Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, September 30, 2009

සැබෑම බෞද්ධයෙකු වීමට නිවැරදි අර්ථවත් පියවරක් ඉදිරියට තබමු!


බෞද්ධ බැතිමතුන් ලෙසට අපි මෙපමණක් කාලයක් ගෙන ගිය වැඩපිලිවෙල කොතරම් දුරට නිවැරදිද කියලා අපේම නුවණින් විමසා ගැනීමට මෙය තවත් උපකාරයක් වේවා!

දුව පුතා සාධු කියන්න කියලා අපේ දෙමව්පියන් ආරම්භක අවස්ථාවක් ලෙස අපිට සාධු කාරය පුරුදු කරනවා. එතනින් නොනැවතී ඒ පුංචි දරුවන් බෞද්ධයන් ලෙස වයසට යනතෙක්ම සාධු කාරය දෙමින් බොදුනු වැඩපිලිවෙල පුරුද්දක් ලෙස කරගෙන යනවා.

එලෙස අපි බෞද්ධ වැඩපිලිවෙලට ආරම්භයක් දෙන්නේ මේ සාධු කාරයෙන්. සමහර අය තුන්වතාවත් සාධු! සාධු! සාධු! කියලා සාධු කාරයක් දෙනවා. සමහර පැරණ්නන් සා...ධු ! යැයි දීර්ඝ සාධුකාරයක් හත‍රවෙනි වතාවටත් දෙනවා. එහෙත් කව්රුන්හෝ අපෙන් ඇහුවොත් ඇයි මේ විදියට සාධු කියලා හඩක් නගන්නේ කියලා... එය වන්දනාවක් වෙන්නේ කොහොමද කියලා විමසුවොත් අපි දෙන පිළිතුර මොකක්ද? සාධු කියන්නේ වදින ආකාරය කියලා කියන එක බෞද්ධයෙකු ලෙසින් දෙන ඥානවන්ත පිලිතුරක් නොවේ.

නියම බෞද්ධයෙකුට තමන්ගේ ක්‍රියාවන්ට දක්වන්නට හැමවිටම නිවැරදි හේතුවක් තියෙනවා. එලෙසම සාධු කාරය දෙන්නේ මේ හේතුවටයි... එලෙස කියන්නේ මේ හේතුව නිසායි කියලා ප්‍රඥාවන්තව දැනගෙන සිටීම වැදගත්. ඥාන සම්පයුක්ත වන්නේ එවිටයි.
ආර්ය මාර්ගය ‍ප්‍රගුණ කරන්නන් ලෙසට බොදුනුවන් කියන වචනය තුලම බුද්ධිමත්ව කටයුතු කරන්නන් කියන අර්ථය ගැබ්වෙලා තියෙනවා. එසේනම් බුද්ධිමතෙක් සැමවිටම තමන් පාවිච්චි කරන වචනය එලෙස යෙදීමට හේතුවක් දන්නවා. එලෙසම ඒ වචනය තුලින් පෙන්වන යථාර්ථය කියන්න දක්ෂයෙක් වෙනවා.

කව්රු හරි අපෙන් ඇහුවොත් සාධුකාරයේ අර්ථය මොකක්ද? එය තුන්වතාවක් යෙදීමට හේතු මොනවාද? සමහර අය හතර වෙනි පාරටත් දීර්ඝ සාධුකාරයක් දෙන්නේ ඇයි? ඇයි සාධු කාරයක් තුන් හෝ හතර වතාවකින් කියලා ඉවරකරන්නේ...ඇයි එය හත් අට වතාවක් නොකියන්නේ? ඇයි අත් එකට එකතු කරලා පපුව ලගට තියලා සාධුකාර දෙන්නේ? නැත්නම් නලලට අත් තියලා සාධු කාර දෙන්නේ? අත් දෙක හිස්මුදුනේ තියලා සාධු කාරය දෙන්නේ ඇයි? යනාදී ලෙසට ප්‍රශ්ණ නැගුවොත් අපිට නිවැරදි අර්ථවත් පිලිතුරු සපයන්න හැකිද කියලා අපිම හිතන්න ඕනේ.
 
සාධු කියන්නේ මොකක්ද? සුහදක් ඇතිවන්නේ සාධුය. සුහද ගුණය තමයි සාධු කියන්නේ. අපි තුල නගින සු හෘද වූ ගුණය තමයි සා ධූ කියලා යෙදිලා ඇවිත් තියෙන්නේ. සුහද කියන ගුණය අපි තවදුරටත් විමසලා බලමු. සු කියන අකුර නැත්නම් එහි අර්ථය ලෞකික වශයෙන් ගත්විට යහපත් සත් යන ගුණය දක්වනවා. ආර්ය විනය තුල මෙයිට වඩා වැදගත් ගුණයක් මෙයින් පෙන්වනවා. එනම් යම් කිසි සුචරිත ගුණයක් තිබුණා නම් එම සුචරිත ගුණය දැක්වීමට “සු” කියලා යෙදෙනවා. තමන්ගේ හදවත තුල මෙන්න මේ ආර්ය විනයේ එන සුචරිත ගුණය තියෙනවා කියන අදහස පෙන්වන්න තමයි සුහදවූ හෙවත් සාධූ කියන වචනය පෙර කල බොදුනුවන් භාවිතා කලේ.
දැන් අපිටම බලන්න පුළුවන් මේ සුචරිතවත් බව තුන් වතාවකට සම්බන්ධ කරලා කිව්වේ ඇයි කියලා. අපිට ගාථාවක් දැනගන්නට තියෙනවා.
“කායේන සං‍වරෝ සාධු - වාචාය සංවරෝ සාධු - මනසා සංවරෝ සාධු - සාධු සබ්බත්ථ සං‍වරෝ”
මෙන්න අපිටම හිතලා බලන්න පුළුවන් තැනක්. පළවෙනියට සාධු කාරයක් දෙන්න හේතුව තමයි “කායේන සංවරෝ සාධු” එනම් කයින් සංවර වීම සුහද ගුණයක් එනම් සුචරිත ගුණයක්!
“සාධු වාචාය සංවරෝ” එනම් වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්! “මනසා සංවරෝ සාධු” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්. එනම් හතරවෙනි වතාවටත් දීර්ඝ සාධුකාරයක් දෙන හේතුව තමයි “සාධු සබ්බත්ථ සං‍වරෝ” එනම් මේ සියළු සංවරය හෙවත් ත්‍රිවිධ සුචරිතය ගුණයක්!
මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම ශාසන මාර්ගයට පිවිසෙන විට දැනගතයුත්ත.

“කායේන සංවරෝ සාධු” කියන විට කුමක්ද මේ කයින් සංවර වීම යන්න අපි දැනගත යුතුයි. ‍කයෙන් සිදුවන දුසිරිත් මොනවාද? ඒ දේවල් නැතිවුණානම් කයින් සුචරිත වෙනවා. කයින් සාධු ගුණයට පත්වෙනවා! එනම් කයින් වන දුසිරිත් තමයි “ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්තාචාරය” යන කාරණා තුන. මේවා දස අකුසල්හි කයින් සිදුවන අකුසල් 3යි. මේ 3හි අර්ථය ඉතාමත් සරල ලෙස ගත් විට “සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම” යන අර්ථ දෙනවා. එනම් යමෙක් කයින් මේ වැරදි 3 නොකරයිද එම පුද්ගලයා කයින් සුචරිතයට පත්වෙලා එනම් කයින් සංවර ‍පුද්ගලයෙක් වෙලා. ඒ කාරණා 3 සිදු කරන්නා කයින් අසංවර තත්වයේ පසුවන්නෙක්. එසේනම් කයින් සංවර පුද්ගලයෙකුට පමණයි සාධු ගුණයක් තියෙන්නේ. තමන් අසංවර වන තරමට සාධු ගුණයේත් අඩුවක් තියෙන බව අපි දැනගත යුත්තක්.
 
එසේනම් කයින් සංවර වීමක් දැක්කානම් අපි දෙන සාධු කාරය මතක්විය යුතුයි. තමා තුල මේ කාය සාධු ගුණය තියෙනවා නම් තමාකෙරෙහි තමාටම සාධු කාරයක් දෙන්න පුළුවන්. එමෙන්ම බාහිරව පරිසරයෙන් ගත්විට සිල්වත් භික්ෂු භික්ෂූණී අතරින් යමෙක් තුල මේ කාය සංවරය දුටුවා නම් ඒ සාධු ගුණයට සාධුකාරයක් දෙන්න පුළුවන්. එසේම බුදු පියාණන්වහන්සේ වෙනුවෙන් ඉදිවුන බුද්ධ ප්‍රතිමා, බෝධීන් වහන්සේලා, චෛත්‍යයය ආදීය දුටුවිට එවන් ස්ථාන වලට ගියවිට එහි ඇති සංවරත්වය කාය සංවරයට හෙවත් සාධු ගුණයකට ඉතාම හොද පැත්තක් නේද එහෙමත් නැත්නම් ඒ සාධුගුණය ලොවටම පෙන්වන පැත්තක් නේද කියන සිතුවිල්ල තුලින් සාධුකාරයක් දෙන්න පුළුවන්. මේ අකාරයට පැ‍රණි බෞද්ධයන් කයින් සිදුකරන සංවරත්වය දැකලා කාය සංවරය දැකලා පළවෙනි සාධුකාරයක් දෙන්න පුරුදු වුණා.

“සාධු වාචාය සංවරෝ” චනයෙන් සංවර වීම සුහද ගුණයක්. “මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්ප්‍රප්ලාඵ” යනාදියෙන් වෙන්‍වුනා නම් වචනයෙන් සිදුවන අසංවර තාවයන් හෙවත්... පාපයට දුස්චරිතයට හේතුවන දස අකුසල් තුල වූ වචනයෙන් සිදුවන අකුසල් වලින් මිදුණාවේ. මේ 4නි මිදී යම් තැනක එවැනි සංවරත්වයක් දුටුවාද එම වචී සංවරය සිහිකරමින් දෙවැනි සාධුකාරය දෙනවා. යම් තැනක බොරු නැත්ද, කේළාම් නැත්ද, පරුෂ වචන නැත්ද, ප්‍රලාඵ නැත්ද එතැන වචී සංවරයක් සහිතයි. එවැනි තැනක් දෙවැනි සාධුකාරය දීමට සුදුසුයි.
“මනසා සංවරෝ සාධු” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්. “අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍ය දිට්ඨි” කියන අවස්ථා 3කින් මනස ලබන දුස්චරිත 3ක් හෙවත් අසංවරතාවයන් 3ක් තියෙනවා. යමෙක් “ඇලීම, ගැටීම, මුලාව” කියන මේ අසංවරතා 3න් ඉවත්වී නැත්නම් “ලෝභය, ද්වේෂය, මෝහය” කියන අවස්ථා 3න් අසංවර වන මනස එයින් මුදවාගෙන චිත්ත පාරිශුද්ධිය නැගී එනවා නම් එය තුන්වන සාධුකාරයට සුදුසුයි. තමාතුල හෝ අන් අයෙක් තුල හෝ ඊට ගැලපෙන ප්‍රදේශයක් දැක හෝ මේ තුන්වැනි සාධුකාරය දීමට සුදුසුයි.
මෙලෙස කයින්, වචනයෙන්, මනසින් සංවරත්වයට පත්වූ එනම් ත්‍රිවිධ සුචරිතය පත්වූ ‍තමා‍ ‍හෝ අන් අයෙක් හෝ එවැනි තත්වයකට පත්වීමට සුදුසු තැනක් දුටුවිට හෝ සාධුකාරයට සුදුසුයි යන අදහසින් ඒවා සාධු ගුණයන් යන අදහසින් හතරවෙනි සාධුකාරයත් දෙනවා. එනම් හතරවෙනි වතාවටත් දීර්ඝ සාධුකාරයක් දෙන හේතුව තමයි “සාධු සබ්බත්ථ සං‍වරෝ” එනම් මේ සියළු සංවරය හෙවත් ත්‍රිවිධ සුචරිතය ගුණයන්ගේ පිහිටීම!

මෙලෙස සියළු ආකාරයට පත්වූ අයෙක් හෝ තැනක් දැක අපි චිත්ත ප්‍රසාදය ඇතිකරගත්විට සාධුකාරයක් දෙනවා. භක්තිවන්තව අර්ථ නොදැන දෙන සාධුකාරය හෝ එම භක්තිය අංග සම්පූර්ණ නොවේ.
එසේනම් යථාර්තවත් භක්තියක් පැහැදීමක් ඇතිවන්නට නම් බුදුගුණ දැක පැහැදිය යුතුයි. එලෙස ලෞකික මනසකට මේ දස අකුසලය දුස්චරිතයක් යන බව වටහාගෙන දස අකුස‍ලයෙන් වෙන්වීමෙන් ලබන්නාවූ සුචරිතය තේරුම් ගෙන ඒ සුචරිතයේ වටිනාකම සිහිකිරීමෙන් තමයි සාධුකාරය නියමාකාරයෙන් දීමට හැකිවන්නේ.

එනම් නියම බෞද්‍ධයෙක් සාධු කීම පමණක් ප්‍රමාණවත් නැත. එවැනි ගුණයන්ට පත්විය යුතුයි. සාධු ගුණයට පත්වීමට එහි තියෙන වටිනාකම දැකිය යුතුයි. ඒ සුචරිත ගුණ දැකලා එහි පිහිටීම තුලින් ලැබෙන සංවරය දැකල ශාන්ත බව දැකලා යමෙකුට සතුටු විය හැකිනම් සාධුකාරයක් දෙනවා නම් ඒ හිත ඒ උතුම් බවට පත්වීමට මූලාරම්භය දී අවසන්.
වචනයට නියම අර්ථය වගේම ක්‍රියාවටත් අර්ථයක් තියෙනවා. අපි සාධුකාරය දෙන විට ගරුකරන ආකාරයක් තියෙනවා. එකත්පස්ව හිදගෙන සාධුකාරය දීම, උඩක ඉදගෙන පහත ඉන්න උතුමෙකුට සාධුකාරය දෙන සිරිතක් නැහැ. සැමවිටම පහත ඉදගෙන ඉහලින් ඉන්න උතුමෙකුට සාධුකාරය දිය යුතුයි.
 
එයට හේතුව තමයි... මේ සාධු ගුණ 3 යමෙක් තුල තියෙනවා නම්... ඒ ඒ සම්මත ක්‍රියාරටාවක් තියෙනවා. උතුමෙකුට අපවාද කිරීම මහා පාප කර්මයක්. එනිසා සැමවිටම භික්ෂූණ්වහන්සේ නමක් හෝ භික්ෂූණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසික යන ඇත්තන් හෝ තමන් දරන ඇදුම් පැළදුම් තුලින් පවා ඒ ඒ වෙනස පෙන්වා තමා තුල ඒ සාධු ගුණ පිහිටන බව අගවනවා. එය අන්අයට දුටු පමණින් ඔවුන්ගේ ඒ ගුණ දරන්නන් බව හදුනාගෙන තමාට සම කර කථාකිරීමට හෝ ඇසුරු කිරීමට නුසුදුසු බව වටහාගෙන ඒ ඒ ගරුත්වයන් ඔවුන්ට ලබාදෙනවා. එනිසා එම දස අකුසලයෙන් මිදුණු ඇත්තන් දැකලා ඔවුන් කෙරෙහි මූලිකව ප්‍රිය භාවයක් පෙන්වනවා. එය සාධුකාරය තුලින් සිදුකරනවා.

අත් දෙක එකට එකතු කර ඇගිලි දිග හැර පපුවට තබා සාධුකාරය දෙන්නේ ඇයි? අපි හිතමු හොරවැඩක් කරලා පොලිසියට අල්ලගෙන ගියාම යමෙක් බැගෑපත්වෙන අයුරු. අත් දෙක වකුටු කොට පපුව මත තබාගන්නවා. ඇයි ඒ පුද්ගලයා ඇගිල දිග හැර දෙඅත්ල දිගහැර පපුවට තබාගත්තේ නැත්තේ? ස්වභාවයෙන්ම අපිට ගති රුවක් එනවා. තමන් හොරවැඩක් කලවිට වකුටු ස්වභාවයකට පත්වෙනවා. බෙල්ල නමාගෙන අත් වකුටු කොටගෙන ඒ ගතිය පෙන්වනවා.
එහෙත් ගරු වන්දනාමාන කරන්නෙක් වදින කොට බෙල්ල හොදින් දිග හැර දෙඅත්ල හොදින් දිග හැර ‍වදිනවා.
වැදීමට කියන එහෙමත් නැත්නම් නමස්කාරයට කියන තවත් වචනයක් තමයි “අංජලිකරණීය” කියන වචනය. අපි සාමාන්‍යයෙන් කියනවාට වඩා එතනින් එහාට ගිය වැටහීමක් ගත හැකියි. අංග ජලි කරනවාට කියනවා අංජලිකරණීය කියලා. ජලි කරනවා කියන්නේ දිය කර හරිනවා කියන අර්ථය. අංග දිය කර හරින්නේ අංජලිකරණීයයි. අංග යනු මොනවාද? අගකින් යම් තැනක ‍ගෑවෙන්නේ අංගයි. අං වලින් සිදුකරන්නේ මොනවාද? කාට හරි රිදවනවා... පොඩිකරනවා... තලනවා... එනම් අගක් යම් තැනක ගෑවුනා නම් එතන රිදෙනවා... පොඩිවෙනවා... තැලෙනවා. එනිසා අගක් ගෑවිම හා සමාන ඒවාට කියනවා අංග කියලා. එහෙනම් මේ ලෝක සත්වයා අංග දහයක් අරගෙන එනවා ලෝකයට හිංසා කරන්න. 

01 අංගය - “ප්‍රාණඝාත චේතනාව මුල්කරගෙන යමෙක් තලන්න... පොඩිකරන්න... රිදවන්න පටන්ගන්නවා...”
02 අංගය - “ හොර මැර වංචා තුලින් යමෙකුට තලන්න... පොඩිකරන්න... රිදවන්න පටන්ගන්නවා”
03 අංගය - “කාම මිත්‍යාචාරය යමෙකුට රිදවනවා... බය ඇතිකරනවා... හිංසා කරනවා...”
04 අංගය - “බොරුවෙන් යමෙකුට රිදවනවා... බය ඇතිකරනවා... හිංසා කරනවා...”
05 අංගය - “කේළමෙන් යමෙකුට රිදවනවා... බය ඇතිකරනවා... හිංසා කරනවා...”
06 අංගය - “සැඩ බවට පත්වී යමෙකුට රිදවනවා... බය ඇතිකරනවා... හිංසා කරනවා...”
07 අංගය - “ප්‍රලාඵ තුලින් යමෙකුට කිසිම යහපත් වැඩකට හිත යොදවන්න දෙන්නේ නැතිව හිංසා කරනවා...”
08 අංගය - “ලෝභ කමින් අනුන්ව රිදවනවා...හිංසා කරනවා...”
09 අංගය - “ද්වේශයෙන් තමනුත් දැවිලා තැවිලා අනුන්ටත් රිදවනවා... බය ඇතිකරනවා... හිංසා කරනවා...”
10 අංගය - “මෝහය නිසා ඇත්ත නැත්ත පේන්නේ නැතිව තමනුත් මුලාවට පත්වෙලා අන් අයත් විනාශයට පත්කරනවා”

එහෙනම් මේ දස අංගය තමයි අංග කියලා පෙන්‍නුවේ. එලෙස මේ අංග ගුලි කරගෙන වකුටු කරගෙන තමයි ලෝක සත්වයන් යන්නේ... එය තමයි ගති ගුණය. මේ අංග ගුලි කරගෙන ලෝභ, ද්වේෂ, මෝහ කරපින්නාගෙන දස අකුසලය නමින් මේ අංග දහයක් ගුලිකරගෙන එන පුරුද්දක් තියෙනවා. මරන්න ඕන... ගහන්න ඕන යනාදී ද්වේශ අවස්ථාවල අතමිට මොලවනවා. එහෙනම් අංග ගුලි කරගත්තා. එතකොට අංගුලි කියන වචනය හැදුනා. අපිට තියෙනවා දස අංගුලි. සසරේදී මේ මේ දස අකුසල් කරන්න අංග දහයක් කරන්න මිට මොලවා ගත්තා. අංග ගුලි කරගත්තා. අසංවර ක්‍රියා කොට හසුවීම නිසා බැගෑපත් වුණාමත් අංග ගුලි කරගන්නේ ඒ නිසයි. අංග ගුලිකරගත් ඒවායේ රූප ලක්ෂණ තමයි එලෙස පැහැදිලිකලේ. ගුලි කරගත් අංග දිය කර හැරිය යුතුයි.
එනම් දස අකුසල් තෝරාගෙන තමාටත් ලෝකයාටත් අවැඩ දෙයක් කියන එක ව‍ටහාගත යුතුයි. එයි දුස්චරිතයක් කියලා එතනින් වටහා ගන්නවා... එය කල යුතු කොටසටද නොකල යුතු කොටසටද අයත් වෙන්නේ කියලා එතනින් වැටහෙනවා.
එතනින් තීරණය කරනවා එය ගුලි කර ගන්නවාද දිය කර හරිනවාද (ජලි කරනවාද) කියලා. මෙලෙස එක් එක් අංග ‍ගුලි කරනොගෙන අංග දහය ජලි කර හැරීම ඇගිලි දහය ඍජුකොට පෙන්වනවා.
එය තමයි අංග ජලිකරණය කලවිට ඇතිවන ලක්ෂණය. එය තමයි දිගහැරුණු දෙඅත්ලෙන් පෙන්වන රූප කලාපය. මේ අකුසල අහිතකර ක්‍රියා දහය මගෙන් සිදුවන්නේ නැහැ. මගේ පපුවෙන් එය පිලිගන්නේ නැහැ. එය මා තුලින් දිය කර හැරියා කියලා පෙන්වන්න අත්දෙක පපුවට ගන්නවා. මගේ හදවතට සාධුකාර දිය හැකි ගුණයන් අරගත්තා යන්න පෙන්වන්න පපුවට දිගහැරිය දෙඅත්ල තියාගන්නවා.

මා තුල “ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්තාචාරය” යන කයින් සිදුවන වැරදි දුසිරිත් 3 නැහැ.
මා තුල “මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්ප්‍රප්ලාඵ” යන වචනයෙන් සිදුවන වැරදි අසංවර ගති 4 නැහැ.
මා තුල “අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍ය දිට්ඨි” (ඇලීම, ගැටීම, මුලාව /ලෝභය, ද්වේෂය, මෝහය) කියන අවස්ථා 3න් අසංවර වන මනසක් නැහැ මම මේ දස අකුසලයන්ගෙන් මිදී ඒවා දියකර හැරිය කෙනෙක්. එවා මගේ හදවතින්ම වැරදි ලෙස පිලිගෙන එයින මිදී සංවරත්වයට පත්වූ කෙනෙක් යන්න පෙන්වන්න පෙරකල බෞද්ධයින් ක්‍රියා කලාපයක් හදාගත්තානම් එය තමයි “දිගහැරිය දෙඅත්ල පපුව මත තබා තුන්වරක් ශබ්ද නගා සාධුකාරය දීම” මෙය තමයි අපේ ආපු චාරය... එනම් “ආචාරය”. ආචාර කරන විට දිගහැරිය දෙඅත්ල පපුව මත තබා ආයුබෝවන් කියා කියනවා. මෙය බොදුනුවෙක් තවත් බොදුනුවෙක්ට කියනවා අපේ ආපු චාරය මේකයි කියලා.
දස අකුසලයෙන් මිදුණ මූල ධර්මය තමයි අපේ පෙරකල බෞද්ධයන් ගෙන ආ මූලික ගුණය. එය නිතර නිතර සිහිකරන්න ආපු චාරය නොකැඩෙන්න ආයුබෝවන් කියලා ආචාර කලා. ආයුබෝවන් කියන්නේ... අවුරුදු සීය දෙසීය ජීවත් වෙන්න කියලා නෙවේ. “අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං...” මේ දස අකුසලය කරන්නා ප්‍රමාදයි. මල මිනියක් වාගේයි. මේ දස අකුසලයෙන් මිදී සුචරිතයේ පිහිටන්නා අමෘත පදයේ පිහිටන්නාවේ. ඔහුට ආයු බොහෝ ඇත. එහෙනම් ඔබටත් ආයු බො‍‍හෝ වේවා! අප්‍රමාදව කටයුතු කරන්නාට නිවන් මග ලැබෙනවා. ආර්ය මාර්ගය පූර්ණය වෙනවා. ඒ කියන්නා වූ අප්‍රමාදී ගුණය ලැබේවා කියන අදහසින් “ආයුබෝවන්” කියලා ආපු චාරය කියලා දුන්නා. එනම් ආචාර කලා. එයයි අපේ ආපු චාරය.
අපි අත්දෙක ඒ විදිහට නලළට ගන්නවා. නළල් තලයෙන් පෙන්වන්නේ නිතර සිහි කල්පනාවෙන් ඉන්න කියලා. බැරිවීමකින්වත් මගේ අතින් මේ දස අකුසල් නොවීමට ‍මගේ සිතුවිලි ක්‍රියා වදන් සංවර කරගන්න මම සතියේ පිහිටනවා. එය තමයි නමස්කාරයෙන් අදහස් කරන්නේ.
හිස්මුදුනෙන් තියනවා. එනම් මගේ ජීවිතය දෙවැනි කරලා මේ කියන්නා වූ ක්‍රියා පිළිවෙත අරගෙන යනවා කියලා කියනවා. දොහොත් මුදුන් දී වදිනවා කියලා කියන්නේත් ඒකටමයි.
දැන් අපි දන්නවා නියමාකාර “සාධුකාරය”!

ඔබට සිතෙන්නට පුළුවන් මෙහි ඇති අර්ථ ඔබගේ භාෂාමය ඥානයට නොසැසදෙන බවට... එහෙත් සිතන්න.. සිතන්න... පැහැදිලි මනසිකන් මෙම කරුණු නැවත නැවත සිහිකරන්න... අවබෝධ කරන්න... මෙලෙස වීම සිදුවිය නොහැකිද යැයි සිතා බලන්න... එසේ සිදුවිය නොහැකි නම් එලෙස වීමට පැහැදිලි හේතු සිතා බලන්න...මේ ආකාරයට සාධුකාරයට ගැඹුරු ඍජු අර්ථයක් තිබීම සිදු විය නොහැක්කක් වන්නේ කෙලෙසද කියා සිතා බලන්න... ඔබටම වැටහේවි... පුරුද්දක් ලෙසට දුන් සාධුකාරයේ සහ අර්ථවත්ව දෙන සාධුකාරයේ ඇති වෙනස... ඉපැරණි බෞද්ධයන් ක්‍රමවත්ව රැගෙන ආ මෙවැනි ක්‍රම රටාවක් අවුල්ව යාමටත් හේතු යෙදුණු බව මා මෙන්ම ඔබද දන්නවා... බෞද්ධයෙකු වීම සදහා ප්‍රථමයෙන් තබන පියවර කොතරම් ක්‍රමවත්ව එකල තිබුණාද කියා ඔබටත් දැන් තතු ඇතිව වැටහෙනවා ඇතියි සිතමි... මෙකල උප්පැන්නයට පමණක් සීමා කර ඇති බෞද්ධ බව එකල දරුවාට නියමාකාර ආරම්භයක් දීමෙන් ආරම්භ කර ඇති බව ඔබටම වැටහෙනවා ඇත.
එසේනම් යලිත් සිතන්න... බෞද්ධයෙකුට මෙවැනි අර්ථයක් රැගත් නියමාකාර අර්ථවත් සාධුකාරයද වඩා වැදගත් භක්තියෙන් පමණක් කියන අර්ථ ශුන්‍ය සාධුකාරයද වැදගත් යැයි සිතා බලන්න! සිතීම ඔබේ මනසත් අවබෝධයත් නුවණත් වර්ධනය කරාවි...! එනිසා සිතන්න එතුලින්ම නියම මාර්ගය‍ තෝරාගන්න! 

දැන් මම ඔබ සියළු දෙනාහට අභිමානයෙන් යුතුව ආචාර කරමි! “ආයුබෝවන්” ඔබ දැන් එහි නියමාකාර අර්ථය මනසෙහි දරන්නෙක් නොවන්නේද? එලෙස යමෙක් ආචාර කරන සැමවිටම මෙම අර්ථවත් භාවය සහ ඔබ එලෙසින් ඔබේ මග නිවැරදි කර ගත යුතු ආකාරය මෙනෙහි කරන්න... ඔබ ඔබවම නිවැරදි කරගන්න! නියම මාර්ගයට පිවිසෙන්න!
දැන් මා විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවියට සාධුකාරයක් දෙනු කැමැත්තෙමි. එයටද හේතුවක් ඇත. මෙම වෙබ් අඩවිය නිවන් අවබෝධය පිණිස පමණක් වන පරම සත්‍යය බෙදාහදාගැනීමට සැකසී ඇති නිසාවෙනුත් එය බොහෝ දෙනෙකු ත්‍රිවිධ සුචරිතයට පත්කිරීමට සමත් සද්ධර්මය රැගත් පින්කෙතක් වැනි වූ නිසාවෙනුත් එය නියමාකාර අර්ථ සහිත සාධුකාරයෙන් පිදුම් ලැබීමට සුදුසු වන හෙයිනි!
“සාධු සාධු සාධු!”

No comments: