නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, February 16, 2017

නුවණක් නැතිව දහම් අසා අනතුරට පත්වීම!


දහම් ඇස පහල වූ දේශකයාණන්වහන්සේ හමුවන්නට කිහිප දෙනෙක් එනවා...
ඉන් එක් අයෙක් දහම් ඇස පහළ වීම පිණිස ගැටලුවක් අසනවා... 
එවිට දේශකයාණන්වහන්සේ පෙර නොඇසූ විරූ දහම් විවර වන ලෙසින් කරුණු කාරණා පහදනවා...

ඒත් අසන්නාගේ චිත්ත විතර්කයන් දැනෙන දේශකයාණන්වහන්සේට මේ අසන්නාට මේ ටික නොතේරීම නිසාම කම්පාවක් ඇතිවී ඇති අයුරු දැනෙනවා... අපහසුතාවයට පත්වී ඇති අයුරු දැනෙනවා...

එවිට දේශකයාණන්වහන්සේ ඔහුට තේරෙන මට්ටමක් හෙවත් සතර පෙර නිමිති දකින්නාවූ මට්ටම සේ එදිනෙදා කලකිරීමක් ඇතිවන්නට හේතුවන කරුණු කාරණා පෙන්වා දෙනවා... වචනයෙන් කියනවා “ඔච්චර ගැඹුරක් ඕන නෑ මෙන්න මේ ටික දැකගන්නකෝ... මෙන්න මේ ටික දැනගන්නකෝ“ කියලා...

එතකොට අසන්නා ප්‍රීතියට පත්වෙනවා... සහනයක් ලැබෙනවා... හැබැයි අනුවණකමට හිතනවා “ආ මේ ටික දැනගත්තාම හොඳටම ඇති“ කියලා... එතැන හිටිය අනෙක් පිරිසත් මොකද කරන්නේ... ඒ අයත් හිතනවා “ආ ඔය ටික දැනගත්තාම ඇති“ කියලා... දේශකයාණන්වහන්සේත් කිව්වනේ කියලා... 

ඒ අය නුවණින් දකින්නේ නෑ ඒ දේශකයාණන්වහන්සේ ඒ දහම් ගැටලුව විසඳා දුන්නේ අර ප්‍රශ්ණය ඇසූ පුද්ගලයාටයි කියලා... ඒ පුද්ගලයත්වයට ගැලපෙන ලෙසින් තමයි ඒ කරුණ විසඳුවේ කියලා නුවණින් දැකගන්නේ නෑ... ඒ නිසාම අර වගේ අනුවණ තීරණ ගන්නවා...

ඒ අනුවණ තීරණය නිසාවෙන් ඒ පිරිසම අර කිවූ තැන නවතිනවා... පෙර ඇසූ විරූ දහමක්ම, පෙර නොඇසූ විරූ දෙයක් සේ දරනවා... දහම් ඇස පහල වූවා යැයි රැවටෙනවා... දේශකයාණන්වහන්සේ පෙන්වා දෙන ගැඹුරු සැබෑ පෙර නොඇසූ විරූ දහම් කොටස් මඟ හරිනවා... “උන්වහන්සේම කිව්වනේ ඔච්චර ඕන නෑ කියලා“ කියනවා...

දේශකයාණන්වහන්සේගේ අරමුණ වුනේ ප්‍රීතියට පත්වෙන අසන්නා, දිගින් දිගටම කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබමින් සත්ධර්මය ශ්‍රවණය කරමින් උන්වහන්සේ මුලින්ම පෙන්වා දුන්නාවූ මේ ගැඹුර හසුකරගන්නට අප්‍රමාදීවේවි යන අදහසයි... ප්‍රඥාවන්තයෙක් ඇසුවොත් නම් සිදුවන්නෙත් එයමයි...

අන්න ඒ නිසාම බුදු හිමියන් පෙන්වා දුන්නා, මේ දහම ප්‍රඥාවන්තව විමසන ප්‍රඥාවන්තයින් උදෙසාමයි කියලා... මන්ද අනුවණකමින් විමසන කෙනා අර වගේ අතරමඟ නවතිනවා...

මේ වන විට බුදු හිමියන් විවිධාකාර පුද්ගලත්වයන්ට ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් දුන් දහම් කොටස් සූත්‍ර දේශනා වශයෙන් පවතිනවා... මේ දහමේ හරය අවබෝධ කරගන්නවා වෙනුවට ඒ ඒ මට්ටම් වලින් දහම මෙය යැයි පවසමින් ලෝක සත්වයා දකින ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම, ප්‍රියයන්ගේ වෙන්වීම, අප්‍රියයන් හා එකතුවීම, යමක් කැමති සේ නොලැබීමේ දුක ආදී බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට තෝරාගත හැකි මට්ටමකින්ම දහම යැයි රැවටී නතර වී සිටිනවා... එයම විග්‍රහ කරනවා... බුදු දහම යැයි එයම ප්‍රකට කරනවා... 

මෙකල දේශකයාණන්වහන්සේලාගෙන් දහම් අසන බහුතරයක් පිරිසක් තුලද මේ දේ දැකගන්නට තියෙනවා... මතුපිට මට්ටමක්ම හසුකරගෙන දහම් දැක්කා යැයි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන ස්වභාවයන් ඉස්මතු වෙනවා... මෙය තම තමන්ටම කරගන්නා මහා අවාසනාවක්... අති දුර්ලභව මනුසත් බවක් ලැබ... අතිදුර්ලභව ලබන බුද්ධ ශාසනයක් ලැබ... අතිදුර්ලභව ලබන කළණ මිතුරු ඇසුරක් ලැබ... අතිදුර්ලභව ලබන පිවිතුරු සත්ධර්මයක් ලැබ... හොද්දකට බැසගත් හැන්දක් සේ ඒ ගැඹුර සියුම් බව දැකගන්නට උත්සාහ නොදැරීම අනුකම්පාසහගතයි...

බුදු හිමියන් මේ සත්ධර්ම ශ්‍රවණයේ අඩුපාඩුව මෙකල සිදුවන බව විටෙක පෙන්වා දී තිබෙනවා... බුද්ධ ශාසනය නැති වෙන්නට මෙයත් හේතුවන බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා... හේතුව තමයි, මෙසේ අනුවණව තීරණ ගන්නා... මෙසේ විමසුමකින් තොරව සත්ධර්මය අසන්නා හට දහම් ඇසක් පහල වීමට පරිසරය වැසී යනවා... තමන් විහින්ම ඒ පරිසරය වසාගෙන තිබෙනවා... 
ඉතින් උතුම් තෙරුවණටවත් මේ විහින් වලේ වැටෙන්නාහට උපකාරයක් විය නොහැකියි... අනුවණවකමකින් විමසන්නාට ලෝකයම සකස් වෙනවා මිස... පැවැත්මම සැකසෙනවා මිස... පැවැත්ම නැවැත්මක් නැත... සත්පුරුෂ දහමෙහි... ආර්ය දහමෙහි දක්ෂ බවක් සකස් වෙන්නේ නැත...

ඒ නිසා ඔබ ප්‍රඥාවන්තව විමසන ප්‍රඥාවන්තව දහම් අසන්නෙක් විය යුතුයි... දේශකයාණන්වහන්සේ විසින් පෙන්වා දෙන තමන්ට නොවැටහෙන දහම් කරුණ තමන්ට නොවැටහෙන්නේ මන්දැයි විමසිය යුතුයි... නොවැටහෙන්නේ නම් ඒ නොවැටහෙන කරුණම තව තවත් විමසන්නට ප්‍රඥාවන්ත විය යුතුයි... පංච ඉන්ද්‍රීයයන්ට වැටහෙන දත්තයන් තුලින් දහම් නොවිමසා සියුම් ගැඹුරු අදහස අවබෝධය පිණිස කටයුතු විවර කරගත යුතුයි.... 

යම් දහම් කරුණක් විග්‍රහ කර ඇති අයුරු ප්‍රඥාවන්තව විමසා මේ දහම් කරුණ මට ගැලපෙනවාද, මගේ චරිත ස්වභාවයට මෙය ගැලපෙනවාද, මේ මට්ටමින්ද දහම් දැකිය යුත්තේ, මේ කියන දේ තුලින් පැවැත්ම නවතිනවාද ආදී වශයෙන් ප්‍රඥාවන්තව විමසිය යුතුයි...

සමහර අවස්ථා තිබෙනවා ඒ දේශකයාණන්වහන්සේ විසින්ම වෙනත් පුද්ගලයෙකු ඇසූ විට අර පෙර කිවූ ප්‍රමාණවත් කිවූ මට්ටම නම් ප්‍රමාණවත් නැත මෙන්න මේ විදියට දහම තෝරාගත යුතුයි යැයි පෙන්වා දෙනවා... මන්ද ඒ අසන්නා හට අර කිවූ පෙර නොඇසූ විරූ දහම් මට්ටම හසුකරගන්නට ඒ අවස්ථාවේදී පැහැදිලි මානසිකත්වයක් තිබෙන නිසා... 
අන්න එවිට ප්‍රඥාවන්තව විමසන්න ඕන... මෙයාට මෙහෙම කිව්වා... අරයට අරහෙම කිව්වා... එහෙනම් කොයි කොටසද ගැඹුරු කොටස... ඒ ගැඹුරු සියුම් කොටස මට වැටහෙනවාද? ඇයි මට ඒ කොටස වැටහෙන්නේ නැත්තේ... මේ විදියට ප්‍රඥාවන්තව විමර්ශණය කල යුතුයි!

අති දුර්ලභ මිනිසුනේ ප්‍රඥාවන්තවන්න! මන්ද ඔබව බේරාගත හැක්කේ ඔබටම පමණි.... අති උතුම් ශාස්තෘවරයාණන්වහන්සේලා විසින්... ඒ ශාස්තෘවරයාණන්වහන්සේලා පෙන්වන දහම් අවබෝධ කරගත් උතුමන් විසින් අනුකම්පාවෙන් යුතුවම යම් අනතුරක් පෙන්වන්නට මහා මෙත් සිතකින් කටයුතු කරනවා... ඒ අනතුර හඳුනාගන්නට ප්‍රඥාවන්තවන්ත වන්න! මන්ද තමන්ව ගලවා ගත හැක්කේ තමන්ටම පමණි!!! 
තෙරුවන් සරණ උපරිමයෙන්ම ලැබ නිවනම වෙත්වා!!!

දැන්වත් ප්‍රඥාවන්තව නියම දහම දැකගන්නට අප්‍රමාදීවන්න!

මායාව විනිවිද දකින්නට දහම් ඇසක් අවශ්‍ය වෙනවා... මේ විපාකයක් වශයෙන් ලැබී තිබෙන ඇස,කණ, දිව, නාසය, කය, මන කියන ඉන්ද්‍රීයයන්ගෙන් ඇහෙන පෙනෙන දැනෙන විඳින දේවල් වලින් නම් ලොව්තුරා බුදු පියවරුන් පෙන්වා දුන්නාවූ පෙර නොඇසූ විරූ දහම් දැකගන්නට නොහැකියි... අන්න ඒ මායාව විනිවිද දකින්නට අංශු මාත්‍ර හෝ දහමක් පෙන්වා දෙන්නේ යම් කෙනෙක්ද ඒ උතුමන් දොහොත් මුදුන් දී නමස්කාර කරන්නට නිසිමය... 

අති පූජනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දේශනා වල මේ ගැඹුර අත්දැකගන්නට හැකිවූනා නම් උන්වහන්සේගේ අඩුව පුරවන්නටැයි... උන්වහන්සේ පෙන්වූ දහමමයි... යැයි කියා අධර්මයන්ගේ සරණ නොපතාවි... දැන්වත් ප්‍රඥාවන්තවන්න... වචන පද ඉක්මවා ධර්මය දැකගන්න...

කැමති සේ නැතිවූයේ, කැමත්ත ඉටුවුනේ නැතිවූයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ පංචස්කන්ධයක් වශයෙන් සැකසී මායාවක් සැකසූ අවස්ථාවේදීමයි! ඒ පංචස්කන්ධ මායාව නොදැක එයට රැවටී එය භාරගන්නා මොහොතේ පටන්ගෙන සකස් වෙන පංච උපාදානස්කන්ධයද හරි හැටි තේරුම් නොගෙන ඒ පංච උපාදානස්කන්ධයට සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා ගනිමින්... ඒ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා අතර ගහ, කොළ, අඹුදරුවන්, ගොන් හරක් එළු බැටලුවන් දකිමින්, අනේ මේවා අපේ කැමැත්තට නෑ නොවේදැයි පැවසූවාට එතැන දැක ඇති දහමක් නොවේ... 


යමෙක් විපාකයක් වශයෙන් සකස් වී ඇති මේ මායාව සකසන ක්‍රියාදාමය විනිවිද දකිමින්... ගහ, කොළ, අඹුදරුවන්, ගොන් හරක් එළු බැටලුවන් විනිවිද යමින් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා විනිවිද යමින්, පංච ස්කන්ධ මායාව සැකසුන ආකාරය ප්‍රඥාවෙන් විනිවිද දකින්නේ නම් පෙර නොඇසූ විරූ දහම් දැකුමට ඒ ඇත්තන්ට දහම් ඇසක් පහල වී ඇත... ආර්ය පර්යේෂණය අන්න එවිට සිදුවනු ඇත... 


සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් ගන්නා සංඥා විපරීතය... සංඥා විපල්ලාසය නිවැරදි වනු ඇත... විපාකයක් සේ අත්දකින මායාව පසාරු කරගෙන විනිවිද යමින් විදසුන වැඩෙනු ඇත... සංඥා විපරීතය නිසාම සකස් වෙන “මම“ සකස්වීම නතර වනු ඇත... 


සියල්ල අත්හැරී මොහොතෙන් මොහොත නිවනම ලැබෙනු ඇත... මන්ද අල්ලා ගත් සියල්ල යනු මොහොතක් පාසා පංචස්කන්ධ මායාව නොදැක “මම“ යැයි හැඟීමෙන් යුතුව මායාව භාරගැනීමම වේ... මේ දේ අහන දකින දැනෙන විඳින මොහොතක් පාසා සිදුවන බව ප්‍රඥාවෙන් දකින්නේ නම් වැටහේවි...

මේ දහම දැකගන්නට මායාවේම ඵලයක් ලෙසින් ලැබූ ඇස, කණ, දිව, නාසය, කය කියන පංච ඉන්ද්‍රීයයන් තුලින් නොහැකි නිසාම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නාවූ ඉන්ද්‍රීය පහක් බුදු හිමියන් පනවා ඇත.. ලැබෙන්නේද වැඩෙන්නේද ඒ ඉන්ද්‍රීයයන්මයි... මායාව විදින්නට සකස් වූ මනසිකාරය එවිට සොරු අල්ලා දෙන සොරෙක්ම සේ යෝනිසෝ මනසිකාරය නමින් පෙනී සිටින්නට පටන්ගනී... සබ්බේ ධම්මා අනත්තාති අවබෝධය ප්‍රත්‍යක්ෂ වන ක්ෂණයක් පාසා මේ සොරු අල්ලන්නේද සොරෙක්මය යන අවබෝධය, සිහිය නිසාම එයද අතහැරීම සාමාන්‍ය දෙයකි... 


මෙවන් ගැඹුරු දහම් අවබෝධයෙන්ම මතු කර දුන් ඒ උතුම් කළ්‍යාණ මිත්‍රායාණන්වහන්සේ වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමිපාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේගේ පද පෙරලි මත අතරමං නොවී පද පෙරලා පෙරලා මතු කර දෙන්නට උත්සාහ දැරූ මේ පෙර නොඇසූ විරූ දහම් හේතු වාසනා ඇති සියලු සතට ගෝචර වේවා!! 
මෙවන් ගැඹුරු දහම් මතුකරන අතලොස්සකටත් වඩා අඩු ප්‍රමාණයක හිමිවරුන් සහ උපාසක උපාසිකා පිරිස් මේ වන විටත් අප අතරම සිටිනවා... උන්වහන්සේලාද මේ ජීවිතය කෙලවර කරගන්නට මත්තෙන් තම තම නිවන් මඟ පාදා ගන්නට මායාවේ තීන්දු තීරණ වලට නොරැවටී කටයුතු සලසා ගනිත්වා! 

අප්‍රමාදීව නිවන් මඟම පූර්ණය වී නිවනින්ම සැනසෙත්වා!!! 
තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!