මේ දින වල ලංකාවේ ත්‍රිපිටකය
ඇසුරු කරන බොදුනුවන් බහුල ව කතා බහ කරන මාතෘකා ව ක් තමයි ත්‍රිපිටක සංරක්ෂිත
පනත. ගිහි පැවිදි දෙපාර්ශවය ම මේ සම්බන්ධව
දැඩි උනන්දුවක් තිබෙන බවක් නම් පෙනෙන්නට තිබෙනවා.
නිරන්තරයෙන් මගෙන් ද මේ ගැන විමසා සිටින නිසා මගේ අදහස සුපුරුදු පරිදි
සටහනක් තබන්නට සිත් වුනා.
ගිහි වේවා පැවිදි වේවා නිවෙන
දහම් මඟක කටයුතු කරනවා නම්... අවංකව ම නිවීමට කැමැත්තක් වේ නම්... මම නම් දකින්නේ
තම තමන් තෝරා ගත්ත ඒ මාර්ගයට අවංක විය යුතුයි.
බුදු පියාණන් වහන්සේ ලා ගේ අවවාද අනුශාසනා වලට ගරු කරන ශාස්තෘ ගරුක සැබෑ ශ්‍රාවකයෙක්
නම් සෑම මොහොතක් ම කැප කරන්නේ තම තමන්ගේ සිත, කය, වචනය ඒ උතුම් තෙරුවන ට
අනුව ධර්මයට එකඟ ව කටයුතු කරනවා ද යන විමර්ශනයෙන් යුක්ත ව යි. ඒ විමර්ශනය ඇති කල්හි සිත, කය, වචනය රාගයෙන්...
ද්වේශයෙන්... මෝහයෙන් සංවරත්වයට පත්වීම කියන කාරණය ප්‍රතිඵලය ලෙසින් අත්දැක ගන්නට හැකි
වෙනවා.
ඉතින් මේ විමර්ශනය නැති කල්හි
සැම විට ම තම තමන් ඇසුරු කරන ධර්මයට එකඟ ව නෙවේ කටයුතු සිද්ධ වෙන්නේ. එවිට සමඟිය පැත්තකට ගොස් එක එක කල්ලි වාද පිල් බෙදිලා
පද්ධති සකස් කරගෙන ඒවා පවත්වා ගැනීම පිණිස මහා පොරයක් තමයි දැක ගන්නට ලැබෙන්නේ.
ඉතින් මම විශ්වාස කරන්නේ මේ තෙරුවන සම්බන්ධ කටයුතු වල
දී ගිහි පැවිදි දෙපාර්ශවයට ම නුවණක් තිබිය යුතුයි තම තමන් ගන්නා තීන්දු තීරණ
ශාස්තෘන් වහන්සේ අනුමත කලා වූ සත්ධර්මයට එකඟ තීන්දු තීරණ ද කියන බව විමසා බලන්නට. ඒත්
හැබැයි සත්ධර්මයේ ගැඹුර තෙරුවන හදවතට දැනිලා නැත්නම් මේ දේ කරන්නට හරිම
අපහසුයි. ඒ නිසා තීන්දු තීරණ හැම විටම ලෞකික
සම්මතයකට අනුව තමයි අර ගන්නේ.
ඉතින් ඒ නිසා අවංක ව ම නිවන්
මාර්ගයේ ගමන් කරන්නට කැමති... අවංකව ම තෙරුවන ට ගරුත්වයෙන් යුතුව කටයුතු කරන
නැණවත් ගිහි පැවිදි දෙපාර්ශවයට ම කල්‍යාණ මිත්‍රත්වයෙන් කෙටියෙන් කියන්නට තියෙන්නේ මේ සියලු දේ ධර්මයට එකඟ ද කියලා විමසා බලන්න
කියලා විතරයි. සුපුරුදු පරිදි නිර්වාණ
ධර්ම සදහම් සත්කාරය ඔස්සේ මට හැකි අයුරින් තම තමන්ගේ පර්යේෂණය පිණිස යොදා ගත හැකි
කරුණු කාරණා කිහිපයක් පෙන්වා දෙන්නම්.
මුලින් ම අපි මේ තවමත් රැගෙන
නැති එහෙත් අනාගතයේ ගැනීමට අදහසක් ඇති බව ප්‍රකාශයට පත් කල මේ තීරණය ට විරුද්ධ ව
ගැටෙන... ඒ තුලින් චිත්ත සන්තානයේ කලබලයක් ඇති වූ පාර්ශවය ට තම තමන් ගේ පර්යේෂණය
නිවැරදිව සිදු කර ගන්නට හැකි යමක් විමසා බලමු. තවත් විදියකින් කියනවා නම් ඉතින් අනාගතය කෙරෙහි ඇති බිය. අතීතය කෙරෙහි ඇති බිය. වර්ථමානය කෙරෙහි වූ බිය. අතීත අනාගත වර්ථමාන කාලයන් ඔස්සේ කම්පා වෙමින්, මම මගේ ලෙසින් ගැනීමට සාරවත් වූ දේ ඇතැයි යන දැඩි විශ්වාසය මත සිදුවන කටයුතු. සත්ධර්මය ගැන ගැඹුරින් විමසා ගලපා බැලුවහොත් යමක් කැමති සේ පවත්වා ගැනීම පිණිස... ආත්මීය ලෙසින් පවත්වා ගැනීම පිණිස ඇති වන තීව්‍රැ සටනක්. කෙටියෙන් කියතොත් පැවැත්මේම පිහිටා ඇති සිතක්. මේ සිත ඔබ කෙරෙහි වේ නම් නුවණින් මෙය දැක ගන්නටම වෙනවා. නැතිනම් එවන් සිතක් දරා ගෙන කටයුතු කරන ඔබ ගෙන් ශාසනය රැකගන්න වැඩපිලිවෙල හෝ කළණ වැට සුරැකෙන වැඩපිලිවෙල සිදු වෙනවා යැයි සිතීම විහිලුවක් වැනි වෙනවා.
ඔබ මුලින් ම විමසා බලන්න ඕන මේ
තීරණය ඔස්සේ ඔබගේ සීල ස්කන්ධයට මෙයින් හානි වෙනවා ද? සමාධි ස්කන්ධයට මෙයින් හානි වෙනවා ද? ප්‍රඥා
ස්කන්ධයට මෙයින් හානි වෙනවා ද? කියන දේයි.
එසේ හානි වෙනවා නම්... වේ යැයි බියක් පවතිනවා නම් තවමත් ඔබ අසා ගත යුතු
සත්පුරුෂ ධර්මය අසා ගත් ආර්ය ධර්මය අසා ගත් සම්බුද්ධ ශාසනයක ලැබිය හැකි සීල
ස්කන්ධයට, සමාධි ස්කන්ධයට, ප්‍රඥා ස්කන්ධයට උරුම කම් කියන්නෙක් නෙවේ නේ දැයි විමසා
බලන්න.
ඒ දේවල් එසේ දරන්නේ නැතිනම්
නම් ඒ අයට කියන්නේ තවමත් අසා ගත යුත්ත නිවැරදිව අසා නො ගත්, දරා ගත යුත්ත
නිසි සේ දරා නො ගත් අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා කියලයි. එසේ නම් එවැනි අයට සත්ධර්මය කෙරෙහි තීන්දු තීරණ
ගැනීමට කොහොමත් හැකියාවක් නැති බව ශාස්තෘන් වහන්සේ විසින් ම පෙන්වා දී තිබෙනවා. සත්පුරුෂ සහ ආර්ය ධර්මය ගැන අවබෝධයක් නැති කෙනෙක්
ට නිවැරදි ධර්මය හෝ අධර්මය ගැන අදහසක් තියෙන්න බැහැ නේ නේද?
