මෑතකදී හමුවූ අති විශිෂ්ඨ ඉතාමත්ම වටිනා නිර්මාණයකට තවත් ගැඹුරක් එකතු කරන්නට සිත්විය.
තාත්තා කෙනෙක් අවසන් ගමන යන විට දරුවෙකුට කියැවෙන හැඟීම්බර වදන් පෙල තුල ඒ ලෞකික අර්ථය ඉක්මවා ලෝකෝත්තර ගමනක් යන කෙනෙකුට ගන්න ගැඹුරකුත් මේ තුල තියෙනවා කියලයි මට දැනෙන්නේ...
පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
ලෝකයෙන් එතෙර වෙන රහතන්වහන්සේ කෙනෙකුට අවසාන ගමන කියන්නේ නිකම්ම මරණයක් නෙවේ... නිවන් මඟම පූර්ණය කිරීමක්... පුරුදු පාර නිවන් මඟ තමයි අදත් යන්නේ ඒ පාරෙම තමයි හැබැයි වෙනස්... මෙය ඒ ගමනේම අවසානයයි!
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
නිවන් මඟ කියන්නේ තනිවම යන ගමනක්. අතිශය පෞද්ගලිකයි. හැබැයි ඒ මඟ යන කෙනෙක් වටා පිරිසක් නිතැතින්ම හැදෙන්නේ ඒ මඟ යන කෙනෙකුගෙන් ගත හැකි දේ අප්‍රමාණ නිසාමයි. රහත්ඵලය පූර්ණය කරගන්නට තනිවම කටයුතු කරගත්තත් ඒ දහම් අසාගෙන පිරිසක් පසුපස ඒම සමාන්‍ය දෙයක්...
කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
මේ සැබෑම අවසාන ගමන යන රහතන්වහන්සේගේ මඟ අනුගමනය කරන තවත් ශ්‍රාවක පිරිස් හැදෙනවා. හරියට දරුවෝ වගේ... බුදු හිමියන්ගේ දරු කැල වුනේ ඒ මාර්ගය පූර්ණය කරගත්ත රහතන්වහන්සේලාමයි... අන්න ඒ වගේ... හැබැයි බුදු හිමියන් ලෝක සත්වයා මුදවාගැනීම අනිවාර්ය අංගයක් කරලා දහම් ප්‍රචාරය අනිවාර්ය අංගයක් කරලා ඒ වගකීම ඒ මගඵල ලාබී ශ්‍රාවක පිරිසට දුන්නේ නෑ වගේම ඒ රහතන්වහන්සේලා දෙන්නෙත් නෑ. මොකද ඒක කරන්න පහසු කටයුත්තක් නෙවේ නිසා... ඒ බර දරන්න පහසු නැති නිසා ඒ බර තවත් කෙනෙකුගේ කරේ තියන්නෙ නෑ උන්වහන්සේලා...
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත උඹේ
උන්වහන්සේලා ඉල්ලුවේ නැතත් සමහර ශ්‍රාවක දරුවෝ මේ යුතුකම කරට ගන්නවා. ඒ බර දරන්න කටයුතු කරනවා. ඒත් සැබෑම පියෙක් විදියට ඒ බුදු හිමියන්ගේ ඒ රහතන්වහන්සේලාගේ ඉල්ලීම තමයි මේ යුතුකම දැරීම කොයිම මොහොතක හෝ අනවශ්‍ය විදියට තමන්ගේ නිවන් ගමනට බාධාවක් වෙනවා නම්... ඒ යුතුකම පවා නිවැරදිව කරගන්නට බැරි තත්වයක් උදා වෙනවා නම්... මේ යුතුකම ඉටු නොකලට කමක් නෑ කියන දේ...
කන්ද පාමුල සොහෙන හුරු නෑ
දන්නවා මං මගෙ පුතේ
සොහොන හුරු නැතිවෙන්නේ නිවන් මඟ යන නිසයි... මැරෙන වැඩපිලිවෙල නොවන නිසාමයි... සොහොනක් කියන්නේ මැරෙන වැඩපිලිවෙල්ම සංකේතයක්... ඒත් ලෝකයෙන් එතෙර වන්නෙකුට එය තවදුරටත් අදාල දෙයක් නෙවේ...
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
නිවන පූර්ණය කරගන්නේ එක් අයෙකු විතරක් නෙවේ... තවත් එවැනි පිරිසක් ඉන්නවා කියන්නට ඒ නික්ම යන රහතන්වහන්සේගෙන් ලැබෙන ඉඟියක් හා සමානයි මේ කියමන... තවත් විදියකට කියනවා නම් ලෝකයෙන් එතෙර වෙන මඟ ගමන් කරන්නවුන් හට තමන් තනි නෑ මේ ගමනේදී කියලා පුංචි තල්ලුවක් දීමක් හා සමානයි...
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
රහත්ඵලය පූර්ණය කලත් කය බිඳී මිය යෑම තමයි ධර්මතාවය. නිර්වාණය අවබෝධ කරගෙන සිටීම නිසා සම්මත මරණයක් නොවූවත් බාහිරව ඇති කයට නම් එය සම්මත ධර්මතාවයම හෙබි මරණයයි. ඒ සොබාදහමේ නීතිය ගැන හොඳින්ම අවබෝධ කරගෙන ඉන්න ප්‍රඥාවන්තයෙකුට මේ ගමන කිසිඳු කම්පාවක් ගෙන දෙන්නක් නෙවේ...
යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගේ
මේ වදන් පෙල කියන්නේම ඒ අවසන් ගමන යන රහතන්වහන්සේ ගිය නිවන් මඟ අනුගමනය කරන ශ්‍රාවක දරුවෙකුටයි. ඒ දරුවා දන්නවා අම්මා කව්ද කියලා. ඒ අමා මෑණියන් වහන්සේ හෙවත් සම්මා සම්බුදු හිමියන්... උන්වහන්සේගේ බෙහෙත් තුණ්ඩුව තමයි උත්තරීතර සත්ධර්මය... යුතුකමක් විදියට කල යුතු දහම් ප්‍රචාර කටයුතු නොකලත් කමක් නෑ, භව රෝගයට පිළියම් ලබා දෙන බෙහෙත් තුණ්ඩුව නම් අතහැර ගන්න එපා... තමන්ගේ නිවන් මඟ නම් මග හැරගන්න එපා... ඒ සත්ධර්මය දරන්නට, අරගෙන යන්නට නම් අමතක කරන්න එපා... කියලා ඉල්ලන අවසාන සිහිපත් කිරීමක් සේමයි ඒ වදන් පෙල දැනුනේ... බෙහෙත් තුණ්ඩුව අරන් යන්න කියනකොට තුණ්ඩුව දැරීමක් ගැන නෙවේ ලෙඩේට බෙහෙත් කරගැනීමක් ගැනමයි මේ කියන්නේ කියන අරුත ගන්නට දක්ෂ වෙන්නත් ඕන... නැතිනම් අතරමං වන බොහෝ පිරිසක් වගේ තුණ්ඩුව දරාගෙන බෙහෙත් නොගෙන ඉන්නෙක් වෙන්නට සිදුවෙනවා නියතයි.
ඉතින් ලෞකික තේරුමක් ගත්තොත් හැඟීම් බරව දුක් වෙන්නට බොහෝ කරුණු ඇති අගනා නිර්මාණයක්මයි මේ. ඒත් මේ නිර්මාණයෙන්ම ගත හැකි මෙවන් ලෝකෝත්තර අර්ථයක් අරගෙන ඒ හැඟීම් වලින් මිදුනු... සියලු කම්පනයන්ගෙන් මිදුනු උත්තරීතර නිවන් අවබෝධය ලබන්නට හැකි නම් ඔබට ඔබ ලැබූ ඔය දුර්ලභ මිනිස් ජීවිතයෙන්... මේ නිර්මාණයට අංශු මාත්‍ර තරමින් හෝ දායක වූ හැමෝටමත් මේ කෙලවරක් නැති සසර ගමන නිමා කරගන්නට එයම මහා පුණ්‍ය කුසල ශක්තියක් වේවි. මේ නිර්මාණයට උතුම් වූ අගයකුත් ලැබේවි.
සැබෑවටම තමන්ගේ බණවර හමාර කරමින් උතුම් රහත් ඵලය පූර්ණය කරගෙන සැබෑම අවසාන ගමන යන්නට හැකිවේවි!!!
පසු සටහන;
මෙවන් ඕනෑම නිර්මාණයක් ලෝකයෙන් එතෙර වෙන්නට යොදාගන්නට හැකි බව පමණක් නොවේ ඇස ගැටෙන, කණ ගැටෙන, දිව නාසය කය මන ගැටෙන ඕනෑම අරමුණක් තුල නිවන් මඟ මතු කරගෙන මගේ නිවන් මඟ සරු කරගන්නට උතුම් පියෙකු ලෙසින් නිතර ඔවදන් දෙමින් මඟ පෙන්වූ, උතුම් කළ්‍යාණ මිත්‍රයාණන්වහන්සේ කෙනෙකු වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ හඬින් කියැවෙන අනිච්චාවත සංඛාර ගාථාව පසුබිමෙන් ඇහෙනකොට සැබැවින්ම තෙරුවණේ අප්‍රමාණ ආශිර්වාදයක තරම නැවත නැවතත් දැනෙන්ට වුණා. මේ නිර්මාණය අත්දැකගන්නට මාත් එක්ක මෙත් සිතින් බෙදාගත්ත වන්දනීය අතුරුගිරියේ සුබෝධ හිමියන්ටත් නමස්කාර කරමි... නමස්කාර වෙත්වා!!! මොහොතක් මොහොතක් පාසා ආශ්චර්ය පෙන්වා නිවන් මඟ සරු කරන උතුම් සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ තෙරුවනේ ඇසුරටත් මේ ජීවිතය පුරාවට ලද සහ තවමත් ලැබෙන ඒ උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුරටත් නමස්කාර කරමි!!! නමස්කාර වෙත්වා!!!
මේ නිර්මාණයට අංශු මාත්‍රයකින් හෝ දායක වූ සියලු පිරිසට තව තවත් මෙවන් නිර්මාණයන් කිරීමටත් සියලු කම්පනයන්ගෙන් මිදුණු අසීමිත සුවැති නිවන් අවබෝධය ලැබීම පිණිසත් තෙරුවණේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි!!!
Artist | Ravi Royster Jr.
Lyrics by Iresha Hemamali
Music & Melody by Ravi Royster
Mixing & Mastered by Leen Muthukuda @ AudioEclipse
Tape Recording Engineer | Yashoda Rohana@ Audio Eclipse
Illustration | Chamal Sameera Goonawardena
2 comments:
මොන්ගල් පොරක් මේක ලියල තියෙන්නේ...
ඔය මගුලක් ගැන නෙමේ කියන්නේ අවුලක් නැ ඉතින් මෙ විදිහටත් රට පටලන් හිතමු.. 😂😂😂😂
This simply explain the soule of the dead father, how he feels about his son..As a father he never allowed his son to be suffer. Until his death he keeps his son happily and comfortably ...! all fathers are same and even after his death he dont want his son to be suffer. Father's true love for his son cannot explains by suding simple words.
As described in about there is no such "Deep Dharama " in this simple poetry.. ! But there is a deep never ending love of the father to his son and his loving wife.. expalin in this sipmle poetry...The artist,s deep vocal explain this feelings touching the hearts of all sons and daughter...
Post a Comment