නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, July 1, 2022

වචන ඉක්මවූ ප්‍රතිපදාව

 


සෙන් බුදු දහමේ ඉගැන්වීම් සිදු කල ලොව ප්‍රකට කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වන තිච් නට් හන් (Thitch Nhat Hahn) හිමියන් විසින් 1987  වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද "Being Peace"  නම් වූ කෘතියේ ඇති දහම් කතාවක් ඇසුරෙන්, මෙවර කතු වැකියේ දහම් සටහන තබන්නට සිත් විය.  තම තමන්ගේ නිවන් මඟ කළ එළි කර ගැනීමට, වචන පද ඉක්මවා ගිය ප්‍රතිපත්තිමය පූජාව හෙවත් ප්‍රතිපදාව නුවණින් දැක ගැනීමට මෙම දහම් කතාවත් උපකාර වෙත්වා!

මුලින් ම අපි කතාව මොකක්ද කියලා බලමු කෝ නේද?  “වජ්‍රයාන බුදු දහම” තුල... ඔබට වඩාත් හුරු පුරුදු අයුරින් කියනවා නම් අපි කියමු කෝ “මහායාන බුදු දහම” තුල කියලා.  මහායාන බුදු දහම... සෙන් බුදු දහම ආදී ඉගැන්වීම් තුල අපට විවිධ නම් වලින් සඳහන් වන බුදු වරුන් ගැන දැක ගන්නට තිබෙනවා.  ඒ අතරින් “අමිතාභා බුදුන්” ප්‍රකටයි.  මේ කතාව “නමෝ අමිතාභා බුද්ධා” කියලා නිතර සිහි කරන්නට යෙදුන කාන්තාවක් ගැනයි.  ඔබට මෙය ඔබේ ම කර ගෙන අවබෝධ කර ගන්නට නම් මෙහෙම හිතන්නකෝ “නමෝ ගෞතම බුද්ධා” කියලා ඔබ නිතරම සිහි පත් කරනවා කියලා.  අන්න ඒ වගේ. 

ඉතින් මේ කාන්තාව දැඩි ප්‍රතිපත්තියක යෙදෙමින් දිනකට අනිවාර්යයෙන් ම තුන් වරක් “නමෝ අමිතාභා බුද්ධා” කියලා සිතින් කියනවා.  “නමෝ ගෞතම බුද්ධා” කියලා දිනකට තුන් වරක් කියනවා වගේ.  “නමෝ බුද්ධාය” කියලා කියන්නට පුරුදු වූ පුද්ගලයන් ඉන්නේ.  අන්න ඒ වගේ. 

ඉතින් මේ විදියට “නමෝ අමිතාභා බුද්ධා” කියලා සිහිපත් කරන්නේ, සිහිය, නුවණ, විරිය වර්ධනය වෙලා ප්‍රඥාවන්ත ව දහම් මාර්ගයේ පිහිටන්නට සිදු කරන බුද්ධානුස්සති භාවනාවක් වගේ නේ.  නමුත් අවුරුදු 10ක් තිස්සේ මේ කාන්තාව මේ භාවනාව සිදු කලත් මේ කාන්තාව හරිම නපුරුයි.  අනෙක් පුද්ගලයින්ට සැර වැර කරනවා.  තරහෙන් තමයි බොහෝ විට කටයුතු කරන්නේ.  නමුත් දිනපතා ම හඳුන්කූරක් එහෙම දල්වලා... පුංචි සීනුවකුත් වාදනය කරලා මේ කාන්තාව තුන් වරක් මේ විදියට “නමෝ අමිතාභා බුද්ධා” කියලා කියනවා.  ඉතින් මේ කාන්තාවගේ යාළුවෙකුට ඕන වුනා මේ කාන්තාවට මේ වැරැද්ද පෙන්නලා දෙන්න. දැන් අපි මේ කාන්තාවට නමක් දාමු කෝ “කාන්ති” කියලා.  ඉතින් ඒ යාළුවා දිනක් මේ කාන්ති නෝනා මේ විදියට “නමෝ අමිතාභා බුද්ධා” කියලා කියන්නට පටන් ගන්න වෙලාව බලලා ගෙදර දොර ලඟට ආවා.

කාන්ති නෝනාත් ඉතින් හඳුන් කූරක් දල්වලා සීනුවත් ගහලා බොහෝම උනන්දුවෙන් තමන්ගේ ප්‍රතිපත්තියක් විදියට කර ගෙන එන “නමෝ අමිතාභා බුද්ධා” සජ්ඣායනාව පටන් ගත්තා.  හරියට ම එය පටන් ගන්න කොට යාළුවා ගේට්ටුව ලඟට ඇවිත් “කාන්ති... කාන්ති... කාන්ති...” කියලා කතා කරන්න පටන් ගත්තා. කාන්ති නෝනට ඉතින් ඉවසීම නැති වුනා... නුරුස්නා ගතිය පටන් ගත්තා.  නමුත් ඇය තමන්ට ම කියා ගත්තා “මම තරහ ගන්න හොඳ නෑ... තරහ නැති කර ගන්න ඕන... ඒ නිසා මම මේ දේ මට අදාළ කර ගන්නේ නැතිව ඉන්නවා...” කියලා.  එහෙම දැඩිව හිතමින් තවත් හිතට විරිය ගෙන “නමෝ අමිතාභා බුද්ධා” කියලා හයියෙන් වේගයෙන් කියන්න පටන් ගත්තා.    

නමුත් යාළුවා ආයෙත් “කාන්ති... කාන්ති... කාන්ති...” කියලා කියන්න පටන් ගත්තා... ඉතින් මේ සජ්ඣායනාව නවත්තලා ගිහින් යාළුවාට තමන් කරන වැඩේ ගැන දැනුවත් කරලා බාධා කරන්න එපා කියන්නත් කාන්ති නෝන ට හිතුනා. නමුත් එයත් මැඩ පවත්වා ගෙන තවත් හයියෙන් “නමෝ අමිතාභා බුද්ධා” කියලා සජ්ඣායනාව දිගට ම කර ගෙන ගියා.

නමුත් යාළුවා දිගටම “කාන්ති... කාන්ති... කාන්ති...” කියලා නම කතා කරනවා.  දැන් නම් කාන්ති නෝන ට හොඳට ම තරහ ගිහින්, සජ්ඣායනාව නවත්තලා දොරත් සද්දේට වහ ගෙන ගියා ගේට්ටුව ලඟට.  “මොකද වෙලා තියෙන්නේ... මේ වෙලාවට මම මගේ භාවනා පුහුණුව කරනවා කියලා දන්නේ නැද්ද?... දිගටම මගේ නම කියවා කියවා කෑ ගහන්නේ...” කියලා බැන ගෙන බැන ගෙන ගියා. 

යාළුවා හිනා වෙලා මෙන්න මෙහෙම කිව්ව... “මම ඔයාගේ නම කිව්වේ කීප වාරයයි... ඔයාට හොඳට ම තරහ ගිහින්... ඔයා අමිතාභා බුදුන්ට අවුරුදු දහයක් තිස්සේ නම කියමින් කතා කරනවා ටිකක් හිතන්න අමිතාභා බුදුන්ට දැන් කොච්චර නම් තරහ ගිහින් ඇති ද කියලා?”

ඔයාලට මේ කතාවෙන් ලබා දෙන දහම් පණිවිඩය වැටහුණා ද?  මෛත්‍රී භාවනාව කියමින් හෝ බුද්ධානුස්සති භාවනාව කියමින් ඔබ දිනකට කොතරම් නම් ධර්මය සිහිපත් කරන අවස්ථා ඇති ද?  නමුත් ඒ දේවල් එසේ කිරීම තුලින් ඔබ ලබා ගත යුතු ප්‍රතිඵලය ලැබුවා ද?  ඔබ ඒ දේවල් සිහිපත් කරමින් ඒ කටයුතු කරන්නේ කුමක් අරමුණු කර ගෙන ද කියලා සිහියක් ඔබට ඇති වුනා ද? 

මේ කතාවේ යාළුවා අහනවා නේ “බුදු හිමියන්ට කොතරම් තරහ යනවා ඇති ද කියලා” ඉන් අදහස් කරන්නේ ද්වේශය නැත්තට ම නැති කල බුදු කෙනෙකුට තරහ යන්නේ නෑනේ... උන්වහන්සේ ව සිහිපත් කරන අප තුලත් ඒ ගුණ වැඩිය යුතුයි නේ කියන අදහසයි.  එහෙනම් “මම දහම් වඩන කෙනෙක් ය... එයට මේ අය බාධා කරනවා ය” කියලා අපට යම් ගැටීමක් ඇති වෙනවා නම්, තමන් තුල වැඩෙන දහමක් නැති බව අපට සිහිපත් විය යුතුයි. 

ඉතින් ජීවිතයේ දී ඔබට හමුවන හැම දෙයක් තුලින් ම ඔබ තුල වැඩිය යුතු ගුණ දහම් සමුදාය වටහා ගන්නටත් ඒ අනුව හික්මීම සකස් කර ගැනීමටත් උත්සාහවන්ත වෙන්නට ප්‍රඥාවන්ත ඔබට අවස්ථාව තිබෙනවා.  එය සමහර විට පුංචි කතාවක් වෙන්නට පුළුවන්... කියමනක් වෙන්නට පුළුවන්... කාටූන් එකක් චිත්‍රපටියක් හෝ ගීතයක් ද විය හැකියි.  ඒ කිසිවක් වැඩකට නැති දේ ලෙසින් අහක නො දමා ගුණ දහමෙන් පෝෂණය වීම පිණිස ගත හැකි දේ උකහා ගැනීමට දක්ෂ වන්නට උත්සාහවන්ත වෙත්වා!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියට පිවිසුම!

   

No comments: