එක්තරා අවස්ථාවක මේ මහා තෙරුන්
විසින් සම්බුදු පිය රජුගෙන් මෙන්න මෙහෙම අහනවා. “වහන්ස, යම් හෙයකින් පෙර ශික්‍ෂා පදයෝ ඉතා මඳ වූහු නම් ඉතා බොහෝ භික්‍ෂූහූත්
රහත්බැව්හි පිහිටියාහු නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, දැන් යම් හෙයකින් ශික්‍ෂා පදයෝ ඉතා බොහෝ වෙත් නම් ඉතා මඳ
වූ භික්‍ෂූහූත් රහත්බැව්හි පිහිටත් නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?” කියලා. ඉතින් නිතරම පාහේ
බහුතරයක් පිරිස අහන “මේ කාලයේ මාර්ග ඵල ලාභී පිරිස මෙතරම් අඩු ඇයි?” කියන ප්‍රශ්නයටත් පිළිතුර ඇති මේ දහම් කොටස මෙවර කතු වැකිය තුලින් විමසමු!
අපගේ මහා කාශ්‍යප මහා රහතන්
වහන්සේ තමයි, අපගේ ශාස්තෘන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නේ. ඉතින් අපගේ සම්බුදු පිය රජුන් මෙන්න මෙහෙම පෙන්වා දෙනවා. “කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්වයින් පිරිහෙන කල්හි සදහම් අතුරුදන්
වන කල්හි ශික්ෂා පදයෝ ඉතා බොහෝ වෙති, ඉතා මඳ වූ භික්‍ෂූහූත්
රහත්බැව්හි පිහිටත්”. (ත්‍රිපිටකය - සූත්‍ර පිටකය -
සංයුත්ත නිකාය -
නිදාන වග්ගය - කස්සප සංයුත්තය - කස්සප වග්ගය - සද්ධම්මපතිරූපක සූත්‍රය)
මේ පැවසූ දේ
වැටහෙනවද? ඇයි අපට වැඩිපුර නීති දාන්න වෙන්නේ?
අපි හිතමු කෝ මෙහෙම රටේ නීතියක්
තියෙනවා. ඒ නීති කෙනෙක් කඩනවා. එතකොට සාමාන්‍ය නීති වලට අමතරව
ඒ පුද්ගලයාට උසාවියෙන් නියෝග දෙනවා ගෙදරින් පිටතට යන්න බෑ... රටින් පිටට යන්න
බෑ... තමන් ඉන්න ප්‍රදේශයෙන් එළියට යන්න බෑ... මේ වගේ තියෙන නීති වලට අමතරවත් නීති
පනවනවා. නමුත්, එයින් ඒ පුද්ගලයා හික්මෙන්නෙත් නෑ. ඉතින්, තවත් නීති දැඩි කරලා අල්ලලා හිරේ දාන්න වෙනවා. ඉතින්, නීති වැඩි වුණා ට නීති පැනවීම තුලින් ඒ පුද්ගලයා
හික්මීමක් ඇති කර ගත්තේ නැති නිසා තව තවත් නීති වැඩි කරන්න වුණා මිසක් බලාපොරොත්තු
වූ ප්‍රතිඵලය ලැබුණා ද?
හොඳයි, ඇයි එහෙනම් එහෙම වෙන්නේ? ඒ පුද්ගලයාට රටේ සම්මත නීතිය
කෙරෙහි ගෞරවයක් නෑ... රටේ නීති පැනවීම සිදු කරන්නන් කෙරෙහි ගෞරවයක් නෑ... හික්මීම
කෙරෙහි ගෞරවයක් නෑ... හික්මීමක් ඇති කර ගත් පිරිස කෙරෙහි ගෞරවයක් නෑ... හික්මීම
පිණිස මනස මෙහෙයවන්නට වුවමනාවක් ගෞරවයක් නෑ. මේ වගේ කාරණා නිසා නේද යමෙක්
නීතියක් පැනවීම තුලින් බලාපොරොත්තු වන හික්මීම තමන් තුල ඇති කර නො ගන්නේ? තමන්ගේ සිත තුල විය යුතු දේ කෙරෙහි සහ අන් අය කෙරෙහි ගෞරවයක් ආදරයක්
හික්මීමේ වටිනාකම හඳුනා ගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට නීති ගොඩක් ඕන කරන්නේ නෑ
කියලත් වැටහෙනවා ද?
