නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, February 1, 2023

වහල් වූ ශ්‍රවණය

 


සුපුරුදු පරිදි මෙවර කතු වැකිය තුලිනුත් නිවන් මඟ විවර කර ගැනීමට අත්‍යවශ්‍ය වූ කාරණයක් ඉතාමත් කෙටියෙන් ඉස්මතු කර දීමට උත්සාහ කරන්නම්. තම තමන් ව නැණවත් ව විමසා... තමන් තුල ද මේ කියන ආකාරයේ අඩුපාඩු තිබෙනවා ද යන්න විමසා බලා... තම තමන්ගේ නිවන් මඟ... තම තමන්ගේ විමුක්තිය උදා කර ගැනීම පිණිස කැප වීම තම තමන් ට ම භාරයි!

මෙකල සත්ධර්මය අසන පිරිස ගෙන් බොහෝ පිරිසක් තුල තිබෙන අඩුපාඩුවක් තමයි නිදහස් වූ... නිවහල් වූ ශ්‍රවණය ක් නොමැතිකම.  තවත් විදියකට කියනවා නම් සරලව ම ඇහුම්කන් දෙන්නට බයක් තිබෙන බව තමයි දකින්නට තියෙන්නේ.  ඇයි කියලා ඇහුවා ම කියන්නෙත් “මේ කාලේ එක, එක ජාතියේ බණ දහම් විග්‍රහයන් තියෙනවා නේ... ඒවා අහලා වැරදි වූ මිත්‍යා මාර්ගයක ගමන් කරන්නට වුනොත්... මිත්‍යා මාර්ගය ම දියුණු වුනොත්... වැරදි දහමක් නේ ඉතින් එතකොට ප්‍රගුණ කරලා තියෙන්නේ... ඒ නිසා ඒවාට අහු වෙයි කියලා බයයි” කියලා යි.  

දැන් ඉතින් මේ බය ඇතුලේ සැඟවුණු නිවන් මඟ වසා දමන වැඩක් සිද්ධ වෙනවා.  ඒ මොකක්ද?  “විචිකිච්ඡාව” හෙවත් “සැකය” කියන නිවන අවබෝධය පිණිස අවශ්‍ය කරන පරිසරය නැති කර දමන නීවරණය, මේ බයත් එක්ක එකට බැඳිලා වැඩ කරන්නට පටන් ගන්නවා.  සත්ධර්ම තුල “විචිකිච්ඡාව” ගැන මෙන්න මෙහෙම තියෙනවා.  “විචිකිච්ඡා” යනු “මෙසේ වූයේ දමෙසේ නොවී ද?” ආදී ලෙස පවතින සැකයයි. ධර්මයන් ගේ ස්වභාවය සොයමින් වෙහෙසේ. දුකට පත්වේ, යන - අරුතින් “විචිකිච්ඡා” නම් වේ”

ඉතින්, ඔබගේ විමුක්තිය පිණිස වූ සෙවීම අවංක නැති වූ විට තමයි මේ අනවශ්‍ය බය ඔබගේ සිතේ හට ගන්නේ.  බුදු හිමියන්ගේ කාලයේත් අද කාලයේ වගේ ම එක, එක අර්ථ කථන සහිත බණ දහම් තිබුණා නේ.  නමුත් මාර්ග ඵල ලාභීන් අඩුවක් වුනේ නෑනේ.  එහෙම වෙන්නට හේතුව හඳුනා ගත යුතුයි. 

ඔබටඔබට ම කියලා ප්‍රශ්නයක් නැති වූ විට... ප්‍රශ්නයක් විදියට තියෙන්නේ කොහෙන් හෝ අසා ගත්... කියවා ගත්... බලෙන් පටලවා ගත් ධර්ම සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්න වැනි තමන්ට අදාළ නොවන... තමන්ගේ ජීවිත අත්දැකීම් තුලින් තමන්ට ආවේණික නොවුන ප්‍රශ්න නම් ඔන්න ඔබට ඔය ඉහත කිව්ව වගේ බයක් එනවා.  “කව්රු හරියට උත්තර දෙයි ද දන්නෙ නෑ” කියලා.

ඉතින්, රැල්ලට බණ දහම් ඇසුවාට කමක් නෑ... නමුත් අසා ගන්නා දෙයින් ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ට ම ආවේණික වූ ප්‍රශ්නයකට උත්තර සොයන... ඒ ප්‍රශ්නයට අවංක විසඳුමක් සොයනා සිතකටයි.  එවැනි සිතක් නැති වුනා ම වහල් වෙනවා.  ඒ කියන්නේ, යමක් පෙන්වා දෙන පුද්ගලයා සරණ යනවා.  පුද්ගලයින්ටතමන් නිවැරදි යැයි විශ්වාස කරන මතයන්ට, තර්කයට ලක් කල හැකි කාරණා වලට, වහල් වෙනවා.  එවිට ඇසීම නිදහස් නෑ.  සැම විටම තර්ක උපදිනවා.  මේ කියන දේ හරි ද දන්නේ නෑ... මේ කියන දේ මේ විදියට ගියොත් මෙහෙම වෙනවා.  මේ කියන පුද්ගලයා ඔය කියන විමුක්තිය ලබල ද දන්නේ නෑ.  මේ කියන කාරණය තුලින් විමුක්තිය ලබන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ.  මේ කියන කාරණය තුලින් මාව වැරදි අදහසකට හසු වෙයි ද දන්නේ නෑ...”

ප්‍රශ්න ගොඩයි! කිසිම නිදහසක් නෑ!  එහෙම ගිහින් ඉතින්, අන්තිමට මුලින් ම යමක් කියන පුද්ගලයාගේ ස්වභාවය තමයි විමසන්නේ. ඒ දේශකයා කිව්වොත් “ඔව්මම විමුක්තිය අත්දකිනවා” කියලා ඔන්න ඉතින් වහල් වෙනවා.  ඇසීම නිදහස් නෑ.  “නෑ අපි අහ ගෙන යමු කෝ... කියන දේ හොඳින් අහ ගන්න කෝ” කිව්වොත් ඔන්න කැමති නෑ!  මේ විදියට අවුලෙන් අවුලට පත් වෙනවා. 

දැනටමත් නිවන පිණිස අප්‍රමාදී වීම පිණිස බණ දහම් විමසන කෙනෙක් නම් ඉතින් ඔබ හොඳට සිහි තබා ගන්න ඕන මේ කියන “නිදහස් භාවයක් නැති ඇහුම්කන් දීම වහල් භාවයෙන් යුතු වීම” සිදු වන බව ඔබටත් වටහා ගන්නට අපහසු වේවි.

ඒ නිසා හැකි තාක්... බණ දහම් කියලා වචන ගොඩක් අසා ගන්නවා වෙනුවට... සිද්ධාන්ත ගොඩක් අසා ගන්නවා වෙනුවට... කියන දේ හි අදහස අවබෝධ කර ගැනීම පිණිස නිදහස් ව ඇහුම්කන් දෙන්න උත්සාහ කරන්න ඕන.  තමන්ට ඇත්තටම ප්‍රශ්නයක් ගැටලුවක් අවශ්‍යතාවයක් ඇතිව නම් යමෙකුට ඇහුම්කන් දෙන්නේ, මේ කියන නිදහස් භාවය... නිවහල් භාවය සකස් වෙනවා. 

නැත්නම් විචිකිච්ඡා නීවරණය ක්‍රියාත්මක වෙලා ඇහුම්කන් දීම තුලින් ඇති විය යුතු ඥානයන් ඇති වීම පිණිස අවශ්‍ය කරන ධ්‍යාන චිත්ත සහිත සමාධිය සකස් වෙන්නේ නෑ.  හැමදාම ඉතින් හොයහොයා වෙහෙස වෙන්නට සිද්ධ වේවි.  දුකට ම පත් වේවි. කොතරම් නිවැරදි වූ නිර්වාණය පිණිස ම වූ ලෝකෝත්තර වූ බණ දහම් අසන්නට අවස්ථාව ලැබුනත් මඟ හැරෙන බව තමන්ට වත් නො දැනේවි.

