සටහනේ අන්තර්ගතය
සැබෑ විමුක්තියක් සොයන, සැබෑ සත්‍ය ගවේෂණය කරන්නා
වූ නැණවත් ඔබ විසින් අවබෝධ කල යුතු නුවණින් දැන දැක හඳුනා ගත යුතු කාරණා බොහෝමයි.
විශේෂයෙන් ම අති දුලභ පෙර නො ඇසූ විරූ දහම් විග්‍රහ වන තථාගත ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය
කර ගැනීමට දරන උත්සාහය තුල වරදින්නට හැකි... සත්ධර්මය මඟ හැරෙන්නට ඇති අවස්ථා
හඳුනා ගැනීම අතිශයින් ම වැදගත් වෙනවා. අන්න ඒ නිසා මෙවර කතු වැකිය තුලින් ඔබ
විසින් නැණවත් ව දැකිය යුතු කාරණයක් සම්බන්ධයෙන් කෙටියෙන් විග්‍රහ කර දෙන්නට
උත්සාහයක් දරන්නම්!
යමක් අසන විට දී එහි “අර්ථය” අවබෝධ කර
ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළට
හුරු වෙලා ඉන්න අපට යමක් අසන විට දී අප විසින් වටහා ගන්නා අර්ථයත් බොහෝ විට ඒ
පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින සීමාව තුල ලැබූ
අත්දැකීම් ඔස්සේ ම වටහා ගත් අර්ථයක් තමයි නේද? සත්ධර්මය ශ්‍රවණයේ දී ද මෙන්න මේ වගේ තමන්
දන්නා මට්ටමින් ම සිදු වන අර්ථ වටහා ගැනීමක් තිබෙනවා. උදාහරණ කිහිපයක් ඔස්සේ
පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරන්නම්.
අප නිතර භාවිතා කරන ප්‍රස්ථා
පිරුළු තියෙනවානේ නේද? උදාහරණයක්
වශයෙන් අප ඒ ප්‍රස්ථා පිරුළක් ගමු කෝ.
“පනින්න පෙර සිතා බලනු!”
මේ වචන පද ටික අපට ඇසෙන විට මෙහි
අර්ථ ගැනීම සිදු වන ආකාර දෙකක් තියෙනවා.
එහි දී පහසුවෙන් ම වැටහෙන
අර්ථය තමයි; “පනින්න
පෙර සිතා බලනු” කියන වචන පද වලට ගත හැකි, ඒ ඒ වචන පදයෙන් කියැවෙන අර්ථය.
එතකොට වෙන්නේ මේ වචන ටික අපට ඇහෙන
කොට, අපේ
සිතේ චිත්ත රූප මැවෙනවා. අපට
යම් තැනකින්... යමකින්... යමකට පනින ආකාරය සිහිපත් වෙනවා... එසේ පනින්න පෙර සිතන්න
ඕන කියලා තමයි මේ කියන්නේ කියලා වැටහෙනවා. ඒ විදියට තේරුම දැනුනොත් අපට තව
හිතෙනවා “මොකකින් පනින්න කලින් ද මේ හිතන්න කියන්නේ? ලිඳක් වගේ දෙයකට... ගඟක් වගේ
තැනකට... වලකට වගේ පනින්න කලින් නම් පොඩ්ඩක් විමසන්න වෙනවා ඒ ගැන වෙන්න ඇති මේ
කියන්නේ... යන එන ගමන් පනින්න හිතුනොත් ඒකේ මොනවද ආයේ හිතල බලන්න තියෙන්නේ...
බට්ටා පනිනවා වගේ සෙල්ලමකට සම්බන්ධ දෙයක් නම් කොහොමත් වැඩියේ හිතන්න දෙයක්
නැහැනේ... වාහනයකට කෝච්චියකට පනිනවා වගේ දෙයක් වෙන්න ඇති මේ කියන්නේ... ඇඳකින්
පුටුවකින් මේසයකින් පනින්නත් පුළුවන් නේ... ඒ වගේ වෙලාවට මොනවද හිතන්න තියෙන්නේ...??????”
ඔබට පේනවද මේ විදියට වචන පද වලට
සීමා වූ අර්ථයක් ගත් විට කොතරම් කතන්දර තොගයක් නිර්මාණය වෙනවා ද කියලා?
ඒ ලැබුණ අර්ථය
ඔස්සේ එහෙමත් නැත්නම් ඒ වචන පද ටික අප තේරුම් කර ගත්ත ක්‍රමය අනුව අපට එය වඩාත්
තේරුම් කර ගැනීම පිණිස ප්‍රශ්න සමුදායක් සිතට නැඟෙනවා. එසේ නැතිව “අනතුරු
සහිත හෝ අනතුරක් වෙන තැනකට පනින්න කලින් හිතලා බලන්න කියලා වෙන්න ඇති ඔය කියන්නේ”
කියලා එක තැනකට සීමා වූ නිගමනයකට පත් වෙලා නවතින්නත් පුළුවන්.
දෙවන ආකාරයේ අර්ථ ගැන්වීම තමයි ඒ
වචන පද වලින් කියන්නට උත්සාහ කල අදහස වටහා ගැනීම හෙවත් වචන පද වලින් නො කියැවෙන
අර්ථය නුවණින් දැකීම.
“පනින්න පෙර සිතා බලනු” කියන වචන
පද ටික ඇහෙන විට දී ම
“යමක් කරන්නට පෙර විමසීමක් කර, හොඳින්
කල්පනා කරලා එය කරන්නට සුදුසු ද නැත්ද එයින් සිදු විය හැකි ප්‍රතිඵල ආදිය ගැන
නැණවත් ව සිතා බලන්න” කියන දේ තමයි මේ කියන්නේ කියලා වැටහෙනවා. දැන් මෙන්න මේ දෙවැනි
අර්ථය වචන පද වල තිබුණේ නැති... වචන පද තුල සැඟවෙලා තිබුණ අර්ථය නේද?
මෙතැන දී කලින්
වගේ යම් යම් කාරණා වලට සීමා වෙලා කතන්දර හැදුණා ද? මේ වචන වලින් “පනින” පිම්මක් ගැන,
ස්ථානයක් ආදිය
ගැන කියවුණා ද?
මෙතැන දී “පනින්න පෙර සිතා බලනු”
වැකිය හරියට ම ශ්‍රවණය වුනේ කොයි අවස්ථාවේ දී ද බලන්න!
ධර්ම ශ්‍රවණයේ දී පළමු ආකාරයේ
අර්ථ ගැනීම තමයි බහුලව ම සිද්ධ වෙන්නේ. දෙවැනි ආකාරයට නිවැරදිව අර්ථය
නුවණින් වැටහෙන්නට නම් අපට වචන පද වලට අප දන්නා අර්ථ ගැනීම් නවතා දමා අසන්නට සිද්ධ
වෙන බව වැටහෙනවා ද?
විමසන්න... ශ්‍රවණය තවම සාර්ථක
නැති බව වැටහෙන ව ද? නිවන්
ඕනෑ කිව්වට... සත්‍ය අවබෝධ කල යුතුයි කිව්වට... විමුක්තියක් ඕනෑ කිව්වට... ආයේ නම්
ඉපදෙන්න බෑ කිව්වට... බුදු දහම අහන සැබෑ ශ්‍රාවකයෙක් කිව්වට... කිවූ පමණින්
කිසිවක් ලැබෙන්නේ නැත. ඒ
වෙනුවෙන් කැපවීමෙන් නැණවත් ව සකස් කර ගත යුතු දේ බොහෝමයි.
“ශ්‍රවණය නිවැරදි නොවන තැනක ශ්‍රාවකත්වය
ක් ලබනවා යැයි යමක් විය නො හැකියි” වචන පද ඉක්මවා අදහස වැටහේවා...
නැණවත් ව අර්ථය ශ්‍රවණය වෙත්වා!
No comments:
Post a Comment