සඳහිරු සෑ රඳුන්“ දෙකඩ වන තෙක් බලාගෙන සිටින්නාවූ තමන් බෞද්ධ යැයි කියනා පිරිස් හමුවීමද මෙම සටහන තැබීමට තවත් හේතු කාරණාවකි.
ශාසනය උදෙසා කරන්නට යෙදුනාවූ මහා පින්කමක් රටේ සාපයක් ලෙසින් දැකීමට තරම් ඔබගේ බෞද්ධ යැයි කියාගන්නා මනස විකෘති වන්නේ කෙසේදැයි තමන්ගෙන්ම විමසා දැකිය යුතුමය. පස්ගොඩක් එකතු කොට... වැලි ගොඩක් එකතුකොට බුදු හිමියන් සිහිපත් කොට ඒවායේ අගයවත් නොදැන වන්දනා කලාවූවන්නටත් එයින් ලැබුණු ආනිංශසයන් මෙතෙකැයි කියා නිමකරන්නට නොහැකියි... ඒ ආරම්භයන් අරිහත්වය දක්වාම රුකුල්වූ ආකාරය අපදාන පාලියේ ඉතාමත් පැහැදිලිව සටහන් වීද ඇත.


මහා පුණ්‍ය කුසල ශක්තියක් රැස්වන්නාවූ රැස්කරගත හැකි මෙවන් වූ මහා පින්කමක් මෑතකාලයේදී තමන්ට දැක සතුටු වීම පිණිස කරවීම පිළිබඳව සතුටු වීම පසෙකලා එහි වූ අඩුපාඩුකම් ගැන පුන පුනා කතා කරමින්... මේ පින්කම සාපයක් ලෙසින් දකමින්... එහිදී පුදන්නට වූ රත්ත්‍රන් පිළිබඳව සොයා බැලිය යුතුයැයි කතා කරමින්... දේශපාලනික වශයෙන් පමණක් සිතමින් නන් අයුරින් මේ පින්කම බාලකරන්නට වෙර දරන ඔබ මේ යන්නේ කොයිබටද? මෙහි බරපතලකම ඔබට මොහොතකට හෝ අංශු මාත්‍ර වශයෙන් හෝ දැනුනා නම් ඔබ මේ ආකාරයෙන් ඔබගේ සිත, කය, වචනය හසුරවනවා තබා ඒ ගැන සිත් මාත්‍රයක්වත් පහල කරනොගනු ඇත.
ශාසනහිතකාමී දෙවියන් කෝපවන්නේ මේ පින්කම තුල සිදුවූ අඩුපාඩු නිසාවෙන් නොව බෞද්ධ යැයි පවසමින් ඔබ විසින් ශාසනය එල්ල කොට කරන්නාවූ මේ මහත් වූ අකුසල් සහගත විපරීත ක්‍රියාවන් නිසාවෙන් බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇත. තමන් කරන පින්කම මහා පින්කමක් ලෙසින් සැලකීමටත් අනුන් කරන්නාවූ තමන් අකමැති පිරිස් කරන්නාවූ පින්කම් අවතක්සේරු කිරීමත් සසර දුකෙන් මිදීමට තබා සුගතිගාමීවීමටත් ඔබට රුකලක් ගෙන නොදෙන බව බුද්ධිමත්ව විමසා දැකගත යුතුය.
මෙවන් වූ අඩුපාඩු ඔබතුල වේ නම් එය සුළු පටු කොට විහිළුවක් කොට නොසැලකිය යුතුමය. ඒ අංශු මාත්‍ර හෝ මෙවන් වූ අඩුපාඩු වේ නම් ඒවා ඔබටත් සමාජයටත් මේ තුන්ලෝකයකටත් ගෙන දෙන අයහපත මෙතෙකැයි කිව නොහැකිය. ඒ නිසා බුද්ධිමත්වන්න! මේ දේවල් තෝරාගෙන යහපත උදාකරගත හැකි අපූරු ධර්මයක් තිබියදී සසර අනාථයෙක් නොවන්න!
දේශපාලනික වශයෙන් සම්බන්ධවී සිටින්නාවූ ස්වාමීන්වහන්සේලාගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සලකා උන්වහන්සෙලා පහත් කොට සැලකීම බහුතරයක් තුල සිදුවන තවත් අහිතකර තත්වයකි. බුදු පියාණන්වහන්සේලා විසින් ශාසනයක් නියෝජනය කරමින් චීවරයක් දරන්නේ නම් උන්වහන්සේලා තුල පැවතිය යුතු විනයක් වශයෙන් මේ මේ දේවල් නොකල යුතුයැයි පැවසුවේද මේ තමන්ටත් තුන්ලෝකයක තවත් බොහෝ සත්ව කොටස් වලටත් සිදුවන හානිය නිසාමය. ඒ දේවල් ගැන නොසිතා උන්වහන්සේලා කරගන්නා මහා විනාශයට ඔබද හවුල්කාරයෙකු නොවන්නේ නම් ඔබ දුර්ලභ මනුශ්‍යයකු ලෙසින් බුද්ධිමත්භාවයෙන් කටයුතු කලා වැනිය.
දේශපාලන කටයුතු නිසාවෙන් සිත, කය, වචනය හසුරුවන විට තමන්ටත් අනුන්ටත් ඒ තුලින් කොතරම් යහපතක් සිදුවේ දැයි විමර්ශනයෙන් යුතුවම ඒ ඒ දෑ කරන්නට තරම් බුද්ධිමත් විය යුතුය.
“ධර්මය යැයි කියා සමාජයේ පවතින තත්වයට කතා නොකර සිටිය යුතු නැත“ යන්න යමෙක්ගේ තර්කයයි. ඒ නිසා ඔබට ද්වේශ සිත් ඇතිවන ලෙසින් ඒවා කරන්නට එපා යැයි පවසන්නට මට කිසිසේත්ම අයිතියක් නැතත් නිර්වාණය ලැබීම පිණිස තම තමන්ගේ යහපත උදාකරගැනීම පිණිස අංශු මාත්‍ර හෝ උපකාරයක් සපයන්නෙකු වශයෙන් ඔබ විසින් ඔබ ගැන පමණක්ම නොව පක්ෂ විපක්ෂ අනාථව සිටින සියලු සත්ව පිරිස් වෙතත් සිදුකරගත යුතු සැබෑම යහපත කරගැනීමට උපකාරයක් වන ආකාරයෙන් විමර්ශණය පිණිස මේ සටහන තබන්නෙමි.
ලෞකික ලෝකයේ යම් යම් දෑ කතා කරනා විට විහිළු තහළු පවා කරගන්නා විට තම තමන්ගේ සීමාවන් හඳුනාගැනීමට බුද්ධිමත් විය යුතුය. මන්ද ලෝකයක් යම් හෙයකින් වර්ණනා කරන්නේ නම් එය බුදු හිමියන් පෙන්වා දුන්නාවූ ධර්මය තුල පවතින්නක් නොවේ. එසේ තිබෙනවා යැයි යමෙක් පවසන්නේ නම් එය ධර්මය තවමත් නොදුටු නිසාවෙන් පවසන්නාවූ දෙයක් විනා සැබෑවද නොවේ.
තවමත් අප සිත් තුල තිබෙන්නාවූ කෙලෙස් මට්ටම් අනුව ලෝකයේ බොහෝ දෑ සැබෑවක් ලෙසින් ගෙන නිත්‍ය සංඥාවෙන් ගෙන තමන්ට රිසි සේ පැවැත්විය හැකි දෙයක් යැයි සිතාගෙන සුවයක් සැපයක් ගෙන දෙන්නක් සේ සිතාගෙන “මම,මගේ, මගේ ආත්මය“ යැයි සිතාගෙන කියන කරන සිතන දෑ බොහෝ වේ. 
එය සැබෑව නොවන බව හඳුනාගැනීම දුර්ලභ මිනිසෙක් වන ඔබගේ සැබෑම බුද්ධිමත්භාවයයි. එය සැබෑව නොවෙන බව දැන හැඳින කතා කරන විට ක්‍රියා කරන විට තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් අයහපතක් නොවෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් හැකි සිහිය තම තම නැණ පමණින් ලැබේ.
ලෝකය කෙතෙක් වර්ණනා කලද එය වෙනුවෙන් කොතෙක් ගැටුනද ලැබෙන්නේ අනාථවූ ලෝකයක අනාථයෙක්ම පමණක්ම වීමට විනා ඒ අනාථභාවයෙන් මිදීම නොවන බව ප්‍රඥාවන්තව තෝරාගත යුතුය.
  • ඔබ මෙවන් වූ ධර්මයක් මඟ හරිමින් වියපත්වූ විට ඇසුරු කරන්නට තබාගනිමින් කටයුතු කරන්නේ නම් ධර්මයෙන් පෝෂිත රටක් සමාජයක් අනාගතයේදි ලැබේවි යැයි බලාපොරොත්තු වන්නේ කෙසේද?
  • ඔබ බුදු වදන අමතක කොට රාගයෙන් වෙලේ නම් ද්වේශයෙන් දැවේ නම් මෝහයෙන් අන්ධ වේ නම් සත්ධර්මය බබළවන රහතුන්ගෙන් නොඅඩු කාලයක් නොබෝ දිනකින් ලැබේවි ලෙසින් හෝ වේවා මෙකල නිතර කතා කරන යහ පාලනයක් ධාර්මිශ්ඨ පාලනයක් ලැබේවි යැයි සිහින දකින්නේ කෙසේද?
  • ඔබ තවමත් තමන්ගේ යුතුකම ඉටු නොකොට යුතුකම් ඉටු කරන සමාජයක් ලැබේවි යැයි බලාපොරොත්තු වන්නේ නම් එය ලැබේවිද?
  • ඔබට තවමත් මේ ශාසනයේ සිදුවන අංශු මාත්‍ර හෝ ශාසනික කටයුත්තක් කුහක කමක් නැතිව දැක සතුටුව අනුමෝදන් විය නොහැකි නම් මේ ශාසනය තුලින් ලබාගත හැකි අප්‍රමාණ ශාන්තිය ලබාගත හැකිවේවි යැයි සිතිය හැකිද?
නිවන තබා සුගතිගාමී වන වැඩපිලිවෙලවත් තෝරාගන්නට තරම් ඔබගේ ඔය වටිනා දුර්ලභ මනුෂ්‍ය ජීවිතය යොදාගන්නට තරම් ප්‍රඥාවන්ත වූයේ නැතිනම් ඔබව ගලවා ගැනීමට කිසිවෙකුටවත් නොහැකි වනු ඇත. අනන්ත සසර පුරාවට දුක්විඳිමින් හඬමින් සතුටුවෙමින් දේශපාලනය කරමින් ඡන්දය දෙමින් නොයෙක් නොයෙක් ලෙසින් ජීවිතය පවත්වාගනිමින් පවත්වාගෙන ආ අතීතය නැවත නැවත සිදුවෙනවා මිස ඉන් මිදීමක් නම් නොලැබෙනු ඇත.
මෙම ලිපියේ කරුණු සමාජයක් වශයෙන් අනුන් දෙස නිගා කොට බැලීම පිණිස නොව තම තමන් තුල මෙවන් වූ අඩුපාඩුකම් තිබේ නම් තමන්ටම අනුකම්පාවෙන් යුතුව ඒවා සකස් කොට ගෙන යහපත සලසා ගැනීම පිණිස වේ. මන්ද මෙවන් දෑ පැවසූ විට පළමුව තමන් තුල මේවා තිබෙනවාදැයි විමර්ශනය කිරීම පසෙකලා අපගේ සිත් යොමුවන්නේ බාහිරයේ වූ වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම පිණිසයි. පළමුව තමන් දෙස බලන්න... තමන් තුල ඒවා නොවේ නම් අන් අයටද තමන්ට හැකි අයුරින් යහපත සලසා ගැනීමට රුකුලක් වෙන්නට තම තම නැණ පමණින් කටයුතු කල හැකිය.
එසේ නොමැතිව ඔබ කියනවා නම් මේ රට විනාශ වෙනවා දූෂණ වංචා වැඩියි අන්‍යආගමිකයන්ගේ බලපෑම වැඩියි ලෙසින් ඔබ විසින් බුද්ධිමත්ව සිතිය යුතු වන්නේ රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධ ප්‍රතිශතයක් නම් මේවාට වගකිව යුත්තේ අවම ප්‍රතිශතයක් වන අන්‍ය ආගමිකයන්ද එසේත් නැතිනම් වැඩි ප්‍රතිශතයක් යැයි පවසාගන්නා බෞද්ධ යැයි කියාගන්නා පිරිසදැයි බුද්ධිමත්ව විමසා බලන්න.
අනුන්ගේ වැරදි කියමින් අනුන්ගේ වංචා දූෂණ සොයමින් කාලය ගත කරන ඔබ අංශුමාත්‍රයක්වත් ඔබගේ වරදක් සොයාගන්නට ඔබගේ සිත ඔබටම කරන වංචාව තෝරාගන්නට ඔබ තුල කෙලෙස් වලින් සිදුවූ ඇති දූෂණය සොයා ගන්නට යොදාගන්නේ නම් පුද්ගලයෙක් වශයෙන්වත් සමාජයක් වශයෙන්වත් රටක් වශයෙන්වත් මෙසේ පහත් තත්වයට ඇඳ නොවෙටෙනු ඇත.
ඔබ තනි පුද්ගලයෙක් වශයෙන් බුදු වදන නිතර සිහිපත්කොට ගෙන හැසිරුණා නම් වරද නිවරද දැක කටයුතු කලේ නම් සමාජයක් වශයෙන් මෙවන් විපත් අවම වනු නොවේදැයි අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් තිබේ නම් විමසා බලන්නට උත්සාහවන්ත වන්න.
“මාගේ ශාසනය විනාශ වන්නේ මේ ශාසනය තුල සිටින්නාවූ පිරිස් නිසා“ බව බුදු හිමියන් ප්‍රකාශ කල බව නිති සිහි තබාගෙන ඒ විනාශයට හවුල් දෙන්නාවූ රුකුලක් වන්නාවූ පුද්ගලයෙකු නොවී සැබෑවටම මේ ශාසනය රැකගැනීම පිණිස සිතිවිලි, ක්‍රියා, වදන් තුලින් කටයුතු කරන්නාවූ පුද්ගලයෙකු බවට පත්වීම අතිදුර්ලභ මනුශ්‍යත්වයක් ලත් අතිදුර්ලභ බුද්ධ ශාසනයක් ලත් ඔබගේ යුතුකම නොවේදැයි ඔබ විසින් ඔබගෙන්ම විමසා ඒ අනුව කටයුතු කල යුතු නොවේදැයි මොහොතකට සිතා බලන්න.
තමන්ගේ යුතුකම ලෙසින් සලසා රාගය ද්වේශය මෝහය වැඩීම පිණිස යමෙක් කටයුතු කරන්නේ නම් ඒ පුද්ගලයා තුල පවතින බෞද්ධ බවක් නැති බව විවෘත මනසකින් ප්‍රඥාවන්තව දැකීමට උත්සාහ කරන්න. මන්ද අවසන ඔබව බේරාගැනීමට කිසිවෙකු නොවනු ඇත.
සෑම ඡන්දයක්ම ජනාධිපතිවරණයක්ම මහ මැතිවරණයක්ම පමණක් නොවේ වාර්ෂිකව, මාසිකව, දෛනිකව ඒ ඒ ආකාරයෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම තමන්ගේ සිත ධර්මය තුලින් කොතරම් පෝෂණය වී ඇතිදැයි විමර්ශනය කර සොයා බැලීමට කමටහනක් කරගන්නට අවබෝධයෙන් යුතුව උත්සාහ කරන්න. තම සිත් තුල පෙරට වඩා රාගය, ද්වේශය, මෝහය අඩු වෙලාද? වැඩි වෙලාද? විමසන්න... බුද්ධියේ විමසුමට ලක්කල යුතු සැබෑම විමසුම මෙයයි.
භාවනා කරන්නට කාලය සොයන ඔබට මෙන්න මෙවන් වූ අවස්ථාවන් ඉතාමත් වටිනා භාවනාවක්ම වේවි. අන්තර්ජාලය හුදෙක් රාගය ද්වේශය මෝහය වැඩෙන තෝතැන්නක් කරනොගෙන ඔබගේ දුර්ලභ මිනිස් ජීවිතයෙන් නිසි ඵල නෙලාගැනීමට උපකාර කරගන්න.
  • දුෂණය වැඩිවෙලා... වංචා වැඩිවෙලා... මේ රට විනාශ වෙනවා යැයි කම්පා වෙන ඔබගේ සිත තුල පවතින දූෂණය තෝරාගන්නට එයට විරුද්ධවට සටන් කරන්නට කාලය වැය කරන්නේ නම් රටේ දූෂණයද අවම වනු ඇත.
  • ඔබගේ සිතේ පවතින වංචාව තෝරාගෙන එයට විරුද්ධව සටන් කරන්නේ නම් ඒ වෙනුවෙන් කාලය වැය කරන්නේ නම් රටේ වංචාවද අවම වනු ඇත.
  • ඔබ විසින් ඔබටම කරගන්නා විනාශය දැකගන්න එයට විරුද්ධව නැඟී සිටින්න ඒ වෙනුවෙන් කැපවී කාලය වැය කරන්න රටද විනාශයෙන් වැළකෙනු ඇත.
මේ සඳහා ආගම්, ජාති, කුලමල තත්ව තානාන්තර භේදයක් නැත. සරලවම ඇත්තේ ඔබ විසින් ඔබවම තේරුම්ගැනීමට දරන උත්සාහයක් සහ එය යොදන පිළිවෙල අනුව ඔබ ලබන සාර්ථකත්වය පමණි.
බෞද්ධ අබෞද්ධ බව තීරණය වනුයේ ඔබගේ සිතිවිලි, ක්‍රියා, වදන් තුල පවතින ප්‍රඥාවන්තභාවය තුල මිස ලේඛණගත ප්‍රතිශත තුල හෝ උප්පැන්න සහතික තුල නොවන බව බුද්ධිමත්ව විවෘත මනසකින් දැකගන්නට උත්සාහ කරන්න.
පාටක් ඕනෑම නම් ලැබීමට සුදුසුය පාට වන්නේ පින් පාටය. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් වෙලී ඒ පාට ගන්නට අපහසුවේවි. පක්ෂව කතා කරන්නට අවශ්‍ය නම් කෙලෙස් තොර කරන නිකෙලෙස් පක්ෂය ගැන කතා කරන්න එයට සහාය දෙන්න අවාසියක් නැතිවම දූෂණයක් නැතිවම වංචාවක් නැතිවම ජය නියතයි! අනාගතය සුභයි!

