ටිබෙට් බෞද්ධ කතා අතර ඇති, සැබෑ ම ශ්‍රද්ධාව ගැන කියැවෙන ඉතාමත් වටිනා කතාවක් මෙවර කතු වැකිය ඔස්සේ ගෙන එන්නට කටයුතු කරන්නම්. මුලින් ම කතාව කියන්නම්කෝ.
දිනක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගමන් කරන අතර මඟ දී
ඉතාමත් දුක් බර ව වන්දනා මාන කරමින් සිටින පුද්ගලයෙක් දකිනවා. ඒ පුද්ගලයත් සම්බුදු රඳුන් ව දුටු ගමන් ම හඳුනා ගෙන දෙපා
මුල ඇඳ වැටෙමින් මෙන්න මෙසේ අහනවා.
“සම්බුදු
පියාණෙනි, මේ
ජීවිතය නම් ඉතාමත් කටුකයි. දුෂ්කරයි. මම එක්තරා කාලයක ඉතාමත් සතුටෙන් සැපයෙන් කාලය ගත කල
ධනවතෙක්. නමුත් මම විශ්වාස කල පිරිස මාව රවටා මගේ සියලු ධනය පැහැර
ගත්තා. දැන්
මම ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරන දුප්පත් මනුස්සයෙක්. තව කොතරම් නම් කාලයක් මට මේ විදියට දුක්ඛිත ජීවිතයක් ගත
කරන්නට වෙයි ද? මම සසර කෙළවර කර ගන්නේ කවදා ද? තව කොතරම් කාලයක් මට උපදින්නට සිද්ධ වෙයි ද?” ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ එතැන තිබුණ අඹ වලින්
පිරුණු අඹ ගසක් පෙන්වා “ඔබට අර අඹ ගස පෙනෙනවා ද? ඔබට නිවන් දකින්නට පෙර එහි ඇති අඹ ගෙඩි ගණනට නැවත
උපදින්නට සිද්ධ වෙනවා” යැයි
පැවසුවා.
ඒ පුද්ගලයා එහි ඇති අඹ ගණන දැකලා “අනේ මෙච්චර කැපවීමෙන් ඔබ වහන්සේ කියන විදියට ම සැදැහැවත්
ජීවිතය ගත කර ලත් ඇයි මට එච්චර කාලයක් උපදින්නට සිද්ධ වෙන්නේ” කියලා දුක් වෙමින් හඬන්නට ගත්තා. ඉතින් සම්බුදු රඳුන් “එය එසේ තමයි සිද්ධ වෙන්නේ” කියලා එතැනින් පිටත් වුනා.
ඉන් පසුව, අතරමඟ
දී ඔන්න තවත් පුද්ගලයෙක් ඉතාමත් කම්පාවෙන් ඉන්නවා. සම්බුදු
රඳුන් ව දැකලා ඒ පුද්ගලයාත් ඇවිත් සිරි පතුල් නැමැද මෙන්න මෙහෙම කියනවා. “සම්බුදු පියාණෙනි, මේ
ජීවිතය නම් ඉතාමත් කටුකයි. දුෂ්කරයි. මම ආදරය කල සියලු ම දෙනා මට නැති වුනා. මරණය විසින් ඔවුන් ව පැහැර ගත්තා. මම දැන් තනි වෙලා ඉන්නේ. මේ ජීවිතය මට මහා වදයක්. තවත් කොතරම් කාලයක් නම් මට මේ විදියට දුක් විඳින්න වෙයි
ද? මට ඔබ වහන්සේ කියන නිවන අවබෝධ කර ගන්නට තව කොතරම් කාලයක්
ගත වෙයි ද? තව කොච්චර නම් උපදින්නට සිද්ධ වෙයි ද?" සම්මා සම්බුදු රඳුන් මේ පුද්ගලයාට අසල ඇති මල් ගොමුවක්
පෙන්නුවා. පෙන්වා පැවසුවා “අර මල් යාය පේනවා ද? නිවන් දකින්නට පෙර, ඔබට
එහි ඇති මල් ගණනට සමාන ජීවිත ගණනක් උපත ලබන්නට සිද්ධ වෙනවා”.
ඔන්න ඉතින් මේ මනුස්සයත් හඬ වැටුණා... දුකින් හඬමින්
මෙන්න මෙහෙම අහනවා; “අනේ බුදු හිමියනි, මම
ඔබ වහන්සේ කියන දේවල් හදවතින් ම යි පිළිපදින්නේ. ඔබ වහන්සේ කියන විදියට සැදැහැවත්
ජීවිතයක් ගත කරන්නේ. මෙච්චර කැපවීමෙන් ශ්‍රද්ධාවන්ත ව කටයුතු කරන මට එච්චර කාලයක්
දුක් විඳින්නට සිද්ධ වෙන්නේ ඇයි?” ඉතින් සම්බුදු රඳුන් “එය එසේ තමයි සිද්ධ වෙන්නේ” කියලා එතැනින් පිටත් වුනා.
අතරමඟ දී සියඹල ගහක් ලඟ දී තවත් පුද්ගලයෙක් මුණ ගැහෙනවා.
සම්බුදු රඳුන්ගේ දෙපා අසල හඬමින් ඒ පුද්ගලයා මෙන්න මෙහෙම කියනවා.
“ස්වාමිනි, මේ ජීවිතය ඉතාමත් කටුකයි. මේ ඉර එළියට පිච්චෙමින් දිවා කාලයේ මා කුලී වැඩක් කරමින්
දිවි ගැට ගසා ගන්නවා... රෑට මට නිදා ගන්න තියෙන්නේ මේ සීතල වූ තණ බිම විතරයි...
ජීවිතය කියන්නේ කුසගින්න, පිපාසය, තනිකම පිරුණු දෙයක්! මේ විදියට මට තව කොපමණ කාලයක් මේ
සසරේ ඉපදෙන්නට සිද්ධ වෙයි ද? මට
කවදා නම් නිවන් අවබෝධ කර ගන්නට හැකි වෙයි ද?” සම්බුදු හිමියන් සියඹලා ගස දෙස බැලුවා... සියඹලා ගසේ අතු
කිනිති වල නටු දහස් ගණනකට බැඳුනු පුංචි පුංචි සියඹලා කොළ ලක්ෂ ගාණක් විතර තියෙනවා.
උන්වහන්සේ ඒ පුද්ගලයාට පැවසූවා “ඔබට පේනවාද මේ සියඹලා කොළ, ඔබට නිවන් අවබෝධ කර ගන්නට පෙර මේ සියඹලා කොළ ගණනට
උපදින්නට සිද්ධ වෙනවා. එතරම් ප්‍රමාණයක් ජීවිත ගත කරන්නට සිද්ධ වෙනවා”
දන්නවද? සියඹලා ගසේ කොළ දෙස බැලූ ඒ පුද්ගලයාගේ ඇස් කඳුළු වලින්
තෙත් වුනා. නමුත් පෙර පුද්ගලයන් දෙදෙනා වගේ චෝදනා මුඛයෙන් තරහින්
දුකෙන් නොවේ... සතුටෙන්! කෘතෝපහාර ගුණයෙන්!
“අහෝ
ස්වාමීනී... සාධු සාධු සාධු... ඔබ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව කැපවීමෙන්
යුතුව ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා වලට අනුව ජීවත් වන්නට උත්සාහ කරන මට එහි ප්‍රතිඵලය
ලැබුණා. මම
කොතරම් වාසනාවන්ත ද? තව
කොතරම් සුළු කාලයක් ද මට නිවන් අවබෝධය පිණිස උපදින්නට තිබෙන්නේ” යැයි සතුටු කදුළු
වගුරමින් සම්බුදු හිමියන්ගේ දෙපා නමදිමින් වන්දනා කරන්නට වුනා.
ඉතින් මේ කතාවෙන් අපගේ නිවන් මඟට ගන්නට තිබෙන දේ නම්
බොහෝමයි! නමුත් කතු වැකිය ඉතාමත් කෙටියෙන් විග්‍රහ වන දහම් කොටසක් නිසා අප මේ කතාව
තුලින් ඔබට මෙන්න මේ දේ පවසන්නම්.
ඔබ සම්මා සම්බුදු රඳුන් කෙරෙහි විශ්වාසයෙන්, තථාගත සත්ධර්මය කෙරෙහි විශ්වාසයෙන්, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඒ උතුම්
තෙරුවන ඔබට පෙන්වූ “නිර්වාණය” නම් වූ අවසාන ඵලය ලබා ගැනීමට නම් කැප වී සිටින්නේ...
මල් ඵල ගැන සිතමින් දුක් වෙන්න එපා. තවමත්
මල් ඵල ලැබුණේ නෑනේ කියමින් තෙරුවන ගිලිහී යන්නට දෙන්න එපා. හරියට මේ කතාවේ මුලින් ම හමු වූ මිනිසුන් දෙදෙනා වගේ. ඒ අය තමන්ගේ කැපවීම, තමන්ගේ
ශ්‍රද්ධාව ගනුදෙනුවක් වගේ තමයි යොදා ගත්තේ. “අපි
මෙච්චර කරනවා නම් ඇයි අපට මෙහෙම... ඇයි මෙච්චර ප්‍රමාද...” ඔන්න ඔය වගේ චෝදනා.
නමුත් අවසාන පුද්ගලයා මල් ඵල ගැන විශ්වාසයෙන් යුතුව
සාත්තුව නිවැරදිව හරියට කර ගෙන ගියා. ඒ නිසා බුදු රඳුන්ගේ පිළිතුර හමුවේ සියඹලා ගස
දකින විට ඔහුට තව තවත් තමන්ගේ ශ්‍රද්ධාව, කැපවීම
කෙරෙහි ම විශ්වාසය ම තහවුරු වුනා. අනිවාර්යෙන්ම ඒ කැපවීමට, ශ්‍රද්ධාවට නිසි ඵල ලැබෙන බව තහවුරු වුනා. ඉතින්, සැබෑ
ශ්‍රාවකයා කියන්නේ අන්න එවැනි හදවතක් තියෙන කෙනෙක්.
මේ කතාව නිසා අදටත් ටිබෙටයේ සියඹල ගස... සියඹල ඇට... සැබෑ ශ්‍රද්ධාවට... අවංක කැපවීමට සංකේතයක් විදියට තමයි සලකන්නේ. සැබෑ ශ්‍රද්ධාවෙන්, කැපවීමෙන් කටයුතු කරන කිසිවෙකු ට වරදින්නේ නෑ! හදවතේ එය රඳවා ගෙන නිවන් මඟ අප්‍රමාදී වෙත්වා!
නිර්වාණ ධර්ම වෙබ් අඩවියට පිවිස තවත් සත්ධර්මය ඇසුරු කරන්නට අවස්ථාව ඇත!
No comments:
Post a Comment