නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, February 1, 2023

තමන්ගෙන් අහන්න! (06 කොටස) - පාළුවේ... තනිකමේ... කෙලේසය දැක්කද?

 


“හරිම පාළුයි... මට තනියි... මට කව්රුවත් නෑ... නිකං ඉඳලා කම්මැළියි - මොනවා හරි කරන්න ඕන...” මේ වගේ කතා කියමින් මුහුණ දෙන “තනිකම... පාළුව...” ගැන මොකද හිතෙන්නේ... හුරු පුරුදුයි ද?  කැමති යි ද?  ඔබටත් මේ “තනිකම් දෝස” තියෙනවද? මේ ගැන පොඩ්ඩක් කතා කරමු කෝ.  මේ දේවල් ඉතින්, සුපුරුදු පරිදි තමන්ගෙන් ම අහන්න! 

පහුගිය වසංගත කාලේ ලෝකයේ රටවල් බොහෝමයක් වසා දැමුවා.  සමාජ ආශ්‍රය නවතා දැමුවා.  තම තමන් හදා ගත්ත ගෙවල් වලට වෙලා... තම තමන් ආදරය කරන තමන්ගේ ම පවුලේ පිරිස එක්ක විතරක් කාලය ගත කරන්නට සිද්ධ වුනා.  නමුත්, තමන්ගේ පවුලේ උදවියත් එක්ක සිටීමත් බොහෝ දෙනෙකුට අපහසු කාරණයක් වුනා.  මේ විදියට කව්රුන් එක්ක හෝ කව්රුවත් නැතුව හෝ තනියම ඉන්න සිදු වීම මානසික රෝගී තත්වයන් පවා ඇති කරන්නට සමත් වුනා. 

ඇයි මේ?  සාමාන්‍යයෙන් ඉතින්, පෙනෙන රූප, ඇහෙන ශබ්ද, දැනෙන ගන්ධ - රස - ස්පර්ශ, ආදිය මත යැපෙමින් නොයෙක් අරමුණු දරා ගෙන වින්දනයක් ලබන පුද්ගලයෙකුට මේ දේවල් සීමා වීම සැබැවින් ම අසහනකාරී වැඩපිළිවෙළක් බවට පත් වෙනවා.  අන්න ඒ නිසා තමයි බහුතරයක් පිරිස මේ විදියට තනි වෙන්නට අකමැති.  මොකද “තනි වීම” කියන්නේ තවත් ආකාරයකින් කියනවා නම් මේ කියන “පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින” වැඩපිළිවෙළට යම් කිසි ආකාරයකින් සීමාවක් පැනවීමක් නේ.  අන්න, ඒ නිසා ඒ සීමාවන් පැනවෙන කොට පාළුවක්... තනිකමක් දැනෙනවා. මේක තමයි ඉතින් ලෝක සත්වයා අරමුණු පසුපස හඹා යමින් සංසාරය සකස් කර ගන්නා වැඩපිළිවෙළ.

ඒ වැඩපිළිවෙල කරන බහුතරයක් වූ ලෝක සත්වයින් ව පොඩ්ඩකට ඉතින් අපි පැත්තකින් තියමු කෝ.  මේ “තමන් ගෙන් ම අහන්න!” කියලා කියන්නේ කාට ද?  ඔව් ඔබට!!!

“විමුක්ත වෙන්න ඕනෑ... අනේ ආයේ නම් ඉපදෙන්න බැරියෝ... නිවන් යන්න ඕනේ... හම්මෝ මේ ශාසනය මඟ හැර ගන්න නම් බැරියෝ... ආයේ ඉපදුනොත් අනාථයි...” කියමින් මේ උදේ දිවා රෑ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දුන්නා වූ බණ දහම් අහන... “පෙනෙන - ඇහෙන - දැනෙන - විඳින” වැඩපිළිවෙළින් ලෙසින් සකස් වෙලා එන උගුල ගැන විමසන... එයින් ගැලවෙන්න ඕනෑ යැයි කියමින් උත්සාහ දරන ඔබට යි මේ කියන්නේ... ඔබත් ඉතින් මේ “පාළුයි... තනියි...” කියමින් අරමුණු පසු පස හඹා යමින් නැවත, නැවත මේ සංසාර උගුලට ම හසු වෙනවා නම්, අන් අය ගැන කවර කතා ද?

ඉතින්, නුවණක් වේ නම් මේ ගැන සිහියෙන් නුවණින් විමසන්න.  “පාළුයි... තනියි... මට කව්රුවත් නෑ... මං වෙනුවෙන් කව්රුවත් නෑ...” මේ වගේ විවිධාකාර අඳෝනා ගසමින් නැවත මේ හසු වෙන්නේ සංසාර උගුලට ම නේද?  යාචකයෙක් වගේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළ ම යදිනවා.  කවදා කැප වෙන්න ද බලා ගෙන ඉන්නේ?    

දැන් ඔබට කාලයක් - වෙලාවක් ලැබිලා තියෙනවා නම්... යම් තාක් දුරකට හෝ නිදහස් ජීවිතයක් ලැබිලා තියෙනවා නම්... තනිවම වගකීම් අඩුවෙන්, කටයුතු අඩුවෙන් තමන්ගේ පැවැත්මේ යථාර්ථය ගැන විමසා බලන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා නම්... ඒ සියල්ල නැවත, නැවත නැති කර ගෙන ඒ නිදහස් බව තුල “පාළුවක්... තනිකමක්...” අත්දකිනවා නම්, තමන්ගේ අසිහියේ තරම හඳුනා ගන්න කෝ.

බණක් දහමක් අසමින් අප්‍රමාදී ව නිවී සැනසෙමින් විමුක්ත වෙන්නට අවශ්‍ය නම් තමන්ගේ මේ අසිහිය දැක ගන්නම වෙනවා.  ඇසුරු කරන්නට යමෙක් හෝ යමක් සොයමින් යැපෙන යාචක වැඩපිළිවෙළ හඳුනා ගන්නම වෙනවා.

ලෙඩක් දුකක් හැදුණ වෙලාවක් හිතන්න... කොහොමත් ලෙඩක් හැදුණා ම තනිවම කාලය ගත කරන්නට සිදු වෙනවා.  රෝහලක වුණත් නිතර බලන්න දෙන්නේ නැතිව කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ නිදහස, විවේකය ලබා දෙන්නට ඕන නිසානේ. බණක්, දහමක් අහන්නේ නැති මිනිසුන් පවා ඒ දේවල් වටහා ගෙන ඒ අත්දැකීමට යහපත් ව සිහියෙන් මුහුණ දෙන ආකාරය අපට දැක ගන්නට තිබෙනවා නේ.  නමුත්, මේ බණ දහම් අසා ගන්න ඔබ?  සාමාන්‍ය බුද්ධිය පවා නැති වෙලා වගේ නේද? බණ දහම් කියලා මොනවද ඇත්තටම අහ ගන්නේ?  තමන්ගෙන් ම අහන්න!!!

ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුණා ම ත් “පාළුයි... තනියි... කාංසියි...” කියමින් අරමුණු හඹා යනවා මිසක් යථාර්ථය අත්දකින්ට, විමසන්නට නුවණ මෙහෙයවන්නේ නෑ.  තවමත් විවාහ වෙලා නැත්නම් “පාළුයි... තනියි... කාංසියි...” කියමින් “විවාහ වෙලා දෙන්නම නිවන් යන්නත් පුළුවන් නේ ඉතින්” කියමින් ඇසුරු කරන්නට අරමුණු හඹා යනවා මිසක් ලැබූ නිදහස් බවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ... විවාහ වෙලා දරුවන් තවමත් නැත්නම් “විශාකාව ත් දරුවන් ගොඩක් හැදුවේ” කියමින් “ජාතිය නඟා සිටුවන්නට හදනවා මිසක් ජාතිය නිරෝධය පිණිස සිහිය නුවණ මෙහෙයවන්නේ නෑ. දරුවෙක් බැරි නම් එක්කෝ සතෙක් හරි හදා ගන්නවා... කටයුතු අඩුවෙන් හිටියා නම් කටයුතු වැඩි කර ගන්නවා... කාර්ය බහුල වෙනවා... මේ කිසිම දෙයක් නැත්නම් එකතු වෙලා බණ දහම් කතා කරන්න කියලා නේ තියෙන්නේ කියලා බණ දහම් සම්බන්ධ වැඩසටහන් ටිකක් හරි වැඩි කර ගෙන කාර්ය බහුල වෙනවා.  අන්තිමට දස කතාවෙන් යුතු බණ දහම් වෙනුවට දෙ තිස් කතාවට ම යොමු වෙලා වංචනික ධර්මයන් වලට ම අහු වෙලා “තනිකම... පාළුව...” නැති කර ගන්නට තමයි මේ උත්සාහය නේද?       