අවසාන වශයෙන් ගැඹුරින් සිහිපත් කරගැනීමට ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් පවසනවා නම් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මැනගැනීම තුලම තවමත් කෙලෙස් ගැබ්වී තිබෙන කොට ඉන් මෙහා සත්‍යය මෙයයි... සත්‍යය මෙයමයි... ලෙසින් ගෙන කියන, කරන, සිතන දෑ තුල සාපේක්ෂ සත්‍යය ලෙසින් මුලාවක්ම මිස ගැබ්වූ සැබෑ සත්‍යයක් නොවෙන්නේමය.
චිත්‍රපටියක් දැක සතුටු වී දුක්වී කම්පනයන්ට ලක්වන්නේ යම්සේද අන්න එයම ඔබ සත්‍යය යැයි සිතා සිටින දේ තුලද පවතී. ඉන් ඔබ්බට ගිය කිසිඳු සංකීර්ණ බවක් ගැඹුරු බවක් ඒ තුල නොපවතී. මේ නුවණින් දකින්නේ යම්දිනකද එතැන් පටන් ඔබට බොහෝම සැහැල්ලුවෙන් යුතුව ඒ ඒ දෑ ගැන දැකිය හැකිය. වාතාවරණය අනුව කුමක් කතා කලද සිහියෙන් යුතුව තමාටත් අනුන්ටත් යහපත සැලසෙන ලෙසින් ඒ ඒ දේ කතා කිරීමටත් සාමකාමී මනසක් පවත්වාගනිමින් ක්‍රමයෙන් කම්පනයන්ට ලක්වීම නතර කරගැනීමටත් හැකිවනු ඇත.
ඔබගේ අසංවර පාලනයකින් තොර සිත, කය, වචනය ඔබටම සාපයක් වී ඇතිවා විනා, සමාජයටම සාපයක් වී ඇතිවා විනා, රටටම ලෝකයටම සාපයක් වී ඇතිවා විනා කිසිවෙකුත් එයට වගකිව යුතු නොවේ.

ඔබ විසින් ඔබගේ සිත, කය, වචනය සංවරත්වයෙන් යුතුව පාලනයකින් තොරව පාවිච්චි කරන්නේ යම් දිනකද එදිනට ඔබට යහ පාලනය උදාවනු ඇත. ඔබට සාපයක් වීමට රටක පාලකයෙකුටවත් රජයකටවත් නොහැකිවා සේම ඔබට යහ පාලනයක් ගෙන එන්නටද කිසිදු පාලකයෙකුට හෝ රජයකට නොහැකිය.
“කිසිවෙකුටත් ඔබගේ ගැලවුම්කරුවා වීමට නොහැකිය. ඔබගේ සිත, කය, වචනය සංවරත්වයට පත්කරගන්නේ යම්දිනකද ඔබ ඔබගේම ගැලවුම්කරුවා වනු ඇත“ යන බුදු වදන පසෙකලා සෑම දිනයකම බාහිරයෙන් ගැලවුම්කරුවන් ලැබෙන තුරු බලාගෙන සිටීම ගැලවුම්කරුවන් තෝරාගැනීමට ජනාධිපතිවරණ මැතිවරණ එනතෙක් බලාගෙන සිටීම ප්‍රඥාවන්තදැයි තම තම නැණ පමණින් විමසා දැනගනිත්වා!!!

