නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, September 1, 2021

අපූරු යහළුවන් වෙත!

 

සටහනේ අන්තර්ගතය

ඇසුරු කරන්නට හොඳ මිතුරන් හොයා ගන්න හරිම අමාරුයි. ඇත්තටම යාළුවෝ කොහොම හොයා ගන්න ද මන්දා. යාළුවෝ ඉන්නේ වාසියට විතරයි. මේ වගේ හිත මිත්‍රයෝ ගැන... යාළුවෝ ගැන ඔබට නොයෙක් අදහස් ඇති. ඉතින් බුදු දහමේ විමුක්තිය ලැබීම පිණිස පවා උපකාර කරන්නේ කල්‍යාණ මිත්‍රත්වයයි. ඉතින් ලෝකයේ කටයුතු තුල දී ඔබට හොඳ යාළුවෙක් වුනොත්... මිත්‍රත්වය සැබෑවට ම හඳුනා ගන්නට දක්ෂ වුවහොත් ඔබට ලෝකයෙන් එතෙර වන්නට ඕන කාලයක දී ඒ ලැබිය යුතු කල්‍යාණ මිත්‍රත්වය පවා ලැබ ගන්නට ඒ පුරුද්ද ඔබට උපකාර වෙනවා.

මිතුරන් ඇසුරු කරන විට ඔබගේ හිත මිතුරන් තුල මේ ගුණ හඳුනා ගන්න.  ඔබත් සැබෑවට ම මේ ගුණ දරන සැබෑම මිතුරෙක් දැයි තමන් ව විමසා අවබෝධ කර ගන්න.  මිත්‍රත්වය තුල සකස් වෙන දස පාරමිතා ගුණයන් නුවණින් දැක ගන්න.  ඔබට ඔබගේ අපූරු මිත්‍රත්වයම යථාර්ථය වෙත ඔබව රැගෙන යාවි!

(ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අංගුත්තර නිකාය » සත්තක නිපාතය » පඨම පණ්ණාසකය » 4. දේවතා වර්ගය »  7.1.4.5. මිත්‌ත සූත්‍රය)

මෙම සූත්‍ර දේශනාව තුල අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ගුණ හතක් දක්වා ඒ ගුණ දරන මිතුරන් ඇසුරු කරන්න යැයි පවසනවා. 

මහණෙනි, සත් කරුණකින් සමන්වාගත මිත්‍ර‍ සේවන කටයුත්තේ ය. කවර සතෙකි න යත්:

  • පළමු ගුණය - තම මිතුරා හට දෙන්නට දුෂ්කර වූ දේ දෙයි.
  • දෙවැනි ගුණය - තම මිතුරා වෙනුවෙන් කරන්නට දුෂ්කර වූ දේ කරයි.
  • තෙවැනි ගුණය - ඒ සියල්ල හමුවේ මිතුරා සිත් රිදවීම් සිදු කල හොත්  මිතුරාගේ ඒ නො ඉවසිය හැකි දේ ද ඉවසයි.
  • හතරවැනි ගුණය - තමාගේ රහස් මිතුරා සමඟ බෙදා ගනියි.
  • පස්වැනි ගුණය - ඒ මිතුරාගේ රහස් තමා තුල සඟවා තබා ගනියි.
  • හයවැනි ගුණය - විපතක දී මිතුරා අත නො හරියි.
  • හත්වැනි ගුණය - මිතුරා ගුණයෙන් ධනයෙන් පිරිහුණු කල මිතුරාට අවමන් නො කෙරෙයි.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත මිත්‍ර‍ සෙවිය යුත්තේ යි. 

වඩාත් වැදගත් වෙන්නේ අනුන් තුල මේ ගුණ සොයනවාට  වඩා තමන් තුල මේ ගුණ තිබෙනවා දැයි විමසා බැලීමයි.  මේ ගුණ හත තුල ඔබට විමුක්තිය ලබා දෙන ඔබට නිවනක් ලබා දෙන කල්‍යාණ මිතුරන් හමුවීමට අවශ්‍ය කරන... ලෝකයේ යථාර්ථය විමසා අවබෝධ කර ගන්නට හැකි ගුණ 7ක් වැඩෙනවා. 