ඉතින්, මම මුලින් ම කිව්වනේ මේ කියන්නේ නිරන්තරයෙන් අරමුණු සොයමින් අරමුණු මත යැපෙන බහුතරය වෙනුවෙන් නෙවේ කියලා. මේ කියන්නේ අප්‍රමාදී ව විමුක්ත වෙන්නට ඕනෑ කියන ඔබට යි.  තවමත් විමුක්තිය ගැන සිතක් වත් පහල වී නැති බහුතරයට මේ කියන කාරණය එක සේ වටහා ගැනීමට නො හැකියි නේ ඒ නිසා.  ඔබටත් ඉතින් ටිකක් සැර වැඩියි කියලා මට ඉතින් කියයි.  නමුත්, මේ විහිළුව ඉක්මනින් ම නැවතුණේ නැත්නම් අනාථ වෙන්නේ ඔබමයි නේද කියලා තමන්ගෙන් ම අහන්න!

“අනේ අපිට හරි මඟ කියන්න... අසිහියෙන් කටයුතු කරන විට සිහිය පිණිස සිහිපත් කරන්න කව්රුවත් හිටියේ නෑ නේ... විමුක්තිය පිණිස වචනයකින් හෝ උපකාරයක් වෙන්න කව්රුවත් හිටියේ නෑ නේ...” කියලා ඔබට දැන් කියන්න බෑ!  මොකද ඒ සහාය මේ විදියට හරි මට හැකි පමණින් ඔන්න හැමදාම වගේ ලබා දුන්නා!  නමුත්, අරමුණක් ගානේ උදේ ඉඳන් රෑ වෙනකම් “අහු වෙන්න නම් එපා” කියලා ඔබේ පසු පසින් ඉඳ ගෙන සහාය වෙන්න කාටවත් බෑනේ නේද?    තම තමන්ගේ විමුක්තිය පිණිස තම තමන් කැප විය යුතුයි!      

ඉතින්, තමන්ගේ විමුක්තිය පිණිස අවංක විය යුතුයි!  වංක වෙලා... වංචනික ධර්මයන් ට මුල් තැන දීලා ලැබිය හැකි නිවනක් නැති බව නුවණින් දැකිය යුතුයි.  මුළු සසර පුරාම අනාථ වුනේ මේ අවංක බව... සෘජු බව අප තුල තිබුණේ නැති නිසයි.  නැවත, නැවත එයම කර ගන්නවා ද කියලා තමන්ගෙන් ම අහලා බලන්න! 

අති දුර්ලභ බුද්ධ ශාසනයකුත් ලැබිලා... විමුක්තිය පිණිස මඟ පෙන්වන කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබිලා... සංසාර අනතුර ගැන නිතරම අසා ගන්නට ලැබිලා... අවශ්‍ය කරන නිදහසත් පදමට ලැබිලා... කර ගත යුතු දේ කර ගන්නේ නැතිව තවත් මොනවද මේ අසිහියෙන් කරන කටයුතු?  තමන්ගෙන් ම අහන්න!

අමතක කරන්න එපා... ගැලවීමක් නැති ම අවස්ථා වල දී මංගල රථයෙන් පැන ගිය... විවාහ වෙන්න දින යොදා ගෙනත් විවාහ නො වුන... බලහත්කාරයෙන් විවාහ වෙන්න සිද්ධ වුන අවස්ථා වල දී දරුවන් හදා ගෙන තව තවත් බැඳීම් වැඩි කර ගත්තේ නැති... ඉපදුන ගමන් දරුවන් ව පඳුරු යට තියලා බණ අහන්න ආව... විවාහ වෙලා හිටිය සහකාරයා ව, සහකාරිය ව ඔවුන්ට රිසි මඟ යන්නට නිදහස් කරලා නිදහස් බව ලබා ගත්ත... ලෝක සම්මත කටයුතු අවම කර ගත්ත... බන්ධනයන් අවම කර ගත්ත... කල යුතුම සහ බණක් දහමක් අහන්නට පෙර ඇති වූ යම් බැඳීමක් වේ නම් ඒ යෙදී ඇති යුතුකම් වලට පමණක් ඉඩ තබා ගෙන අප්‍රමාදී ව විමුක්තිය පිණිස කැප වූ චරිත මේ වන විටත් මේ සසරේ නෑ!  ඒ අය නිදහස් වුනා!  සියලු ම ආකාරයේ බන්ධනයන් ගෙන් නිදහස් වුනා!

එසේ වීමට ඔබටත් අවශ්‍ය නම්... ඒ අනුව යන්නට ඔබටත් අවශ්‍ය නම්... ඔබ පිරිච්ච චරිතයක් වෙන්නට ඕන... ලද දෙයින් සතුටට පත් වෙලා... ලබා ඇති දෙයින් උපරිම ඵල නෙලා ගැනීමට දක්ෂ වෙන ආකාරයේ පිරුණු චරිතයක් වෙන්න ඕන. “පාළුයි... තනියි... කියමින්, තනිකම් දෝසයෙන් පෙලෙන... කොතරම් ලැබුණ ත් පිරෙන්නේ නැති, පාළු මකන්නට අරමුණු හොයන... තනිය මකන්නට ඇසුරක් පතන... අන්ත අසරණ යාචකයෙක් නොවිය යුතුයි!

එසේ දක්ෂ නොවුනහොත්, සිහියට පත් නොවුනහොත් ඉතින් හැමදාම “පාළුව... තනිකම...” යැයි අඳෝනා ගසමින් දුකෙන් අසහනයෙන් පෙලෙන සංසාර දුක්ඛයට උරුම කම් කියන තවත් එක් අසරණ අනාථ සත්වයෙක් පමණක් ම වන්නට සිදු වන බවත්, එයින් නිදහස් වීමට නො හැකි වන බවත් නුවණින් වටහා ගත යුතුයි.  මේ වගේ “තමන්ගෙන් ම අහන්න!!!” කියලවත් සිහිපත් කරන්නටවත් කිසිවෙකු නැති කල්ප ගණන් අනාථ වන්නට සිදු වන ආකාරයේ තනිකමක් උරුම කර ගන්නට සිදු වෙන බව නිතරම සිහි තබා ගත යුතුයි!

“නිදහස...” “විමුක්තිය...” “නිවන...” කියන්නේ ඉබේ ලැබෙන දෙයක් නොවන බවත්, එය තමන් විසින් ම නුවණින් සිහියෙන් ගත  යුතු දැඩි... සෘජු... අවංක වූ තීරණයක ප්‍රතිඵලයක් බවත් සිහි තබා ගත යුතුයි!  

මෙවර “තමන්ගෙන් ම අහන්න!!!” ලිපි පෙලේ මේ කොටස අතිශයින් ම අප්‍රමාදී ප්‍රඥාවන්තයින් උදෙසා පමණයි! 

එසේ නොවන පිරිස යාචක වැඩපිළිවෙල සාධාරණීකරණය කරමින්, මාත් එක්ක තර්ක වාද කිරීමට කාලය නාස්ති කලාට ඵලක් වෙන්නේ නෑ හොඳේ!  

විශේෂයෙන් ම සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, රහත් ආදී ආර්ය ශ්‍රාවක චරිත උපමාවට ගෙන “එයාල ත් එහෙම කලා නේ” කියමින් තමන්ගේ කෙලෙස් සාධාරණීකරණය කර ගනිමින්, මග ඵල ලාභියෙක් යැයි රැවටුණු අසා ගත යුත්ත නිවැරදිව අසා නොගත් හිස් පෘතග්ජන පුද්ගලයෙක් නොවී සැබෑ ආර්ය ශ්‍රාවක චරිතයක් වීමට උත්සාහ කරත්වා!   

ප්‍රතිඵලය තමන් ට නේ!  එහෙම නේද?  ඉතින්, හැමදාම වගේ ඉතාමත් කල්‍යාණ මිත්‍රත්වයෙන් මේ සිහිපත් කරන්නේ තම තමන්ගේ ප්‍රශ්ණය නිසි සේ හඳුනා ගෙන, තම තමන්ගේ විමුක්තිය පිණිස ප්‍රඥාවන්ත ව නුවණැස උපදවා ගන්නට උත්සාහවන්ත විය යුතු බව සිහිපත් කරන්නටයි!

නැණවත් ව විමසන්න!!!... ඔව්... තමන්ගෙන් ම!!!