බෞද්ධ යන නාමය ඔබට ලැබී ඇති පමණින් ඔබ සම්මා දිට්ඨිකයෙක් බවත් මිත්‍ය දෘෂ්ඨිකයෙකු නොවන බවත් ඔබට සිතේ නම් ඔබට වැරදුණු මුල්ම දේ එයම වේ. එනිසා ප්‍රඥාවන්තවන්න!!!

ඔබව ගලවාගැනීමට කිසිවෙකුත් නොපැමිණෙනු ඇත. අවසන ඔබට මේ ලැබී ඇති දුර්ලභ මිනිස්බවයද අහිමිවනු විනා ලැබෙනා කිසිවක්ම නොවනු ඇත! මේ සසර බිය හැකිනම් දැක වටහාගන්නට තරම් ප්‍රඥාවන්ත වන්න!!!

තෙරුවන් සරණින් සැබෑම වංචාව, දූෂණයත් ඒවායෙන් මිදුණ සැබෑම යහ පාලනය දැක ඒ වෙනුවෙන් තම තම නැණ පමණින් කටයුතු කරගැනීමට තරම් දුර්ලබ මිනිසෙක් වශයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරගැනීමට සියලු දෙවි රැකවරණයත් තෙරුවණේ ආශිර්වාදයත් සැමටම ලැබේවා!!!

මොහොතකට හෝ රැවටී ඇත්නම් මඟ නොමඟ වී ඇති නම් තෙරුවණේ සරණ ලැබ රැවටීමෙන් මිදේවා!!!

Wednesday, December 3, 2014

Unseen Picture

You see the tattoo, not the robe
You see the muscles, not the heart
You see the weight, not the intention
You see the gold, not the exertion
You see the attachment, not the detachment
You see the words, not the connotation
You see the picture, not the elements

Tattoo in muscles shows the real weight of attachments,
Where the rob significate the heart of detachment
There was a time which world has given the value of gold,
But now has the intention to perceive the elements of the world…
There was a time with a tattoo,
The words, only filled with worldly attachments
But the exertion of practice now leads to awareness…
The picture misinterpreted according to the view you clinging…
Till the hidden connotation comes to crystal clearing…
You see,
It's all just the reflection of your very own defiled mind…
Which leads you to create millions of stories…
The beings, the things, exists, not exists, I, Me or Mine…
It's all just the extreme which brings the suffering…
So breaks the views by freeing the mind…

Use the weight of dhamma to see the connotation
Make the muscles of wisdom for detachment
Print the tattoo of truth in your heart for happiness…
Feel the value of gold by freeing from attachments
Such a mind wear the invisible robe… 
When one has intention of exertion to realize the elements
Have no words to waste by praising the picture!!!

නොදුටු රූපය

පච්චයක සිත රදා, චීවරය නොදුටු ඔබේ සිත...
වැඩුනු මස් පිඬු පිටුපසින්, හදවත නොදුටු ඔබේ සිත... 

බර හොඳින් දුටු නමුදු, අරමුණ නොදුටු ඔබේ සිත... 
රත්තරන් දැක තුටුව, වෙහෙසීම නොදුටු ඔබේ සිත... 
බැඳීම් පොදි දුටුව මුත්, ඔබ නොදුටු අතහැරුම...
වදන් වැල් දුටු නමුදු, ඔබට සැඟවුණ අරුත...
රූපයක් දුටු නමුදු, ඔබ නොදුටු පෙණ පිඬුව...

පෙර කල බැඳීම් පොදිය තුල සැබෑම බර,
මස් පිඬක් සැරසූ පච්චයක් තුල සැඟව ගියාසේ...
බැඳීම් අතහැරී මිදී ගිය හදවතක තතු,
කය වැසූ චීවරය රහසින් පැවසුවා සේ...
ලොව රනින් සමකොට සැලකූ කල නිමාවී,
පෙණ පිඬුව දැකගන්ට අරමුණක් උදාවී...
පච්චයන් දරා සිට, ලොව වැනූ වදන් වැල් නිමාවී...
සැබෑ තතු දැකගන්ට වෙහෙසීම ඇරඹියේ...
ඔබේ සිත බැඳුනු රැඳුනු දැක්මට අනුව...
රූපය දුටු නමුදු නොදුටු රූපය සොඳින...
වටහාගත යුතු නමුදු ඔබ සිටින දෘෂ්ඨිය...
සැඟව ගිය අරුත් මතු නොවන තෙක් නොම වේය එය විවර...

දැකගන් සකි,
කෙලෙස් බරෙන් වැහැරුණු ඔබ සිතෙහිම ඡායාව...
ඔබටත් නොදැනීම මවයි දහසක් කතන්දර...
සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තූ... ඇතය, නැතය, මමය, මගේය...
දුක් ගෙනෙන අන්තයන් පමණක්ය මේ සැම...
එනිසාම බිඳලන්න මේ සැම දැකුම්, නිවහල් කොට ඔබේ සිත...

යොදන්න ධර්මයේ බර, දැකගන්ට සැඟවුණු අරුත...
සදන්න ප්‍රඥාව නම් වූ මස්පිඬු, අතහැරීම වනු පිණිස...
කොටන්න සත්‍යයයේ පච්චය හදවතෙහි, සතුට ලැබ ගනු පිණිස...
දැනගන්න සැබෑ වටිනාකම රන්සේ සම විමුක්තිය තුල, බැඳීමෙන් මිදුණ...
එවන් වූ සිතක් දරයි මහණකම දවටාගෙන, ලොවට නොපෙනෙනා උතුම් චීවරය... 

පෙණපිඬුව දැකගන්ට අරමුණු කොට සොඳින්, වෙහෙසවන්නේ නම් නිති... 
තවත් කිසි රූපයන් වනමින්, අපතේ හලන්නට... වදන් වැල් නම් නැතිවේ නිති!!

නවතින්න!!!

ජාතීවාදීන් විසින් ජාතීවාදීන් නොවෙන්නන්ට කියනවා "නවතින්න"

ජාතීවාදීන් නොවෙන්නන් විසින් ජාතීවාදීන්ට කියනවා "නවතින්න"

ආණ්ඩුව විසින් විරුද්ධ පාක්ෂිකයන්ට කියනවා "නවතින්න"


විරුද්ධ පක්ෂය විසින් ආණ්ඩුවට කියනවා "නවතින්න"

දෙමව්පියන් විසින් දරුවන්ට කියනවා "නවතින්න"

දරුවන් විසින් දෙමව්පියන්ට කියනවා "නවතින්න"

ගුරුවරුන් විසින් සිසුසිසුවියන්ට කියනවා "නවතින්න"

සිසුසිසුවියන් විසින් ගුරුවරුන්ට කියනවා "නවතින්න"

ස්වාමිපුරුෂයා විසින් භාර්යාවට කියනවා "නවතින්න"

බිරින්දෑවරුන් විසින් ස්වාමිපුරුෂයාට කියනවා "නවතින්න"

ඉහළ මට්ටමේ පටන්ගෙන පහළම මට්ටම දක්වාම,

හැමෝම අනෙකාට කියනවා "නවතින්න"

අළුයම දෙනෙත් විවර වූ තැන් පටන්ගෙන...

