යමෙක් මහා අනතුරකින් තමන් ව ගලවා ගත් විටෙක “බේරුණ බේරිල්ලක්” යැයි මහා සැනසීමක් සමඟ ඒ අනතුරින් ගැලවෙන්නට උපකාර කල කෙනා ගැන සිතේ ඇතිවෙන්නේ මහා ගෞරවයක්... සෙනෙහසක්... භක්තියක්... කෘතෝපහාර කල යුතු මයි යන හැඟීමක්. ඒ පුද්ගලයා දකින වාරයක් පාසා... ඒ පුද්ගලයාගේ රුව දකින වාරයක් පාසා... ඒ පුද්ගලයා ගැන විස්තරයක් අහන වාරයක් පාසා දැනෙන්නේ “මේ මාව මහා අනතුරකින් බේර ගත්තා වූ උත්තමයා නොවේ දැයි” යන අප්‍රමාණ ගෞරවාන්විත හැඟීමක්.
ඒ හැඟීම ඇතිවෙන්නේ ම... තමන් නො දැනීම අනතුරකට මුහුණ පෑ බව හඳුනා ගත්, ඒ අනතුරේ තරම නිවැරදිව දුටු... ඒ අනතුරෙන් ගැලවීම තුල ලැබුණ ලාභය දුටු සිතකටම පමණයි. එය නො දුටු... නො හැඟුණු සිතකට... අඩුම තරමේ තමන්වම මේ අනතුරෙන් ගලවා ගන්නට හැක්කේ මෙවන් කෙනෙකුට මයි යන හැඟීමවත් නැත්තෙකුට මේ ගරු ගුණ සිත නුහුරුයි.
එවන් සිත් දරන්නෝ සැම කල බහුලයි. දිය රත් වන තුරු දිය කෙළියේ සිටිනා කකුළුවන් රැලක් සේ ඒ ඒ මොහොතේ සතුටු වෙමින්... ඒ ඒ මොහොතේ දාර්ශනික වදන් දොඩමින්... ඒ ඒ මොහොතේ ප්‍රශ්ණයන්ට පිළිතුරු සොයමින් නිවනක යැයි සිතා අරමුණක් පාසා නො දැනීම පොරකමින්... ඒ ඒ මොහොතේ පොරයෙන් ලබන ජය විමුක්තිය යැයි සිතා සතුටු වෙමින්... අහෝ! දිය රත් වන පමාවට මයි.
එවන් සිතක් සසර පුරාවට දැරූ මාව ද තවත් බොහෝ පිරිසක් ද ඒ අනතුරෙන් ගලවා ගත් සම්මා සම්බුදු රජුනි, ඒ උතුම් ගුණ කඳට හද පත්ලෙන් නැඟුණ මේ වදන් පෙල උපහාරයක් ම වෙත්වා!
සංසාර සැපය ම කතා කරන දහසක් අතර, සැබෑ සසර දුක කියා දුන්...
පිළිසරණ ඇති බව බොරුවට පෙන්වන දහසක් අතර, සනාථ අනාථ බව කියා දුන්...
පිරුණ බව දැනෙන ප්‍රිය මධුර සුවයක අතරමං වන විට සැබෑ ශුන්‍ය බව කියා දුන්...
සැබෑවක් යැයි සිතා ලෝකය ම විඳින විට, එහි මායා විජ්ජාව කියා දුන්...
අගාධයක පය ලිස්සා වැටෙන්නට මොහොතකට පෙර සැබෑ අනතුර කියා බේරා දුන්...
මවකට පියෙකුටත් මඟ හැරෙන යුතුකමක් මවක් සේ පියෙකු සේ පෙන්වා දුන්...
මිතුරු වෙස් ගෙන සිටින හතුරු දහසක් අතර හොඳම කළණ මිතුරෙකු සේ මිතුදම් කියා දුන්...
මග නොමග වී... අතරමං වී... අසරණ නොවන්න ට නිසි මඟ පෙන්වා දුන්...
බුදු රඳුනි... බුදු රජුනි... මගේ බුදු පියාණෙනි... අමා මෑණියනි...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...
හැම දෙසට... ඔබ දෙසට... ඔබ වහන්සේ දකින සැම අතට...
ඔය උතුම් සම්බුදු ගුණ... දැනෙන සැම මොහොතකම...
හිස නමා... දණ නමා... දෑත් මුදුනේ තබා...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...
මෑණියනි බුදු රඳුනි මගේ,
තවමත් ඔය පිය ගුණ නො දැක්ක... තවමත් ඔය මව් ගුණ නො දැක්ක...
තවමත් ඔය මිතු දම් නො දැනුන... තවමත් උතුම් ශාස්තෘ බව නිසි සේ නො දැක්ක...
තවමත් සැඟවුණු දුක නො දැක්ක... තවමත් අනතුර නො දැක්ක...
තවමත් ලෝකය පිරුණ... කෙලි සෙල්ලම් කරමින් සතුටු වන ළදරු දන බෝ මයි...
එදත් විය... අදත් වේ... හෙටත් බහුලව ම සිටිති... දනිමි මම එය සොඳින...
ඔය ගුණ වඳින විට... පුදන විට ගරු සිතින...
සිනාසෙයි මට කරයි ඔච්චම්... පවසමින් මා මෝඩ යැයි...
ශුන්‍යයයි ලු පියාණෙනි ඔබ ද... නැති ලු අගයක් බොරු වැඩ ලු මේ සැම...
ගුණ යැයි... උතුම් යැයි සම්මත... නැති ලු කිසි මෙලොව පරලොව...
ඒ හදට කෘතගුණ බොහෝ දුර යැයි දනිමි මම සොඳින...
ඔය ගුණ දකින්නට විවර වේවා ඒ හද, යැයි පතමි මම සොඳින...
පියාණෙනි බුදු රඳුනි මගේ,
කරන විට ඔච්චම්... ඇසෙන විට කෙලි කවට කම්...
මගේ හද අසයි එකම එක පැනයක්...
මට නැණ ලබා දුන්... මට පණ ලබා දුන්... මට දම් ලබා දුන්... මට මඟ ලබා දුන්...
මගේ බුදු පියාණන්... මගේ අම මෑණියන්... මගේ අග්‍ර මිතුරාණන්...
හිස නමා... දණ නමා... දෑත් මුදුනේ තබා...
වන්දනා කරන්නට සුදුසු බුදු රඳුන් නොවේ නම් වෙන කව්රුන් ද මේ තුන් ලොවේ?
හිස නමා... දණ නමා... දෑත් එකතු කොට...
පිදුම් ලබන්නට සුදුසු බුදු රඳුන් නොවේ නම් වෙන කව්රුන් ද මේ තුන් ලොවේ?
කළණ මිතුරාණෙනි බුදු රඳුනි මගේ,
ගිලිහේ නම් මේ ගුණ ඔවුන් පවසන ඒ නිවන තුල...
හිස් වේ නම් ඔය බුදු ගුණ ඔවුන් පවසන ඒ නිවන තුල...
නොමැති නම් උතුමන් ඔවුන් පවසන ඒ නිවන තුල...
නො නැමේ නම් හිස තමන් හට උපකාර කල උතුමන් ඉදිරිපිට...
පුදන්නට නො හැකි නම් තමන් සතු දෙයක් සිහි කොට ලැබු උපකාර...
විවර නොවේ නම් මුව වැනුමට අනන්ත ගුණ සම්බුදු රුවේ...
ඔවුන් පවසන ඒ නිවන තුල නොමැති නම් මේ සත් දහම් ගුණ...
එපා හිමියනි එපා, මට නම් එවන් නිවනක් නොමැති අරි ගුණ...
සසරේ සැම කල ලැබුවෙමි එවන් නිවනක්... දැරුවෙමි එවන් මිස දිටු සිතක්...
සිරව සක්වළ අන්තරයේ... සැඟව සිටියෙමි කල්ප ගණනක් ඒ මහා ගනඳුරු නිරේ...
ලැබුවේ සරණක් මේ අත්බැවේ... ඔබ නිසාමයි... ඔබ නිසාමයි...
බුදු රඳුනි... බුදු රජුනි... මගේ බුදු පියාණෙනි... අමා මෑණියනි මගේ...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...
හැම දෙසට... ඔබ දෙසට... ඔබ වහන්සේ දකින සැම අතට...
ඔය උතුම් සම්බුදු ගුණ... දැනෙන සැම මොහොතකම...
හිස නමා... දණ නමා... දෑත් මුදුනේ තබා...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...
දහසක් සිනා මැද... වඳිමි මම පුදමි සම්බුදු රජුන් මගේ!!!
තුති පුදමි බුදු හිමියනි මේ නිවී සැනසුමට!
තුති පුදමි බුදු රජුනි මගේ මේ දුන් ගුණ සිතට!
තුති පුදමි පියාණෙනි මට දෙන රැකවරණයට!
තුති පුදමි අමා මෑණියනි මගේ මට දෙන සෙනහසට!
තුති පුදමි මිතුරාණෙනි මගේ මේ උතුම් මිතු දමට!!!
කෘතෝපහාර වෙත්වා උතුම් තෙරුවනටම මගේ!!!
1 comment:
සාදු සාදු සාදු
Post a Comment