නිරන්තරයෙන් නිවන් මඟ කළ එළි කර ගන්නට මහෝපකාර වන්නා වූ වන්දනීය ගොතටුවේ රේවත කල්‍යාණ මිත්‍රයන් වහන්සේ විසින් මේ මාතෘකාවට අදාළ ව සටහන් තැබූ “අකම්පිත” සටහන් කිහිපයකුත් මෙසේ මේ සටහනට ම එකතු කරන්නේ “කල්‍යාණ මිත්‍රයා ඔබට සැම විටම, සැම කල්හි මේ දේ සිහිපත් කර ඇති බව සිහිපත් කරන්නටයි!”  

එසේ නම් විමුක්තිය පිණිස... අනතුරෙන් නිදහස් වීම පිණිස... නිවීම පිණිස ලැබෙන පණිවිඩය, හැම කල්හි අසිහියෙන් මඟ හරවා ගන්නේ කව්රුන් දැයි තමන්ගෙන් ම අහන්න!!!!




Thursday, January 26, 2023

විහින් අනාථ නොවෙන්නට

පසුගිය දිනක “වට්ස්ඇප් (WhatsApp)” හරහා බෙදා ගන්නා මෙම ලිපිය අහම්බෙන් කියවන්නට ලැබුණා.  නිසදැසක ස්වරූපයෙන් සටහන් තබා ඇති මේ ලිපිය ඔබ දැනටමත් සමහර විට කියවලා ඇති.  කියවලා නැත්නම් ඔන්න කියවන්න කෝ. 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.

"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්‍ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ? 🤨

"ඇයි, මගෙ ළමයි?"🥺

"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා" 😢

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....

හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද?

මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, අය පූර්ණව ස්වාධීන වෙලා අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.

ඒත්....

දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕනඋදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.

බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්, පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.

මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.

අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ...

මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.

පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.

ඉතින් ඊට පස්සෙ?

නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.

ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..

අද මං අවදි වෙලා...!!!

මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි...

ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි...? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි...?

ඔයාලට මේ කියන්නේ .....

ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න. 

හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:  ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.  🙏🙏🙏 

නිර්වාණ ධර්ම පණිවිඩය

ඉතින්, මේ ලිපිය කියවලා... ඒකේ වචන ටික එකතු කරගෙන "අනේ ඔව් නේ ඕක තමයි අපේ හැටි... අපේ ජීවිත.." කියමින් නැවතත් ඒ යාචක වැඩපිළිවෙළ ම කර ගන්න එක නෙවේ වෙන්න ඕන.  නුවණින් තමන් ව... තමන්ගේ ජීවිතය විනිවිද දකිමින් කියවන්නට උත්සාහ කරන්න...🙏🙏🙏

දැනෙනවා ද...  අපි හැම මොහොතේ ම යමක් හොයනවා... යාචකයෝ වගේ අරමුණක් හොයමින් යැපෙන වා...

ඇත්තටම අපි කොච්චර අනාථයි ද කියනවා නම්, මේ කියැවෙන ජීවිතයට කොටු වීමට වඩා අසරණ වැඩක් අපට සිද්ධ වෙනවා. 

ඒ තමයි මේ අනාථ බවින් මිදෙන්නට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍ර ඇසුරත් ලැබිලා... මොහොතක් පාසා අනතුරට පත් වෙන්නේ කොහොමද එයින් ගැලවෙන්නේ කොහොමද කියන දේත්, නිතරම අහගෙන... “මම නම් සිහියෙන් ඉන්නේ” කිය කියා කියමින්.. “මම නම් සමථ විදර්ශනා වඩනවා... භාවනාවේ ඉන්නේ” කියමින් මේ යාචක වැඩපිළිවෙළ තුළ ම බැස ගැනීම ම... කොතරම් අනාථ අසරණ බවක් ද?

මේ තමන්ට ම සිදු කර ගන්නා වංචාව ගැන තමන්ගෙන් ම අහන්න...🙏🙏🙏

තව මොනවද හොයන්නේ? තව මොනවද නැත්තේ...? ලැබිලා තියෙන දෙයින් සතුටු වෙලා.. ලද දේ කෙරෙහි කෘතවේදී වෙලා මේ අනාථ බවෙන්... යාචක බවෙන් මිදෙන්න උත්සහ කරන්න!

මෙහෙම සිහිපත් කරන්න තරම් වත් කෙනෙක් නැවත කල්ප කාලාන්තරයක ට හමු නොවන තරමට ම මේ සසර බියකරු බව හැකි නම් වටහා ගනිත්වා! 🙏🙏🙏

වාසනාවට පයින් නො ගසා කල්‍යාණ මිත්‍රත්වය ම ලබත්වා!