මේ සිදු කරන දෙයින් ඔබට තවත්
කෙනෙකුට ත්‍රිපිටක ධර්මය උපුටා ගනිමින් සත්ධර්ම ය පෙන්වා දෙන්නට දේශනා කරන්නට නොහැකි
වෙනවානේ කියලා නම් ඔබ තර්ක කරන්නේ සහ ගැටීමට පත් වෙන්නේ... එතැන විමසා බලන්න ඕන ඔබ
මේ තෙරුවන ඇසුරු කරන්නේ දේශකයෙක් වී තමන් ත්‍රිපිටකයෙන් ද කරුණු දන්නවා යැයි පෙන්වීමට
මිසක් නිවී සැනසී සංසාර ගමනින් විමුක්තිය ලැබීම පිණිස නෙවේ නේද කියලා. වංචනික ධර්ම හඳුනා ගන්නට දක්ෂ විය යුතුයි. එසේ දක්ෂ බවක් නැති පුද්ගලයෙකුට සත්ධර්මය රකින ශාසනය
රකින වැඩපිළිවෙළට දායකත්වයක් සැපයීමට සැබැවින් ම නොහැකි බව සත්ධර්මය තුලින් ම අවබෝධ
කර ගත යුතුයි.
සත්ධර්මයේ ගැඹුර පොත් කිහිපයකට
ගොනු කල හැකි දෙයක් නෙවේ. යමෙක් ධර්මය රකිනවා
කියලා හෝ වේවා ධර්මය ප්‍රචාරය පිණිස කියලා හෝ ධර්මය නැති කරන්නට යනවා කියලා හෝ ත්‍රිපිටක
ධර්ම ග්‍රන්ථ මත යැපෙනවා නම් ඒ පුද්ගලයා මේ තෙරුවනේ ගැඹුර ශක්තිය තවමත් විනිවිද
දැක නැති බව තමයි හැඟෙන්නේ.
ඉතින් තම තමන්ගේ නිවන් මඟ කළ
එළි කර ගන්නට ත්‍රිපිටක සත්ධර්මය භාවිතා කරන්නට මේ සංරක්ෂිත පනත තුලින් කිසිදු
බාධාවක් නැහැ. එය කරන්නට හැකි දෙයකුත් නොවේ
නේ. ඉතින් තම තමන් සත්ධර්මය අවබෝධ කලා
නම් ත්‍රිපිටක සත්ධර්ම කරුණු පද ලෙසින් ගෙන හැර දක්වන්නේ නැතිව එදිනෙදා තම තමන්ගේ වැඩපිළිවෙළ
තුල ඒවා යෙදෙන ආකාරය හඳුනා ගෙන නිවන් මඟ විවර කර ගන්නට හැකි වෙනවා. යමෙකුට පෙන්වා දෙන්නට අවශ්‍ය නම් ඒ තුල
කළණ වැට බිඳ ගන්නේ නැතිව සත්ධර්මය රැක ගන්නා ශාසනය රැක ගන්නා ක්‍රම වේදය තියෙනවා.
නොයෙක් නොයෙක් ආකාරයෙන්
සම්මා සම්බුදු වදන ද ඉවත දමා ලෝක සම්මත ආකාරයෙන් ධර්මය ශාසනය රැක ගන්නට පොර බඳින
ගිහි පැවිදි පාර්ශවයටත් කියන්න ට තියෙන්නේ ශාසනයේ පිරිහීමට වග කියන ශාසනය තුලින් ම
බිහි වන අන්‍ය ශාසනිකයන් නොවී ශාස්තෘ ගරුක ධර්ම ගරුක විනය ගරුක වැඩපිළිවෙළ අවබෝධ කර
ගන්නට කැප වීම තුල ඔබගේ බලාපොරොත්තුව ඉටු කර ගන්නට හැකි බවයි.
රැක ගන්නට හදන ත්‍රිපිටකය
තුල ඇති වදන් වලට අර්ථයට, ධර්මයට, සාරයට තම තමන්ගේ හදවත් සංවේදී වූ වා නම් මෙවන් කෝලාහල
බුද්ධ ශාසනයේ නාමයෙන් ඇති වෙන්නේ නෑ.
