නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, January 26, 2023

විහින් අනාථ නොවෙන්නට

පසුගිය දිනක “වට්ස්ඇප් (WhatsApp)” හරහා බෙදා ගන්නා මෙම ලිපිය අහම්බෙන් කියවන්නට ලැබුණා.  නිසදැසක ස්වරූපයෙන් සටහන් තබා ඇති මේ ලිපිය ඔබ දැනටමත් සමහර විට කියවලා ඇති.  කියවලා නැත්නම් ඔන්න කියවන්න කෝ. 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.

"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්‍ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ? 🤨

"ඇයි, මගෙ ළමයි?"🥺

"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා" 😢

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....

හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද?

මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, අය පූර්ණව ස්වාධීන වෙලා අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.

ඒත්....

දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕනඋදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.

බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්, පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.

මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.

අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ...

මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.

පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.

ඉතින් ඊට පස්සෙ?

නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.

ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..

අද මං අවදි වෙලා...!!!

මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි...

ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි...? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි...?

ඔයාලට මේ කියන්නේ .....

ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න. 

හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:  ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.  🙏🙏🙏 

නිර්වාණ ධර්ම පණිවිඩය

ඉතින්, මේ ලිපිය කියවලා... ඒකේ වචන ටික එකතු කරගෙන "අනේ ඔව් නේ ඕක තමයි අපේ හැටි... අපේ ජීවිත.." කියමින් නැවතත් ඒ යාචක වැඩපිළිවෙළ ම කර ගන්න එක නෙවේ වෙන්න ඕන.  නුවණින් තමන් ව... තමන්ගේ ජීවිතය විනිවිද දකිමින් කියවන්නට උත්සාහ කරන්න...🙏🙏🙏

දැනෙනවා ද...  අපි හැම මොහොතේ ම යමක් හොයනවා... යාචකයෝ වගේ අරමුණක් හොයමින් යැපෙන වා...

ඇත්තටම අපි කොච්චර අනාථයි ද කියනවා නම්, මේ කියැවෙන ජීවිතයට කොටු වීමට වඩා අසරණ වැඩක් අපට සිද්ධ වෙනවා. 

ඒ තමයි මේ අනාථ බවින් මිදෙන්නට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍ර ඇසුරත් ලැබිලා... මොහොතක් පාසා අනතුරට පත් වෙන්නේ කොහොමද එයින් ගැලවෙන්නේ කොහොමද කියන දේත්, නිතරම අහගෙන... “මම නම් සිහියෙන් ඉන්නේ” කිය කියා කියමින්.. “මම නම් සමථ විදර්ශනා වඩනවා... භාවනාවේ ඉන්නේ” කියමින් මේ යාචක වැඩපිළිවෙළ තුළ ම බැස ගැනීම ම... කොතරම් අනාථ අසරණ බවක් ද?

මේ තමන්ට ම සිදු කර ගන්නා වංචාව ගැන තමන්ගෙන් ම අහන්න...🙏🙏🙏

තව මොනවද හොයන්නේ? තව මොනවද නැත්තේ...? ලැබිලා තියෙන දෙයින් සතුටු වෙලා.. ලද දේ කෙරෙහි කෘතවේදී වෙලා මේ අනාථ බවෙන්... යාචක බවෙන් මිදෙන්න උත්සහ කරන්න!

මෙහෙම සිහිපත් කරන්න තරම් වත් කෙනෙක් නැවත කල්ප කාලාන්තරයක ට හමු නොවන තරමට ම මේ සසර බියකරු බව හැකි නම් වටහා ගනිත්වා! 🙏🙏🙏

වාසනාවට පයින් නො ගසා කල්‍යාණ මිත්‍රත්වය ම ලබත්වා!

No comments: