නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, June 11, 2018

තමන්ගෙන් අහන්න! (04 කොටස) - මුලින්ම පහර ශ්‍රද්ධා ඉන්ද්‍රියටද???

එහෙනම් ප්‍රවේශමෙන්!
මේ සමහර දේශනා අහන විට අසන්නට ලැබෙන ප්‍රකට කරුණක්... 
මෙකල බහුල දේශකයෝ... 

කියන්නෝ... 
“දැන් හොඳට බලන්න, බුදු පිළිමය කියන්නේ මොකක්ද? සිමෙන්ති ගල් වැලි වලින් එකතු වෙලා හැදුන සංඛතයක්. දැන් හොඳට බලන්න.. මෙච්චර කල් වැන්දේ කාටද?” 

අසන්නෝ... 
“සාධු සාධු අපේ හාමුදුරුවනේ අපිට පිස්සු නේද? දැන් තමයි අවබෝධයට පත්වුනේ... සිමෙන්ති ගල් වැලි වලට වැද වැද නිවන් හෙව්වනේ අපිත්... ඔබවහන්සේලා අපට මහා ආශිර්වාදයක්” 

තවත් විටෙක මෙසේද කියන්නෝ සිටිත්... 
“සිමෙන්ති ගොඩකට වැද වැද චෛත්‍ය කියලා මහා ලොකුවට හදාගෙන නිවන් හොයනවා... මෝඩ වෙන්න එපා... මල් වට්ටි වලට පන්න පන්න අත ගහ ගහා... පිරිකර පූජා කර කර නිවන් යන්න පුළුවන්ද? ඕවා මොන්ටිසෝරි වැඩ...” 

අසන්නෝ... 
“සාධු සාධු දේශකයාණෙනි, අපි වගේ මෝඩයෝ... ඔබවහන්සේලා වගේ උතුමන් පහල වුනේ නැතිනම් කොහොමද අපි මේ දේවල් දැනගන්නේ? ඔබවහන්සේලා අපට මහා ආශිර්වාදයක්” 

කියන්නෝ විටෙක මෙසේද කියති... 
“ඔය වගේ පූජා කරන්න වඳින්න කියලා බුදු හාමුදුරුවෝ කියලා නෑ... ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? පෙන්වන්න බලන්න... (පෙන්වූ කල ඒවා පසුව එකතු කල දෑද යැයි කියති)... ඒ නිසා බුදු හාමුදුරුවෝ නොකියූ දහමක් කියන එක අදහමක් දහමක් විදියට පෙන්වා දීමක්... ඒ විදියට කලාම ආනන්තරීය පාපකර්මයක් වෙනවා... සංඝ භේද සූත්‍ර වල තියෙන්නේ... සංඝ භේදය කියන ආනන්තරීය පාප කර්මයන්ට අහුවෙනවා” 

අසන්නෝ... 
“සාධු සාධු අනේ අම්මෝ අපි බේරුන බේරිල්ලක්... මින් පස්සේ නම් ඔය මෝඩ වැඩ කරන්නේ නෑ... ඔබවහන්සේලා අපට මහා ආශිර්වාදයක්... ඔබවහන්සේ නම් රහතන්වහන්සේ කෙනෙක්ම තමයි” 

මේ ආකාරයෙන් කොතරම් නම් මෙකල සිද්ධ වෙනවාද?
විමසන්න... අහන්න තමන්ගෙන්ම...! 

ඇයි බුදු පිළිමයක්ම උපමාවට ගන්නේ... තමන් ආදරෙයන් ආශාවෙන් රැකගෙන ගෙදර ලස්සනට තියාගෙන ඉන්න වෙනත් පිළිම වර්ග ගන්නේ නැතිව ඇයි බුදු පිළිමයක්ම උපමාවට ගන්නේ? අහන්න තමන්ගෙන්ම...! නුවණින් විමසන්න... 

උදේ දිවා රෑ රැකගන්නට වෙහෙස වෙන ගල් වැලි සිමෙන්ති වලින් සකස් කල ගෙදර ගන්නේ නැතිව... ඇයි මේ ඉදලා හිටලා හෝ වදින්නට යන චෛත්‍යයක්ම උපමාවට ගන්නේ? අහන්න තමන්ගෙන්ම...!  නුවණින් විමසන්න... 