ඉතින් මේ ත්‍රිපිටකය සංරක්ෂණය ආදී කටයුතු කෙසේ විය යුතු ද යන්නත්... ප්‍රතිරූපක
දහම් යටපත් කොට සැබෑ තථාගත ශ්‍රී සත්ධර්මය කෙසේ මුදුන් පත් කර විය යුතු ද
යන්නත්... ඒ ඒ පුද්ගලයන් කෙරෙහි ත්, ඒ ඒ කටයුතු කෙරෙහිත් පිළිපැදිය යුතු
ශාසනික ක්‍රම වේදය සම්මා සම්බුදු රඳුන් විසින් ම පෙන්වා තියෙනවා. ඒ ශාස්තෘ වදන
ඉක්මවා කටයුතු කිරීම එකලත් දේවදත්ත හිමියන් වැනි හිමිවරුන් සිදු කලා. ගිහි පැවිදි දෙපාර්ශවය ම දැන හෝ නො දැන මේ
කටයුතු වල දී දේවදත්ත හිමියන්ටත් ඒ කටයුතු සිදු කල එවැනි පාර්ශව වලටත් දායකත්වය
සහාය පල කලා.
ඉතින් තම තමන් නුවණැති ව කටයුතු
කරන්නට අදිටන් කර ගන්න. සහාය පල කරන්නෙත්,
විරෝධය පල කරන්නෙත් තම තමන්ගේ හිතු මතයට නම් ඒ තුල ශාස්තෘ වදනට ගෞරවයක් නැති නම්, සත්ධර්මයට
විනයට ගෞරවයක් නැති නම් එයින් ශාසනය අතුරුදහන් වන වැඩපිළිවෙළ ම සිදු වෙනවා මිස කිසිවකුටත් වන යහපතක් නම් නැත.
එහෙනම් නුවණ අංශු මාත්‍රයක් හෝ
තිබෙන ඔබට සිහිපත් කරන්නට තියෙන්නේ තවමත් බුද්ධ ශාසනය අවසන් නෑ. හැබැයි මෙහි අවසානය මේ කෝලාහල නිසාම ඉතාමත්
ඉක්මනින් ම සිදු වේවි. නුවණක් අංශු මාත්‍ර
වශයෙන් හෝ තියේ නම් තම තමන් ලබා ඇති අති දුලභ අවස්ථාවේ වටිනාකම අවබෝධයෙන් එය මඟ නො
හැර ගෙන කටයුතු කර ගනිත්වා කියල තමයි. මේ
කටයුතු වලට කම්පා වෙමින් තම තමන්ගේ දායකත්වය දෙපාර්ශවයට ම සපයන ගිහි පැවිදි පාර්ශවයන්
ට කල්‍යාණ මිත්‍රත්වයෙන් සිහි පත් කරන්නට තියෙන්නෙත් අප්‍රමාදී බව හිස් මුදුනට ම ගනිත්වා
යන්න තමයි.
අනිච්ච වූ ලෝකය නිච්ච කර ගෙන ඇති බවත්... දුක වූ ලෝකය සුඛ කරගෙන ඇති බවත්... අනත්ත වූ ලෝකය අත්ත කර ගෙන ඇති බවත්... අසුභ වූ ලෝකය සුභ කරගෙන ඇති බවත්... සිහියෙන් දැක ගන්නට සතර සතිපට්ඨානයේ පිහිටන්නට අති දුලභ සත්පුරුෂ වූත් ආර්ය වූත් තථාගත ශ්‍රී සත්ධර්මය ගිහි පැවිදි දෙපාර්ශවයේ ම හදවත් වලට දැනෙත්වා!!! විරාගය පිණිස... නිරෝධය පිණිස... නිවීම පිණිස ම කටයුතු සිදු කර ගනිත්වා!!! සියලු සංස්කාර ධර්මයන් හි අනිත්‍යතාවය දැක අප්‍රමාදී ව කටයුතු සම්පාදනය කර ගනිත්වා!!!
උත්තරීතර බුද්ධ ශාසනයක් අති දුලභව ම යි ලැබෙන්නේ. එහි ශාන්ත වූ ප්‍රණීත වූ නිවීමක් විමුක්තියක් ලබන්නට අත්දකින්නට ඒ මඟට බැස ගත් මොහොතේ පටන් ගෙන හැකි වෙනවා. ඒ සුවය ලබන්නට තරම් ඔබත් වාසනාවන්තයි! ඒ වාසනාව නිසි සේ හඳුනා ගෙන අප්‍රමාදී ව කටයුතු කර ගනිත්වා!!!