පෙර කතු වැකිය ඔස්සේ අප විසින්
විමුක්තිකාමි චින්තනයක් දැරීම පිණිස අත්‍යවශ්‍ය කරන මූලික දැක්මක් ගැන විස්තර කර
ගත්තා. ඒ තුල අපගේ පැවැත්ම තුල විසඳුමක් ලබා ගත නො හැකි ආකාරයේ කාරණා කිහිපයක් ගැන
පෙර නිමිති නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු බව අප විස්තර කර ගත්තා. මෙවර
කතු වැකිය තුලින් මේ පෙර නිමිති ගැන තවදුරටත් විග්‍රහ කර දෙන්නට උත්සාහ කරන්නම්!
ඔබ මේ වන විටත් සතර පෙර නිමිති සම්බන්ධ දහම් කොටස් පෙල ඇසුරු කරන්නට ඇතැයි
විශ්වාස කරනවා. ඒවායේ
තියෙන දේම නැවත නැවත විස්තර කිරීම ඵලක් නැති නිසා මේ සතර පෙර නිමිති සහ විමුක්තිය
අතර සම්බන්ධය ටිකක් විග්‍රහ කර දෙන්නට මේ කතු වැකිය යොදා ගන්නම්.
“මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක්, පැවිදි රුවක්” කියන
කාරණා මතු පිට බාහිර වූ කාරණා ඔස්සේ දන්නා හඳුනන අවස්ථාවක් තිබෙනවා. නැණවත් ව විමසන්නාට මේ
කියන කාරණා “පෙර නිමිති” වශයෙන් දැනෙන අවස්ථාවක් තිබෙනවා. පෙර නිමිති දුටු ප්‍රඥාවන්තයා
තමයි හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන එකත් පසෙක තබා සත්‍ය ගවේෂණය පිණිස සැබෑ
විමුක්තිය පිණිස කැප වෙනවා හා සමාන මානසිකත්වයකින් විමුක්තිය පිණිස වෑයම් කරන්නේ.
අන්න එවැන්නෙක් තමයි කල්‍යාණ මිත්‍රයා
ව ලුහු බඳින්නේ. හරියට
දාරුචීරිය තෙරුන් වගේ... කිසා ගෝතමිය වගේ... පටාචාරා ව වගේ... රට්ඨපාල කුමරුන්
වගේ... අනේක නම් වලින් වූ රජ කුමර කුමරියන් ද... සිටු කුමර කුමරියන් ද... අනේක
දුකට පත් වූ සාමාන්‍ය ජන පිරිස ද... වෙනසක් නැතිවම කල්‍යාණ මිත්‍රයා ව ලුහු බැන්දේ
මේ දැවෙන ප්‍රශ්නයට විසඳුමක් නැති බව දැක විමුක්තිය ලැබීම පිණිසයි!
ඔවුන්ගේ වාසනාවට ඒ බුද්ධ ශාසනයක්
පවතින කාලයක්. අදටත්
ජීවමාන බුද්ධ ශාසනය පවතින කාලයක්! ප්‍රඥාවන්තයා හට විමුක්තිය ලැබීම අනිවාර්යයෙන් ම
සිදු කර ගත හැකි කාලයක්!
ඔව්! නුවණැත්තා මේ විසඳුමක් නැති
ප්‍රශ්න සහිත පැවැත්මේ දෝෂය දකිනවා. අන්න ඒ තැනැත්තාගේ සිත පැවිද්දේ
හෙවත් විමුක්තිකාමි චින්තනයේ පිහිටනවා. එවන් නුවණැත්තාට කයේ ලෙඩ රෝග,
මරණය, මහලු බව ආදී දේ තව
දුරටත් ප්‍රශ්න නොවේ. ඒවායෙන්
ගැලවෙන ක්‍රමය මේ පැවැත්ම තුල නැති බව දැක ඇති නිසාම ලෙඩට බෙහෙත්, මරණයෙන් ගැලවීමට ප්‍රවේශම්
වීම් ආදී තාවකාලික විසඳුම් වලට කාලය නාස්ති කරන්නට පෙර නිමිති දුටු නුවණැති
පුද්ගලයා වෙහෙස වෙන්නේ නෑ.
මේ බව තථාගත සත්ධර්මය තුල සම්මා
සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇති වාර අනන්තයි අප්‍රමාණයි. නමුත් පෙර නිමිති දුටු
මානසිකත්වයක් ඔබට නැති නම් ධර්මයේ ඇති ඒ ගැඹුර ඔබට ඇසෙන්නේ දැනෙන්නේ නෑ.
ඔබ ධර්මය තුල ද
සොයන්නෙත් මෙම ලෙඩ වීම, මහලු
වීම, මරණය
ආදී කරදර යැයි සිතා ගත් බාහිර වූ දුක් රැසකින් නිදහස් වීමක්.
ඉතින්, එය සිදු නොවන විට කාලයත් එක්ක ඔබට
ධර්මය තෙරුවන එපා වෙනවා. “කෝ මම මෙච්චර පින් කරනවා... මෙච්චර බණ අහනවා ඒ වුනාට ලෙඩ
දුක් කරදර වල අඩුවක් නෑනේ” කියලා කම්පා වෙනවා. එහෙමත් නැත්නම් ලෙඩක් හැදුණා ම...
තමන්ට ප්‍රිය කෙනෙක් මරණයට පත් වෙයි කියලා බිය වුනා ම... පින් කම් කරනවා... ඒවා
නොවේවා හෝ ප්‍රමාද වේවා කියන අදහසින් පින් කටයුත්තක් කරනවා. ධර්මයේ හැසිරෙන
පුද්ගලයෙක් ලෙඩ වූ කල කියන්නෙත් “ඔච්චර පින් දහම් කරලා බලන්නකෝ ඉතින් අසනීප වෙලා
නේ... හරිම දුක්ඛිත මරණයක් නේ ලැබුවේ” කියලයි.
සරලවම තමන්ගේ බාහිර වූ සුඛ
විහරණයක් උදෙසා උතුම් අති දුලභ තෙරුවන පාවිච්චි කරනවා. බුදු දහමේ හරය ම මඟ හැරිලා.
ඒ නිසා තමන්ව විමසන්න.
තෙරුවනින් ලැබිය
යුතු ගැඹුර ලැබිලා නැත්තේ ඔබගේ විමසීම තාමත් ප්‍රාථමික නිසාමයි. එසේ නම් ඒ ශ්‍රද්ධාව
පිණිස... විරිය පිණිස... සිහිය පිණිස... සමාධිය පිණිස... ප්‍රඥාව පිණිස... ශාසනයට
සම්බන්ධ පින් කටයුතු වල නිරත වෙන්න. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට ඉඩ දෙන්න.
කල්‍යාණ මිත්‍රයා
ව ලුහුබඳින්නට හිතක් නො දෙන්නේ ඇයි දැයි බලන්න!
ලෙඩෙක්, මහල්ලෙක්, මල මිනියක්, කියන ඉෂ්ට දේවතාවන්ගේ
ආශීර්වාදය ලබා ගන්න. ලෙඩ
වීම, මහලු
බව, මරණය
ඉක්මවා නැති බව දකින්නට දක්ෂ වෙන්න! එවිට ඔබට පැවිදි රුව හෙවත්
විමුක්තිකාමි මානසිකත්වය ලැබේවි! අති දුලභ පෙර නො ඇසූ විරූ දහම් ඇසේවි!
No comments:
Post a Comment