රාත්‍රී මැදියමේ නින්ද දක්වාම...

හැමෝම බලාපොරොත්තු වන්නේ

අනෙකාගේ "නැවතුම"යි...

ඔහු කවදාද නවතින්නේ? ඇය කවදාද නවතින්නේ?

ඔවුන් කවදාද නවතින්නේ? ඇයි ඔවුන්ට නවතින්න නොහැකි???

එහෙත්...

නියම බෞද්ධයා,

එකම පුද්ගලයෙකුට "නවතින්න" යැයි කියයි...

එසේත් නැතිනම්...

එකම ප්‍රබල වූ ප්‍රශ්ණයක් ඇසූවිට,

යමෙක් සැබෑම බෞද්ධයෙකු බවට පත්වෙයි...

ප්‍රශ්ණය තමයි...

"මම නවතින්නේ කවදද???"

එක් ප්‍රබල ප්‍රශ්ණයක්...

"මම කවදා නවතියිද???"

සෑම ප්‍රශ්ණයකටම විසඳුම ලැබෙන...

අභ්‍යන්තර ගැටලු... බාහිර ගැටලු...

සැමටම විසඳුම ලැබෙන...

අවබෝධ කරගත් මොහොතේ පටන්ගෙන,

මෙතෙක් කාලයක් ප්‍රශ්ණයක් ගැටලුවක්

තිබුනේම නැත යන්න වැටහෙන...

ඒ ප්‍රශ්ණය තමන්ගෙන්ම ඇසිය යුතුය...

"මම කවදාද නවතින්නේ???"

ඒ මොහොතේ පටන්ගෙන...

ලෝකයම නවතීවි...

සෑම ආකාරයකම සංතෘප්ත නොවූ හැඟුම්...

අනේක ආකාරයේ දුක් සහ සෑම දෙයකම...

"නැවතුම"

කයින් නැවතී සිටි අංගුලිමාලයන්ට...

බුදු හිමියන් "ඔබ නවතින්න" යැයි පැවසූ විට...

සැබෑ නැවතීම අංගුලිමාල වටහාගත්තා සෙයින්..

"නවතින්න, නැවතුම, නවතිනවා" මෙහි අර්ථය ඔබ

වටහාගත් මොහොතේ පටන්ගෙන...

ඔබගේ ගැටලු රැසක්ම නැතිවේවි...

අන් අය වෙත ඇඟිල්ල දිගු කිරීමට අපට දහසක් හේතු ඇත

බාහිරයේ ගැටලු දකින ඔබට

දැවෙන්නට දුක්වෙන්නට හේතු බොහෝමයක් ගොඩනැඟෙනු ඇත

එනිසාවෙන් අසන්න ප්‍රශ්ණය...

"මම නවතින්නේ කවදාද???"

ඔබගේ මනස විවර කොට ප්‍රඥාව අවධිකොට

මෙහි ගැඹුරු අර්ථය විමසන්න...

එවිට ඔබට සැබෑම සාමය උදාවේවි...

සැබෑම සතුට... සැබෑම නිදහස උදාවේවි...

ගිනිදැල් නිවුනු විට... දැවීම නතරවූ විට...

ඔබට හමුවන්නේ නිර්වාණයයි!!!

සැබෑම විමුක්තියයි!!!

Saturday, July 19, 2014

ධර්ම දේශනයක නිවීම සොයාගනිමු!

මෙකල සත්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදෙන බොහෝ දෙනෙක් තුල දැකගන්නට තිබෙන්නාවූ මට වැටහෙන අයුරින් නිවීම පිණිස මෙය බොහෝ බාධාවක් වී තිබෙන නිසාම මේ පිළිබඳව සටහන් තබන්නෙමි. විවිධාකාරයෙන් මේ මාතෘකාව නිතරම පාහේ සටහන් තබන්නේ මෙහි ඇති වැදගත්කම නුවණැත්තන් විසින් විමර්ශයෙන් යුතුව තෝරාගෙන යහපත පිණිස දමාගැනීම වඩාත් සුදුසු වන බැවිනි. 

සත්ධර්මය දේශනාවක් ලෙසින් ශ්‍රවණයට කරන්නට ලැබෙන දේශනාවක් තුල හෝ වේවා කියවන්න ලැබෙන පොතක් පතක් තුල හෝ වේවා ගැලපෙන සහ නොගැලපෙන කරුණු බොහෝ තිබෙන්නට හැකියි. විශේෂයෙන්ම අන්තරාභවය තියෙනවද නැතිද, නිර්මාංශ ප්‍රශ්ණය, පින සහ කුසලය එකක්ද නැත්ද, පුද්ගලික මාර්ග ඵල ලාභී තත්වයන් පිළිබඳව ආදී දිගින් දිගටම වාද විවාද තර්ක කරන්නාවූ මාතෘකා සම්බන්ධයෙන් පුද්ගල මතයන් විවිධාකාරයෙන් ඕනෑතරම් තිබෙන්නට හැකියි. 

මට වැටහෙන දේ නම් යමෙක් එසේ නිවීම ලැබීම පිණිස සෘජුවම සම්බන්ධතාවයක් නැති කිසිසේත්ම අදාල නොවන මෙවැනි කරුණු මුල්කරගෙන නිවීම පිණිස උපකාර වන්නාවූ සතර සම්‍යක්ප්‍රධානයන් වන උපන් අකුසලයන් ප්‍රහාණය පිණිස, උපන් කුසලයන් වැඩීම පිණිස, නූපන් කුසලයන් උපදීම පිණිස, නූපන් අකුසලයන් නොනැගීම පිණිස හේතුවන්නාවූ දහම් කරුණු බැහැර කරන්නේ නම් එය තම තමන්ගේ නැණ පමණින් තෝරාගත්තාවූ අනුවණකමක්මය. එහෙම නේද?

99%ක් නොගැලපෙන ධර්මයක් පවසන්නෙකු තුලත් 1%ක් හෝ නිවීම පිණිස උපකාර වන සත්දර්මයක් කියැවෙන්නට හැකිය. අන්න ඒ 1% ඉස්මතුකරගෙන එයම වර්ණනා කරමින් එයටම මුල්තැනදීමට මෙවන් වූ කාලයක ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබට නිවීම දුර නොවෙනු ඇත. සත්ධර්ම දේශනයක් ශ්‍රවණය කොට අවසානයේ දැවීමක් ඔබට නොලැබෙනු ඇත. සත්ධර්මය බැබළවීම යන කාරණයද ඒ තුලම තිබෙනවා ඇත.

මෙන්න මේ කරුණ නිතරම පාහේ සිහිපත් කරන්නේ මෙකල මාර්ගඵල දුර්ලභ වීමට යම් කරුණු හේතුවී ඇතිනම් බුදු හිමියන් පෙන්වා දී ඇති ආකාරයට සත්ධර්මය ශ්‍රවණය නොකිරීමද මුලිකම හේතුවක් යැයි මගේ අදහසයි. මේ නිසා ප්‍රඥාවන්තවීම අතිශයින්ම වැදගත්ය.

ඔබ 100% සුපිරිසිදු සත්ධර්ම දේශනයකට සවන් දෙන්නට බලාපොරොත්තුවෙන් සිටියහොත් ඔබට මෛත්‍රී බුදු හිමියන් හමුවන තුරු සිටීමට සිදුවනවා නිසකැයි. මන්ද අරිහතුන්වහන්සේගේ දේශනයක් තුල පවා විවිධ වූ අඩුපාඩු සහිත විය හැකියි. මන්ද උන්වහන්සේගේ ප්‍රඥා මට්ටමෙන් තමන්වහන්සේ අරිහත්වයට පත්වූ ක්‍රමය පෙන්වා දීමක් සිදුවන අතර උන්වහන්සේගේ දේශනා ශක්තිය මත 100%ක් නිවැරදි ක්‍රමයක් පවා අඩුපාඩු සහිතව දේශනා වීමක් සිද්ධ විය හැකියි. ඒ දේශනාව ශ්‍රවණය කර යම් කෙනෙක් අඩුපාඩු සඳහා මුල්තැන දී අදාල කොටස් බැහැර කරනවා නම් පාඩුව ඒ පුද්ගලයාට මිස දේශකයාණන්වහන්සේට නොවේ.

ඒ වගේම ඒ ක්‍රමය ඔබගේ චරිත ස්වභාවයට නොගැලපේ නම් උන්වහන්සේ අරිහත්වයට පත්වීම පිණිස භාවිතා කල ක්‍රමය වුවත් එය කොතරම් ආකර්ශණීය ක්‍රමයක් වුණත් ඔබට ලැබෙන ප්‍රතිඵලයක්ද නැත. එසේ නම් ඔබ විසින් ඔබට ගැලපෙන ක්‍රමය සොයාගැනීම පිණිස විමර්ශණශීලිව බුද්ධිමත්ව සත්ධර්මය ශ්‍රවණයට මුල්තැන දෙමින් ඒවා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ලංකර ගනිමින් ප්‍රතිඵල ලැබෙන ආකාරය අධ්‍යනය කල යුතුය.

සත්ධර්ම දේශනයක පුංචි පුංචි හෝ මේ අඩුපාඩු කිසිවක් නැත්තේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ දේශනයක් තුල පමණි. මෙවැනි වූ කරුණු ඔබ සිහිතබාගැනීමත් ඔබට සත්ධර්ම දේශනයකින් උපරිම ඵල නෙලාගැනීමට උපකාර වනු ඇත. නැතිනම් හැමදාමත් නොගැලපෙන කරුණු නිසාවෙන් පුද්ගලික මතයන් නිසාවෙන් ගැටී ගැටී වාද විවාද තර්ක කරමින් අවසන ආර්ය උපවාදයන්ට පවා යොමුවෙමින් අවිද්‍යාවේ මුලාවටම හසුව සංසාර සැඩ පහරට හසුව අනන්ත සංසාරය පුරාවටම සිද්ධ වුවා සේ නැවතත් ඒ විනාශයම කරගන්නට ඔබ යොමුව ඇතිබව නුවණින්ම දැකගත යුතුව ඇත.

ඉතින් මේ සටහන ලියන්නට හේතු කාරණා වුනේ යහපතක් සිද්ධ කරගනිත්වා යන අරමුණ ඇතිව මා විසින් බෙදාගන්නා බොහෝ සත්ධර්ම දේශනා වල දේශකයාණන්වහන්සේලාගේ අඩුපාඩුකම් හෝ නොගැලපෙන මතයන් ආදී දෑම ඉස්මතුකරගෙන ඒවා ඔස්සේ දැවීමක් ඇතිකරගන්නට යමෙක් පෙළඹෙනවා නම් බුද්ධිමත්ව විමර්ශණය කොට තම තම නැණ පමණින් තෝරාගෙන තමන්ටත් අනුන්ටත් යහපත උදාකරගැනීම පිණිස කටයුතු කරගැනීමටයි. මෙතැනදී දැවීම කියන විට ඔබ මහා පරිමාණයෙන් ද්වේශ සහගත තත්වයක් උදාකර නොගත්තා විය හැකියි. ඇතිවන මට්ටම තෝරාගැනීම තම තමන්ට අයත් කාර්යයකි. 

නිසි දේට මුල්තැන දෙන්නට තරම් ඔබ තුල සාමාන්‍ය දැනීමක් තිබිය යුතුය. එය වර්ධනය වීමම ප්‍රඥාවන්තභාවයයි. ප්‍රඥාවන්තභාවයේ වර්ධනයම නිවීමයි. ධර්මාවබෝධයට පත්නොවූ තත්වයක සිටින්නාවූ කළ්‍යාණ පෘතග්ජන කියන මට්ටමේදී දේශකයාණන්වහන්සේලා බොහෝ විට ඉතාමත් වැදගත් කරුණක් පොතකින් බලාගෙන ඉගෙන ගෙන සජ්ඣායනා ස්වරූපයෙන් හෝ දේශනා ස්වරූපයෙන් හෝ ලැබෙන්නට සලස්වනවා. එහිදී කළ්‍යාණ පෘතග්ජන කියන්නාවූ ගරු කටයුතු මට්ටමක් මේ ශාසනය තුල තිබෙන බව දැනගෙන සිටීම මේ වගේ කිලිටි සහගත සිත් පහල වීම වලක්වා ගැනීමට උපකාරයක්ද වෙනවා. 

මෙම මට්ටමේදී බොහෝ විට තමන්ගේ මත ආදිය ඉදිරිපත් වීමට ඇති ප්‍රවණතාවයද බහුලයි. සත්ධර්මය දේශනා කරන්නාවු සැවොම ආර්ය සංඝ කියන මට්ටමේම සිටිය යුතුයි යන නියමයක් දමාගැනීම අවශ්‍ය නැත. ඒ කියන්නා වූ සත්ධර්මය තුලින් ඒ ඒ මට්ටමෙන් ප්‍රයෝජන ලැබීම නුවණැති පුද්ගලයාගේ කටයුත්තය. කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන උපහැරණය මෙවන් අවස්ථාවලදී ඉතාමත් වැදගත් වේ.

ඉතින් යම් දේශකයාණන්වහන්සේ කෙනෙක් විසින් දේශනා කරන්නාවූ ධර්ම දේශනයක් තුල තමන්ටත් අනුන්ටත් යහපත උදාකරගත හැකි දෑ අංශු මාත්‍ර වශයෙන් හෝ තිබේ නම් එම කොටසට මුල්තැන දීම ඉතාමත් වටිනා ගුණයකි. උන්වහන්සේලා ආර්යභාවයේ සිටිනා උත්තමයින්ද නැතිනම් කළ්‍යාණ පෘතග්ජන මට්ටමේද නැතිනම් හිස්වූ පෘතග්ජන මට්ටමකද මේ දේවල් අදාල කරගත යුතු කරුණු නොවන්නේමය. ඒ පෞද්ගලික දේවල් දැනගැනීම නිවීම පිණිස අදාල වූ දෑද නොවේ. මන්ද යම් පුද්ගලයෙකුගේ ආර්ය අනාර්ය භාවය පෘතග්ජන මට්ටම ආදී දෑ ගැන 100% නිවැරදි විනිශ්චයක් තීරණයක් දිය හැකි වන්නේ සම්මා සම්බුදුපියාණන්වහන්සේ කෙනෙකුටම පමණි. ඒ නිසා මෙවන් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට තමන්ගේ සීමාව දැනගෙන මෙවන් වූ අවස්ථාවල කටයුතු කිරීම අප සැමගේ යහපත පිණිසම හේතුවන්නකි.

ඉතින් අංග සම්පූර්ණ දේශනයක් ඇසීමේ බලාපොරොත්තුව මත මේ ආකාරයෙන් වැරද්දට මුල්තැන දී කටයුතු කිරීමේ ස්වභාවයක් මා තුලත් පෙර කලක බොහෝ වශයෙන් තිබූ කරුණක්. යම් දේශකයාණන්වහන්සේ කෙනෙක්ගේ දේශනයක් තුල තිබෙන නොගැලපෙන කරුණට හිත යන ස්වභාවය මටත් තිබුනා. ඒත් මේ ධර්මය තුලින්ම එහි වරද වටහාගෙන උත්සාහයෙන් වීර්යෙන් යුතුව සිහිය පවත්වමින් මෙම වරද නැවත නොනැගෙන සේ ඉවත් කරගැනීමට මට හැකිවුණා. ඒ මේ උත්තරීතර සත්ධර්මය තුලින්මයි. 

මේ සත්ධර්මය ඕනෑම කෙනෙකුට යහපත ගෙන දෙන්නක්. මට යම් පමණකින් වරදක් අඩුපාඩුවක් හදාගන්නට තවමත් නොයෙක් ආකාරයේ අඩුපාඩු සකසා ගන්නට මේ සත්ධර්මය උපකාර වූනා නම්, වෙනවා නම් මතුත් වෙනවා නම්... ඔබගෙන් යමෙකුටත් එය ඒ ආකාරයෙන්ම උපකාර විය හැකියි. එය නිසි ලෙසින් තමන්ගේ ජීවිතයට ලං කරගැනීම තම තමන් විසින් ගත යුතු තීරණයක්මයි.

ඉතින් සත්ධර්ම දේශයක් තුලදී හෝ වේවා මේ ආකාරයට කියවන්නට යෙදෙන දෑ ඔස්සේ හෝ වේවා ඔබ පුද්ගලත්වයක් ගෙන එතැන ඇලෙනවා නම් බැදෙනවා නම් ගැටෙනවා නම් එතැනින් ලැබිය හැකි නිවනක් නොමැත. ඉතින් අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ඔබ සත්ධර්මයක් අංශු මාත්‍ර හෝ වශයෙන් අවබෝධ කරගෙන සිටින්නේ නම් යම් වැටහීමක් හෝ අනුමාන වශයෙන් හෝ තිබේ නම් තෙරුවන් සරණින් එය ප්‍රායෝගිකකරණය කරන්නට පිළිපදින්නට උත්සාහවන්තවීම වඩාත් සුදුසුයි යන්නයි. 

සසර පුරාවට තිබූ තැන තැන හාවෙමින් තණ්හා වෙන කැත පුරුද්දට දැන්වත් නැවතීමේ තිත තැබීමට පුරුද්ද අතහැරගැනීම සිහියෙන් සිටිමින් කටයුතු කිරීම සුදුසු වෙනවා. ඔය සිතට එකඟව කටයුතු කිරීම දැන්වත් නතර කල යුතු වෙනවා. මන්ද අවිද්‍යාව ක්‍රියාත්මක වනතාක් සිතේ තීරණය අවිද්‍යාව මිශ්‍රවූ කිලිටි සහගත තත්වයේම පවතින්නක් වන නිසා ධර්මයට එකඟව කටයුතු කිරීමට ප්‍රවේශමෙන් වග බලාගත යුතු වෙනවා. 

ඔබ කොතරම් භාවනා කලත් ධර්මය පුරුදු කරනවාය කිව්වත් ඔබගේ වචනය තුලින් තවමත් ඔබ දේශකයාණන්වහන්සේලාගේ වැරදි අඩුපාඩු සොයනවා නම්, පොදුවේ අනුන්ගේ දේවල් විවේඡනය කරමින් වාද විවාදයන්ට ලක්කරමින් අනුන්ගේ වැරදි දෑම සොයමින් කාලය නාස්ති කරගන්නවා නම් ඒවාට මුල්තැන දෙමින් අංශු මාත්‍ර හෝ සත්ධර්මය යටගසනවා නම් මේ සත්ධර්මය යටපත්වී වැසී යාමට එතරම් කාලයක් ගත නොවනු ඇත. 

ගැඹුරු ධර්මය කතා කිරීම සටහන් තැබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ තුලින් ඔබගේ ජීවිතය තුල ඔබටම අත්දැකගත හැකි දියුණුවක් යහපත් ආකාරයේ වෙනසක් අත්දැකිය යුතුවේ. ප්‍රායෝගිකව භාවිතය තුලින් පෙර නොදැන හෝ යම් අඩුපාඩුවක් වරදක් නොගැලපෙන යම් දෙයක් සිදුවූයේ නම් එය නැවත නොවෙන තත්වයට පත්කරගැනීම පිණිස ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගෙන සත්ධර්මයේ ඇසුර ලැබිය යුතු වේ. 

ඒ සඳහා දේශනයක් තුල තිබෙන 99%ක් නිවැරදිව සිද්ධ වූණාවූ දේශනයක් තුලින් ඔබට ඇතිකරගන්නට නොහැකිවූවා යහපත් වූ වෙනසක් සමහරවිට 1% සත්ධර්මය තිබූ දේශනය තුලින් එක් ක්ෂණයකින් ලබාදෙන්නට පුළුවන් විය හැකියි. ඒ නිසා පුද්ගලත්වය අමතක කර දමන්න. ඔබ දේශනයකින් ලැබූ යම් අංශු මාත්‍ර හෝ යහපතක් වේ නම් එයට කෘතගුණ සැළකීම පිණිසම පමණක් පුද්ගලත්වය යන සම්මතය ප්‍රඥාවන්තව නොඇලීමෙන් නොගැටීමෙන් යුතුව භාවිතා කරන්න. ශ්‍රවණය කරන දේශනය තුල කියවන්නාවූ දහම් ලිපිය තුල නිවීම දැකීම එය මතුකරගැනීම එය තමන් තුලින් අත්දැකගැනීම ප්‍රඥාවන්තව කරගන්න.

මෙසේ නොවුනහොත් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු දෘෂ්ඨීන්ගේ මිදී මමත්වය ප්‍රහාණය කරන්නාවූ නිවීමද ඔබට බොහෝ දුරවනු ඇත. ප්‍රඥාවන්තව සිහියෙන් වීර්යෙන් යුතුව සසර පුරාවට පුහුණු කල කැත පුරුදු අතහැරගැනීමට ඔබ සැමටත් මටත් තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!! ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට උපරිමයෙන් උත්සාහවන්ත වීම සුදුසුය. එය අපහසුය... බාධකද බොහෝමය... ඒත් කරන්නට බැරි දෙයක් නොවන්නේමය!!!

Wednesday, June 4, 2014

Nirvana Dhamma for Deaf Community through Sign Language - Sri Lanka - Events 1


Nirvana Dhamma approach on sharing Dhamma / Buddhism worldwide through Various Sign Languages for the deaf community was already become a success... the outcome of our hard work yet to be share with the world soon... 


Meantime "Ahanna (listen) which is the Sri Lanka represents of Dhamma sharing through Sri Lankan Sign Language for the www.nirvanadhamma.com has created their official Facebook page to share the glimpse of their noble activities... 

here is the page & details for the Nirvana Dhamma followers... 



For the first time in Sri Lanka Buddhism in Sign Language for the Sri Lankan Deaf Community served through the "Ahanna (listen) Video Production House owned by Kasun Chandana .... the official Face Book page created to share the developing stories of "Ahanna (listen)"... Official web site is on the way with loads of information...

may triple gem bless you all for the best!!!


ලෝකය පුරා විසිර සිටින සමස්ථ බිහිරි ප්‍රජාව අතර උත්තරීතර ශ්‍රී සත්ධර්මය හෙවත් බුදු දහම සංඥා භාෂාවෙන් ලබාදීම පිණිස www.nirvanadhamma.com  වෙතින් කරගෙන යන්නාවූ කටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් සිදුවන අතරම ඒ උතුම් ක්‍රියාවලියේ මහඟු ඵල ලඟදීම ඔබ සැමටම දැකගැනීමට හැකිවනු ඇත... 

ඒ අතර නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ මෙම සත්කාර්යයේ ශ්‍රී ලාංකීය නියෝජනය වන “අහන්න“ වෙතින් ඔවුන්ගේ කටයුතු වල රසමුසු තැන් බෙදාගැනීම පිණිස මුහුණු පොතේ ඔවුන් වෙනුවෙන්ම පිටුවක් නිර්මාණය කරන්නට යෙදුනා... ඔවුන්ගේ වෙබ් අඩවිය ඉක්මනින්ම ලැබෙන්නට සලස්වන්නට කටයුතු යොදන අතර වැඩි විස්තර සඳහා ඔබටත් මෙම මුහුණු පොතේ පිටුවට පිවිසිය හැකියි... 


“සත්ධර්මය විවෘත වන්නේ බබළයි!“

Tuesday, May 27, 2014

නිවෙන්නට කැමැති ඔබ...

නිවෙන්නට කැමැති ඔබ 
දැකිය යුත්තේ දේශකයාණන්වහන්සේලාගේ මාර්ග ඵල, මාන්නය හෝ නොගැලපෙන දහම් කරුණු නොව රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදෙන්නට අංශු මාත්‍ර හෝ යමක් පෙන්වා දෙයි නම් එයම වේ... 

නිවෙන්නට කැමැති ඔබ
දැකිය යුත්තේ ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට හසුව උන්වහන්සේලා දේශනා කරනවායැයි චෝදනා නොව නිවීම පිණිස යම් අංශුවක තරම් හෝ ධර්ම කොටසක් පෙන්වා දුන්නේ නම් ඒ අංශුවක කාලය වෙනුවෙන් හෝ කාලය ශ්‍රමය කැප කොට වෙහෙසව තමන් කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ සත්ධර්ම කොටස දේශනා කරන්නාවූ මහා උත්තමයෙක් ලෙසින්ම වේ...

නිවෙන්නට කැමති ඔබ 
කතා බහ කල යුත්තේ දේශනාවේ 99%ක් තිබූ වැරදිවූත් නොගැලපෙන කරුණුත් නොව 1% නිවීම පිණිසම තිබූ කරුණමය. එසේ අංශු මාත්‍රයක්වත් නොතිබුනේ නම් කතා කිරිමට සුදුසු තරම් දෙයක් නොවෙන බව සිහිපත් කරගෙන අතහැර දැමිය යුතුම වේ...

නිවෙන්නට කැමති ඔබ 
සිතිය යුත්තේ දේශකයාණන්වහන්සේගේ පුද්ගලත්වය ගැන නොව උන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ අංශු මාත්‍ර හෝ නිවීමට උපකාර වන ධර්ම කොටස සම්බන්ධවය... එය තම තමන්ගේ ජීවිතය ගැලපෙන්නේ කෙසේදැයි තමන්තුලින් නුවණින් දැකගැනීමට වෙහෙස විය යුතුම වේ... 

නිවෙන්නට කැමති ඔබ 
අනුන්ගේ වැරදි දැකීමට සිත, කය, වචනය මෙහෙයවන කාලය වැය කොට දැකිය යුත්තේ රූප, වේදනා, සංඥා, සංඛාර “මම“ යැයි “මගේ“ යැයි “මගේ ආත්මය“ යැයි වටිනාකම් දෙමින් මොහොතක් පාසා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු දෘෂ්ඨියෙන් කෙලවරක් නැති මැනගැනීම් කරගනිමින් අන්ත අසරණව දුක්විඳින අනාථ වී ඇති සසර දිගුව ඇති තමන්වත් තමන්ට වැරදුනු දෑමත් වේ...

නිවෙන්නට කැමති ඔබ
බුද්ධ දේශනාවට ගලපනවා යැයි තමන්ට රිසි දේශකයාණන්වහන්සේ කෙනෙක් විසින් දේශිත ධර්මයකට හෝ පොත පතේ සඳහන් ධර්මයට හෝ ගලපමින් ඇලීමට බැඳීමට කටයුතු කරනවා වෙනුවට කල යුත්තේ ඔබතුල පවතින රාගය, ද්වේශය, මෝහය ඒ යම් ක්‍රමයක් වේ නම් ඒ ක්‍රමය අනුගමනය කීරීමෙන් යටපත් නොවී සම්පූර්ණයෙන් පහව යයිද එසේ පහව යෑමට හේතු තිබෙනවාදැයි විමසා බලා කටයුතු කිරීමම වේ...

නිවෙන්නට කැමැති ඔබ
රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් නිවීමක් විනා ඒවා වැඩීම පිණිස සිත, කය, වචනය හැසිරවීම නුසුදුසු නොවේදැයි තමන්ගෙන්ම විමසිය යුතු වේ...

නිවෙන්නට කැමැති ඔබ
විවේඡන අපවාද උපවාද වර්ණනා කිරීම් නින්දා කිරීම් ආදී මේ දෑට ලජ්ජාව භිය ඇති කරගැනීම නිවීම පිණිසම හේතු වේ...

නිවෙන්නට කැමති ඔබ 
ගින්දරත් සමඟ සෙල්ලම් කිරීම නවතා සියලු ගිනි නිවා දැමීමට උත්සූක විය යුතුම වේ... 

නිවෙන්නට කැමති ඔබ
දන්න ධර්මය මෙනෙහි කරමින් පදවැල් කියමින් සෑහීමකට පත්නොවී ඒ ධර්මය සැබෑවටම එසේ වේදැයි තමන්තුලින්ම නුවණින් දැකීමට සිහියෙන් නුවණින් වීර්යෙන් යුතුව කටයුතු කල යුතුම වේ... 

නිවෙන්නට කැමැති ඔබ 
තමන්ගේ ගිනි ගත් හිස නිවා ගනු විනා එය තව තවත් අවුලවා ගැනීමට හෝ අනුන්ගේ හිස් තව තවත් ගිනි තැබීම නොකල යුතු වේ...

නිවෙන්නට කැමති ඔබ සරලවම නිවිය යුතු වේ! දැවිය යුතු නොවේ!!!
නිවෙන්නට කැමති ඔබට තෙරුවණේ ආශිර්වාදය 
උපරිමයෙන්ම ලැබේවා!!! 
නිවී සැනසීමම ලැබේවා!!!