ඉතින්, යමක් ගැන තීන්දු තීරණ ගන්නට පෙර හොඳින් අසන්න එපැයි නේදඇසුවොත් තමයි ඒ ගැන නිවැරදි වූ නැණවත් වූ විමසීමක් කරන්නට හැකි වෙන්නේ.  අහන්න කලින් ම අහ ගන්න යන එක ගැන සැක නම්... අහන අතරතුරත් අහ ගන්න එක ගැන සැක නම්... අසා ගෙන අවසානයේ ත් සැකයෙන් ම පිටත් වෙලා යන්න සිද්ධ වෙනවා මිසක් තමන්ගේ ගැටලුවට පිළිතුරක්... ප්‍රශ්නයට විසඳුමක්... ලෝකයෙන් එතෙර වීමට මාර්ගයක් විවර නොවේවි!

ඒ නිසා, බුදු හිමියන් ඇසුරු කල ඒ අවංකව ම තම තමන්ගේ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු සෙවූ නැණවත් පුද්ගලයින්ගේ ස්වභාවය වටහා ගන්නට ප්‍රඥාවන්ත වන්න.  බලෙන් දමා ගත් ප්‍රශ්න වලට උත්තර සොයන්නට ගිය විට කවදාවත් හමු නො වෙන පෙර නො ඇසූ විරූ දහම් ගැන නුවණින් දකින්න.  තමන්ට යමක් අවශ්‍ය නම් ඒ සඳහා අවංකව ම වෙහෙස වෙන්න.  සිද්ධාන්ත කටපාඩම් කර ගෙන... දහම් කොටස් කට පාඩම් කර ගෙන ඒවාට ගලපමින් අසා ගන්නා කිසිවක් තුල නිදහස් වූ නිවහල් වූ ඇහුම්කන් දීමක් නැති බව දැක ගන්නට නැණවත් වෙත්වා!

මෙවැනි දහම් ලිපි ඇසුර පිණිස "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට පිවිසෙන්න!

Enslaved listening

 

As usual, let's discuss another essential quality which we should have for our liberation!  It is up to you to question yourself wisely... It is up to you to find out if there are any such weaknesses within... it's up to you to find your path to Nirvana... the true liberation!

One of the weaknesses of many people who listen to the Dhamma these days is that they are lack free listening.   In a way, that most of them are fear for free listening.  When we asked why, their simple answer is that, "Nowadays, there are so many misinterpretations happening... so what if we get caught on such a misleading path... What if I listen to the wrong explanation...? What if I have become a follower of a misleading preacher... What if... what if... I am fear for all these... So, I have to question everything... I just can't listen freely!"   

Now there is something else hidden inside this fearful listening.  What is that? "Doubtfulness". 

Doubtfulness also known as "vichikichcha" is the mental event in which one oscillates between two extremes.    "Did it happen like this? Or Not like this?”   No matter how hard one strives to find the nature of dharma or the truth, with this mental behavior makes it almost impossible, and then the sadness is always there.  This indecision creates obstacles for everything positive, and in particular for the vision of the truth.  When doubtfulness is there, it destroys the needful conditions for the understanding of eternal truth.  It is one of the five causes that prevent or block enlightenment, as it is closing the doors of undisturbed focus also known as Samadhi in Dhamma.  Samadhi is the state of mind which provides the opportunity to arise the absorption.  Without arising in the stage of absorption, one cannot realize the essence of what he or she listened.  Without profound listening one cannot realize the Dhamma which they never heard before and leading to liberation!

This doubtfulness often occurs when your search is not genuine or sincere.  All the unnecessary fear arises when you are not aware of what you are actually looking for.  When your question or your problem is not related to you or your behaviors, your search is bound with some unrelated external questions, which are totally strange for yourself.  Then instead of opening to the answer, you just start collecting various interpretations.  The more you get various type of interpretation your fear increase so as the doubtfulness. 

Do not forget that even the time during the Samma Sambuddha alive, there were various kinds of sermons with different interpretations.  But the true seekers always end up near Samma Sambuddha.  Coz, they were not concern about who is right... or they didn't judge what is right... instead they listen to everyone with a free mindset and open to the essence of those teachings.  Result is that they become enlightened ones!  They were liberated!  Because they were not enslaved for any person or any specific interpretation.  Their search was genuine, and their question was sincere, so the question guided them to the right answer!

When your search is not genuine and not related to you, you are concern about the person who is answering to you.  Rather than listening to what they say, your concern is to confirm the state of preachers’ mind first.  Then, you ask... preacher would say "Yes, I am enlightened" or "No, I am not"... then you agree to what he says or may not agree... If the preacher says instead of asking that question, listen first... listen carefully and freely, then the thousands of doubts arise.  You are not ready to do that freely, because your search is not genuine. 

Remember Siddartha Bodisathva before he becomes an enlightened one, he listened to all the teachers used to live in his era.  Followed the path genuinely.  Because the search was genuine, he understood that those paths are not leading to liberation.  Every truth seeker needs to have that quality.  Because, a person whom still unaware about the eternal truth can't make judgment over the truth, right?  But, if you are not a sincere truth seeker, you need to clarify first.  A clarification about the person... clarification about what you listen... etc… Etc... your agitated mind leads you to full of doubts.  And those doubts keep you away from the truth. 

So, do you understand that we need to listen first before making any judgments?  If your listening is unbiased and free, you will know the message hidden through the words you listened.  But if you are full of doubts, fear, you are listening with an enslaved mindset.  Your doubt begins even before listening... continues throughout the listening... and you will get an obvious doubtful ending! 

The result will be always such that you will miss the noble truth even it was explaining right in front of you. 

Remember, doubtfulness always leading us to what we already decided, and not to the unknown or unheard.  The doubtfulness always guides us to an enslaved listening.  So, first find your question.  It will guide you to the right answer.  If your question is genuine, and if your seek is sincere, you just don't have to worry or fear about what you get as the answer! 

So, seek within to find the weaknesses which prevent you from liberation and its needful.  Instead of following blindly with an enslaved listening, be open to the real truth!  May you be free from doubtfulness and enslaved listening!

To read More Articles visit; Official "Nirvana Dhamma" Website

තමන්ගෙන් අහන්න! (06 කොටස) - පාළුවේ... තනිකමේ... කෙලේසය දැක්කද?

 


“හරිම පාළුයි... මට තනියි... මට කව්රුවත් නෑ... නිකං ඉඳලා කම්මැළියි - මොනවා හරි කරන්න ඕන...” මේ වගේ කතා කියමින් මුහුණ දෙන “තනිකම... පාළුව...” ගැන මොකද හිතෙන්නේ... හුරු පුරුදුයි ද?  කැමති යි ද?  ඔබටත් මේ “තනිකම් දෝස” තියෙනවද? මේ ගැන පොඩ්ඩක් කතා කරමු කෝ.  මේ දේවල් ඉතින්, සුපුරුදු පරිදි තමන්ගෙන් ම අහන්න! 

පහුගිය වසංගත කාලේ ලෝකයේ රටවල් බොහෝමයක් වසා දැමුවා.  සමාජ ආශ්‍රය නවතා දැමුවා.  තම තමන් හදා ගත්ත ගෙවල් වලට වෙලා... තම තමන් ආදරය කරන තමන්ගේ ම පවුලේ පිරිස එක්ක විතරක් කාලය ගත කරන්නට සිද්ධ වුනා.  නමුත්, තමන්ගේ පවුලේ උදවියත් එක්ක සිටීමත් බොහෝ දෙනෙකුට අපහසු කාරණයක් වුනා.  මේ විදියට කව්රුන් එක්ක හෝ කව්රුවත් නැතුව හෝ තනියම ඉන්න සිදු වීම මානසික රෝගී තත්වයන් පවා ඇති කරන්නට සමත් වුනා. 

ඇයි මේ?  සාමාන්‍යයෙන් ඉතින්, පෙනෙන රූප, ඇහෙන ශබ්ද, දැනෙන ගන්ධ - රස - ස්පර්ශ, ආදිය මත යැපෙමින් නොයෙක් අරමුණු දරා ගෙන වින්දනයක් ලබන පුද්ගලයෙකුට මේ දේවල් සීමා වීම සැබැවින් ම අසහනකාරී වැඩපිළිවෙළක් බවට පත් වෙනවා.  අන්න ඒ නිසා තමයි බහුතරයක් පිරිස මේ විදියට තනි වෙන්නට අකමැති.  මොකද “තනි වීම” කියන්නේ තවත් ආකාරයකින් කියනවා නම් මේ කියන “පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින” වැඩපිළිවෙළට යම් කිසි ආකාරයකින් සීමාවක් පැනවීමක් නේ.  අන්න, ඒ නිසා ඒ සීමාවන් පැනවෙන කොට පාළුවක්... තනිකමක් දැනෙනවා. මේක තමයි ඉතින් ලෝක සත්වයා අරමුණු පසුපස හඹා යමින් සංසාරය සකස් කර ගන්නා වැඩපිළිවෙළ.

ඒ වැඩපිළිවෙල කරන බහුතරයක් වූ ලෝක සත්වයින් ව පොඩ්ඩකට ඉතින් අපි පැත්තකින් තියමු කෝ.  මේ “තමන් ගෙන් ම අහන්න!” කියලා කියන්නේ කාට ද?  ඔව් ඔබට!!!

“විමුක්ත වෙන්න ඕනෑ... අනේ ආයේ නම් ඉපදෙන්න බැරියෝ... නිවන් යන්න ඕනේ... හම්මෝ මේ ශාසනය මඟ හැර ගන්න නම් බැරියෝ... ආයේ ඉපදුනොත් අනාථයි...” කියමින් මේ උදේ දිවා රෑ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දුන්නා වූ බණ දහම් අහන... “පෙනෙන - ඇහෙන - දැනෙන - විඳින” වැඩපිළිවෙළින් ලෙසින් සකස් වෙලා එන උගුල ගැන විමසන... එයින් ගැලවෙන්න ඕනෑ යැයි කියමින් උත්සාහ දරන ඔබට යි මේ කියන්නේ... ඔබත් ඉතින් මේ “පාළුයි... තනියි...” කියමින් අරමුණු පසු පස හඹා යමින් නැවත, නැවත මේ සංසාර උගුලට ම හසු වෙනවා නම්, අන් අය ගැන කවර කතා ද?

ඉතින්, නුවණක් වේ නම් මේ ගැන සිහියෙන් නුවණින් විමසන්න.  “පාළුයි... තනියි... මට කව්රුවත් නෑ... මං වෙනුවෙන් කව්රුවත් නෑ...” මේ වගේ විවිධාකාර අඳෝනා ගසමින් නැවත මේ හසු වෙන්නේ සංසාර උගුලට ම නේද?  යාචකයෙක් වගේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළ ම යදිනවා.  කවදා කැප වෙන්න ද බලා ගෙන ඉන්නේ?    

දැන් ඔබට කාලයක් - වෙලාවක් ලැබිලා තියෙනවා නම්... යම් තාක් දුරකට හෝ නිදහස් ජීවිතයක් ලැබිලා තියෙනවා නම්... තනිවම වගකීම් අඩුවෙන්, කටයුතු අඩුවෙන් තමන්ගේ පැවැත්මේ යථාර්ථය ගැන විමසා බලන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා නම්... ඒ සියල්ල නැවත, නැවත නැති කර ගෙන ඒ නිදහස් බව තුල “පාළුවක්... තනිකමක්...” අත්දකිනවා නම්, තමන්ගේ අසිහියේ තරම හඳුනා ගන්න කෝ.

බණක් දහමක් අසමින් අප්‍රමාදී ව නිවී සැනසෙමින් විමුක්ත වෙන්නට අවශ්‍ය නම් තමන්ගේ මේ අසිහිය දැක ගන්නම වෙනවා.  ඇසුරු කරන්නට යමෙක් හෝ යමක් සොයමින් යැපෙන යාචක වැඩපිළිවෙළ හඳුනා ගන්නම වෙනවා.

ලෙඩක් දුකක් හැදුණ වෙලාවක් හිතන්න... කොහොමත් ලෙඩක් හැදුණා ම තනිවම කාලය ගත කරන්නට සිදු වෙනවා.  රෝහලක වුණත් නිතර බලන්න දෙන්නේ නැතිව කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ නිදහස, විවේකය ලබා දෙන්නට ඕන නිසානේ. බණක්, දහමක් අහන්නේ නැති මිනිසුන් පවා ඒ දේවල් වටහා ගෙන ඒ අත්දැකීමට යහපත් ව සිහියෙන් මුහුණ දෙන ආකාරය අපට දැක ගන්නට තිබෙනවා නේ.  නමුත්, මේ බණ දහම් අසා ගන්න ඔබ?  සාමාන්‍ය බුද්ධිය පවා නැති වෙලා වගේ නේද? බණ දහම් කියලා මොනවද ඇත්තටම අහ ගන්නේ?  තමන්ගෙන් ම අහන්න!!!

ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුණා ම ත් “පාළුයි... තනියි... කාංසියි...” කියමින් අරමුණු හඹා යනවා මිසක් යථාර්ථය අත්දකින්ට, විමසන්නට නුවණ මෙහෙයවන්නේ නෑ.  තවමත් විවාහ වෙලා නැත්නම් “පාළුයි... තනියි... කාංසියි...” කියමින් “විවාහ වෙලා දෙන්නම නිවන් යන්නත් පුළුවන් නේ ඉතින්” කියමින් ඇසුරු කරන්නට අරමුණු හඹා යනවා මිසක් ලැබූ නිදහස් බවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ... විවාහ වෙලා දරුවන් තවමත් නැත්නම් “විශාකාව ත් දරුවන් ගොඩක් හැදුවේ” කියමින් “ජාතිය නඟා සිටුවන්නට හදනවා මිසක් ජාතිය නිරෝධය පිණිස සිහිය නුවණ මෙහෙයවන්නේ නෑ. දරුවෙක් බැරි නම් එක්කෝ සතෙක් හරි හදා ගන්නවා... කටයුතු අඩුවෙන් හිටියා නම් කටයුතු වැඩි කර ගන්නවා... කාර්ය බහුල වෙනවා... මේ කිසිම දෙයක් නැත්නම් එකතු වෙලා බණ දහම් කතා කරන්න කියලා නේ තියෙන්නේ කියලා බණ දහම් සම්බන්ධ වැඩසටහන් ටිකක් හරි වැඩි කර ගෙන කාර්ය බහුල වෙනවා.  අන්තිමට දස කතාවෙන් යුතු බණ දහම් වෙනුවට දෙ තිස් කතාවට ම යොමු වෙලා වංචනික ධර්මයන් වලට ම අහු වෙලා “තනිකම... පාළුව...” නැති කර ගන්නට තමයි මේ උත්සාහය නේද?       

ඉතින්, මම මුලින් ම කිව්වනේ මේ කියන්නේ නිරන්තරයෙන් අරමුණු සොයමින් අරමුණු මත යැපෙන බහුතරය වෙනුවෙන් නෙවේ කියලා. මේ කියන්නේ අප්‍රමාදී ව විමුක්ත වෙන්නට ඕනෑ කියන ඔබට යි.  තවමත් විමුක්තිය ගැන සිතක් වත් පහල වී නැති බහුතරයට මේ කියන කාරණය එක සේ වටහා ගැනීමට නො හැකියි නේ ඒ නිසා.  ඔබටත් ඉතින් ටිකක් සැර වැඩියි කියලා මට ඉතින් කියයි.  නමුත්, මේ විහිළුව ඉක්මනින් ම නැවතුණේ නැත්නම් අනාථ වෙන්නේ ඔබමයි නේද කියලා තමන්ගෙන් ම අහන්න!

“අනේ අපිට හරි මඟ කියන්න... අසිහියෙන් කටයුතු කරන විට සිහිය පිණිස සිහිපත් කරන්න කව්රුවත් හිටියේ නෑ නේ... විමුක්තිය පිණිස වචනයකින් හෝ උපකාරයක් වෙන්න කව්රුවත් හිටියේ නෑ නේ...” කියලා ඔබට දැන් කියන්න බෑ!  මොකද ඒ සහාය මේ විදියට හරි මට හැකි පමණින් ඔන්න හැමදාම වගේ ලබා දුන්නා!  නමුත්, අරමුණක් ගානේ උදේ ඉඳන් රෑ වෙනකම් “අහු වෙන්න නම් එපා” කියලා ඔබේ පසු පසින් ඉඳ ගෙන සහාය වෙන්න කාටවත් බෑනේ නේද?    තම තමන්ගේ විමුක්තිය පිණිස තම තමන් කැප විය යුතුයි!      

ඉතින්, තමන්ගේ විමුක්තිය පිණිස අවංක විය යුතුයි!  වංක වෙලා... වංචනික ධර්මයන් ට මුල් තැන දීලා ලැබිය හැකි නිවනක් නැති බව නුවණින් දැකිය යුතුයි.  මුළු සසර පුරාම අනාථ වුනේ මේ අවංක බව... සෘජු බව අප තුල තිබුණේ නැති නිසයි.  නැවත, නැවත එයම කර ගන්නවා ද කියලා තමන්ගෙන් ම අහලා බලන්න! 

අති දුර්ලභ බුද්ධ ශාසනයකුත් ලැබිලා... විමුක්තිය පිණිස මඟ පෙන්වන කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබිලා... සංසාර අනතුර ගැන නිතරම අසා ගන්නට ලැබිලා... අවශ්‍ය කරන නිදහසත් පදමට ලැබිලා... කර ගත යුතු දේ කර ගන්නේ නැතිව තවත් මොනවද මේ අසිහියෙන් කරන කටයුතු?  තමන්ගෙන් ම අහන්න!

අමතක කරන්න එපා... ගැලවීමක් නැති ම අවස්ථා වල දී මංගල රථයෙන් පැන ගිය... විවාහ වෙන්න දින යොදා ගෙනත් විවාහ නො වුන... බලහත්කාරයෙන් විවාහ වෙන්න සිද්ධ වුන අවස්ථා වල දී දරුවන් හදා ගෙන තව තවත් බැඳීම් වැඩි කර ගත්තේ නැති... ඉපදුන ගමන් දරුවන් ව පඳුරු යට තියලා බණ අහන්න ආව... විවාහ වෙලා හිටිය සහකාරයා ව, සහකාරිය ව ඔවුන්ට රිසි මඟ යන්නට නිදහස් කරලා නිදහස් බව ලබා ගත්ත... ලෝක සම්මත කටයුතු අවම කර ගත්ත... බන්ධනයන් අවම කර ගත්ත... කල යුතුම සහ බණක් දහමක් අහන්නට පෙර ඇති වූ යම් බැඳීමක් වේ නම් ඒ යෙදී ඇති යුතුකම් වලට පමණක් ඉඩ තබා ගෙන අප්‍රමාදී ව විමුක්තිය පිණිස කැප වූ චරිත මේ වන විටත් මේ සසරේ නෑ!  ඒ අය නිදහස් වුනා!  සියලු ම ආකාරයේ බන්ධනයන් ගෙන් නිදහස් වුනා!

එසේ වීමට ඔබටත් අවශ්‍ය නම්... ඒ අනුව යන්නට ඔබටත් අවශ්‍ය නම්... ඔබ පිරිච්ච චරිතයක් වෙන්නට ඕන... ලද දෙයින් සතුටට පත් වෙලා... ලබා ඇති දෙයින් උපරිම ඵල නෙලා ගැනීමට දක්ෂ වෙන ආකාරයේ පිරුණු චරිතයක් වෙන්න ඕන. “පාළුයි... තනියි... කියමින්, තනිකම් දෝසයෙන් පෙලෙන... කොතරම් ලැබුණ ත් පිරෙන්නේ නැති, පාළු මකන්නට අරමුණු හොයන... තනිය මකන්නට ඇසුරක් පතන... අන්ත අසරණ යාචකයෙක් නොවිය යුතුයි!

එසේ දක්ෂ නොවුනහොත්, සිහියට පත් නොවුනහොත් ඉතින් හැමදාම “පාළුව... තනිකම...” යැයි අඳෝනා ගසමින් දුකෙන් අසහනයෙන් පෙලෙන සංසාර දුක්ඛයට උරුම කම් කියන තවත් එක් අසරණ අනාථ සත්වයෙක් පමණක් ම වන්නට සිදු වන බවත්, එයින් නිදහස් වීමට නො හැකි වන බවත් නුවණින් වටහා ගත යුතුයි.  මේ වගේ “තමන්ගෙන් ම අහන්න!!!” කියලවත් සිහිපත් කරන්නටවත් කිසිවෙකු නැති කල්ප ගණන් අනාථ වන්නට සිදු වන ආකාරයේ තනිකමක් උරුම කර ගන්නට සිදු වෙන බව නිතරම සිහි තබා ගත යුතුයි!

“නිදහස...” “විමුක්තිය...” “නිවන...” කියන්නේ ඉබේ ලැබෙන දෙයක් නොවන බවත්, එය තමන් විසින් ම නුවණින් සිහියෙන් ගත  යුතු දැඩි... සෘජු... අවංක වූ තීරණයක ප්‍රතිඵලයක් බවත් සිහි තබා ගත යුතුයි!  

මෙවර “තමන්ගෙන් ම අහන්න!!!” ලිපි පෙලේ මේ කොටස අතිශයින් ම අප්‍රමාදී ප්‍රඥාවන්තයින් උදෙසා පමණයි! 

එසේ නොවන පිරිස යාචක වැඩපිළිවෙල සාධාරණීකරණය කරමින්, මාත් එක්ක තර්ක වාද කිරීමට කාලය නාස්ති කලාට ඵලක් වෙන්නේ නෑ හොඳේ!  

විශේෂයෙන් ම සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, රහත් ආදී ආර්ය ශ්‍රාවක චරිත උපමාවට ගෙන “එයාල ත් එහෙම කලා නේ” කියමින් තමන්ගේ කෙලෙස් සාධාරණීකරණය කර ගනිමින්, මග ඵල ලාභියෙක් යැයි රැවටුණු අසා ගත යුත්ත නිවැරදිව අසා නොගත් හිස් පෘතග්ජන පුද්ගලයෙක් නොවී සැබෑ ආර්ය ශ්‍රාවක චරිතයක් වීමට උත්සාහ කරත්වා!   

ප්‍රතිඵලය තමන් ට නේ!  එහෙම නේද?  ඉතින්, හැමදාම වගේ ඉතාමත් කල්‍යාණ මිත්‍රත්වයෙන් මේ සිහිපත් කරන්නේ තම තමන්ගේ ප්‍රශ්ණය නිසි සේ හඳුනා ගෙන, තම තමන්ගේ විමුක්තිය පිණිස ප්‍රඥාවන්ත ව නුවණැස උපදවා ගන්නට උත්සාහවන්ත විය යුතු බව සිහිපත් කරන්නටයි!

නැණවත් ව විමසන්න!!!... ඔව්... තමන්ගෙන් ම!!!

නිරන්තරයෙන් නිවන් මඟ කළ එළි කර ගන්නට මහෝපකාර වන්නා වූ වන්දනීය ගොතටුවේ රේවත කල්‍යාණ මිත්‍රයන් වහන්සේ විසින් මේ මාතෘකාවට අදාළ ව සටහන් තැබූ “අකම්පිත” සටහන් කිහිපයකුත් මෙසේ මේ සටහනට ම එකතු කරන්නේ “කල්‍යාණ මිත්‍රයා ඔබට සැම විටම, සැම කල්හි මේ දේ සිහිපත් කර ඇති බව සිහිපත් කරන්නටයි!”  

එසේ නම් විමුක්තිය පිණිස... අනතුරෙන් නිදහස් වීම පිණිස... නිවීම පිණිස ලැබෙන පණිවිඩය, හැම කල්හි අසිහියෙන් මඟ හරවා ගන්නේ කව්රුන් දැයි තමන්ගෙන් ම අහන්න!!!!