ඔබේ ජීවිතයේ දී ඔබ විවිධාකාර පුද්ගලයන්ගේ නුගුණ දකිනවා
නේද? මට නම් දැනෙන්නේ මේ කාලේ ඒ ස්වභාවය
බහුල වෙමින් පවතිනවා වගේ. ගෙදර අම්මා
තාත්තා... සහෝදර සහෝදරියන්... දරුවන්... සැමියා... බිරිඳ... නැන්දම්මා... ලේලි...
ඥාති හිත මිත්‍රාදීන්... මෙන්ම පෞද්ගලිකව නො දන්නා පුද්ගලයන් කෙරෙහි පවා අප
විවිධාකාර අදහස් මත දරමින් බොහෝ විට පවසන්නේ නුගුණ ම යි. මේ තත්වය නැති කර ගන්නට
බුදු හිමියන් පෙන්වා දුන් බොහෝ ක්‍රම අතරින් තවත් අපූරු ක්‍රමයක් පෙන්වා දෙන්නට
මෙවර කතුවැකිය වෙන් වෙනවා.
අනුන්ගේ අගුණයන් කීම හෙවත්, නුගුණ පැවසීම, දොස් පැවසීම, අඩුපාඩු පැවසීම අසත්පුරුෂ ගුණයක් බව පෙන්වා දෙන සූත්‍ර දේශනාවක් මින් පෙර කතු වැකියකින් අප විග්‍රහ කර ගත්තා මතක ඇති.
ඒ සූත්‍ර දේශනාව තුලම වූ සත්පුරුෂ ගුණයක් වන අන් අයගේ
ගුණ දැකීම කියන්නා වූ ගුණය අප තුල වර්ධනය කර ගැනීමට නිතර සිහි තබා ගත යුතු
කාරණයක් තමයි මෙවර කතු වැකිය තුලින් ගෙන එන්නේ.
උපමාව මෙසේයි;
“මහණෙනි, යම් පරිදි
වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ
අලුත ඇයට නැන්දනියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත්
පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල
සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දනියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත
යා, තෙපි කුමක් දන්නාව යි.
මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් යම් ම රැයෙක වේවයි දවසෙක
වේවයි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, එකෙණෙහි ම ඕහට
භික්‍ෂූන් කෙරෙහි භික්‍ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත්
පිරිසෙයින් ආරාමික සමණුද්දෙසයන් කෙරෙහිත් තියුණු හිරිඔතප් එළඹුනේ වෙයි. හේ මෑත
කාලයෙක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරනටත් උවදෑවනටත් මෙසේ ද කියයි: පහවව, තෙපි
කුමක් දන්නාව යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “අලුත ආ වධුකාවකගේ සිතට බඳු
සිතින් වසම්හ” යි. මහණෙනි, තොප මෙසේ හික්මෙන්නේ ය.
මේ කිව්ව උපමාව වැටහුණා ද?
අලුත ගෙනා මනමාලි - ඔබ යම් තැනකට අලුතෙන් ම ගියා ම
කොතරම් ලැජ්ජාශීලී ද? භය ද? තමන්ගෙන් වරදක් වෙයි දෝ කියන... වචනයෙන් වරදක් වෙයි දෝ
කියන හැඟීම හැම තිස්සේ ම සිත තුල පවතිනවා.
මේ ස්වභාවය ප්‍රකටව ම තියෙන කෙනෙක් තමයි “අලුත ගෙනා මනමාලිය”. මොකද දවසකට දෙකකට ආවා නෙවෙයිනේ නේද? දිගටම
ඉන්නත් එපැයි. ඒ නිසා තමන්ගේ නැන්දම්මාට,
මාමණ්ඩියට, සැමියා ඇතුළු ඒ තමන් දීග ගිය පාර්ශවයේ සියලු දෙනා කෙරෙහි බොහෝ ම ගරු
සරු ඇතිව... වචනයකින් වත් අඩුවක් නොවෙන්නට වග බලා ගන්නවා. හරි අපූරු සිහියක් පවතිනවා.
සාර්ථක සම්බන්ධයක් පවත්වා ගැනීමේ පරමාර්ථය ඇතිව කියන,
කරන සෑම දෙයක් ම බොහොම ප්‍රසන්නව කරන්න උත්සාහවන්ත වෙනවා. අනෙක් පාර්ශවය අප කෙරෙහි සිතන, කියන, කරන
ආකාරය ගැන අප වධ වෙන්නේ නෑ.
ඒත් කාලයක් යන කොට... ටික ටික පරණ වෙන කොට... තැනට හුරු
වෙන කොට, පිරිසට හුරු වෙන කොට... ඔන්න ඉතින් චණ්ඩියා වෙනවා... “ඔහේ ලා මොනවද
දන්නේ... යනවා යන්න” කියලා තමයි ඉතින් වැඩිපුර කටේ තියෙන්නේ. ගුණයක් දකින්නේ ම නෑ.
දැන් බලන්න හැම සම්බන්ධයකට ම... කොටින් ම පෞද්ගලිකව
හඳුනන්නේ නැති පිරිසට කෙරෙහි පවා මේ කියන තත්වය ඇති වෙලා නේද? ඉතින් කොහොමද ඔබට සැනසීමක් ලැබෙන්නේ? හැම දාම අලුත්
මනමාලි වෙන්න... පරණ වෙන්න යන්න එපා... ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ.
ඔබට සැබැවින් ම සත්පුරුෂ දහමක් ඕන නම්... සැබැවින් ම
නිවීමක් සැනසීමක් ඕන නම්... අසත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ගුණ ධර්ම තමන් තුල වැඩි
කර ගන්නට අවංකව ම අවශ්‍ය නම් අද පටන් ගෙන... මේ මොහොතේ පටන් ගෙන “අලුත ගෙනා
මනමාලියක්” බවට පත් වෙන්න.
දෙමව්පියන් දරුවන් කියන සම්බන්ධය ගත්තත්... බිරිඳ සැමියා
කියන සම්බන්ධය ගත්තත්... නැන්දම්මා ලේලි කියන සම්බන්ධය ගත්තත්... ගිහි පැවිදි...
ගුරු ගෝල... රටවැසියා සහ පාලකයන් කියන මේ මොන ආකාරයක සම්බන්ධයන් ගත්තත්... කෙටියෙන්
ම සම්බන්ධය කුමක් වුවත්... ඒ සම්බන්ධයට “අලුත ගෙනා මනමාලියක්” ම වන්න!!! වරදින්නේ
නෑ!!!
No comments:
Post a Comment