Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, July 6, 2018

නිවන් ලැබුමට... නිවන් මඟ වූ, සමාධි භාවනාව දන්නවද?


නිවන් මඟ සතර දැහැන් ලෙසත්, නිවීම යනු සතර දැහැනත් ලෙසින් මෙකල ප්‍රකට ප්‍රකාශනයක් පිළිබඳව ඉතාමත් මතුපිටින් යම් කාරණයක් පෙන්වා දීමට මේ සටහන තුලින් උත්සාහ කරන්නම්.  
අංගුත්තර නිකාය 2 - රොහිතස්ස වග්ගයේ - සමාධි භාවනා සූත්‍රය පිටුව 88 (පීඩීෆ් පිටුව 109)
මේ සූත්‍ර දේශනාව තුලින් "සමාධි භාවනා" වර්ග 4ක් පෙන්වා දෙනවා. ඒවායේ කාර්යයන් අනුව මේ සමාධි භාවනා වර්ග 4 පැහැදිලි කරලා දෙනවා.  අන්න ඒ පැහැදිලි කිරීම නිවන් මඟ තෝරාගැනීමට අවශ්‍ය කරන ඔබට මහත්වූ උපකාරයක් රුකුලක් වේවි.

(මෙය ඉතාමත් කෙටියෙන් විග්‍රහ කිරීමක් පමණයි!  දීර්ඝ වශයෙන් "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය තුලින් පැහැදිලි කරගැනීම කරගන්නට ඉදිරියේදී කටයුතු කරමු)


1. එක් සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා එය වඩන විට බහුලව වඩන විට, දුටු දහම් සුඛ විහරණය පිණිස හෙවත් ඒ සමාධි භාවනාව ලැබෙන මොහොතේම කායික වශයෙන් සුවයක් අත්දකින්නට හැකි භාවනා ක්‍රමයක්.

2. එක් සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා එය වඩන විට බහුලව වඩන විට, නොයෙක් ආකාරයේ ඥනයන් පහල වීමට ඤාණ දර්ශනය ලැබීමටද හැකියාවක් උපකාරයක් ලැබෙන සමාධි භාවනා ක්‍රමයක්. 

3. එක් සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා එය වඩන විට බහුලව වඩන විට, සිහිය හෙවත් සති සම්පජඤ්ඤය තව තවත් දියණු කරගන්නට හැකියාවක් ලැබෙන සමාධි භාවනා ක්‍රමයක්.

4. එක් සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා එය වඩන විට බහුලව වඩන විට, ආස්‍රව ක්ෂය කිරීමට හැකියාවක් ලැබෙන සමාධි භාවනා ක්‍රමයක්.

එසේනම් ප්‍රථම ධ්‍යානය / පළමු දැහැන, ද්විතීය ධ්‍යානය / දෙවන දැහැන, තෘතීය ධ්‍යානය / තුන්වන දැහැන, චතුර්ථ ධ්‍යානය / සතරවෙනි දැහැන කියන්නාවූ මේ සතර දැහැන් දුටු දහම්හි සුඛ විහරණ හෙවත් ලැබූ ක්ෂණයක් පාසා කායිකවූ සුවයක්ම අත්දැකීම පිණිස භාවිතා කල හැකි සමාධි භාවනා ක්‍රමයක් මිස නිවන් මඟ හෝ නිවීම නොවේ. 
එහෙත් අමතක නොකල යුතුයි මේවාද... මේ කියන සතර දැහැන්ද නිවන් මඟට උපකාරයක් කරගැනීමට මේ ආකාරයේ සමාධි භාවනාවන් වඩන පුද්ගලයාට හැකියාවක් තියෙන බව. 
නිවීම පිණිස තම තමන්ගේ චරිත ස්වභාවය උපකාර කරගැනීමට හැකිවීම නිවන් මගේ තියෙන තවත් සුවිශේෂීත්වයක්ම නිසාම තමයි එසේ කරගන්නට හැකි. 

එසේ නම් යමෙක් ප්‍රකාශ කරනවා නම් සතර දැහැන් නිවීම හෝ නිවෙන මඟ බවට මුලින්ම ඒ ප්‍රකාශ කුමන අර්ථයකින් කරනවාදැයි විමසිය යුතුයි. මන්ද සතර දැහැන් හෝ වේවා අරූපී දැහැන් හෝ වේවා වැඩූ චරිතයක් ඒවා තුලින් නිවන් මඟ තෝරාගෙන නිවීම පිණිස කටයුතු කරගන්නවා නම් ඒ අර්ථයෙන් කියනවාදැයි විමසා බැලිය යුතුයි. නැතහොත් ඒ ප්‍රකාශ සර්ව සම්පූර්ණ නිවන් මඟ හෙවත් නිවීම ලෙසින් මේ දැහැන් / ධ්‍යාන පනවනවාදැයි විමසා බැලිය යුතුයි. 

ඒ ආකාරයෙන් යම් ප්‍රකාශයක ඇති නොගැලපීම මතුපිට මට්ටමකින් හෙවත් පිටකයේ කාරණා වලට අනුව මූලික වශයෙන් විමසා දැනගන්නට හැකියි. එහෙත් මෙය අවබෝධයක් නොවේ. 

බාහිරවූ නිවීමට උපකාර වන දැනුමක් පමණයි. එහෙත් ඒ දැනුමද නිවන් මඟ ලෙසින් පනවමින්, නිවන් මඟ පිටකය අධ්‍යනයයි, පිටකයේ කරුණු පිළිබඳව ඇති ගැඹුරු දැනුම නිවීම යැයි යමෙක් ප්‍රකාශ කලහොත් එයද නිවන් මඟ නොවන බව හඳුනාගෙන ඇසුරුකරන්නට මූලික උපකාරයක් ඔබට මේ ආකාරයේ විමසීමකින් ලැබේවි. 

එසේ නම් නිවන් මඟ පිණිස වැඩිය යුතු, බහුලව වැඩිය යුතු අප තුල නිසැකයෙන්ම පිහිටිය යුතු සමාධි භාවනා ක්‍රමය කුමක්ද?
පංචඋපාදනස්කන්ධයේ උදය වැය අනුව බලමින් විහරණය කිරීම, රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණයන්ගේ උදාවීම, වැයවීම අවබෝධයෙන් දැකීමේ සමාධි භාවනාව නිවීම පිණිස වූ නිවන් මඟයි පවතී. මෙන්න මේ සමාධි භාවනාව පිහිටන්නට නම් පංච උපාදනස්කන්ධය සකස් වූයේ කෙසේද? උදාවූයේ කෙසේද? යන හේතු ඵල දහම අවබෝධ කරගන්නට සිදුවෙනවා.
ඒ අවබෝධය ලැබීම පිණිස පංචස්කන්ධය සහ පංචස්කන්ධය උපාදනස්කන්ධයක් බවට පත්වෙන ආකාරය පෙන්වා දෙන සත්ධර්ම දේශනා වලට ශ්‍රවණය කරන්නට සිද්ධ වෙනවා. එය තමන් තුල ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරගන්නට සිදුවෙනවා. අන්න මේ කියන සමාධි භාවනාවේ පිහිටනවා. 
එය භාවිතයෙන්, බහුලව භාවිතයෙන් සියලු අස්‍රව ධර්මයන් හෙවත් රාග ද්වේශ මෝහ සියල්ලෙන් සියල්ල ක්ෂය වී විනය සිදුවෙනවා. හෙවත් නිවීම ලැබෙනවා. අවබෝධවූ තැන් පටන්ගෙන පිහිටන මේ සමාධි භාවනාව ක්‍රියාත්මක වන මොහොතක් පාසා ඒ නිවීම අත්දැකගැනීමට හැකියාවක්ද තියෙනවා.

අන්න සූත්‍ර පිටකයේ, මජ්ඣිම නිකායේ 3, මහා චත්තාරීසක සූත්‍ර දේශනාවේ සදහන් වන ආර්ය වූ නිවීම පිණිස වූ සප්‍රත්‍ය වූ සපරිවාර වූ ආර්ය සම්මා සමාධියේ පිහිටනවා.
හැබැයි ඉතින් පංචස්කන්ධය ගැන හෝ පංච උපාදනස්කන්ධ වචන භාවිතා කල පමණින් නැවතත් නිවන් මඟක් කියනවාද ආස්‍රව වැඩෙන මඟක්ම කියනවාද යන්නත් විමසා තෝරාගැනීම ප්‍රඥාවන්තයාගේ කාර්යයක් නිසාම තමයි බුදු හිමියන් පෙන්වා දුන්නේ මේ දහම ප්‍රඥාවන්තයින්ට මිස අඥානයින්ට නොවේ කියලා. 

තම තමන්ගේ ප්‍රඥාවන්තභාවය තමන්ටත් ඔප්පුවෙන්න නම කොතනැකවත් පිහිටන්නෙ නැතිව විවෘතව තමන්ට අවංක වෙලා නිවන් මඟ මතු කරගන්නට කටයුතු කල යුතුයි. 

මේ කියන සූත්‍ර දේශනාවේ ඉතාමත් ගැඹුරු දහම් කොටසක් ගැබ්වී ඇති අතර වචන පද වලට සිරවී තර්ක වාද කරගැනීමෙන් කිසිවෙකුටත් ඵලක් නොවන බවම වටහාගන්නට හැකි ඥානයන් සියලු සතට පහල වේවා යන මෙත් සිතින් යුතුව නවතිමි. 
තෙරුවන් සරණ ලැබ නිවී සැනසීමම වෙත්වා! දහම් අදහම් හඳුනාගෙන නිවී සැනසෙන්නට තෙරුවනේ රැකවරණය නොඅඩුවම ලැබේවා!!!