ප්‍රතිරූපකයා පැමිණෙන්නේ ධර්මය වැනි වූ දේ රැගෙනමයි. සංඛතය ගැන අනුමාන හෝ අදහසක් වේ නම් එවැන්නෙක් මේ ආකාරයෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රියට බලපෑම් කරන්නේ නෑ. ශ්‍රද්ධාව යනු ප්‍රඥාවත් සමඟ එකට බැඳුන කාරණයක්. එය නුවණින් විමසා අවබෝධ කරගත යුතුයි. 

“කියන්නෝ කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුුතුයි”. මේ දේ නොවන නිසාම මේ වන විට ප්‍රතිරූපක එන්නම එන්නම ප්‍රබල වෙමින් මග ඵල ලැබූවන් සේ හැසිරෙන පිරිස බහුල වෙමින් තිබෙනවා. තමන්ට අවංකවම නිවීමක් අවශ්‍ය වේ නම් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශ්‍රද්ධ, විරිය, සති, සමාධි, ප්‍රඥා බලයන්ගේ වැදගත්කම සහ ඒවා වැඩෙන ආකාරය අවබෝධ කරගත යුතු වෙනවා. සංඛතය පිළිබඳව අනුමාන හෝ ඥානයක් වේ නම් ඔය ආකාරයෙන් ඉහත කී ආකාරයේ කතාවන් ප්‍රකට කරන්නේ නෑ. 

අනවබෝධයෙන් යම් යම් ප්‍රකාශ කරන විට මේ කියන කාරණා ඉස්මතු වෙනවා. තම තමන්ගේ සිත් වල තිබෙන්නාවූ කෙලෙස් කහට නිසාම මේ දේවල් ඉතාමත් නිවැරදි බව තමයි දැනෙන්නේ. රාගයෙන් දැවි දැවී, ද්වේශයෙන් දැවී දැවී... විශේෂයෙන්ම මෝහය ගැන වගක්වත් නැතිව මුලින්ම අවබෝධ කරගත්තා යැයි සිතෙන්නේ බුදු පිළිමය සිමෙන්තියෙන් මැටියෙන් හැදූවක් බවත් එයට වන්දනා කිරීම මුලාවක් බවත්ය. හේතුව තමයි මේ ක්‍රියාවලියට තියෙන අලස බව... ශ්‍රද්ධා ඉන්ද්‍රියේ තිබෙන දුර්වල බව... මේ ක්‍රියාවන් තුල නිවෙන වැඩෙන ආකාරය දැනගන්නට සැබෑම පිරිසිදු සත්ධර්මයට කණ යොමු කරන්න. 

නිතර තමන් අසාගන්නා දේ තමන්ගේ දැනුමෙන් මනින්නේ නැතිව පෙර නොඇසූ විරූ තවමත් තමන් නොදුටු තථාගත සත්ධර්මය හඳුනාගන්නට යොමු කරන්නට. එවිට කවදාවත් වරදින්නේ නෑ. සත්ධර්ම ප්‍රතිරූපක හඳුනාගෙන කොතරම් උත්සාහ කලත් පරදන්නට නොහැකි ප්‍රතිරූපකයන්ගේ ප්‍රබල බව හඳුනාගෙන අප්‍රමාදී වීමට කටයුතු සම්පාදනය කරගන්න! 

අහන්න... තමන්ගෙන්ම... 
තෙරුවණේ අසිරිය හඳුනාගෙන අත්දැකගෙන සැනසෙන්න! 

Sunday, June 10, 2018

අසාගන්නා දේ තුලින් දැනුවත් වීම යථාවබෝධය නොවේ!


“යථාවබෝධය යනු තවත් කෙනෙකුගේ අදහස් හෝ වචන හෝ සිතැඟි නොවේ. යථාවබෝධය මේ සියලු වචන, අදහස්, සිතැඟි, පැහැදිලි කිරීම් ආදිය ඉක්මවා ගියාවූ දෙයකි. යමෙක් යථාවබෝධයෙන් යුතුව යමක් පවසන්නට උත්සාහ දරන විට ඒ සියලුම දෑ ඒ පුද්ගලයාගේ යථාවබෝධයේ ප්‍රක්ෂේපනයක් මිස එය යථාවබෝධය නොවේ. ප්‍රක්ෂේපනයක් පමණි! එබැවින් ඒ ප්‍රක්ෂේපනය ඔස්සේ මං මුලා නොවීමට අසන්නා දක්ෂ විය යුතුයි. එසේ නොවුනහොත් යථාවබෝධය ලෙසින් තවත් යථාවබෝධයෙන් යුතුව යමක් ප්‍රකාශ කරන්නවුන්ගේ ප්‍රක්ෂේපනයන් අහුලාගෙන ඒවා එකතු කොටගෙන තමනුත් යථාවබෝධයට පත්වූ සෙයක් දැනෙන්නට හැකිය. අනතුර හැඳිනගන්නා දක්ෂයා යථාවබෝධය ලබයි!” 

මේ කියමන තුලින් කියන්නට උත්සාහ කල අදහස අපහැදිලි යමෙක් වේ නම්, ඒ කෙටියෙන් පැවසූ දේ තරමක් විග්‍රහ කර දෙන්නට උත්සාහයක් දරන්නම්. 

යථාවබෝධය යනු අත්දැකීමක්. මෙසේ කියන විටදීද එය වරදවා අදහස ගැනීමට ඇති හැකියාව ගැන තමයි කියන්නට උත්සාහ කලේ. අත්දැකීම විග්‍රහ කරන්නට නොහැකියිනේ. එවිට ඒ සෑම ප්‍රකාශයක් තුලම තියෙන්නේ අත්දැකීම නිසාම තමන්ට දැනුන සහ ඒ හේතුවෙන් තමන් අත්දකින යම් යම් කාරණාම මිස ඒ ලැබූ අත්දැකීමේ ස්වභාවය නොවේ. මන්ද එය කිසිම විටෙක වචනයට ගලපන්නට හැකි කාරණයක් නොවන නිසාමයි. 

වචන සකස් වුනේ පැවැත්ම පිණිස. යම් අදහසක් ප්‍රකාශ කරගැනීමේ පහසුව පිණිස සකසා ගත් වචන පද තුලින් අදහස නිවැරදිව ප්‍රකාශ කරනවා යන්න කරන්නට නොහැකි දෙයක්. මන්ද ඒ අදහස ප්‍රකාශ කරන්නට සකස් කරගත් බහුතරයක් මේ යැයි සම්මත කරගත් ආකාරයක් මිස එය ඒ අදහස නොවේ. 

උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. ලෝකයේ මායාකාරී ස්වභාවය අත්දැකීමක් බවට පත්ව යථාර්ථ අවබෝධ කරගන්න කෙනෙක් ඒ ස්වභාවය විග්‍රහ කරන්නේ බොහෝ විට තමන් විසින් ඒ මායාකාරී ලෝකය දකින නොයෙක් නොයෙක් ආකාර තුලින්. ඒ කියන්නේ යථාවත් ක්‍රියාවලිය අත්දැකීමක්ව අවබෝධයෙන් සිටින්නෙක් ඒ ස්වභාවය ගැන විග්‍රහ කරන්නට හැකි ආසන්නතම ක්‍රියාවලියක් උපමාවක් ලෙසින් ගෙන ඒ ක්‍රියාවලිය විග්‍රහ කරන්නට උත්සාහ කරනවා. 

මිරිඟුව කියන උපමාව හිතමුකෝ. මේ සියලු දේ මිරිඟුවක් වගේ හෝ එතැන සිදුවන ක්‍රියාවලිය හෝ තුලින් මිරිඟුව තුල තිබෙන මායාකාරී ස්වභාවයෙන් ප්‍රකාශ කරනවා. එවිට අසන්නා විසින්, “ආ ඇත්ත තමයි ලෝකය මිරිඟුවක් වගේ මායාකාරී තමයි. එය ඔප්පු වෙන මෙන්න මේ මේ අවස්ථාද තිබෙනවා” යැයි ගත් විට ඒ ගන්නේ අර යථාවබෝධයෙන් යුතුව ප්‍රකාශ කල කෙනා ප්‍රක්ෂේපනය කල යම් කාරණයක් තුලින් මිස ඒ ලැබූ යථාවබෝධයෙන් නොවේ. 

අවබෝධය ලැබූ කෙනා යම් යම් දෑට ගලපමින් එය විග්‍රහ කරන විට අසන්නාද ඒ ඔස්සේ සිතා ගලපා ඒ දෑ තුලින් යථාර්ථය මෙය යැයි අනුමාන කරමින් ලබන ඥානයක් මිස යථාවබෝධය නොවේ. ඉන්පසුව එවැනි ආකාරයෙන් ලැබූ දැනුම යථාවබෝධය ලෙසින් රැවටෙනවා. ඉන්පසුව ඒ අය නැවත යථාවබෝධය ලැබූ අය මෙන් අන් අයට විග්‍රහ කරනවා. එවිට අර දැනුමෙන් රැස් කරගත් දේ ඉදිරිපත්වන ස්වභාවය ඉස්මතු වෙනවා. 

එහෙත් එවිට දෙසන්නෙක් බවට පත්ව ඇති නිසා එතැන සිදුවූ වරද වරද ලෙසින් දැකගන්නටද නොහැකි ආකාරයෙන්ම ඒ දැනුම අවබෝධයක් ලෙසින් වරදවා වටහාගෙන නිගමනයට පත්ව අවසන්. ඒ දේ අසන්නෝ මේ දැනුම අවබෝධ කරගත් කාරණයක් ලෙසින් අසා නැවතත් යමක් පෙර ආකාරයෙන්ම ගලපා අවබෝධ කරගන්නවා. මේ ආකාරයෙන් තමයි සිදුවන්නේ. මෙන්න මේ අනතුර හඳුනාගන්නට දක්ෂ විය යුතුයි. 

කෙටියෙන් කියනවා නම් යථාවබෝධයට පත්වූවෙක් තුලින් බොහෝ විට දුක්ඛ ආර්ය සත්‍යයට හෙවත් ඵලයට අදාල කාරණා බොහෝ විට ප්‍රක්ෂේපනය විය හැකියි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයය හෙවත් හේතුව පිළිබඳව විග්‍රහ කිරීමේදීද යොදාගන්නට සිදුවන්නේ මේ කියන්නාවූ ඵලයට අදාල කාරණා තුලින් තෝරාගත් යම් යම් අවස්ථාවන් උපමාවන් වශයෙන් ඉදිරිපත් කරමිනුයි. 

එවිට අසන්නාට නිවැරදිව ශ්‍රවණය නොකරන විට ඒ පුද්ගලයා ඉන්ද්‍රිය ගෝචර මට්ටමක්ම එයින් තෝරාගෙන එය තමයි අවබෝධය ලෙසින් වරදවා වටහාගන්නවා. ඉන්ද්‍රිය ගෝචර කියන විට මන ඉන්ද්‍රියයද ඇතුලත්. යථාවබෝධය කියන්නේ ප්‍රඥා ගෝචර කාරණයක් මිස මන ඉන්ද්‍රිය හෝ වෙනත් ඉන්ද්‍රියයන්ට ගෝචර කාරණයක් නෙවේ. ඒ නිසාම තමයි යමක් ඔස්සේ හිතලා හිතලා යථාර්ථය කියන දේ අවබෝධ කරගන්නට නොහැකි. ඒත එය බොහෝ දෙනෙක් හඳුනාගන්නට දක්ෂ නෑ. 

ඉතින් මෙන්න මේ වගේ අකරතැබ්බයක් තමයි බහුලවම වෙන්නේ. අනතුර හඳුනා නොගත්නිසාම අවසානයේ යථාර්ථය යනු අවබෝධ කරගන්නට බොහෝම පහසු අපහසු වුවත් ටිකක් වෙහෙස වුවොත් කරගන්නට හැකි කාරණයක් සේ තමයි මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ. 

ඉතින් මේ කියූ කාරණාවන්ද ප්‍රක්ෂේපනයක්ම මිස කියන්නට අවශ්‍ය කරන කාරණය නිවැරදිව ප්‍රකාශ වන අවස්ථාවක් නොවේ යන්න දන්නේද වැටහෙන්නේද මේ කාරණය ප්‍රකාශ කරන්නාටම තමයි. 

Friday, June 1, 2018

තමන්ගෙන් අහන්න! (03 කොටස) - මතයට අනුවයි දහමේ ඇසුර!!!

ඔන්න එදිනෙදා කතාවක... 
“ ඒ ස්වාමීන්වහන්සේට පිළිකාවක් / දරුණු අසනීප තත්වයක් / හැදිලා අනේ අපවත් වුණේ” 

ඒ ස්වාමීන්වහන්සේගේ අනුගාමිකයා: 
"පෙර කල කර්ම විපාකනේ අනේ... උතුමන්ටවත් ගැලවීමක් නෑ."

ඒ ස්වාමීන්වහන්සේගේ විරුද්ධවාදියා: 
"ධර්මය විකෘති කරන කොට, චීවරය දරාගෙන හරියට හැසිරුනේ නැතිවුණාම... ඔහොම තමයි වෙන්නේ... ධර්මයෙත් තියෙනවානේ ඔහොම වෙනවා කියලා... කුණු වෙලා මැරෙන්න වෙන්නේ...සෙල්ලං නෑ ධර්මයත් එක්ක සෙල්ලං කලාම "

ඔය දෙපාර්ශවයටම නැති අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නා:
දෙපාර්ශවයටම සත්ධර්මය තුලින් නිවී සැනසෙන මඟ විවර කර දීමේ අරමුණින් යුතුව - සත්ධර්මයට අනුව හේතුවට අනුව ඵලය ලැබෙනවා. සම්මා සම්බුදු පියාණන්වහන්සේට උතුම් රහතුන්වහන්සේලාට වුණත් එය පොදු කරුණක්. ඒ නිසා මතුපිට කාරණා තුලින් තම තමන් ඉන්නා මතයන් තුලින් තීන්දු තීරණ නොගත යුතුයි.  පෙර සිදුකල කර්ම විපාකයන්ට අනුව යහපත් අයහපත් ලෙසින් අප මැනගෙන ඉන්න විපාක ගෙන දෙනවා.  ඒක තමයි ක්‍රමය.  ඒ නිසා මේ ආකාරයෙන් පුද්ගලත්වයෙන් ගෙන නිගමනයන්ට පත්වෙලා කටයුතු නොකල යුතුයි.  ධර්මයට අනුව විමසා බැලිය යුතුයි!

ඒ ස්වාමීන්වහන්සේගේ අනුගාමිකයා: 
"සාධු... සාධු... සාධු... ඒකම තමයි අපිත් මේ කියන්නේ"

ඒ ස්වාමීන්වහන්සේගේ විරුද්ධවාදියා: 
"ආ... ඔය ඉන්නේ තව එකෙක්... අර ගොඩේම තමයි... අනුගාමිකයෝ වෙලා ධර්මයත් යොදාගන්නවා වාසියට... ඕකූන්ටත් වෙන්නේ ඔය විදියටම මැරෙන්න තමයි... "

මේ අතර විරුද්ධවාදියා ඇසුරු කරන ඔහු / ඇය අනුගාමික වූ හිමි නමක්ද ඒ ආකාරයෙන් රෝගාතුර වෙයි... 

පෙර ස්වාමීන්වහන්සේගේ විරුද්ධවාදියා මෙවර මේ ස්වාමීන්වහන්සේගේ අනුගාමිකයාගේ චරිතය හොබවයි: 
පෙර කල කර්ම විපාකනේ අනේ... උතුමන්ටවත් ගැලවීමක් නෑ. 

පෙර ස්වාමීන්වහන්සේගේ අනුගාමිකයා මෙවර මේ ස්වාමීන්වහන්සේගේ විරුද්ධවාදියාගේ චරිතය හොබවයි: 
"ධර්මය විකෘති කරන කොට, චීවරය දරාගනෙ හරියට හැසිරුනේ නැතිවුණාම... ඔහොම තමයි වෙන්නේ... ධර්මයෙත් වෙන්නේ... කුණු වෙලා මැරෙන්න වෙන්නේ... අපේ උතුම් හාමුදුරුවන්ට කියපු ඒවාටම තමයි ඔහොම වුනේ... ඔහොම වෙලා මදි..." 


