“ඉම්නා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා”. පින්කමක් කරලා හෝ දහම් දේශනයක් අවසානයේ හෝ මේ ගාථාව කියන්නට බෞද්ධ අප බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මෙයින් අදහස් කරන්නේ “මේ කරගත්ත පුණ්‍ය කර්මයේ බලයෙන් මට බාල සමාගමයක් නොවේවා. නිවනට හේතු වන සත්පුරුෂ සමාගමයම වේවා” යන්නයි.
තමන්ට නිවනක් ඕනෑ බව පවසනවා... තමන්ට කළ්‍යාණ මිතුරන් ඕනෑ බව පවසනවා... තමන්ට මග ඵල ලබන්නට ඕනෑ බව පවසනවා... එහෙත් කටයුත්ත නම් ඕනෑකම අනුව සිද්ධ වෙන බවක් පෙනෙන්නට නෑ. පෙනෙනෙ විදියට නම් අප හැසිරෙන්නේ මෙහි විරුද්ධ පැත්තටයි.
මේ ගාථාව කියලා මේ වගේ ප්‍රාර්ථනයක් කරලා අනෙක් පැත්ත හැරෙන විට සමහර විට අපට මේ කියන නිවනට හේතු වන සත්පුරුෂයාව මුණ ගැහෙනවා. ඒත් ඒ අයව සත පහකටවත් ගණං ගන්නේ නැතිව කොහේදෝ තැනක සත්පුරුෂයන්ව හොයනවා.
ගෙදරම හිටියත්... මිතුරු මිතුරියන් සේ සිටියත්... ඥාතීන් සේ සිටියත්... අහම්බෙන් හමුවුණත්... ලඟ තියෙන මැණිකට පයින් ගසන තරමේ අන්ධයන්ව සිටිනවා. කොහේදෝ තැනක තමන්ගේ හිතේ මවාගෙන ඉන්න සත්පුරුෂයාව හොයනවා. කවදා හෝ ඇවිත් තමන් දන්න නිවනට තමන් දන්න විදියේ බණක් කියයි කියලා බලාගෙන ඉන්නවා. හිතේ මායාවම එළියේ හොයනවා.
දෙවියන් බුදුන් තමන්ට ඒ කළණ මිතුරාව මුණගස්සන තුරු බලාගෙන ඉන්නවා. ඒ පැතුම ඉටු වෙලා පින් පිරිලා තමන් ඉදිරියට කළණ මිතුරන් පැමිණියාම ඔවුන්ගෙන් කරගත යුත්ත කරගන්නට තරම්
දක්ෂ වෙන්නේ නෑ.
තමන් විවෘත වන්න... ඕනෑම කෙනෙක් සත්පුරුෂයෙක් වන්නට හැකියි කියන අවබෝධයෙන් විවෘතව අහන්න. කියන දේට කන් දෙන්න. තමන් හිතාගෙන ඉන්න බාහිර ස්වරූපයෙන් පැමිණේවි හෝ තමන් බලාපොරොත්තු වන දේ කියාවි සිතාගෙන සිටින ඇස් බැන්ඳුම ගලවන්න. කියන්නේ මොකක්දැයි අහන්න... සමහර විට ඔබට සතර මග ඵල ලැබගන්නට තරම් වාසනාවක් උදාවේවි!
නැණවත්ව විමසන්න!!!... තමන්ගෙන්ම!!!