ඉතින්, මේ නිසා සම්බුදු පිය රජුන් පෙන්වා දෙනවා මේ සම්බුද්ධ ශාසනය ඇසුරු කර ගෙන
සම්බුද්ධ ශාසනය තුලින් ම බිහි වන භික්ෂු, භික්ෂූනි, උපාසක, උපාසිකා නමින් සිටින පිරිස අතර
විද්‍යාමාන වන කාරණා පහක් නිසාවෙන් මේ සම්බුද්ධ ශාසනය වැසී යනවා කියලා. සත්ධර්මය ලෙසින් සත්ධර්මය වගේම
නමුත් සත්ධර්මය නොවන ප්‍රතිරූපක කාරණා ප්‍රකට වෙන්නට පටන් ගන්න නිසා සත්ධර්මය අප්‍රකට
ව ගොස් නැසී යාම පිණිසත්, සම්බුද්ධ ශාසනය අතුරුදහන් වීම
පිණිසත් මේ කියන කාරණා පහ හේතු වෙනවා කියලා. එහෙනම්, ඉතාමත් දීර්ඝ වශයෙන් විස්තර කල යුතු නමුත් ඉතාමත් කෙටියෙන් සිහිපත් කල මේ
කාරණා 5 ඔබ තුලත් තිබෙනවා දැයි බලන්න? භික්ෂුවක් වශයෙන්... භික්ෂුණියක් වශයෙන්... උපාසකයෙක්
වශයෙන්... උපාසිකාවක් වශයෙන්... “මමත් බෞද්ධයෙක්” යැයි පවසමින් කටයුතු කරන ඔබ තුල
මේ සම්බුදු සසුන විනාශ කරන කාරණා තිබෙනවා දැයි නුවණින් විමසා බලා නිසි සේ කටයුතු
කර ගත යුතුයි!
මොනවද එහෙනම් මේ කාරණා 5?
“කස්සප, මේ සසුන් හි භික්ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු
යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු
යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස
සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී.”
බණක් අහන කොට ශාස්තෘන් කෙරෙහි
පැහැදීමක් ඇති වීම පිණිස කතා කරනවා වෙනුවට "සියල්ල බොරුවක්, සියල්ල මුලාවක්... ශාස්තෘන් ද
හිස්... බුදු රුව දැකීම මෝහයයි... ශාස්තෘන් හට පුද පූජා වන්දනා කිරීම මෝඩ වැඩක්...
දන් දීමෙන් සිල් රැකීමෙන් ඵලක් නෑ... සුගතිය අනතුරුදායකයි!" ආදී වශයෙන් දුර්ලභ
වූ සම්බුදු සසුනක පවසා නැති වරදවා ගත් ශුන්‍යතා දර්ශනයක් සත්ධර්මය නමින් ප්‍රකාශ
කිරීම මෙකල බහුලයි. දස වස්තුක මිත්‍යා දෘෂ්ටික
අදහස් ම දරන මෙවැනි ප්‍රතිරූපක ධර්ම සරණ යමින් සත්පුරුෂ ගුණයක් වත් වඩන්නේ නැති
පිරිස එන්න එන්නම බහුල වෙනවා. "ශික්ෂා පද පහත් කරමින්
ශික්ෂාවක් වැඩක් නෑ නිවන් යන්න" කියමින් ධර්ම සංගායනා පැවැත්වූ මහා කාශ්‍යප මහ
තෙරුන්ට පවා නිගරු කරන අවස්ථා දැක ගන්නට තිබෙනවා. "ත්‍රිපිටකය වැරදියි... එහි
ඇත්තේ සාහිත්‍ය" කියමින් එය නැණවත්ව විමසන්නට ඇති මඟ අහුරා දමන ආකාරය
දකින්නට තිබෙනවා. "අන්‍ය වූ ශාසන තුල වූ සමාධි ක්‍රම වේද බුදු සසුනේ ගැඹුරු වූ සමාධිය ලෙසින් පෙන්වා
දෙමින්" වරදවා ගත් සමාධි ප්‍රකට වෙමින් පවතිනවා. ඉතින්, මේ හැමදේකටම කියන්නා සේම අසන්නා ද වග කිව යුතුයි! කිසිවෙකුටත් ඇහුම්කන් නො දෙන අකීකරු වූ නම්‍යශීලී නොවන “මම තමයි දන්නේ”
කියන මානසිකත්වය මේ අවුලෙන් අවුලට පත්වීමට තවත් හේතුවක් වෙනවා.
එහෙනම් යමක් ප්‍රකාශ කරන්නෙක් ලෙසින් හෝ වේවා යමක් අසන්නෙක් ලෙසින් හෝ වේවා තම තමන්ගේ සිතට එකඟ ව ප්‍රකාශ කරන දේ මඳකට පසෙක තබා තමන්ගේ ශාස්තෘන් පවසා ඇති දේ නැණවත්ව විමසන්නට කැප වෙන්න. ඒ අනුව කටයුතු කරන්නට කැප වෙන්න. එතැන මේ කියන කාරණා 5ම සම්පූර්ණ වෙනවා.
එසේ සිදු කරන්නට කැප නොවන තාක්
ඔබ විසින් දැන හෝ නොදැන විවිධ මට්ටම් වලින් මේ අති දුර්ලභ වූ සම්බුදු සසුන
අතුරුදහන් කරන්නට සත්ධර්මය යටපත් කිරීම පිණිස කටයුතු සිදු කරනවා. අනුන් හදන්නට පෙර තමන් හැදෙන්න... අනුන් හික්මවීමට පෙර
තමන් හික්මවා ගන්න... එවිට මේ ශාසනය තුලින් ලබා ගත හැකි උත්කෘෂ්ඨ ප්‍රතිඵල ලබා
ගැනීමට හැකි වෙනවා නියතයි!!!
1 comment:
තෙරුවන් සරණයි පින්වත් සොයුරියට 🙏🙏🙏 මේ උතුම් දහම් දානමය කුසලය නිර්වාණය පිණිසම හේතු වේවා!
Post a Comment