නිවන් මඟ කැමති... නිවන් මඟ වඩන... නිවන් මඟ පුරන්නෙක්
වේ නම් තමන් කියන කරන සිතන සෑම දේ ම නිවන පූරණය කර ගැනීම පිණිස සිදු විය යුතුයි. මේ
විමුක්තිය ලැබීම පිණිස වැදගත් වන... අප විසින් අවබෝධයෙන් යුතුව එදිනෙදා භාවිතා කල
යුතු... බහුලව භාවිතා විය යුතු දහම් කොටස් නිරන්තරයෙන් විග්‍රහ කර ගන්නට යෙදෙනවා.
මෙවර කතු වැකිය තුලින් නිවීම හෙවත් උත්තම අර්ථය ලැබීම පිණිස අප තුල සකස් විය යුතු
සීලය කෙටියෙන් වටහා ගන්නට උත්සාහ කරමු.
මෙවර කතු වැකියේ දහම් පණිවිඩය ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ
සුත්ත නිපාතයේ චූල වර්ගයට අයත් “කිංසීල සූත්‍රය” තුල ගැබ් වන දහම් කොටස් අනුසාරයෙන් ලබා දෙන්නට තමයි මගේ
බලාපොරොත්තුව.
එක්තරා අවස්ථාවක සැරියුත් හිමියන්ගේ ගිහි කාලයේ යහළුවෙක්
වූ ඉතාමත් ධනවත් තරුණයෙක් තමන්ගේ සියලු සැප සම්පත් හැර දමා සැරියුත් හිමියන්
සමීපයේ මහණ වුනා. කොතරම් අවවාද අනුශාසනා කමටහන් ආදිය ලබා දුන්නත් නිවන් මඟ
පූරණය වන බවක් පෙනෙන්නට නැති නිසා සැරියුත් හිමියන් මේ හිමියන් ද සමඟ සම්මා
සම්බුදු රඳුන් හමුවට යනවා. ඉතින් සැරියුත් හිමියන් මේ හිමියන්ට ද උපකාරයක් ලැබේවා
යන අදහසින් යුතුව සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා;
“කෙබඳු
දේවල් වලින් වැළකීමේ සීලයෙන් යුතු විය යුතුද? කෙබඳු ගති
ගුණ ස්වභාවයන් තිබිය යුතුද? කෙබඳු
හැසිරීමකින් යුතු විය යුතුද? කයෙන්
කෙරෙන කටයුතු කෙබඳු විය යුතුද? මනා
අයුරින් සාසනයේ පිහිටා උතුම් රහත්ඵලයට පැමිණීම පිණිස සීලය කෙසේ විය යුතුද?”
ඉතින් බුදු හිමියන් සර්වඥතා ඥානයෙන් දකිනවා පැවිදි වෙලා
කාලයක් ගිය, ප්‍රඥාවෙන් අග්‍රස්ථානය ලැබූ සැරියුත් මහ රහතන් වහන්සේ
විසින් මේ වගේ සෝතාපන්න ආදී මූලික මාර්ග ඵලයන් සඳහා හේතු වන දහම් කොටස් විමසන්නේ
උන්වහන්සේ සමඟ පැමිණි අනෙක් හිමියන් අරමුණු කර ගෙනයි කියලා. ඉතින්
අපේ සම්බුදු පිය රජුන් ඒ හිමියන්ට වටහා ගැනීමට පහසු වන ආකාරයට මෙන්න මේ කාරණා
පෙන්වා දෙනවා.
වැඩිහිටියන් පුදන බව
කියන ගුණය තිබිය යුතුයි - නුවණින් වැඩිහිටි බව, ගුණයෙන්
වැඩිහිටි බව, උපතින් වැඩිහිටි බව, වයසින් වැඩිහිටි
බව කියන ආකාර හතරකින් වැඩිහිටියන් සිටිනවා. ඒ බව හඳුනා ගෙන
වැඩිහිටියන් පුදන බව, වැඩිහිටියන්ට ගරු කරන බව තිබිය යුතුයි. වැඩිහිටි
බව හඳුනා ගෙන ඔවුන් ලබන දේ කෙරෙහි ඉරිසියා
සහගත නොවිය යුතුයි. නුවණින්, ගුණයෙන්, උපතින්, වයසින්
වැඩිහිටි නිසා යම් යම් ලාභ, කීර්ති, ප්‍රශංසාවන්, ප්‍රත්‍ය
පහසුකම් ඒ වැඩිහිටියන්ට ලැබෙන විට ඒවාට ඉරිසියා නොකල යුතුයි.
