නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, March 16, 2020

කොරොනා වලට බයයි වගේද?


මේ දවස් වල වසංගත රෝගයක් නේද? ගත හැකි පිලියම් ගැන ගොඩක් කතා කරනවා. ආරක්ෂා වීමට නොහැකි වේදෝයි බියෙන් මහා අසහනයක්... කලබගෑනියක්... තවත් කෙනෙකු ගැන නොසිතා ආහාර පාන ආදිය රැස් කිරීම්... වැළදුනු අය තවත් අයට බෝ කිරීමට දරන ප්‍රයත්නයන්... වැළඳුනු බව පැවසූවෝත් කිසිම පැකිලීමක් නැතිව වස බෝතලයක් ගැනීමට පවා මුදල් ලබා දීම... බලාගෙන ඉන්නකොට දැනෙන්නේ ඇතුලේ ඉන්න සත්තු වත්තමත් අමනුස්සයෝ ටිකත් කළ එළි බැහැලා වගේ තමයි. ඒ නිසා හිතන්න... තවමත් මේ ව්‍යසන හමුවේ අසරණ නොවී යහපතක් කරගන්නට උත්සාහවන්ත වන්න මේ කෙටි සටහන උපකාරයක්ම වෙත්වා!!! 

බුදු පියාණන්වහන්සේ විටින් විට නොයෙක් නොයෙක් උපමා ගෙන අප කොතරම් ව්‍යසනයන්ට වසංගතයන්ට මුහුණ දී ඇතිදැයි පෙන්වා දෙනවා...මේ තවත් එවැනි අවස්ථාවක්... 

''මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, යම් මව් කිරක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය. ඊට හේතුව කවරේද?'' 

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරනලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.” 

තවත් විටක බුදු වදන අනුව ගිය රහත් උතුමන් වහන්සේලා අසනීපව දැඩි කායික දුකට පත්ව සිටින ගිහි පරිසරයන්හි වෙසෙන දහම් අවබෝධයෙන් යුතු පිරිස හමුවූ විට මෙන්න මෙසේ පවසනවා... 

“ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි. ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ. 

මේ වදනෙන් මතු කරන එක කාරණයක් නම් හොඳටම පැහැදිලියි ඒ තමයි අපේ මේ කයට ලෙඩක් දුකක් කරදරයක් නොවුනොත් තමයි ඇත්තටම අපි පුදුම වෙන්න ඕන. ඉතින් මේ ලෙඩ වන බව උරුම කරගත්ත කියන ලෙඩේ දරාගෙනම ඉන්න අපට තවත් අමුතුවෙන් බිය විය යුතු නෑ. විය යුත්තේ මේ උරුම කරගෙනම ඇති ලෙඩේ සුවපත් කරගන්නට කටයුතු කිරීමයි. 

වැඩිය ඕන නෑ නේද ඉතින් බුදු වදන තුල ඇති මේ කියමන් දෙකම ඇති කොරොනා වගේ වසංගත බිය දුරු කරගන්නට... විමසා බලන්න ඔබ මෙතෙක් කාලයක් ඇසූ ධර්මය ඔබව මේ කියන අවබෝධය ලබාදී කම්පාවක් බියක් නොවන තත්වයට ආසන්නව හෝ ගෙනත් තිබෙනවාදැයි කියලා. එසේ නොවුනහොත් කොතරම් බණ ඇසුවත්... ඒ බණ තුලින්ද ඒ තෙරුවණේ ආශිර්වාදයෙන් ද රෝග නැතිවේවා ව්‍යසන නැතිවේවා යැයි බියපත්ව සිදුකරන පැතුම් පමණක් ඉතිරිවනු ඇත. 

සතර පෙර නිමිති නොදුටු සිතකට නිවන තවමත් බොහෝ දුරයි. අන්න ඒ නිසා අප්‍රමාදීව විමසන්න තමන් තුල යථාවබෝධයට පත්වීම පිණිස අඩුම තරමේ මේ කියන මූලික අවබෝධයවත් අවදි වෙලා තිබෙනවාදැයි කියා. 

තෙරුවන් සරණින් දැනටමත් වැළඳී ඇති මාරාන්තික භව රෝගය සුවපත් කරගැනීමට අප්‍රමාදීව කටයුතු කරගන්නට ඔබ සැමටම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල ගැන්වේවා! මන්ද යත් මේ මාරාන්තික භව රෝගය හමුවේ කොරොනා යනු නොසලකා හැරිය හැකි සෙම්ප්‍රතිෂ්‍යාවක්ම පමණි!!! සැබැවින්ම ඔබේ සිතේ තුන් බිය දුරුවීමට ඒ උතුම් රතන තුනත් ඒ රතන තුල ගැබ්වූ උතුම් ගුණත් ප්‍රයෝජනවත් සුත්‍රයක්ම වෙත්වා!!!

No comments: