තමන් තුලම පවතින තමන්ට අනිවාර්යෙන්ම උරුම දෙයක්. ඒ විතරක්ම නොවේ අවට ලෝකය තුල දී කුඩා කල සිට ම අත් දැක ගන්නට ද හැකි දෙයක්. එහෙත් දැක දැකත් නො දැක්කා සේ සිටින... දැන දැනත් නො දන්නවා සේ සිටින... සිහි පත් කල විටත් යකා නඟින... සිහි පත් කර දෙන්නන් පවා දුටු තැන මඟ හරින්නට සිතෙන.... පෙනී පෙනී තිබෙන... උරුමව තිබෙන මේ ඇත්ත භාර නො ගන්නා තෙක් සැනසීමක් හෝ එයින් මිදීමක් ද නොවන... අපූරු නිමිත්ත! දන්න දෙයක් ද ? ඔබ විසින් දුටු නිමිත්තක් දැයි බලන්න!
මැරුණ මල මිනියක තවත් මොනා මැරෙන්නද?
මිනියක් නැවත කෙසේ මරන්නද?
උරුමය ම මරණය විතරක් ම බව නො දන්නා තෙක්,
“මිනිය” නො මැරී ඉන්නට දරන වෑයම්!!!
එකම නමක් පමණයි පරපුරෙන්ම හිමි,
ඒ බව නො දන්නා නිසාම,
“මිනිය” එක එක නම් දමා ගෙන...
රඟයි බහු රූ කෝලම්...
“නො දන්නා කම” මිනියකට දුන් වටිනාකමක්!!!
මළවුන් ගේ ලෝකයේ පණ යදින මළවුන් හට,
“නො දන්නා කම” මාර බන්ධනයක්...
දැනුවත් බවට පෙන්නුවත් මඟ
කොහි ද මළවුන් හට එහි අගයක්...
මල මිනී හට තියෙනව ලු බෝ වැඩ කම්...
“මිනිය” නො මැරී ඉන්න ට දරන වෑයම්!!!
මළවුන්ගේ ලෝකයක ගෙවෙන හැම තත්පරයක්ම
ඇවිදින මළ මිනියකට කුමන සෙතක් ගෙන දෙයි ද?
එහෙත් “නො දන්නා කම” වින කටිනවා...
එතෙර වෙන්නට නොදී ඒ මළවුන්ගේ ලෝකයෙන්
“මිනිය” ට රඟන්නට අගයක් ම දෙනවා!!!
“නො දන්නා කම” දුටු මිනී නො පමාව මිදෙනවා!!!
“නො දන්නා කම” ම කරපින්නා ගත් මිනී,
අහෝ! පමා වෙමින් තැවෙනවා!!!
අප‍්පමාදො අමතපදං පමාදො මච‍්චුනො පදං - අප‍්පමත‍්තා න මීයන‍්ති යෙ පමත‍්තා යථා මතා
සත්ධර්මයෙහි හැසිරීමට අප්‍රමාදී වීම මරණයෙන් මිදීම වන නිවීමට කාරණායි. එසේ අප්‍රමාදී නොවී, පමා බව ම දරා ගෙන සිටීම මරණය ම උරුම කර දෙයි. මළවුන්ගේ ලෝකයේ අප්‍රමාදී බව හඳුනා ගෙන නිවෙන දහම් හි නො පමා වූවෝ මරණයෙන් මිදෙයි. යම් කෙනෙක් ධර්මයෙහි පමා වෙත් ද, නො දන්නා කම උරුම කර ගෙන ඇති ඔහු, මළවුන් අතර තවත් එක් ඇවිදින “මළ මිනියක්” ම පමණි!
එතං විසෙසතො ඤත්වා, අප‍්පමාදම‍්හි පණ‍්ඩිතා - අප‍්පමාදෙ පමොදන‍්ති අරියානං ගොචරෙ රතා
නුවණැත්තෝ අප්‍රමාදයෙහි වූ මේ ගුණය හොඳින්ම අවබෝධ කරගෙන අප්‍රමාදයෙහි ම සතුටු වෙති. මරණය ඉක්ම වූ මරණයෙන් මිදුණු මළවුන්ගේ ලෝකයෙන් එතෙර වූ ආර්ය දහම් නිරන්තරයෙන් ඇසුරු කරමින් මරණයෙන් මිදෙන්නට කටයුතු කර ගනිති.
No comments:
Post a Comment