සුදුසු කාලය දන්නා බව තිබිය යුතුයි - සුදුසු
කාලය කිවූ විට මෙන්න මෙහෙමයි; රාගය... ද්වේශය වගේ කාරණා යෙදෙමින් අධික ලෙස සිත පෙලෙනවා
නම්... ඇතුලාන්තය ගිනි අර ගෙන නම් තනිවම ඒවාට මුහුණ නොදී තමන්ට වඩා දහම් ප්‍රගුණ
කරන්නා වූ මඟ වඩන්නා වූ ගුරුවරුන් මුණ ගැසීමට... කල්‍යාණ මිත්‍රයින් මුණ ගැසීමට
සුදුසු කාලය හඳුනා ගැනීමට දක්ෂ විය යුතුයි. සමථ
විදර්ශනාවට උපකාර වන දස කතාවේ යෙදීමට කාලය යොදා ගත යුතුයි. ඒ
වගේම එබඳු දහම් කතා ඇසීම කොතරම් දුර්ලභ වූ කාරණයක් ද යන අවබෝධය
තිබිය යුතුයි. ඒ අවබෝධය නිසාම එවන් වූ දහම් සාකච්ඡාවන් හි නිරත වන්නට
මොහොතක් හෝ ක්ෂණයක් හෝ ලැබෙන්නේ නම් ඒ කාලය උපරිමයෙන් ඵල නෙලා ගැනීම පිණිස මනාව ශ්‍රවණය සිදු විය යුතුයි. යහපත්
වූ සත්පුරුෂ දහම් ද ආර්ය දහම් ද මනාව ඇසීමේ ගුණය තිබිය යුතුයි.
ගුරුවරුන් කල්‍යාණ මිත්‍රයින් හමු වෙලා කොතරම් දහම්
ඇසුවත් ඵලයක් ලැබෙන්නේ නෑ තමන් තුල අධික මාන්නය තිබෙනවා නම්. එසේ නම් “මම
කමටහන් වඩන්නෙක්... මම ධුතාංග දරන්නෙක්... මම සීලයක් තියෙන්නෙක්... මම අවබෝධ කර
ගෙන සිටින්නෙක්... මම මාර්ග ඵල ලාභියෙක්... මම වත් පුරන්නෙක්... මම මෙහෙමයි...
අරහෙමයි...” වගේ තද වූ මාන්නක්කාර ගති ස්වභාවයන් නොතිබිය යුතුයි. “මට මේ ටිකේ හොඳටම වැඩ... මට කල්‍යාණ මිත්‍රයන් හමුවෙන්න... ගුරුවරයන්
හමුවෙන්න වෙලාවක් නෑ... මම දන්න කමටහනකින් මට මේ මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්...
මම ඔය කියලා දෙන දේවල් දන්නවා...” වගේ මානය සහිත වූ තද ගත සහිත අදහස් ගන්නේ නැතිව කල්‍යාණ මිත්‍ර ගුරු හරු කම් ලබා ගෙන ඒ අසා ගත් දහම් හි අර්ථය, ධර්මය විමසමින් උත්සාහවන්ත විය යුතුයි.
මුලින් ම කිව්ව වගේ අරමුණ
විමුක්තිය නම් තමන්ගේ සිත, කය, වචනය
ඒ තමන්ගේ අරමුණ වූ නිවීම නම් වූ විමුක්තිය පිණිස ම යෙදවීම
විය යුතුයි. ඒ ගැන බුදු හිමියන් පවසන්නේ මෙන්න මේ විදියටයි. හේතු ඵල දහම් අවබෝධයෙන් සමථ විදර්ශනා අවබෝධය ලබමින් දහම්
හි ඇලීමෙන් යුතුව කටයුතු සිදු විය යුතුයි. සමථ
විදර්ශනා ආදිය මුල් වූ විට දහම් හි හැර වෙන කටයුත්තක යෙදෙන්නට සිත දෙන්නේ නෑ. එතකොට
තමයි ගැඹුරු දහම් වලට අනුව විදසුන් වඩන්නට හැකියාව ලැබෙන්නේ. පැවැත්ම හඳුනා ගන්නා
නුවණ... නැවැත්ම හඳුනා ගන්නා නුවණ ලැබෙන්නේ එතකොටයි. දෙතිස් කතාවෙන් බැහැර වෙලා විමුක්තිය නැති කර දමන
සිතිවිලි, ක්‍රියා, වදන්
හඳුනාගෙන ඒවායෙන් වෙන් වෙන ඥානය ඇති විය යුතුයි.
ජාති, කුල මල ආගම් ආදිය ගැන, ආයුෂ ගැන, නීරෝගී
බව ගැන, ඥාතීන් ගැන ආදී මේ විදියට මහ ඉහළින් වටිනාකම් දුන්න
නොයෙක් වූ මත් වීම් අපට තියෙනවා. දෙතිස් කතාවන් තුලින් මේ මත් වීම් වැඩි වෙනවා. ඒවාට මහා හයියෙන් සිනහා පහල කරමින් සතුටු වෙමින්... ඒවාට විරුද්ධ දේ සිදු වූ විට
මහත් සේ කම්පා වෙමින් දුක් වෙමින් මත් වීමෙන් යුතුව අසිහියෙන් කටයුතු සිදු නොවිය
යුතුයි.