ඔය දෙපාර්ශවයටම නැති අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නා:
දෙපාර්ශවයටම සත්ධර්මය තුලින් නිවී සැනසෙන මඟ විවර කර දීමේ අරමුණින් යුතුව - සත්ධර්මයට අනුව හේතුවට අනුව ඵලය ලැබෙනවා. සම්මා සම්බුදු පියාණන්වහන්සේට උතුම් රහතුන්වහන්සේලාට වුණත් එය පොදු කරුණක්. ඒ නිසා මතුපිට කාරණා තුලින් තම තමන් ඉන්නා මතයන් තුලින් තීන්දු තීරණ නොගත යුතුයි.  පෙර සිදුකල කර්ම විපාකයන්ට අනුව යහපත් අයහපත් ලෙසින් අප මැනගෙන ඉන්න විපාක ගෙන දෙනවා.  ඒක තමයි ක්‍රමය.  ඒ නිසා මේ ආකාරයෙන් පුද්ගලත්වයෙන් ගෙන නිගමනයන්ට පත්වෙලා කටයුතු නොකල යුතුයි.  ධර්මයට අනුව විමසා බැලිය යුතුයි!

පෙර ස්වාමීන්වහන්සේගේ විරුද්ධවාදියා මෙවර මේ ස්වාමීන්වහන්සේගේ අනුගාමිකයාගේ චරිතය හොබවන්නා: 
"සාධු... සාධු... සාධු... ඒකම තමයි අපිත් මේ කියන්නේ."

පෙර ස්වාමීන්වහන්සේගේ අනුගාමිකයා මෙවර මේ ස්වාමීන්වහන්සේගේ විරුද්ධවාදියාගේ චරිතය හොබවන්නා: 
"අපේ හාමුදුරුවෝ අපවත් වෙච්චවෙලාවෙත් ඔය විදියට කිව්වා... මෙතනත් ඒකම කියනවා... කිසිම ස්ථිර පදනමක් නෑ... ප්‍රතිපත්තියක් නෑ... තනි වචනයක් නෑ... එක එක වෙලාවට එක එකාගේ පැත්තට කතා කරනවා... ඔය වගේ එවුන්ව විශ්වාස කරන්න එපා. නැත්නම් මේ වගේ පෙනී පෙනී ඵල දුන්න අවස්ථාවකදිත් එහෙම කියයිද? ධර්මය වාසියට අරගන්න ධර්ම ප්‍රතිරූපකයෝ... නැති කරලා දාන්න ඕන මෙවුන්ව."

දැන් ඉතින් තමන්ගෙන්ම අහන්න!!!

මේ වගේ කොතරම් නම් අවස්ථා තමන්ට අත්දැකගන්නට හැකිවෙලා තියෙනවද? තමන් මේ ආකාරයට කොතරම් නම් හැසිරෙනවද? පුද්ගලත්වයන් සරණ යෑම තුලින්... ධර්මය අවබෝධයෙන් යැයි සිතාගෙන ධර්ම කරුණු රැසකින් දැනුවත් වී සත්ධර්ම ප්‍රතිරූපකයක් බවට පත්වෙමින් සත්ධර්මය සහ සැබෑවටම ඒ සත්දහමේ අප්‍රමාදීවූවන්ට කොතරම් නම් ගරහනවද? සත්ධර්මයේ හරය විමසා බලනවා වෙනුවට තම තමන් ගත් මතයකින් ධර්මය මනිනවා නොවේද? 

පුද්ගලයා අනුගාමිකයෙක්ද නැත්ද යන්න ඔවුන් පවසන වචන තුලින් දැකිය හැකි දෙයක් නොවේ. ප්‍රඥාවන්තයා කිසිවෙකුගේ අනුගාමිකයෙකු නොවන අතර සත්ධර්මය ගුරු තනතුරේ තබාගෙන තෙරුවනෙන් ලැබිය යුතු නිසි ප්‍රයෝජනය අප්‍රමාදීව ලැබගන්නෙකි. 

තමනුත් එසේදැයි විමසා බලත්වා! අවංකවම තම තමන්ගේ අඩුපාඩු දැක හැඳින නිවැරදි කරගෙන අප්‍රමාදීව දහමේ හැසිරෙත්වා! මේ වචන පද අතර සැඟව ඇති අදහසම වටහාගෙන මෙවන් කාරණා හමුවේ කොතරම් නම් මේ ආකාරයෙන් හැසිරෙනවාදැයි තමනුත් එසේ කරනවාදැයි තමන්ගෙන්ම අසා විමසා බලත්වා! 

නැණවත්ව විමසන්න!!! අහන්න... තමන්ගෙන්ම!!!