නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, January 31, 2011

අපි ගිලින ඇමේ තරම... (ඉතිරි කොටස)

ආශ්වාදය ලබන්නට ඇස, කණ, දිව, නාසය, කය, මන පින් කර ඇතැයි සිතන්නේ යම් තාක්ද එතෙක් මතු මතුත් එවැනි ඇස, කණ, දිව, නාසය, කය සහ මනකට හේතු නිපදවේ... ලැබෙන ආශ්වාදය සුවයි තමයි...ඒත් ඒ සුව විඳින්නට ඔබට ලැබී ඇති ඇස, කණ, දිව, නාසය, කය, මන ඔබට රිසි සේ පවතිනවාද? ඔබ කොතරම් ආශ්වාද ලබාදුන්නත් එය සෑහීමකට පත්වී “දැන් ආශ්වාද ලැබුවා ඇති“ යැයි සංතෘප්ත වන දවසක් ලැබෙනවාද? කොච්චර බැලුවත් ලස්සන රූපයක් දැක්කම ඇස එය බලන්න ඉල්ලනවා නේද? කොච්චර ඇහුවත් ලස්සන සිංදුවකට කණ යොමු කරන්න හිතෙනවානේද? කොච්චර සිඹ බැලුවත් සුවඳ මලක් හෝ වේවා නැවතත් සිඹ බලන්න හිතෙනවා නේද? කොච්චර රස බැලුවත් නැවතත් රස බලන්න හිතෙනවා නේද? කොච්චර සුව වින්ඳත් නැවතත් ඒ සුව පතනවා නේද? කොච්චර හිතුවත් සුන්දර සිතුවිලි සිතෙන තරමට සුවයි නේද? කවද්ද ඉතින් ඉවර කරන්නේ?
ඉස්සර කලෙත් ඔය ටිකමයි... දැන් කරන්නෙත් ඔය ටිකමයි... මතු කරන්නෙත් ඔය ටිකමයි... ඇතිවීමක් ඇත්තේම නැත්ද? අනේ ඉතින් ජිවත් වෙලා ඉන්න එපැයි නිවන් දකින්න කියලා කියපු කට රළු ගලක උලාගන්න හිතෙන්නේ තමන් ඔය ලබන්න වෙර දැරුව ආශ්වාදය නම් මර උඟුලේ සැබෑ තතු දැක්ක මොහොතට තමයි...
 

 
ලස්සන රුවක් බලා ඇස පිනවන්නට හිතෙන තාක් ඒ හේතුවට ඵලය ලෙස මතු මතුත් ඇසක් ලැබේවි... ඇසක් ලැබෙන තාක්... ඒ ඇස පත්වන දුක ඔබට දරාගන්නට වේවි... කොච්චර පිරිසිදු කලත් අපිරිසිදු වෙන, කොච්චර සුව ලෙසින් පවතීවා කියලා පැතුවත් ලෙඩක්ම උරුම වන, කොච්චර රැක ගන්න හැදුවත් කැඩී බිඳී විනාශ වී යන අනතුරුවලට පත්වන, කොච්චර සුව රූපම දකීවා කීවත් අප්‍රිය අමධුර රූපත් දකින්නට ලැබෙන, කොච්චර ලස්සනට තිබේවා කීවත් කැත වෙන, කොච්චර මට කැමති සේ තිබේවා තිබේවා කීවත් කැමති සේ පවත්වාගන්නට අපහසු ඇසක් තුලින් දැවේවි... ඇසෙන් මනවඩන රූප පතන තාක්... ඒ ආශ්වාද බලාපොරොත්තුව තුලින් රූප බලන්නට ඇසක් ලැබේවි... ඒ ඇස ලැබෙන තාක් ඔබ ඒ ඇස නිසා දැවේවි... ඇවිලගත් ඇසත් ඇවිලගත් රූපත් ඔබට දාහයක් මිස නිවනක් නොදේවි...
ලස්සන ශබ්දයක් අසන්නට සිතා කණ පිනවන්නට හිතෙන තාක් ඒ හේතුවට ඵලය ලෙස මතු මතුත් කණක් ලැබේවි... කණක් ලැබෙන තාක්... ඒ කණ පත්වන දුක ඔබට දරාගන්නට වේවි... පෙර පරිදිම තමන්ට රිසි සේ පවත්වාගන්නට අපහසු කණක් තුලින් දැවේවි... කණෙන් මනවඩන ශබ්ද පතන තාක්... ඒ ආශ්වාද බලාපොරොත්තුව තුලින් ශබ්ද අසන්නට කණක් ලැබේවි... ඒ කණ ලැබෙන තාක් ඔබ ඒ කණ නිසා දැවේවි... ඇවිලගත් කණක් ඇවිලගත් ශබ්දත් ඔබට දාහයක් මිස නිවනක් නොදේවි...
ඉතින් නාසයෙන් ගන්ධයන්, දිවෙන් රස, කයෙන් ස්පර්ශ සහ මන තුලින් නොයෙක් ධර්මයන් පතන තාක් ඒ තුලින් ඔබවම පිනවන තාක් ඒ ආශ්වාද බලාපොරොත්තුව තිබෙන තාක් ඔබ දැවේවි... ඇවිලගෙනයි ඉන්නේ...
     
 
ඉතින් 
මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා
ඇට කටු දිරලා මහ පොලවට පස්වෙනවා
හැඩ වැඩ කියලා මෝඩයේ මෙහි රැවටෙනවා 
අතහැර මිදුන දවසට නිවනම වෙනවා!
පතන රූප ආශ්වාද ජනක මනවඩන ඒවා වෙන්න පුළුවන්... ඒත් ඒ එක්කම ලැබෙන ඇස නම් හිතන තරම් සුවදායී නොවේවි! පතන ශබ්ද ආශ්වාද ජනක මනවඩන ඒවා වෙන්න පුළුවන්... ඒත් ඒ එක්කම ලැබෙන කණ නම් හිතන තරම් සුවදායී නොවේවි! පතන ගන්ධ ආශ්වාද ජනක මනවඩන ඒවා වෙන්න පුළුවන්... ඒත් ඒ එක්කම ලැබෙන නාසය නම් හිතන තරම් සුවදායී නොවේවි! පතන රස ආශ්වාද ජනක මනවඩන ඒවා වෙන්න පුළුවන්... ඒත් ඒ එක්කම ලැබෙන දිව / කට නම් හිතන තරම් සුවදායී නොවේවි! පතන ස්පර්ශ ආශ්වාද ජනක මනවඩන ඒවා වෙන්න පුළුවන්... ඒත් ඒ එක්කම ලැබෙන කය නම් හිතන තරම් සුවදායී නොවේවි! ඉතින් ඔය පහම ඔහොම නම් ඒ පහ තුලින් ලැබෙන මනවඩන දේ ගැන මෙනෙහි කරන්න ලැබෙන මන ගැන කුමන කථාද?

යම් ලෝකයක් සුවයි කියලා හිතා එය රකින්නට ඒ තුල සැනසෙන්නට පතන තාක් ඒ හේතුවට අනුව ඒ ලෝකය තුල නැවත නැවත ඉපදී දුක්විඳින්නට සිදුවීම ඵලයයි! ඵලය එපා එපා කිව්වාට ඵලක් නැත හේතු තිබෙන තාක් විඳින්නට සිදුවේ!

යම් රටක් සුවයි කියලා හිතා එය රකින්නට ඒ තුල සැනසෙන්නට පතන තාක් ඒ හේතුවට අනුව ඒ රට තුල නැවත නැවත ඉපදී දුක්විඳින්නට සිදුවීම ඵලයයි! ඵලය එපා එපා කිව්වාට ඵලක් නැත හේතු තිබෙන තාක් විඳින්නට සිදුවේ!

යම් ගමක් සුවයි කියලා හිතා එය රකින්නට ඒ තුල සැනසෙන්නට පතන තාක් ඒ හේතුවට අනුව ඒ ගම තුල නැවත නැවත ඉපදී දුක්විඳින්නට සිදුවීම ඵලයයි! ඵලය එපා එපා කිව්වාට ඵලක් නැත හේතු තිබෙන තාක් විඳින්නට සිදුවේ!

යම් ජාතියක් සුවයි කියලා හිතා එය රකින්නට ඒ තුල සැනසෙන්නට පතන තාක් ඒ හේතුවට අනුව ඒ ජාතිය තුල නැවත නැවත ඉපදී දුක්විඳින්නට සිදුවීම ඵලයයි! ඵලය එපා එපා කිව්වාට ඵලක් නැත හේතු තිබෙන තාක් විඳින්නට සිදුවේ!

යම් පිරිසක් සුවයි කියලා හිතා එය රකින්නට ඒ තුල සැනසෙන්නට පතන තාක් ඒ හේතුවට අනුව ඒ පිරිස තුල නැවත නැවත ඉපදී දුක්විඳින්නට සිදුවීම ඵලයයි! ඵලය එපා එපා කිව්වාට ඵලක් නැත හේතු තිබෙන තාක් විඳින්නට සිදුවේ!

අවිද්‍යාව නම් හේතුව නිසා ඔබට ඇස, කණ, දිව, නාසය, කය, මන පිනවමින් ලෝකය රකින්නට ලෝකය වෙනුවෙන් සටන් කරන්නට, ලෝකය විඳින්නට ලෝකයේම දිනන්නට එහිම කොටස් කාරයෙක් වෙන්නට සිදුවේවි! යම් ලෝකයක පවතින තාක් ඒ ලෝකයේ විනාශයටත් මුහුණ දීමට සිදුවේවි... ලෝක විනාශයට බිය වන්නට සිදුවේවි... රැකගන්නට බැරිවේවි යයි අනුන් එය සොරාගනීවි යයි බියෙන් දැවෙන්නට වේවි... තමන්ගේ කොටස රැකගන්නට තමන්ගේ උරුමය රැකගන්නට සටන් කරමින් දැවෙන්නට වේවි... කැඩෙන බිඳෙන විනාශ වන... කඩන බිඳන විනාශ කරන... කඩා බිඳ විනාශ කර දමන්නට හැකි දෑ තුල ඒවා වෙනුවෙන් පැතුම් පතන තාක් ඒවාද සමඟ දාහයත් දුකත් ගින්නත් ලැබීම නිරායාසයෙන්ම සිදුවේ!

පතන්නට පෙර සිතන්න... සටන් කරන්නට පෙර සිතන්න... රැකගන්නට දැවෙන්න පෙර සිතන්න... තම කොටස වැඩි කරගන්නට පෙර සිතන්න... පිනවන්නට පෙර සිතන්න... සිත, කය, වචනය හසුරුවන්නට පෙර සිතන්න... සිතන, කරන, කියන අවස්ථාවේදී සිතන්න.... සිතා, කර, කියා අවසන් වූ පසුත් සිතන්න... ඒ කරපු, කියපු, සිතපු දේ තුල රාගයක්, ද්වේශයක් තිබෙන තාක් එහි මෝහයද වේ... මෝහය තිබෙන තාක් දුකද වේ... දුක තිබෙන තාක් සැබෑ සතුටක් සැනසීමක් අහලකවත් නැත!
නුවණැත්තෝ විමසත්වා!! විමසා දැන සැනසෙත්වා!!

No comments: