සටහනේ අන්තර්ගතය
මේ වන විට නිවීම පිණිස කටයුතු කරන පිරිස මුහුණ පාන ප්‍රධානතම අකරතැබ්බයක් තමයි සාමාන්‍ය ආධ්‍යාත්මික පුහුණු කිරීම් සහ සැබෑ විමුක්තිය හෙවත් නිර්වාණ මාර්ගය පටලවා ගැනීම. ඉතින් මේ ගැන කොතරම් පෙන්වා දෙන්නට උත්සාහ දැරුවත් බොහෝ විට මේ කාරණය තෝරා ගන්න ඒ අයට අපහසු වෙනවා. පුංචි කතාවකින් මේ වෙනස කියා දෙන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහ කරන්නම්. ප්‍රඥාවන්ත ව විමසා සැබෑ විමුක්තිය උදා කර ගන්නට උපකාර කර ගන්න!
මහා දරුණු සතුරු සේනාවක් ආක්‍රමණය කරලා... මහා අනතුරක්... මේ සතුරු සේනාව සමඟ දරුණු යුද්ධයකට යන්නම වෙනවා. සාම සාකච්ඡා පවත්වන්නට හැකි සේනාවක් නම් නෙමයි මේ සතුරු සේනාව. යුද්ධ කරලා ම තමයි විමුක්තිය උදා කර ගන්නට වෙන්නේ. මේ යුද්ධය අවසානයක් කරන තුරු ගැලවීමක් නම් නැහැ.
මේ සතුරු සේනාව පැරද වීමේ වැදගත්කම දැන ගෙන... ආයුධ සන්නද්ධව, සියලු සටන් ශිල්ප ක්‍රම දැන ගෙන, යුධ උපක්‍රම දැන ගෙන තමන් මුහුණ පා ඇති අනතුර දැන ගෙන ඒ අනතුරෙන් නිදහස් වීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන... එක පුද්ගලයෙක් සොල්දාදුවෙක් වෙනවා. මේ මහා සටනට සූදානම් ව නොබියව වීර්යයෙන් යුතුව ගමන ආරම්භ කරනවා.
දැන් මේ සොල්දාදුවා බවට පත් වූ පුද්ගලයාට පැහැදිලි අරමුණක් තියෙනවා. පැහැදිලි ගමනක් තියෙනවා. ඒ සොල්දාදුවා කටයුතු කරන්නේ ඒ අරමුණ වෙනුවෙනුයි. ඒ සොල්දාදුවා නො සැලී ඉදිරියට ම යන්නේ ඒ තමන් හඳුනා ගත්ත ජයග්‍රහණය ලැබීම පිණිස මයි.
දැන් මේ යුද්ධය ගැන කිසිදු අදහසක් නැතිව... සතුරු සේනාවක් ඉන්නවා ද නැද්ද යැයි වත් නො දැන... යුද්ධ ශිල්ප තබා යුධ උපක්‍රම තබා තමන්ට මහා අනතුරක් තියෙනවා ද එයින් ගැලවිය යුතු ද වත් නො දන්නා... තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට එදිනෙදා හැල හැප්පීම් තමයි තියෙන ලොකු ම යුද්ධය. සොල්දාදුවාට වගේ නොවේ මේ පුද්ගලයාට පැහැදිලි අරමුණක් නෑ. මේ පුද්ගලයාට නම් හඳුනා ගත්ත අනතුර වෙන්නේ ඒ ඒ මොහොතේ තමන්ගේ වැඩපිළිවෙළට බාධා ගෙන දෙන ඒවා තමයි. ඒ පුද්ගලයාගේ ජයග්‍රහණයත් ඒ ඒ මොහොතේ තමන් අනතුර යැයි හඳුනා ගත්ත දේවල් වලින් ගැලවීම තමයි.
ඉතින් මේ පුද්ගලයන් දෙදෙනාට තම තමන්ගේ ගමනේ අතර මඟ දී බල්ලෙක් කඩා පනිනවා. කන්න හදනවා... බුරනවා... ගොරවනවා... ඇඟට පනිනවා... හරිම කරදරයක්. යන්න දෙන්නේ ම නෑ.
ඔබට මොකද හිතෙන්නේ?
සොල්දාදුවා කුමක් කරයි ද? යුද්ධයට යන එක පැත්තක තියලා බල්ලා එක්ක යුද්ධ කරයි කියලා හිතෙනවා ද? තමන්ගේ සැබෑ අනතුර හඳුනා ගත්ත... සැබෑ සටන හඳුනා ගත්ත... සටන් කල යුතු තැන සහ සැබෑ හතුරා හඳුනා ගත්ත සොල්දාදුවා අතරමඟ දී තමන්ගේ ගමනට බාධාවක් වන බල්ලා ව සැබෑවට ම බාධාවක් කර ගනියි කියලා හිතෙනවා ද? එතරම් ශිල්ප ක්‍රම දන්න දක්ෂ සොල්දාදුවෙකුට අතර මඟ දී මෙසේ කඩා පනින බල්ලන් එතරම් ලොකු අභියෝගයක් වෙයි කියලා හිතෙනවා ද?
ඒත් හැබැයි සැබෑ යුද්ධය ගැන, සැබෑ සතුරන් ගැන නො දන්නා... සැබෑ අනතුර හඳුනා නොගත් අනෙක් පුද්ගලයා මොනවා කරයි ද?
ඒ පුද්ගලයාට නම් මේ අතරමඟ දී හමුවන බල්ලා සැබෑම අභියෝගයක් නේද? මහා සටනක්... මහා යුද්ධයක්... මහා අනතුරක්... ඒ පුද්ගලයා තමන්ගේ ශ්‍රමය, කාලය, හැකියාව ආදී සියලු ම දේ යොදවන්නේ මේ අතරමඟ දී හමුවන බල්ලා ගෙන් ගැලවෙන්නටයි. බල්ලාගෙන් විමුක්තිය ලබන්නටයි.
මේ වගේ බල්ලන් දහසක් ගණනකින් ගැලවුනත් සැබෑ සතුරන්ගෙන් ඇති සැබෑ අනතුර තවමත් තිබෙන බව තමන්ට ගැලවීමක් විමුක්තියක් නම් නොවන බව මේ පුද්ගලයා දන්නේ නෑ. එහෙම නේද? ඒත් සොල්දාදුවාට නම් එහෙම නෑ. එයාට මේ බල්ලන් කිසිම අභියෝගයක් නොවේ. මොකද සැබෑම අභියෝගය ඒ සොල්දාදුවා නිවැරදි තැන නිවැරදි ආකාරයෙන් හඳුනා ගත්ත නිසා.
ඉතින් මේ කිව්වේ උපමා කතාවක්... මේ කතාවෙන් කියැවෙන සිද්ධිය ගැඹුරින් නුවණින් වටහාගන්නට උත්සාහ කල යුතුයි.
පෙනෙන, ඇසෙන, දැනෙන, විඳින මොහොතේ ම ඒ ක්ෂණයක් පාසා මහා සතුරු සේනාවක් ආක්‍රමණය කරනවා. නො දන්නා අනතුරක ඉන්නේ. ගැලවීම විමුක්තිය ගැන තවමත් අදහසක් නැතිවයි ඉන්නේ.
උපමා කතාවට අනුව මෙසේ ඉන්න පුද්ගලයාට අතරමඟ දී ඇඟට කඩා පනින බල්ලන් සමඟ ඇති සටන නුවණින් දකින්න. මේ බල්ලන්ට සමාන කලේ අප බහුතරයක් දෙනා සැබෑ අනතුර හඳුනා නො ගන්නා තාක් අනතුර සේ හඳුනා ගන්නා සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් උදෙසා හට ගන්න සාමාන්‍ය ඇලීම සහ ගැටීම යි. ඉතින් මේ බල්ලා සමඟ සටන් කරලා ලබන ජය වගේ ඒ ඒ මොහොතේ මේ කියන ඇලීම ගැටීම ආදියට නොයෙක් ආකාරයෙන් පිළියම් කරලා උපේක්ෂාව හෙවත් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති මහා සුවයකට පත් වෙනවා. ඒත් හැබැයි සැබෑ අනතුර... සැබෑ සතුරා... සැබෑ යුද්ධය... සැබෑ විමුක්තිය හඳුනා නො ගන්නා තාක් අතරමඟ දී බල්ලන් සමඟ සටන් වැද ලැබූ ජය මුලාවක් මයි.
මේ තමයි ලෝකයේ හැම දාම ත් තිබුණ සාමාන්‍ය ආධ්‍යාත්මික සුවයක් පතා ගෙන කරන පුහුණු වීම. මෙය ධර්මයේ පෙන්වා දෙන්නේ මෝහ සහගත උපේක්ෂාවට පත්වීම ලෙසයි. උපේක්ෂාවක් තමයි... සුවයි තමයි... හැබැයි මොට්ටකම අයින් වෙලා නෑ. ඒත් බැලූ බැල්මට හොයන්නත් බෑ.
ඉතින් නිවන් මඟ ගමන් කරන... සැබෑ විමුක්තියක් පිණිස කටයුතු කරන ඔබ විසින් අවබෝධ කර ගත යුතු මහා යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය ගැන... ඒ සතුරු සේනාව ගැන... ඒ යුද්ධයේ ස්වභාවය ගැන... ඒ යුද්ධයේ ආරම්භය, අවසානය ගැන... ඒ යුද්ධ උදෙසා භාවිතා කල යුතු යුධ උපක්‍රම, ශිල්ප ආදිය සැම දෙයක් ගැනම අවබෝධ වෙන්නේ, අදහසක් ලැබෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පෙන්වා දෙන පෙර නො ඇසූ විරූ දහම් ගැන අදහසක්, අවබෝධයක් ලැබෙන විටයි.
මේ යුද්ධය ගැන දන්නේ නැති තාක් නම් උපමා කතාවේ කිව්වා වගේ අතරමඟ දී කඩා පනින බල්ලන්ට තැන දීලා ඒ බල්ලෝ එක්ක තමයි යුද්ධ කරන්නේ. යුද්ධය ගැන අදහසක් නැති තාක් අපට මේ බල්ලෝ තමයි වැදගත්. ඒ බල්ලන් සමඟ යුද්ධය තමයි වැදගත්. ඉතින් අපි අපේ සම්පූර්ණ ශ්‍රමය, කාලය වැය කරන්නේ මේ බල්ලන් සමඟ හෙවත් ඇලීම් ගැටීම් සමඟ යුද්ධ කරන්නයි. ඒ අතරේ සැබෑ යුද්ධයේ සතුරු සේනාව අපව පරද්දවලා මරණය හෝ මරණයට සමාන දුකට පත් වෙලා.
ඒ නිසා ප්‍රඥාවන්ත ව නිවැරදි සම්බුදු දහම් විමසන්න. සැබෑ සටන කොතැනක ද යන්න හඳුනා ගන්න... කෙලෙස් සතුරු සේනාව යනු අතරමඟ දී කඩා පනින බල්ලන් නොව එතැනින් එහාට ගිය අති සියුම් සතුරු සේනාවක් බව හඳුනා ගන්නට දක්ෂ වන්න. අන්න ඒ උදෙසා කුසලතාවය වර්ධනය කර ගන්න. ඒ වෙනුවෙන් ඔබට තෙරුවන් සරණ උපරිමයෙන් ලැබෙත්වා! සැබෑ විමුක්තිය, සැබෑ නිවනම වෙත්වා!
No comments:
Post a Comment