ඇතුලාන්තයේ එකක් තබා ගෙන තමන් මෙසේ මෙසේ යැයි හුවා
දක්වන්නට හදන මායාකාරී ගති ස්වභාවයන් හඳුනා ගෙන ඒවා බැහැර කල යුතුයි. අවංකභාවය ඉතාමත් වැදගත් කියලා අපත් නිතර පෙන්වා දෙනවානේ නේද? අන්න ඒ
වගේ. මායාකාරී ගති, වංචනික ගති, මූලික අවශ්‍යාතාවයන් ට ඇති ගිජු බව, පෙර සඳහන්
කල ජාති, කුල මල, නිරෝගී බව, ඥාති විෂය ආදියේ මත් වීම්, පරුෂ වචන
කියන බව, කුහක කහට ගති, ඉරිසියා, මාන්න ආදී මේ කුණු ගති හඳුනා ගෙන ඒවායෙන් බැහැර වීමට කටයුතු කල යුතුයි.
ඉතින් මේ විදියට හැම දේකම හා වෙමින් රාගයෙන් බැඳුනු...
ද්වේශයෙන් යුතු... කෙලෙස් වලින් මත් වූ පුද්ගලයාට නිවනක් විමුක්තියක් ලබන්නට නො
හැකියි. අසා ගන්නා ධර්මයක් අවබෝධ වෙන්නෙත් නෑ. ඒ
නිසා වැඩෙන්නට සමථ විදර්ශනාවක් පිහිටන්නෙත් නෑ. නිකම්ම නිකම්
කරුණු ටිකක් දැන ගත්තා කියලා ඒවායේ අර්ථය අදහස අවබෝධ වෙන්නේ නෑ. එසේ නම් ශ්‍රැතය හෙවත් නිවැරදි ශ්‍රවණයත්... ප්‍රඥාවත්
ලැබිය යුතුයි. එය ලැබෙන්නට නම් ඉහත පෙන්වූ කෙලෙස් වලින් බැහැර වූ සංවර
ගත පැවතුම් අපේ ඇතුලාන්තයේ වර්ධනය විය යුතුයි. සීලය ලැබිය
යුතුයි. ඒ තුලයි සමාධිය සහ ප්‍රඥාව නිරන්තරයෙන් ලැබෙන්නේ. ඉතින් සම්බුදු පිය රජුන් පෙන්වා දෙනවා මෙන්න මේ විදියට බුද්ධා දී ආර්යයන් වහන්සේලා විසින් පෙන්වා දෙන සමථ විදර්ශනා වැඩෙන උතුම්
දහම් තුල බැස ගනිමින් සිත, කය, වචනය ගැන
සිහියෙන් යුතුව ඉහත පෙන්වූ කෙලෙස් දහම් වලින් බැහැර වන්නාට ශ්‍රැතයත් ප්‍රඥාවත්
ලැබෙමින් අප්‍රමාදීව රහත් ඵලය පූරණය කර ගනිමින් විමුක්තිය හෙවත් නිවීම ලබන්නට හැකි
වෙනවා කියලා.
ඉතින් ඔබත් බොරුවට වංචා සහගත ලෙසින් දහම් වචන මුමුණමින්
මවා පාන චරිතයක් නො වීමට උත්සාහවන්ත වන්න. “මම දහම්
අහනවා... දහම් මඟ යනවා...” යැයි පුරසාරම් දෙඩවූවාට ඵලක් නෑ ඔබ අවංකවම කල යුත්ත
කිරීම පිණිස කැප වෙන්නේ නැත්නම්. බාහිරයට ගුණ මවා පෑවාට අප ලබන ජයක් නැති බව නුවණින්
දකින්න. ඇතුලාන්තය නිරන්තරයෙන් අවංකව පර්යේෂණය කරමින් ගුණ දහමින්
පෝෂණය වන්න. එවිට එවිට ඔබ තේරෙන්නේ නෑ තේරෙන්නේ නෑ යැයි කියන පෙර නොඇසූ
විරූ දහම් ඇසේවි! ඔබ නෑ නෑ යැයි කෑ මොර දෙන නිවීම... විමුක්තිය... බොහෝ දුර
නොවේවි! අති දුලභ ශාසනයේ සීලය විනිවිද දකිමින් නිවී සැනසෙන්නට
තෙරුවනේ ආශීර්වාදය ලැබේවා!
මෙවැනි දහම් තවත් විමසන්න “නිර්වාණ ධර්ම” වෙබ් අඩවිය සමඟරැඳී සිටින්න!