  • පළමු ගුණය - මේ ගුණය විසින් ඔබ තුල ත්‍යාගී බව ඇති කරනවා ඒ තුල අතහැරීමේ ගුණය වැඩෙනවා.  තවත් ආකාරයකින් ඔබ තුල දාන පාරමිතාව වැඩෙනවා.   
  • දෙවැනි ගුණය - මේ ගුණය විසින් ඔබ තුල උත්සාහවන්ත බව ඇති කරනවා ඒ තුල විරිය ගුණය වැඩෙනවා.  තවත් ආකාරයකින් ඔබ තුල විරිය පාරමිතාව වැඩෙනවා.   
  • තෙවැනි ගුණය - මේ ගුණය විසින් ඔබ තුල ඉවසිලිවන්ත බව ඇති කරනවා ඒ තුල දරා ගැනීමේ ශාන්ති ගුණය වැඩෙනවා.  තවත් ආකාරයකින් ඔබ තුල ඛන්ති පාරමිතාව වැඩෙනවා.   
  • හතරවැනි ගුණය -  මේ ගුණය විසින් ඔබ තුල විශ්වාසනීය බව ඇති කරනවා ඒ තුල සත්‍යවාදී  ගුණය වැඩෙනවා. තවත් ආකාරයකින් ඔබ තුල සත්‍ය පාරමිතාව වැඩෙනවා.   
  • පස්වැනි ගුණය - මේ ගුණය විසින් ඔබ තුල වගකීම් සහගත බව ඇති කරනවා ඒ තුල වග වීමේ ගුණය වැඩෙනවා.  අන් අයට ඔබව විශ්වාසනීය පුද්ගලයෙක් කියන්නේ ඔබ යහපත් වූ සීල ගුණයකින් යුක්තයි.  තවත් ආකාරයකින් ඔබ තුල සීල පාරමිතාව වැඩෙනවා.    
  • හයවැනි ගුණය - මේ ගුණය විසින් ඔබ තුල අධිෂ්ඨාන සහගත බව ඇති කරනවා ඒ තුල අධිෂ්ඨානශීලී ශක්තිය ගුණය වැඩෙනවා. තවත් ආකාරයකින් ඔබ තුල අධිෂ්ඨාන පාරමිතාව වැඩෙනවා.   
  • හත්වැනි ගුණය - මේ ගුණය විසින් ඔබ තුල මෛත්‍රියකරුණාව, මුදිතාව, උපෙක්ෂාව ආදී ගුණ ඇති කරනවා ඒ තුල හොඳ නරක ලෙසින් වර්ග නොකර ඕනෑම කෙනෙකුට සමානව යහපත් ආකාරයෙන් සැලකීමේ ශක්තිය ගුණය වැඩෙනවා. තවත් ආකාරයකින් ඔබ තුල මෙත්තා පාරමිතාව සහ උපේක්ෂා පාරමිතාව වැඩෙනවා.   
  • මේ සියල්ල තුල ඔබට ප්‍රඥා පාරමිතාව ම සකස් වී නෙක්ඛම්ම පාරමිතාව හෙවත් විමුක්තිය පිණිස ම වූ ගුණ සකස් වෙනවා.

ඉතින් සම්මා සම්බුදු මඟ හරිම අපූරුයි.  එය 100% ක් කල්‍යාණ මිත්‍රත්වය මත ම රැඳුණ ශාසනයක්.  ඔබ මිතුරු බව හඳුනා ගෙන යහපත් මිතුරු ගුණ ඔබ තුල වඩන තරමින් ඔබට කල්‍යාණ මිත්‍රත්වය ලැබීමට ඒ උතුම් ශාසනය ලැබීමට ද හේතු කාරණා සකස් වෙනවා. 

ඉතින් මට නම් සතුටුයි. මගේ ජීවිතයේ දී අද වන තුරු මට මිතුරන් වන බොහෝ දෙනා අතර මේ ගුණ දරන පිරිස තමයි 100%ක්ම සිටින්නේ. එහෙම නොවන අය මිතුරන් ගොඩට එකතු වුනේ නෑ. සියලු ආගම් අතර සියලු ජාති අතර මේ ගුණ දරන යහළු පිරිසක් මට ලැබී තිබෙනවා.  ඒ යහළු පිරිසට ප්‍රශංසා කරන්නට ගුණ කියන්නට වචන ප්‍රමාණවත් නැති තරම්.  නිරන්තරයෙන් කතා බහ කරමින් කාලය ගත නො කලත් ඒ මිත්‍රත්වය අදටත් ඉතාමත් ශක්තිමත්. අපි අප වෙනුවෙන් සිටින බව හිත මිතුරු අප දන්නවා!  ඉතින් මම විශ්වාස කරනවා මේ කිවූ ගුණයන් මා තුල තිබෙන නිසාම මට ද එවැනි අපූරු සුවිශේෂී හොඳ යහළුවන් රැසක් ලැබුණ බවට. ඔවුන් නිරන්තරයෙන් මා සමඟ රැඳී සිටින්නේ ඔවුන් ද මා හොඳ යහළුවෙක් සේ හඳුනා ගත් නිසාවෙන් බව.  ඉතින් ඔබටත් එසේ සතුටු විය හැකි දඑසේ නම් ඔබත් සැබැවින් ම වාසනාවන්තයි!  යහළුකම තුල සමාව ගැනීම්... ස්තූති කර ගැනීම් අවශ්‍ය නොවන නිසාම... ගුණයන් ම දැක මිත්‍රත්වය තහවුරු වන නිසාම... මේ සටහන මාගේ ඒ උතුම් ගුණ දරන සියලු ම යහළුවන්ට උපහාරයක් ම වෙත්වා!!!  ඔබ වැනි හිත මිතුරන් මාගේ ජීවිතයට සැබෑම ආශීර්වාදයක් බව මෙසේ දන්වා සිටින්නෙමි!!!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ තවත් දහම් ඇසුරු කරන්නට පිවිසෙන්න www.nirvanadhamma.lk   


No comments: